Sunday, November 28, 2021

උතුරු දකුණු අරගල...

පෙර මතක
ඔබ සිටිය යුතු තැන මෙතැන ය. 

ආයුධ වලින් දිනන්නට හැකි කිසිවක් නොවන බව පසක් කළ ත්‍රස්තවාදී අරගලය නිමාවට පත් වී දැන් වසර 10කට කිට්ටුය.එහෙත් ඒ මතක අද ඊයේ සිදුවුනාක් මෙන් සිත විටින් විට කොනිති ගසන්නේ දුම් රොටු පිටවෙන අඟුරු අවුස්සා අවුලුවන්නට තනන්නන් නිසා ය. සිදුවුනේ හරියටම හරි දේ ද වැරදි ද යනුවෙන් කොයි තරම් වාද කරත්, සිදු වූ දේ සිදුවී හමාර ය.

පශ්චාත් යුධ සමයේ වන්නියේ සේවය කළ වෛද්‍යවරියක් ලෙස ,මම හැම අතම කරක් ගැසුවෙමි. වාට්ටු තුළ කොටුවී සිටි මට, මනෝවෛද්‍ය ඒකකයේ කණ්ඩායම හා එක්වන්නට පුළුවන් වූයෙන්, ඊට එහා ගිය විශාල වැඩ කොටසකට දායක වීමට හැකි විය. පුලියන්කුලම, මාන්කුලම, කොකාවිල්, ඉරණමඩු , මල්ලාවි, පූනගරී, පරන්තන්, නැදුන්කර්නි, මේ අප නිතර ආගිය තැන් විය. මැණික්ෆාම්, සෙට්ටිකුලම් ගිය හැටි, මන්නාරමේ , කිලිනොච්චියේ ළමා නිවාස වලට ගිය ගමන් හිතේ ඇති කළේ කිව නොහැකි තරම් දුක් ගොඩකි. ත්‍රස්තවාදය අප්‍රිය කිරීමට මට තවත් හේතු උවමනා නොවී ය. 

🌸අනිත්කොන, සායනික සටහන් නොවේ..යන කෘති මම ලීවෙමි
🌸වෛද්‍ය පැතුම් කර්නර් ලියූ යුදබිමක වෙද මහිම කෘතිය
🌸අනූෂා සිවලිංගම් පරිවර්තනය කළ "කරුණාකරන්ගේ මතක වන්නිය
🌸 තියුණු අසිපතක සෙවණ යට මගේ අරගලය- තමිලිනී ජෙයක්කුමාරන් , පරිවර්තනය සාමිනාදන් විමල්
🌸අවුරුදු අටක් කොටි අත් අඩංගුවේ සිටි කොමදෝරු බෝයගොඩ කියූ the long watchඇසුරින් තීක්ෂණ සුරවීර ලියූ "දිගු කලක් සිටියා බලා" කෘතියද,
🌸අම්බල්වානර් සිවානන්දන් ලියූ when memory dies, කෘතියේ හෂිත අබේවර්ධන විසින් සිංහලට පරිවර්තිත - "මතක මිය ඇදෙන සඳ" කියවමින් සිටින්නෙමි. 

මේ සියල්ල අවසානයේ අවුරුදු ගණනාවක් වන්නියේ දුක දැරූ අපට කියන්නට කතාවක් තිබෙන බව කියන්නෙමි. ඒකතාව මේ පොත් හරහා ඔබ හමුවට පැමිණ ඇති බව කියන්නෙමි. මා කියන්නට යන දේ මේ උපුටා ගැනීම් අතරින් ඔබ සොයා ගන්න !

මා දැක්කේ සුනු විසුනු වූ වන්නියකි. පුරුද්දා පිළියම් කළ නොහැකි ලෙස කැඩී බිඳී ගිය සිත් ඇත්තන් සිටි වන්නියකි. එනමුත් මා එහෙන් එන කාලයේ මා දුටුවේ, ජීවත් වෙන්න හිත හදා ගත් වන්නියකි.

මම තමිලිනී ජෙයකුමාරන් ලියූ මගේ අරගලය (මේ තියුණු අසිපතක සෙවන යට කෘතියේම නව සංස්කරණයයි එහි තමිලිනීගේ මවගේ සම්මුඛ සාකච්ජාවක් ඇතුලත්කර තිබේ) සහ අලුයම් සිහින, කියැවීමි. 
පැවතුණු කරුම දේශපාලනයේ ඉත්තන් ව, එකම මිනිස් ජාතියක් බෙදී වෙන් වුන තැන් හිඩැස් හොඳින් දකින්න මේ පොතේ ලියැවිල්ල කදිම ය. තැන් දෙකකට වැටුණු ගිරවුන් දෙන්නා මෙන්, වන්නියේ ඔවුන්ද, දකුණේ අපද ජීවිත වෙනස් කරගෙන තිබුනේ එසේ ය. පවතින තත්වය තුල ඇයට වෙන කරන්නට කිසිවක් නොතිබෙන්නට ඇත. අපිද මේ මිනිස් ඝාතන හමුවේ ත්‍රස්තවාදී ක්‍රියාවලට වෛර කෙරුවෙමු හරි හෝ වැරදි හෝ සියල්ල අද අවසන් ව ඇත.

තමිලිනී වටහා ගත් සත්‍යය මෙසේ අප අතට පත් කළ එක ගැන, මේ තරමින් හෝ ලියා දැක්වීම ගැන මම ඇයට ස්තූති වන්ත වෙමි. ඇය පසු කාලයේ ජීවිතය වෙනස් කරගත් අන්දම ගැන , එය දරාගත් අන්දම, ඒ දිරිය ශක්තිය පුදුමය කි . ඇගේ කතාවෙන් පසුතැවීමක් මම නොදකිමි. හුදෙක් ජීවිත යුද්ධයේ, කරුම දේශපාලනයේ අරුමය පමණක් දකිමි. අප දුටුවේ අපේ පැත්තේ අහිමි වීම් ය. ඇය දුටුවේ ඇගේ පැත්තේ අහිමිවීම් ය.

"සෑම දෙයක්ම වෙනස් කිරීමට කාලය සතු දක්ෂතාව වෙන කිසිවකටත් නොමැත. කාලයේ එම ක්‍රීඩාව දෙස තියුණු ලෙසින් බලද්දී සියල්ලම පෙනෙන්නේ විසුළු සහගත ඒවා ලෙසින් ය. එයිනුත් යුද්ධය සිදුවූ ස්ථානල මෙම ස්වභාවය අධික ලෙසින් දකින්නට ලැබෙයි. යුද්ධය සෑම නිෂ්චිත දෙයක්ම අවිනිශ්චිත තත්ත්වයට පත් කර ඇත. එයද එක් සැණෙකින් සිදු කර ඇත. 
යුද්ධයට පසුවත් යුද්ධයෙහි ඇතුළෙත් පවතින්නේ දේශපාලනයයි. මෙම දේශපාලනය විසින් සියල්ලම වෙනස් කරන ලදී. සියල්ලම විකෘති කරන ලදී . තවමත් විකෘති කරමින් තිබේ. -( අනූෂා සිවලිංගම් පරිවර්තනය කළ කරුණාකරන්ගේ මතක වන්නිය- පිටුව 101)

වන්නියේ සිය දහස් පිරිසක් අවතැන් කළ, ජීවිත සුනු විසුණු කළ , අපායක් කළ ඒ බිහිසුණු කාලයට නැවත කිසිදිනෙක මේ පිරිස ඇද නොදමන්න යැයි මම සියලු නායකයින්ට පවසමි. මන්ද වන්නියේ පුපුරා ගිය ජීවිත අලවන්නට පැලැස්තර හෙවූයේ අප හෙයිනි. මට මුණ ගැසුණු, කතා බස් කළ සියල්ලන්ට ද ඕනෑ නිදහසේ ජීවත්වීමටය.

"යම් කාලයක් ගත වෙනකොට වෙනසක් ඇතිවෙන බවට යහපත් ලකුණු පහළ වෙලා තියනවා. අපි වන්නියේ අවුරුදු උත්සව පැවැත්වීමටයි , යාපනේ අධි සුඛෝපබෝගී මහල් නිවාස ඉදි කිරීමටයි එහා යන ප්‍රගතියක් ලබා ගන්නට ඕනෑ. ඒවා කිසි කලෙක අපෙන් නැතිවී ගිය දේවල් නොවෙයි. සත්‍යය නම්, ජනතාව අතරින් බහුතරයක් තවමත් බලන්නේ ජාතිවාදී නැඹුරුවකින්. ඒ තත්ත්වය වෙනස් වෙන්නට තරමක කාලයක් ගතවෙනවා....."( දිගු කාලයක් සිටියා බලා - අජිත් බෝයගොඩ පිටුව 266) අජිත් බෝයගොඩ මහතා තවදුරටත් පවසන්නේ උතුරේ ත්‍රස්තවාදී හිර කඳවුරේ සිට නිදහස ලැබූව ද සිංහළ දෙමළ මිනිසුන් අතර බෙදීම් වෙන්වීම් ඇති කරන සුළු ප්‍රකාශ ඔහුගෙන් නොකියවෙන හෝ නොලියවෙන බව ය. කිසිදාක නැවත යුද්ධයක් ඇතිවන්නට තුඩුදෙන දෙයකට සම්බන්ධවීමට ඔහුට කිසිඳු උවමනාවක් නොවන බව ය.

තමිලිනී ලියූ පොතේ අවසන් භාගයේ මා ඇගේ දුක්බර මතක කියවමි. බලෙන් ඇද දැමූ යුද්ධයක අපි කොටස් කාරයෝ වීමු. මා උපන්නේ යුද්ධය ඇවිලුණු දේශයක ය. මා හැදී වැඩුනේ යුද බිය හිතේ පොදි ගහගෙන ය. මා හැදී වැඩුණු පරිසරයේ මා දැක්කේ , ත්‍රස්තයින් විසින් විනාශ කරන ලද ජීවිත පමණි.

"ඊට පසු කාලයන්හි දි මට ලැබුණු අත්දැකීම්, පාඩම්, අරගලය කෙරෙහි අවිශ්වාසය ඇති කළ තත්ත්වයන් , අවිශ්වාසය ඇති කළ තීරණ ජනතාවගේ යහපත පෙරටුකර නොගෙන දියත් කළ ක්‍රියාකාරකම් ආදිය මා තුළ දැඩි හැඟීම් කැකෑරීමක් සහ ස්වයං විවේචනයක් ඇති කළේය. ...." (තියුණු අසිපතක සෙවණ යට මගේ අරගලය - 227 පිටුව) 

උතුරු කොනේ දී මා මිනිස් සිතේ අරුමය හා ගනුදෙනු කරමින් පරිණත වීමි. වෙනස් තැන් දෙකකට වැටුණු ගිරවුන් මෙන් අවුරුදු 30ක් අපි උස් මහත් වීමු. එනමුදු අවසන අපි සියල්ලන් එකම දුක්ඛාන්තයක කොටස් කරුවන් වීමු. එනිසා සානුකම්පිතව මම ඔවුන්ගේ දුක දැරීමි. මට උතුරු කොන හර්ද කම්පන දරන්නට පහසු විය. පැරදුන අරගලයක අවසන ඔවුනට සියල්ල අහිමි විය. දකුණේ අපට ද බොහෝ දෑ අහිමි විය. ඇයටට මෙන්ම අපටද වෙනස් වෙන්නට සිදු විය.

අප පා තැබූයේ සියල්ල විසඳුනු වන්නියකට නොවේ. සිංහල වෛද්‍යවරු යන ලේබලය සමග අප වන්නියට පය තබද්දී, අපට සිදුවූ දෑ මම ඔබට ඇති තරම් ලියා ඇත්තෙමි. 

ඉහළ නිළයන් ගේ සිටි මිනිසුන් ඔවුන්ගේ ජාතියේ මළගම ලියා දුන් හැටිත්, ඔවුන් ඉන් පසුව වුව ද " පාවාදී අනෙක් පැත්තට පැන්න" හැටිත් ගැන අත් අඩංගුවේ පසු වූ ත්‍රස්තයින් කියූ කතා අසමින්, අප හමුවේ ඔවුන්ගේ වෛරය සංසිඳෙන හැටි වටහාගනිමින් අප සිටියෙමු. 

වෙනස් විය යුත්තේ දමිළ වැසියන්ගේ අරගලය යැයි කියමින් , බල ලෝභී තමන්ගේ දේශපාලන අරමුණු ජයගන්න වලිකන දෙමළ-සිංහල-මුස්ලිම් දේසපාලුවන් මේරට කරවන තැනට නොයවන්නට වග බලාගත යුතු කාලයක් එළඹ ඇත.

“ඔය ඩොක්ටර්ට බැන්න ගෑණු කෙනයි එයාගේ මිනිහයි කළේම , එල් ටී ටී ඊ එකට, ළමයි අල්ලන් ගිහින් බාර දෙන එක. ඔය කන ඇහෙන්නෙ නැත්තේ...බෝම්බ නිසා නෙමෙයි. එහෙම ළමෙක් අල්ලන් යනකොට, තාත්තා කෙනෙක් පොල්ලකින් ගහලා ඔළුවට , ඒකයි ඔය “ මගේ මතකයට එන්නේ ඔවුන් ය. (අනිත්කොන - 135 පිටුව, මිත්‍රත්වයේ පාළම)

තමන්ගේම මිනිසුන් පලා යද්දී, ඔවුන්ට වෙඩි තියන්න යැයි ඉහළින් දුන් නියෝග හමුවේ. .. අපේම අම්මලා තාත්තලාට වෙඩි තියන්නේ කොහොම දැයි තමිලිනී විස්සෝප වන අයුරු මම ඒ පොතේ තැනක කියැවීමි.

ඒ වෙඩි මතින් කලපුව තරණය කළ පිරිස් රෝහල් වලදී පසුව කියූ කතා මම උතුරු කොන සිට අකුරු කෙරුවෙමි. (අනිත් කොන පොත) 

"දැන් මුළු රටම ගිනි ගන්නයි යන්නේ " ඉතින් මුලු රටම එසේ විය. (මතක මිය ඇදෙන සඳ 394 පිටුව)

83 ඇසළ කළුවරේ අපි බිළිඳුන් වීමු.එකම කාසියක දෙපැත්තක් මෙන්, කිසිදා හමු නොවුන අප දෙපිරිස දෙපසට වෙන්වී අරගල කෙරුවෙමු. ඇය උතුරේ සිට, දකුණේ මිනිසුන් හා තරහෙන් වෛරයෙන් සිටි කණ්ඩායමක අරගල කරද්දී අප දකුණේ සිට, ත්‍රස්තවාදයට වෛර කෙරුවෝය.

මිනිස් ජීවිත ලක්ෂ ගණනින් අහිමි වූ යුද්ධයක් අවුරුදු තිස් ගණනක් පුරා පැවතිනි. ඔබ සිටි කොටුව ඔබට සාධරණ වූ අතර මා සිටි කොටුව මට සාධාරණ විය. කොයි හංදියක කෙසේ පිපිරෙයිදැයි නොදැන , එවකට පාසැල් වියේ සිටි මම, බෝම්බ හඬින් සසලව මැරුණත් මොනා කරන්නදැයි හිත හදා ගත්තෙමි. ඉන්පසු උතුරට ගිය මම ඇල වේලි කැලෑවල රැය පහන් කළ උන්ගේ කතා අසා සිටියෙමි. සියල්ල අවසන්ව පුපුරා ගිය වන්නියක, ජීවිත ජීවත් කරවීමේ යුද්ධයට මා මැදි විය. තමිලිනී වැනි දහස් ගණනකගේ දුක් කඳුළු කෝප වෛරය, අප පිටින් ගලා ගියේ, ඔවුන්ට පෙනෙන්නට හිටි සිංහලයන් අපි වූ හෙයිනි.
එහෙත් ඔවුනට වෛර නොකරන්නට තරම් මා පරිණත වූයෙමි. මේ වෛරය අවසන් කළ හැක්කේ, අවෛරයෙන් බව මා පිළිපදින බුද්ධ දර්ශනය වේ.

"සිංහලයාද දෙමළාද යුද සීමාවෙන් වෙන්ව දෙපැත්තට වී එකිනෙකාට වෛරයෙන් මෝරා ගියේය. තමා උපන් භූමි⁣යේ අයිතිය වෙනුවෙන් දෙමළ අම්මාගේ දරුවෝ කොටි සංවිධානයට බැඳුණහ.  සිය මවුබිම කැබලි කර කොටසක් ඉල්ලන කොටින්ට එරෙහිව සිංහල අම්මාගේ දරුවෝ යුද හමුදාවට බැඳුණහ. මේ දරුවන් දෙදෙනාම මේ රටේ බිහිවී එකම වාතය ආශ්වාස ප්‍රශ්වාස කර, මේ පොළොවේම හැදෙන බත කා ජීවත් වෙන තරුණයෝය. දෙදෙනාම සිය ජාතිය ආගම වෙනුවෙන් ආයුධය අතට ගත්හ. දෙදෙනාටම ඇත්තේ එකම දේශප්‍රේමය ය. වෙනසකට වූයේ දෙන්නා දෙපොළේ වීම පමණි. සිය ජාතියට රටක් ඉල්ලා මියගිය කොටි සමාජික සෙබළාද, සිය රටේ ඒකීය භාවය වෙනුවෙන් මියගිය  හමුදා සෙබළාද මියගියේ ජාත්‍යාලයෙනි; දේශප්‍රේමයෙනි. - (යුද බිමක වෙද මහිම) "

තමන්ගේ ජාතිය මුල් කරගෙන වැසියන් සහ ඔවුන්ගේ දරු පැටවුන් ආයුධ සන්නද්ධ යුද්ධයකට ඇද දමා, එය පෝෂණය කළ , යළිත් රට බෙදන්නට අර අඳින ඩයස්පෝරාවෙන් සහ දේශපාලුවන්ගෙන් මම යමක් අසමි ! 

ඔබ ගේ මිනිසුන් අද ද දුක් විඳි ති. ඒඅයට ඔබ උපකාර වුනේ කෙසේ දැයි මම විමසමි. එදා පිටරටවලට වී කිඹුල් කඳුළු හෙළූ අය අදද සිටී. එදා වන්නියේ දරුවන්ට ආයුධ දෙන්නට මුදල් ආයුධ නැව් පිටින් එවූ උන්, ඔවුන්ගේ දරුවන්, යුරෝපයේ වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් කරන්නට මුදල් වියදම් කළෝය. එනමුත් මේ රටට පය තැබුවේ උන් නොවේ. අද ද ඔවුන්ගේ දරුවන් යුරෝපයේ හෝ ඇමෙරිකාවේ ය. මට කිළිනොච්චියේ හමුවූ බොහෝ වෛද්‍යවරු ශිෂ්‍යයින් කාලයේ රැය පහන් කරන ලද්දේ කැළෑ වැදී බව මා හා කීවෝ ය. වන්නියට ආවේ එවන් වෛද්‍යවරුන් සහ දකුණේ වෛද්‍යවරුන් ය.

අපට වෛර කළ, අපට බිය වූ, මුහුණ අනිත් පැත්ත හැරවූ දස දහස් ගණන් නන්නාඳුනන දමිළ වැසියන්ගේ දුක දරන්නට තරම් මම සමත් වීමි. ඒ මා උගත් පුහුණු කළ බෞද්ධ දර්ශනය නිසා ය. 

තමිලිනී , අජිත් බෝයගොඩ, කරුණාකරන්, පැතුම් කර්නර්, සහ මම මේ දේ ලියන්නට හිත හදාගත්තේ කෙසේද, ඒ තරම්ම ඒ හිත් අරගලය අවසානයේ සැනසීම අත් කර ගත් බව නිරහසකි.
මේ ලිවීම් කියැවිය යුතුම පිරිසක් මට මතක් වේ. මිනිසුන්ගේ සැබෑ අරගල විනාශ කරන්නේ පටු බලලෝභී ආත්මාර්ථකාමී නායකයින්ගේ අමනෝඥ ක්‍රියා ය. ඉන් විනාශවන ජීවිත ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැක. ජීවිත වැනසීමෙන් ලබන විමුක්තියක් නොවන බව ද, එක් ජාතියක් උසස් යැයි කියමින් සිදුකරන සංහාරයන්ද ම්ලේච්ජ බව කියමි. උතුරේ කොටි ත්‍රස්තවාදය සහ දකුණේ දේශපාලනය කළේ එය බව කියමි.
සෑම ජාතියකම නිරායුධ වැසියන් ඝාතනය කරමින් රටක් අවුරුදු 30ක් භයංකාර කාලයකට ඇද දැමීමෙන් යුධයට මග පෙන්වූ යුද වැදුණු  සියල්ලෝ ලද විමුක්තියක් නොවන බව අප වටහා ගත යුතු සත්‍යයයි. 

මිනිස් සංහාරයන්ගෙන් පෝෂිත අරගලයක බිහිසුණු බවත්, නොදියුණු බවත් ම්ලේච් ඡත්වයත් පමණක් දකිමි. එවැන්නක් යළි සිදු නොවන්නට සමස්ථ ශ්‍රීලංකා වාසීන්ම සිත හික්මවා ගත යුතු බව පමණක් සිහි කරමි.

අද බොහෝ දුක් බර දවසක් වුනේ බෙදී වෙන් කරන්න නොයෙක් වහසි බස් ඇසෙන නිසා ය.
රටක් ලෙස ගොඩ නැගෙන්නට අවැසි චින්තනයක් ඇති පිරිසක් නැති එක ගැන දුක් වෙමි. සිංහලයා දෙමළා කෙරෙහි ත් දෙමළා සිංහලයා කෙරෙහිත් වෛර නොකරන ලෙස ප්‍රකාශනයේදී අප ප්‍රවේසම් විය යුතු බව පමණක් සැමට මතක් කරමි.
(2019 නොවැම්බර් )

4 comments:

  1. ඔබට දැනෙන දේ එලෙසම දැනෙන්නේ සමාජයේ ටික දෙනෙකුට යයි සිතමි. සමහර බ්ලොග් අඩවි හා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන අය ඒ බව පැහැදිලි කරයි. මේ ආකල්ප සමාජයේ බහුතරයකගේ ආකල්ප වූ දිනක රට ඉදිරියට යාමේ මුල් පියවර තැබුවා යයි සතුටු විය හැකිය.

    ReplyDelete
  2. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete
  3. //සිංහලයා දෙමළා කෙරෙහි ත් දෙමළා සිංහලයා කෙරෙහිත් වෛර නොකරන ලෙස ප්‍රකාශනයේදී අප ප්‍රවේසම් විය යුතු බව පමණක් සැමට මතක් කරමි.
    මෙතන තමා ලොකුම වැරැද්ද.

    ඕන කුනු හරුපයක් දරාගන් පුළුවන් විදියට මිනිස්සු පදම් කල යුතුයි.
    සංහිඳියාව කිය කිය කිරි පොවන්න ගත්තොත් කවදාවත් මිනිස්සු හැදෙන්නේ නෑ.
    අපේ රටේ කලා කාරයන්ගේ පුරුද්ද තමයි එයාලා හිතාගෙන ඉන්නේ එයාලා අනිත් අයට වඩා මොලේ වැඩි පිරිසක් කියලා. ඒ නිසා තමයි ඔයවගේ අදහස් ලේඛකයන්ට පහල වන්නේ.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !