Wednesday, June 7, 2017

හද සසල කළ ඒ තැන !

"අම්මා බබාගේ හර්ද ස්පන්දන වේගෙ අඩු වෙනවා , ඒ එක්කම මේ ඇතුලේ වතුර පාට හරි නෑ බබාට ඇතුලෙම කක්කා ගිහින් වගේ. ඔයාගේ ගැබ් ගෙලේ ප්‍රමාණය බබාට එන්න තරම් ලොකු වෙලා තුනී වෙලා නෑ. එනිසා අපි සීසර් කරනවා" අම්මාට එහෙම පැහැදිලි කර දුන්නා. ඒ අම්මා ඒ වෙනකොටත් හිටියේ ප්‍රසව වේදනාවෙන් බොහෝ වෙලා තිස්සේ ප්‍රසූතිකාගාරයේ.

"අනේ ඩොක්ටර් , ...මගෙ මහත්තයා කැමති නෑ සීසර් කරනවට, අනේ එයාගෙන් අහන්න ඩොක්ටර් එළියේ ඇති... " අඩු වෙන පොඩි හදවතක කම්පනය හමුවේ කිසිම අම්මා කෙනෙක් එහෙම දෙයක් කියන්නේ නෑ... අපිට කොහොම හරි ළමයා බේරන්න කියනවා මිසක. අනික සමහරු වේදනාවට කෑ ගහන්නේ, " ඩොක්ටර් සීසර් කරන්න සීසර් කරන්න " කියලා
ඒ එක්කෙනෙකුටවත් සීසර් කරාට පස්සෙ , සාමාන්‍ය ප්‍රසූතියකට වඩා වැඩි කාලයක් විඳවන්න වෙන බව මතක් වෙන්නේ නෑ.
 මේ අම්මා එහෙම කිව්වාම මම හෙදිය දිහා බැලුවා.... ඒ ඇගේ තුන්වෙනි හෝ හතරවෙනි දරු උපත.
"එහෙම කියනවා සමහරු ඩොක්ටර් එයාලගේ ආගමේ ප්‍රශ්නයක් ඒක "
ඊළඟට ඒ තාත්තාගෙන් ලැබී තිබුනේ ඔහුත් ආගමේ නියමයන්ට පටහැනි දෙයක් නොකරන බව ය. සීසර් කරන්න නම් එපා !ඔහු කීවාලු.

"මවගේ හෝ දරුවගේ ජීවිතයට හානි වුනත් සීසර් කරනවට අකමැතියි ! කියලා එක්තරා ආගමක ඒ තාත්තා   BHT එකේ පවා ලියලා අත්සන් කළා.
 මට මතක් වුනා, ලේ ගන්න බෑ ආගමට පටහැනී කියලා, අඩු හිමෝග්ලොබින් අගයක් සහිතව උනත් මැරුණත් කමක් නෑ කියලා බලෙන් ටිකට් කපාගෙන ගිය අම්මා ! අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් කීවා එහෙම ආගමක් නිසා ඔවුන්ට මවක් මැරෙන්න ඉඩ දෙන්න වුනා කියලා එංගලන්තෙදි.... ඒ ආගමේ නීති එහෙමලු.

 අම්මා ලේබර් රූම් හිටියේ ගැබ් ගෙල විශාල වීම බබාට එන්න ප්‍රමාණවත් නෑ බබාගේ හාට් බීට් එක අඩු වෙමින් තිබුනේ... ඩොප්ලර් එකෙන් අම්මටත් ඇහුනා ඒක.

මම ඇවිත් කීවා අම්මට " මෙහෙම වුනොත් ඔයාට බබා නැතිවෙන්න යන්නේ කියලා.  අපි දැනන් හිටියා මවගේ හෝ දරුවාගේ ජීවිතයට හානි වෙනවානම් අපිට සීසර් හෝ මොන ක්‍රමයකින් හරි ජීවිත බේරන්න පුළුවන් ලෙස මනුස්ස නීතිය වඩා බලවත් බව.
නමුත් ඒ අම්මා එකපාරම කීවා" මට දරුවා ඕනේ... ඩොක්ටර් කමක් නෑ සීසර් කරන්න මම අත්සන් කරනවා" කියලා, අර තාත්තා අත්සන් කරපු තැනට පහළින් අම්මා අත්සන් කළා !
 ඒ පාර සීසර් කලා. බබා ඉක්මනින් ප්‍රකෘති වුනා. වාසනාවකට ඒ බබාගේ නම් මෙකෝනියම් මිශ්‍රවුනු තරල වලින් ඇතිවන සංකූලතා තිබුනේ නෑ.
දරුවා පරීක්ෂා කරද්දී එයා මගේ ග්ලවුස් දැමූ අත අල්ලා ගත්තා හරි හයියෙන්... තැන්ක් යූ කියනවා වගේ මට හිතුනා ( සමහර වෙලාවට බොළඳ දේවල් හිතෙනවා). මම මේ කතාව නොලීවට ඒ අත් දෙකේ  ෆොටෝ එක මුහුණු පොතේ දැම්මා. " strong grip... tried to hold on but I have to let go" කියලා. (photo credit goes to a nursing officer)

  අලුත් බබා එක්ක මමයි මිඩ් වයිෆ් මිසුයි අම්මා ළඟට ගියාම අම්මා කීවා " දෙවියන්ට ස්තූති වේවා " කියලා...
මම මද සිනහවෙන් හිටියා.. ඇය දකින දෙවියන් සහ අපි දකින කර්මය  කියන මේ හැම වචනයක් අවසානයේ මම දකින්නේ මනුස්සකම නිසා....

ඒ බබාගේ අම්මා සමහර විට කවදාවත් කියන එකක් නෑ... එයාගේ ජීවිතේ බේරුවේ ඇයයි කියලා. එහෙම නැත්නම් අපි වෙන්නත් ඉඩ තිබ්බා. එහෙම වුනානම් ගොඩක් ඉදිරි ප්‍රශ්න අපිට එන්න තිබ්බා. හැබැයි ඒ තාත්තාව නම් ඒ වාට්ටුවේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරයා එහෙම අමතලා තිබ්බා. ඔහු ඒ ප්‍රශ්නෙ එතනින් එහාට ගෙනිච්චේ නෑ. 

20 comments:

  1. "අනේ දෙවියනේ ".... මට එහෙම හිතුනා.
    වෙන කිසිත් නොකියමී

    හිතට දැනුන දුක , වේදනාව වගේම භය ගැන හිතෙන කොට ඔබ ගැන ඇතිවෙන ගරුත්වය කියා නිම කල නොහැක..

    ReplyDelete
  2. දෙවියන්ට පිං සිදු වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔවුන්ට දිය හැකිය පිං !

      Delete
  3. සංවේදි සිද්ධියක්.... අගතිගාමි ආගමික මත දරන මිනිසත් බව අමතක කරන මිනිසුන් ගැන කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අන්කල් මේ අය දැන් දැන් විකාර නීති රීති ගෙන එන්නේ

      Delete
  4. මට හිතා ගන්න බැහැ ඒ වගේ මත දරන ආගම් තියනවද කියල.ඇත්තටම අක්කේ ඔයා ගෙ සේවය නම් විෂිශ්ටයි.

    ReplyDelete
    Replies
    1. දැන් හරි වැඩී මිනිස්සුන්ගේ මේ වගේ මෝඩ වැඩ නංගී....

      Delete
  5. පින්තූරේ හුඟක් සංවේදීව දැනුනා... මිනිස්සු කොයි තරම් නම් මිත්‍යා මත වලින් අන්ධවෙලාද...

    ReplyDelete
    Replies
    1. මගේ හිත සසල කරන මේ වගේ දේවල් අනන්තයි. ඒත් මොනා කරන්නද ?

      Delete
  6. https://srilankanatheists.wordpress.com

    ReplyDelete
  7. ඒ අම්මා පරක්කු වෙලා හරි ගත්තේ නිවැරදි තීරණේ.

    ReplyDelete
    Replies
    1. මුලින් අම්මා ගැන නොපහන් හැඟීමක් ආවත් පසුව හරි ඇය අම්මා වුනා !

      Delete
  8. හොඳ වෙලාවට මං වෙදකම නොකලෙ. එහෙම උනානං ඔය ළමයෑ තාත්තා කියන උන්දැ මයෙං අහගන්නෙ ඉහේ කෙස්ගස් ඉගිල්ලෙන්න. මිත්‍යා දෘෂ්ටිකයන් අතර ඉපදීමත් පවක් වෙන්ට ඇති. මට හිතාගන්න බැරි ඔය මිනිස්සු වාහන හදාගන්න ගැරිජ්වලට ගියාමත් ආගමේ හැටියටද ඒක හදවන්නෙ කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා එහෙම කියන්න තිබ්බා ඉස්සර කාලේ වගේ විප්ලවීය අදහස් තිබ්බා නම්....දැන්නම් ඉවසන්න පුරුදු වෙලා.

      Delete
  9. අම්මා කෙනෙක්ගේ හැඟීම ඔය මොන මිත්යාවටත් වඩා හයියයි..ඒත් ඒ මිනිස්සුත් මොන තරම් හිංසනයකට ලක් වෙනවද දන්නේ නැහැ නේද...පස්සේ....
    මුහුණු පොතෙන් ඒ සේයාරුව දුටුවා...මේ සටහන එක්ක කියවද්දී එක දැනෙනවා වැඩියෙන්ම

    ReplyDelete
    Replies
    1. ඔව්මයි ඒක තමා ඇත්ත අක්කා...

      Delete
  10. එම සිතුවිල්ල බොලද නැහැ රෝමාන්තිකයි....

    ReplyDelete
  11. Sometimes in life You've got to do what you got to do irrespective of the consequences.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !