Sunday, October 30, 2016

සර්පයින් ගැන කතාවක් !

වැසි සමය ආරම්භ වූයෙන් චුරු චුරු හඬින් පටන් ගෙන මහා ලොකු අකුණු හෙණ ගෙඩි ලෙසින් පාත් වෙන කාලයක් එක්කම අනිත් කොන රෝහල බොහෝ සෙයින් කලබල වෙනවා. මා මීට පෙරත් ලියූ ලෙස , සාමාන්‍ය උණ තත්වයන් සිට ඇදුම ශ්වසන රෝග එක්කම ඩෙංගු උණත් හිස ඔසවන්නේ ඔය කාලෙදී. මී උණ ත් අඩුවක් නැතිව ඇත්තේ කුඹුරු වෙල් යාය ආශ්‍රිතව මඩ වතුර සමග එකතුවන මීයන්, බල්ලන්, හරකුන් වැනි සතුන්ගේ මූත්‍රා වලින් එකතු වන බැක්ටීරියාවන් නිසා ය. ලෙප්ටොස්පයිරෝසිස් නමින් හැඳින්වෙන්නේ මෙයයි.

කුඩයක් ඉහළාගෙන චිරි චිරි යේ පයට පෑගෙන මඩ වූ පොළව මතින් යද්දී ඇහැ ගැටෙන සර්පයින්ද අපමණය. බයිසිකලයේ යද්දී නම් ඔවුන් බේරන්න්ට වෙට්ටු දමන්නට සිදුවේ. බොහෝ විට හමුවෙන්නේ දෂ්ඨ නොකරන විෂ රහිත අයවලුන් ය.

නේවාසිකාගාරය වැට අයිනෙන් රෝහල් භූමියේ තුරු වදුල් කුඩා පඳුරු ඇතු බිම් කොටසට ඇතුල් වෙන පිටවෙන නිතරම දකින කළු දිග නයා නම් අපව දන්නා හඳුනන බවක් පෙන්වයි. එයා නම් ඈත තියා දකින්නට තරම් දිග මහත ඇත්තෙකි. දිනක් බයිසිකලය නවත්වා ඒ ඇත්තා පාර මාරුවී පිට්ටනිය දෙසට යන තුරු බලා ඉඳෙද්දී ඈත තියා ඇවිදන් ආපු සිකියුරිටි මහත්මයෙක් මා නවතන් ඉන්නේ ඇයිද විමසද්දී , "අන්න අරයා යනකම් කියා" පෙන්වූ සැනින් මේ මනුස්සයා, අහල තිබුනු ලීයක් උස්සාගෙන එද්දී මා එපා කියූවත් ඔහු නොවේ කනකට ගත්තේ.... මම හරවගත්තු බයිසිකලය වැර යොදා පාගා ඉවතට පැද ගියෙමි. නයාට ගහලා පොල්ල වරද්දාගන්න එපා කියන කියමන මේ මනුස්සයා නම් දන්නේම නැතිද කොහෙද. පොල්ල නයිහාමිට නොවැඳුනු නමුත්, බොහෝ වෙලාවක් පෙනේ පුප්පාගෙන අර මනුස්සයා දෙස බලා සිටිය බව මතකයි. වෙලාවට මම ඒ දර්ශන පථයේ නොසිටියේ.


සර්පයන් දශ්ඨ කළ හෝ සපා කෑ අයවලුන් ගෙන එන විට ඒ සර්පයාද අල්ලා බෝතලයක හෝ බෑගයක දමාගෙන ගෙන ඒම බොහෝ අයගේ සිරිතයි.

එවැනි දිනක ගෝනියක ගැට ගසා ගෙන ආ සර්පයා හඳුනාගෙන බෙහෙත් නියම කළ පසු අප වාට්ටුවට අලුතෙන් පත් වී ආ සීමාවාසික වෛද්‍යවරයා ද එදෙසට පැමිණියෙන්, "මේ බලන්න මේ මල්ලේ" යැයි කීවා පමණි. ගෝනිය ඇතුල කඩි මුඩියේ බැලූ ඔහු කපා හෙළූ කඳක් මෙන් අසල පුටුව මත වැටුනේ බුදු අම්මෝ යැයි කියමිනි. හේතුව ඔහු තුල සර්පයින් ගැන තියෙන්නා වූ දැඩි බිය යි. අප එය නොදැන සිටියෙමු.

මග මරුවා නමින්ම හැඳින්වෙන තෙල් කරවලා, වැලි පොළඟා, තිත් පොළඟා, පොළොන් තෙලිස්සා යන මේ සර්පයන් බොහෝ විට හමුවෙන්නේ වියළි සහ ශුෂ්ක කලාප වලින්.... ඒ කියන්නේ අනිත් කොනේ දීත් මේ අය නිතර දෙවේලේ මුන ගැහුණු කොට්ටාශයක්... ඒ හැරුණු කොට නාගයා සහ මුදු කරවලා නම් තෙත් වියළි හැම ප්‍රදේශයකම ඉන්නවා.


නාගයා අධික විෂ සහිතය. ස්නායු පද්ධතිය අකර්මණ්‍ය කරන විෂ සහිතය. මාංශ පේෂී දුර්වල වීමත්, ඇස් පියන් ඇරීමට නොහැකියාවත් ඇතිවේ. සියලු මාංශ පේෂී සහ ස්නායු පද්ධතියේ අකර්මන්‍ය තාවය නිසා ශ්වසනය, ආහාර ගිලීම අපහසුවේ. පහත වගුවේ ඔවුන් දශ්ඨ කළ විට පිටත දක්නට ලැබෙන ලක්ෂණ සහ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන තත්වයන් විග්‍රහ කරයි.



රසල්ස් වයිපර් හෙවත් තිත් පොළඟා තමයි වැඩි පුරම අප වෙත ගෙන එන අය රැගෙන එන්නේ... තිත් පොළං විෂ ශරීර ගත වුණු විට බලපාන්නේ රුධිර සංසරණ පද්ධතියටය. ලේ කැටි ගැසීම නවතී. මූත්‍රා සමග ලේ පිටවීම සමග වකුගඩු අකර්මණ්‍ය වීම ද සිදුවේ. විදුරුමස් වලින් පවා ලේ ගැලීම් සිදුවිය හැක. මුහුණ ඇස් ඉදිමේ. එවැන්නවුන් හට රුධිර කැටි ගැසීම පරීක්ෂා කිරීම සිදු කළ යුතුය.





වාට්ටුවේදී.. කුඩා ලේ පරීක්ෂා කරන්න ගන්නා බෝතලයක අඩියට රුධිරය 1-2 මිලි ලීටර පමණ දමා මිනිත්තු විස්සකින් හරවා බැලීමෙන් රුධිරය කැටි ගැසෙනවාද නැද්ද යන්න පැහැදිලි ලෙස දැකිය හැක. ඉතින් එහෙම නොවුනොත් වහාම යලිත් බෝතලයකට ලේ දමා පරීක්ෂා කර තහවුරු කරගෙන. රුධිරය කැටි නොගැසෙන්නේ නම් පොළොං විෂ නයි විෂ සඳහා නිපදවූ විෂ නසන බෙහෙත් ශරීර ගත කළ යුතුය. මේ ක්‍රියාවලියේදී, anaphylaxis ඇනැෆිලැක්සිස් හෙවත් එම ඖෂධ සඳහා ශරීරයේ ප්‍රතික්‍රියාවක් සිදුවිය හැකි හදිසි ජීවිත තර්ජන තත්වයක් නිසා කෝකටත් අපි හදිසි අවස්ථාවකදී භාවිතයට ගන්නා ට්‍රොලිය සහ ඖෂධ සියල්ල ලෑස්ති කරගෙන සිටින්නෙමු. 






හැබැයි මා කායික රෝග වාට්ටු වල වැඩ කරන කාලය තුල කිසිම විටක එවැනි හදිසි අවස්ථා ඇති වුනේ නැත. අපි සමහර විට එක වර රෝගීන් දෙදෙනා තුන්දෙනා තබාගෙන ප්‍රතිකාර කර තිබේ.

මේ අය හඳුනාගන්න හැකි... ජායාරූප සහ විෂ ඇතුල් වෙන ස්ථානයේ ලක්ෂණ සහ ඉන්පසු විෂ නිසා ඇති විය හැකි රෝග ලක්ෂණ අඩංගු විශාල පෝස්ටර් අපේ වාට්ටුවේ ඇතුල් වෙන තැනම අලවා තිබෙනවා. එනිසා අපට ද එය මහත් ඉස්පාසුවක් .... ගෙනෙන සර්පයා හඳුනාගන්න අවශ්‍ය ජායාරූප එහිම තිබෙන නිසා. ඒත් බොහෝ විට සිදුවෙන්නේ.. කුඹුරක හෝ කැලෑවකදී නම් දෂ්ඨ කරන ලද සර්පයා වෙනුවට අසල සිටින ඕනෑම සර්පයකු ගෙන එන එක ය. එනිසා ගෙන එන සර්පයා අනුව නොව ඇතිවන ශරීර සංකූලතා ආබාධ ගැන ද සැලකිල්ලට ගත යුතු ය. 

 තෙල් කරවලයා උග්‍ර විෂ සහිත සර්පයෙක්  හැබැයි සපා කෑ ස්ථානය ඉදිමෙනවා.   බොහෝ විට නින්දෙන් පසු කෘමි සතෙකු සපා කෑවාක් වැනි රිදීමක් මිසක් තුවාල ලකුණක්වත් සොයා ගන්න බෑ මුදු කරවලා සපා කෑවොත්
  
සමහර මිනිසුන් සතා සිවුපාවුන් සමග සංහිදියාවෙන් ජීවත් වීම ගැන නොදන්නේ දැයි මට සිතේ. දෝරේ ගලන වතුරේ පීනමින් එන පොළඟුන් නම් අප නේවාසිකාගාරයේ පඩිය අසලින් ද ඇදී යයි. ඔවුන්ගේ ගමන ඔවුන් යන තුරා අපේ ගමන නවත්වා සිටිය යුතු වේ. මගේ පියා පැවසුවේ අපෙන් කරදරයක් නොවන තාක් ඔවුන්ගෙන් කරදරයක් නොවන බව ය. මෙය කෙතරම් ඇත්ත් දැයි මට සිතේ. එහෙත් බොහෝ විට සිදුවෙන්නේ කුඹුරක හෝ අවට වන පඳුරු ගහණ පෙදෙසක නොපෙනීම නිසා නොදැන ඔවුන් මත පා තැබීම ය.

28 comments:

  1. එතකොට ලෙප්ටොස්පයිරෝසිස් නොහොත් මී උණ මීයන්ගෙන් විතරක් හැදෙනවයි කියලා හිතන එක වැරදියි නේද?

    මමත් සර්පයන්ට අකමැතියි. සමහරු මකුලුවන්ට බයයි. සර්පයන්ට එච්චරම බය නෑ. මට ඒකෙ අනිත් පැත්ත.

    අපි දැක් ටිකකට කලින් බෝධිනී ගැන කතා කරමින් හිටියා ස්කයිප් එකෙන්. බෝධිනීගෙ කෑල්ලක් කැඩුනු ලිට්මන් ස්ටෙත් එකේ කතාව ගැන. ඒ කතාව හොයා ගත්තා. නමුත් මට මතකයි ඒක දුන්නෙ තාත්තා කියලා. කෝ එහෙම එකක් දැන් කතාව බැලුවම බැලුවම නෑනේ.

    ReplyDelete
    Replies
    1. හායි ඩූඩ්... අනේ ඒ කතාවේ ඉංග්‍රීසි එක තියෙනවා ... කැඩුණු වෙද නලාව කියන එක තියේද බලන්නම්. ඒක අරන් දුන්නේ අප්පච්චි තමයි. මේ ගිය සතියෙත් අවුරුදු 10ක් පරණ නළාවේ ඔය දාපු කෑල්ලම කැඩිලා ආයෙත් දැම්මා... කන් දෙකේ දාන ඉයර් පීස් දෙකත් දැම්මා. ඉතිරිය තාම හොඳින් වැඩ

      Delete
    2. https://anithkona.blogspot.com/2013/04/blog-post_18.html අප්පච්චි අරන් දුන්න බව ලීවේ ෆේස් බුක් එකේ හෝ ඉංග්‍රිසී ලිපියේ විය හැකියි. මේකේ ඒක නෑ තමා ඇඩ් කළ යුතුයි.

      Delete
    3. ස්තුතියි බෝධිනී. ලින්ක් එක ලැබුනා. ඔව්. අප්පච්චි ගැනත් සිංහල එකට දැම්මාම වටිනාකම වැඩියි. ඒ එක්කම මෙන්න මේ ගැටලුවත් ලිහන්නකෝ.

      "මේ මගේ පළමු ස්ටෙතසය. මෙය ලැබෙනකම් මම පාවිච්චි කලේ ලාභ බොහොම ප්‍රාථමික වෙද නළාවක්."
      එතකොට ඒ ප්‍රාථමික නලාව පළවෙනි එක වෙන්න ඕනෙ නේද ඒකයි ඔයාගෙම නම්?

      Delete
    4. ඔව් ඒක මිස්ටේක් එකක් එතකොට මේක දෙවෙනි එක..

      Delete
  2. අත්දැකීම් සහ වටිනා කරුණු රැසක් බෙදා ගත්තාට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ අදහසටත් මෙහි ආවටත්

      Delete
  3. හ්ම්, එකත් කියෙව්වා , මේකත් කියෙව්වා. සර්පයෙක් දැක්කේ නෑ අවුරුදු ගාණකින්. මේ සාවියේ එයාල නෑ, කකුල් දෙකේ උන් නං ඕසෙට

    ReplyDelete
  4. ඕක මොකක්ද අනේ... ඔයිටත් වඩා විෂ සහිත පිරිසකට නේ ඔහේලා බෙහෙත් කොරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා... බෙහෙත් අරන් හොඳ උනාම බැනලා යන පිරිසකුත්.. බෙහෙත් කරද්දී බනින පිරිසකුත් ඉන්නවා තමා...

      Delete
  5. ඩොක්, දිවිමකුළුවා ගේ විශ තත්වය කොහොමද? මේ ඊයෙ පෙරේදත් ආවනෙ අපිව බලන්න කෙනෙක්.
    ලංකාවෙ පිරිසක් සර්පවිශට වඩා හොඳ ක්‍රියාකාරී ප්‍රතිවිශ එන්නතක් නිපදවූ බව ආරංචි උනා.ඒකෙ වර්තමාන තත්වය කොහොමද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිවිෂ ගැන ආරංචියක් නෑ තවම .. :(

      Delete
  6. ඕවත් විෂද අනේ ඔහේලා හැමදාම බේත් කරණ සත්තුන්ගෙ විෂත් එක්ක ගත්තාම....

    ReplyDelete
  7. සර්පයෝ එක්ක මගෙත් කිසිම පයුරුපසානමක් නැහැ.දැක්ක තැන ගහලා දාන්න හිතෙන්නේ උන්ට තියෙන බය නිසා.උන් අපිට දෂ්ට කරන්නෙත් ඒ නිසා වෙන්න ඇති.

    ReplyDelete
  8. සර්පයාගේ වර්ගය අනුව ඇන්ටිවෙනම් වෙනස් වෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ අපිට තියෙන්නේ කෝකටත් තෛලය වගේ වර්ග පහකින් හැදූ ඇන්ටි වෙනම් එකක්.... මම හිතන්නෙ සෑන්ඩ් වයිපර් ට විතරයි එන්නත් කරන්න බැරි...

      Delete
  9. මේක නම් මටත් වැදගත්.මොකෝ මම සර්පයන්ට පට්ට අකමැතියි.
    වෙලාවට මේ රටවල ලංකාවේ වගේ සරපයෝ නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙම ද? කොහොමද ඒ රටවල සර්පයෝ නැති වුනේ... මිනිස්සු විසින් මරා දාල ද?

      Delete
  10. වරක් සර්පයෙක් දෂ්ඨ කිරීම නිසා විසඥවූ රෝගියෙකු මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයට ගෙන එන ලදි. එදින මා සේවා මුරය ආවරණය කලෙමි. මම සේලයින් බෝතලයක් රෝගියාගේ ශිරාවකට සම්බන්ධ කොට ඔහුට හුස්ම ගැනීම පහසුවට ඇම්බු කලෙමි. ඒ අතරවාරයේ රෝගියා රැආ මෝඩ පහේ තරුණයෙක් " සර් මේ තමයි අපේ විමලේ අයියාව කාපු සරපයා " කියා ලක්ස්ප්‍රේ ටින් එකක දමා සිටි සර්පයෙකු මගේ මේසය මතට හැලුවේය​.

    මේ සර්පයා පත සයිස් නාගයෙකි. ඌට පහර දී අඩපණ කොට තිබුනද මේසය මතට වැටුණු නයා පණ ගසාගෙන විත් පෙනේ කරන්නට විය​. මේ දසුන දුටු ඕපීඩී හෙදිය මරහඞ දී දිව ගියාය​. මමද පුටුව පෙරලාගෙන ඕපීඩී කාමරයෙන් දිව ගියෙමි. ඉන් පසුව ට්‍රොලියක දමා සිටි රෝගියාව ඕපීඩී කාමරයෙන් ඉවතට ගත්තෙමි.

    පොළු පාරවල් වැදී අඩපණවී සිටි නයා ක්‍රමක් ක්‍රමයෙන් පණ ගසාගෙන එයි. උගේ පෙනයේ ඇති ප යන්නද හොඳින් පෙනේ. "සිසිරට කතා කරන්න" මම කෑගැසුවෙමි. සිසිර බාහිර රෝගී අංශයේ සේවය කරන මේල් නර්ස් කෙනෙකි. ඔහු ඕනෑම දෙයකට ඔට්ටු අයෙකි. අපගේ අභාග්‍යකට මෙන් සිසිර පේන තෙක් මානයක නැත​.

    නයා මේසය මත දරණ ගසා ගෙන සිටියි. නයාව ගෙනා තරුණයා කොස්සක් රැගෙන යළිත් නයාට පහර දීමට යයි. මම ඔහුව ඉවතට ගත්තෙමි. අපගේ වාසනාවකට මෙන් එදා රෝහල් පොලිසියේ සිටියේ අහිංසක පොලිස් වූ ආරියරත්න රාලහාමි නොව කොච්චිකඩේ පොලිසියේ නැඩ රාලහාමි කෙනෙකි. ඔහු තරුණයාගෙන් කොස්ස අරගෙන නාගයාට දුන්නේ එක පහරකි. එයින් නාගයා ජන්මාන්තර ගත විය​. ඉන්පසු සුරක්‍ෂිතව නයි කුණ ලක්ස්ප්‍රේ ටින් එකට දමා පියන තද කල රාලහාමි මෙය රෝහලේ කුණු පුච්චන ස්ථානයට ගෙන යන ලෙස කම්කරුවෙකුට භාර දී නාගයා අපරික්‍ෂාකාරීව මගේ මේසය මතට හෙලූ තරුණයාට බැණ වැදුනේය​.

    කෙසේ නමුත් නාග කලබලයෙන් පසු අප සුරක්‍ෂිතව රෝගියා වාට්ටුවට යැව්වෙමු. ඉන් පසු මම වෛද්‍ය අංශයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී සුජීව අමතා රෝගියාගේ තත්වය ගැන ඔහුව දැනුවත් කලෙමි. වෛද්‍ය සුජීව පැමිණ රෝගියා බලා නිසි ප්‍රතිකාර කොට රෝගියාගේ ජීවිතය බේරා ගත්තේය​.

    ReplyDelete
    Replies
    1. ස්තූති...පණ පිටින් සර්පයින් ගෙන ආ වාරද අනන්තයි. ඒත් ඔහොම නම් දේවල් වුනේ නෑ....

      Delete
  11. සර්පයන් සමග සහජීවනයෙන් වසන්ඩ අමාරුයි.දරුණු ආයුධ තියෙන උන්දැලා කොයි වෙලේ කෙළලා අරියිද කියලාහිතන්ඩ අමාරුයිනෙ.

    ReplyDelete
  12. නියමයි ...
    නයාට වැඩිය විස සර්පයෙක් ඉන්නවා ...ගරැඩියා වගේ ඔලුව ගොම වල බිත්තර දාන්නේ..නම මතක නැහැ

    ReplyDelete
  13. සර්පයෝ කියන්නේ හරි අහිංසක සංවේදී සත්ත්ව කොට්ටාසයක්. අපි උන්ගේ තැනට වැදිල උන් අපට ගැහුවා කියනවා.
    මෙන්න උන් ගැන ටිකක්
    http://theanimalpalnet.blogspot.com/2015/02/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ආ එකටත් අදහස් දැක්වීමටත්

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !