Tuesday, May 5, 2015

මේ බෙහෙත නැද්ද ?

ඉස්පිරිතාලය එකම දුක් ගොඩකි. ඔවුන්ගේ රෝගාබාද වලට පිළියම් සොයා පැමිණි ගමන් , විඳින දුක් කරදර අප හා පවසති. ඒවා ඇහුම්කන් දෙනවා මිසක සියල්ලන්ටම පිළිසරණක් වන්නට අපට නොහැකිය. ඒ අප පත්ව ඇති තත්වය නිසාය. ලෙඩක් දුකක් වුන වහා රජයේ රෝහල් වලින් නොමිලේ වෙදකම සැපයූවත් බෙහෙත් හේත් අහේනිය නිසා ෆාමසියෙන් මිලදී ගන්න යැයි තුන්ඩු ලැබෙන විට ඔවුන් පත් වෙන්නේ බොහෝ අසීරු තත්වයකටය. දිනක් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ෆාමසියකින් බෙහෙතක් ලබා ගැනීමට ගිය එක්‍තරා වෛද්‍යවරියකට එහි කවුන්ටරය වෙත තුන්ඩුවක් දිගු කරමින් සිටි සීයා කෙනෙක් හා ඖෂධ වේදියා අතර වූ කතා බහ ඇසෙන්න්ට විය.

“මා ළඟ එච්චර ගාණක් නෑ. රුපියල් සීයකට හරියන්න දෙන්න” සීයා පවසයි.

“ මේ එක කරලක් රුපියල් 23ක් වෙනවා, දවස් 5 කට ලියලා තියෙන්නේ හැබැයි එස් පී සී එකේ එක නම් රුපියල් 3.25 යි ඒක දෙන්නම්”

“නෑ ඔය නමම තියෙන බෙහෙතම ගන්න කීවා” සීයා පවසයි.

වෛද්‍යවරිය හඳුනන ඖෂධ වේදියා ඇය දෙසට හැරී. “ ඩොක්ටර් මේ බෙහෙත් දෙකේ වෙනසක් නෑනේ..” ඇයට තුන්ඩුව පෙන්වයි.

“ මම දියවැඩියා ක්ලිනික් එකට එන්නේ නෝනා, කකුලේ තුවාලෙට මේ බෙහෙත ලියලා දුන්නා” සීයා පැහැදිලි කරයි. එය 

තුවාලවලට දෙන ඇන්ටිබයොටික් එකකි. එය සුලභව රෝහල් වල තිබේ. ඔහුට මේ තුන්ඩුව ලියා දී තිබුනේත් රජයේ රෝහලක සායනයකිනි. දියවැඩියා පෙත්තද පිටින් ගන්න යැයි ලියා දී තිබිනි.

“මේවයේ වෙනසක් නෑ තාත්තා. එස්. පී. සී. එක ගාණ අඩුයි” වෛද්‍යවරිය කරුණු පැහැදිලි කර දෙන්නට උත්සහා ගත්තේ ඔහු කෙරෙහි අනුකම්පාවෙනි.

එස් පී සී (SPC) යනු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බෙහෙත්‍ ය. ඒවායේ මිල සාධාරණය.

“වෙන ඒවා අරන් තුවාලේ හොඳ වුනේ නැත්නම්….මං ළඟ රුපියල් එකසිය විස්සයි තියෙන්නේ. දවස් දෙක තුනකට බෙහෙත් අරන් , ආයෙ ඇවිත් ගන්නම්” ඔහු විස්වාස කරන්නේ ලියා දුන් බෙහෙතම ගත යුතු බවය. ඉන් තුවාලය හොඳ වේයැයි ඔහුගේ මනසට කිඳා බැස තිබේ. ඖෂධවේදියාට පිංසෙන්ඩු වෙයි.

“දවස් දෙක තුනකටනම් බෑ එක දවසකට වගේ ගන්න පුළුවන්” ඔහු පවසයි.

“හා එක දවසකට දෙන්න මං ඇවිත් ඉතුරුවා ගන්නම්” මහළු වයසේ ඔහු විඳින දුක් කරදර මැනැවින් ඒ කඳුළු පිරි දෙනෙත් කියා පෑවේය. සීයා රුපියල් එකසිය විස්සක් සාක්කුවෙන් ඇද එදෙස බල බලා කල්පනා කර ඉන්පසු රුපියල් විස්සක් සාක්කුවට දමා ගත්තේය.

වෛද්‍යවරිය ක්ෂණික තීරණයක් ගෙන ඖෂධවේදියා ඈ දෙසට කැඳවා ඔහුට අවශ්‍ය බෙහෙත ඇගේ බිලට ඇතුල් කරන ලෙස පැවසීය.

“ ආ සීයේ ඔක්කොම බෙහෙත් ටික… අර නෝනා අරන් දුන්නා…” වෛද්‍යවරිය බිල් ගෙවන කවුන්ටරයේ සිටින අතර ඖෂධවේදියා පවසනු ඇයට ඇසිනි.

කඳුළු පිසමින් ඔහු පිටව යන අතර වෛද්‍යවරිය ළඟ නැවතී “ ගොඩාක් පින් දුවේ” යැයි පැවසුවේය. 

 මෙවැනි සිදුවීම් නිසා අප හිත් සංවේදී වේ. දෑසට කඳුළු පිරේ. මොවුන්ගේ විශ්‍රාමික වයසේ නිදහසේ බෙහෙත් හේත් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඇවැසි වේ යැයි මට සිතේ. රෝගියාගේ සමාජ තත්වය සහ ආර්ථික අපහසුතා විශ්ලේෂණය කර වඩා සහනදායි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු වේ යැයි මට සිතේ. රෝහල් වලද ඖෂධ ඉවර වෙනකම් ඉන්නේ නැතුව කලින් ඇනවුම් කර ලබාගෙන ඒවා නිකුත් කරන ක්‍රමයක් ඇති කළ යුතුය. 

මීට පෙර කිහිප වතාවක් මේ ගැන බ්ලොග් ලිපි ලියා ඇත්තෙමි... බෙහෙත් නැති වෙනකොට ... එවැනි ලිපියකි. 

28 comments:

  1. ජ්‍යොෂ්ඨ පුරවැසි ආරක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ රාජ්‍යසේවයේ නියුතුව සිට විශ්‍රාම ගත් යට පමණක් ද යන්න ගැටලුවකි. අපේ රටේ වැඩිහිටි ජනගහනය වර්ධනය වෙමින් පවතින බව දැනගන්නට ලැබුණි. ඔවුන්කේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් රජයේ සැලසුමක් ඇද්දැයි නොදනිමි. ජ්‍යොෂ්ඨ පුරවැසියා යන්නට වයස 60ම් ඉක්මවූ සෑම පුද්ගලයකුම අන්තර් ග්‍රහණය විය යුතුය.

    ඖෂධ මාෆියාව අපේ රටේ තවමත් ක්‍රියාත්මක වෙයි. ඉතා මෑතකදී ගෙන ආ ඖෂධ පනතින් විශාල වෙනසක් සිදුවූ බවක් නොපෙනෙයි. ඖෂධ ජාවාරම්කාර වෛද්‍ය වරුන් විසින් රෝගීන්ට වැරදි අදහස් දී ඔවුන්ව බිල්ලට ගැනීම අපරාධයකි. සෑම ෆාමසියකටම එන රෝගීන් දැණුවත් කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුය.

    ReplyDelete
  2. ඔබ යෝජනා කරන සියළු ක්‍රම දැනට වසර ගණනාවකට පෙර සිට පවතින දේවල්ය, නමුත් සැමදා සිඳුවන්නේ ඔබ දක්වා ඇති කතන්දරයයි. එය ලංකාවේ පමණක් නොව වෙනත් රටක වුවද නොමිළයේ සපයන පොදු සේවාවන්ගේ පොදු ලක්ෂණයකි.

    ReplyDelete
    Replies
    1. එකඟයි... මේ දේවල් ගැන දැනුවත් බව අඩුවීම විශාලම හේතුවක්..

      Delete
  3. මේ වගේ සංවේදී සිදුවීම හැම රෝහලකම වගේ අඩු වැඩි වශයෙන් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ... රෝහල් වලට බෙහෙත් ගැනීමට එන්නේ සල්ලිය බාගේ ඇති අය නොවේ... ඒකයි හේතුව...

      Delete
  4. ඔය ප්‍රශ්නේ නම් කතා කරල වැඩක් නෑ අක්කා.
    අවුරුද්දේ ඖෂධ තක්සේරුව කොච්චර මහන්සි වෙලා හැදුවත් මාස ගානක් තියල ඖෂධ ඇණවුම් කලත් ඖෂධ ලැබෙන්නෙ නෑ. සමහර කාල වලට මෙට්ෆෝර්මිනුත් පිටින් ගන්න ලියන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මල්ලී ඇයි එහෙම වෙන්නෙ කියන එක ප්‍රශ්ණයක් !

      Delete
  5. ඒ නමම තියන බේත ගන්න කියන එක වැරදියිනෙ අක්කෙ. එහෙනම් කියන්න තිබුනා, මේ නම ගන්න පුලුවන්නම් හොඳයි, ඒත් බැරි නම් ඒකෙ SPC එක ගන්න කියල.
    මෙහෙම වෙන වාර අනන්තයි නේද.

    ReplyDelete
  6. ඔය කොච්චර කියුවත් මොනව හරි වෙනසක් ඇති.. හොස්පිට්ල් එකෙන් දෙන මෙට්ෆොර්මින් එක වගේ නෙවෙයි රුපියල් දහයක් පහලොවක් දීල කඩෙන් අරන් තව රුපියල් හැත්තෑවක අසූවක මල්ටි විටමින් එකක් එක්ක බොන මෙට්ෆෝමීන් එකෙන් සුටුස් ගාල සීනි බහිනව..අත්දැකීමෙන් කියන්නේ..හැක්..

    ReplyDelete
    Replies
    1. මල්ටිවිටමින් සහ මෙට්ෆොමින් සම්බන්දයක් ඔය ඇහුවමයි... සමහර විට කොලිටියේ වෙනසක් ඇති නමුත් නැති බැරි කම් ඇති මිනිස්සුනේ රජයේ රෝහල් වලට එන්නේ...මට හිතෙන්නේ නම් එහෙම ලොකු වෙනසක් ඇතිවෙන්න ඉඩක් නෑ... රාජ්‍ය ඖෂධ සංස්ථාව ගුණාත්මක බව බලලා නෙව ඕවා ගෙන්වන්නේ...

      Delete
    2. හැක්.. මටයි වැරදුනේ. ඒ කියපු එක මල්ටි විටමින් එකක් නෙවෙයි ඇන්ටි ඩයබැටික් ඒජන්ට් එකක් වන Sitagliptin Phosphate. (කොහෙද ඉතින් දොස්තර විභාගේ පාස් වෙලා නෑනේ.) අර කියූ මල්ටි විටමින් එක දුන්නේ වෙන ලෙඩකට/ වෙන ලෙඩෙකුට. මෙතන ලියනකොට වැරදුනාට බොනකොට හරියට බීල තියෙනවා අවුලක් නෑ. (ඒකත් කෝකටත් කියල රී චෙක් කරා..) ඕකනේ බ්ලොග් කොමෙන්ට් වල වටිනාකම. :)

      Delete
    3. ලේ දෙන්න පුලුවන්. ඒ උනාට මොළේ දෙන්න බෑනෙ. මේ වගේ ගොඩ දොස්තර ලෙඩ්ඩු එන්න එන්නම වැඩි වෙනවා.

      Delete
  7. මෙතන ප්‍රධානම ප්‍රශ්ණේ නම් මට පේන හැටියට අර බෙහෙත් ලියවිල්ලේ සහ ඒ බෙහෙතම ගන්න පෙළඹවීම තුලයි තියෙන්නේ. ඔතන අර placebo effect එකත් ඇතිවෙන තැනට කටයුතු යෙදිලනේ තියෙන්නේ.

    අනික තමයි අපේ රටවල දකින්න ලැබෙන රෝගියාගේ ඇති රෝගාබාධ, බෙහෙත් සහ ප්‍රතිකාර ක්‍රියාවලිය ගැන ඇති අනවබෝධය. ඒ අවබෝධයෙන් රෝගියව පුලුවන් තරම් දුරස් කරලා අඳුරේ තියන්න උත්සාහ ගන්නෙත් අර කලින් වැ‍රැද්දට වග කියන්න ඕනේ කෙනාම තමයි, නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ඩූඩ්... ඊළඟ ජෙනරේශන් එකේ ඉඳන් ඔය ප්‍රශ්න අඩු වෙයි.. නෙට් යන කියවන හොයන පිරිසක් බිහිවෙලා ඉන්න නිසා

      Delete
    2. ඒ වුනාට ලාංකික වෛද්‍යප්‍රජාව නෙට් යන කියවන ඒ යන්ග් ජෙනරේෂන් එක එන්කරේජ් කරනවද ඩිස්කරේජ් කරනවද ? ලංකාවේ වෛද්‍ය උපාධිදාරීන් මෙන්ම විදේශන්හිදී උපාධි ගෙන පැමිණ සේවය කරන අයත් එකම විදියට රෝගීන්ව අඳුරේ තියන්න හදන බව තමයි පෙනෙන්නේ. ඒ නිසා මට නම් හිතෙන්නේ මෙය GMO එකේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන මාෆියාවක් කියල.

      (ෆර්මකොලොජි පැත්තෙන් බලනවා නම් වෙළඳ නාමික ඖෂධ වල වැඩි ගුණාත්මක භාවයක් තිබෙන්නට පුළුවන් බව ප්‍රකාශ වෙනවා. //එක උදාහරණක් doi: 10.4103/0976-500X.120972 // මම හිතන්නේ වෙළඳ නාමික සහ ඖෂධ නාමික කියන වෙනස බොහෝ දෙනෙක් හොදින්ම දන්නා උදාහරණක් ලෙස සාමාන්‍ය OCP සහ යස්මින් OCP සංසන්දනය කල හැකියි. ඖෂධයක් ලෙස ගත කල මේ දෙකෙන්ම බලාපොරොත්තුවෙන කාර්යය නිසියාකාරවම හොඳින්ම සිද්ද වෙනවා. නමුත් ශරීර බර වැඩිවීම වැනි අතුරු ඵල ගැන බැලුවම යස්මින් වල අතුරුඵල ඉතාමත්ම අඩුයි. මිලත් ඒවගේමයි යස්මින් 10 ගුණයක් පමණ මිල වැඩියි. බොහෝ ඖෂධ වල මේවගේ අවස්ථා දකින්න පුළුවන්. ඔග්මන්ටින් සහ co -amoxy-clav ගත්තත් bioeqlence පැත්තෙන් මේවගේ වෙනස්කම් තිබෙනවා. දත් පිරවුම් ගැන බැලුවත් කොම්පොසිට් සහ ඇමල්ගම් බැලුවොත් දිගු පැවැත්ම සහ විෂසහිත වීමේ හැකියාව අතර ගැටීමක් තිබෙනවා.) මේ වෙනස නම් ධනවත් රටවල මිනිසුන් අපේක්ෂා කරන්නේ දිගුකාලීන නිරෝගී ජීවිතයට වෙළඳ නාමික ඖෂධ වල කුඩා හෝ තල්ලුවක් තිබෙන්නට පුළුවන්. එත් තමුන්ගේ රෝගයට බෙහෙතක් ගන්න මුදල් නැති අපි වගේ මිනිස්සුන්ට දිගු කාලීන ජීවිතයට වැඩිය ඒ මොහොතේ ජීවිතය නිරෝගීව පවත්වාගෙන යාම වැදගත් නිසා අපට ඖෂදීය නාමයන් වඩා ගැලපෙනවා. නමුත් මිල මුදල් තිබෙන අයට සුපිරි මිලක් ගෙවා ඖෂධ ලබාගැනීමට අවශ්‍ය දැනුවත්කම සහ පරිසරය හැදීමත් ඒ සමගම වෙන්න ඕනේ. හිපොක්‍රටීස් කියපු විදියටම, ඖෂධයක් දෙනකොට රෝගියා වාඩි වුන ගමන් ලියල දෙන්නේ නැතුව එකෙන් මොකද වෙන්නේ, කොහොමද රෝගය සුව වෙන්නේ වගේ දේවල් රෝගීන්ට දලවශයෙන් හෝ පැහැදිලි කරදීම තමයි මේකට හොඳම විසඳුම.

      රෝහල් අධ්‍යක්ෂකවරයාගේ සිට කම්කරුවා දක්වා ලාංකික සෞක්‍ය සේවකයෝ හිතන්නේ සෞක්‍ය සේවය කියන්නේ මිනිස්සුන්ට පිනට දෙන දෙයක් කියල. එත් මේක පෙර ගෙවුම් සේවක බවත් එහි පෙර ගෙවුම් කරුවන්ට තම ගෙවූ බදු මුදලට සේවය ලබාගැනීමේ අයිත්යක් ඇති බවත් තහවුරු කල යුතුයි. දැන් වෙන්නේ මේවා පිනට දෙන ඉස්පිරිතාල කියල නිදහස් සෞක්‍ය කියන ලේබලේට මුවා වෙලා මිනිස්සුන්ට ගුණාත්මක නොවෙන පහල සේවක දීල සේවකයෝ සහ නිලධාරියෝ බඩ වඩා ගැනීම. මිනිස්සු වෙනුවෙන් රාජ්‍ය සෞක්‍ය රක්ෂණයක් ඇතිකර, සියලු රෝහල් තමන් විසින්ම වත්කම් උපයාගෙන ස්වාධීනව පවත්වාගෙන යායුතුය යන ජපන් සෞක්‍ය ප්‍රතිපත්තිය වැනි වගකීම් සහගත වෙනසකට මුලපුරන්න පුළුවන් උගත් දැනුවත් ශක්තිමත් සෞක්‍ය ඇමතිවරයෙක් පත්වෙන දවස වෙනකම් මේක ගැන කොඉයිතරම් කතාකලත් පලක් වේවි කියල මම නම් හිතන්නේ නැහැ.

      එත් ඔබ කරන්න හදන වෙනසට ගරු කරමි.

      Delete
  8. කතාකරලා වැඩක් නෑ අක්කා ඒ ගැන නම්. හැබැයි බ්‍රෑන්ඩ් එකේ නමින් ඒ බෙහෙතම ගන්නැයි බල කිරීම රජයේ සායන වලත් වෙනවා කියල දැනගත්තෙ අද. :/

    ReplyDelete
    Replies
    1. සමහරු අතින් සමහර විට එහෙම වෙනවා ඇති.. අර තුණ්ඩුව දැකපු වෛද්‍යවරියටත් එහෙම හිතුනා... සාමාන්‍යයෙන් එහෙම බ්‍රෑන්ඩ් නේම්ස් ලියන්න තහනම්

      Delete
  9. ඔතන තියෙන්නෙ ඕනෙකමින්ම රෝගියගෙ නොදැනුවත්කමින් ප්‍රයෝජන ගන්න එක... සමහර වෙලාවට මේ දොස්තරල හිතන්නෙ සාමාන්‍ය මිනිස්සු මෙලෝ දෙයක් නොදන්න අය ගානට... ඒ වගේම සමහර වෙලාවට ඒ අය ඉස්පිරිතාලෙ තියෙන හැම එකක් ගැනම දැනගෙන බෙහෙත් ගන්න ඇවිල්ල තියෙනව වගේ වැඩ කරනව.... මේ පළවෙනිද අපේ මහත්තය බයිසිකලෙන් වැටිල අත කඩා ගත්ත.. ඒ වෙලාවෙ ගෙනියන්න ළඟම තිබ්බෙ හෝමගම ඉස්පිරිතාලෙ... පළවෙනිද හවස ඇඩ්මිට් කරපු ලෙඩාගෙ අතේ එක්ස්රේ එක ගත්තෙ පහුවෙනිද උදේ 11ට ... එවෙල ඉඳන් අහන අහන ගානට උත්තර දහයක් විතර දුන්න... ඒ උනාට එක්කෙනෙක්වත් මේ මනුස්සයගේ අතට වෙලා තියෙන්නෙ මොකද කියල හරියට අපිට කිව්වෙ නෑ.. ඊළඟ දවසෙ දවල් 12ට කියනව ඇඟිල්ලක් කැඩිලලු.. ඒක හදන්න කළුබෝවිල යවන්න ඕනෙලු... ඇමිබියුලන්ස් එකක් ලෑස්ති කරන්න හවස 4 විතර වෙනවලු... ඒ පාර මං කෑගැහුව දැන් දවස් දෙකක් තිස්සෙ මේ මනුස්සය ඉස්පිරිතාලෙ ඉන්නව.. අඩුම ගානෙ අතට බැන්ඩේජ් එකක් දාලා අත බෙල්ලෙ වත් එල්ලුවෙ නෑ නේ කියල... ඒ පාර කියනව අපි ඇන්ටිබයොටික් දුන්නලු... මට නේද ඉතිං... ඒ පාර කියනව මෙහෙ orthopedic consultant කෙනෙක් නැහැලු.. මං ඇහුව එක්ස්රේ එක අරගෙන දවසක් ඉන්න උනාද ඔය ටික කියන්න කියල... පස්සෙ කෑහගල කළුබෝවිල ගෙනිච්ච අපෙ වාහනෙන්... ඊළඟ දවසෙ අතට බැන්ඩේජ් එක දාලා ගෙදර එව්ව... අර යක්කු ටික තව ටිකෙන් මේ මනුස්සයගෙ ඇඟිල්ල කපන්න වෙන තැනට වැඩ සිද්ධ කරනව... ( මට මීට මාස දෙකකට කලින් හෝමගම හොස්පිට්ල් එක ගැන හොඳ චිත්‍රයක් තිබ්බ... ලියන්න හිතාගෙන හිටියෙ හොඳ පෝස්ට් එකක්.. ඒ උනාට ඔන්න අද වෙනකොට තත්වෙ... ආණ්ඩු මාරුවත් එක්ක වෙච්ච ස්ටාෆ් මාරුවීමුත් මේ කේස් එකට බලපාලා.. මොකද ගොඩක් නර්ස්ල අලුත්ම අය.. අඩුව ගානෙ වාට්ටු බාර දොස්තරගෙ නම වත් දන්නෙ නෑ... ලෙඩ්ඩු ගැන කුමන කතාද ඉතිං...)

    ReplyDelete
    Replies
    1. //ආණ්ඩු මාරුවත් එක්ක වෙච්ච ස්ටාෆ් මාරුවීමුත් මේ කේස් එකට බලපාලා// ඒක නම් ඔයා ඔය බොලේ වෙන කාට හරි පාස් කරන්න කියන්නේ. NTS එකෙන් අවුට් වුන ගමන් ආපු නර්ස්ල නෙවෙයි නේ. වෙන ඉස්පිරිතාලෙක වැඩ කරපු අයනේ ඉන්නේ මාරු වෙලා ඇවිත් හිටියත්. එයාල බබාලන්තේ ඉස්පිරිතාලේ හිටපු අය වෙන්න බැහැනේ ? බෝලේ කාටවත් පාස් කරන්න එපා. මීට අදාල නීති රීති සංශෝධනය කරලා හරි හැටි කීප දෙනෙකුට ක්‍රියාත්මක කළා නම් ඕව වෙන්නේ නැහැ. ලංකාවේ ඉන්නේ තමුන්ගේ වැරැද්දෙන් ගෑනු ළමයෙකුගේ අත කපන්න වුන එකට චෝදනා පත්‍ර බාර දුන්නම එකට විරුද්දවත් වෘත්තීය කියාමාර්ග ගන්න දොස්තරගොල්ල නේ. ඉතින් පනින රිලවුන්ට ඉනිමන් තියල නිදහසට හේතු හදල දෙන ඔයාලත් මේවගේ ආකල්ප වලට හවුල් කාරයෝ.

      Delete
  10. නොදන්න නිසා පොඩි ප්‍රශ්නයක් අහන්නං. ඔය විවිධ නම් වලින් තියන බෙහෙත් වල වෙනසක් ඇත්තේම නැද්ද?
    තවත් පැහැදිලි කරන්නං උදාහරණයකින්.
    මගේ පුතාට අසනීප වෙලා දීපු බෙහෙතක් ගැන ඇහුවම වෛද්‍යවරයා කිව්වෙ සාමාන්‍ය ළමා පැනඩෝල් වලට වැඩිය කැල්පෝල් හොඳයි වගේ කතාවක්. තවත් දවසක පැරසිටමෝල් වෙනුවෙන් වෙනත් නමක (නම මතක නෑ) බෙහෙතක් දීල කිව්ව ඒක ගන්න කියල. මේව‍ායේ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. රැපිඩීන් ද ? ඒක නම් කෝඩෙන් පොස්ෆෙට් ස්වල්පයක් එක් කිරීමෙන් වැඩිදියුණු කරපු එකක්.

      Delete
    2. කැල්පොල් දෙන එකනම් හොඳයි පොඩි ළමයින්ට පැනඩෝල් දෙනවට වැඩ. පොඩි ළමයින්ට විශේෂ මාත්‍රාවක් නිසා. නියුරෝෆෙන් වලත් ඒ ජාතියේ ළමා එකක් තිබෙනවා. උන වැඩි වුන වෙලාවට අපි මාරුවෙන් මාරුවට දෙනවා මොකද එකම බෙහෙත ආයි තව පය 4-6 කට පස්සේ දෙන්න වෙන නිසා.

      Delete
    3. අනිත් කොණ උත්තරයක් දෙන්න කලින් මැද්දට පැන්නොත් මෙහෙම දෙයක් නම් තියෙනවා රාජ්. ඔය ඉන්දියාවෙන් ගේන සමහර බේත් හදන හැටි ගැන මම නැට්ජියෝ වැඩ සටහන් හෙම බලලා තියෙනවා. සමහර බෙහෙත් හදන්නේ ගෘහකර්මාන්තයක් හැටියට සබ්කන්ට්‍රෑක්ට් වගේ දීලා. අර බීඩි කොම්පැණිය ගෙවල් වල ඔතන බීඩි අරන් ලේබල් ගහනවා වගේ. සමහර ඒවායේ කිසිම ප්‍රමිතියක්, පිරිසිදුකමක් නෑ. මමත් විකල්පයක් නැතිනම් තමයි ඉන්දියානු බේත් ගන්නේ. රත්මලානේ හදන අපේ බේත් එතකොට SPC බේත් හෙම ගන්න අපි එහෙම දෙවතාවක් හිතන්නේ නෑ. මම හිතන්නේ නැ හැම ඉන්දියානු බෙහෙතක්ම එහෙම ඇති කියලා. නමුත් පරිස්සම වඩා හොඳයිනේ.

      Delete
    4. ප්‍රතිපත්තියක් වශයෙන් බ්‍රෑන්ඩ් නේම්ස් ගැන සාකච්ජා නොකරමි. එනිසා උත්තරයක් දෙන්න අමාරුයි මා ඉහත කතාවෙන් කියන්න අදහස් කලේ මිනිසුන්ගේ තියෙන අමාරුකම් සහ අපේ සිස්ටම් එක ගැනයි.

      Delete
  11. බෙහෙත් සමාගම් ආණ්ඩුවලට වඩා බලවත් කවුරු කොහොම කිව්වත් බෝ අක්කේ

    ReplyDelete
  12. I work for a pharma company in Australia. Yes! there is a difference! It comes with the manufacturing QC and Regulatory standards set out by individual countries.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !