Wednesday, April 29, 2015

කිරි මිරිකන නහය අදින ආච්චිලා....

 ලියන්න බොහෝ දේ හිතට දැනෙනකොට.. මේ කතාව ලියන්නම ඕනේයැයි හිතත් හිතනකොට..බ්ලොග් එකක් තිබුනා යැයි යාන්තම් මතකෙට නැගෙනකොට.... ගතවෙන කාර් යය බහුල සොඳුරු එහෙත් නිදි වර්ජිත කාලයේ, වේලාව සමග සටනේ යෙදෙනකොට.... මට බ්ලොග් එකක් තිබුනු බවත් බ්ලොග් ලියූ බවත් දැන් නොලියන බවත් මතක් කර දුන් සොඳුරු සහෘදයින් නිසාම මතකෙට නැගෙන අනිත් කොන කතා හෙමි හෙමින් අකුරු කරමි.


නොනවත්වා හඬන කිරි දරුවෙක් සමග ඇය අප වාට්ටුව වෙත එවා තිබිනි. "මොකද උනේ අම්මා" අපේ ප්‍රශ්න හමුවේ ඇය දරුවා හැඳ සිටි කුඩා බබා ගවුම ගලවා දරුවාගේ පපුව අපට පෙන්නුවාය. මේ දින පහක් වයසැති ළදරුවාගේ කුඩා පපු පෙදෙස ඉහළට එසැවී රතු වී තිබිනි.. බැලූ බැල්මට ආසාදනයක ලක්ශන මෙන්ම ඇතුලේ සැරව පිරී ඇති අයුරුත් දකින්න ලැබිනි. මසකට කීප වරක් මෙලෙස ඉදිමුනු කුඩා පපු පෙදෙස් සහිත ළදරුවන් රැගෙන එන මව්වරු බොහෝය. ඒ හැමෝගෙම ඇත්තේ එකම කතාවකි.

මුලදී මා කෙලින්ම අසන්නේ " කවුද කලේ ඇයි කලේ වශයෙනි."  එවිට ඔවුන් බිය වී "නෑ අපි නම් ඇල්ලුවේවත් නෑ "යයි පවසති.
නමුත් මගේ හිතවත් හෙද සොයුරියක් පැවසුවේ "ඩොක්ටර් ඔහොම අහලා බෑ. අහන්න ඇයි අම්මා කිරි මිරිකුවේ නැද්ද ? " කියලා, එතකොට පැනලා උත්තර දෙයි.. යනුවෙනි.
මා ඒ ක්‍රමය අත් හදා බැලුවෙමි. හැමෝම හරි හරියට ඔවුන් කළ දේ පවසයි.

" ඔව් ඩොක්ටර් මිරිකලා ඇරියා"
 " කවුද එහෙම කරන්න කීවේ ?"
" අපේ අම්මා/ ආච්චී/ නැන්දම්මා" යනුවෙන් බොහෝමයක් උත්තර දේ.

කුඩා ළදරුවන් නහවද්දී, අපේ ආච්චිලාට හරි හරි වැඩ තිබේ. පියයුරු පෙදෙස මිරිකා කිරි ඉවත් කිරීම ඉන් එකකි, කකුල් වල බකල යැවීම, නහය ඇද ඇද මුක්කන් යැවීම තව එකකි, පෙකනියට , පිරිමි දරුවන්ගේ වෘශණ කෝෂ වලට ගම්මිරිස් පිබීම තව එකකි. මේවායේ ප්‍රති විපාක අප අඩුවැඩි නැතිව විඳින බව පමණක් මට පෙනේ. කිරි මිරිකූ ආච්චිලා පෙරටු කොටගෙන පැමිණෙන අම්මලා ට එසේ නොකරන ලෙස උපදෙස් දෙන්නට වෙන විට දරුවාට සිදුවිය හැකි කරදර සියල්ල සිදුව අවසානය.

 පෙර කල පටන් පැවති මේ සිරිත මෙසේ කරන්න එපා යැයි දැන් කොතෙකුත් අවවාද දුන්නද පැරැන්නෝ ඒවා ඒ අයුරින් කරන්නට තතනති. අවසන කුඩා ළදරුවන්ගේ පියයුරු පෙදෙස් ආසාදනයට ලක්ව, කැපුම් කෙටුම් සැත්කම් කරන්නට සිදුවේ.අලුත උපන් බිළිඳුන්ගේ මෙලෙස පියයුරු වලින් කිරි පැහැති ශ්‍රාවයක් ගැලීම සාමාන්‍ය තත්වයක්. මෙය රෝගයක් නොවේ. මවගේ තියෙන හෝමෝන දරුවාට යන නිසා මෙවැනි තත්වයන් ඇතිවේ. අපේ රටේ මේ ආච්චි අම්මලා ඒවා මිරිකා ඉවත් කරන්න ගිහින් අර කුඩා කිරිසප්පයා ආසාදන රැසකට ලක් කරයි. සනීපාරක්ෂක ක්‍රම හරි හැටි භාවිතයක් නොමැති, පිරිසිඳුකමක් නැති වෙනවිට ආසාදන සෑදෙන්න මග සැලසෙනවා.

එතකොට ඒ ගැන දෙන්න තියෙන උපදෙස තමයි " එතැන අල්ලන්න එපා... බබා නහවා, පිරිසිඳුව තියන්න. මොකුත් වෙන්නේ නෑ. ඉදිමී ඇත්නම් හෝ බලන් ඉන්න බැරිමනම් වෛද්‍යවරයෙක්ට පෙන්වන්න. කිසිවෙකුට මිරිකන්න දෙන්න එපා"

අප වසන ගම් පෙදෙසේ නිවසට අත් උදව්වට යන එන ස්ත්‍රියක් වේ. ගම ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ ඇය අතේ පණිවිඩ එවීමෙනි. දොස්තර නෝනාගෙන් අසා දැනගෙන එන්න යැයි දිනකට ප්‍රශ්න දෙක තුනක්වත් මට ලැබේ.

"ඩොක්ටර් අර අපේ අර අහවල් කෙනාගේ දුවගෙ බබා දැන් මාසයක් විතර වෙනවා.. මව්කිරි දෙන්නෙ නෑ පිටිකිරි දෙන්නෙ කියලා අහන් එන්න කීවා හොඳ පිටි වර්ගයක්"  මම තුෂ්නිම්භූත වීමි. එදාවේල අමාරුවෙන් ගෙවා ගන්නා කුලී වැඩ කරන මේ මිනිස්සුන් කොහොමද ළදරු පිටි වර්ග මිලදී ගන්නේ ?

 " මව්කිරි නොදෙන්නේ ඒ අම්මාගේ කිරි නැද්ද ?"

" අම්මට හොඳට කිරි තියෙනවා. ඒ බබා නිතරම කක්කා පොඩ්ඩ පොඩ්ඩ දමන නිසා නැන්දම්මා කීවලු ඒ අම්මට දියවැඩියාව නිසයි එහෙම වෙන්නේ එනිසා මව් කිරි දෙන්න හොඳ නෑ බබාට කියලා"
බුදු අම්මේ ! එහෙම උපදෙසක්නම් මම ඇහුවමයි

" ළදරුවන්ට කොහොමත් කක්කා පොඩ්ඩ පොඩ්ඩ යනවා. කහිද්දී, කිඹිහුම් යද්දී... එහෙම තමයි. ඒ අම්මට දියවැඩියාව කියලා ඒක නිසා කියන්න බෑ" (අනේ මන්දා මේ මිනිස්සු, කොහෙන් ගොතාගන්න දේවල්දැයි සිතින් සිතමින්)

 " ආ එයාගේ නැන්දම්මා තමයි එහෙම කරන්න කියලා තියෙන්නේ"

" අම්මට දියවැඩියාව තිබුනත් කිරි දෙන්න ඕනේ දරුවට. දියවැඩියාව තිබුන අම්මලා උනත් දරුවට කිරි නොදී ඉන්න කියලා එහෙම කතාවක් කොහෙවත් නෑ"  මම පැහැදිලි කළෙමි.
"ඒ අම්මට වයස කීයද ?"

"අවුරුදු 20ක් ඇති"

 " අනේ තරුණ ළමයෙක්නේ... දියවැඩියාව බබා ලැබෙන්න ඉද්දී චෙක් කරනවා, බබා කක්කා දාන එකෙන් අම්මට දියවැඩියාව කියන්න බෑ" මම පැහැදිලි කළෙමි..

" ඇරත්, මාස 6ක් වෙනකම් අනිවාර් යයෙන් මව් කිරි පමණක් දෙන්න ඕනේ.. දරුවෙක්ට හොඳින් වැඩෙන්න එයාලගේ ප්‍රතිශක්තියට ලෙඩරෝග වලින් වැලකෙන්න මව්කිරි ඕනෑ."

" ආ මං කියන්නම්.. අපරාදේ එයාලා පිටිකිරි දෙන්න හදනවා" කියමින් ඇය පණිවිඩය රැගෙන ගියාය.
 ඔය මම අහපු අන්දභූතම කතා අතරින් එකකි. නැන්දම්මලා ආච්චි අම්මලා ඔවැනි පණ්ඩිත කතා ගොතනවා පමණක් නොවේ ඒවා අත්හදා බලන්නත් යනවෝය.

ඒ අතරේ අප සායනයට  අවුරුද්දක පමණ දරුවෙක් රැගෙන මවක් පැමිණියා. ඇය අත තිබූ බාහිර රෝගී අංශයෙන් එවන යොමු කරන කොළයේ සටහන් වුනේ " මුක්කන් නහයක් නිසා දරුවා මන්ද බුද්ධික යැයි කරදරෙන් " යන්න ය.

 " මොකක්ද ප්‍රශ්නෙ අම්මේ" මගේ සුපුරුදු ප්‍රශ්නය හමුවේ ඇය ඇගේ කතන්දරය දිග හරින්නට විය.
" දරුවගේ නාහෙ මුක්කන් කියලා හැමෝම කියනවා. මගෙත් මහත්තයාගෙත් එහෙම නෑ. එයාගේ අම්මා කියන්නේ මන්ද් බුද්ධික ළමයිගෙ මෙහෙමයි කියලා "  ඒ අම්මා කියන්නේ බරපතල කාරණාවකි.

"එතකොට තව ළමයි ඉන්නවද ?"

ඔව් එක්කෙනෙක් ඉන්නවා අවුරුදු පහක".

එහෙම මුක්කන් බවක් මා හට දකින්නට නොලැබිනි. ඉන්පසු මා දරුවාගේ වර්ධනය සම්බන්ද ප්‍රශ්න කීපයක් ඇසුවේ කායික සහ මානසික වර්ධනයේ දුර්වලතා ඇත්දැයි දැන ගැනීමටයි. දැන් ඒවාත් එසේ නොවන බවත් දරුවා සාමාන්‍ය වර්ධනයක් සහිත බවත් වැටහෙද්දී ඇගේ ඇස් වල කඳුළුත් පිරී තිබිනි. මෙය මීට වඩා දරුණු ලෙසින් ඇයට මේ ගැටළුව බලපා ඇතැයි මට සිතිනි.

 "කෝ අනිත් බබා. මහත්තයත් ආවද ?  එන්න කියන්න" යැයි ඔවුන් ගෙන්වා ගත්තෙමි. මේ කුඩා දරුවාගේ නහයට සමාන නහයක් ඔහුටද පිහිටා තිබිනි. ඒ තාත්තා සමග වැඩිහිටි ගැහැණු කෙනෙකුත් පැමිණියාය. " මගේ අම්මා " අර සැමියා වහා පැවසුවේය.

"මේ දරුවගේ මුක්කන් ගතියක් නෑ. මේ බලන්න මේ දරුවො දෙන්නගෙම නාහේ එක වගේ.. මේ අම්මගෙ නහයත් පොඩි කාලේ මෙහෙම තියෙන්න ඇත්තේ. ලොකු වෙනකොට හරි යයි අම්මේ" යැයි ඔවුන් අස්වසද්දී අර නැන්දම්මා පැවසුවේ " අපේ පැත්තේ කාටවත් මෙහෙම නහයවල් නෑ.. " යනුවෙනියි.

 ඉන්පසු මගේ පැහැදිලි කිරීම් හමුවේ " කොහෙද මේ අලුත් තාලේ එය දරුවන්ගේ නහයවල් ඇදලා හදන්නේ නෑනේ" යැයි කීවාය.

ප්‍රශ්නය තිබුනේ කාටදැයි දැන් පැහැදිලිය. කෙනෙකුගේ හැඩරුව තීරණය වෙන්නේ ජාන වලින් යැයි අපි දනිමු නමුත් ලංකාවේ ආත්තම්මලා නහය කට කකුල් සියල්ල එහෙ මෙහෙ කරමින් ඇද හදන්නේ එහෙම නොවුනොත් මහ විශාල විනාසයක් සිදුවෙනවාක් මෙනි.  ආත්තම්මා කෙනෙකු නහයක් ඇද මිරිකා, දරුවාට හුස්ම ගැනීමට නොහැකිවී ජංජාලයක් සිදුවූ කතාවක් මතකයට නැගේ. මගේ කුඩා දරුවා නහවද්දී ගම් ගොඩේ කවරෙක් හෝ සිටයහොත් කිරි මිරිකන්නේ නැද්දැයි අසයි...කකුල් බකල යවන්න යැයි පවසයි. ඒවා කර දෙන්නත් ඉදිරිපත් වේ. වෛද්‍ය මතය පැහැදිලි කර දුන් පසු කර බාගෙන සිටී.

පොත් පත් වල හැටියට ළමයි හදනවා යැයි.. ඉන්ටනෙට් එකෙන් බලා ළමයි හදනවා යැයි ඇනුම් පද ද ඇසේ...

පින්තූරේ ගත්තේ - http://healthimpactnews.com/wp-content/uploads/sites/2/2012/03/Newborn_baby.jpg

30 comments:

  1. හම්මේ.. බබාලටත් තියෙන ප්‍රශ්ණ.. ඔය කිරි මිරිකීම ගම් මිරිස් පිඹීම වගේ දේවල්නම් මාත් වැඩිය විශ්වාශ කරන්නේ නෑ.. ඒත් නාවන වෙලාවට අතපය පොඩ්ඩක් අතගාල ඔළුව වටේ පොඩ්ඩක් අතගාල එහෙම ගත්තම ඒවා කෙලින් වෙනව රවුම් වෙනවා ලස්සන වෙනවා කියල මටත් පොඩියට හිතිලා තිබුණේ.

    කාලෙකට පස්සේ කිරි සුවඳකින්ම බ්ලොග් එක අප්ඩේට් වීම ගැන සංතෝශයි.

    ReplyDelete
    Replies
    1. කකුල් එහෙම ඔලුව එහෙම දිනපතා එහෙම කරන කොට හරියනව ( ඒක මම අත්දැකිමෙන් දන්නව ) හැබැයි හැම එකම එහෙම නෙමෙයි කල්ලානේ , අපි තෝරගන්න ඕන හරියට අච්චිලාගේ කතාවල පලක් ඇති දේ සහ නැති දේ , ඔය කිරි මිරිකිල්ල කෙරුවහම පස්සේ කාලෙක කිරිගැට ( නවයොවුන් වියත් එක්ක පිරිමි ළමයිනට එන පියයුරු ගැට ) ඇති වෙන්නේ නැ කියල එයාල කියනව , (ගෑණු ලමයින්ගෙත් එහෙම කරනව ) හැබැයි මගෙත් එහෙම කරල තියනව පොඩි කාලේ , ඒත් අවුරුදු දහ තුනක් දාහතරක් වෙනකොට ඔන්න මගේත් එහෙම උනා ,

      දන්නවද රදලිය කියල ගෙඩි ජාතියක් තියනව අන්න ඒවා ගානව ඔහොම උනහම , මාත් එක්ක එව්වා හොයන්ඩ ගිය එක්කෙනෙකුට නං හරි ගියා මටනං හරි ගියේ නැ අනිකටත් එහෙමයි , දොස්තර බෙහෙත් ගන්න ගියහම දුන්නා මතකයි විටමින් E1000 කැප්සියුල් , දුන්න බැන්ඩ් එක ඒකාලෙත් රුපියල් හැටක්ද කොහෙද අපේ තාත්ත හෙන අමාරුවෙන් අරගන දුන්නා , ඒත හරි ගියේ නැ , මාත් එක්ක ගිය අනිකට නං , කපල අයින් කරන්ඩ ඕන කියල එහෙම කලා , අදටත් මගේ පපුවේ එක පැත්තක අර ගැටය තියනව .

      ඔව්වා බොහොම සියුම්ව හිතන්න ඕන

      ආච්චි කිරි මිරිකපු කොල්ලො තුන්දෙනෙක්

      එකෙකුට රදලිය

      අනිකට විටමින් ඊ

      අනිකව ඔපරේෂන්

      Delete
    2. අටම්පහුර... ස්තූතියි මේ ගැන කීවාට. අපි එපා එපා කිවට සමහර අය පිළිගන්නෙම නෑනේ ඒකේ අතුරු ප්‍රතිඵල...

      Delete
  2. මේ වගේ කතා නම් ගොඩයි අක්කෙ. කිරි මිරිකන එක නම් හැම තැනම තියනව වගේ.
    ඉස්සර පසු ප්‍රසව වාට්‍ටුවෙ බබාලා බලන්න යද්දි සමහර බබාලා බෙරිහන් දීලා අඬනව, ඇයි කියල බලද්දි සමහර අම්මල කිරි දීලා නෑ.

    හොයල බලද්දි වැරද්ද වාට්‍ටුවෙ අම්මලා බලන (HO) දොස්තර මහත්තයගෙ. :D
    උදේට අම්මලා බලන්න එද්දි අම්මලා නාලා ඉන්න ඕනෙ, කොණ්ඩෙ වතුර නැත්නම් ( ඒ කියන්නෙ නාලා නැත්නම්) ඒ අම්මව බලන්නෙ නෑ කියලා එයා නීතියක් දාලා. ඉතින් ඒ අම්මලා, නාලා පැයක් දෙකක් යනකම් බබාට කිරි දෙන්නෙ නෑ, මොකද කිරි සීතල වෙයි කියලා.......
    තව මේ වගේ මත ගොඩයි අක්කෙ. හදිසියෙ මතක් වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. සිදූ හැබෑට මොකක්ද ඔය නාන සීන් එක? මේ ලඟදි අපේ අයියගේ නෝනව සාමාන්‍ය ඔපරේශන් එකකට බදුල්ල හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරා. පාන්දර හතර පහ වෙනකොට නර්ස්ල ඇටෙන්ඩන්ල ඇවිත් ඔක්කොම ලෙඩ්ඩු එලවනවලු බාත් රූම් එකට නාන්න.. ඒ වෙලාවට බදුල්ලේ නානව තියා වතුර අල්ලන්නවත් බෑ.. හැබැයි හැම ලෙඩාම අනිවාර්යෙන්ම නාන්න ඕනිලු. ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද? තව එකක්.. අපේ නෑනන්ඩි (එහෙ ලීඩින් ගර්ල්ස් ස්කූල් එහෙක ටීච් කරන නිසා) නර්ස්ල ඔක්කොම වගේ අඳුනනවා. එයාට විතරක් හොරෙන් නර්ස්ල කිව්වලු නාන්න ඕනි නෑ අතපය හෝදගෙන කොණ්ඩෙ වතුර ටිකක් ගාගෙන එන්න කියලා.. (දොස්තරලට බොරු කියන්න හොඳ නැති නිසා කියුවේ..හැක්.) හැබෑට ඒ වෙලාව නාන්න උනානම් උන්දැට ජල සන්නිය හැදෙනවා.. (ජල සන්නිය කියල ලෙඩක් තියෙනවද ඇත්තටම?)

      Delete
    2. අපේ අයත් උදේ 5 විතර නාවන්න සෑහෙන යුද්ධයක් වාට්ටු දෙකේම. මම හිතුවේ සනීපාරක්ෂාවට කියලා.. අපි නම් කියන්නේ නෑ එච්චර උදෙන් නාන්න කියලා.

      Delete
    3. නාන්න කියන්නෙ සනීපාරක්ෂාවට තමයි නේද. මම කිවුව වාට්‍ටුවෙ නම් එච්චර උදෙන් නාවන්නෙ නෑ. සීසර් එහෙම කරපු අය, බබාලා හම්බුන අය පිරිසිදුව ඉන්න එකනෙ හොඳ. ඒ නිසයි නාන්න කියන්නෙ. බෝ අක්ක දන්නව ඇතිනෙ, සමහර අයව බලන්න අමාරුයි, දවස් ගණන් නාන්නෙ නැතුව හිටියම.

      මිත්‍ර, එහෙදි නාන්න හීටර් නැද්ද? මම හිතන්නෙ තියනව.එතකොට සීතල නෑනෙ. ඔපරේෂන් එකට කලින් නාන්න කියන්නෙ පිරිසිදුව ඉන්න ඕනා නිසා ඔපරේෂන් එකට කලින්. ඒත් ඉතින් නෑවෙ නෑ කියල අපිරිසිදුව ඔපරේෂන් කරන්නෙත් නෑ :D

      Delete
    4. US wala baawa satiyak yanakan nawanna epa kiyanawa.

      Delete
  3. මම හිතන්නේ අපේ රටේ (සමහරවිට ඉන්දියාව, පාකිස්ථානය, බංගලා දේශය) තරම් විශේෂඥ වෛද්‍ය දැනුම තියන අම්මලා, ආච්චිලා, නැන්දලා, පුංචි අම්මලා, මාමලා, බාප්පලා, වෙන කොහෙවත් නැතුව ඇති. ඒගොල්ලෝ 'සියල්ල දත්' වර්ගයේ අය. ඕනෙම ලෙඩකට බෙහෙත් දන්නවා. ඕනෙම රෝගියෙකුගේ අනාගතය කියන්න දන්නවා. ඕනෙම ලෙඩෙකුට හරියන වෛද්‍යවරයා නිර්දේශ කරන්න දන්නවා. හැබැයි තමන්ට උණ හෙම්බිරිසාවක් හැදුනොත් මොකද කලයුත්තේ කියලා දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි... අනික් අය කරන සියල්ල විවේචනය කරන්න සැදී පැහැදී සිටිනවා.

      Delete
  4. ඔයා මේක ව්ස්වාස කරයිද දන්නැ

    දවසක් මම ගෙදර එනකොට යාලුවෙක් කතා කලා එයාගේ වැඩක් කරගන්න මට කියල

    මං ඉතින් ගෙට ගොඩ වෙන ගමන් ගෙදර ගෙනියන්න ගෙනාපු දෙළුම් ගෙඩිය යාළුවගේ පොඩි එකා අතට දුන්නා‍ෙ

    දැන් කොල්ල අඩනව කපල දෙන්න කියල . යාලුවගේ හාමිනේ ..පස්සේ ...පස්සේ.. කියනව

    මං කියුවා ඕක කපල දියල්ලකෝ කියල , යාලුවගේ පවුල යාලුව දිහා බලනව , යාලුව කියනව ...හොද නැ බං සෙමත් එක්ක කියල .. ඔන්න එතකොට මැද්දට පැන්නා නැන්දම්මා

    ‘‘‘ අප්පෝ දෙළුම් ළමයින්ට දෙන්ඩ හොදනැ .....මැරෙන්ඩ වැටිච්ච මිනිසසුන්ට දෙන්නෙත් දෙලුං‘‘‘‘

    ReplyDelete
    Replies
    1. මම ඔය ඇහුවමයි ! දෙළුම් තමයි පොඩි අයට දෙන්න හොඳම ... අනිත් කොනේ දෙළුම් බහුල නිසා දරුවන්ට දෙන්න එහෙ ඉඳන් දෙළුම් අරන් යනවා අපේ කට්ටිය...

      Delete
  5. ලංකාවේ විතරක් නෙමෙයි, බොහෝ වෙලාවට බටහිර රටවල ඉන්න ලංකාවේ අය පවා ඔය වගේ දේවල් කරනවා දැක්කහම විකාරයි. බොහෝ වෙලාවට මේ කාලෙට උදව්වට ලංකාවේ ඉඳලා එන අම්මලා තමයි ළමයගේ සියලු වැඩ වල අයිතිය පවර ගන්නේ. ඊට පස්සේ සමහරු අම්මලගෙ හිත රිදෙයි කියලා ඔහේ කරගන්න දෙනවා. සමහර අය කොච්චර නවීන විද්‍යාව ඉගෙන ගත්තත්, "ඒ කාලෙ අපේ අම්මලා තාත්තලා කරපු හැටි" කියන දේට ලොකු වටිනාකමක් දෙනවා. මම තව දැකලා තියනවා ළදැරියන්ගේ තට්ටම් පහල ඉඳලා උඩට අතගානවා, ඇඟ හැඩ වෙන්න කියලා... ඔහොම අතපත ගාලා දේවල් හදා ගන්න පුළුවන් නම් ලංකාවේ මේ වෙනකොට ඉන්න ගෑණු ළමයි සුපර් මොඩල්ස් ලා වෙන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. ඒකම තමා මාත් හිතුවේ... වෛද්‍ය මතය නම් එහෙම කරන්න ඕනෙ නෑ කියලා... කොහොමත් දරුවෝ පෙරලෙන කොට දඟලනකොට ඒවා හැදෙවිනේ...

      Delete
  6. ගොඩ වෙදකම් වගේම තමයි ගොඩ පෙරකදෝරුකම්!

    ReplyDelete
  7. ඡේද අතර පේලියක් ඉඩ තියන්න.

    මෙන්න මේ වගේ!

    එතකොට අපිට කියවන්න ලේසියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ඔන්න ඉඩ තිබ්බා

      Delete
  8. විශ්ව ගම්මානෙ ඉන්න හරක් ඔහොම තමයි.
    ඉස්පිරිතාලෙක වැඩ කරන මගේ නෝනත් කිව්ව දවසක් කිරි මිරිකල ආසාදනය වෙච්ච ලමයෙක් අාව කියල. මේව කරල අසාධ්‍ය වුනාමයි ගේන්නෙත්. කවදා හැදෙයිද මේ මිනිස්සු

    ReplyDelete
  9. අක්කගෙ පෝස්ට් එකක් දැක්ක කල්! ඔක්කොමත් හරි ආච්චිලගෙ මතවාද වෙනස් කරන එක තමයි අමාරුම වැඩේ.
    මොනව හරි වැරැද්දක් පෙන්නලා දුන්නොත් කියන්නෙ අපි මෙච්චර ලමයි හදල තියෙනවා කෝ වැරදුනාද කියලා.
    කොච්චර උපදෙස් දුන්නත් ගෙදරදි පිලිපදින්න වෙන්නෙ අම්මගෙ නැත්නම් නැන්දම්මගෙ නීතිනෙ. මේ විදිහට හරි වැරදි නිවරැදි කරල දෙන එක ගොඩක් වටිනවා.

    ReplyDelete
  10. ඇයි "දියවැඩියාවට බෙහෙත් බිවුවොත් වකුගඩු නරක් වෙනවා "

    ReplyDelete
  11. ඇත්තමයි රට මැදට වෙනකොට ඔය වගේ අදහස් හරියට තියනවා.වටිනවා ලිපිය

    ReplyDelete
  12. කාලෙකට පස්සේ අයෙත් ලියල. අක්ක ලියන්නැති හන්ද මාත් මෙඩිකල් බ්ලොග් එකක් පටන් ගත්ත. ඒ පැත්තටත් එන්න. අක්කත් දිගටම ලියමු...

    ReplyDelete
  13. අම්මේ බ්ලොග් එක අප්ඩේට් වෙලා දැකපු කල්,,,,සියල්ල දත් එක්ස්පර්ට්ලා ඉන්නවා නේ ඕනම පවුලක,,ඔය කකුල් හදනවා කියලා කකුල් අනික් පැත්තට හැරවුනු,,කකුල් කැඩුනු කතා මම අහලා තියනවා,,තව නියෙක් ගොඩ බෙහෙත් දෙනවා පොඩි උන්ට

    ReplyDelete
  14. විශේෂයෙන්ම නැන්දම්මලාගේ අදහස් වෙනස් කිරීමට යෑම ගෙදරින් යෑමක් දක්වා දිගු විය හැකි සිදුවීමක් විය හැක

    ReplyDelete
  15. අම්මෝ! තියෙන ප්‍රශ්න! තාම අත්දැකීම් නෑ! බලමු ඉස්සරහට

    ReplyDelete
  16. අපූරු ලිපිය මැඩම්...ඔය නාස් ඇදිල්ලේ ආදීනව පිළිබඳව හොඳම උදාරණයක් වෙන කවුරුත් නෙවෙයි මේ..මම..

    මගෙ නහය වම් පැත්තට තියනව පොඩ්ඩක් ඇදයක්.ඒක වෙලා තියෙන්නෙ මං පොඩි කාලෙ අපෙ අත්තම්මයි, ආතම්මයි ( මව් සහ පිය පාර්ශ්වික මිත්තණියන් දෙදෙනා හැඳින්වුනේ පිළිවෙලින් එලෙසිනි ) දෙන්න තරඟෙට මගෙ නාහෙ හදන්ට දෙපැත්තට ඇදල. එක්කෙනෙක්ට පේන්නෙ නාහෙ වමට බරයි වගෙ. උන්දැ කිසි කතාවක් නැතුව නාහෙ දකුණට අදිනව. අනික් එක්කෙනාට පේන්නෙ ඒ නාහෙම ( The very same nose, වෙන එකක් නෙවෙයි ඒකම තමයි. මොකෝ මට නාස් දෙකක් තිබ්බය ආය ) දකුණට බරයි වගෙ උන්දැ වටපිට බලල වමට අදිනව.

    කොහොම හරි මම දන්නෙ නෑ කවුද ජයගත්තෙ කියල. හැබැයි අන්තිමට වුනේ මගෙ මූණෙ සෙන්ටර් එකේ අගේට ඉද්ද ගැහැව්ව වගෙ හරි කෙලිං තිබ්බ නාස් පොල්ල ස්වල්ප වශයෙන් වාමාංශික වෙච්චි එක.

    බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය හැඳින්වීමට යෙදෙන Centre-left කියන විශේෂණය ටක්කෙටම මහෙ නහයට නං ගැලපෙනව...ඇත්තමයි...:)

    ReplyDelete
  17. අපේ ළමයි දෙන්නා අපිම හදාගත්ත නිසා ඔය ප්‍රශ්ණ මොකුත්ම ඇති වුනේ නෑ. ඇයි තව මෙතන සඳහන් නොකරපු මත තව කීයක්නම් තියෙනවද දරුවන් වැදූ මව්වරු, වැඩිවියපත් ගැහැණු ළමයි සම්බන්ධ වතාවත් වල හෙම. හපෝයි!

    ReplyDelete
  18. හොඳ ලිපියක්

    ReplyDelete
  19. ඔය වගේ දෙයක් තියෙනවා.. හැබැයි මේ කතාවට නම් අදාල නැහැ. ගැහැණු ලමුන්ට මාසික ඔසප් දින වලදි නෑවම බඩේ ගෙඩි හැදෙනවා කියල කතාවක්. ඒකෙ සත්‍ය අසත්‍යතාවය මොකක්ද?

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !