Wednesday, September 26, 2012

අනේ අම්මේ බොන්න එපා ! ඒක වීරකමක් නෙමෙයි


"මම කවුද කියලා දන්නව ද ?" එහෙම ඇසුවේ උදෑසන සායනික වටය අවසාන වෙත්ම අප වෙත එවා තිබූ කායික වෛද්‍ය වාට්ටුවේ නේවාසික රෝගී තරුණයෙක් ගෙන්. ඊට කලින් දින කිහිපවිටක් ඔහු පරීක්ෂා කර බලා තිබුනත් ඔහුට අප ගැන මතකයක් තිබුනේ නෑ. ඔහු අප මුහුණ වත් නොබලා බිම බලන් සිටියේය.  මට ඊට දිනකට කලින් මහ පාන්දර ලැබුනු ඇමතුමෙන් කියවුනේ අසාමාන්‍ය ලෙස හැසිරෙන බොහොම කළහකාරී තරුණයෙක් කායික රෝග වාට්ටුවේ ඇඳක බැඳ දමා දැන් සිටින නිස හැකිනම් පැමිණ බලන ලෙසය. මා ගොස් බලන විට කිසිවෙකුටත් ළං වීමටවත් නොදෙමින් ඔහු ගස් බැඳි වන සතකු මෙන් ඇඳෙ ඒ මේ අත දඟලමින් සිටී. කටින් පිටවෙන්නේ කිසිවෙක්ට අහන්නට බැරි නරක වචනය. මා දමිළ බසින් එම වචන නොදැන සිටි නිසා තේරුනේ නැති නමුත් පසුව මිස් කෙනෙකු කීවේ බොහොම නරකම වචන ඔහු කී බවය. පිරිමි සේවකයින් දෙදෙනෙකු වැර වීරියෙන් ඇඳට ඔබා සිටි ඔහුට නින්ද යෑමට එන්නත් දී පරීක්ෂා කර බැලුවෙමි. ළඟින් වෑහෙන්නේ අධික මත් පැන් ගඳකි. බිරිඳ යැයි කියන තරුණිය කියන්නේ රට ගිහින් පැමිණියාත් හරි නිතරම මෙලෙස මත්පැන් සාද පවත්වන බවය. තවම තරුණ වියේ සිටින මොවුන්ගේ ජීවිත මත්පැන් නිසා අසරණ වී ඇත.  මත්පැන් මත් ද්‍රව්‍ය ගැන වෛද්‍යවරු බහුතරයක් සිටින්නේ ඒවා හොඳ නැත යන ස්ථාවරයේය. රතු වයින් සහ ඇල්කොහොල් යම් පමණකට ශරීර සෞඛ්‍යයට හොඳ යැයි කියවෙන නමුත් ඒ ප්‍රමාණය ගැන හැඟීමක් නැතිව පමණ ඉක්මවා පාවිච්චිය මගින් බොහෝ කරදරකාරී තත්ව ඇති වේ.
 බීමට ගිජු කෙනෙක් වෙත්නම් සමාවෙන්න මේ පහර ගහන්නේ ඔබේ ඒ නරක පුරුද්දටයි.

එකී තරුණයාම දිනකට පසු සම්පූර්ණ වෙනස් මනුස්සයෙක් බවට පත්වී ඇත. මට අඳුරගන්නටත් බැරි විය. "අපිව මතකද ? " නැවත වෛද්‍යවරු වන අපි ඇසුවෙමු. "නෑ ඩොක්ටර් මට මොකුත් මතක නෑ" " ඔබ හිටියේ දැඩි ලෙස ජීවිත හානිකර තත්වයකයි.ඒ අවස්ථාවේ නිසි ප්‍රතිකාර ලැබුනේ නැත්නම් ඔබ මරණයට පත්වෙන්න පවා පුළුවන් බව ඔබ දන්නවා ද ? " අපි ඔහුට delirium tremens යනුවෙන් හඳුන්වන එම තත්වය පැහැදිලි කර දුන්නෙමු. අධික ලෙස බීමට ඇබ්බැහි වූවන් එක දිගට මත්පැන් පානය කර අවස්තාවේදී, ඉන් මිදී ඉන්නාවිටදි ඇතිවන තත්වයකි. ඒ ගැන වැඩිපුර දැන ගන්න උවමනා නම් මෙතැනින් කියවන්න.   (Delirium tremens is mainly caused after a long period of drinking, being stopped abruptly and experiencing withdrawal, leading to the biochemical regulation cascade.) 

නැවත ප්‍රකෘති තත්වයෙන් පසු වූ ඔහු අපට පැවසුවේ මේ කරදරකාරී බීමත්කමින් මිදීමට ඕනෑ බවත් එය නිසා හානි වූ ඔහුගේ ජීවිතය යතා තත්වයට පත් කරගැනීමට අවශ්‍ය බවත්‍ ය. සති දෙකක් පමණ ඉන්පසු මානසික සෞඛ්‍යය ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ගත් ඔහු නැවත ගෙදර ගියේ අලුත් මිනිසෙක් ලෙසය. 

මෙවැනි රෝගීන් අනන්ත අප්‍රමාණ ලෙස මා දැක තිබෙනවා. ඔවුන් සියල්ලන්ටම ඇත්තේ එකම නිදහසට කාරණාවකි... ඒ ඇබ්බැහිවිමය. මේක නැතුව වැඩක් කරන්න බෑ යන තත්වයට ඔවුන් පත්වී හමාරය. 

පිරිමි පමණක් නොවේ අධික ලෙස බීමත් වී සිටි ගැහැණුද හමුවී තිබේ. හත්දරු මවක් වන එක් කාන්තාවක් අප ඒකකයටපැමිණියේ අධික ලෙස බීමත්වය. නමුත් කණගාටු දායක දෙය නම් ඇය ඒ වන විට ගැබිණියක වීමය. ප්‍රසූති වේදනා සමග ඇය පැමිණි අතර කටින් වහනය වුනේ මත්පැන් ගඳය. ඇය කැටුව ආ සැමියාද සිටියේ බීමතිනි. අපට අනේ අපොයි කියැවිනි. ඒ මදිවාට දරුවා ප්‍රසූති කරන තෙක් බලා සිටියදී කුස තුල සිටි දරුවාගේ තත්වය බැරෑරුම් වුන නිසා සිසේරියන් සැත්කමක් කරන්නටද විය. 

ඔබ අසා ඇති  fetal alcohol syndrome( is a pattern of mental and physical defects that can develop in a fetus in association with high levels of alcohol consumption during pregnancy )  යන තත්වය. 

මෙය ලංකාවේ නම් ඉතා අඩුවෙන් දක්නට ලැබෙන සිදු වීමක්. මන්ද අප රටේ ස්ත්‍රීන් අතර මත්පැන් භාවිතය එතරම් වැඩි නැති නිසා. මෙවැනි දරුවෙකුගේ මානසික සහ කායික වර්ධන දුර්වලතා ඇතිවන්නේ කුස තුල වැඩෙන කාලයේ පටන්. එහෙම වෙන්නේ, මව දරුවා කුස තුල වැඩෙන කාලයේදී අධික ලෙස මත්පැනි පාවිච්චි කිරීම නිසායි. වැදෑමහ සහ මවගේ රුධිර සංසරණය අතරින් මත් පැන් මත් ද්‍රව්‍ය ඉතා පහසුවෙන් දරුවා වෙත ළඟා වන හෙයිනි. මොළයේ හා ස්නායු පද්ධතියේ වර්ධනයේ සහ ක්‍රියාකාරිත්වයට මෙන්ම මාංශපේෂි වල වර්ධනයටත් ඉන් හානි සිදු වෙනවා. තවද දරුවාගේ බාහිර ස්වරූපයෙත් ඉහත රූපයේ ආකාරයට ඇතැම් වෙනස්කම් ඉස්මතුවී පෙනෙනවා. 



මා කායික රෝග වාට්ටුවේ සීමාවාසික වෛද්‍යවරියක් ලෙස සේවය කරද්දී පාරේ වැටී සිහි නැතිව සිටියදී පොලිසිය විසින්ගෙන ආපු අම්මා කෙනෙක් සමග සිටියේ අවුරුදු එකහමාරක පමණ දරුවෙක්. ඒ අම්මා අධික බීමතින් සිහි මුර්ජාවී සිටි අතර දරුවා කිළිටි කඩමාල්ලක ඔතා සිටියා. දරුවා ඉක්මනින් ළමා වාට්ටුවට ඇතුලත් කර ඇය සතුව තිබූ බෑගයෙන් කඩදාසි මල්ලක් අපට ලැබුනා. එහි වූයේ ඇගේ දරුවාගේ හර්ද සැත්කම් කරපු බව සඳහන් කාඩ් සහ ඒ සඳහා බෙහෙත් අවශ්‍ය බවත් කියමින් හිඟාකන්නට යොදාගන්නා ලිපි ලේඛන වගයකි. දරුවා පරීක්ෂා කර බැලූ අපට එය සත්‍ය බව වැටහුනේ ඔහුගේ ළය පුරා තිබූ හර්ද සැත්කමින් පසු ඉතිරි වන විශාල කැලල දුටු විටයි.  ඒ දරුවාගේ මුහුණේද ඉහත සඳහන් කල fetal alcohol syndrome රූපයේ දැක්වූ ලක්ෂණ තිබුනා. 

පසුව ඒ අම්මා සිහි ආ විට අප සමග පැවසුවේ දරුවා ලැබෙන කාලයේ නොව ඊට පෙර සිට පවා ඇය මත්පැන් පමණක් නොවේ ඊට වඩා දරුණු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි නිසා. දැන් දරුවාගේ රෝගයේ ලිපි ලේඛන පෙන්වා ඒ සඳහා සල්ලි හොයාගන්නා බවය. ඒ දරුවා හොඳට වැඩී තිබුනේ නැත. මෙවැනි කතා ඕනෑ තරම් අප වාට්ටු වලින් ඇසේ. ජොයින්ට් එකක්, මලක් , දුම්වැටියක් වයින් බිඳක් කිව්වට මේ සියල්ලන්ගෙන්ම ඔබට පමණක් නොව ඔබේ දරුවාටත් හානි විය හැක. 

බොහෝ අය තමන් මත්ද්‍රව්‍ය මත් පැන් පාවිච්චි කරනවා පමණක් නොව එහි වින්දනය ගැන අන් අය වෙත ප්‍රචාරය කරන්න්නේ ඒක මහ ලොකු කමක්, වීරකමක් හෝ විප්ලවීය බවක් ඇති ලෙස අඟවමිනි. නමුත් යථාර්තය නම් ඔවුන් අඩු වයසින්ම රෝගීන් බවට පත් වීමය. එනිසා මත්පැන් මත්ද්‍රවය වලට ඔබේ ඇබ්බැහිවීමක් ඇත්නම් ඉන් මිදීම සඳහා සටන් කරන්න. ඒ සඳහා උපකාර ක්‍රමවේද හා වෛද්‍ය උපදෙස් සෑම රෝහලකම ඇති කායික හා මානසීක වෛද්‍ය ඒකක වලින් ලබා ගත හැකිය. මෙවැනි හානිදායක පුරුදු වලින් මිදුනොත් ඔබ සැබවින්ම වීරයෙක් ! විශේෂයෙන්ම දරුවෙක් ලැබෙන්න  ඉන්න අම්මා කෙනෙක් කොයි තරම් නම් ප්‍රවේසම් වෙන්න ඕනෙද කියා ඔබ දන්නවා ඇති. නිරෝගී දරුවෙක් බිහි කරන එක මවකගේ යුතුකමක්. ජාන විකෘති වලට අමතරව මවගේ නොහොබිනා ක්‍රියා නිසා දරුවන්ට මන්ද මානසික තත්ව ඇති වුනොත් එය කෙතරම් වේදනාකාරී ද ? 

image credit :
Drunk Pregnancy. Under Arrest. ( http://mindforums.com/38 )
Pubmed article : Alcohol and pregnancy  http://www.ncbi.nlm.nih.gov/pubmedhealth/PMH0004694/


23 comments:

  1. මත්පැන් බීම ගැන නම් කතා කරලා වැඩක් නෑ... ඇයි සිගරට්......

    ඕක සෙල්ලමක් ගොඩක් පිරිමි අයට...

    අඩුගානේ ඕක නවත්තන්න හිතුන කෙනෙක් උනත් නවත්තගන්න උදව්වක් ගන්න ඩොක්ට කෙනෙක් ගාවට ඇදගෙන ගියත් ඩොක්ට කරන්නේ උපදෙස් දීලා එවන එක...

    ඇඩික්ෂන් එකකින් මිදෙන්න කරන්න පුළුවන් දේවල් ගැන වත් අපේ රටේ දැනුවත් කීරීමක් නෑ... ඒකටත් සල්ලි ගෙවලා යන්න වෙනවා... අතේ තියෙන සල්ලි ටික ඉවර වෙනකම් මිනිහා බොන නිසා දුක් විදින ගණියෙක් කොහෙන්ද දොස්තරලට දෙන්න සල්ලි හොයන්නේ.....

    ReplyDelete
    Replies
    1. අනිත් කොණ මෙතන පෙන්නලා තියෙන කරුනු වලින්, ප්‍රධාන වශයෙන් කථාකරන්න උත්සහ කරන්නෙ නූපන් ජීවිත කාලකණ්ණිවන කාන්තා පුරුදු ගැන නේද?බොන්න පුරුදු වෙන්නෙ තමන් නම්, එකට වියදම් කරන්න සල්ලි තියෙනවනම්, එකෙන් මිදෙන්න සල්ලි වියදම් කරන්න වෙන එක අමාරුවෙන්නෙ කොහොමද? ඔයා කියන්නෙ වටිනාකම් ඇති ජීවිත බෙරගන්න තියෙන සම්පත් කාලකණ්ණි ජීවිත වෙනුවෙන් නාස්ති කරන්න ඕනෙ කියලද?

      හිරු, අද සමාජයෙ පිරිමි ගැහනු කියලා වෙනසක් නැහැ. ජොයින්ට් එකක්, මලක් , දුම්වැටියක් ගැසීම වීරකමක්සේ පෙන්වන්නට උත්සහ කරන කාන්තාවක් ලියන සිංහල බ්ලොගයක් පවා මට ඇස ගැසී තියෙනවා.

      Delete
    2. ගැහැණු අය ගැන විතරක් නෙවෙයිනේ කතා කරලා තියෙන්නේ නේද.... ? මේ රටේ ගැහැණුන්ගේ මත්පැන් මත්දූව්‍ය වලට ඇබ්බැහි වීම සාපේක්ෂව අඩුයි...

      ඕක කවුරු කළත් වීරකමක් නොවෙයි... මම ගැහැණු අයගේ බීම ගැන දන්නේ නෑ.. මේ වගේ දෙයකින් දැන ගන්නවා ඇරෙන්න.. ඒත් පිරිමි අයගේ බීම ගැන දන්නවා.. අක්‍රීය දුම්පානය වගේ දේවල් නිසා ආබාධ සහිතව උපදින දරුවන් සම්බන්ධයෙන් මවකට තියෙන වගකීම වැඩියි.. ඒත් පියා දුම්පානය කරනවා නම්, එය නවත්තගන්න ඔහුට බැරි නම් කාන්තාව මොකද කරන්‌ෙන්...?

      ////ඔයා කියන්නෙ වටිනාකම් ඇති ජීවිත බෙරගන්න තියෙන සම්පත් කාලකණ්ණි ජීවිත වෙනුවෙන් නාස්ති කරන්න ඕනෙ කියලද?////

      ජීවිතයකට නොමිලේ ප්‍රතිකාර කරන්න වටිනවද නැද්ද කියන එක තීරණය කරන්න පුලුවන් කාටද කියලා මම දන්නේ නෑ... මගෙත් අදහස බීලා විදවන අයට නොමිලේ ප්‍රතිකර කරන එක සුදුසු නෑ කියලා... හැබැයි මේවයින් දුක් විදින්නේ වැඩිපුර ගැහැණු සහ ළමයි.. මොකද පිරිමි තමන්ට අබ්බැහියක් තියෙනවා කියන එක පිළිගන්න කැමති නැති නිසා... ඒකයි කිව්වේ ඩොක්ට කෙනෙක් ගාවට ඇදගෙන යන්න වෙනවා කියලා... එහෙම ඇදගෙන යන්න වෙන්නේ ගෑණිටනේ... කොහෙන්ද එතකොට සල්ලි.... ?

      අනිත් එක ඇඩික්ෂන් එකකට කරන්න පුළුවන් දේවල් සහ සායන ගැන තාමත් අපේ රටේ හොඳ දැනුවත් කීරීමක් වෙලා නෑ... මම අහලා තියෙනවා පිට රටවල් මේ වගේ දේවල් නවත්තන්න උදව් කරන සායන, කණ්ඩායම් හමුවීම් (AA meetings) වගේ දේවල් සංවිධානය කරනවා කියලා... ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් හොඳයි..

      Delete
    3. හිරු, ඇත්තටම ඔය සංසිද්ධිය මම ඕනෑ තරම් අත්විඳලා තියෙනවා. බලෙන් ඇදගෙන එන පිරිමින් අන්තිම්ට සමහර විට තමන්ගේ නරක පුරුද්ද ගැන පිළිගන්න බැරිව බැන බැන යන අවස්තාත් එමටයි. එහෙමත් කෙනෙක් තමයි පිළිගන්නේ. අපට නම් බාහිර ස්වරූපයෙන් මත්පැන් වලට ලොල් බවත් සිගරට් බොන නොබොන එක ගැනත් කියන්න පුළුවනි. සමහරු වෙන ලෙඩ වලට ඇතුල් වුනත් රෝහලට අපේ ප්‍රශ්ණ කිරීම් හමුවේ පුදුම වෙනවා. අන්තිමට ලැජ්ජාවෙන් ඒ බව පිළිගෙන ඇත්තටම තේරුම් ගත් නිසා කොහොම හරි ඉන් මිදෙන්න උත්සහ කරන අයත් එමටයි. කවුරු ඇඩ්මිට් උනත් අපට නොසලකා හරින්න බෑ... මීට පෙර මම ලියූ , "මේ මනුස්සයා මැරුනොත් හොඳයි ඩොක්ටර්" (2011 අගෝස්තු) ලිපියෙන් මත්කුඩු සහ ඇබ්බැහිවීම් ගැන මම වඩා පැහැදිලිව කතා කලා... ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  2. තාත්තල බීමත් වෙද්දි දරුවන්ගෙ බර කරට ගත්තෙ අම්මලා.. අම්මලත් බොන්න ගත්තම දරුවන්ට යන කලදවස මොකක්ද? මම නම් හැම තැනකදිම මත්පැන්, මත්ද්ර්ව්ය්වලට විරුද්ධ වෙන කෙනෙක්. අපේ ගෙදර මගුල් ගෙවල් දෙකක්ම ගත්තා මත්පැනින් තොරව. ඒත් ඉතින් වැඩක් නෑ පිටින් බීල එනවනෙ කට්ටිය.

    ලෙඩ දුක් විකුණන එකත් දැන් ලාභදායක ව්යාවපාරයක් වෙලා. සල්ලි වෙනුවෙන් මිනිස්සු නොකරන දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි තරු... තාත්තලා අම්මලා දෙගොල්ලොම බොද්දි දරුවන්ට යන කල දසාව ගැන කතා කරලා වැඩක් නෑ. පොඩි වයසෙදිම උනුත් බොන්න පුරුදු වෙනවා

      Delete
    2. හ්ම්ම්..ඔබේ ලිපියටත් තරුගේ කමෙන්ට් එකටත් එකගයි සම්පුර්ණයෙන්ම!

      Delete
  3. අක්කාගෙ අද ලිපිය ගොඩක් වටිනවා.
    බීමත්කම නිසා තමාගෙත් ජීවිතේ අඳුරු කරගෙන තමන්ගෙ ලඟ ඉන්න අයෙගෙත් ජීවිත විනාශ කරන අය කොයිතරම් නම් ඉන්නවද!
    මේකට ඇබ්බැහි වුන ගොඩක් අය අවවාද කනකට ගන්න අය නෙවෙයි! ඒත් අඩුම තරමින් එක් කෙනෙක්වත් ගලවගන්න පුළුවන් වුනොත් ඒකත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී... ගැහැණුන් බොන එක අද විලාසිතාවක් බවටත් පත්වෙලා. කොහොම නමුත් තව ඉස්සරහට ලීයන්න ලිපි පෙලක්ම තියෙනවා...

      Delete
  4. මම නම් කියන්නේ ඕනෙම කෙනෙක්ට ඕනෙම පුරුද්දක් නවත්ත ගන්න පුළුවන් තමන්ට ඕනකමක් තියනවනම්. බීමත් එහෙමම තමයි. මම දන්නා කීප දෙනෙක් ඉන්නවා ඔය විදිහට පාලනය කරගත්ත අය.

    ReplyDelete
  5. ජොයින්ට් එකක්, මලක් , දුම්වැටියක් ගැසීම වීරකමක්සේ පෙන්වන්නට උත්සහ කරන කාන්තාවක් ලියන සිංහල බ්ලොගයක් මට ඇස ගැසී තියෙනවා. ඔබ මේ ගෙන එන වටිනා පනිවිඩය තේරුම් ගැනීමට මෙය කියවන සියල්ලන්ටම හැකිවේවා. ඔබගේ මේ සමාජ මෙහෙවරට මගේ ආචාරය !!

    ReplyDelete
  6. ජොයින්ට් එකක්, මලක් , දුම්වැටියක් ගැසීම වීරකමක්සේ පෙන්වන්නට උත්සහ කරන කාන්තාවක් ලියන සිංහල බ්ලොගයක් මට ඇස ගැසී තියෙනවා. ඔබ මේ ගෙන එන වටිනා පනිවිඩය තේරුම් ගැනීමට මෙය කියවන සියල්ලන්ටම හැකිවේවා. ඔබගේ මේ සමාජ මෙහෙවරට මගේ ආචාරය !!

    ReplyDelete
  7. ලංකාවෙ කාන්තාවන් මත්පැන් පානය කරන බව වාර්තාවෙන්නේ කලාතුරකින්. බටහිර ලෝකයේනම් මේක ඒනෙ තරමටි සිදුවෙනවා. ඒත් මෙහෙම සිදුවිම් හරි පුදුමයි.හිඟාකෑමත් දැන් වංචනිකව කරන්නේ..

    ReplyDelete
  8. මත්පැන් නෙවෙයි ඕනෙම දෙයක් පමණට වැඩ හොඳ නැහැනේ. නැද්ද මං අහන්නේ

    ReplyDelete
  9. ලෙඩ දුක් විකුණල හම්බ කරන එක තරුරසී කිව්වා වගේ දැන් ලාභදායී ව්‍යාපාරයක්.
    ඇබ්බැහිකම්වලින් මිදිය හැකි බව පෙන්වන මෙවැනි කතා බෙදාගැනීම හුඟක් වැදගත්. මොකද හුඟක් අය ඉන්නෙ එහෙම නවත්තන්න බෑ කියන අදහසින්නෙ. මතට ඇබ්බැහි වූවන්ට උපකාර පතා යා හැකි තැන් ගැනත් දැනුවත් කරන්නකො නංගි.

    ReplyDelete
  10. මුලදී වීරකමක්, රැඩිකල් ගතියට උදව්වෙන දෙයක්, අසම්මතයේ නිරූපණයක් වුණාට ඇබ්බැහි වුණාට පස්සේ අර මානසිකත්ව නැති වුණත් නවත්තගන්න අමාරු වෙනව..
    මූණු පොතේ දාන පින්තූර එක්ක බැලුවම අර උවමනාවල් ගැන තේරෙනව...
    ව්‍යාධිය වුණාට පස්සේ හරිය ගැන දන්නේ ඔබතුමීලා නේ...
    ඉතින් එව්ව ගැන කියන එක බොහොම හොඳා මෙහෙම...

    ReplyDelete
  11. ටිකක් දිග උනත් මේ සබන්ධ කතාවක් කියන්නම්.මීගමුව පැත්තේ දෙන්නෙක් බැන්දා.දෙන්නම බොනවලු ගෙදරම සෙට් වෙලා.හවස් වෙනකොට කපල් එකම හොඳටම සූර් වෙලා පැත්තටම ආතල් දෙනවලු.දවසක් දෙන්නා හොඳට ඩෝප් වෙලා ඉන්න වෙලාවක මිනිහා ආතල් එකට මම බෙල්ලෙ වැල දාගන්නවා කියලා පුටුවකට නැගලා බාල්කෙක කඹයක් එල්ලලා තොන්ඩුවකුත් හදාගෙන බෙල්ලට දා ගත්තලු. කොහොම හරි බිව්වම බැලන්ස් නෑනෙ.මේ යකා පුටුවෙන් වැටිලා.සිරාවටම බෙල්ලෙ වැල දාගෙන එල්ලිලා ඉද්දී වෙරි පිට ගෑනි ගිහිං මේකව බේර ගන්ඩ කියලා කකුල් දෙකේ එල්ලිලා.පොර එවෙලෙම ස්වර්ගස්ථ උනාලු.

    ReplyDelete
  12. ඕක ලංකාව වගෙ රටවල කාන්තාවන් අතර සාපේක්ෂ වශයෙන් සෑහෙන අඩුවෙන් දකින්න පුලුවන් ලක්ෂණයක් නේද අනිත් කොන? සමහර රටවල තත්වෙ ඔයිට වඩා හුඟක් වෙනස් මම හිතන්නෙ.

    දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
    මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
    බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
    හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  13. ලංකාවේ මත්ද්‍රව්‍ය අළවිය වැඩිම උතුරේ කියලා කොහේ හරි කියෙව්වා මතකයි

    ReplyDelete
  14. මගේ යාලුවෙක් හිටියා... අපි බොන්න සෙට් උනාම මිනිහා කරන්නේ බෝතලේකට වතුර පුරෝගෙන ඇවිත් අපිත් එක්ක වාඩිවෙලා අර වතුර බොන එකයි. සෙට් වෙලා බොන්නනේ ඕනේ, ඉතින් මොනවා බිව්වහම මොකද කියලා ඌ බිව්වේ වතුරමයි. අද ඌ දොස්තර කෙනෙක්.... ගැටවර කාලේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව යන ඒ වගේ යාලුවෝ හිටපු නිසා පොර ටෝක් දීගන බීපු අපි උනත් පොඩ්ඩක් සසල උනා මං හිතන්නේ. අදටත් පොඩි ෂොට් එකක් දාගත්තම මතක් වෙන්න ඔය සිද්ධිය... ඉතින් එතනින් එහාට වතුර තමයි.

    ReplyDelete
  15. මමත් අරක්කු සිගරැට් උසස් පෙළ කරද්දී බිව. ඒ නොතේරුම් කමට සහ රැල්ලට. බීවේ නැත්තම් ගැන්සියෙන් විසිවෙඉ කියල. පස්සේ අවරුද්දකට පස්සේ මටම හිතුන මේක වැඩකට නැති දෙයක් කියල. ඉස්සරලම සිගරැට් බිම නැවැත්තුව. එත් එක්කම අනිත් එකත් නැවැත්තුව. මට දැන් මගේ යාළුවො 1000ක් එකට බොන තැනක නොබී ඉන්න පුළුවන්.හැබැයි පාර්ටි එකකදී වගේ බියර් එකක් ගන්නවා. සැර අඩුම එක. කවද හරි එකත් නැවතී කියල මට හිතෙනවා. සමහරු බොන්නේ නැ කියන්න ලැජ්ජයි. මම බොන්නේ නැ කියන්නේ ආඩම්බරයෙන්. මම බොන තැන වල වාඩිවෙලා බයිට් ටික කාල ඉවරකරන එකටනම් යාලුවෝ බනිනවා. මට බලකරන්න කව්රුවත් එන්නේ නැ. එයාල දන්නවා බලකරලා වැඩක් නැ කියල.
    මටත් හිතෙනවා තිසර කිව වගේ වතුර බිබී බයිට් ටික ඉවර කරන්න.

    ReplyDelete
  16. ඔයාගේ බ්ලොග් එකේ පොස්ට් 2යි කියෙව්වේ ඉතුරු ටික කියවන්න පස්සේ එන්නම්.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !