අනෝජා (අනවර්ථ නමකි) බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත දැරියක්. ඇය අපේ වාට්ටුවට ඇතුල් කරලා තිබුනේ වෛරස් උණ නිසා. මේ දවස් වල වගේම ඒ දවස් වලත් වෛරස් උණ තිබුනා, වාට්ටු පිරී ගියා.
අනෝජා හිටියේ අපිට පේන මානේ ඇඳක. ඒ දවස් වල මම වාට්ටුවේ වැඩ ඉවර කරලා මොකක් හරි බරසාර පොතක් කියවනවා. බොහෝ විට වෛද්‍ය විද්‍යාව සම්බන්ද පොතක්. අපිට එහෙම පොත් ගොන්නක්ම මිතුරෙක් ගෙනත් දුන්නා ඉස්සරහට එන එක්සෑම් වලට පාඩම් කරන්න කියලා.
"ඩොක්ටර් ඉංග්‍රීසියෙන්ද කියවන්නේ" අනෝජා එක වෙලාවක ඇහුවා.
"ඔව් අපිට ලියන්නත් කියවන්නත් ඔක්කොම කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන්" මම පැහැදිලි කළා.
"මට අමාරුම ඉංග්‍රීසි" අනෝජා කීවේ මූණ ඇද කරමින්.
"ඒක ඇත්ත මට ඕක හිතාගන්න පුළුවන්. ඉංග්‍රීසි කොහොමත් අපිට උගන්වන පොත පත නම් ස්ටෑන්ඩර්ඩ් මදි... ඊටත් වඩා ගුරු හිඟයත් තියෙනවානේ" ඒ එක්කම මම ඒ කාලේ දැක්කා එයාලගේ සිලබස් වෙනස් විත්තිය.
"ඒත් අනෝජා ඔයා දන්නවද මම පිටරට ඉගෙනගත් කාලේ පළමු ඉංග්‍රීසියෙන් තිබ්බ ලෙක්චර් එකට ගිහින් එළියට ඇවිත් ඇඬුවා"
දෑස් විසල් කරමින් ඈ මදෙස බලයි.
" මොකද සුද්දොත් කතා කරන්නේ ඇක්සන්ට් එකකට... අපිට ඒ ඇක්සන්ට් එක තේරෙන්න කාලයක් ගියා. මං ඒ ඇහෙන විදියටම ලියාගෙන ගෙදර ඇවිත් වචන හොයා ගත්තා. අමාරු නෑ එහෙම ඉගෙන ගනිද්දී...ඩික්ශනරියක් පාවිච්චි කරන්න. අපි පොඩි කාලේ ඉංග්‍රිසි ටීවී චැනල් එහෙම බලන්න තිබ්බේ නෑ."
ඔහොම ඉන්න අතරේ අනෝජා කියනවා පොඩි කාලේ කොයි තරම් අමාරුවෙන්ද පාඩම් කරේ කියලත්.
සමහර දවසට ගෙවල් අත ඇරලා කොහේ හරි නෑයෝ ඉන්න දිහාක ගිහින් එද්දී සති ගණන් පාසැල් පැවැත්වුනේ නැතිලු. අනෝජා ගේ අක්කා සංවිධානෙට බැඳුන නිසා ගෙදර අනික් කුඩා වුන්ට ඉන්න දීලා තිබුනා.
"ඩොක්ටර් ඔයා කොහොමද ගෙදර නැතුව ඉන්නේ" අනෝජා කැඩිච්ච සිංහලෙන් අහනවා.
"ජීවිතේ අපිට එක එක කාලෙට එක එක විදිහේ තෝරා ගැනීම් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තෝරාගැනීම් එක්ක අපිට කොහොම හරි ඉන්න වෙනවා. Its a choice anoja, we just have no other option but to live with our choices"
"ඒමද..." අනෝජා බර කල්පනාවක ආයෙමත්.
"ඩොක්ටර් ඒ තෝරා ගැනීම හොඳ ද?" අනෝජා ඉංග්‍රිසියෙන් අහනවා.
"I dont know dear. I just love what I do thats all that matters" මම ඇයට උත්තර දෙනවා ඉංග්‍රීසියෙන්. එහි තේරුම " මම දන්නෙ නෑ දරුවා, මම කරන දේ කැමැත්තෙන් කරනවා ඒක තමයි වැදගත් !"
මට මේ කුඩා ගැහැණු දරුවන්ගේ කතා මතක් වුණේ මෑතකදී මට මුහුණ දෙන්නට සිදුවුණු සිදුවීම් මාලාවක් නිසා. මිනිස්සු කොයි තරම් නම් තමන්ගේ ආසාවල් සහ කැමැත්තවල් නිසා අනුන් පෙළනවාද කියා මම අත් දුටුවා. ඉතින් මේ මතකයන් අළුත් කරන්නට හිතුනා.
බ්ලොග් ලියමන අමතක කරේ නැති වුනත් රැස පුවත් පතේ ලියන "සායනික සටහන් නොවේ"තීරුව ලියන්න සිදුවෙන නිසා ලියන්න ගත කරන කුඩා කාලය ඒ වෙනුවෙන් යොදවන්න සිදුවුණා.
ඒ ගැන ඇත්තෙ සුපහන් සිතුවිලි සමුදායක් !
මීට බොහෝ කලක සිට අපි ලියන ඒවා ඇස ගැටුණු පත්තර මිතුරන් නිසා ඒවා පුවත් පත් වල පල වුණා. නමුත් රැස පුවත් පත පටන් ගත් කාලයේ පටන් එහි තීරුවක් ලියන්න යැයි ආරාධනා කරමින් මට නිරතුරු මතක් කිරීම් එවමින් මංජුල සමරසිංහ මල්ලී මා ලවා කෙසේ හෝ තීරුව ලියවා ගත්තා. ටිකෙන් ටික පාඨක ප්‍රතිචාර සුබාශිංසන සමග වචන 650 හේ තීරු අවුරුදු දෙකක්ම පුවත්පත නවත්වනකම්ම ලීවා. මේ දවස්වල පස් තාච්චි පෙරළන්න ඉගෙන ගන්න නිසා, බ්ලොග් ලියන්න වෙලාවක් වෙන්කරගන්නවා හිතලාම.
ජීවිතය යනු තෝරාගැනීම් රොත්තක් ! ඇතැම් තෝරාගැනීම් හිතකරවූ ඒවා, ඇතැම් තෝරාගැනීම් ජීවිතේට අවාසනාව ගෙන ආවා. හැබැයි පාඩම් ඉගෙන ගත්තා. ඉදිරියේ වෙන්න තිබුණු විනාශ වැළැකුවා. එනිසා අවසානයේ ජීවිතයේ බොහෝ තෝරා ගැනීම් ගැන ලියන්නට ඇත්තේ ද මා අනෝජාට කී දෙයම ය.
"මම කරන දේ කැමැත්තෙන් කරනවා එයයි වැදගත් !"
,,📷 දුක, සතුට බෙදා ගත් උතුරු කොන වැව් ඉවුර. 2010 දී....