Saturday, November 13, 2021

කොවිඩ් කතා 1

දරුවන්ගේ පණිවිඩ !
කොරෝනා කාලේ කතා - 1 

රුචිර මල්ලී එයාගේ කුඩා පුතනුවන් සහිරු, තමන්ගේ අත්තම්මා සීයා වෙත ලියූ ලිපියක් මට එවා තිබුණේ මේ ගැන ලියන්න කියන පණිවිඩයත් එක්ක. 

පහළ ෆොටෝ එකේ තියෙන්නේ ඒ අපූරු ලියුම..  සහිරු පුතා තමන්ට කාලෙකින් දකින්න හමුවෙන්න බැරි අත්තම්මා සීයා වෙත මෙහෙම ලියනවා 

"නිවාඩුවට එන්න ආසයි ඒත් covid-19 නිසා එන්න බැහැ. 
කොහේ හරි යනකොට, face mask දාගෙන යන්න" 

කොවිඩ් සමඟ ලෝකය බොහෝම දරුණු ආකාරයට වෙනස් වුණා. දරුවෝ එක්ක පරිස්සමෙන් ගෙවල් ඇතුලට වෙන්න ඔබට හැකි වුණත් එහෙම වෙලාව ගත කරන්න හැමෝටම හැකි වුණේ නෑ. 

බෙල්ජියමේ ඉන්න සංජී අක්කාගේ දරුවන් දෙදෙනා, Sarnath and Ahimsa ලියන අඳින දේවල් අපි වෙනුවෙන් එයා නිතරම බෙදා ගන්නවා. ඒ අය කොවිඩ් මර්ධනයේදී ඉදිරියෙන් ඉන්නා සෞඛ්‍ය සේවකයන් අගය කරනවා. හවස්වරුවේ ගෙදර දොර අද්දර ඉඳගෙන සිංදු කියමින් බටනළාව වයමින් ඔවුන් කොවිඩ් මර්ධනයේ ඉදිරියෙන් වැඩකරනා සෞඛ්‍ය සේවකයන්, ලෙඩවූ පිරිස් වෙනුවෙන් ආශිර්වාද කරනවා. ඒ අතරේ ඉස්කෝලේ පටන් ගන්නවා. එයාලාට  දෙපාරක් pcr පරීක්ෂණේ පවා කරන්න සිදුවෙනවා.

ඉතාලියේ ජනනි අක්කාගේ චූටි දුව මාස්ක් පැළඳ ඉස්කෝලේ යන හැටි ගැන අක්කා මට කතා එවනවා. රැක දෙන්න අපේ ලක් අම්මා යැයි එයා හරි ලස්සනය ගායනා කරනවා. මේ වෙලාවෙත් එයාලා තමන්ගේ මව් රට ගැන හිතනවා. ඉස්කෝලේ යන්න කලින් චූටි දූ මාස්ක් එකක් එයාගේ බෝනික්කට පැළැන්දූ පින්තූරයක් ජනනි අක්කා බෙදාගෙන තිබුණා. එයාලටත් පන්තියේ දරුවෝ ලෙඩ වෙන ගානේ pcr පරීක්ෂණ කරන්න වෙනවා. 

මගේ කුඩා දියණිය එයාගේ සෙල්ලම් යාළුවෝ ටික කුඩා සෙල්ලම් සින්ක් එකක් ඉදිරියේ පෙළගස්වනවා පරතරයක් ඇතිව. ඒ අත්සෝදලා ඇතුලට යන්න. පරක්කු වෙන අයට සැනිටයිසර් දෙන බව කියනවා. සමාජෙන් ලැබෙන ආභාශය ඒක.

මේ හැම දේටම මුහුණ දෙමින්, කියා දෙන දේ හරියට කරන හැටි දරුවෝ අපිට පෙන්වා දෙනවා. තත්තපර විස්සක් සබන් අතේ තියාගන්න කීවම ඒ විදිහටම අත් හෝදන, කිවිසුම් අරිද්දී වැලමිට තබා කිවිසුම් අරින දරුවෝ මම දකිනවා.
 මහ මිනිස්සු තත්පර දෙකෙන් අත සෝදන් දුවනකොට දරුවෝ එයාලට කියාදෙන දේ හරියටම කරනවා.
මේ අමුතු කාලයේ එයාලගේ පුංචි මනසට දරාගන්න බැරි තරම් දුක් කඳුළු හංගගෙන හිනා වෙනවා. 

අත්තම්මලාට ලොකුඅත්තලා මාමලා නැන්දලා භාරයේ තියලා දෙමාපියන් සේවය සඳහා පැමිණෙනවා. ගෙදර හැමෝම එක්ක ලොක් ඩවුන් වීමක් සෞඛ්‍ය සේවය වැනි අත්‍යාවශ්‍ය සේවාවලට අහිමි වෙනවා. 

දරුවෝ ලියන කියන අඳින දේවලින් මාස්ක් පැළඳ පරිස්සමෙන් ඉන්න කියන දේ තමා පණිවුඩ ලෙස ලියන්නේ. 

ඇතැම් ඉස්කෝලවලින් සතියේ දිනවල zoom වැනි තාක්ෂණික ක්‍රමවලින් පාඩම් කියා දෙනවා.ගෙදර මේසේ උඩ ලැප්ටොප් එකකින් ගුරුවරියන් කැපවීමෙන් උගන්වනවා. ඒත් වැඩට යා යුතු සෞඛ්‍ය සේවකයන්ගේ දරුවෝ ? මම ඒ මොහොතේ ගෙදර ඉන්න කාට හරි  කරදරයක් වෙලා මේ පංති අටවලා වැඩට එනවා. 

පාසැල් පරිසර, යහළුවන් හා සෙල්ලම කිරීම්.නැටුම් ගැයුම්, team work, මේ කිසිත් නැතිව දරුවෝ හුදෙකලාව තිරයක් මත අකුරු කියවනවා. දරුවොන්ගේ නිසි මනෝ සමාජීය වර්ධනයට මිනිස් අන්තර් ක්‍රියාකාරකම් කොච්චර වැදගත් ද ? ඒ සියල්ල අපි අකමැත්තෙන් හෝ අත හරිමින් ඉන්නවා. ඒ කොවිඩ් මාරයා ඊට වඩා දරුණු නිසා. 

හැම දරුවෙක්ටම තාක්ෂණික මෙවලම්, සැප පහසු ජීවිත නෑ. කොටින්ම බහුතරයක් දරුවෝ ජීවත්වෙන්නේ පැල්පත්වල. 

"බෙහෙත් බිව්වේ නැත්නම් ගෙදර යවන්නේ නෑ"
කියද්දී ,
" කමක් නෑ මම මෙහෙ ඉන්න ආසයි" කීව දරුවෝ මට මතක් වෙනවා. ඒ අය මේ මුරුගසන් වර්ෂාවේ ලෑලි ගෙදරක කාඩ්බෝඩ් ඇතිරූ පොළවක නිදනවා ඇති. 

පෝශ්‍යදායී ආහාර සිහිනයක් වුණු,කුලී වැඩ කරන අම්මලා තාත්තලාගේ දරුවෝ මොන තරම් අසරණ අනාරක්ෂිත තත්ත්ව යටතේ ජීවත් වුණා ද? දැන් ඊටත් වඩා අවුල් සහගත තත්ත්වයක ජීවත් වෙනවා ඇති නේද ? මානසික අසහනයට පත්වූ වැඩිහිටියන් එක්ක අනාරක්ෂිත පරිසරවල ප්‍රශ්නවලට මැදිහත් වෙන මේ දරුවො ගැන සොයා බලනවා ද ? 

පාසැලෙන් ලැබුණු අධ්‍යාපනය ගෙදර මෙවලමකින් නොලැබෙන ආර්ථික අපහසුතා ඇති දරිද්‍රතාවයෙන් බැටකන සමාජවල දරුවෝ මේ කොවිඩ් රැල්ලෙන් අසරණ වී ඇති අයුරු දකිද්දී හිත සසල වේ. 

"අම්මා ඇයි ඔයා ඩොක්ටර් කෙනෙක් වුනේ...
ඔයා වෙන වැඩක් කරන්නකෝ."  දුව මෑත දවසක මට කීවා. ගෙදරින් වැඩ කරන්න එළියට යන්නේ මා පමණක්ම නිසා වෙනත් රස්සාවක් කළා නම් අම්මා ගෙදර ඉඳීවි යැයි කියා මේ පුංචි සිතට සිතෙනවා ඇති. 

අම්මා තාත්‍තා ගෙදර එනකම් දරුවෝ බලන් ඉන්නවා. ඒත් ගෙදර එන අම්මා තාත්තා බොහෝ වෙහෙසකින් ඉන්නේ. කොවිඩ් කොයි මොහොතේ තමන් එක්ක ගෙදර ඒවිදැයි වරදකාරී හැඟීමකින් තමා ළඟට එන දරුවෝ වුණත් වැළඳගන්නේ. පොඩි දරුවෝ ඉන්න අය දරුවන්ට හොරෙන් එළියේ හෝ ඇතුල්වල තියන නානකාමරවලට රිංගාගන්නේ. එහෙම කරලා තමා ගෙදර යුද්ධෙට බහින්නේ. 

"වෙලාවකට අස් වෙලා ගෙදර ඉන්න හිතෙනවා." මේ මොහොතේ දරුවන් ගෙවල් කළමනාකරණය කරගන්න අප්‍රමාණ දුකක් විඳින සෞඛ්‍ය සේවයේ විවිධ අංශවල සේවය කරන අම්මලා මා හමුවේ කියනවා. 

වසූරිය, පෝලියෝ සරම්ප වගේ Covid -19 ඉවරෙටම ඉවර වෙන දවසක් එනකම් අපේ දරුවෝ මග බලමින් ඉන්නවා. 
"මම ලොකු වුණාම කොරෝනා නැති කරන්න බෙහෙතක් හොයා ගන්නවා" මගේ කුඩා දියණිය එහෙම පැවසුවාම මේ ලෝකේ අපි කොයි තරම් ෆේල් ද කියා මට හිතුනා. 

වෛද්‍ය බෝධිනී සමරතුංග

2 comments:

  1. එහෙම වැටෙන්න එපා . අපි ෆේල් නැහැ. අපි හැම වෙලේම එන තර්ජන වලට මොනවා හරි හොයා ගන්නවා. අපිනම් එලියට පහලියට යනව. පොත් උත්සව තියනවා.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !