Thursday, September 13, 2012

ඇමෙරිකාවෙන් ඇඳුම් සහ එකම ඇඳුම සෝදන්න සැත්කමෙන් පසුඇඳෙන් බැස්ස හැටි.....


ලියන්නනම් බොහෝ දේවල් තිබුනත් ඉක්මනින් ලියා ගන්න බැරි වුනේ කාර් ය බහුල කම නිසා. ඒ ගැන සමාවෙන්න.
මතකනේඉහළ වෛද්‍යවරයෙක්ගෙන් " විහින් මැරෙන්නෙ නැතිව රාජකාරිය විතරක් කරන්න කියලා අහගත්තා..." ඒ උනත් කවදාවත් පාඩම් ඉගෙන ගත්තේම නැති තරම්. කෙනෙක්ගේ අපහසුකම් අභියස අපේ හිත් උණු වෙන්නේ අර පරණ අත්දැකීම් සියල්ල අමතක කරමින්...

අපේ වාට්ටුවට නිතර එන යන අවුරුදු 3ක මල්ලියෙක් හිටියා. ඔහුගේ නම ඇහුවට හැමදාම කිව්වේ "තම්බි" කියලයි.දෙමළෙන් තම්බි කියන්නේ මල්ලි නේ ... ඒකයි අවුරුදු 25ත් පැනපු ඇන්ටිලා අන්කල්ලා වන අනිත්කොණේ අපි එයාට තම්බි කිව්වේ. ඔහුගේ මව මානසික රෝගයකින් පෙළෙන්නියක්. අනිත්කොණ රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයට මේ මව පැමිණෙන්නේ ඇගේ සිව්වෙනි දරුවා ලැබෙන්න ඉඳෙද්දි. වැරහැලි කඩමාලු වෙච්චි ඇඳුම් ඇඳගෙන පැමිණෙන ඇය සමග මේ 3 හැවිරිදි දරුවාත් පැමිණෙයි. රාත්‍රියට වාට්ටුවේ කොණක රෙද්දක් එලා නිදියන්න දෙන මේ දරුවා දැක්කම අපි කොහොම හරි ඇඳක තියෙන මෙට්ටයක් බිමට දාලා දෙනවා. කොහොම හරි, කොච්චර කිව්චත් දරුවා එක්කරගෙන එන්න එපා කියලා වාට්ටුවේ නතර වෙද්දී මේ අම්මා දරුවා දමා එන්න තැනක් නෑ කියලා කියද්දී අපටත් කියන්න උත්තරයක් නැති තරම්.

කොහොම හරි පසුගිය දවසක ඇය ආවේ අපි දන්නා හඳුනන තම්බිත් කැටුව. මේ මල්ලියා අතේ නිතර දකින කහ පාට බෑග් එක තිබුනා , හැම රෝහල් ගතවීමකදීම ඇඳගෙන එන කුණු නාවර පෙරුනු කළිසමත් ඇඳගෙන හිටියේ. ඔන්න ඉතින් අම්මා ප්‍රසව වේදනා එක්ක ආපු නිසා පුතාව ලේබර් රූම් හෙවත් ප්‍රසූතිකාගාරයේ දොර ළඟ නවත්වා ඇතුලට ගියා. අපේ මේසය දිහා පොඩි එකා බලන් හිටියා ඉතින් දැං මම මොකද කරන්නේ කියා අහනවා වගේ. අපි ඔහුට ඉඳගන්න පුටුවක් දුන්නා අපේ මේසය අසලින්ම ඉඳගත්තා අර බෑග් එකේ ගල් කැට කීපයක් ටොපි කොළ ප්ලාස්ටික් බෝතලයක් පමණක් තිබුනා. අපේ වාට්ටුවේ නර්ස් මිස්ලාත් මිඩ් වයිෆ් මිස්ලාත් ඇසූ විට තවම දවල්ට කෑවේ නැති බවත් කීවා. දහවල් අනෙක් රෝගීන්ට ගෙනෙන රෝහල් කෑමෙන් ස්වල්පයක් ඔහුට ලබා දුන්නා. කිසි කරදරයක් නොකර පැත්තකින් ඉඳගෙන කෑවා. වාට්ටුව පුරා දුවන අම්මා ඉල්ලමින් කෑ ගසන අනෙක් දරුවන් එක්ක සසඳනවිට මොහුගේ තිබුනේ සැබෑ තැන්පත් බවක් මතක තියාගන්න මොහු අවුරුදු 3 ක කුඩා දරුවෙක්.

 හවස 4 වෙන විටද මව එළියට පැමිණියේ නෑ. එක කාරුණික මිඩ් වයිෆ් මිස් කෙනෙක් සමග අනෙක් වාට්ටුවටද ගොස් පැමිණි ඔහුට දැන් බිස්කට් කිහිපයක් ලැබී තිබුනා. අපි තේ බොන විට ඔහුටද තේ එකක් ලබා දුන්නා. වෙන ඇඳුම් තිබේදැයි ඇසූ විට අපට ලැබුනේ නැහැ යනුවෙනි. ඇතුලත දරුවා ලැබෙන්න ඔන්න මෙන්න සිටි ඔහුගේ මවද කීවේ වෙන ඇඳුම් නොමැති බවයි. දැන් ඉතින් මොනවා කරන්නද... අපේ කාරුණික මිඩ් වයිෆ් සොයුරිය කීවේ, "වෙන ඇඳුමක් තිබ්බානම් මේ නාවර පෙරන් ඉන්න පැංචාව මම නාවනවා ඩොක්ටර්" කියලයි.

ළමා වාට්ටුවට කතා කර බැලුවෙමු. එහිද ළමා ඇඳුමක් නොමැති බව කී අතර වෙන ඉල්ලාගන්න තැනකුත් නැති හැඩයි. මෙහි පැමිණෙන බොහෝමයක් මව්වරු බොහෝ දුප්පත් නිසා කාගෙන් ඇහුවත් ලැබෙන්නේ නැත යන උත්තරයයි. තවත් සිතමින් කල් ගත කළ නොහැක. තම සිව්වන දරුවාද ප්‍රසූත කළ මව අපට පැවසුවේ අළුත උපන් බිළිඳාට ඇන්දවීමට ඇඳුමක් වත් තමා ළඟ නැති බවයි.ඒ මවටවත් ඇඳුමක් නොතිබි හෙයින් ලෙයින් තෙත්වූ ඇඳුම් ඉවත් කොට අප වාට්ටුවේ තිබුනු බෙඩ් ෂීට් එකක් ඇයට දුන්නේ රෙද්දක් ආකාරයෙන් ඇඳීමටය.  මට අනේ අපොයි කියැවිනි. අපේ සමහර දෙමාපියන් තමන් ලැබෙන්න ඉන්න දරුවාට අවශ්‍ය කළමනා ඇඳුම් සියල්ල ලෑස්ති කරන්නේ ඉපදෙන්න මාස ගණනාවකට කලිනි. අධික දුප්පත්කමද, මානසික අවුල් වියවුල් නිසාද මොවුන් මෙලෙස අසරණ වී ඇතැයි සිතේ.

A9 මාර්ගයෙන් එපිට ඇත්තේ ඇඳුම් කඩයකි. එහෙත් සියල්ල ගිණි ගනන්‍ ය. නමුත් තවත් සීත සිතා ඉන්නට කල් නැත. කුඩයත් හෑන්ඩ් බෑගයත් ගත් මම කඩයට ගොස් කුඩා පැංචාට හරියන ජාතියේ කළිසම් දෙකක් සහ කමිසයක් මිළදී ගත්තෙමි. අළුත උපන් බිළිඳාට බිළිඳු ඇඳුම් අඩංගු කට්ටලයක් ගත්තෙමි. එවිට මතක් වුනේ... පසු ගිය දිනක මා විසින් සීසර් කරන ලද අවුරුදු 30 හැවිරිදි තවත් මවකි. ඇයගේද සැමියා ඇය දමා ගොස්‍ ය. අවුරුදු 13 ගැහැණු දරුවෙක් සිටී. මේ ලැබෙන්න ඉන්න දරුවා ඇගේ අනියම් පෙමක ප්‍රථිපලය. නමුත් ඒ පුද්ගලයාද දැන් ඇයව දමා ගොස් ඇත.  ඇගේ බලවත් කැමැත්ත නිසා අපි මේ දරුවාද සීසර් සැතකමක් මගින් පිටතට ගතිමු. ඉන්පසු පැය හතරකට පසු ඇඳ වෙත ගොස් බැලූ විට දකින්න ලැබුනේ  දරුවා පමණි. මව කොහිදැයි බලද්දී මූත්‍රා පිට වීමට දමා තිබූ බෑගයත් ඉනේ ගසාගෙන ඇය නාන කාමරයේ ඇඳුම් හෝදනවා දුටිමු. වෙන අම්මලාව සීසර් සැතකමින් පසු නැගිටවා ගන්නට මහත් පරිශ්‍රමයක් යෙදිය යුතු අතර බොහෝ කැක්කුම් නිසා ඔවුන් ඉතා අමාරුවෙන් කෙඳිරි ගාමින් පසුවෙයි. නමුත් ඇය ඇවිදගෙන ගොස් රෙදිත් හෝදයි. ඇයි මෙහෙම කළේ කියා ඇසූ විට කිවේ... එහා ඇඳේ අම්මා කෙනෙක්ගෙන් ඉල්ලාගත් ළදරු ඇඳුමක් පමණක් තිබෙන හෙයින් නැප්කින් එක සෝදා වියලා ගත යුතු බවය. මට බොහෝ දුකක් දැනිනි. අනේ අපේ සමහර මිනිස්සු ඇඳුම් නාස්ති කරන හැටියක්....~!
 මට රෙදි කඩයේදී ඇයවත් මතක් වුනි. ළදරු ඇඳුම් කට්ටල කිහිපයක් මිළදී ගත්තේ කොළඹින් ගන්නවාට වඩා තෙගුනයක් පමණ මිලක් ගෙවමිනි. ඉන්පසු ඒවා ගෙනැවිත් අළුත් උපන් බිළිඳුන් සහ මව්වරුන් සිටින වාට්ටුවට ගොස් , මල්ලීට ගත් ඇඳුම් සමග අවශ්‍ය හැමටම බිළිඳු ඇඳුම් ලබා දෙන්න යැයි මිඩ් වයිෆ් මිස්ට සහ නර්ස් මිස්ට බාර කලෙමි. ආපසු පිටව යද්දී මා දුටුවේ ඇඳ විට්ටමේ ඔළුව ගසාගෙන බිම බලාගෙන දුකින් සිටින කුඩා කොළු පැටියාය. "මොකද මේ දුකෙන් " මම ඇසුවෙමි. " අනේ මට ඕනෙ කළේ මල්ලියෙක් ඒත් අම්මා ගෙනත් තියෙන්නේ නංගියෙක්නේ " ඔහු සොවින් පැවසුවේය. අනේ පොඩ්ඩොන්ටත් හිතන්න තියෙන දේවල්.

බාහිරින් යම් උපකාරයක් මෙවැනි මව්වරුන්ට අවශ්‍ය හෙයින් අදාල තැන්වලට ලියා ඔවුන්ට උපකාර සහ ඇඳුම් පැළඳුම්ලබා ගන්නට මානසික සෞඛ්‍යය ඒකකය හරහා සූදානම් කළෙමි. මේ , මෙවැනි කතාන්දර සියයකින් එකක් පමණි. අනිත්කොණ විතරක් නෙමෙයි දිවයිනේ අගනුවර රෝහල වලත් මෙවැනි කතා ඔනෑ තරම් දුටිමි. මන්ද රජයේ රෝහල් කරා එන්නේ පුද්ගලික් සැප පහසු රෝහල් වලින් බෙහෙත් ගන්නට බැරි තරම් දුප්පත් මිනිසුන් නිසාය.

මව අළුත උපන් බිළිඳා සහ කුඩා දරුවා සතියක් පමණ අප වාට්ටුවෙ සිටි අතර අකුරු වත් නොදන්නා වැඩිය කතා බහ නොකර කුළෑටිව සිටි දරුවාට අපේ හෙදි සොයුරියන් සහ මිඩ් වයිෆ් මිස්ලා හැකි විටක අකුරක් දෙකක් කියා දෙනු, ලියන්නට හුරු කරනු දුටුවෙමු. අළුතෙන් ලැබුනු ටී ෂර්ට් කලිසම් ඇඳගෙන තම්බීත් බොහොම පිරිසිඳුව හිටියා. ආ අර සීසර් සැතකමින් පසු ඇඳෙන් බැහැපු අම්මා........, ඇය දරුවා හදා ගන්න බෑ කියා පරිවාස බාරයට දෙන්න ඕනෑ යැයි කීවා. නමුත් පරිවාසෙන් එනතුරු දවස් 5 පමණ දරුවා සමග ගත කල මව, "අනේ ඩොක්ටර් දවස් 5 මම කිරි දුන්නා, මට මගේ දරුවා දෙන්න බෑ , මම ගෙදර අරන් යනවා, කොහොම හරි හදා ගන්නවා" කියා දරුවා ගෙදර අරන් ගියාය. ඇයටද බාහිර උපකාර ක්‍රමයක් ඉස්පිරිතාලයේ මානසික සෞඛ්‍යය ඒකකය මගින් සකස් කර තිබුනි.

 මගේ මේ කතා මුහුණු පොත හරහා දුටු , ඇමරිකාවේ සිටින ඥාතී අයියා විසින් බොහෝ ළමා ඇඳුම් සහ කුඩා මේස්කුට්ටම් විශාල ප්‍රමාණයේ තොගයක් එවා තිබුනි. "අපිට නම් කොහොම හරි ගන්න පුළුවන් මේවා අනිත්කොණට අරන් යන්න "කියමින් ඒවා දුටු  බබෙක් ලැබෙන්න සිටින තව ඥාතී සොයුරියක් පවා ඒවා නොගෙන මා වෙත ලබා දුන්නේ, මේ කතා වලින් සසල වූ ඔවුන්ගේ හදවත් වල ඇති කාරුණික බව සහ මිනිස්කම නිසාය. සාරියක් ගන්නට ගිය පිටකොටුවේ සාරි කඩේ දමිළ පිරිසද අනිත්කොණ තොරතුරු දැන් කොහොමද කියා අසා රෙදි කච්චි කිහිපයක් එහෙට එවන්නට පොරොන්දු වුනේ ඔවුන්ට හැකි පමණ මේ වැසියන්ට උදව් කරන්නටය.
කන්නට බැරි කේක් තට්ටු පිට තට්ටු හදන්නට රුපියල් තිස් දහ, පනස් දහ වියදම් කරන අප රටේ තරුණ තරුණියන් සිතා බැලිය යුතු කාරණා බොහෝමයක් තිබේ. ඒ දරිද්‍රතාවයේ අන්තිම අඩියේ සිටින මිනිස්සුද බොහෝ මේ මහ පොළව මත ජීවත් වෙන බවය. එය ඔවුන්ගේ කර්මය කියා හිත හදාගන්නවා වෙනුවට අපේ කර්මය ගැන හිතා පුළුවන් උපරිමයෙන් උදව් කිරීම වටිනවා යැයි සිතේ. මේවා ලියන්නේ ලොකු කමකට නොව, මෙවැනි ජීවිත මේ මහ පොළව මත තිබෙන බව කියා දෙන්නටය.

38 comments:

  1. පුදුම දුකක් දැනුනේ මේ කතාව කියවලා!

    අපේ රටේ සමාජ අසාධාරණය නැති වෙන්න තව කල්පයක් යාවි. කුළුණු ගුණැති අයගේ ආධාරයෙන් එක අවුලක්, එක මොහොතකට විසඳුවාට සමස්ත ප්‍රශ්නය හැමදාම එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කතන්දර... එක මොහොතකට ලැබෙන සහනයක් විතරයි ආයෙත් කරදර දුක් කන්දම අපේ පාමුල... මොනවා කරන්නද මිනිස් සංසාරේ හැටි..

      Delete
  2. අක්කගෙ පෝස්ට් එකක් දැක්කෙ නැති එක ගැන අපි ළඟදිත් කතා වුණා. ඩූඩ් අයිය තමයි මතක කළේ. ලිපියක් නැති අඩුව දැනුණා ගොඩක්.
    මේක කියවගෙන යද්දි මට හිතුණ එක දෙයක්. කොළඹ වුණත් මේ වගේ අය අපි ඕන තරම් දකිනව කියල. ලිපිය පහළට කියවගෙන යද්දි දැක්කෙ අක්කත් ඒකම ලියල තියනව. ඔයා කරල තියෙන වැඩේ අගය කරන්න මම වචන පාවිච්චි කරන්නෙ නෑ අක්කෙ. මොකද වචන මදි ඒකට.
    මගෙ ඇස් වලට කඳුලු ආව. අක්ක වගේ අය ඉන්නව තව ගොඩක් මේ ක්ෂේත්‍රයෙ. ඒත් ලෝකෙට එහෙම අයව පේන්නෙ නෑ. ඒකයි දුක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගී... ඔයා කියන කතාවට මම ගොඩක් එකඟයි... කොළඹත් අඩු නෑ.මොකද ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ සල්ලිය බාගේ නැති මිනිස්සු නිසා. කොහේ ඉන්නෙත් මිනිස්සුනේ...

      Delete
  3. බත් ඇති තැනටම කොස් තියෙන රටක.. කොස් තියා දෙල්වත් නැති තැන් ගැන කතා...

    ReplyDelete
  4. "කන්නට බැරි කේක් තට්ටු පිට තට්ටු හදන්නට රුපියල් තිස් දහ, පනස් දහ වියදම් කරන අප රටේ තරුණ තරුණියන් සිතා බැලිය යුතු කාරණා බොහෝමයක් තිබේ"
    කොච්චර ඇත්තද මේ කියමන!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. ඔය මල විකාර වෙඩිං කේක් ස්ට්‍රක්චර් ගැන කිව්වේ .. :)

      Delete
    2. කේක් ස්ට්‍රක්චර් එක්ක පුදුම තරහක්නේ තියෙන්නෙ. පුලුවං කමක් ලැබුනොත් ළමා ඇඳුම් සම්භන්දයෙන් කාව හරි ස්පොන්සර් කෙනෙක් හොයන්නං. ස්තිරවම කියන්ට බැහැ.

      Delete
  5. ලෝකෙටම ඇහෙන්නට බෙර ගහලා ලක්ෂ ගණන් වියදම් කරලා සෝබන දානයක් දෙනවාට වඩා ලොකු පුණ්‍යක්‍රියාවක් තමා අක්කා කරලා තියෙන්නේ.. ඔයවගේ කී දාහක් මේ අනිත්කොණේ ඉන්නවද. ඇත්ත්ටම අර අම්මාගේ ධෛර්ය්‍ය ගැන පුදුමයි. සීසර් කරපු දිනේම බිමට බැහැලා නැවිලා රෙදි සෝදන්න.. ඇය කොපමණ වේදනාවක් උසුලන්න ඇතිද? නැවත ලියන්න ගනිපු එක ගැන නම් බොහෝමත් සතුටුයි.තව තවත් ලියන්නට දිරිය ලැබෙන්නත් ඉදිරියේ කරන කියන සියළුම දේ සාර්ථක වෙන්නත් සුභ පතනවා අක්කි..!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි... මටත් බය හිතුනේ පෝස්ට් ඔප් කොම්ප්ලිකේෂන් ගැන හිතලා. ඒත් අනිත් සේරටම වඩා හොඳින් ඇය උන්නා..

      Delete
  6. දීමෙන් ලබන සතුට වෙන කිසි දෙයකින් ලබන්ට බැහැ.

    ReplyDelete
  7. අනිත් කොණ ආපහු ආ එක ගෙන පුදුම සතු‍ටුයි. බලන්න අපිට මේ වගෙ පෝස්ට්නෙ මිස් වෙන්නෙ නෑවිත් හිටියා නම්. ඔයාලා වගෙ වෛද්‍යවරු අපිට මුන ගැහෙන්නෙ කලාතුරකින්. අපි ඉන්න පළාත් වල සමහරු වෛද්‍ය වෘතිකයොද පොලිස් කාරයොද කියලාත් වෙලාවකට අපිට හිතෙනවා. ඔය පැත්තෙ ඉන්න මිඩ් වයිෆ්ලා, නර්ස්ලාගෙ පවා කැපී පෙනෙන වෙනසක් මම දකිනවා.

    එහෙනම් ඉඩ ලැබෙන හැටියටවත් අපි වෙනුවෙන් ලියන්න හොඳේ!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔබේ මතක් කිරීම් නිසාමයි ආයෙත් ලියන්න ගත්තේ, පුළුවන් වෙලාවට... ස්තූතියි ඩූඩ්... හැම දරුවෙක්ම දරුවෙක් කියලා හිතන හැම කෙනෙක්ගෙම ලියවීම් වලට දිරිය දෙන ඔබ වගේ අය දකින්න ලැබීම සතුටක් !

      Delete
  8. ඇස් වලට කඳුලක් එක් කරපු සටහනක්..

    අඳුරට ශාප නොකර එක පහනක් හරි දල්වන්නට ඔබ දරන උත්සාහය ඉහලින්ම අගය කරමි.

    ඇත්තෙන්ම මෙවැනි කෙනෙකුට උදව්වක් කරල ලැබෙන සතුට අන් කිසිවකින් ලබන්න බැහැ.කල හැකි යමක් කරන්නට සිතට ගනිමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලකී සිරි... ලියම්දෝ නොලියම්දෝ කියා සිතමින් සිට ලීයූවක්...ඇත්තටම දැන්නම් සතුටක් හෝ දුකක් මට දැනෙන්නෙ නෑ. සියල්ල තාවකාලිකයි. ආයෙ හෙටත් හමුවෙන්නේ දුකක් නිසා...

      Delete
  9. ලකී සිරිගෙ ෆේස්බුක් ලින්කුවකින් 'අනිත්කොනට' ආවෙ,
    මේ සටහන කියවලා ඉවර වෙලා බර හුස්මක් අරන් මම කල්පනා කරන්නෙ මේ දරුවන්ගෙ දෙමව්පියන් ගැන, විශේෂයෙන් තාත්තලා ගැන. අම්මලා තාත්තලාගේ නොදැනුවත්කම්, මෝඩකම් හා කරන වැරදි වලට අන්තිමේ වන්දි ගෙවන්නෙ මේ අසරණ දරුවෝ.
    ලියන ඔබතුමියගෙ උණුවෙන හිත ගැනයි අසරණ අයට පිහිටවෙන උතුම් ගුණය ගැනයි ප්‍රශංසා කරන්න වචන නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබ කියන පැත්ත හරි.... කොටි කරපු අපරාද වල තවත් පැත්තක්. හරි හමන් අධ්‍යාපනයක් නොලද මේ අය ගොඩක් වෙලාවට අම්මලා වුනේ කොටින්ගෙන් බේරෙන්න එතකොට ළමා සොල්දාදුවො ලෙස බඳවාගන්නේ නැති නිසා... ඉස්සර ලියූ මේ අම්මලා ගැන සටහන් බලන්න. එයාලා දැන් තමයි ජීවිතය හොයන්නේ... මහත්තයා/පියා දාලා ගිය පවුල් එමටයි.

      Delete
  10. කාලයක් තිස්සේ සිංහල බ්ලොග්ස් කියෙව්වට අද තමා මුල්ම පාරට comment එකක් කරන්නේ. අනිත්කොන ගෙම ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට මටනම් හිතෙන්නේ සමාජයේ ඉන්න ගොඩක් අයට වඩා රෝහලක වැඩකරන අයට ( රජයේ ) අපි අවට තියන දුප්පත්කම , අසරණකම පෙන්න දැනෙන්න තියන අවස්ථාව වැඩිය්.
    රට හදන්න අපිට බැරි වුනත් ඔබ කරලා තියන විදියට පොඩ්ඩක් හරි වෙනසක් කරන්න පුළුවන් නම් අනාගතය ගැන සුබවාදීව හිතන්න බැරිවෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... රට හදන්න බෑ... මේවා වෙනස් කරන්නත් බෑ..හැබැයි මෙහෙම කරාම, ඒ වෙලාවට පොඩි සහනයක් විතරයි කාට කාටත්. ඔබේ අදහස් වලට ස්තූතියි

      Delete
  11. කතාව කියවපුවාම ඇස්වලට නොකඩවා කඳුලු ගලා ආවා. අද කොච්චර සල්ලි තියන මිනිස්සු ඉන්නවද මේ වගේ දුප්පත් අයට උදව් කල හැකි. පොහොසත් රටවල මිනිස්සු (අපේ රටේ උදවියම ) උපන් දින සාද, දාන වගේ දේවල් සඳහා කොච්චර නම් සල්ලි වියදම් කරනවද? කෑම කොච්චර නම් අහක දානවද?

    කොහේ නමුත් බරපතල වැරැද්දක් තියෙනවා. මේ මිනිස්සු මීට වඩා දැනුවත් කරන්ට, සහන ආධාර ලබා දෙන්ට වෙන ක්‍රම නැද්ද?
    අර පුංචි මල්ලිගේ හැසිරීමම අපේ පුංචි මල්ලිලාගේ හැසිරීමට වඩා වෙනස්වෙලා තියෙන්නේ දුප්පත්කම නිසාද?

    මේ වගේ සංවේදී හදවතක් ඇති ඔබ වැනි දියණියන් රටට වාසනාවක්. ඔබටත් ඔබේ වාට්ටුවේ රාජකාරි කරන සියලු දෙනාටත් පිං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. දැනුවත් කරන්නයි දැනුම ලබා දෙන්නයි, පහසුකම් දෙන්නයි වෙනම නිළදාරීන් ඉන්න වග නම් පේනවා. ඒත් ඉතින් ඔය දේවල් ගැන අපේ රටේ පුරවැසියෙක් හැටියට කුමාරිහාමි දන්නවානේ හැම දේකම අන්තිමට සිද්ධවෙන දේ...හරියට ශිෂ්‍යාධාර වලින් අපේ සමහර යාළුවෝ කාර් එකට පැට්‍රල් ගැහුවා වගේ තමයි..සුදුසු තැනට සුදුසු දේ ගලා යන්නේ නෑ.

      Delete
    2. මම ජීවත්වෙන්නේ ඔය රටේ නෙමේ හන්දා මට ඒ ගැන අවබෝධයක් නෑ අනිත් කොණ.:(

      Delete
  12. අක්කා ආයෙත් ලියන්න පටන් ගත්ත එක ගැන නම් ගොඩාක් සතුටුයි.
    රෝගීන්ගෙ ලෙඩ සුවපත් කරන්න පුලුවන් වෛද්‍යවරු නම් ගොඩක් ඉන්නව ඒත් ඒ ලෙඩත් එක්කම හිතත් සුවපත් කරන්න පුලුවන් අක්ක වගේ අය ඉන්නෙ ගොඩක් අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී... බේ බ්ලොග් පිටුවත් මම කියෙව්වා... ආයේ පුළුවන් විටක ලියන්නම්

      Delete
  13. ඔබ අවසානයට ලියාඇති පේලිය බොහෝ දෙනෙකුගේ ඇස අරවාවී කියලා හිතනවා. ඒත් මිනිස්සුන්ගේ දුක හැබෑවට තේරෙන අය රට පාලනය කරන දවස එනතෙක් මේ තත්වය තවත් දරුණු වෙනවා මිස හොඳ අතට හැරේවි කියලා නම් හිතන්න බැහැ..

    ReplyDelete
  14. මගෙ කමෙන්ට් එක ස්පෑම් එකේ වෙන්නැති, අනිත් කොණ! පොඩ්ඩක් බලන්නකො..මම දාන කමෙන්ට් කෙලින්ම ඇඩ්‍රස් කරලා තියෙන්නෙ ස්පෑම් එකටද කොහෙද! :D ඒක මට නිතර අත්විඳින්න තියෙන දෙයක්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. නෑ ස්පෑම් වෙන්නෙ නෑ.. ඔය තියෙන්නේ අපූරුවට.

      Delete
  15. මම සත්මස් ගැබිනියක්.මේ ලිපිය මට කදුලු නවත්වා ගන්න බැරි තරම් දුකක් ගෙනවා.
    ඔයාගෙ සහෝදරී කිව්ව වගේ 'අපිටත් විසි කරන සල්ලි නැති උනාට, මේ දේවල් කොහොම හරි කර ගන්න පුලුවන්'.
    මම ඉන්නෙ Melbourne වල. දන්න තරමින් මෙහෙ ඉන්න සින්හල family වලින් වරක් දෙවරක් ඇන්දපු ඇන්දුම් ඕනේ තරම් සොයා ගන්න පුලුවන්.Tags නොකැඩු අලුත්ම ඇන්දුන් ගැන නම් මට සහතික වෙන්න බෑ.
    එත් එක වරක් දෙවරක් ඇඩ්න්දපු, පිරිසිඩු ඇන්දුම් ගන සහතික වෙන්න පුලුවන්.
    ඔබව සම්බන්ද කර ගන්න විදියක් කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔබේ ඔය සිතිවිල්ලම ගොඩක් වටිනවා.ඔබ පිටරටක ඉඳගෙන මෙහෙ ඇඳුම් එවන්න මහන්සි ගන්න එක ගැන දුකයි. ඇත්තටම ඕනෑ නම් ලංකාවේ රිජ් වේ ආර් යා ළමා රෝහලේ ඉඳන් කොයි තැනක ගියත් මේ දරිද්‍රතාවය දකින්න ලැබෙනවා. මම එක් රෝහලකින් එද්දී අපි එතෙක් ඇන්ද , තරමක් කුඩා වූ ඇඳුම් සියල්ල මෙඩිකල් වෝඩ් වල හිටි දුප්පත් අයට දීලා ආවා. වැඩියෙන් තියෙන දෙයක් දෙනවානම් කාට උනත් කමක් නෑ ඔබට හැකිනම් සොයා දෙන්න...පුළුවන් තැන් ඕනෑ තරම්. මේ කොණටම එවන්න ඔබ මහන්සි කරවන්න මට හිතෙන්නේ නෑ. මගේ අයියා එවන ලද්දේත් ඔහුගේ දරුවා පාවිච්චි කරපු ඇඳුම්. හැබැයි පිටරට ඉඳන් එවනවාට වඩා ඇත්තටම ලංකාවේ ඉන්න අපිට උනත් අපේ ඉවත දමන ඇඳුම් දෙන්න පුලුවන් මේ අයට... රෝහලේ මගේ හිතවත් සුළු සේවක පිරිසේ අය පවා මගේ අඳින්න බැරි ඇඳුම් අරන් යනවා තමන්ගේ දරුවන්ට අඳින්න.

      Delete
  16. මේක කියවලා ඇස් වලට කදුලු ආවා කියන්නෙ අමුත්තක් නෙවෙයි.. ජීවිතේම මම ගිහින් තියෙන්නෙ කාසල් රෝහලට විතරයි.. ඒත් නෑනගේ බබා හම්බුවෙච්ච වෙලාවෙ කට්ටිය බලෙන් වගේ මාව ඇදගෙන ගිය නිසා.. මම ඉක්මණට එළියට ආවා.. ඊට පස්සේ තමයි අපේ කට්ටිය තේරුම් ගත්තේ ඇයි මම ඇතුලට යන්න බෑ කිව්වේ කියලා...
    ඒ වෙලාවේ ඒ අලුත් අම්මලා ඉන්න අමාරුව දැක්කාම මට දැනුන දුක සහ බය ආයිත් ඇති උනා මේක කියවලා...

    බදින්න කලින් නම් ‌මේ වගේ දේවල් වලට පුළුවන් තරම් උදවු කලා ... ඒ කාලෙදි දැනුන සතුට තාමත් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු... කොයි තරම් හොඳද ඔබේ ඒ සේවය. ඇත්තටම දැන්නම් සතුටක් හෝ දුකක් මට දැනෙන්නෙ නෑ. සියල්ල තාවකාලිකයි. ආයෙ හෙටත් හමුවෙන්නේ දුකක් නිසා, වෙලාවකට එපාම වෙන්නේ මෙයාලගේ ප්‍රශ්ණ මැද්දට අපිත් මැදි වෙන එකයි... ඩොක්ටර් අරක නෑ මේක නෑ , කොටින්ම වතුර බෝතලයක්වත් නෑ කිව්වම අපියි අසරණ වෙන්නේ...

      Delete
  17. අර අවුරුදු තුනේ කොලු පැංචා ගැන පුදුම දුකක් ඇති වුනේ. ගොඩක් වෙලාවට ඔය වයසේ ළමයෙක් පිට තැනක තියා අම්ම තාත්ත එක්කවත් ඉන්නේ නෑ කරදර කරන්නේ නැතුව. ඒ අතින් බලනකොට අවුරුදු තුන කියන්නේ කොයි තරම් පොඩි වයසක් වුනත් අර අහිංසකයා ඒවා තේරුම් ගන්න ඇත්තේ දුප්පත්කමෙන් හම්බෙච්ච පන්නරේ හින්ද වෙන්න ඇති.

    ReplyDelete
  18. කාලෙකට පස්සෙ ඔයාගෙ ලිපියක් පළ වෙලා තියනවා දැක්කම සතුටක් දැණුනා. ලිපිය කියෙව්වම හිතට දුකයි. බරයි. උත්සාහයක් ගන්නම් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන ඔයාට හැකි විදියට හයියක් වෙන්න. මේ දේවල් ලියන්න අනිවාර්යයෙන්ම. ඉහළ තැන්වල ඉන්න අය නම් හිතන්නෙ මේ රටේ දුප්පත්තු කියල කොටසක් නැහැ කියල. නාස්තියයි, බොරු ආටෝප වැඩයි වැඩි ඒකනෙ.

    අඳුරට සාප නොකරන දැල්වෙන ඉටි පහනක් ඔයා වගේ අය. මම හරියට අගය කරනවා.

    ReplyDelete
  19. "කෑ දේ ගදයි දුන් දේ සුවදයි "

    ඇත්තටම අපි කොච්චර පොදි ගහගෙන හිටියත් යනකොට අරන් යන්නේ තමන් ජීවත්වෙලා ඉන්නකොට කරපු හොද සහ නරක විතරයි කියන එක තේරුම් ගන්න බැරි මිනිස්සු කොච්චරනම් ඉන්නවද ? සෝබනේට පන්සල්වලට දාන දෙනවට වඩා මමනම් කරන්නේ නැතිබැරි කෙනෙක් බලලා පවුද්ගලික උදවුවක් කරන එක ...
    ඔබගේ ක්‍රියාව මම පවුද්ගලිකවම මහත්සේ අගය කරමි ...

    ReplyDelete
  20. ලිපිය හිතට හරිම බරක් ගෙනාවේ... මේ වගේ පවුල් වලට උදව්වෙන්න පුළුවන් විදිහක් කියන්න පුලුවන්ද? එක්කෙනෙකුට හරි පුළුවන් විදිහකට උදව්වක් කරපුහම ලැබෙන සතුට ගැන කියල නිම කරන්න බැහැ...
    අම්මෝ කාලයක් බලාගෙන හිටියේ ලිපියක් වැටෙනකම් .. :)

    ReplyDelete
    Replies
    1. සඳ තරු... මේ වගේ කතා හැම දාම කියවන්න ලැබෙනවා පත්තර වලින්... මේ අදත් තිබ්බා... http://www.divaina.com/2012/09/16/feature04.html මේවා අනිත්කොණ විතරක් නෙමෙයි රටේ හෑම කොණකම බහුලවම ඇහෙනන් දකින්න තියන සිදුවීම්. ඔබ ඉන්න ප්‍රදේශයේ අහල පහලක උනත් ඉන්න පුළුවන් .ඒ ඕනෙම කෙනෙක්ට හැකි පමණ උදව් වෙන්න.

      Delete
    2. ඔව් doctor අනිත්කොන වගේම මෙහෙම දේවල් අනිත් පැතිවලත් ඇති.. (දැන් පත්තරනම් කියවන්නෙම නැති තරම්.. පත්තරකාරයෝ ගැන තියෙන කලකිරීම හින්ද) නමුත් ඩොක්ටර්ට වගේ අපිට මේ වගේ අසරණ මිනිසුන්ගේ හැබෑම තත්වය දැන ගන්න ලැබෙන්නේ හරි අඩුවෙන්. අපෙන් කීයක් හරි ඉල්ලගෙන එන මිනිස්සුන්ට වඩා මේවගේ අසරනකම් පිටට කියා කියා ඉන්නේ නැති මිනිසුන් අසරණයි කියලයි හිතුනේ... ඩොක්ටර්ගේ තැන මම හිටියනම් මමත් ඔයවිදිහටම කරයි.. මට දැන ගන්න ඕනේ වුනේ කීපදෙනේක්ගේ හෝ ආයතනයක සහයෝගයෙන් , මේවගේ අසරණ මිනිස්සුන්ගේ අවශ්‍යතා හරියටම හදුනගන්න ලැබෙන ඩොක්ටර්ලා වගේ අය හරහා අපිට යමක් කරන්න පුළුවන් වෙයිද කියලයි... කොයි පළාතේ වුනත් ප්‍රශ්නයක් නැහැ...

      Delete
  21. අද තමයි මේ අනිත් කොණට ගොඩ වුනේ, කොණක ඉදන් අනිත් කොණට කියවගෙන යන ගමන් තමයි මේ පොඅස්ට් එක කියෙවුවේ.සියල්ල කිය්වලා කොමෙන්ට් කරන්න හිටියත් මේක් කියවල කොමෙන්ට් නොකර බැරිවුනා. ඇත්තටම මාර ස/න්වේදී ලිපියක්.
    දොස්තර මුදලාලිලා ඉන්න රටෙ ඔබ වැනි අය මෙසේ සිතන එක ගැන ඉත සතුටුයි ( සමහර විට ඔබත් යම් දිනක ඒ තරගයට වැටේවී, මට හිතෙන හැටියට ඔබ තාම රැකියාවේ මුල අවදිය ගත කරන අයකු වගේ, කස්සදයක් බැන්ද දවසට, ළමයි ඉන්ටර්නැෂනල් කොලේජ් වලට යනකොට , වාහන වලට තෙල් ගහන්න ඕනි වෙනකොට , නමේ අගට තව කෑලි ගොඩක් එනකොට මේ සල්ලි පස්සෙ දිවීම ආරම්භ කරන්න වෙයි. නමුත් කවදාවත් ඔබ මේ සිතන විදිහ වෙනස් කර ගන්න එපා)

    අනිත් ලිපිටිකත් කියවන්නම්, සදා ජය !

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !