Sunday, July 9, 2017

ඔයාලත් මදුරුවෝ වගේමයි, විදිනවා ලේ ගන්නවා !

ඩෙංගු අධි වසංගත තත්වය නවතිනකම් මේ ඩෙංගු කතා ලියැවෙනු ඇත.
මම සැරින් සැරේ, මේ ගැන ලියන්නේ අවධානය යොමු කරන්න වගේම, මේ පවතින තත්වය ගැන දැනුවත් කරන්න.
හැමදාම වගේ, අප රෝහලත් ඩෙංගු උණ අධිකවම ඇති ප්‍රදේශයක වන නිසා, අහල ඇති බෝවන රෝග වෛද්‍යායතනය මෙන්ම මෙහිද වාට්ටු පිරී ඉතිරී ගොසින්.

මහ රෑ තිස්සේද පැයෙන් පැය රෝහල් ගත වන පිරිස අඩු නැත. වැඩිහිටි වාට්ටු වල තත්වය බොහෝ ඛේදනීයයි. අප වාට්ටු ඉක්මනින් පිරී ඉතිරී යයි. මව්වරු හෝ ළඟ සිටින අයවලුන් නිසා දෙගුණයක පිරිසක් වාට්ටුවේ රැඳී සිටී.

මධ්‍යම රාත්‍රිය පසුවන තුරුද රෝගීන් බලා අවසන් නොවීය. රැගෙන ආ එක් කුඩා දරුවෙක්ගේ මල්ලීද ඒ වන විට සිටියේ, ඩෙංගු ප්‍රතිදේහ ජනක (NS1 Ag) ඇති බවට ලද රිපෝට් එක නිසා රෝහල් ගතව ය. මේ වැඩිමහළු දරුවාගේ ඩෙංගු ප්‍රතිදේහ ජනක (NS1 Ag) negative නිසා ඔහුව දිනකට පෙර බාහිර රෝගී අංශයෙන් ගෙදර යවා තිබිනි. නමුත් ලක්ෂන සහ සංකූලතා ගැන දැනුවත් කර තිබිනි.

එදින හවස සිට ශරීරය පුරා කුඩා රතු ලප සහිතව, මූත්‍රා පිටවීමද අඩාලව, මලානික වී ඔහුද ගෙන ආවේ රාත්‍රියේය.
අම්මා සිටියේ ඇඩ්මිට් කරගත් දරුවා ළඟය , ගෙදර සිටි අනෙක් දියණියට , මේ දරුවාට කවා පොවන්නට බැරි වීලු, මෙවැනි සමාජ ප්‍රශ්න දරන්නට සිදුවී ඇත්තේ වෛද්‍යවරුන් වන අපටය. ඒ ඔවුන් අප හමුවේ මේ ප්‍රශ්න අත හරින නිසා ය. ඇඳුමේ පැළඳුමේ සිට සනීපාරක්ෂාව දක්වා සියල්ල පෙන්නුම් කරන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන ඔවුන්ගේ දුක්බර කතාව ය.

ඉතින් ඔවුන්ගේ මෙවැනි පවුල් වල ඇති ප්‍රශ්න සියල්ලද, අප මතම අත හරී....

" ගෙදර ඉතින් මම නෑ කියලා මෙයා කන්නෙ බොන්නෙ නැතුව අම්මා හොයමින් හිටියා" මේ අයට කිසිවක් කියන්නට නොහැකිය. පිය වරු කෙසේ හෝ එදිනෙදා යමක් හරි හම්බ කළ යුතුය.

ඒ තාත්තා වීල් එක එලෙව්වෙ නැත්නම් මේ රෝහල්ගතව ඉන්න පවුලට කන්න බොන්න හරි හොයන් එන්නේ කවුද ? මට සිහි විය.

තව දියණියක ඇඩ්මිට් වී තිබුනේද ඩෙංගු රක්තපාත ලක්ෂන සහිතවය. ඇය හඬා දොඩා ඇති බවක් වැටහේ. මම පරීක්ෂා කරන මුළුවෙලාවෙම ඇඬුම් බරව සිටියා ය.

"ඇයි මේ අඬන්නේ... ඇඩ්මිට් කරාට ද ?" වයස දහතුනක දියණියක් නිසා මම ඇසුවෙමි.

"නෑ ඩොක්ටර් තාත්තා බීලා ඇවිත් රණ්ඩු කරා, මම හොඳටම අමාරුවෙන් හිටියේ, අම්මා කොහොම හරි රණ්ඩු කරලා ඉස්පිරිතාලේ ගේනකොට තාප්පෙකත් හප්පගත්තා. මට බැන්නා, අසනීප වුනාට " කියමින් ඇය හඬා වැටේ.
"කෝ දැන් තාත්තා.. " මම ඇසුවේ සාමාන්‍යයෙන් පියවරුන්ද කොහොම හරි අපි පරීක්ෂා කරන මේසය අසල රැඳී සිටින හෙයිනි.
"බැන බැන ගියා යන්න" මව කියයි.
බොහෝ හුරුබුහුටි ඒ දියණියගේ මුහුණ දැඩි කම්පනයක සේයාවක් පෙනේ.

මා මේ කතා ඉවසා සිටින්නේ කොහොමද ඔබම සිතන්න. මා ලියන්නේ විටින් විට මට හමුවෙන හර්ද කම්පනයන් ය. ඒවා මවෙත ගෙන එන්නන්, බොහෝ දරිද්‍රතාවයෙන් දුක් විඳින පීඩිත පන්තියේ මිනිසුන් ය. මෙවැනි කතා එක සියයක් මට ලිවිය හැක. ජීවිතය මා හමුවේ තබන්නේ එවැනි වූ මිනිසුන් ය.

මූත්‍රා මනින්න කප් ගෙනෙන්න කඩේට යන්න කියන්න වෙන්නේද , ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න අමතක කළ නිසා නොවේ. වෙන කරන්න කිසිවක් නොමැති නිසා ය.

ස්කෑන් මැෂිම ද වාට්ටුව පුරා ගෙන යමින්, විටෙක ශරීර තුලට තරල පිටවී රක්තපාත තත්වය ඇද්දැයි වෛද්‍යවරයා පරීක්ෂා කළ යුතුවේ. එවිට වෙනත් රෝගා බාද නිසා රෝහල් ගතවූ අම්මලාටද ස්කෑන් ඕනෑකමක් ඇතිවේ. ඒ අයට කාරුණිකව හේතු සාධක පෙන්වා දෙමි.

වාට්ටුව පුරා අඳෝනා හඬ අඩුවක් නැත. විටෙක එය යටිගිරියෙන් කෑ ගසන දරුවෙක්ගේ මහ හඬකි. ඒ ලේ ගන්න වෙලාවලටය.

අපිත් විදිනවා විදිනවා ලේ ගන්නවා ඉවරයක් නෑ... කියා මිස් කෙනෙක්ට කියැවිනි.

සමහර විට අම්ම්ලා ළමයින් දෙපිරිසම අඬති. කුඩා දරුවන්ගේ සෝ සුසුම් ඉවසිය හැක්කේ කාට ද ?
" ඔයාලත් මදුරුවො වගේ..." දරුවෙක් දිනක් බැන්නේ ඒ වේදනාවට විය යුතු ය. 

තව මවක් පැමින තිබුනේ තමන්ට සහ පවුලේ සැමට ඩෙංගු හැදුණු නිසා, මේ දරුවාට උණ ගැනී, ලේ පරීක්ෂා කළත්, ඩෙංගු ලක්ෂන ඉන් පෙන්නුම් නොකළත්, ඇති වූ බිය නිසා වෙනි.
ඇයගේ ටිකට් කපා තිබුනේ දින දෙකකට කළින්.
"මේ ලේ එකනම් හොඳයි අම්මා, බය වෙන්න එපා" මම ඇයව අස්වසන්නට වීමි.
"ඒත් ඩොක්ටර් මම කොහොමද හිත හදාගෙන ඉන්නේ" ඇය පවසයි.
"ඩෙංගු උණ හැදිලා ගෙදර යැව්වත් විවේකීව ඉන්න ඕනෙ අම්මා ඔයා කොහොමද මේ දරුවා ළඟ ඉඳගෙන නිදිමරන්නේ"
"වෙන කවුරුත්ම නෑ ඩොක්ටර්,  සැරෙන් සැරේ මම ලොකු දුව පුතා සේරම ඇඩ්මිට් වුනානේ , මහත්තයට නිවාඩු නෑ" ඇය පවසයි.

වෛද්‍යවරුන් ගැන අහිතෙන් බොහොම නිර්දය ලෙස ලියන්නෝද හිඟ නොවේ. මම හිතන්නේ මේ වෙලවේ කවුරුත් තරහ ගන්න ඕනේ මදුරුවන් වැඩිවීම, අධි වසංගත තත්වය ගැන සහ ඒවාට නිසි පිළියම් නොකරන යාන්ත්‍රණය ගැන මිසක් වෛද්‍යවරුන් හෙදියන් සහ සාත්තු සේවකයන් කියන , මේ වෙලාවේ බොහොම සීරුවෙන් වැඩ කරන පිරිස සමග නොවේ.

ප්‍රශංසා අනවශ්‍යයි, ඇතැමුන් කියනවා වගේ මේ කරන්නේ රැකියාවක් නේ ඒ රැකියාවට අපිට පඩි ගෙවනවනේ... කියන මේ ටිකත් මේකටම එකතු කරනවා ! රෝගීන් ආවරණය කර තව මදුරුවන් කෑම වලක්වාගැනීමට කටයුතු කරන්නැයි රෝග මර්ධන ඒකකයෙන් දන්වයි. නෙට් හැමෝටම නැත. ඇත්තේ ගිය අවුරුදු දෙකකට කලින් විශාකා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය ගෙන ආ ආධාර වල තිබුණු නෙට් තොගය පමණි. මේ ගැන ලියූ සැනින්,  වෛද්‍ය වාසනා කැටගොඩ නංගී, නෙට් රැගෙන පැමිණියා ය. (ගංවතුර වෛද්‍ය කඳවුරු වලටත් පැමිණ සහය වුනේ ඇයයි) 


8 July 2017
Ward full of dengue and Im consoling my self that "this too shall pass... " but awaited too long for this to end... and i keep reminding my self that Im not the ruler ! It is dissapointing to see thi situation. Seeing photos of negambo and other hospitals is a pain too.
Thank you dr. Vasana Ketagoda for getting us the mosquito nets.
වාට්ටුව පිරෙන එකේ ඉවරයක් නැත මව්වරුන් දරුවන් සියල්ලන් හැටකට අධික ප්‍රමාණයක් සිටී. රෑට එන්නේම අඩපණ වූ දරුවන් කරේ එල්ලාගෙනය. ඒ ඇවිත් පොවන්න මනින්න කියද්දී තරහ ගන්නේ අප සමගය.

ඇඳන් නැති එක ගැන හෝ කලබලය තව දුරටත් ප්‍රශ්නයක් කර නොගනිමි. කියා, ලියා වැඩක් නැත. එන තාක් අයට වෙදකම් කරමි.
#denguediary

පින්තූර - වාට්ටුවේ ලද අස්වැසිල්ලකදී මා ගත් පින්තූර...
උපුටාගන්නේ නම් මගෙන් අවසර ගන්න !

10 comments:

  1. You are doing a great service.

    ReplyDelete
  2. දරිද්‍රතාවය එක්ක පොර බදන මිනිස්සුන්ට ජීවිතයත් එක්කත් පොර බදින්න වුණාම ඔහුන් කොතරම්නම් අඩපන වෙනවද කියලා හිතෙනවා,......

    ReplyDelete
  3. හැම ලෙඩාටම වෛද්‍යවරුන් දෙවිවරු වෙති. ඒත් දැනට සනීපයෙන් සිටින ඇතැමුන්ගේ කියුම් කෙරුම් නිසා ඔබ වැනි වෙදදුරන්ට ද රිදුම් දෙන බව දැන කම්පාවෙමි.

    ReplyDelete
  4. ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ ඩෙංගු ගැන මේ විදියට අපිව දැනුවත් කරනවට. ඔයා ගෙ තොරතුරු වලින් දැනුවත් වුනු දේවල් මම අපේ දන්න කියන අයටත් කියනව. දැන් මේ පැත්තෙ ගෙවල් 6ක විතර පොල්ලෙලි දාල හවසට දුම් අල්ලනව.

    ReplyDelete
  5. //වෛද්‍යවරුන් ගැන අහිතෙන් බොහොම නිර්දය ලෙස ලියන්නෝද හිඟ නොවේ.//

    මේ වනවිට වෛද්‍යවරු ගැන නිර්දය විවේචන කරන්නේ ප්‍රතිකාර ගැන හෝ රෝගී සත්කාර ගැන නොවෙයි. ඒ ගැන නිර්දය විවේචන කරමින් ලියවිලි ඇත්තේ නෑ. නිර්දය විවේචන සියල්ල එල්ල වෙන්නේ පුද්ගලික වෛද්‍ය පීඨයක් සම්බන්ධ දේශපාලන ප්‍රශ්නයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රෝගීන්ට හිංසා වන අධිපතිවාදී අන්තවාදී ක්‍රියාකාරකම් වලට පමණයි. අවුරුදු ගණනක් පසුගිය ආණ්ඩුව යටතේ ඒවාට එකඟ වෙමින් දැන් බොරු කුලප්පුවක් පෙන්වමින් මේ කරන්නේ අශික්ෂිත දේශපාලන ගැතිබවක්. එය විවේචනය කරනවා හැරෙන්නට ඊට එකඟ වෙන්න සමාජ් විඥානයක් ඇති අයකුට බැහැ.

    වෛද්‍ය වෘත්තියකයන් වන ඔබලා ලබාදෙන යම් සේවයක් නිසා ඔබලාගේ වෘත්තීය සංගම් අවතීරණ වන සියලු අන්තවාදී ක්‍රියාකාරකම් නිර්දය ලෙස විවේචනය නොකර, පන්සලේ ලොකු හමුරුවන් දෙසන දේ වලට මෙන් සියල්ලට එහෙයි කියා කිව යුතු ඔබ සිතනවා නම් එය එය, වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින ඔබට සිදු වී ඇති විශාල වැරදීමක්.

    ඩෙංගු ප්‍රතිකාර ගැන යම් අදහසක් පවසන්න තිබෙනවා එය පසුව වෙනම ලියන්නම්.

    ReplyDelete
  6. කලින් කීව ප්‍රතිකාර ගැන මේ.

    2011 දී මම ඩෙංගු රක්තපාත උණ වැළදී ප්‍රතිකාර ගත්තා රජයේ ශික්ෂණ රෝහලක. පළමුවෙන් කියන්න ඕනේ ඒ වනවිට පූර්ණ කාලීන රජයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටි ශිෂ්‍යයෙක් නොවුණා නම් උණ වැළදී පළමු දිනයේම රෝහලට ඇතුලත් වෙන්නට ලැබෙන්නෙත් නැහැ. ඒ බව පවසමින්ම තමයි වෛද්‍යවරයා මාව ඇතුලත් කරගත්තේ. ඇත්තටම නේවාසික වෛද්‍යවරිය/වරයා දෙදෙනා විශාල කැපවීමක් පෙන්නුවා ප්‍රතිකාර වලට. ඒ ගැන සෑහීමට පත්වෙන්න පුළුවන්. වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය වරුන් දෙදෙනා වුණ මහාචාර්ය පී. එල්. ආරියනන්ද සහ අරෝෂ දිසානායක දෙදෙනාගේ රෝගී ප්‍රතිකාර ගැනත් මට තිබෙන්නේ පැහැදීමක්. ඒ හැරෙන්නට මා බලාගැනීමට භාරව සිටි වෛද්‍ය ශිෂ්‍යයා ගැනත් මට විශාල පැහැදීමක් තිබෙනවා. අගය කල යුතු අය අගය කල යුතුයි. කෙසේ නමුත් ලංකාවේ සෞඛ්‍ය සේවය අවධානය යොමු කරන්නේ රෝගියෙකු මැරෙන්නට නොදීම ගැන පමණයි.

    නමුත් හෙදියන් සහ සාත්තු සේවකයන් ගැන නම් පැහැදීමක් නැහැ. රෝගියා ගැන කරුණාවක් ඇති බව පෙනුනේ නැහැ. වැලමිට ආසන්නයෙන් රුධිරය පහසුවෙන් ගත හැකිව තිබියදීත් සාම විටම ඔවුන් රුධිරය ගන්නේ පිටි අල්ලෙන්. බොහොමයක් උදෑසන වල පුහුණුව සඳහා රුධිරය ගත් වෛද්‍ය ශිෂ්‍යන් පවා ගත්තේ පිටි අල්ලෙන්. වෛද්‍යවරුන් වෙන්නට සිටින ඔවුන් ස්නායු සංවේදී තාවය ගැන නොදන්නවා වෙන්නට බැහැ.වෛද්‍ය ශිෂ්‍යන් පවා ගත්තේ පිටි අල්ලෙන්. වෛද්‍යවරුන් වෙන්නට සිටින ඔවුන් ස්නායු සංවේදී තාවය ගැන නොදන්නවා වෙන්නට බැහැ. පෙන්නේ නෑ වගේ ඒ ගැන ඔවුනට කියන්න එක එක හේතු ඇති. නමුත් ඉන් පසු තවම කිසිදිනක පිටි අල්ලෙන් රුධිරය ලබාගත්තේ නැහැ.

    එමෙන්ම ඉරිදා දිනක ලබා නොදුන් එක සේලයින් බෝතලක්, ලබා දුන් බව වැරදී ටිකට් එකේ (හෙදියක් විසින්) ලියවී තිබීම නිසා ෆ්ලුයිඩ් ලොස් එකක් ඇතැයි කලබල වීමෙන් කැතීටරයක් යෙදීම, මෙටා ස්ටාර්ච් ලබාදීම, බ්ලඩ් ගෑස් බැලීම, බ්ලැඩර් ප්‍රෙෂර් මැනීම ආදී විශාල කලබැගෑනියක් මා වෙනුවෙන් කරන්නට ඔවුන්ට සිදු වුණා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අතර කතාබහ තේරුම් ගැනීමට අවශ්‍ය පාරිභාෂික වචන ටිකක් සහ මුලික අවබෝධයක් තිබුණ නිසාත්, එවකට ප්‍රේමය එම රෝහලේම නේවාසික වෛද්‍යවරියක් වූ නිසාත් තමයි එවැනි දෙයක් වුණ බව දැනගන්නට ලැබුනෙත්.

    ඩෙංගු ප්‍රතිකාර ගැන වෛද්‍යවරුන් ගැන අපි කාටවත් ලොකු නිර්දය විවේචනයක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ. නිර්දය විවේචනය තිබෙන්නේ වෘත්තීය සමිති ක්‍රියාකාර කම් වලට. සමහර වෛද්‍යවරුන්ගේ කැපවීම ගැන අගය කිරීමකුත් තිබෙනවා. හැබැයි සමහර විට අතිශය නොසැලකිලිමත් භාවය නිසා (කලුබෝවිලදී අවස්ථා කිහිපයකදීම) ජීවිත හානිත් වෙලා තිබෙන බව පේනවා. ඒ මළවුන්ට කිසිදින නීතියෙන් සාධාරණය ඉටු වේ යයි සිතන්නත් බැහැ. අගය කිරීම මෙන්ම විවේචනද දෙකම තිබෙනවා. භාරගනවා නම් ඒ දෙකම භාර ගැනීමට සුදානම් විය යුතුයි.

    ReplyDelete
  7. සූට්ටක් මිස් උනොත්...... දොස්තර නෝනා ඇහැක් ඇරල බැලුවෙ නෑ....මිසීල එයාලගෙ වැඩ.... බෙහෙත් ඩින්ගක් දුන්නෙ නෑ.....කියන අපේ ම කුනු කතා අසමින් අප්‍රමාණ සේවයක යෙදෙන ඔබ සැමට තුති....

    ReplyDelete
  8. කරදර එක්කම ජිවත් වෙන මිනිස්සුන්ගේ ඔලුවට පහත් වෙච්චි හෙණ ගෙඩියක් ඩෙංගු කියන්නේ.

    ReplyDelete
  9. Is it OK to breastfeed if mother has dengue

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !