Monday, September 27, 2021

Poetic expressions on Anithkona book by Anura Gunathilaka



                 ....."අනික් කොන"....

අඳුරට ඇදෙන දෙනයන    මඟ හරස්............වන
එළියකි ඈත දක්වන         කඳුළැලිත්...........එන
කියවා බැලුවෙමි මම        පොත "අනික්..කොන"
පද,තර ඇඳුනි සිතුවිලි        හදවතින්............පැන

මිනිසා මිනිසගෙන් ලොව  අද වෙනස්...........වන
කුල මල ජාති ආගම්          වස විසක්..........මෙන
ඇසුවත් උපන්දා සිට          අප කොතෙක්....බණ
පැනයක් තැබූ වෙය පොත   සිත රිදුම්...........දෙන

නොසිතන සේම කිසිවිට    නොම දකින.......පැතී
දිවි මඟ තිබෙනවා,මය        අඳුරකම..............එතී
හොඳ සහ නරක හසුරන    මිනිසුනගෙ..........ගතී
අබියස දුක කඳුළ දෙක       පණිවිඩද............දෙතී

වෙනසක් නොමැතිවම දුක  හැමටම..........ගේනා
නපුරට ලැදි කුරිරු,තම         සිතුවිලි..........සේනා
කළ මහ විපතෙ අරුමය       ගෙනහැර........පානා
පවසයි යමක් නොකියම       දොස්තර.....නෝනා

ගිය දෙය ගියා පල නැත       ඒ ගැනම...........තැවී
නිවැරදි කර ගනිමු යළි        එය එලෙස......නොවී
වනසනු කුමට සිතුවිලි         වයිරයෙහි...........දැවී
දිනයක නියතවම යයි          දිවි පහණ...........නිවී

මෙකොනින් අනිත් කොන  දකිමින බසද......දිනා
දොස්තර නෝන වැටහුම     ලද සෙයකි.......මනා
ඇසු දුටු දෙයින්දැනුවත්       වන කරුණු.....ගෙනා
කියවිය යුතු පොතක්,මය    මෙය සියලු.......දෙනා

                       .........අගු.........

වෛද්‍ය බෝධිනී සමරතුංග විසින් රචිත මේ "අනික් කොන" නම් කෘතිය සියළුම ලාංකිකයින් විසින් කියවිය යුතුම පොතක් යැයි මම තරයේම විශ්වාස කරමි.

ඔබ මෙතෙක් නොකියූවේ නම් හෙටම කියවන්න..
අනුර ගුණතිලක කවියා විසින් අනිත් කොන කියවා මුහුණු පොතට එක් කළ කවි පෙළකි.

Thursday, September 23, 2021

Blook බවට පත් වූ බ්ලොග් එක.

මා ලියූ පළමු පොත... ගැන අද මතක අලුත් වූයේ කල්හාරී ලියනගම ඒවෙනුවෙන් ලියූ  මේ කවිය දුටු විටය... 
මෙහි ඇති නම් ගම් සියල්ල මනංකල්පිතය..යුද්ධය අවසාන වූ කාලයේ පටන් අවුරුදු 3ක ඇතැම් මතක අනිත් කොන පොතේද තව කොටසක් සායනික සටහන් නොවේ පොතේද ඇත.
පොත මුද්‍රණයේ නැත.. එහෙත් එහි එන මේ චරිත මා හද තවන මතක ඉතිරි කර ඇත... ඉන්දු.. වෙන්කටේශ්... රාජිතන්.. ගීතා... ඇතුළු බොහෝ දෙනා... මේ හැම දෙනාම හදේ තියා රැක්කෙමි...

උතුරු කොන රෝහලේ ජර්සියක් ඇන්ද කෙනෙක් දැක්කමයි කීවේ මහ රෑ 12ට සීතලේ වෝඩ් එකට දුවන මාව දැක්ක එහෙ මනුස්සයෙක්...ඩෙංගු අසාධ්‍ය තත්වයේ සිටි රෝගීන් 4-5 දෙනෙක් පළමු ඇඳන් කිහිපයේ තියාගෙන, ඒවායේ අගිස්සේ එල්ලා ඇති මූත්‍රා පැකට් එක පිරෙනකම් අනිමිස ලෝචනය කළ හැටි (ඇසිපිය හෙලමින් නමුත් එක එල්ලේ බලා හිටි) . මන්නාරමෙන් එවන මූත්‍රා සමග ලේ පිටවෙන ඩෙංගු රෝගීන්, icu බෙඩ් නැති නිසා "අමාරු වෙන්න එපා" යැයි යදිමින් වාට්ටුවේ පුළුවන් තරම් මොනිටර් කිරීම. එක උදෑසනක සර්ප දෂ්ඨ කිරීමෙ තුන හතර මොනිටර් කිරීම, ඒ එක්ක දෙන්නෙක්ට තුන්දෙනෙක්ට AVS දීම. එක්කෙනෙක්වත් ඇරෙස්ට් නොවීම. 

මේ ඔක්කොම තනි HO කෙනෙක් කරන්නේ කොහොමද ? " මෙච්චර නිර්භීත වුණේ කොහොමද " කියා vp madam ඔළුවේ අත් තියාගෙන කම්පා වීම ( අලුත් බැච් එක පමාවීම නිසා ) අන්තිමේ you were my best HO කියා අසා ගැනීම. එතුමියගෙන් එසේ අසා ගැනීම කිකිළියෙක්ගෙන් රත්තරන් බිත්තරයක් ලබා ගැනීම හා සමාන යැයි ඩෙපියුටි ඩිරෙක්ටර් පැවසීම... මේ ඔක්කොම අද උදේ මතක් වුණා... සංසාරේ....
 
හුඟක් වෙලාවට වාට්ටුවෙන් පිටවී ක්වාටර්ස් එකට යන්නේ නාන්න හෝ කෑම කන්න .... ඇතැම් විට නනා ඉද්දි වාට්ටුවෙන් කෝල් එනකොට වතුර බේරි බේරී දුවන් එනවා කාමරේ මැද දුරකථනයට. 
ඩිස්චාජ් වෙද්දි ඔක්කොම පොර කන්නේ ඉක්මනින් ගෙදර යන්න. සැරෙන් සැරේ යාදිනි තමන්ගේ කාඩ් එක ලියවගන්න. මම ඉතින් ලියනවා නෙමේ මලවනවා...අන්තිමේ දවසක මැඩම් ම කියා දුන්නා පොඩි පොඩි ලෙඩ රෝගවලට කාඩ් එක කෙටියෙන් අවශ්‍ය ටික පමණක් ලියන හැටි. Vp මැඩම් සහ සර්, එයාලගේ පවුලේ අය හැටියට වාට්ටු හතරේම වෛද්‍යවරුන්ව සැලකුවේ... ගෙට ගෙවිදීම, දරුවන්ගේ උපන්දින මේ හැම එකටම වෙනසක් නැතුව අපි ඔක්කොමලාටම කතා කරනවා.නිතර කෑම බීම වාට්ටු දෙකෙන් එකකට ගේනවා. අපි ඔක්කොම එක්කන් ඇවිත් කන්න දෙනවා. උතුරු කොනේ අපිට කොච්චර අපහසු කාලයක් වුණත් ඒ දෙන්නා ( වෛද්‍ය වාට්ටු හතරේ විශේෂඥ වෛද්‍යවරු දෙන්නා ස්වාමියා සහ බිරිඳ නාලායිනි මැඩම් සහ සර්) හරි පුදුමාකාර ලෙස අපට සෙනෙහස දැක්වූවා. 

මේවගේ දේවල් පත්තරවල පොත්වල ලීවේ නෑ...ඒවයේ ලීවේ....

"""විටෙන් විට ඇද වැටෙන මේ මහා වැහි වතුරෙන් සහ දෙගොඩ තලා ගොස් ඉතිරි කරන රොන් මඩ තට්ටුවෙන් උතුරු බිම් සරුසාර වන බව වැඩිහිටියෝ නිතර මතක් කර දුන්හ. 

එහෙත් හාත්පස සැරිසරන මදුරු සේනා සහ විටෙන් විට මුත්‍රා මැන බලමින්, පසුවන ඩෙංගු උණ රෝගීන්ද නොනවතින කැස්ස සමග දුම ඇල්ලීම සඳහා මැෂිම වෙත ඇදෙන ඇදුම රෝගීන්ද දකිනා මට වැස්සේ සොඳුරු බව නොපෙනුණි." කියලයි...

සුබේන් අයියා, සිවදාස් සර්, සුදා අයියා, නලායිනී මැඩම්...චාන්දනී මිස් ජයබුද්දිකා මිස්, සුදා මිස්...
විජයලක්ශ්මි අක්කා... නිලූකා මේ හැම දෙනාම මට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න උගැන්වූවෝ වෙති...

මේ දොස්තරලට විතරක් නෙමේ WHO එකටත් කුමන අමාරුවක්ද ?

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 2010 දී රිපෝට් එකක් පල කරලා තියෙනවා, global strategy to reduce harmful use of alcohol හෙවත් හානිකර ලෙස මත්පැන් භාවිතය අවම කිරීමේ ගෝලීය උපායමාර්ගය කියලා. එය පල කර තිබුනෙ 2010දී. ඒවගේම  2018 දී පල කළ  global status report on alcohol and health කියන ලිපියත් ඔබට අන්තර්ජාලයෙන් කියවන්න පුළුවන්.
දැන් බලමු WHO එකට මොන අමාරුවක්ද මේ කියලා...මොකද මත් පැන් Legalized ඒ කියන්නේ නීතියෙන් තහනමක් නැති දෙයක්.. ඉතින් එහෙම එකේ බොන්නේ තම තමන්ගේ සල්ලිවලින් නම් who එකට මොන අමාරුවක්ද ? වගේ දේවල් අහන්න පුලුවන් කෙනෙක්ට. 
ඒත් ඒකේ සඳහන් ලෙස මත් පැන් පමණක් ලොව පුරා මරණ මිලියන 2.5 කට හේතුවෙනවා. මත්පැන් හානිදායක ලෙස භාවිතා කරන මිනිසුන්ට හානි ගෙන එනවා පමණක් නොවේ ඔවුන් අවට සමාජයත් විනාශ කරනවා. 
මත්පැන්වල හානිදායක පැත්ත ගැන ලියූ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කළා වගේ ඉතින් කොහොමත් මැරෙන එකේ WHO එකට මොන අමාරුවක්ද ? කියලත් ඔබට ප්‍රශ්න කරන්න පුළුවන්. 
හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දකින මේ ප්‍රශ්නයේ සංකූලතා , ඒ කියන්නේ පුද්ගල, සාමාජීය සෞඛ්‍ය මූල්‍යමය කියන හැම සංකූලතාවයම අපි ජීවත්වන සමාජයෙන් වගේම රෝහල් තුලදිත් දකින්නේ ඒවාට ප්‍රතිකාර කරමින් පැලැස්තර අලවන්නේ සෞඛ්‍ය සේවයන්. 
මම පළවෙනිම පාරට රෝගියෙකුගෙන් ගුටි කෑවෙත් සීමාවාසික වෛද්‍ය කාලයේදී, පාරේ වැටිලා හිටිය බීමත් කෙනෙක් රැගෙන විත් තිබුනා වාට්ටුවට.ඔහුව පරීක්ෂාකරන්න ගියේ නැගිටගන්නවත් බැරි තත්ත්වයෙන් හැල හොල්මනක් නැතිව හිටිය නිසා. මේ මනුස්සයා, ප්‍රෙශර් බලන්න, පෙනහළු හර්දයපරීක්ශා කරන්න ළං වූ විට, මා විසිවී වැටෙන්න තරම් පහරක් එල්ල කළා වම් අත පපුව දිහාට. 
ඒ මනුස්සයා උදේවෙද්දි වෙරි හිඳිලා සමාව ගත්තා. ඒත් ඔහුට අවඥා සහගත කතා අහන්න සිදුවුනා අවට හිටිය අයගෙන්. ඒ ඔහු සිවිල් සමාජයේ වගකිවයුතු ‍රැකියාවක් කරන කෙනෙක් නිසා. ඔහුගේ රැකියාවත් උලුප්පා දක්වමින් එක්  අයෙක් කීවේ... මෙහෙම ඉතින් මෙයාලා හැසිරෙද්දි අපි කොහොමද එයාලට ගරු කරලා විශ්වාස කරන්නේ... කියලයි. 

වෛද්‍යවරුන් හැටියට අපි මේ ගැන විරුද්ධ මත දරන්නේ , ඒ ගැන ලියන්නේ ඒවායේ අතුරු ආබාධ, සෞඛ්‍ය සමාජ සහ මූල්‍යමය ප්‍රශ්න , හෙවත් කොම්ප්ලිකේශන් දකින නිසා. ලංකාවේ සමහරකට මේ ගැන  පාලනයක් නැති නිසා කියලා කියන්න ඕනේ. 
පසුගිය දා බාර් ඇරියාට පසු හදිසි අනතුරු, බීමතින් කරගත් ව්‍යසන දැකපු වෛද්‍යවරු හෙදියන් සටහන් පලකර තිබුනා. ලේ බැංකුවට වැඩ අධික වූ රැයක් බව ප්‍රධාන රෝහල් දෙකක වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සඳහන් කර තිබුණා. 

මත්පැන් නොබීව අප්පච්චි කෙනෙක් සහ ගෙදරටවත් නොගෙනාව ලොකු අත්තෙක් සිටිය නමුදු බීමත්ව අවසිහියෙන් හැසිරෙන අසල්වැසියන්, ඥාතීන් හිටියා. එක්කෙනෙක් අප අසල්වැසියෙක්. ඔහුගේ දරුවන් ඇතැම් දිනක අප ගෙදරට ඇවිත් නිදාගන්නේ, පාඩම් කරන්නේ. තව දැක්කා, ඥාතිකෙනෙක්ගේ බීමත්කම කොහේ ගියත්, පාටියකට ගියත් ඔවුන්ට ලැජ්ජාවක් වෙයි කියා දරුවන් සහ බිරිඳ බොහොම බයෙන් ඉන්න එක. ඔවුන්ගේ ජීවිතවල හැල හැප්පීම් අදටත් ඛේදවාචකයක්. 
අහලා බලන්න ලංකාවේ බොන නෙමේ නාන තාත්තලා ඉන්නේ... දරුවන් ගැහැණුන් විඳින මානසික වධය, ජීවිත ව්‍යසන දැකලා දැකලාම හෙම්බත් වෙලා. සිහිවිකල් ව තමන්ගේම දරුවන් දුෂණය කළ කතා අපට රෝහල් තුල මුණගැහුණා. බොන එක ආතල් එකක් නම් ඒක අපි දැකපු ජීවිත තුල එහෙම නොවුනේ ඇයි ? 

අන්නස්‍රෝතයේ රුධිර නාලිකා ඉදිමිලා පුපුරලා ලේ වමනේ ගිහින්, අන්තිමට, කෘතිම ශ්වසනය දෙමින්, රිසසිටේට් කරන තැනට අවුල් වෙච්ච, සිරෝසිස් හැදුනු එහෙම අය, මත්පැන් ඇබ්බැහිය එක්ක ආපු ප්‍රශ්න එක්ක ආ අය සමඟ හෙට්ටු වෙච්ච කායික වෛද්‍ය වාට්ටු කාලයක් පසු කළ සහ, ඊට පස්සේ ඇබ්බැහි වූ හෙවත් ඇල්කොහොලික්ස්ලා හමුවූ.. referral  බලන්න මෙඩිකල් වෝඩ් ගිය පසු හමුවූ alcohol withdrawal...සහ dilerium tremens හැබැහින් දුටු මනෝ වෛද්‍ය ඒකකයේ කාලයද මතක් වුණා.. ලියන්න පුලුවන් සේරම කතා ලීවා විටින් විට. මේක සැහැල්ලුවට අරන් මත්පැන් බොන එක උත්කර්ෂයට නංවලා ලියන එක නම් හරි නෑ. 
මිලානී සල්පිටිකෝරාල නීතීඥතුමිය සටහනක් පලකර තිබුණා, බාර් ඇරිය එදින රෑ බීමත් සැමියන් නිසා අඩම්තෙට්ටම් විඳි ගැහැණුන්, අඩුම තරමේ හත් අට දෙනෙකුගේ අඳෝනා අහන්න වුණු බව.

ලෝකය පුරා සෞඛ්‍ය ප්‍රශ්න බොහෝමයකට හේතුවක් ලෙස ද සංවර්ධන වෙමින් පවතින රටවල ප්‍රජාවට ප්‍රබල ලෙස බලපාන හේතුවක් ලෙස ද මත්පැන් බීම ගැන WHO ලියා දක්වනවා. ඒවගේම , මෙය වෙනස්කළ හැකි සෞඛ්‍ය තර්ජනයක් ලෙසද පෙන්වා දෙනවා. ඒ කියන්නේ ජානමය සැකැස්ම, ලිංග බේදය, වයසට යෑම අපට වෙනස්කළ නොහැකි සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන නමුදු, මෙවැනි නරක පුරුදු අපට වෙනස් කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
මෙයින් ඇතිවන සෞඛ්‍ය ගැටළු සඳහා සෞඛ්‍ය අංශවල මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම වගේ දේවල් තුලින් ඇත්තටම සංවර්ධනය වෙමින් පවතින රටක ආර්ථිකය කෙරෙහි අහිතකර බලපෑමක් ඇතිකරනවා. 
බේබදු තාත්තලාගේ විතරක් නෙමේ අම්මලාගේ කතාත් මම ඇති තරම් අනිත් කොන සහ සායනික සටහන් නොවේ පොත්වල ලියා ඇති නිසා ඒවා නැවත නැවත ලියන්නේ නෑ.