රෝග දුක් රජයනා පුරවර - මොටද සැනසුම් සුසුම් හරි බර...
රෝහල්වල ලු දකින්න පුළුවන් හදවතින්ම කෙරෙන යාඥා ... අහිමි වීම් ගැන ඒ තරම් දැනුනු තැනක් තවත් නම් නැතුව ඇති... මරණය හමුවේ සටන් වදින , ඇතැම් විට දිනන ඇතැම් විට පරදින ඇතැම් විට සටන අත් හර දමන්නට සිදුවන, DNR - Do not resuscitate ලේබලය සහිත ඇඳ ඉහපත් නිසා පණ අදින ලෙඩුන් බල බලා මරණයට දිනන්නට ඉඩ දී බලාගෙන ඉන්න වීම. මේ සියල්ලම අපේ ජීවිතේ කොටසක් වගේ... අප රෝහල් වල, රෝගියා හෝ ඥාතීන් විසින් විශේෂඥ වෛද්‍යවරයා දැනුවත් කර, අසාධ්‍ය වුනොතින් දිගින් දිගටම, පණ ගන්වන ක්‍රියාවලියේ යෙදෙන්නට එපා යැයි හෙවත් do not resuscitate කියා ඉල්ලා තිබුනොතින් එවැන්නන්... අසාධ්‍ය වූ විට අපට ඔවුන්ට සැනසිල්ලේ ඒ ගමන යන තෙක් බලා ඉනන්ට සිදුවේ. බොහෝ විට මේ ලෙස ඉල්ලන්නේ දිගු කාලයක් රෝගාබාද වලින් දුක් විඳි පිරිසයි. ඇතැම් විට රෝගාබාද සමග බොහෝ මහළු වයසේ සිටින අයද, ඔවුන්ගේ ඥාතීන් දුවා දරුවන් මෙවැනි ඉල්ලීම් කරනවා. එහි තීරණය විශේෂඥ වෛද්‍යවරයා අතේ ය.
මධ්‍යම රාත්‍රී දොළහ පසුවෙද්දීම රාත්‍රී සේවයේ යෙදී සිටින මා වෙත දුරකථන ඇමතුමක් ලැබුනේ පැයක පමණ කෙටි නින්ද හමාර කරමින්. රාත්‍රී සේවයේ නියුතු වෛද්‍යවරයා සිටිය යුත්තේ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ ය.
"ඩොක්ටර් අර බෙඩ් 2 එකේ රුක්මනී පේෂන්ට් ගේ සැචුරේෂන් ඩ්‍රොප් වෙනවා, එයාගේ දුව කලබල වෙලා ඩොක්ටර්ට එන්න කියන්නලු... ඒත් ඩොක්ටර් ඩී එන් ආර් නිසා අපි මොකද කරන්නේ. තව වෙලා තියෙනවා. " හෙදිය පවසයි.
රුක්මනී (අනවර්ථ නමකි) හැත්තෑ වියේ පසු වේ. හෘද රෝග මෙන්ම වකුගඩු රෝගයෙන්ද දැඩි ලෙස පීඩා විඳ දැන් අවසාන අදියරේ සිටින්නියකි. වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. සෑම රෝහල්ගතවීමකදීම ඇයගේ දරුවන් බොහෝමයක් පැමිණ යයි. බොහෝ කල් දුක් විඳි ඇයගේ පැතුම වූයේ, නැවත පණ ගන්වන්නේ නැතිව මියැදෙන්නයි. ඒ බව සෑම රෝහල් ගතවීමකදීම අප වෙත දැනුම් දෙයි. ඇගේ දරුවන්ගේ පැතුම ද දුක් නොවිඳ මව ට සැපවත් මරණයක් අත් වීමය.
ඇය දින දෙකක් තිස්සේ සිටින්නේ සිහියක් නොමැතිවය. ඇස් ඇර බලන්නේද නැත. මූත්‍රා පිටවෙන්නේ නැත. රුධිරයේ අහිතකර එන්සයිම වල අගයන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. බෙහෙත් කිසිවකට දැන් කළ හැක්කක් නොමැති වී ඇත. ඇය දුර්වල හදවතින්, හුස්ම ගන්නට බැරි තරම් දුබල පෙනහළු වලින් අවසන් හුස්ම හෙලයි. තම මවගේ අවසාන මොහොතේ ළඟ සිටින දියණිය හඬා වැලපේ. ඇය සම්බන්ධ කර ඇති මොනිටර් වල තිර මත කෙමෙන් වියැකෙන හර්ද ස්පන්දනයද, හුස්ම ගැනීමද නිසල වුන විට , මරණය සිදුවූ වෙලාව ලියා තැබීමට සිදුවේ. එතෙක් කිසිවක් කළ නොහැක.
පාන්දර 2 පසුවෙද්දී ඇගේ ජීවිත සටන නිමා විය. පරීක්ෂා කිරීම අතරතුර මතක් වෙන්නේ මද සිනහවෙන් අපේ කරදරකාරී පරීක්ෂා කිරීම් ගැන විහිළු කරන ඇයගේ මුහුණයි. අත්තම්මා කෙනෙක් සේ අපට සමීපව සිටි අයෙකි. නිතර වාට්ටුවට ආ අයෙකි. මගේ දෑසට කඳුළු නැගෙන්නේ පෘතග්ජන නිසාවෙනි. සටහන් කිරීම ෆෝම් පිරවීම, මරණ සහතිකය පිරවීම යන මේවා හමාර කර නැවත විවේක කාමරය වෙත එද්දී කොරිඩෝව දිගට අද්දමින් ඇවිදින පා හඬක් මතුවේ. කොරිඩෝවේ කිසිවෙකුත් නැත. මා පමණි. නිදිවරා සිටින නිසා වෙන් දැයි සිතමින් යද්දී නැවත මා පිටුපසින් එම හඬ පැමිණේ. හිත ගැස්සෙයි.
වාට්ටුවේ සුළු සේවකයන්, ඇටෙන්ඩන්ලා කියන හොල්මන් කතා සිහිවේ. හවස 6න් පසු ඔවුන් කොහේ යතත් යන්නේ තවකෙකු සමගය. ලේ පරීක්ෂා කිරීමට යැවූ සාම්පල සමග ගිය කෙනෙකු සිහි විසඥ වූ අයුරුත්, තල්ලු කල, ඇඳෙන් බිමට ඇද දැමූ කතාත් එමටය. ඒ සියල්ල දැන් සිහිවේ. ආ වේගයෙන්ම නැවත වාට්ටුව වෙත ගිය මට දකින්න ලැබෙන්නේ තිරයකින් වසා ඇති ඇගේ ඇඳ පිහිටි තැනයි.
"ඇයි ඩොක්ටර්" හෙදිය කලබල වේ.
"නෑ නිකම් " මගේ කතා හමුවේ ඔවුන් කලබල කරන්නේ කුමටද ?
පාන්දර 3 පසුවී ඇත. එළිමහන් පාරෙන් රෝහල් බුදු මැදුරට ගියෙමි. නිරාවරණව ගල් කණු සතරක් අතර මැදි කර සමාධියෙන් වැඩ සිටි බුදු පිළිමය හිත නිවා සනසයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා. මෙත් වැඩුවෙමි. මළගිය ඇත්තන්ට පින් දුන්නෙමි... නැවත නේවාසිකාගාරයට ගියෙමි. පසුව මා අතින් මෙසේ ලියැවෙයි.
ගව් ගනන් දුව ඇවිද හෙලූ දහඩිය බෝම
නැවතිලා ජීවිතය අතරමග නොකියාම
ඉනූ කඳුලැලි නිමක් දකින්නට නැත තාම
අවසාන හුස්ම පොද අතැර යන්නේ කොහොම
Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Tuesday, May 12, 2015
Tuesday, May 5, 2015
මේ බෙහෙත නැද්ද ?
ඉස්පිරිතාලය එකම දුක් ගොඩකි. ඔවුන්ගේ රෝගාබාද වලට පිළියම් සොයා පැමිණි ගමන් , විඳින දුක් කරදර අප හා පවසති. ඒවා ඇහුම්කන් දෙනවා මිසක සියල්ලන්ටම පිළිසරණක් වන්නට අපට නොහැකිය. ඒ අප පත්ව ඇති තත්වය නිසාය. ලෙඩක් දුකක් වුන වහා රජයේ රෝහල් වලින් නොමිලේ වෙදකම සැපයූවත් බෙහෙත් හේත් අහේනිය නිසා ෆාමසියෙන් මිලදී ගන්න යැයි තුන්ඩු ලැබෙන විට ඔවුන් පත් වෙන්නේ බොහෝ අසීරු තත්වයකටය. දිනක් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ෆාමසියකින් බෙහෙතක් ලබා ගැනීමට ගිය එක්තරා වෛද්‍යවරියකට එහි කවුන්ටරය වෙත තුන්ඩුවක් දිගු කරමින් සිටි සීයා කෙනෙක් හා ඖෂධ වේදියා අතර වූ කතා බහ ඇසෙන්න්ට විය.
“මා ළඟ එච්චර ගාණක් නෑ. රුපියල් සීයකට හරියන්න දෙන්න” සීයා පවසයි.
“ මේ එක කරලක් රුපියල් 23ක් වෙනවා, දවස් 5 කට ලියලා තියෙන්නේ හැබැයි එස් පී සී එකේ එක නම් රුපියල් 3.25 යි ඒක දෙන්නම්”
“නෑ ඔය නමම තියෙන බෙහෙතම ගන්න කීවා” සීයා පවසයි.
වෛද්‍යවරිය හඳුනන ඖෂධ වේදියා ඇය දෙසට හැරී. “ ඩොක්ටර් මේ බෙහෙත් දෙකේ වෙනසක් නෑනේ..” ඇයට තුන්ඩුව පෙන්වයි.
“ මම දියවැඩියා ක්ලිනික් එකට එන්නේ නෝනා, කකුලේ තුවාලෙට මේ බෙහෙත ලියලා දුන්නා” සීයා පැහැදිලි කරයි. එය

තුවාලවලට දෙන ඇන්ටිබයොටික් එකකි. එය සුලභව රෝහල් වල තිබේ. ඔහුට මේ තුන්ඩුව ලියා දී තිබුනේත් රජයේ රෝහලක සායනයකිනි. දියවැඩියා පෙත්තද පිටින් ගන්න යැයි ලියා දී තිබිනි.
“මේවයේ වෙනසක් නෑ තාත්තා. එස්. පී. සී. එක ගාණ අඩුයි” වෛද්‍යවරිය කරුණු පැහැදිලි කර දෙන්නට උත්සහා ගත්තේ ඔහු කෙරෙහි අනුකම්පාවෙනි.
එස් පී සී (SPC) යනු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බෙහෙත් ය. ඒවායේ මිල සාධාරණය.
“වෙන ඒවා අරන් තුවාලේ හොඳ වුනේ නැත්නම්….මං ළඟ රුපියල් එකසිය විස්සයි තියෙන්නේ. දවස් දෙක තුනකට බෙහෙත් අරන් , ආයෙ ඇවිත් ගන්නම්” ඔහු විස්වාස කරන්නේ ලියා දුන් බෙහෙතම ගත යුතු බවය. ඉන් තුවාලය හොඳ වේයැයි ඔහුගේ මනසට කිඳා බැස තිබේ. ඖෂධවේදියාට පිංසෙන්ඩු වෙයි.
“දවස් දෙක තුනකටනම් බෑ එක දවසකට වගේ ගන්න පුළුවන්” ඔහු පවසයි.
“හා එක දවසකට දෙන්න මං ඇවිත් ඉතුරුවා ගන්නම්” මහළු වයසේ ඔහු විඳින දුක් කරදර මැනැවින් ඒ කඳුළු පිරි දෙනෙත් කියා පෑවේය. සීයා රුපියල් එකසිය විස්සක් සාක්කුවෙන් ඇද එදෙස බල බලා කල්පනා කර ඉන්පසු රුපියල් විස්සක් සාක්කුවට දමා ගත්තේය.
වෛද්‍යවරිය ක්ෂණික තීරණයක් ගෙන ඖෂධවේදියා ඈ දෙසට කැඳවා ඔහුට අවශ්‍ය බෙහෙත ඇගේ බිලට ඇතුල් කරන ලෙස පැවසීය.
“ ආ සීයේ ඔක්කොම බෙහෙත් ටික… අර නෝනා අරන් දුන්නා…” වෛද්‍යවරිය බිල් ගෙවන කවුන්ටරයේ සිටින අතර ඖෂධවේදියා පවසනු ඇයට ඇසිනි.
කඳුළු පිසමින් ඔහු පිටව යන අතර වෛද්‍යවරිය ළඟ නැවතී “ ගොඩාක් පින් දුවේ” යැයි පැවසුවේය.

මෙවැනි සිදුවීම් නිසා අප හිත් සංවේදී වේ. දෑසට කඳුළු පිරේ. මොවුන්ගේ විශ්‍රාමික වයසේ නිදහසේ බෙහෙත් හේත් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඇවැසි වේ යැයි මට සිතේ. රෝගියාගේ සමාජ තත්වය සහ ආර්ථික අපහසුතා විශ්ලේෂණය කර වඩා සහනදායි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු වේ යැයි මට සිතේ. රෝහල් වලද ඖෂධ ඉවර වෙනකම් ඉන්නේ නැතුව කලින් ඇනවුම් කර ලබාගෙන ඒවා නිකුත් කරන ක්‍රමයක් ඇති කළ යුතුය.
මීට පෙර කිහිප වතාවක් මේ ගැන බ්ලොග් ලිපි ලියා ඇත්තෙමි... බෙහෙත් නැති වෙනකොට ... එවැනි ලිපියකි.
Subscribe to:
Posts (Atom)