Sunday, July 29, 2012

විහින් මැරෙන්නේ නැතුව රාජකාරිය විතරක් කරන්න !



නොලියූ කතා ටිකක්...

"අද ටිකක් කලින් අපට යන්න වෙනවා සර්." ස්නායු වෛද්‍ය විශේෂඥ තුමා වෙත එසේ කියද්දී ඔහු අප දෙස කණ්නාඩි කුට්ටමට යටින් බැලුවේ "මොකක්ද ඒ පාර" කියමිනි.

" සර් අපි හොයාගත්තා, ලොජ් එකක් තියෙනවා කියලා මේ අහවල් ගමේ. එතෙන්ට පොඩි කෙල්ලො කොල්ලෝ එනවලු. ඒකට විරුද්ධව මොකක් හරි කරන්න ඕනෙ නිසා පන්සලේ හාමුදුරුවන් හම්බුවෙන්න යන්න හදන්නේ අද හවස."

"අයිසේ මේ මම කියන්නේ නෑ ආයේ. මේ තමන්ට කරන්න පුළුවන් වැඩේ විතරක් කරලා නිකම් ඉන්න මේ නන්නාඳුනන පළාත් වලට ඇවිත් ගම් හදන්න යන්නේ. තමුන්ලා දන්නවද ඔය ඕවා කරන මිනිස්සු පාතාලේ එහෙම සම්බන්දකම් තියෙන උන් කියලා. පිස්සු නැතුව ඉන්ඩ. මම දැක්කා දෙන්නා තුන් දෙනා එකතුවෙලා බැහැගෙන අර  පොන්ඩ් එක සුද්ධ කරනවා ඊයේ පෙරේදා." සර් තරහ ගිහින් අපිට හොඳටෝම බැන්නා.

"ඔව් සර් අපි පේන්ට් කරා අළුතින් මාළු ගෙනත් දැම්මා" මේ බ්ලොග් එකේ කතා වලත් සිටින අපෙන් එකෙක් එහෙම කිව්වේ ඒකටත් බැනුම් අහගන්න වෙයි කියලා හිතාගෙන නෙමෙයි.

අපේ හිටපු ජේෂ්ඨයින් දෙදෙනෙක් හදපු ලොකු පොකුණ සුද්ධ පවිත්‍ර කර එයට අලුතෙන් මාළු පැටව් ගෙනත් දමා වටේ සිමෙන්ති බන්ට් එක වටේ තීන්ත ගෑවේ අපි වෛද්‍යවරු සේරම එකාවගේ එකතුවෙලා. 

ඊළඟට කොහොම හරි එදා අපි කරන්න ගිය වැඩේ නැවතුනේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ තුමාගෙන් බැනුම් සංග්‍රහයක් එක්ක ඒ රට හදන්න කලින් ජීවිතේ බේරගෙන වැඩ කරන්න ඉගෙන ගන්න කියලා.
අනිත්කොණ රෝහලට යන්න කැමැත්තෙන් ඇප්ලයි කරපු දවසෙත් ස්නායු වෛද්‍ය සර්ගෙන් බැනුම් ඇහුවේ ලොකු වැරැද්දක් ජීවිතේට එකතු කර ගත්තා වගේ.

"වෙන උන් ඊළඟ උසස්වීමට විශේෂඥයෙක් වෙන්න ඉගෙන ගන්නවා කොළඹ ඉඳගෙන ඉගෙන ගන්නේ නැතුව තමුන් තව ඈතට ගිහින් මොනවා කරන්නද යන්නේ?" ඔහු බොහෝ වෙලාවක් බැන වැදුනා. ඒ අරමුණක් නැතිව සිටි අපට. "හරි සර් ඈතට ගිහින් පාඩම් කරන්නම් මොකක් හරි" ඔහොම කියා යන්තම් ෂේප් උනා. වැඩ කරන අතරේ අපි කොහොම හරි ඊළඟ විභාගෙටත් පාඩම් කරා.

අනිත් කොණ රෝහලේ අඩුවක්ව පැවති ලොකු බුදු මැදුරක් නිර්මාණය කර ගොඩ නැගුවා. මහ විහාරේ හාමුදුරුවන් වහන්සේ ඒ කාලයේ හැමදාම බණ කියද්දී මතක් කරන්නේ "මං දවසක් මෙතැනට වඩිනකොට මේං මේ ගහේ නලාව එල්ලලා අපේ දොස්තර මහත්තුරු ටික උදළු අරන් හරි හරියට පස් කපනවා. සිමෙන්ති අනනවා. " කියලා.
බුදු මැදුර සහ මළුව හැමදාම හවස අතුගෑවේ හේදුවේ අපි දොස්තරලා. සමහරු හුඟක් දොස් කීවා. සුළු සේවකයින්ට ඒක කරන්න අණ කරන්නේ නැතුව ඇයි මෙහෙම නැහෙන්නේ කියලා. අපි හැමෝම මිනිස්සු. රැකියාවේ උස් පහත් බේද තිබුනත් මිනිස්කම අතින් හැමෝම එක වගේ විය යුතුයි. අනිත්කොණ වැසියන් අපෙන් දුටු දයාව කැපවීම සහ සහෝදරත්වය නිසා ඔවුන් අපට සැලකුවේ ඔවුන්ගේම පවුලේ අය වගෙයි. ඔවුන්ගේ ගෙදරක බණක් දානයක් වුනත් , කෝවිලක උත්සවයක් වුනත්, මගුලක් උනත් අපිට කියන සිරිතක් තිබුනා. කෝවිලේ හැදෙන පොංගල් බත වාට්ටුවේ හිර වෙලා ඉන්න අනිත්කොණ ඩොකාට අනිවාර් යයෙන් එවනවා. හරියකට උයා පිහන් කන්නේ නැති බව දන්නා සුළු සේවයකයින් , රෑට එයාලා හදන උප්පමා, ඉට්ලි වඩේ වගේ දෙයක් මටත් ඔතාගෙන එන සිරිතක් තිබුනා. ඒ කාලය මතක් වෙද්දී ඇසට කඳුළක් නැගෙනවා ඔවුන් මතකයට එන නිසා.
මේ කතා මේ ආකාරයෙන් ලියන්න පටන් ගත්තේත් අප ඒකක වල ප්‍රධානීන් වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියෙන් සහ ආරාධනාවෙන්. මෙහෙමෙ ලියන්න තුන් හිතකවත් නොතිබුනා වගේම කතා ලියන්න පුළුවන් කියලා හිතුනේම නැති තරම් මොකද අවුරුදු ගණනාවක් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන් නේ.

අළුත උපන් දරුවාට අන්දන්න රෙදි කෑල්ලක් නැති අම්මලා දුටුවිට ගොස් තමන්ගේ මුදලින් බබා ඇඳුම් රෙදි ගෙන ආවේ අපට බොහෝ සල්ලි තිබෙන නිසා නොවෙයි. එවෙලේ අපි ඔවුන් කුමන ජාතියක කුමන ආගමක උන්ද කියා බල බල උන්නේ නැත. බස් එකට සල්ලි නැති අයට කාසි කීයක් හරි මිට මෙලෙව්වේ මනුස්සකමට හිත උණු වුන හින්දා. වාට්ටුවේ සිටින ඇතැම් රෝගීන් බත් කන්න බෑ කියා සිටිද්දී කාත් කවුරුත් නැති ඔවුන් හට ඉඳි ආප්පා රොටී හෝ ආප්ප මුලක් ගෙනත් දුන්නේ වෛද්‍යවරුන් කිහිපදෙනා මුදල් දාලා. ඒවට ඔය යුද්දේ තියෙද්දී මේ පැති වලට ඇදී ආපු ආධාර උදව් ආවේ නෑ කවදාවත් !

මේ බ්ලොග් එක ලියන්නට පටන් ගත්තේ 2009 අවුරුද්දේදීය. ඒ තවත් මෙලෙස ලියන වෛද්‍යවරුන් කිහිප දෙනෙකු නිසාය. ඔවුන් ලීවේ ඉංග්‍රිසියෙනි. සිංහලෙන් ලියූ අය ලියුවේ සායනික අත්දැකීම් නෙමෙයි කවි කතා ප්‍රබන්ද වගේ ඒවා.
එක් දිනක අප විශේෂඥ වෛද්‍යවරයා  විමසුවේ මෙහි සිටින දොස්තරලාගේ විශේෂ කුසලතා මොනවාද කියාය. අප සියල්ලන් උඩ බිම බැලුවේ සර් මොනවා අහනවාද කියාය. "ඔය චිත්‍ර අඳින. ලියන, සංගීතය කරන අය නැත්ද මේ සෙට් එකේ." සර් ඇසුවේය. මේ අනිත්කොණට පුළුවන් ලියන්න. ඒ වෙනකොටත් වාට්ටුවේ සියලු ලිපි ලේඛන සැකසුවේ මාය. "මෙන්න මෙයාලට ලියන්න පුළුවන් සර්." අපේ ජේෂ්ඨ අක්කලා අයියලා පැවසුවෝය. පසු දිනක සායනය අතර තුර අම්මා කෙනෙකු පෙන්වා ඔහු කීවේ මෙන්න ලියන්න හොඳ කතාවක් මෙයාගේ හිස්ට්‍රි එකේ තියෙනවා.
"සර් එතකොට ඒක එතිකල් නෑනේද. පුද්ගලික කරුණු ලියන එක".
එහෙම ඇහුවම සර් කිව්වේ "ඇත්ත තොරතුරු පල කරන්න එපා. කතා වගේ ලියන්න එතකොට ප්‍රශ්ණයක් නෑ.සමාජයට හානි දායක දෙයක් ලියන්නේ නෑනේ ඕගොල්ලො.අනිත් අයට ගත යුතු ආදර්ශ තියෙනවා. මේ වගේ මිනිස් ජීවිත තියෙන බව ලියන්න ඕනේ. ඒවගේම මෙහෙ මිනිස්සු සමග ඩීල් කරන විදිහ ලියන්න. ඒවා හානි දායක නෑ. කාගෙවත් පුද්ගලිකත්වයට හානි වෙන්නෙත් නෑ."
(සායන වල වෝඩ් රවුන්ඩ් එකේ, ගමේ අය සේරම ඉස්සරහ හිස්ටරි ගන්න වෙන අපට. එක මේසෙ  හතර පැත්තේ වෛද්‍යවරු හතර දෙනෙක් ඉඳගෙන ලෙඩ්ඩු බලන ක්ලිනික් තියෙන ලංකාවේ, දුෂ්කර ප්‍රදේශ වල තියෙන රජයේ රෝහල් වල පුද්ගලිකව මේ හැමෝම හමුවෙන්න තනි තනි කාමර නෑ. ලෙඩා කියන ඔක්කොම පෝලිමේ ඉන්න අයටත් වටේ ඉන්න අයටත් ඇහෙනවා. පොඩි දරුවන්ගෙන් සායනික ඉතිහාස ගනිද්දී බොහොම අමාරුයි වෙලාවකට අවට පිරිලා ඉන්න පිරිස නිසා. මේ තත්වය නැතිවෙන්න ගොඩක් කල් යයි. පුද්ගලික රෝහල් වලත් ,  පිටරටවලත් එහෙම නැති වෙන්න පුළුවනි. ඒ වගේ පහසුකම් ලැබෙන්න තව කාලාන්තරයක් යයි.)

 විශේෂඥ වෛද්‍යතුමා එහි නීතිමය සහ සදාචාරමය පැත්ත ගැන අපට කරුණු වටහා දුන්නේය. හැම ඒකකයකම ප්‍රධානී මෙන්ම විශේෂඥ වෛද්‍යතුමන්ලාගේ තුමියලාගේ අවසරය මේ සඳහා ලැබුනි. ඒ සියල්ලෝම මෙය කියවන බවද දනිමි. සමහරු ප්‍රින්ට් අවුට් අරගෙන තබාගෙන සිටිනු දුටුවා. නමුත් මට ලියන්න ලැබුනේ හෙමින්. ඉදිරියට ලියන්න හැකිවෙයිද කියන්න බෑ. සමහර විට හෙමින් හෙමින් ලියවේවි. ඒත් ප්‍රමාදය ඉවසමින්, කියවන හැමෝටම ස්තූතියි.

Wednesday, July 25, 2012

මම වහ බිව්වේ තාත්තා හින්දා කියූ ඇය අන්තිමට අපිවත් රැවැට්ටුව හැටි.


සුපුරුදු පරිදි අනිත්කොණ මනෝ වෛද්‍ය ඒකකයේ සිටියදී හවස් වරුවම ගත වුනේ අනෙක් වාට්ටු වලින් අප වෙත යොමු කරන රෝගීන් හෙවත් රිෆරල් බැලීමටයි. එහෙම වෙලාවට පුරුද්දක් වශයෙන් සිංහල රෝගීන් මා විසින්ද  දමිළ රෝගීන් දමිළ අයියා විසින්ද බලනු ලබන්නේ, වස බී හෝ පෙති බී හෝ ගෙල වැලලාගෙන හෝ ඔවැනි නොයෙක් ආකාරයට දිවි නසාගන්න තැත් කර බේරාගෙන කායික, ශල්‍ය වාට්ටු වල ප්‍රතිකාර කල තරුණ තරුණියන් බොහෝමයක් අප වෙත එවෙලාවට කවුන්සලින් හෙවත් උපදේශනය සඳහා යොමු කරන නිසාවෙනි. බොහෝ තරුණියන් පෙම් සබඳතාවලට පවුලේ විරෝදයට ප්‍රති උත්තර ලබා දී තිබුනේ දිවි නහ ගන්න ගිහින්. හුඟක් අය එහෙම කරන්නේ මැරෙන්න තියෙන උවමනාවටම නොවේ. අන් අය බිය වද්දා හෝ අනුකම්පාව ලබා ගන්නටයි.
වහ බීලා එන හැමෝටම වගේ මගෙන්නම් ලැබෙන්නේ පොඩ්ඩක් සැර උපදෙස් මාලාවක්. හොඳට තියෙන ශරීර කූඩුව නරක් කරගන්න හදනවා මෙන්ම රටට දැයට වැඩදායක යමක් කරන්න තරුණ ජීවිත කාලය යෙදෙව්වොත් හොඳයි නේද කියන එක මේ අයට ඒත්තු ගන්වන්න මම උපරිමයෙන් ක්‍රියා කරනවා.
එකළ බොහෝ විට පෙම් සබඳතා බිඳී පැමිණෙන්නන් මුහුණින්ම අපට කියන්නට පුළුවන් කමක් ලැබී තිබිනි. අවුරුදු 16, 17 වයස් වල ගැහැණු දරුවන් 3 දෙනෙක් පමණ අනිවාර් යයෙන් දිනකට එලෙස ඇඩ්මිට් වෙයි. එලෙස කෘමිනාශක වර්ගයක් බී දිවිනහගන්න ගිහින් හදිසි අනතුරු වාට්ටුවටත් එතැනින් කායික රෝග වාට්ටුවටත් ඇතුල් කළ ඇය අප වෙත උපදේශනයට එවා තිබිනි.

ඇය බොහොම පැහැපත් ලස්සන අවුරුදු 18ක් වයසැති ළමයෙක්. ඇඳ ඉහ පත හෙවත් BHT  එක සමග අප වාට්ටුවට එවා තිබුනේ වස බීමෙන් අනතුරුවයි.

“මොකද දරුවෝ මේ වගේ මෝඩ වැඩ කරගන්නේ ?” මම සුපුරුදු ලෙස කතා බහ ඇරඹුවෙමි.
“ඩොක්ටර් හිතනවා වගේ මෝඩ වැඩක් නෙමෙයි. මම වහ බිව්වෙ ප්‍රේම සම්බන්දතාවෙකට නෙමෙයි. අපේ තාත්තා හින්දා”
ඇය හරි වේගෙන් මුහුණට දමලා ගහන්නා වගේ ඒ කිව් කතාවට මට පුදුම හිතිනි.

“හරි එහෙනම් කියන්නකො බලන්න මොකෝ ආවේ කියලා.” මම ඇසුවෙමි.

“අනේ අපේ තාත්තා හරි වසයි ඩොක්ටර්. මගෙ ප්‍රශ්නෙකට තාත්තා මා එක්ක තරහ ගිහින් ඉන්නේ. තාත්තා මොනවා හරි කරගනියි කියලා මට බයයි එනිසා මම වහ බිව්වා. අපේ ගමේ කතාවක් ගිහින් මම කොල්ලෙක් එක්ක ලොජ් එකකට ගියා කියලා. ඒක බොරුවක් ඩොක්ටර්, මම එහෙම ගියේ නෑ. එයා එක්ක සම්බන්දතාවයක් තිබුනා ඒත් ගෙදරින් කැමති නැති නිසා මම ඒක නැවැත්තුවා. මට මේ අවුරුද්දේ ඒ ලෙවල් කරන්නත් බැරි වුනා ඒ නිසා. අන්තිමට ක්ලාස් යන එකත් ඉස්කෝලේ යන එකත් නැවැත්තුවා තාත්තා. මාව ගෙදරටම කොටු කරලා තියා ගත්තා.”

ඇය මා හමුවේ ඇගේ ප්‍රශ්න එකින් එක දිග හරින්නට විය.

ඊට පස්සෙ එයා එක්ක සම්බන්දයක් තිබ්බෙම නෑ . ගමේ හැම තැනම මට කතා හදලා.” 

එසේ කියූ ඒ ගැහැණු දරුවා මගේ පය පාමුළ වැටී

 “ අනේ ඩොක්ටර් මගෙ ටිකට් කපන්න එපා. මට ඉස්පිරිතාලේ ඉන්න දෙන්න අනේ ඩොක්ටර් , ගෙදර යැව්වොත් තාත්තා මාව මරයි. අනේ ඩොක්ටර් මාව බේර ගන්න” යනුවෙන් විලාප තියනන්ට විය. 
මෙය අදහා ගන්නට බැරි විය. අසළ සිටි හෙදි සොයුරියද ඇය වත්තම් කොට නැගිටුවා කෑ නොගසන ලෙස පවසනු ඇසිනි.

ඇය පැමිණ සිටියේ ඇගේ අම්මා සමගය. ඒ මව කියූ ආකාරයට ඒ පවුල ගමේ මොහොම නම්බුකාර ලෙස ජීවත් වෙන පවුලකි. ඇය ප්‍රේම සබඳතාවය පැවැත්තූ කොලුවා බොහොම දුප්පත්  සා පෙළ වත් පාස් නැති කෙනෙකි. ඉතින් මේ සම්බන්දතාවය දැන ගත් විගස ගෙවල් වලින් විරුද්ධ වී ඇය පාසැල් යාම පවා නවත්වා තිබිනි.

“ඉතින් දරුවෝ ඔයා එහෙම තැන තැන ගියේ නැතිනම් ඇයි තාත්තා මෙතරම් කෝපයෙන් ඉන්නේ”

“මම එයා එක්ක සම්බන්දේ නවත්තපු නිසා එයා ඉන්නේ තරහෙන්. එයා ගමේ කිය කියා ගිහින් මම ගමේ ඉන්නෙ හයි කාරයෙක් දණ ගැස්සුවා. දුවට මෙහෙම දෙයක් කලා කියලා. මටයි බෑණා කියන්න වෙන්නේ” කියලා.

“අනේ ඩොක්ටර් මෙයාගේ තාත්තා කියනවා ගෙදර එන්න එපා. ආවොත් අම්මවයි දුවවයි දෙන්නම මරණවා කියලා. මම මොනවා කරන්නද මේ දරුවෝ කරන දේ වලට.ගෙදර පොඩි උන් කෑවද දන්නේ නෑ. ඉස්කොලේ ගිහිනුත් නැතිව ඇති. ” අර අම්මා ඉකිබිඳ හඬයි.

“ගෙදරක වැඩිමහළු දරුවා හරියට හැදෙන්න ඕනෑ. එතකොටයි පවුලක් දියුණු වෙන්නේ. පිටිපස්සෙන් එන සහෝදරයින්ට  තමන් ආදර්ශයක් වෙන්න ඕනෑ. බලන්න හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයෙක් නේද. ඉගෙන ගෙන ඉහළට ගිහින් හොඳ රස්සාවක් ලැබුනම කාටවත් යටත් නොවී තමන්ගේ අම්මාට තාත්තාට සහෝදරයින්ට සලකගෙන ඉන්න පුළුවන්නේද?” 

ඇගේ සා පෙල ප්‍රථිපල ඇසූ මම ඇයට උපදෙස් දුනිමි. කිසිම දුකක් නොදී හදා වඩා තිබුනු මේ දරුවන්ට ගෙදරම සිටින අම්මා කවා පොවා සියළු වැඩපල කර දී තිබිනි.

මම නම් මෙවැනි කතා අනන්තවත් අසා කියවා ඇත ඒ ටෙලි නාට්‍ය වල සහ නවකථා වලය. කොහොම නමුත් මෙය බැරෑරුම් ප්‍රශ්ණයක් නිසා මම පසු දින අප විශේෂඥ වෛද්‍යරවරයා හමුවට ඔවුන් යොමු කළේ එම පියාටද අප හමුවීමට එන්නැයි පණිවිඩයක් යවමිනි.

“ඩොක්ටර්ට පිං සිද්ධ වෙනවා” ඇය නැවත ඇය සිටි වාට්ටුවට යද්දී එසේ කීවාය.
----------------------------------
පසුදින ඇය සහ මව පැමිණ වාට්ටුවේ උපදේශන ශාලාවේ එක කොණක සිටි අතර පියා අනෙක් කොණට වී අහක බලාගෙන සිටියේය. පළමුවෙන් අපි ඇගේ පියා සමග කතා කෙරුවෙමු.

“මට හිටියා ලොකු දුවෙක්. එයා දැන් මැරිලා. ඔය ඉන්න එකී ගෙදර ආවොත් මම මරණවා. අම්මවයි දුවවයි දෙන්නවම මරණවා. එහෙම නැත්නම් එයාලම දිවි හානි කරගෙන මැරෙන්න ඕනේ ඒකයි මගේ නියමය. එයාට වෙන දඬුවමක් නෑ”

මට කන් අදහා ගනන්ට බැරි විය. තමන් හැදූ දරුවෙකු ගැන පියෙකු එසේ කියයි නම් එය ඉතා ශෝකජනකය.

විශේෂඥ වෛද්‍යතුමාටත් අනෙක් ජේෂ්ඨ වෛද්‍යවරයාටත් ඔහුගේ හිත හදන්නට සමතයකට පත් කරන්නටම බැරි විය.

“ඔයාගේ දුව කියනවනේ එයා එහෙම දෙයක් කරේ නෑ කියලා. ඔයාට ඔයාගේ දරුවා විශ්වාස කරන්න පුළුවන් නේද” අපි ඇසුවෙමු.
“බෑ මට එහෙම දරුවෙක් නෑ.” ඔහු කුඩා දරුවෙක් මෙන් ඉකි ගසමින් හඬයි. පපුවට අත් ගසමින් හඬයි.

“ටිකට් කපලා එව්වොත් ගෙදර මම මරණවා අම්මවයි දුවවයි. අරූවයි ඔක්කොම මරලා මමත් මැරෙනවා එක්කෝ මම හිරේ යනවා” ඒ පියා ඒ වචන පෙළ පමණක් වරින් වර දොඩයි.

“හරි මහත්මයා එහෙනම් ගෙදර ගිහින් හෙට එන්න ආයෙම කතා කරමු.” අපි එසේ කියා පිටත් කර හැරියෙමි.
කායික රෝග වාට්ටුවෙන් ටිකට් කැපූ හෙයින් , ගෙදර ගියොත් මිනී මැරෙන බැවින් ඇය අපේ වාට්ටුවට මාරු විනි. හවස් වරුවේ නිදහස් නිසාවෙන් ඇය පැමිණ අපේ මේසය අසළ තිබෙන බංකුවේ හිඳගෙන ඇගේ දුක පවසයි.
“මට ඕනේ ඩොක්ටර් කිව්වා වගේ දැන් ඉගෙනීම හොඳින් කරගන්න. උසස් පෙළ මේ පාර ලියලා. කැම්පස් ගිහින් හොඳ රස්සාවක් කරන්න”

දින ගණනක් නිතර දෙවේලේ මම සහ හෙදි සොයුරියන් කළ දේශනා අසා අවසානේ, අනේ මේ දරුවා හරි පැත්තට වැටිලා නේද මටත් සිතුනි. දෙවෙනි තුන්වෙනි දින වලත් අර තාත්තා පැමිණ බැණ වැදී මරණ තර්ජ්න කර ගියේය. 

“ඩොක්ටර් විශ්වාස කරනවද ඔය කෙල්ල කියන ඒවා. බොරු බේගල් ඇද බාන්නෙ. බලන්නකෝ අන්තිමට අපිට බොරු කරන තරම” මැදිවියේ ඇටෙන්ඩන්වරිය සහ හෙදි සොයුරියන් නිතර මට අනතුරු ඇඟවීය.

 ඒ අතර නිතර අප නිදහසේ සිටින වෙලාවට ඇය පැමිණ මා සහ හෙද සොයුරියන් හා කතා බස් කර ජීවිතය ගැන බොහෝ උපදෙස් ලබා ගත්තාය. 

ඔය අතර අප විශේෂඥ වෛද්‍යතුමන් හා කතා බස් කර ඒ පියාද දිනෙන් දින දියණිය කෙරෙහි දයා හදවත් ඇත්තෙක් බවට පත් විය. අවසන හඬා වැටුනු ඔහු පැවසුවේ. පොලිස් පරීක්ෂණ ඉවර වෙලා අදාල පුද්ගලයා හිරේ ගිය පසු ඒ ගමේ ඉඩම් කඩම් විකුණා දමා වෙන පළාතකට ගොස් ඇය හා අනෙක් දරුවන්හට ඉගෙනීමට පාසැල් සොයා ඔවුන් හා හොඳින් ජීවත් වෙන බවය.

“මට දුක ඩොක්ටර් ඇහැක් වාගේ පරිස්සම් කරපු මගේ දරුවා විනාස කරපු ඒ කොල්ලා ගමේ තැන තැන කියනවා මම ගමේ හයි කාරයෙක් දණ ගැස්සුවා කියලා” ඒත් එහෙම කියුවත් පියා ඇගේ මුහුණ බලන්නට එකඟ නොවීය. එනිසා ඔහු පෙර දිනවල මෙන්ම ආ පාරෙන්ම හැරී ගියේය.

අපට බොහෝ සතුටු හිතිනි. සාර්ථක ලෙසින් ප්‍රශ්ණ විසඳෙද්දී ඇත්තටම ඒවා හොඳ අතට පත් කිරීමට දායක වීම ගැන සතුටු හිතිනි.

එහෙත් දින කිහිපයක් යාමට මත්තෙන් එක් සවස දිනක් මිස් අපට කතා කර පැවසුවේ ඇය වාට්ටුවේ නොමැති බවය. විගසින් වෛද්‍යවරුන් සියල්ලෝම එතැනට ගියෙමු. ඇඳුම් බෑගයත් සිම් පතකුත්, අප වාට්ටුවේ තිබී කියවන්නට කියා මගෙන් ඉල්ලාගත් ජීවිතය ජය ගන්න දහම් මග , නමැති පොතත් ඇඳ මත වෙයි. ඇය සොයන්නට සියල්ලෝ රෝහල පුරා දිව ගියෝය. හැම තැනින් ඇසුනේ ඈ වාට්ටු වල අමුත්තන් පැමිණෙන වෙලාවේ ගැහැණු ළමයින් දෙදෙනෙකු හා කතා කරමින් සිටි බවය.

ඔය අතර අප ඇයගේ පියාට මේ බව දැනුම් දුන් ගමන් ඔහු පැමිණියේය. “ මයෙ දරුවා මම ගෙදර ගෙනිච්චනම් ඉවරයි.මෙහෙ තිබ්බ එකයි වැරැද්ද. ඔගොල්ලොන්ට බලාගන්න බෑ කිව්වනම් ගෙනියනවනේ.” කියමින් අඬන්නට විය. අපට බනින්න සැරසෙන මොහු ගැන මට ඇති වූනේ විමතියක්. මුලින් මරන්නම ඕනෑ යයි කියමින් , ඉන්පසු ගෙනියන්න බෑ කියමින්. පසුව වෛද්‍ය පරීක්ෂණ ඉල්ලා සිටි පියා දැන් හරියට අපි නිසා දරුවා නැති වුනා වගේ කතා කරමින් එයි.

“ඔයාලම නේද දරුවා මෙහෙ දාලා ගියේ. මැරෙන්න කියලා. බලන්නකෝ දැන් කතා කරන හැටි”
අපේ හෙදි සොයුරියන්ට සහ ඇටෙන්ඩන් වරියට බොහෝ තරහ ගොස් තිබිනි. සියල්ලෝම වාග් ප්‍රහාර එල්ල කරගනිති.

“ඉතින් තාත්තමනේ දරුවා ගෙනියන්න බෑ කිව්වේ” ඔහුගේ කියමනට මම ද කිව්වෙමි.

“වැඩක් නෑ නංගී ඒ තාත්තා එක්ක කතා කරලා. ආවේගශීලී වුනාම කවුරුත් ඔහොමයි. කමක් නෑ ඔහේ බනින්න දෙන්න. තව ටික දවසකින් එයාටම තේරෙයි කාගෙද වැරැද්ද කියලා.” අපේ ජේෂ්ඨ අයියා එහෙම කීවේය.

“අපි කිව්වනේ ඩොක්ටර් ට ඒ කෙල්ල බොරු කරන්නේ කියලා. ඔන්න ඩොක්ටර් ගේ අනුකම්පාවට වෙච්ච වැඩේ. තව උපදෙස් දුන්නා හැම දාම, අපි හිතුවා ඩොක්ටර් කියන දේ අහගෙන හිටි හැටියට කැම්පස්ම යයි කියලා. ඩොක්ටර් එයාට ජීවිතේ ගැන කියා දුන්නු ඒවා අහලා අපි දෙන්නා හැදුනා. අපි හිතුවේ අපිට මෙහෙම කියා දෙන්න කෙනෙක් හිටියනම් කියලා ” යෙහෙළියන් මෙන් මා හා සිටින අපේ හෙදි සොයුරියන් දෙදෙනාම මට ඔලොක්කුවට මෙන් කියයි.

අප හැමටම බැන වැදී ඒ තාත්තා පිටවී ගියේය. ඔය අතර අපේ ඇටන්ඩන්වරියෙක් ඒ ගමේ සිටි නිසා ඇයත් මහත්මයත් ඒ ගෙදරට ඇගේ මාමා බාප්පා සමග ගොස් ඔච්චර උදව් කරපු දොස්තරලාට බැණ වැදීම ගැන දොස් කියා තිබිනි.

ඉන්පසු කිහිප ගමනක් මේ තාත්තා අප සොයා වාට්ටුවට ආවේ අපෙන් සමාව ඉල්ලීමටය. “මයේ දරුවොන්ගේ වයසේ හිටියට ඔබ තුමන්ලාගෙන් මම කරපු වැරැද්දට කකුල් දෙක අල්ලලා වැඳලා සමාවගන්න ඕනේ” කියූ විට අපි,
“එහෙම ඕනේ නෑ තාත්තේ කවුරු උනත් කරදර අවස්තාවල හැසිරෙන්නේ එහෙමයි කියා” හිත සනසා යැව්වෙමු. දරුවා මරණ බවට තර්ජනය කරද්දී නපුරු තාත්තෙක් කියා සිතුනත් පසුව ඔහු ගැන දුක සිතුනි. 

ඉන්පසු, අනිත්කොණ එම රෝහලෙන් සමුගන්නා දිනයට කලින්දා හවස අපි අවසන් වරන වැඳ මල් පහන් පූජා කිරීම සඳහා ප්‍රදේශයේ මහ විහාරයට ගිය විට ඒ තාත්තාද එහි පැමිණ සිටිනු දකින්නට ලැබිනි.
අපි එහෙන් යන බව කියූ විට ඔහු බොහෝ දුක් වුනා. ඇය ගැන අපි ඇසුවේවත් නෑ. ඒත් ඒ තාත්තාම පැවසුවේ.

“එයා ඒ කොල්ලත් එක්කම යන්න ගිහින්. කොහේ ඉන්නවද දන්නේ නෑ. මට බයේ දෙන්නම හැංගිලා ඇති. මට තවත් එහෙම දරුවෙක් හිටියා කියලා හිතෙන්නේ නෑ ඩොක්ටර්. මේ තාත්තට අම්මට දුන්න දුක, වේදනාව. ගමටම අපිව ලැජ්ජා කරපු හැටි එයාට මතක් වෙයි දවසක”

ඇස් වල කඳුළු පුරෝගෙන බිම බලාගෙන ඒ තාත්තා වඳිනු දුටු විට මට පුදුමාකාර දුකක් දැනිනි. අපේ දෙමාපියන්ට අපි ඒ ආකාරයේ දුකක් නොදුන් එක ගැන සහනයක් දැනිනි. ඇය වාට්ටුවේ ඇඳ උඩ දමා ගිය මගේ බණ පොත දකින හැම සැරේම මට ඒ දැරිය මතක් වෙයි.

ප.ලි. නිතර නොලිවීම ගැන සමාවෙන්න. අධික කාර් ය බහුල කම සහ අන්තර්ජාල පහසුකම් නොමැති කම එයට හේතුවක්. නමුත් කොහොම හරි සතියකට එක කතාවක් හෝ ලියන්නට උත්සහ කරන්නට මම අදිටන් කර ගත්තෙමි. අදගස් දක්වන කියවන සැමට ස්තූතියි.

Friday, July 20, 2012

හතුරු හිත් මිතුරු කළ බෙහෙත...අනිත්කොණ සිට


මිත්‍රත්වයේ පාළම….

පසුගිය කොටසෙන් මා ලියූ ලෙස මල්ලී කෙනෙක් (පුනුරුත්ථාපනය වූ හිටපු ත්‍රස්ත ළමා සොල්දාදුවෙක්) කතා කර ඔවුන්ගේ උත්සවයකට ආරාධනා කරා. ඒ අප විශේෂඥ වෛද්‍යතුමා විසින් ඔවුන් ගේ ජීවිතද, මනෝ සෞඛ්‍ය පිළිබඳවද ලියන ලද සතුට නැමැති ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයටයි. මා මේ වන විට වෙනත් මහ රෝහලක ජේෂ්ඨයෙක් ලෙස වැඩ කළද ඔවුන්ගේ ඉල්ලීම අහක දමන්නට බැරි නිසා එහි ගියෙමි.

කොළඹ පැවති එම උත්සවය බොහෝ උත්කර්ෂ ලෙස පැවැත්විනි. මා ශාලාවේ පිටුපස කොණකට වෙන්නට ඉඳගෙන සිටියේ පෙර දින මෙහි බසයෙන් පැමිණෙද්දී දැනුනු වෙහෙසද සමගිනි. උත්සවය අවසානයේ පොත් පිළිගැන්වීමේදී, ඔවුන්ගෙන් කෙනෙකු වේදිකාව මතට පැමිණ කියා සිටියේ…යුද්ධයෙන් බොහෝ සේ බැට කා, අන්ත අසරණ වූ ඔවුන්ගේ ජීවිත නැවත යහමගට ගන්නට අප වූ වෙහෙසද, පෙන්වූ හරි මාර්ගයද, ඔවුන්ගේ සිතේ තුවාල හොඳ කර අමතක කරවීමට අප දුන් සහයද අති මහත් ය කියාය. එක සිංහල වෛද්‍යවරියක්, අපට අක්කා කෙනෙක් වී අවවාද උපදෙස් සහ සහයෝගය ලබා දුන්නා. ඇය නිවාඩු දමා පැමිණ  මෙ තැන ඉන්නවා. ඇයට අපි මේ පොත පිළිගන්නනවා කියාය. මා ඒ හඬින් තිගැස්සුනා. අන්තිමේ අත්පොළසන් මැද වේදිකාව මතට ගොස් ඔවුන්ගේ අතින් පොතක් මට ලැබුනා. ඔවුන් හා අප අතර බේදය දුරු කරන්නට කදිම මග කුමක්දැයි මට දැන් වැටහේ.

එක කලෙක , සිංහල අජීර්ණයකින් පෙළුනු සෞන්දරාජා (අනවර්ථ නමකි) මට මතක් වේ. ඔහුගේ අයියා කෙනෙකු යුද්ධයෙන් මිය ගිය ත්‍රස්ත නායකයෙකි. එනිසාම 40 හැවිරිදි මොහුට සිංහලුන් පෙන්නනට බැරිලු. මානසික රෝගයකින් පෙළුනු ඔහු රෝගය උත්සන්න වී කායික වෛද්‍ය වාට්ටුවට ඇතුල් කළ පසු සිංහල කතා කරන සියල්ලන්ටම පහර දුන්න්නේය. එහි නේවාසික වෛද්‍යවරයා, සුළු සේවකයින් මේ පහර කෑමට ලක්විය. රෝගියෙක් කියා අනුකම්පා කර ඔහු අපේ වාට්ටුවට විගසින් මාරු කළේය. සිංහලෙන් කතා බස් නොකරන්නැයි අපට උපදෙස් ලැබිනි. දෙමළද යම් තරමකට කතා බස් කළ හැකි මා සමග සියලු රෝගීන් මිතුරු වී සිටියෝය. මොහුද  උදෑසන වෝඩ් රවුන්ඩ් එකේදී බලෙන්ම මා හා කතාවට පැමිණේ. අපේ පිරිමි සුළු සේවකයින් සහ හෙද සොයුරන් ඔහු වටේ වලල්ලක් මෙන් සිට ගෙන සිටියේ මට ගහන්නට සැරසුනොත් බේරා ගන්නටය. නමුත් ඔහු ඉදිරියේම අමතක වී හෙදි සොයුරියන් හා හරි හරියට සිංහලෙන් කතා කරන මට කිසි දිනෙක  බැන වැදීමක් හෝ ඔහු කළේ නැත.

අන්තිමේ වාට්ටුවෙන් බැහැර කෝවිල වෙත යද්දී පොලිස් නිළදාරී මහතෙකුට සහ නිළදාරිනියකුට පහර දී ඔහු කුදලාගෙන ආවේ මෙහෙම රෝගියෙක් නිදැල්ලේ යැව්වේ ඇයිදැයි අප වාට්ටු බාර හෙද පාලකවරයාට දෝස්මුරයකුත් සමගය.  අන්තිමේ අප ඔහු මීට එහා පිහිටි මානසික රෝහලට ඇතුල් කරන්නට තීරණය කෙරුවෙමු.
“ඩොක්ටර් ඔච්චර කතා කරලත් සිංහලෙන් කිසිම කරදරයක් කරේ නෑනේ”
“මටත් පුදුම මේ සිංහල ඩොක්ටර් ට කිසිම කරදරයක් නොවුනු එකයි” අපේ විශේෂඥ වෛද්‍යතුමා පුදුමයෙන් කීවේය.

 ඔය අතර.....

"ඩොක්ටර්ගෙත් කං ඇහෙන්නෙ නැති වුනාම තේරෙයි..." කන ඇහෙන්නෙ නැති "කලා" හෙවත් අපේ වාට්ටුවේ සේවය කරන මැදිවියේ සුළු සේවිකාව අපට බනිමින් යයි. දැන්නම් ඉවසන්න ඔන්නේ සීමාව පනිමින් සිටී. 

මීට පෙරද මෙ ආකාරයෙන් වෛද්‍යවරුන්ට බැණ වැදී ඇති අයෙකි. හෙදි සොයුරියන්ටද එකටෙක කියමින් බැණ වදිනවා මගේ කන වැටී තීබුනි. "මෙහෙ එන්න" මම ඇය කැඳවූයෙමි. ඇයට කතා කරන්න නම් බොහෝ වැර වීරියෙන් කෑ ගැසිය යුතුයි. ඒ ඇයට කන ඇහෙන්නේ නැති නිසාවෙනි. ඇය සමග වාට්ටුවේ වැඩ කරන්න සියලු දෙනා බොහෝ පරිශ්‍රමයක් දැරිය යුතුයි. මන්ද අපි කියන කිසි දෙයක් ඇහෙන්නේ නැති නිසා මොකක් හරි පිස්සුවක් අන්තිමට කරන නිසාවෙනි. "තමුන් ඉස්සෙල්ලා දැන ගන්න වැඩ කරද්දී කන ඇහෙන්න දාන්න දෙන උපකරණය පළදින්න. ඒක දාගෙන එන්න " මම මීට පෙරද ඇය හා කතා කර ගත නොහැකි අවස්ථාවක පැවසුවෙමි. “ ඒක දාන්න බෑ ඩොක්ටර් කන රිදෙනවා” නිතරම කියන නිදහසට කාරණාව එයයි.

වාට්ටුවේ හදිසි අවස්ථා එමටයි. එවිට අරක කරන්න , මේක ගේන්න. මේක තියන්න. අරක ගේන්න. යැයි නියෝග කරද්දී ඒ දේ ඇහෙන්නේ නැත්නම් අපට උදව්වට සිටින සුළු සේවකයින්ගෙන් පලක් නැති තරම් ය.
ඇය තවත් මොනවදෝ කියවමින් මා අසලට පැමිණියා ය.
“ තමුන් තේරුම් ගන්න , අපි දොස්තරලා අපිට ඕනෙ නෑ කාගෙවත් ආබාධ තත්වයකට හිනාවෙන්න. ලොකු සර් ඇහුවේ ඇයි මේ මනුස්සයගේ කන ඇහෙන්නේ නැද්ද කියලා විතරයි” මම ඇයට පැහැදිලි කර දුන්නෙමි.
ඇය හතලිස් හැවිරිදි වේ. ඇගේ ස්වාමි පුරුෂයාට සහ ඇයට දරුවන් නොමැති නිසා. ( ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ තත්වයක් හේතුවෙන්) අධිකරණය මගින් දරුවෙක් ගෙන හදා ගැනීමට ඒ ගැන සඳහන් කර මෑතකදී ලියුමක් අපෙන් ඉල්ලා සිටියාය. ඒ ලියුම ලියන්න කරුණු අසද්දී අප විශේෂඥ වෛද්‍යතුමා දැනගත්තේ ඈ කන් ඇසීමේ දුර්වලතාවයකින් පෙලෙන බව.
“ඔයාලාට ඉඩම් ප්‍රශ්ණයක් තිබ්බේ නෑනේ. යුද්ධයෙ නිසා ශෙල් පිපිරීම් නිසා මගේ කණ ඇහෙන්නේ නැතිව ගියේ, ඕගොල්ලො අපි වගේ දුක් වින්දේ නෑනේ”  ඇය දොඩවයි.
ඇය මා අසලින් පිටවී ගිය පසු අප වාට්ටුවේ ජේෂ්ඨ සනීපාරක්ෂක සේවිකාවක් පැමිණ,
“ඩොක්ටර් එයා ඕනෙ කමින් ඩොක්ටර්ලා කියන දේ අහන්නේ නැතුව ඉන්නේ. ඔය කණ ඇහෙන්නෙ නැත්තේ ෂෙල් පුපුරලා නෙමෙයි. එයයි මහත්තයයි කලේ ගම්වල පොඩි එවුන් අල්ලාගෙන ගිහින් බලහත්කාරෙන් ළමා සොල්දාදුවෝ හැටියට එල් ටී ටී එකට බාර දෙන එක. ඒකයි ඔය මිනිස්සුන්ට ළමයි නැත්තේ ඒ කරපු පව් වැඩ වලට. ඔය කණ ඇහෙන්නේ නැත්තේ එහෙම ළමයෙක් බලනෙ අල්ලගෙන යද්දී ඒ ළමයගේ තාත්තා ඇවිත් මෙයාගේ ඔළුවට ගහලා ළමයා බේරගත්තු නිසා”
මගේ ඇඟේ හී ගඩු පිපුනි. භයානක ඉතිහාස නිරන්තරයෙන් මා හමුවේ දිග හැරෙයි. එහෙනම් ඇය අප හා එකටෙක කියන්නෙත්, ගෞරවයක් නැතිව හැසිරෙන්නෙත් අපේ අණ නියෝග බැහැර හරින්නෙත් තාම හිතේ තිබෙන කේන්තිය නිසා වෙන්න පුළුවනි.

යුද්ධය නිමවූ කාලයේම අපි අනිත්කොණ රෝහලේ වැඩ බාරගත් නිසා, අයි ඩී පී රැකවරණයේ සිටින ත්‍රස්තයින් එහෙමත් නිරතුරුවම අප රෝහලට පැමිණියා. ඔවුන් ඇතැම් විට අපේ මුහුණ බැලුවේවත් නැත. කතා කෙරුවේද නැත. එහෙම අයටත් ඔවුන්ගේ ඒ හයිකාරකම් විඳ දරාගෙන බෙහෙත් කරන්නට අපි වෛද්‍යවරුන් මෙන්ම හෙදි සොයුරියන්ටද සිදු වුනා. අවසන වාට්ටුවෙන් පිටවෙද්දී අපට කියුවේ , අපි හිතන් හිටියට වඩා සිංහල මිනිස්සු ගොඩක් හොඳයි. කියාය.

හැකිතරම් අනුකම්පා කරන්න, හැකි තරම් ඇයට කාරුණික වන්න. සතුරු වී වෛර කළ, යුද්ධ කළ මිනිසුන් දිනා ගත් අපට, ඇය දිනා ගන්න බැරි වෙන එකක් නෑ ! මගේ හිත මට කිව්වා.

ඒ කිව්වා වගේම දින දෙක තුනක් යද්දී ඇය බොහෝ යටහත් පහත්ව අප හමුවේ සිටියා. ඒ ඇය එතරම් අකාරුණික වුවද අපි ඇයට අවශ්‍ය ලියුම සාදා දුන් නිසා.බයෙන් බයෙන් මා අසලට විත් කතා කරේ මම බැන වදී යැයි බියෙනියි සිතිනි. නමුත් පෙර සේම සිනහ වී කතා කරන්නට මට හැකි නිසා ප්‍රශ්ණයක් වුනේ නැත.

 වෛර කරන්නෝ වෛරයෙන්ම නැසෙති , අවෛරය සියලු දේ දිනයි...කියා කියමනක් කුඩා කල අසා තිබුනාට එහි ප්‍රායෝගික බව දුටුවේ ෆැකල්ටියේ සහ ඉන්පසු රැකියාවේ යෙදෙනවිටයි.


Thursday, July 5, 2012

හොඳ නරක , Some doctors are mad !





අපි අනිත් කොණ ඉන්දෙද්දී කරපුවා ලියද්දී කාට උනත් හිතෙන්න පුළුවන් අපි පම්පෝරි ගහනවා කියලා… ඒක ගැන නම් අනේක වාරයක් සමාවෙන්න. ඉන්න තැන වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් හැටියට මේවා ලියන්නේ අපි මෙහෙමත් කලා කියලා කියන්න මිසක් ලොකු කමකට නම් නෙමේ. 

අපි අනිත්කොණ රෝහලේ ඉන්නකම් පටන් ගත්තු පෝයදා බණ සඳහා වැඩම කළ පන්සලේ පොඩි හාමුදුරුවෝ හැම තිස්සෙම කිව්වේ මේ තරුණ දොස්තර මහත්තුරු නෝනලා ටික , මග මානවකයෝ වගේ කියලා. මොකද ඒ පැත්තේ අවුරුදු 40 පුරා කරගන්න බැරිව තිබ්බ බොහෝ සමාජමය දේවල් අප සුළු පිරිසකගේ එකමුතුවෙන් සිදු වුන නිසා. පින්තූර සහ විස්තර වැඩියෙන් ලියන්න තිබ්බා නම් හොඳයි නමුත් පින්තූර සහිත ලැප්ටොප් එක අඩපණ වී ඇති නිසා එය අළුත්වැඩියාවට දුන්නෙමි. එය යථා තත්වයෙන් ලැබුනොතින් පින්තූර සමග මින් පසු විස්තර වැඩියෙන් ලියන්නම්.

“පුළුවන්ද මට උදව්වක් කරන්න” මා සමග වැඩ කරන තවත් යහළුවෙක් වන ඩොක්ටර් අපේක්ෂා හදිසියේම කෝල් කලා.

“ඔයානේ මේ සති අන්තේ ගෙදර යන්නේ, ඒ වෙනුවට මට යන්න දීලා සෙනසුරාදා තියටර් ලිස්ට් එක ඔයා කරනවද?” සාමාන්‍යයෙන් ශල්‍යකර්ම වලට ඉතා යුහුසුළුව සහභාගි වන අපේක්ෂා මගෙන් එහෙම ඇහුවම මට දැනුනේ පුදුමයක්.

මම සිද්ධිය පස්සේ කියන්නම්…. ඇය මට කීවාය.

කොහොම හරි දින හුවමාරුවෙන් පසු ශල්‍යාගාරයේදී එක් රෝගී කතක් ඇගේ ශල්‍ය කර්මයට ප්‍රථම මගෙන් විමසුවේ ඩොක්ටර් අපේක්ෂා ඉන්නවද කියාය.
පසුව මම අසා දැන ගත්තේ ඉහත සඳහන් ස්ත්‍රිය අපේක්ෂාගේ ඥාතී කෙනෙක් බවද, අපේක්ෂා ඉගෙන ගන්නවාට ගොඩක් කරදර කළ කෙනෙක් බවය.

“ඒ ලෙවල් කරන කාලේ නිතරම ඒ නැන්දා කිව්වේ… සයන්ස් කරලා මොකටද ? නාකි වෙන්න වෙන්නේ ගෙදරටම, කැම්පස් යන්න නම් එපා. කියලා. මම මෙඩිකල් ෆැකල්ටි ඉන්න කාලේ, එයාගේ දුවට බලෙන්  බයෝ කෙරෙව්වා ඒ ලෙවල් වලට ඒළමයා පාස් වුනේම නෑ. අන්තිමට ඒ නංගි කියලා තිබ්බා අපේක්ෂා අක්කට විරුද්ධවනේ මට බයෝ කරන්න කිව්වේ අම්මා කියලා. මම පත්වීම ලැබිලා දොස්තර කෙනෙක් හැටියට සේවය කරන්න පස්සේ අපිත් එක්ක කිසිම ඇයි හොඳයියක් තිබ්බේ නෑ. පස්සෙ කාලෙක ආරංචි උනා, හදි හූනියම් කොඩි වින ගොඩාක් අපිට විරුද්ධව කළා කියලත්. අනේ මම නම් ඕවා ගණං ගත්තෙ නෑ. අපිට ඉන්න එකම පිහිට බුද්ධ ධර්මය විතරයිනේ.”

“කොහොම හරි මේ ඉස්පිරිතාලෙටම ඇවිත් ඇඩ්මිට් උන දවසේ මම දැක්කම එයාගේ මූණ හතරැස් උනා. ඒත් ළඟට ඇවිත් කතා කළා. එයාට කැන්සර් එකක්. අන්තිමට සර්ජරි එකේ මොකක් හරි උනොත් කියයි මම හිතලම මොකක් හරි කළා කියලා.”

අපේක්ෂාගේ කතාව ඇත්තය. කොහොමත් සමහරුන්ගේ ඉරිසියාව නිසා අහස පොළොව නුහුලන අපරාධ කරති. අන්තිමේ ඔවුන්ම දුක් විඳිති.

“මට නම් එයාලා ගැන තියෙන්නේ අනුකම්පාවක්…” අපේක්ෂා අන්තිමට කිව්වා.

“ඔව් ඔයා මග ඇරලා හිටි එක හොඳයි.” අපිට හැඟුනෙත් එහෙමයි.

ගොඩක් මිනිස්සු තමන් ගැන හොයනවාට වඩා අනුන් ගැන සොයති. අනුන්ගේ දියුණුව දැක ඉරිසියා කරති. අන්තිමේ ඒ පවින් තමන්ටම වින කර ගනිති. හොඳ නරක කොහෙත් තියෙනවා. අප සේවය කළ අනිත්කොණ රෝහලේ විශේෂඥ වෛද්‍යතුමා නිතර කියූ දෙයක් නම්.. 

"Some doctors are bad, some doctors are mad, the rest is sad because of previous 2 categories " කියලා.

 "සමහර දොස්තරලා නරකයි. සමහරුන්ට පිස්සු, අනිත් සේරමලා දුකින් අර කළින් කියූ දෙපිරිස නිසා" කොයි තරම් ඇත්තද ? 

Tuesday, July 3, 2012

ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොළසන් සමග රාජිතන් අපරාජිත විය !


ජීවිතේ බොහෝ දුක් පීඩා මැද ඉගෙනුම ලැබූවෙමි. වෛද්‍යවරියක්/වෛද්‍යවරයෙක් වූ පසුද දුක පීඩාව වෙනස් වූයේ නැත. නමුත් ඒවා මම පිළිගන්නා ආකාරය වෙනස් කෙරුවෙමි. තව දුරටත් දුක හෝ පීඩාව මට වෙහෙසකර වුනේ නැත. මා ඊට ගොදුරක් වෙන්නට ගියේද නැත.

දිගු කලකින් දන්නා හඳුනන මල්ලියෙක් කතා කළේය. "ආයුබෝවන් අක්කා" 

"ආ දැන් සිංහලෙන්ම කතා කරනවා" මට එක වරම කියැවිනි.  

මුලින්ම මා දකිද්දී ඔවුන් සිටියේ වයස 13, 14, 15 වියේදීය.පළමු දින වලදී ඔවුන් මා හා කතා කළේම නැත. පසුව බොහෝ සෙයින් ලෙංගතු විය. මුලින් මැඩම් යැයි ආමන්ත්‍රණය කල ඔවුන්ට මා පැවසුවේඅක්කා කියන්න කියාය. ඔවුන් කටපුරා අක්කා කියති. දැන් අවුරුදු 3 ඉක්ම ගොස් ඇත. අප ඒකකයමේ ඉසව්වේ මනෝ සෞඛ්‍ය ය ගැන ක්‍රියා කරන එකම රෝහලේ විය. එනිසා ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු සියල්ල සොයා බැලුවේ රජයේ රෝහලේ අප ඒකකයෙනි. මුලින් ඔවුන් මා සමග කතා කලේ බියෙන් බව දැනිනි, නමුත් මා ඔවුන්ගේ බසින් කතා කළ නිසා වඩා හොඳින් ඔවුන් හා කතා කරන්නට පුළුවන් විය. පසුව ඒ බිය පහ විය. 

 සමහර දිනක ටවුමට පැමිණි විට අප ඒකකය වෙත පැමින හලෝ! කියා යනන්ට ඔවුන් අමතක නොකළෝය. සියල්ලන්ම පුනුරුත්ථාපනයෙන් පසු නිදහස ලබා සිය මාපියන් නෑසියන් සමග සතුටින් සිටී. අඩි 6 පමන උස ශිවා ( අනවර්ථ නමකි) පැමිණ කියූවේ නිදහස් වෙන්නට ප්‍රථම ඔවුන් ලොකු ට්‍රිප් එකක් ගිය බවය. නුවර එළිය කොළඹ මෙන්ම ගාල්ල මාතර ප්‍රදේශ වලද ඔවුන් සංචාරය කර තිබුනි. 
"අරලිය ගහ මන්දිරේටත් ගියා ඩොක්ටර්ප්‍රසිඩන්ට් එක්ක කතා කලා. හරිම සතුටුයි. " ජනාධිපතිතුමා ඔවුන් හා ළඟට පැමිණ කතා කර තිබුනි. එය ඔවුන් හට මහ ලොකු දෙයකි. ඔවුන් මොන තරම් නිදහසක් සතුටක් දැන් භුක්ති විඳිනවාදඑදා අපිට ඇසුනේ වෙඩි හඬ සහ බෝම්බ හඬ අපි හිටියේ මර බියෙන්. නමුත් දැන් අද අපි නව ජීවිතයක් ලබාආකාසය වෙත පියා සලන්නට බලාගෙන ඉන්නවා. ඔවුන්ගෙන් එකෙක් ලියූ නිසඳැසක එහෙම තිබුනා. මොන තරම් තාඩන පීඩන ගොඩක් මැද්දේ ජීවිත ගෙව්වාද ඔවුන්. 

ඔවුන් සිටි කෑම්ප් එකේ ලොක්කා හෙවත් ඔවුන් පියෙකු සේ සලකන හමුදා නිළදාරි මහතා කියූවේ. "මට ඕනෑ මේ දරුවෝ... අනාගතයේ මගේ දරුවන් සමග යුද්ධ නොකරන්න ඔවුන්ගේ සිත සහ ජීවිතය හරි මගට යොමු කරන්නයි" 

ඒ සිතිවිල්ල කොතරම් උතුම්ද ?

"අක්කේ උත්සවයට එනව ද?" පසුගිය දිනක ඔවුන් ඇසීය.

"කොළඹනේ තියෙන්නේ හරි මම එන්නම්.

 රජයේ වෛද්‍යවරුන් ලෙස යුද්ධයේ සැබෑ තත්වය සහ ඉන්පසු මෙහෙ ජන ජීවිත ගැන මේ ප්‍රදේශ වල සිටම දැකපු නිසා යුද්ධය ඉවර වීම ගැන තිබෙන්නේ සතුටක්. 
 ඔය අතරේ වැඩ අධික වූ එක් දිනක් හවස  විශේෂඥ වෛද්‍යතුමා දුරකථනයෙන් කතා කොට පැවසුවේ. යම් පිරිසක් මා හමුවීමට පැමිණෙන බවත් ඒ අය අප ඒකකය වෙත එද්දී මම ඇතුලු අනෙක් වෛද්‍යවරු එහි පැමිණ සිටිය යුතු බවත් ය. 
රෝහලේ ප්‍රධාන ගොඩ නැගිල්ලේ තිබූ අප සායනය වෙත අපි ගොස් එහි ජනේලයෙන් පාර දෙස බලා සිටියේ කවුද මේ කැන්දන් එන පිරිස කියාය. මොන කෝලමක් නටන්නද මන්දා කියමින් අපේ අනෙක් වෛද්‍ය අයියාද සිටියේය. දුර ගමන් යන විශාල බස් රියක් පැමිණ රොහල් ගේට්ටුවෙන් ඇතුල් කලේ එවිටයි. වෛද්‍ය අධිකාරිතුමාත් ගේට්ටුව දෙසට දුවනවා අපි දුටුවේ එවිටයි. ඔන්න නැවැත්තූ බස් එකෙන් ඉතා උස යෝධයන් වැනි විදේශික තරුණ තරුණියන් 25 පමණ පිරිසක් පිටතට පැමිණ අපේ සර්සහ වෛද්‍ය අධිකාරී පළාත් පාලන ලොක්කෝ සමග අප දෙසට පැමිණෙන්නට විය. 

"කෝලමක් වගෙයි " අපටද කියැවිනි. ඒ පැමිණ සිටියේ ඕස්ට්‍රේලියානු පා පන්දු කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයන් සහ විශ්ව විද්‍යාල මහාචාර් ය වරුන් ය. ඔවුන් මෙහි පැමිණ ඇත්තේ අනිත් කොණ පුනුරුත්ටාපන වැඩමුළු වලට සහය දී ඒ දරුවන් හා ක්‍රීඩා වැඩමුළු පවත්වන්නටයි. විශාල පතාක යෝධයන් වැනි ඔවුන් පැමිණ තිබුනේ අප හමුවී අප මෙ කොණ කරන දෑ ගැන දැන ගැනීමටයැයි මට සිතිනි. නමුත්  ඕස්ට්‍රේලියාවට මසක වැඩමුළුවකට සහ සම්මන්ත්‍රණයකට ගිය විශේෂඥ වෛද්‍යතුමා අපි වෛද්‍යවරුන් තිදෙනා මෙහි කරන ලද සහ කරමින් සිටිනා සියල්ල ඔවුන් හා පවසා තිබුනේ පරිගණක සැකසුම් සහ පවර් පොයින්ට් සමගිනි. 
 ඕස්ට්‍රේලියාවේ පැවති, national reconciliation conference එකේදී අප යුද්ධයෙන් පසු ඒ ප්‍රදේශ වල කරනා සේවය අගයමින් එම පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක එහිදී ප්‍රදර්ශනය කෙරුනාලු. ඒ පතාක යෝධයන් වැනි ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් පිරිස (පාපන්දු ක්‍රීඩකයින් ඉතා විශාලයිනේ) පැමිණ අප ඉදිරියේ සිට ගෙන අත්පොලසන් දී  කිව්වේ අප කරන මෙහෙය ඉතා අගය කරන බවය. එම ඒකකයේ එකම සිංහල වෛද්‍යවරිය හැටියට මා මේ ප්‍රදේශයට පැමිණි දින සිට මා ලැබූ අත්දැකීම් මට ඔවුන් හා කියන්නට වුනා. රජයේ නියෝජිතවරියද ඇත්තටම ඔවුන් හට ඇත්ත හරියට කියා දෙන්නට යුහුසුලු වුනා. එවන් නිළදාරිනියන් සිටීම ඉතා අගය කරමි.
 ඇත්තටම ඒක අපූරු සැන්දෑවක් ! 

"අක්කාරාජිතන් මතකද ?" දුරකථනයෙන් කතා කළ මල්ලී කියවයි.

"ඔව් මල්ලී මතකයි" මම කීවෙමි.

 "එයා ඒ ලෙවල් හොඳට පාස්ඒ එකයි බී එකයි සී එකයි. කැම්පස් තේරුනා. සුහාෂන් අක්ක දුන්නු පැන්සල් සෙට් එකට ස්තූති කලා " මල්ලී කියුවේය. 

මා චිත්‍ර අඳින බව දැන එංගලන්තයේ සිටින යහළුවෙක් විවිධ  පැන්සල් 54 සහිත චිත්‍ර කට්ටලයක් එවා තිබිනි. අප ඒකකයේ බිත්ති හැඩවී ඇත්තේ සුහාෂන්ගේ චිත්‍ර වලිනි. ඔහු ඉතා දක්ෂ දරුවෙකි. මා එම පැන්සල් කට්ටලට ඔහු වෙත යැව්වෙමි.

අවුරුදු 13,16 වියේදීම ගිනි අවි අත දරාමිය යන්නට පවා තිබුනු ඒ දරුවන්ගේ ජීවිතඅද කළ එළි වී ඇත. ඔවුන් හට නැතිවූ ජීවිතය නැවත ලැබී ඇත. අද සියලු දෙනා නිදහස්වී තම නෑ සියන් සමග ගෙවල් වල සිටී. අවුරුදු 30ක යුද්ධයේ අවසාන අදියරේදී හමුදාව විසින් මුදා ගත් එම ළමයින් නැවත අද පාසැල් යයි. විභාග ලියයි. නිරන්තරයෙන් අපි හා කතා බස් කරයි. අද ඒ ප්‍රදේශයේ මා නොසිටියද ඔවුන් දුරකථනය ඔස්සේ කතා කර මා හා විස්තර පවසයි. සිංහලයින් ගැන ඔවුන්ගේ හිතේ තියෙන්නේ ආදරයකි. ඒ ඔවුන්ට හමූවූ සොඳුරු සිංහල මිනිසුන් නිසාය. තවමත් ඔවුන් තම තාත්තා යැයි පවසන කඳවුරු බාර මේජර්වරයාද එවන් සොඳුරු මිනිසෙකි !