Tuesday, November 30, 2021

අගුළු දැමූ සටහන්....

ඊයා ...
දරුවෝ දරුවෝමය... කුඩා බඩගෙඩි ඔසවාගෙන මාතෘ සායන වෙත ආ දරුවන් මතක්වේ...බෝනික්කන් මෙන් සරසා දරුවන් උස්සාගෙන සායන පැමිණි උන් මතක් වේ. දරුවාගේ අම්මා අක්කා යැයිද මිත්තණිය අම්මා යැයිද සිතමින් හඬ නගා ඇමතූ වේලාවන් මතක් වේ. 
උන් විඳි වේදනා මතක් වේ...

අපි අපේ රටේ පවතින සාමාජීය ප්‍රශ්න ගැන කතා කරන්න ඒවායේ වෙනසක් ඇති කරන්න මේ මොහොත වුවද පාවිච්චි කරමු.

2014 ලියා අගුළු දැමූ සටහනක් ඔබ වෙත ගෙන එමි.
"මගේ රාත්‍රී වැඩමුරය මහා ඛේදවාචකයක්, ටීනේජ් හෙවත් නව යොවුන් වියේ දැරිවියකට සීසේරියන් සැත්කමක් කළ පසු දරුවා පෙන්වූ විට ඊයා යැයි පැවසුවා. ඇයගේ දරුවා හුස්ම ගත්තේ අමාරුවෙන්. කෘතිම ශ්වසන මෙවලමට සම්බන්ද කර දැඩි සත්කාර ඒකකයකට මාරු කළා. ඇයට දරුවාගේ තත්ත්වය පවසන්න මම දරුවා රැගෙන මහ රෝහලට යන බව කියන්න ගියවිට ඇය මට ඇගේ කැනියුලාව රිදෙන බවත් එය බලන ලෙසත් පැවසූවා.දරුවා ගැන මා කියූ කිසිවකට ඇය ප්‍රතිචාරයක් නොදක්වා ඉවත බලා සිටියා. මට දුකයි ඉතා කුඩා කාලයේ අම්මලා වන මේ දැරිවියන් සහ ඔවුනට දාව ඉපදී දුක් විඳින මේ කුඩා ජීවිත ගැන. කිසි ආදරයක් නැතුව හැදෙන්නට වෙන මේ කුඩාබිළිඳුන් ගැන මට කණගාටුයි" 

ඒ මගේ අගුළු දැමූ සටහන ය. මේ දැරිය අපයෝජනයට ලක්වී තිබිණි. පාලමක් යට නිවස්නය කරගත් අනාරක්ෂිත පරිසරයක වැඩෙන ඇය වැනි දරුවන් කොපමණ මේ රටේ සිටිනවා ද ?

"එයාගේ තාත්‍තා මරාගත්තා කියලා අපිට බනිනවා. බලන්න නංගී මේ දරුවාට එයාට වෙච්ච දේ තේරෙන්නෙ නැති හැටියක් !"
අප වෙත රවමින් බණිමින් කඳුළු සලමින් සිටියේ 14 හැවිරිදි දැරිවුයකි. ඇයට දෙමළෙන් ලොකු දේශනාවක්  දී පැමිණි ජ්‍යේෂ්ට වෛද්‍යවරයා එසේ කීවේ, එදින උදෑසන සිදුවූ සංහදිය යලි මතක් කරමිනි. (2010)

අනිත්කොන පොතේ මේවා මුද්‍රණය වුණා ඔබට මතක ඇති. එහෙත් නොකියවූ බොහෝ අය වෙනුවෙන් ලියා තබන්නෙමි. 

නංගීගේ බඩ ලොකු වෙනවා යැයි පැවසමින් අක්කෙක් සමඟ පැමිණි මේ දැරියගේ කුසෙහි සති 20 පමණ  වැඩෙමින් තිබෙන ජීවයකි. මාස ගණනාවක් තිස්සේ පියා අතින් අපයෝජනය වූ බව පවසයි. එය සාමන්‍ය දෙයක් සේ පවසයි. අසා සිටින අපගේ හදවත් කෑලි කැඩී සායනය පුරා විසිරී ලේ ගලමින් තිබුණු බව මේ පොඩි දැරියට නොතේරුණි.
රෝහල්වල අප විනිසුරුවන් නොවන්නෙමු. යුක්තිය අයුක්තිය සෙවීම පොලිසියට බාරවිණි.
සවස ආරංචි වූයේ ඇගේ පියා දිවිනහගෙන තිබුණු බව ය. පියා මරාගත්තේ අප යැයි සියල්ලන් වෙත දොස් පවරමින් සිටී. එහෙත් ඇගේ ජීවිතය තලා පෙලා මරා දැමූයේ පියා බව ඇගේ ළපටි මනසට නොතේරේ. 

ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද 
අනිත් කොන
වෛද්‍ය බෝධිනී සමරතුංග

Monday, November 29, 2021

හිටගෙන !

කාන්තා සුබසාධනය සඳහා කැපවී වැඩ කරන කතුවරියක වන පුෂ්පා රම්ලනී මහත්මිය ඔවුන් සම්බන්ද කාන්තා සංගමය හරහා මගෙන් ඉල්ලා සිටියේ දිගු කාලයක් සිටගෙන සිටීම තුළින් ශ්‍රමිකයන්ට විශේෂයෙන් කාන්තාවන්ට ඇතිවන අතුරු ආබාධ ගැන විස්තරයක්. 

එහිදී මා සමග කතා බස් කළ ඇඟළුම් ක්ශේත්‍රයට සම්බන්දව වැඩ කරන දිගු කාලයක් හිටගෙන සිටින කාන්තාවන් පැවසුවේ ඔවුන්ගේ අත් පා සන්දි ආශ්‍රිතව දැඩි වේදනා තත්ත්වයන්ගෙන් පෙළෙන බව යසේවා ස්ථානයේ වැඩි කාලයක් රැඳී සිටින කාන්තා කම්කරුවන්ට මාංශ පේශි ආබාධ, නහර ගැටගැසීමහෘද හා රුධිර සංසරණ ගැටලු සහ ප්‍රසව හා නාරිවේදය සම්බන්ද දුෂ්කරතා වැනි සෞඛ්‍යා තත්වයන් ඇතිවීමේ අවදානමක් ඇත. බොහෝ විට හා බහුලවම පැමිණිලි කරන රෝග ලක්ෂණ වන්නේ පහල ගාත්‍රාවල ඇති වන අපහසුතාවතෙහෙට්ටුව සහ ඉදිමීමයි.නිදන්ගත හෘද රෝග සහ රුධිර සංසරණ ආබාධ රැකියාවෙහි දීගු කාලයක් සිටගෙන සිටීම නිසා ඇති විය හැක. වැඩ කරන ස්ථානයේ එල, ඉරියව්වකින් ඉතා දීගු  කාලයක් ගත කිරීම අධි රුධිර පීඩනය ඇතිවීමට ඇති අවදානම අවුරුදු විස්සකින් වයසට යෑම හා සමාන බව එක් පර්යේෂනයකදී සොයාගෙන ඇත.

දේවි එවැනි ඇඟළුම් කම්හලක වැඩකරන තිස්දෙහැවිරිදි තැනැත්තියකි.  

“ලැයිමේ ඉන්න බෑ හිටියොත් දළු කඩන්න ඕනා. මම අවුරුදු විස්සෙන් ගාමන්ට් ආවේ. තැන්කීපෙක වැඩ කළා දැන් අවුරුදු පහක ඉඳන් මේ කකුල් සහ අතේ ඇඟිළි වල හිරි වැටීමයි කැක්කුමයි” ඇය පවසයි.

 රැකියාවෙහි දිගු කාලයක් සිටගෙන සිටීම හෘදයාබාධ හා අංශභාගය ඇතිවීමේ අවදානම ඇති කරන බවට ප්‍රබල සාක්ෂි මෑතකදී අනාවරණය විය. පර්යේෂකයන් මෙහිදී කාලයත් සමග කැරොටිඩ් ධමනි සිහින් වීමේ අවදානමක් ඇති බවද එමඟින් හෘදයාබාධ හා අංශභාගය වැඩි වීමේ අවදානමක් ඇති බවද පෙන්වා දේ.

කකුළේ මතුපිට මෙන්ම මාංශපේශීන් අතර දිවයන රුධිර නාලද අවහිර වීමේ තත්ත්වයද දිගු කාලයක් රැඳී සිටීමේ පොදු සංකූලතාවකි.  සිටගෙන සිටීමෙන් ඔබේ ශරීරයේ පහළ හෙවත් පාද ආශ්‍රිත රුධිර නාලවල පීඩනය වැඩි වන අතරමේ නිසා එම රුධිර නාල විශාල වී පුපුරා යයි. Varicose veins හෙවත් නහර ගැටගැසීම නමින් හඳුන්වන තත්ත්වය රුධිර සංසරණ ගැටළු ඇති කරමින් හර්දය සහ රුධිර නාල ආශ්‍රිත රෝගාබාද සඳහා වැඩි අවදානමක් එකතු කෙරේ. මෙම නහර ආසාදනය වීමට හෝ බොහෝ කාලයක් පවතින වේදනාකාරී තත්ත්වයක් ඇති කිරීමට ද ඉඩ ඇත. එය හදිසි වෛද්‍ය උපකාර අවශ්‍ය විය හැකි බරපතල රෝගාබාධවලට පවා හේතු විය හැක. (thrombophlebitis, deep vein thrombosis, pulmonary embolism) 

මාංශ පේශි වේදනාවඅත් පා හන්දි හිරි වැටීම ඉදිමීම උකුල් හා දණහිසේ සන්ධි ප්‍රදාහයට ලක්වීම නිසා වැඩ කරන ප්‍රමාණය සීමාවීම.  මෙය පසුකාලීනව රූමැටික් රෝගයට පවා හේතු විය හැක.

මෙසේ ශ්‍රමිකයන්ගේ කායික සෞඛ්‍යයේ ගැටළු ඇති කරන සේවාවේ ක්‍රම මගින් ඔවුන්ගේ කායික සෞඛ්‍ය පමණක් නොව මානසික සුවයද නැති කර දමනු ලැබේ.  දිගු කාලීනව වේදනාවෙන් සිටින අයෙකුගේ ජීවිතයට මානසික ආතතියක් මේ නිසා ඇතිවේ. මෙය සේවකයාගේ ජීවිතයේ මනෝ සමාජීය අර්බුදයක් ඇති කරන අතර එය අවසානයේ විශාදිය වැනි මානසික රෝග තත්ත්වයට ලක්වීම දක්වා දරුණු විය හැක. .

මෙම වෛද්‍ය ගැටළු සමහරක් පසුකාලීනව සිදුවනු ඇති නමුත් එයින් සිදුවන්නේ කායික හා මානසික වශයෙන් රෝගී වූ ආබාධිත ජනගහනයක් සමාජයට එකතුවීම් ය්. එමෙන්ම එක තැන සිටගෙන වැඩ කිරීම තුළින් මෙන්ම පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීමද අහිතකර ආහාර රටාවන්ට යොමු වීමද නිසා මොවුන්ගෙන් වැඩි පිරිසක් ඉක්මනින් බෝ නොවන රෝගයන්ට ලක්වේ. එනම් දිය වැඩියාව අධික රුධිර පීඩනය වැනි සමාජයේ සුලභ රෝග තත්ත්වයන්ට මේ ශ්‍රමිකයන් ඉතා තරුණ අවධියේදීම ලක්වන බව අප හා කතා කළ ශ්‍රමිකයන්ගෙන් දැනගන්නට ලැබුණි. ලිවර්පූල් හි අධ්‍යනයකට අනුව මිනිත්තු 30ක් එක දීගට හිටගෙන ඒ ඉරියව්වෙන් වැඩ කිරීම සෞඛ්‍ය ගැටළු ඇති කරන බව පෙන්වා දී ඇත. 

වැඩකරන ස්ථානය ආශ්‍රිතව තම ශ්‍රමිකයන් මේ ගැන දැනුවත් කර ඔවුන්හට සේවාමුර අතරතුර වෙනත් බාහිර ක්‍රියාකාරකමක් හෝ ව්‍යායාමයක් කරන්නට සංඥා කිරීම අද වන විට ප්‍රසිද්ධ ක්‍රියාමාර්ගයකි. එවැනි දෑ සිදු කිරීම තුළින් ශ්‍රමිකයාගේ කාර්‍යක්ෂමතාවයද වැඩි වන බව නොරහසකි. 

දිගු කාලයක් සිටගෙන සිටීමේදී ඇතිවන රෝගාබාද  අවම කිරීම සඳහා කෙටි සහ නිරන්තරයෙන් ලබාගන්න විවේක කාලයන් වැදගත් වේ. සේවකයින් විවේක කාලයේදී වාඩි වී සිටීමට හැකි ලෙස සේවා ස්ථානය සකස් කළ යුතුය. ඉරියව්වල වෙනස්කම් සැපයීම සහ ඇවිදීම දිරිමත් කිරීමද සේවා ස්ථාන ආශ්‍රිතව සිදු කළ හැක.  කිසි විටෙකත් සේවකයාට බාධාකාරී ඉරියව්වකින් නොසිටීමට ඔවුන් දැනුවත් කිරීම සිදු කළ යුතුය. එමෙන්ම ලෝකයේ පිළිගත් කම්කරු ප්‍රඥාප්තීන්ට අනුකූලව හැකි සෑම විටම හිඳගෙන වැඩ  කිරීමත්සිටගෙන සිටීමට සිදුවෙනවානම් ඔවුන්ගේ කාලය සීමා කර හිඳ ගැනීමට පහසුකම් සැලැස්වීමත් යන කාරණා ගැන නීති සකස් වී ඇත. 

රටක ශ්‍රම බලකාය ඉතා ඉක්මනින් රෝගීන් වන්නේ නම් එය රටේ ඉදිරි ගමනට විශාල බාදාවකි. එනිසා ඔවුන්ගේ ජීවිත පහසු කිරීම සෞඛ්‍ය ප්‍රශ්න අවම කිරීම මෙන්ම රෝගී වෙන්නට ප්‍රථම එය වලක්වා ගැනීමට හැකි පියවර සකස් කිරීම නිසි බලධාරීන්ගේ වගකීමකි.

වෛද්‍ය බෝධිනී සමරතුංග - සායනික සටහන් නොවේ





Sunday, November 28, 2021

උතුරු දකුණු අරගල...

පෙර මතක
ඔබ සිටිය යුතු තැන මෙතැන ය. 

ආයුධ වලින් දිනන්නට හැකි කිසිවක් නොවන බව පසක් කළ ත්‍රස්තවාදී අරගලය නිමාවට පත් වී දැන් වසර 10කට කිට්ටුය.එහෙත් ඒ මතක අද ඊයේ සිදුවුනාක් මෙන් සිත විටින් විට කොනිති ගසන්නේ දුම් රොටු පිටවෙන අඟුරු අවුස්සා අවුලුවන්නට තනන්නන් නිසා ය. සිදුවුනේ හරියටම හරි දේ ද වැරදි ද යනුවෙන් කොයි තරම් වාද කරත්, සිදු වූ දේ සිදුවී හමාර ය.

පශ්චාත් යුධ සමයේ වන්නියේ සේවය කළ වෛද්‍යවරියක් ලෙස ,මම හැම අතම කරක් ගැසුවෙමි. වාට්ටු තුළ කොටුවී සිටි මට, මනෝවෛද්‍ය ඒකකයේ කණ්ඩායම හා එක්වන්නට පුළුවන් වූයෙන්, ඊට එහා ගිය විශාල වැඩ කොටසකට දායක වීමට හැකි විය. පුලියන්කුලම, මාන්කුලම, කොකාවිල්, ඉරණමඩු , මල්ලාවි, පූනගරී, පරන්තන්, නැදුන්කර්නි, මේ අප නිතර ආගිය තැන් විය. මැණික්ෆාම්, සෙට්ටිකුලම් ගිය හැටි, මන්නාරමේ , කිලිනොච්චියේ ළමා නිවාස වලට ගිය ගමන් හිතේ ඇති කළේ කිව නොහැකි තරම් දුක් ගොඩකි. ත්‍රස්තවාදය අප්‍රිය කිරීමට මට තවත් හේතු උවමනා නොවී ය. 

🌸අනිත්කොන, සායනික සටහන් නොවේ..යන කෘති මම ලීවෙමි
🌸වෛද්‍ය පැතුම් කර්නර් ලියූ යුදබිමක වෙද මහිම කෘතිය
🌸අනූෂා සිවලිංගම් පරිවර්තනය කළ "කරුණාකරන්ගේ මතක වන්නිය
🌸 තියුණු අසිපතක සෙවණ යට මගේ අරගලය- තමිලිනී ජෙයක්කුමාරන් , පරිවර්තනය සාමිනාදන් විමල්
🌸අවුරුදු අටක් කොටි අත් අඩංගුවේ සිටි කොමදෝරු බෝයගොඩ කියූ the long watchඇසුරින් තීක්ෂණ සුරවීර ලියූ "දිගු කලක් සිටියා බලා" කෘතියද,
🌸අම්බල්වානර් සිවානන්දන් ලියූ when memory dies, කෘතියේ හෂිත අබේවර්ධන විසින් සිංහලට පරිවර්තිත - "මතක මිය ඇදෙන සඳ" කියවමින් සිටින්නෙමි. 

මේ සියල්ල අවසානයේ අවුරුදු ගණනාවක් වන්නියේ දුක දැරූ අපට කියන්නට කතාවක් තිබෙන බව කියන්නෙමි. ඒකතාව මේ පොත් හරහා ඔබ හමුවට පැමිණ ඇති බව කියන්නෙමි. මා කියන්නට යන දේ මේ උපුටා ගැනීම් අතරින් ඔබ සොයා ගන්න !

මා දැක්කේ සුනු විසුනු වූ වන්නියකි. පුරුද්දා පිළියම් කළ නොහැකි ලෙස කැඩී බිඳී ගිය සිත් ඇත්තන් සිටි වන්නියකි. එනමුත් මා එහෙන් එන කාලයේ මා දුටුවේ, ජීවත් වෙන්න හිත හදා ගත් වන්නියකි.

මම තමිලිනී ජෙයකුමාරන් ලියූ මගේ අරගලය (මේ තියුණු අසිපතක සෙවන යට කෘතියේම නව සංස්කරණයයි එහි තමිලිනීගේ මවගේ සම්මුඛ සාකච්ජාවක් ඇතුලත්කර තිබේ) සහ අලුයම් සිහින, කියැවීමි. 
පැවතුණු කරුම දේශපාලනයේ ඉත්තන් ව, එකම මිනිස් ජාතියක් බෙදී වෙන් වුන තැන් හිඩැස් හොඳින් දකින්න මේ පොතේ ලියැවිල්ල කදිම ය. තැන් දෙකකට වැටුණු ගිරවුන් දෙන්නා මෙන්, වන්නියේ ඔවුන්ද, දකුණේ අපද ජීවිත වෙනස් කරගෙන තිබුනේ එසේ ය. පවතින තත්වය තුල ඇයට වෙන කරන්නට කිසිවක් නොතිබෙන්නට ඇත. අපිද මේ මිනිස් ඝාතන හමුවේ ත්‍රස්තවාදී ක්‍රියාවලට වෛර කෙරුවෙමු හරි හෝ වැරදි හෝ සියල්ල අද අවසන් ව ඇත.

තමිලිනී වටහා ගත් සත්‍යය මෙසේ අප අතට පත් කළ එක ගැන, මේ තරමින් හෝ ලියා දැක්වීම ගැන මම ඇයට ස්තූති වන්ත වෙමි. ඇය පසු කාලයේ ජීවිතය වෙනස් කරගත් අන්දම ගැන , එය දරාගත් අන්දම, ඒ දිරිය ශක්තිය පුදුමය කි . ඇගේ කතාවෙන් පසුතැවීමක් මම නොදකිමි. හුදෙක් ජීවිත යුද්ධයේ, කරුම දේශපාලනයේ අරුමය පමණක් දකිමි. අප දුටුවේ අපේ පැත්තේ අහිමි වීම් ය. ඇය දුටුවේ ඇගේ පැත්තේ අහිමිවීම් ය.

"සෑම දෙයක්ම වෙනස් කිරීමට කාලය සතු දක්ෂතාව වෙන කිසිවකටත් නොමැත. කාලයේ එම ක්‍රීඩාව දෙස තියුණු ලෙසින් බලද්දී සියල්ලම පෙනෙන්නේ විසුළු සහගත ඒවා ලෙසින් ය. එයිනුත් යුද්ධය සිදුවූ ස්ථානල මෙම ස්වභාවය අධික ලෙසින් දකින්නට ලැබෙයි. යුද්ධය සෑම නිෂ්චිත දෙයක්ම අවිනිශ්චිත තත්ත්වයට පත් කර ඇත. එයද එක් සැණෙකින් සිදු කර ඇත. 
යුද්ධයට පසුවත් යුද්ධයෙහි ඇතුළෙත් පවතින්නේ දේශපාලනයයි. මෙම දේශපාලනය විසින් සියල්ලම වෙනස් කරන ලදී. සියල්ලම විකෘති කරන ලදී . තවමත් විකෘති කරමින් තිබේ. -( අනූෂා සිවලිංගම් පරිවර්තනය කළ කරුණාකරන්ගේ මතක වන්නිය- පිටුව 101)

වන්නියේ සිය දහස් පිරිසක් අවතැන් කළ, ජීවිත සුනු විසුණු කළ , අපායක් කළ ඒ බිහිසුණු කාලයට නැවත කිසිදිනෙක මේ පිරිස ඇද නොදමන්න යැයි මම සියලු නායකයින්ට පවසමි. මන්ද වන්නියේ පුපුරා ගිය ජීවිත අලවන්නට පැලැස්තර හෙවූයේ අප හෙයිනි. මට මුණ ගැසුණු, කතා බස් කළ සියල්ලන්ට ද ඕනෑ නිදහසේ ජීවත්වීමටය.

"යම් කාලයක් ගත වෙනකොට වෙනසක් ඇතිවෙන බවට යහපත් ලකුණු පහළ වෙලා තියනවා. අපි වන්නියේ අවුරුදු උත්සව පැවැත්වීමටයි , යාපනේ අධි සුඛෝපබෝගී මහල් නිවාස ඉදි කිරීමටයි එහා යන ප්‍රගතියක් ලබා ගන්නට ඕනෑ. ඒවා කිසි කලෙක අපෙන් නැතිවී ගිය දේවල් නොවෙයි. සත්‍යය නම්, ජනතාව අතරින් බහුතරයක් තවමත් බලන්නේ ජාතිවාදී නැඹුරුවකින්. ඒ තත්ත්වය වෙනස් වෙන්නට තරමක කාලයක් ගතවෙනවා....."( දිගු කාලයක් සිටියා බලා - අජිත් බෝයගොඩ පිටුව 266) අජිත් බෝයගොඩ මහතා තවදුරටත් පවසන්නේ උතුරේ ත්‍රස්තවාදී හිර කඳවුරේ සිට නිදහස ලැබූව ද සිංහළ දෙමළ මිනිසුන් අතර බෙදීම් වෙන්වීම් ඇති කරන සුළු ප්‍රකාශ ඔහුගෙන් නොකියවෙන හෝ නොලියවෙන බව ය. කිසිදාක නැවත යුද්ධයක් ඇතිවන්නට තුඩුදෙන දෙයකට සම්බන්ධවීමට ඔහුට කිසිඳු උවමනාවක් නොවන බව ය.

තමිලිනී ලියූ පොතේ අවසන් භාගයේ මා ඇගේ දුක්බර මතක කියවමි. බලෙන් ඇද දැමූ යුද්ධයක අපි කොටස් කාරයෝ වීමු. මා උපන්නේ යුද්ධය ඇවිලුණු දේශයක ය. මා හැදී වැඩුනේ යුද බිය හිතේ පොදි ගහගෙන ය. මා හැදී වැඩුණු පරිසරයේ මා දැක්කේ , ත්‍රස්තයින් විසින් විනාශ කරන ලද ජීවිත පමණි.

"ඊට පසු කාලයන්හි දි මට ලැබුණු අත්දැකීම්, පාඩම්, අරගලය කෙරෙහි අවිශ්වාසය ඇති කළ තත්ත්වයන් , අවිශ්වාසය ඇති කළ තීරණ ජනතාවගේ යහපත පෙරටුකර නොගෙන දියත් කළ ක්‍රියාකාරකම් ආදිය මා තුළ දැඩි හැඟීම් කැකෑරීමක් සහ ස්වයං විවේචනයක් ඇති කළේය. ...." (තියුණු අසිපතක සෙවණ යට මගේ අරගලය - 227 පිටුව) 

උතුරු කොනේ දී මා මිනිස් සිතේ අරුමය හා ගනුදෙනු කරමින් පරිණත වීමි. වෙනස් තැන් දෙකකට වැටුණු ගිරවුන් මෙන් අවුරුදු 30ක් අපි උස් මහත් වීමු. එනමුදු අවසන අපි සියල්ලන් එකම දුක්ඛාන්තයක කොටස් කරුවන් වීමු. එනිසා සානුකම්පිතව මම ඔවුන්ගේ දුක දැරීමි. මට උතුරු කොන හර්ද කම්පන දරන්නට පහසු විය. පැරදුන අරගලයක අවසන ඔවුනට සියල්ල අහිමි විය. දකුණේ අපට ද බොහෝ දෑ අහිමි විය. ඇයටට මෙන්ම අපටද වෙනස් වෙන්නට සිදු විය.

අප පා තැබූයේ සියල්ල විසඳුනු වන්නියකට නොවේ. සිංහල වෛද්‍යවරු යන ලේබලය සමග අප වන්නියට පය තබද්දී, අපට සිදුවූ දෑ මම ඔබට ඇති තරම් ලියා ඇත්තෙමි. 

ඉහළ නිළයන් ගේ සිටි මිනිසුන් ඔවුන්ගේ ජාතියේ මළගම ලියා දුන් හැටිත්, ඔවුන් ඉන් පසුව වුව ද " පාවාදී අනෙක් පැත්තට පැන්න" හැටිත් ගැන අත් අඩංගුවේ පසු වූ ත්‍රස්තයින් කියූ කතා අසමින්, අප හමුවේ ඔවුන්ගේ වෛරය සංසිඳෙන හැටි වටහාගනිමින් අප සිටියෙමු. 

වෙනස් විය යුත්තේ දමිළ වැසියන්ගේ අරගලය යැයි කියමින් , බල ලෝභී තමන්ගේ දේශපාලන අරමුණු ජයගන්න වලිකන දෙමළ-සිංහල-මුස්ලිම් දේසපාලුවන් මේරට කරවන තැනට නොයවන්නට වග බලාගත යුතු කාලයක් එළඹ ඇත.

“ඔය ඩොක්ටර්ට බැන්න ගෑණු කෙනයි එයාගේ මිනිහයි කළේම , එල් ටී ටී ඊ එකට, ළමයි අල්ලන් ගිහින් බාර දෙන එක. ඔය කන ඇහෙන්නෙ නැත්තේ...බෝම්බ නිසා නෙමෙයි. එහෙම ළමෙක් අල්ලන් යනකොට, තාත්තා කෙනෙක් පොල්ලකින් ගහලා ඔළුවට , ඒකයි ඔය “ මගේ මතකයට එන්නේ ඔවුන් ය. (අනිත්කොන - 135 පිටුව, මිත්‍රත්වයේ පාළම)

තමන්ගේම මිනිසුන් පලා යද්දී, ඔවුන්ට වෙඩි තියන්න යැයි ඉහළින් දුන් නියෝග හමුවේ. .. අපේම අම්මලා තාත්තලාට වෙඩි තියන්නේ කොහොම දැයි තමිලිනී විස්සෝප වන අයුරු මම ඒ පොතේ තැනක කියැවීමි.

ඒ වෙඩි මතින් කලපුව තරණය කළ පිරිස් රෝහල් වලදී පසුව කියූ කතා මම උතුරු කොන සිට අකුරු කෙරුවෙමි. (අනිත් කොන පොත) 

"දැන් මුළු රටම ගිනි ගන්නයි යන්නේ " ඉතින් මුලු රටම එසේ විය. (මතක මිය ඇදෙන සඳ 394 පිටුව)

83 ඇසළ කළුවරේ අපි බිළිඳුන් වීමු.එකම කාසියක දෙපැත්තක් මෙන්, කිසිදා හමු නොවුන අප දෙපිරිස දෙපසට වෙන්වී අරගල කෙරුවෙමු. ඇය උතුරේ සිට, දකුණේ මිනිසුන් හා තරහෙන් වෛරයෙන් සිටි කණ්ඩායමක අරගල කරද්දී අප දකුණේ සිට, ත්‍රස්තවාදයට වෛර කෙරුවෝය.

මිනිස් ජීවිත ලක්ෂ ගණනින් අහිමි වූ යුද්ධයක් අවුරුදු තිස් ගණනක් පුරා පැවතිනි. ඔබ සිටි කොටුව ඔබට සාධරණ වූ අතර මා සිටි කොටුව මට සාධාරණ විය. කොයි හංදියක කෙසේ පිපිරෙයිදැයි නොදැන , එවකට පාසැල් වියේ සිටි මම, බෝම්බ හඬින් සසලව මැරුණත් මොනා කරන්නදැයි හිත හදා ගත්තෙමි. ඉන්පසු උතුරට ගිය මම ඇල වේලි කැලෑවල රැය පහන් කළ උන්ගේ කතා අසා සිටියෙමි. සියල්ල අවසන්ව පුපුරා ගිය වන්නියක, ජීවිත ජීවත් කරවීමේ යුද්ධයට මා මැදි විය. තමිලිනී වැනි දහස් ගණනකගේ දුක් කඳුළු කෝප වෛරය, අප පිටින් ගලා ගියේ, ඔවුන්ට පෙනෙන්නට හිටි සිංහලයන් අපි වූ හෙයිනි.
එහෙත් ඔවුනට වෛර නොකරන්නට තරම් මා පරිණත වූයෙමි. මේ වෛරය අවසන් කළ හැක්කේ, අවෛරයෙන් බව මා පිළිපදින බුද්ධ දර්ශනය වේ.

"සිංහලයාද දෙමළාද යුද සීමාවෙන් වෙන්ව දෙපැත්තට වී එකිනෙකාට වෛරයෙන් මෝරා ගියේය. තමා උපන් භූමි⁣යේ අයිතිය වෙනුවෙන් දෙමළ අම්මාගේ දරුවෝ කොටි සංවිධානයට බැඳුණහ.  සිය මවුබිම කැබලි කර කොටසක් ඉල්ලන කොටින්ට එරෙහිව සිංහල අම්මාගේ දරුවෝ යුද හමුදාවට බැඳුණහ. මේ දරුවන් දෙදෙනාම මේ රටේ බිහිවී එකම වාතය ආශ්වාස ප්‍රශ්වාස කර, මේ පොළොවේම හැදෙන බත කා ජීවත් වෙන තරුණයෝය. දෙදෙනාම සිය ජාතිය ආගම වෙනුවෙන් ආයුධය අතට ගත්හ. දෙදෙනාටම ඇත්තේ එකම දේශප්‍රේමය ය. වෙනසකට වූයේ දෙන්නා දෙපොළේ වීම පමණි. සිය ජාතියට රටක් ඉල්ලා මියගිය කොටි සමාජික සෙබළාද, සිය රටේ ඒකීය භාවය වෙනුවෙන් මියගිය  හමුදා සෙබළාද මියගියේ ජාත්‍යාලයෙනි; දේශප්‍රේමයෙනි. - (යුද බිමක වෙද මහිම) "

තමන්ගේ ජාතිය මුල් කරගෙන වැසියන් සහ ඔවුන්ගේ දරු පැටවුන් ආයුධ සන්නද්ධ යුද්ධයකට ඇද දමා, එය පෝෂණය කළ , යළිත් රට බෙදන්නට අර අඳින ඩයස්පෝරාවෙන් සහ දේශපාලුවන්ගෙන් මම යමක් අසමි ! 

ඔබ ගේ මිනිසුන් අද ද දුක් විඳි ති. ඒඅයට ඔබ උපකාර වුනේ කෙසේ දැයි මම විමසමි. එදා පිටරටවලට වී කිඹුල් කඳුළු හෙළූ අය අදද සිටී. එදා වන්නියේ දරුවන්ට ආයුධ දෙන්නට මුදල් ආයුධ නැව් පිටින් එවූ උන්, ඔවුන්ගේ දරුවන්, යුරෝපයේ වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් කරන්නට මුදල් වියදම් කළෝය. එනමුත් මේ රටට පය තැබුවේ උන් නොවේ. අද ද ඔවුන්ගේ දරුවන් යුරෝපයේ හෝ ඇමෙරිකාවේ ය. මට කිළිනොච්චියේ හමුවූ බොහෝ වෛද්‍යවරු ශිෂ්‍යයින් කාලයේ රැය පහන් කරන ලද්දේ කැළෑ වැදී බව මා හා කීවෝ ය. වන්නියට ආවේ එවන් වෛද්‍යවරුන් සහ දකුණේ වෛද්‍යවරුන් ය.

අපට වෛර කළ, අපට බිය වූ, මුහුණ අනිත් පැත්ත හැරවූ දස දහස් ගණන් නන්නාඳුනන දමිළ වැසියන්ගේ දුක දරන්නට තරම් මම සමත් වීමි. ඒ මා උගත් පුහුණු කළ බෞද්ධ දර්ශනය නිසා ය. 

තමිලිනී , අජිත් බෝයගොඩ, කරුණාකරන්, පැතුම් කර්නර්, සහ මම මේ දේ ලියන්නට හිත හදාගත්තේ කෙසේද, ඒ තරම්ම ඒ හිත් අරගලය අවසානයේ සැනසීම අත් කර ගත් බව නිරහසකි.
මේ ලිවීම් කියැවිය යුතුම පිරිසක් මට මතක් වේ. මිනිසුන්ගේ සැබෑ අරගල විනාශ කරන්නේ පටු බලලෝභී ආත්මාර්ථකාමී නායකයින්ගේ අමනෝඥ ක්‍රියා ය. ඉන් විනාශවන ජීවිත ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැක. ජීවිත වැනසීමෙන් ලබන විමුක්තියක් නොවන බව ද, එක් ජාතියක් උසස් යැයි කියමින් සිදුකරන සංහාරයන්ද ම්ලේච්ජ බව කියමි. උතුරේ කොටි ත්‍රස්තවාදය සහ දකුණේ දේශපාලනය කළේ එය බව කියමි.
සෑම ජාතියකම නිරායුධ වැසියන් ඝාතනය කරමින් රටක් අවුරුදු 30ක් භයංකාර කාලයකට ඇද දැමීමෙන් යුධයට මග පෙන්වූ යුද වැදුණු  සියල්ලෝ ලද විමුක්තියක් නොවන බව අප වටහා ගත යුතු සත්‍යයයි. 

මිනිස් සංහාරයන්ගෙන් පෝෂිත අරගලයක බිහිසුණු බවත්, නොදියුණු බවත් ම්ලේච් ඡත්වයත් පමණක් දකිමි. එවැන්නක් යළි සිදු නොවන්නට සමස්ථ ශ්‍රීලංකා වාසීන්ම සිත හික්මවා ගත යුතු බව පමණක් සිහි කරමි.

අද බොහෝ දුක් බර දවසක් වුනේ බෙදී වෙන් කරන්න නොයෙක් වහසි බස් ඇසෙන නිසා ය.
රටක් ලෙස ගොඩ නැගෙන්නට අවැසි චින්තනයක් ඇති පිරිසක් නැති එක ගැන දුක් වෙමි. සිංහලයා දෙමළා කෙරෙහි ත් දෙමළා සිංහලයා කෙරෙහිත් වෛර නොකරන ලෙස ප්‍රකාශනයේදී අප ප්‍රවේසම් විය යුතු බව පමණක් සැමට මතක් කරමි.
(2019 නොවැම්බර් )

Wednesday, November 17, 2021

කසුරි

I used to collect poems written by Kasuri... since school days..He was one of the talented writers of our times.. May he attain nibbana !
ඊයේ හවස ඉර බහිනා හෝරාවේ
තරුමල් දෙකක් අහසේ පිපිලා තිබුනා
ඒ තරු එළිය යට ගී පද ලියනකොට
වලා පෙළක් විත් අහසම වට කෙරුවා
- තනි තරුවක් ඉඳහිට අඳුරේ පෙනුනා......

මගේ මතක තුල නිරන්තරයෙන් රැඳී තිබෙන කවි පද අතර කරුණාදාස සූරියාරච්චි මහතාගේ මේ කවි සංකල්පනා කොළමේ කවි බොහෝමයක් වෙත්. ගත්කරු, කාව්‍ය රචක, ප්‍රවීන මාධ්‍ය වේදී කරුණාදාස සූරියාරච්චි මහතා විසින් ඉරිදා නිම්නයට ලියූ, කුඩා කවි සංකල්පනා මම එකතු කරන්න පුරුදු වුනේ බොහෝ කුඩා කාලයේ සිට, පස්සෙ කාලෙක පාසැල් මැහුම් පොතේ අලවලා තිබ්බ මැහුම් ටික ඉවත් කරලා, කවි ටික කපලා ඇලෙව්වා. ඒ කවි සියල්ල ලියැවී තිබුනේ ජායාරූපයක් ඇසුරු කොටගෙන, ඒ පොත නිතර කියවන එක හරිම ආශ්වාදජනකයි. හිතන්නට හිත යොමු කරවන අපූර්ව කවි සංකල්පනා රැසක් ඒ අතර තියෙනවා. මේවා එකතුකරලා දුන්නේ ඉරිදා පත්තර නොවරදවා ගන්න නුවර ලොකු අක්කා.... 

ඉරිදා නිම්නයේ වටරවුම, තුලින් එතුමා කළ සමාජ සාධනයද අමතක කර නොහැකිය.
“හදවතට මුවා වෙන මතකයක්” “නෝමා සහ සෝමා”, “වැහි කඳුළ”, “වටරවුම”, “කසුරිගෙ කොලම”, “අපේ කාලයේ කුමාරිකාවකගේ කතාවක්”, “කන්ද පාමුල” සහ “වෑකන්දේ ගීතය” එතුමා විසින් රචිත පොත් සමහරකි.
”ලියන්නා කොච්චර කීවත් කියවන්නා ඒ සියල්ල තේරුම් ගන්නේ නැහැ. ඒක ලියන්නාගේ හෝ කියවන්නා ගේ වරදක් නෙවෙයි. දෙන්නගෙම වරදකුත් නෙමෙයි.
හැම විස්තරයකින්ම පස්සෙ පොඩි පටලැවිල්ලක් මතුවෙනවා. එහෙම පටලැවිල්ලක් ඉතිරි නොකරන සටහනකින් හෝ විස්තරයකින් ඇති වැඩකුත් නැහැ” එතුමා එක තැනක ලියා තිබුණා.

එගොඩ ගොඩේ ඉස්කෝලෙට යන කලට
වතූර කඩිත්තක් හමුවුනි අප සැමට
එගොඩ වෙන්ඩ වෙන මගකුත් නැති කලට
වතුර මැදින් පියමං කෙරුවයි ගොඩට

අකුරු උගෙන් පාසල හැර එන කලට
ගලන ගඟක් හමුවනු ඇත අපෙ පවට
සහතික මිටි ගණන් ඇති මුත් අප සැමට
තරණය කළ හැකිද ඒ ගඟ කිසිම විට

බලවන්තයෝ දත් පෙන්වති එගොඩ සිට
මැට්ටෝ පීන පීනා යති මෙගොඩ සිට
කිසිවිට නොහැක කඳුලැල්ලක පාවෙන්ට
ඒ දණ්ඩක් තනමු අත්වැල් එකතු කොට

~ කසුරි හෙවත් කරුණාදාස සූරියආරච්චි

Saturday, November 13, 2021

කොවිඩ් කතා 1

දරුවන්ගේ පණිවිඩ !
කොරෝනා කාලේ කතා - 1 

රුචිර මල්ලී එයාගේ කුඩා පුතනුවන් සහිරු, තමන්ගේ අත්තම්මා සීයා වෙත ලියූ ලිපියක් මට එවා තිබුණේ මේ ගැන ලියන්න කියන පණිවිඩයත් එක්ක. 

පහළ ෆොටෝ එකේ තියෙන්නේ ඒ අපූරු ලියුම..  සහිරු පුතා තමන්ට කාලෙකින් දකින්න හමුවෙන්න බැරි අත්තම්මා සීයා වෙත මෙහෙම ලියනවා 

"නිවාඩුවට එන්න ආසයි ඒත් covid-19 නිසා එන්න බැහැ. 
කොහේ හරි යනකොට, face mask දාගෙන යන්න" 

කොවිඩ් සමඟ ලෝකය බොහෝම දරුණු ආකාරයට වෙනස් වුණා. දරුවෝ එක්ක පරිස්සමෙන් ගෙවල් ඇතුලට වෙන්න ඔබට හැකි වුණත් එහෙම වෙලාව ගත කරන්න හැමෝටම හැකි වුණේ නෑ. 

බෙල්ජියමේ ඉන්න සංජී අක්කාගේ දරුවන් දෙදෙනා, Sarnath and Ahimsa ලියන අඳින දේවල් අපි වෙනුවෙන් එයා නිතරම බෙදා ගන්නවා. ඒ අය කොවිඩ් මර්ධනයේදී ඉදිරියෙන් ඉන්නා සෞඛ්‍ය සේවකයන් අගය කරනවා. හවස්වරුවේ ගෙදර දොර අද්දර ඉඳගෙන සිංදු කියමින් බටනළාව වයමින් ඔවුන් කොවිඩ් මර්ධනයේ ඉදිරියෙන් වැඩකරනා සෞඛ්‍ය සේවකයන්, ලෙඩවූ පිරිස් වෙනුවෙන් ආශිර්වාද කරනවා. ඒ අතරේ ඉස්කෝලේ පටන් ගන්නවා. එයාලාට  දෙපාරක් pcr පරීක්ෂණේ පවා කරන්න සිදුවෙනවා.

ඉතාලියේ ජනනි අක්කාගේ චූටි දුව මාස්ක් පැළඳ ඉස්කෝලේ යන හැටි ගැන අක්කා මට කතා එවනවා. රැක දෙන්න අපේ ලක් අම්මා යැයි එයා හරි ලස්සනය ගායනා කරනවා. මේ වෙලාවෙත් එයාලා තමන්ගේ මව් රට ගැන හිතනවා. ඉස්කෝලේ යන්න කලින් චූටි දූ මාස්ක් එකක් එයාගේ බෝනික්කට පැළැන්දූ පින්තූරයක් ජනනි අක්කා බෙදාගෙන තිබුණා. එයාලටත් පන්තියේ දරුවෝ ලෙඩ වෙන ගානේ pcr පරීක්ෂණ කරන්න වෙනවා. 

මගේ කුඩා දියණිය එයාගේ සෙල්ලම් යාළුවෝ ටික කුඩා සෙල්ලම් සින්ක් එකක් ඉදිරියේ පෙළගස්වනවා පරතරයක් ඇතිව. ඒ අත්සෝදලා ඇතුලට යන්න. පරක්කු වෙන අයට සැනිටයිසර් දෙන බව කියනවා. සමාජෙන් ලැබෙන ආභාශය ඒක.

මේ හැම දේටම මුහුණ දෙමින්, කියා දෙන දේ හරියට කරන හැටි දරුවෝ අපිට පෙන්වා දෙනවා. තත්තපර විස්සක් සබන් අතේ තියාගන්න කීවම ඒ විදිහටම අත් හෝදන, කිවිසුම් අරිද්දී වැලමිට තබා කිවිසුම් අරින දරුවෝ මම දකිනවා.
 මහ මිනිස්සු තත්පර දෙකෙන් අත සෝදන් දුවනකොට දරුවෝ එයාලට කියාදෙන දේ හරියටම කරනවා.
මේ අමුතු කාලයේ එයාලගේ පුංචි මනසට දරාගන්න බැරි තරම් දුක් කඳුළු හංගගෙන හිනා වෙනවා. 

අත්තම්මලාට ලොකුඅත්තලා මාමලා නැන්දලා භාරයේ තියලා දෙමාපියන් සේවය සඳහා පැමිණෙනවා. ගෙදර හැමෝම එක්ක ලොක් ඩවුන් වීමක් සෞඛ්‍ය සේවය වැනි අත්‍යාවශ්‍ය සේවාවලට අහිමි වෙනවා. 

දරුවෝ ලියන කියන අඳින දේවලින් මාස්ක් පැළඳ පරිස්සමෙන් ඉන්න කියන දේ තමා පණිවුඩ ලෙස ලියන්නේ. 

ඇතැම් ඉස්කෝලවලින් සතියේ දිනවල zoom වැනි තාක්ෂණික ක්‍රමවලින් පාඩම් කියා දෙනවා.ගෙදර මේසේ උඩ ලැප්ටොප් එකකින් ගුරුවරියන් කැපවීමෙන් උගන්වනවා. ඒත් වැඩට යා යුතු සෞඛ්‍ය සේවකයන්ගේ දරුවෝ ? මම ඒ මොහොතේ ගෙදර ඉන්න කාට හරි  කරදරයක් වෙලා මේ පංති අටවලා වැඩට එනවා. 

පාසැල් පරිසර, යහළුවන් හා සෙල්ලම කිරීම්.නැටුම් ගැයුම්, team work, මේ කිසිත් නැතිව දරුවෝ හුදෙකලාව තිරයක් මත අකුරු කියවනවා. දරුවොන්ගේ නිසි මනෝ සමාජීය වර්ධනයට මිනිස් අන්තර් ක්‍රියාකාරකම් කොච්චර වැදගත් ද ? ඒ සියල්ල අපි අකමැත්තෙන් හෝ අත හරිමින් ඉන්නවා. ඒ කොවිඩ් මාරයා ඊට වඩා දරුණු නිසා. 

හැම දරුවෙක්ටම තාක්ෂණික මෙවලම්, සැප පහසු ජීවිත නෑ. කොටින්ම බහුතරයක් දරුවෝ ජීවත්වෙන්නේ පැල්පත්වල. 

"බෙහෙත් බිව්වේ නැත්නම් ගෙදර යවන්නේ නෑ"
කියද්දී ,
" කමක් නෑ මම මෙහෙ ඉන්න ආසයි" කීව දරුවෝ මට මතක් වෙනවා. ඒ අය මේ මුරුගසන් වර්ෂාවේ ලෑලි ගෙදරක කාඩ්බෝඩ් ඇතිරූ පොළවක නිදනවා ඇති. 

පෝශ්‍යදායී ආහාර සිහිනයක් වුණු,කුලී වැඩ කරන අම්මලා තාත්තලාගේ දරුවෝ මොන තරම් අසරණ අනාරක්ෂිත තත්ත්ව යටතේ ජීවත් වුණා ද? දැන් ඊටත් වඩා අවුල් සහගත තත්ත්වයක ජීවත් වෙනවා ඇති නේද ? මානසික අසහනයට පත්වූ වැඩිහිටියන් එක්ක අනාරක්ෂිත පරිසරවල ප්‍රශ්නවලට මැදිහත් වෙන මේ දරුවො ගැන සොයා බලනවා ද ? 

පාසැලෙන් ලැබුණු අධ්‍යාපනය ගෙදර මෙවලමකින් නොලැබෙන ආර්ථික අපහසුතා ඇති දරිද්‍රතාවයෙන් බැටකන සමාජවල දරුවෝ මේ කොවිඩ් රැල්ලෙන් අසරණ වී ඇති අයුරු දකිද්දී හිත සසල වේ. 

"අම්මා ඇයි ඔයා ඩොක්ටර් කෙනෙක් වුනේ...
ඔයා වෙන වැඩක් කරන්නකෝ."  දුව මෑත දවසක මට කීවා. ගෙදරින් වැඩ කරන්න එළියට යන්නේ මා පමණක්ම නිසා වෙනත් රස්සාවක් කළා නම් අම්මා ගෙදර ඉඳීවි යැයි කියා මේ පුංචි සිතට සිතෙනවා ඇති. 

අම්මා තාත්‍තා ගෙදර එනකම් දරුවෝ බලන් ඉන්නවා. ඒත් ගෙදර එන අම්මා තාත්තා බොහෝ වෙහෙසකින් ඉන්නේ. කොවිඩ් කොයි මොහොතේ තමන් එක්ක ගෙදර ඒවිදැයි වරදකාරී හැඟීමකින් තමා ළඟට එන දරුවෝ වුණත් වැළඳගන්නේ. පොඩි දරුවෝ ඉන්න අය දරුවන්ට හොරෙන් එළියේ හෝ ඇතුල්වල තියන නානකාමරවලට රිංගාගන්නේ. එහෙම කරලා තමා ගෙදර යුද්ධෙට බහින්නේ. 

"වෙලාවකට අස් වෙලා ගෙදර ඉන්න හිතෙනවා." මේ මොහොතේ දරුවන් ගෙවල් කළමනාකරණය කරගන්න අප්‍රමාණ දුකක් විඳින සෞඛ්‍ය සේවයේ විවිධ අංශවල සේවය කරන අම්මලා මා හමුවේ කියනවා. 

වසූරිය, පෝලියෝ සරම්ප වගේ Covid -19 ඉවරෙටම ඉවර වෙන දවසක් එනකම් අපේ දරුවෝ මග බලමින් ඉන්නවා. 
"මම ලොකු වුණාම කොරෝනා නැති කරන්න බෙහෙතක් හොයා ගන්නවා" මගේ කුඩා දියණිය එහෙම පැවසුවාම මේ ලෝකේ අපි කොයි තරම් ෆේල් ද කියා මට හිතුනා. 

වෛද්‍ය බෝධිනී සමරතුංග

Saturday, November 6, 2021

පොතක් කළ හරියක් !

රෝග දුක් මහ මෙරුව
නඟින ජන ගඟ සැර ය
හුදී ජන අරගල ය
හොයන්නේ සැප සුව ය

හුදෙකලා සටනක ය
වෙට්ටු කැපිලිත් සරු ය
යටින් දිවෙනා ගැටි ය
රජේ සේවේ හැටිය

බෙහෙත් කරනා අප ය
බෙහෙත් ගන්නා ඔබ ය
මැද දැනෙන හිස් තැන ය
පුරවන්න මේ තැත ය

මා සොයා ආ රැස ය
මටම දුන් තීරුව ය
පටන් ගෙන බෝ කල් ය
ලියන්නේ ඒ ගැන ය

දැන් වසර දෙකකුත් ය
පොතක් කරලා ඇති ය
රැගෙන කියවා සකිය
එවනු මැන ඔබෙ සවිය

බෝධිනී සමරතුංග 
2019
රැස පුවත්පතට 2018අවුරුද්දේ සිට ලියන සෞඛ්‍ය කතන්දර තීරුව දැන් පොතක් වෙලා. පොත උත්සව මොකුත් නැතුව පිට වුනා. දැන් අවුරුදු දෙකක්... තෙවන මුද්‍රණය. 
ප්‍රකාශනය - ග්‍රන්ථ.lk ආයතනය

දෙවන මුද්‍රණයේ ඉඳන් කතෘ භාගය එකතුවෙනවා අවශ්‍යම දෙකට දන් දෙන්න. පළමු මුද්‍රණයේ කතෘ භාගය වෙනුවෙන් පොත්ම ලබාගත්තා. 
පොත ගන්න හැකි තැන් බොහොම යි. සරසවි සූරිය, දයාවංශ සහ ග්‍රන්ථ එකෙන් නම් ඕනෙම තැනකට ගෙන්වාගන්න පහසුකම තියෙනවා.
www.grantha.lk

Monday, November 1, 2021

පෝෂ්‍යදායී ආහාර.... මේ අහන්නේ මොනවාද ?

"ඉතින් කොහොමද?
"සුවෙන්" යැයි පවසන
හීන් වෙන ඇස් සිනාවෙනයුරු දකිමින
"කෑම කාලා ආවාද ? 
හොඳ කෑම වේලක් ගත්තාද ?" 
සුපුරුදු ප්‍රශ්න එනෙන උන් විමසන

"ඔව් ඔව් දැන් පැයක් මං හොඳට කෑවා" 
වචන හංගා කී කතා ගංගා
කුලී වැඩ රස්සා නැතිව ගෙවනා කාලේ
පෝෂණ ආහාර ???
මේ අහන්නේ මොනවා නොතේරේ
බෝසත් මිනිස් දෙව් මුහුණූ අතරේ
කතා දහසක් හංගන සිනා හඬ පැතිරේ

රබර් අත් වැසුමෙන් සැරසුණු ඇඟිලි තුඩගින් 
නාඩි අල්ලා බලමි හද සර 
ප්‍රෙශර් මීටර් ඔතමින්
රළු අත්ල කරගැට නෙතින් අමදිමි
"අද මහන්සිවෙන බර වැඩ නෑනේද ? දුර ගමන් යන්නෑනේද ?
ලේ දුන්නට පස්සෙ නිදහසේ ඉන්න ඕනේ" සුපුරුදු අවවාද ගොන්නකි.. 

"දුර ගමන් කොහේ යන්නද ,
කොරෝනානේ ආයෙත් ඉතින් වැඩ නෑනේ
රස්සා නැතුව දැන් කාලයක් නෝනේ
ප්‍රෙශර් එක නෑ නේද මේ නරක කාලේ ?" 

සුසුම් නැගුනද මුව වැසුම් අස්සෙන්
කතා කරනා නෙත් දිහා බලමි... 

"පීඩනය නෝමල්, ප්‍රශ්නයක් නෑ දැන්,
ලේ දෙන්න පුළුවන්" අස්වැසුම් ගෙනදෙයි
හද ගැස්ම පීඩනය මැන බලන එනමුත් 
හිතේ පීඩන කන්ද අසු නොවෙයි කොහොමත් !

විටෙන් විට හිත දුකට තිරය වෙත එබෙමි... 
රට පුරා රුධිර බිඳු පිරෙනයුරු බලමි...
නිමක් නැති බොහෝ දුක් මතකයට හරිමි
රටක පණ රකින මිනිසුන් නමට වඳිමී...

වෛද්‍ය බෝධිනී සමරතුංග
1/11/2020 ලේ බැංකු මතක පොත