Monday, July 25, 2022

සිස්ටම් චේන්ජ්....

 අද උදෑසන මගේ හිතවත් වෛද්ය සොයුරියක් විසින් මට ලියා තිබූ පණිවිඩ රැසක් නිසා මේ ටික ලියන්න හිතුනේ.

"On my way home there was so much litter in the roads where people were parked and staying for petrol. The sides of the roads where smelly(you know why) beetle spit on the sidewalks.I think this should be done right now. Very urgently along side the aragalaya
If grass root level is not adjusted things will go haywire. Media people should do this. It's a good point to enforce orderHow can this be done?U can do something from there. That's why i am telling u !"
"මම ගෙදර ඇවිදන් එද්දී (පෙට්රල් නැති නිසා ඇය පයින් ඇවිදන් ගෙදර යන්නේ) පාර දෙපැත්තේ තිබෙන කෑලි කසළ පෙනෙනවා. ඒවා පෙට්රල් පෝලිම තියෙද්දී තිබුණා ඒවා. පාර පුරා බුලත් කෙල ගහලා ගඳ ගහනවා. සමාජයක හිත් වෙනස් වීමක් මුල ඉඳලා නොකරන්න, මේ නිසා ලොකු විනාශයක් වෙනවා. ජන මාධ්ය ට පුළුවන් ලොකු දෙයක් කරන්න මිනිසුන්ගේ ඔළු හැදීම වෙනුවෙන්. ස්වයං විනය ඇති කරන්න ඕනේ. ඔබටවත් මොකුත් කරන්න බැරි ද?"
ඇය මට ලියා තිබ්බා. අපිට මොනවද කළ හැක්කේ ?
මිනිස්සු තනි තනිව හිතලා වෙනස් වෙන්න ඕන කාලය ඇවිත් තියෙන්නේ. තාක්ෂණික මෙවලම් එක්ක දැනුම ඕනේ තරම්. තියෙනවා එක හොයාගන්න ඕනේ එක තමන් වෙත ලබා ගන්න ඕනේ.
Google search වත් නොකර හිතළු කියවන වැඩිහිටියන් වගේම තරුණ පිරිස් අපි දකිනවා. මම මේ ගැන ළඟදීත් ලීවා.
තමන්ගේ චින්තන පරාසය වැඩි කරගන්න කියවන්න ඕනේ. ඒවගේම තමන්ගේ හිතේ සහවේදනය ඇතිවීම පිණිස මානුෂවාදී අදහස් කියවන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ.
දරුවන්ට කුඩා කාලයේ ඉඳන් ලෝකේ මිනිස්සුන්ගේ චින්තනය වෙනස් වූ හැටි, දර්ශනවාදය Philosophy පිළිබඳ දැනුමක් ලබා දෙන්න ඕනේ. ඒ තුළින් හැඟීම් එක්ක ක්රියාත්මක වෙන මනුස්සයෙක් වෙනුවට වඩා වැඩි වපසරියක් තුළ බුද්ධිය සහ මානුෂීය බව එක්ක හිතන්න හැකි මනුස්සයෙක් බිහිවෙයි.
දැනුමෙන් සන්නද්ධ වෙනවිට මනුස්සයෙක් තුළ සංයමය වැඩෙනවා.
එතකොට කොයි තරම් අපහසු කාල තුලදී වුණත් මිනිස්සු අනෙකාව පෙලන්නට, කරදර කරන්නට, විනාශයක් කරන්නට පෙළඹෙන්නේ නෑ. හැම විටම තමන්ගේ ගුණධර්ම ආරක්ෂා කරගන්නවා.
බෝ 2022ජූලි
📷 මේ නොරට ඇවිදිද්දි මා විසින් ගත් පින්තූරයක් පාර අසල වැටක එතුණු පිපුණු මල..



Saturday, July 23, 2022

ගිනි වැදුණු විශ්වයක තොරතුරු

පුස්තකාලයක් කියන්නේ මට විශ්වයක් !
මම දන්නා කාලෙක ඉඳන් මට පාසැල් පුස්තකාලයත් ඉන්පසු මහජන පුස්තකාලයත් කියන්නේ හිත පුරා මහා ආශ්වාදජනක හුස්ම පුරවන තැන්. පොත් මල්ලක අරන් එන්නේ කියවමින් අපූර්ව ලෝකයක අතරමං වෙන්න තියෙන ආශාවට.
අපි මේ තරම් දිගු දුරක් එන්න අපිට පාර කීවේ පොත්. මම, ගෙදරට කඩෙන් බඩු ඔතන් එන පත්තර කොළය පවා කියවන්නේ යැයි වැඩිහිටියන් කියන ජාතියේ ළමයෙක් විමි.

මගේ උතුරු සේවය කාලේ කිලිනොච්චි වැඩ භාරගත් දවසේ අපි ඔක්කොමල යාපනය සෞඛ්‍ය කාර්යාලයට රිපෝට් කරන්න ගිහින් එද්දී අහම්බෙන් මහජන පුස්තකාලය පසු කරගෙන යද්දි ඒ දැනුණු සතුට වචන වලට හරවන්න අපහසුයි.
මෙතන ට ගොඩ වැදී යමු කියා බැස්සාට එතන ඒ වෙද්දී යම් ගොඩනැගීම් නිසා වහලා ඇතුලට යන්න බැරි බව කීවම ඒ පාර මම එතන හිටගෙන පින්තූරයක් අරගත්තා මගේ මතකය වෙනුවෙන්. එහි ගිය අනිත් කිසි දිනක ජායාරුපයක් නොමැත. මන්ද එකල කැමරා සහිත ජංගම දුරකථන අප වෙත නොතිබුණු නිසා ය.

පුස්තකාලයක් ගිනි වැදී දැවෙද්දි දැවෙන්නේ මහා විශ්වයක් ! ඒ විශ්වයක වගතුක සාරවත් ලෙස ලියා සකසා ඇති Sandaresee Sudusinghe රචිත "ගිනි වැදුණු පියාපත්" පොත එළදැක්වීම මට මඟ හැරුණේ අතිශය කලබල කාලයක් වූ නිසා ය.
මේ පොත කියවන ඒ අතරතුර තවත් පොත් ගින්නක් ගැන කතා ඇති වුණා. අවුරුදු ගණනාවකට කලින් මේ වැඩිහිටි පරම්පරාව වගකිවයුතු ආරවුල් ගණනාවක් නිසා ඇවිළුණු උල්පතේ කතාව කවි ම, ඔව් කවි 110කින් අපූරුවට ගෙත්තම් කරලා. ඒ කවි අතරේ ලියන්නියගේ නෙතින් වට කඳුළු බිඳු හීනියට දිලිසෙමින් තිබුණා.

දැනුම සොයා නොගිය මිනිසුන්ගේ හැසිරීම්, අපහාස, අවමාන නිසා සහවේදනයක් නැති මිනිසුන් බිහිවීම නිසා කරදරයට කම්පාවට පත් සමාජයක් දකිමින්, වඩා සුවිශාල හිත් ඇති වගකීමක් සහිත මිනිසුන් ලෙස හැසිරෙන්නට නොදත් සංයමයක් නොවූ සමාජයක් දකිමින් ඒ වේදනා එක්ක මේ පොත කියනවා.

මුළු රටක් ඇවිළුණු ගිනි දශක ගණනාවක් අපි දැක්කා අත් වින්දා. එහෙත් ඒ හිත් ගිනි අපි නොදැක්කා. ජූලි කලබල අපි නොදැක්කා ඒත් ඒ ගිනි රස්නය මුළු රටම කාබාසිනියා කළා. ජාතිය සොයා සොයා කාබාසිනියා කළා. සුළු ජාතිකයෙක් නොවුණු අප එය වෙනස් ව අත් වින්දා. මම ඒ ගැන කොතෙකුත් අකුරු කළා.

පුස්තකාලයක් කියන්නේ විශ්වයක් ! ඒ මහා විශ්වයේ ඇවිද ගිය මිනිසුන් මේ පොතේ මතුවෙලා මහත් වූ අපූර්ව කතාවක් කියනවා.
ඇයගේ මේ වියමන් බොහෝ සාරවත් වි ඇත්තේ ඇය හුදෙක් තමාගේ හැඟීම් වචනයට පෙරළන්න නැතුව මේ ඉතිහාසය දැනුම හොයාගෙන ගිහින් ඒ කරුණු කාරණා සියල්ල බොහොම සංයමයෙන් ලියා දක්වන නිසා.
ඇය සොයා ගිය ඒ මාවත දිගේ හෙමි හෙමින් පියමනිමි. නැවත නැවතත් ඒවා කියවමි.
පුස්තකාලාධිපතිනිය රූපවතී නඩරාජා සොයා ගිය ඇයගේ කතාව මා මුහුණුපොතේ කියෙව්වේ විස්මයෙනි. දැන් මා හමුවේ, 1981 දී ඇවිලෙන විශ්වය අභියස කම්පිතව බලා ඉන්නා ඇගේ සේයාරුව පිටු අතරින් මතුවේ.

දැනුමෙන් මොටවු ජාතියකට නැණ පහන් දල්වන්න හදනවාට සඳරැසී නංගි ඔබට බොහෝ ස්තූතියි.

ඔබේ කවි මෙහි සටහන් නොකරන නමුදු මතු පොත ගෙන කියවන්නට ඉන්නා හිත් අවුස්සන රිසියෙන් ඇතැම් කවි ගැන මෙසේ යම් සටහනක් තබමි.

3 කවියේ චෙල්ලප්පා මහතා වෙත මගේ ගෞරවය ලියා තබමි. පුස්තකාලය ගොඩ නැගූ මිනිසුන්, එහි අභාෂය ලැබූ මිනිසුන් ඒ ගිනි ගන්නා විට ගිනිගත් සිත් ඇතිව කම්පාවුණු රටක මිනිසුන් මේ පොතෙන් විටින් විට එළියට ඇවිත් මහාර්ඝ කතන්දරයක් කීයා දෙයි. මහජන මුදල් කෝටි ගණන් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදා ගන්නා පාලකයින් ඉන්නා රටක සෑම් ඒ. සභාපති හෙවත් නගරාධිපතිගේ විකුම් කෙතරම් අගනේ දැයි සිතමින් එහෙව් විරුවන් සිතින් වන්දනා කරමි.

කොට්ට කිලන්ඟු තල් හකුරු රස , මතකයෙන් විඳිමින් 43 කවිය කියවීම්. අඳුරු වන්නි අහස පුරා ලියැවුණු එවන් වේදනා බොහෝ දෑසින් දුටු බව ලියා තබමි
98 කවියෙන් මා ද නොදැන සිටි ඒ මන්තරය ලියුවාට ස්තුති බව කියමි. මේ පොත ගැන කියවන ලියන මිනිසුන් අඩු වෙන්ට කාරණා විමසමි. යළිඳු පොතේ අකුරු අතර කිමිදෙමි. මහා දැනුම ගබඩාවක් මවෙත ළඟා වූ හැගීමක් දැනේ.

කවි පොතකින් කළ හැකි දේට එහා ගොස් ඔබ අපට ඉතිහාසය උගන්වා ඇත. ඒ ඉතිහාසය පිරමින් මම පොත කියවන්නෙමි.

109 කවිය හිත මත දෝංකාර දෙද්දී.. සත්සමුදුරෙන් එපිට හිඳගෙන මගේ මව් බිම දෙස බලා ඉමි. විදා පිල් නටනු නොහැකිව උපන් බිමින් පිටමන්ව නොරට විත් මහත් විස්කම් පෙන්වන උතුරු සහෝදරයින් සහෝදරියන් අදත් මූණ ගැසේ.
එහෙත් අද රටේ හැම දෙසකම දරුවන් අඳුරේ ය. එන්න අපි එළි දල්වමු.

ස්තූතියි සඳරැසී නංගි, කවියක දවටා මේ තරම් දැනුමක් බෙදනවා ට, මහා පොළොවේ මේ ඉතිහාස හුස්ම දරණවාට, අවුරුදු හතළිහකට පසු මේ සියල්ල ස්මරණය කරන්නට ඉඩ සකස්කර දුන්නාට.
ස්තූතියි පොත් ප්‍රකාශක ජනක ඉනිමංකඩ සහෝදරයා මේ තරම් අගනා ලෙස පල කරාට.

ගිනි වැදුණු පියාපත්
සඳරැසී සුදුසිංහ
මිල රු500
ප්‍රකාශනය - විදර්ශන ප්‍රකාශන

(පොත ගැන විචාරයක් නොවේ පොත කියවන අතර සිතින් වට සිතුවිලි මෙසේ ගොනු කළෙමි.
📷මුදු හතක් එහා දුරු රටට ආ ගිනි වැදුණු පියාපත්, සාරියකින් සැරසී සිටින්නේ ගත් කතුවරිය සඳරැසී සුදුසිංහ නංගි.
යුද්ධයක අවසානයෙන් පසු උතුරට ගිය මං යාපනය මහජන පුස්තකාලය ඉදිරියේ  ගත් පින්තූරය මෙහි දකුණු පස ඉහළ)

By Bodhini Samaratunga
2022 ජූලි

Saturday, July 16, 2022

2021 හෙවත් ගිය අවුරුද්දේ අද වගේ දවසක

අප්පච්චී  ඇප් එකකට රෙජිස්ටර් වෙමින් සිටී...
"ලොකු දුව...මෙන්න පාස්වර්ඩ් ඉල්ලනවා මගේ ඊමේල් පස්වර්ඩ් මොකටද මේකට..."

"නෑ නෑ අප්පච්චි මේ අකවුන්ට් එකටලොග් වෙන්න කැමැති පාස්වර්ඩ් එකක් දා ගන්න."

ටිකකින් ආයෙත් 

"මෙන්න terms and conditions වලට agree වෙන්නලු. කෝ කොහෙද තියෙන්නේ ඒවා කියවන්න."

"ආ ඒක කියවන්න ඕනෙ නෑ...ඔන්න ඔතන ක්ලික් කරලා accept කරන්න"

"එහෙම කොහොමද agree වෙන්නේ. ඒවා මොනවද කියලා බලන්න ඕනේ.කොහොමද ඒ ටික කියවන්නේ... කෝ මට ඒක කියවන්න ඕනේ... "

මම ...නිරුත්තරව....😯

"මේ තියෙන්නේ මේක උඩ ක්ලික් කරාම terms and conditions එනවා අප්පච්චී."

"කෝ ඉන්න මම කියවලා බලන්න ඕනේ. කවුද දන්නේ අපෙන් මොනවා අරගන්නවද කියලා"

දැන් මිනිත්තු 10කුත් ගිහින් අප්පච්චී තාම කියවනවා.... 

ටක්ගාලා මෙලෝ මළදානයක් කියවන්නේනැතුව i agree i accept කියා රෙජිස්ටර්වන...අපි ගැන හිතමින් මම කල්පනා කළා .😕 
මම ඕවා කියවන කෙනෙක් දැක්කමයි !

සාමාන්‍යයෙන් අප්පච්චී එක්ක නිතරම සමපාත නොවන මගේ දේශපාලනික සාමාජීය මතිමතාන්තර... එක්ක වාද විතරමයි. 
අවසානේ මේ දවස්වල මම කියපු සේරම සනාතවුණු අප්පච්චිලා විශ්වාස කළ දේශපාලනික වෙනස නොවුන එකේ ඉඳලා වැක්සීන් එකට එනකම්ම වාද විවාද තමා...
ඒත් තවම එයාලගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා...
අද මේ සටහන මතක් වුණේ... අවුරුද්දකට කලින් ඉඳන් මේ දේශපාලන අවුල මිනිසුන් දැනන් හිටියා. 
ඒත් තමන්ට අපහසු වෙනකම්ම ඉවසන් හිටියා. තවත් ඉවසුවා. ගෑස් පුපුරද්දි ත්, පෝලිමේ වල ජීවිතේ දියවේද් දිත් ඉවසන් හිටියා. අවසානේ මේ විදිහට හරි සමාජය ම නැගී සිටියා. 

Friday, July 15, 2022

අපෙත් නැවෙන මහපට ඇඟිලි, බාලගිරි දෝස සහ බඩ කැසීම්

මෑතක රූපවාහිනි තරු වැඩසටහනක, ඇඟිල්ලක් නැමෙන්නේ තමන්ගේ පියාට වූ අනතුරක් නිසා යැයි කියන පුද්ගලයෙකු අල්ලා ගෙන ෆෙස්බුක් සටහන් ලියැවෙනු පෙනේ. ඒ සඳහන් කළ වීඩියෝ ව මම ද නැරඹුවෙමි. ඇත්තටම බොහෝ දෙනෙක් ඒ කෙනාට අවමාන කරන්නට ලියා තිබුනා ට මට ඒ කතාව ගැන පුදුමයක් නොවන්නේ. ඊට වඩා දේවල් මම මේ රැකියා කළ කාලයේ සමාජයෙන් අසා තිබෙන නිසා. අපි නොදන්නා දේ ගැන කවුරුන් හෝ අපිට කියලා දුන්නු දෙයක් හෝ සමාජයේ මුල් බැසගෙන තිබෙනා දෙයක් අපි විශ්වාස කළ නිසා. ඒ දෙය වැරදි හෝ බොරුවක් හෝ පදනම් විරහිත බව වෙනත් කෙනෙකු අපට කියා දෙනකම්, අපි ඉගෙන ගන්නකම්, පරීක්ෂණ මඟින් ඔප්පු කරනකම් අපි කොයි තරම් නම් කාලයක් ඒවා විශ්වාස කළාද කියන එකයි.

ඒ කෙනා වුනත් වැඩිහිටියන් විසින් පෙන්වා කියා දුන් දෙය විශ්වාස කරන්නට ඇති, එය ඇත්ත නොවේ කියා සමාජ මාධ්ය ජාල ඔස්සේ පෙන්වා දෙනකම්. ඒ කෙනා දැනන් හිටියා නම් ඇඟිල්ලක් නැවෙන එකේ පදනම එය නොවන බව සහ එම hyperflexibility තත්ත්වය ඒ කෙනාට ක්රියාකාරකම් කිරීමට අපහසුවක් නොවන බව. ඒ කෙනා දැනගෙන උන්නා නම් සමහර විට එසේ නොකියන්නට පුලුූවන්. මේ තත්ත්වය ජාන මඟින් සම්ප්රේෂනය වන තත්ත්වයක්. එය රෝගයක්ම කියා කියන්න නොහැකියි, මොකද සමහර සින්ඩ්රෝම් තත්ත්ව වලදී වගේම කිසිම ගැටළුවක් ඇති නොකරන ලෙස මෙසේ අධි නැවීමක් සහිත ඇඟිලි පිහිටන්න පුළුවන්. මේ ගැන වැඩිදුර කියවන්න පුළුවන් ලින්ක් මම මේ සටහනේ අවසානයේ අමුණන්නම්.
ඒවගේ තවත් අදහස්/ කතා තියෙනවා කවුරුත් හොයන්නෙ නැති....
"බාලගිරි අද නොවේ හෙට" අපි කොච්චරවත් දොර උළුවහුවල ලියනවා දැකලා තියෙනව නේද ? ඒකට ඇත්තම හේතුව මොකක්ද කියන එක දන්නේ කීයෙන් කීදෙනා ද ?
මම ළමා රෝග වාට්ටුවේ වැඩ කරන කාලයේ, රෝහලේ ප්රාජා වෛද්ය අංශයේ කටයුතු කළ හෙදිය රුක්ෂානි මිස් ඇවිත් ඇවිටිලි කළා ගර්භනී මව්වරුන් වෙනුවෙන් නව ජන්මයා හෙවත් අලුත උපන් බිළිඳුන් ගැන උපදෙස් දෙන්න එයාලා ගෙන යන වැඩසටහනට මසකට වරක් සහභාගි වෙන්න කතා කරන්න කියලා. ඒ කාලයේ මම පොත් ගැන කොහොමත් කතා පවත්වන නිසා අපේ එවකට ළමා රෝග විශේෂඥ වෛද්යවරයා ගෙන් ඇවිත් ඉල්ලා සිටියා, අවසර දෙන්න කියා. නිකම් වෛද්යවරයෙක් කොහොමද එහෙම කතා පවත්වන්නෙ, මම කියන්නම් ඕනෑ දේවල් කියා ඔහු වාට්ටුවෙන් මාරුවී යන තෙක් දැනුවත් කිරීම ඔහු පිට පවරා ගත්තා.
ඔහු මාරුවෙලා ගිය පසු විශේෂඥ වෛද්යවරියක අප වාට්ටුවට ආවා. ඇයට මේ වැඩේ ගැන රුක්ෂානි මිස් කියද්දීම ඇය කීවේ “මේ ඉන්නේ කතා කරන්න පුළුවන් අය…මම කරන්න ඕනේ නෑ. මෙන්න මෙයාට පුළුවන්” එහෙම කියද්දී මට පුදුම හිතුනා. සමහර ගුරුවරු /අපේ ප්රධානීන් අපගේ හැකියා හඳුනාගෙන අපව වැඩි දියුණු කරනවා. එහෙම කෙනෙක් තමා උත්තරා හිදැල්ලාරච්චි විශේෂඥ වෛද්යතුමිය. ඇය මට මෙලෙස සායනවලදී ගර්භනී මව්වරුන් දැනුවත් කිරීමේ කාර්යය බාර කළා. බටහිර වෙදකමේ, කොලික් කියා හඳුන්වන ලංකාවේ බාලගිරි කියා හඳුන්වන, ඒ විස්තරේ අලුත් අම්මලා තාත්තලාට කියා දෙන්න මට හැකි වෙන්නේ ඒ අනුව.
මොකක්ද එහෙනම් බාලගිරි දෝසේ…
ඉංග්රිසියෙන් මෙහෙමයි විස්තර කරන්නේ “Colic occurs when a healthy baby cries for more than 3 hours a day at least 3 days per week for more than 3 weeks. Colic can start a few weeks after birth (familydoctor.org
)
කොලික් නම් මේ තත්ත්වය පටන් ගන්නේ ඉපදිලා මාසයක් වගේ යද්දී… ඒකට හේතු මේ මේ යැයි පෙන්වන්න නැහැ. හැබැයි යම් යම් පැහැදිලි කිරීම් තියෙනවා. ඇතැම් හේතු ලෙස පෙන්වා දෙන්නේ දවස පුරා තමන් අලුත් පරිසරයක ශබ්ද සංවේදනා දැනෙන්න ගන්නා කාලය එද්දී ඒ කියන්නේ ඉපදිලා සති කිහිපයක් යද්දී දරුවාට ඒ දැනෙන වෙහෙස, සංඥා සංවේදනා ශබ්ද එක්ක ඒ දැනෙන වෙහෙස මෙහෙම අඬලා කෑ ගහලා පිට කරන බව, තවත් අදහසක් තමා හරියට තවම නොවැඩුණු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන අපහසුතාවය, වාතය පිරීම වගේ දේවල්, ළදරු කිරි, ආහාර දෙනවානම් ඒ නිසා ඇතිවන අපහසුතා. දරුවෙක් පිළිසිඳ ගත් දවසේ ඉඳන් කුස තුළ වැඩෙන්නේ වතුර පිරුණු පරිසරයක. ඇහෙන ශබ්ද මේ අපි කතා කරන ඒවා නොවෙයි. රුධිර වාහිනීවල රුධිර පොම්ප කරන ශබ්ද ෂ් ෂ් ෂුෂ් වගේ, හෘදය ගැහෙන ශබ්ද, එවා තමා ඇහෙන්නේ. දරුවා එළියට ඇවිත් අමුතු ශබ්ද ගොඩක්, සහ දැනෙන අපහසුතා එක්ක මෙහෙම හවසට හැඬීමෙන් ඒ සියලු අපහසුතා පිට කරන බව. මෙවෙලෙට කොච්චර කිරි දුන්නත් නැලවෙන්නෙ නැති බවත් ඔබට මතක ඇති. බටහිර ක්රමවේද වල වයිට් නොයිස් white noise කියලා සංගීතයක් පාවිච්චි කරනවා මෙහෙම අඬන බබාලව නළවන්න. එය හරියට දූවිලි පිසින යන්ත්රයක ෂුෂ් හඬට සමානයි. ඒ නිසා සමහර අම්මලා ෂ්…. හඬින් දරුවෝ නළවනවා බටහිර රටවල ප්රචලිතයි. ලංකාවේ නම් ළමයා එහෙට මෙහෙට හොළවමින් උඩ පනිමින්… දොයි දොයි දොයි… කියමින් තොවිලයක් නටන වැඩිහිටියන් මට මුණ ගැසී තිබේ. අපේ වාට්ටුවේදි වුනත් එසේමයි.
මේ කොලික් හෙවත් බාලගිරි නිසා දිගුකාලීන අපහසුතා දරුවාට ඇතිවෙන්නෙ නෑ. ඒත් වෛද්ය තොරතුරු සටහන් පෙන්වා දෙනවා අම්මලාට මේ නිසා විශාදිය හෙවත් depression තත්ත්වය, ඉක්මනින් දරුවා කිරි වැරීම, සහ වැඩිහිටියන් අතර හිත් අමනාපකම් ඇති විය හැකි බව.
අඬන බිළිඳුන් එහෙ මෙහෙ අතට හොළවා නැළවීම තුළින් ළදරුවන්ගේ මොළය හෙල්ලීම හෙවත් shaken baby syndrome කියන තත්ත්වය පවා ඇති විය හැකියි. මේ තත්ත්වය ඔබට ගූගල් කර බැලිය හැකියි.
ඔව් ඔබ නොදන්නා අත්භූත යමක් ඔබට ඇසුනොත් ඒ ගැන සිංහලෙන් හෝ ඉංග්රීසියෙන් ඔබට ගූගල් වෙබ් අඩවියේ සෙවුමෙන් එහි ඇත්ත නැත්ත වටහා ගත හැකියි.
ඉතින් අපි වටහා ගත්තා මෙහෙම දේවල් ගැන අම්මලා තාත්තලා දැනුවත් කළොත් අපිට පුළුවන් යම් තරමකට ඔවුන් කම්පා වෙන එක, බාලගිරි කියල යක්ෂයෙක් එනව හෝ දෝසයක් එනව කියලා බය වෙන එකෙන් ඔවුන්ව මුදවා ගන්න. ගොඩක් අය ඉන් පසු යූටියුබ් එකෙන් වයිට් නොයිස් ගැන හොයා බලා තිබුනා. ඒ බව කීවා ස්තූති කළා. මම රෝහලින් යනකම්ම ඒ ගර්භණී සායනවල දී අපේ දැනුවත් කිරීමේ වැඩේ කරගෙන ගියා. එහිදී කිරි දීම වගේම නොයෙකුත් රෝගාබාද ගැනත් දැනුවත් කළා
ඉතින් අපිට වැරදෙනවා. එහෙම වෙන්නේ අපිට වැරදි උගන්වලා හෝ දීර්ඝ කාලීනව සමාජගත වූ වැරදි මතයක් අපි කරපින්නාගෙන යෑමෙන්. හරියට මේ දවස්වල අපේ රටේ සිදුවෙන සිදුවීම් වගේ. රටට අගතියක් වෙන දේවල් ගැන අපිට කොන්ද කෙලින් තීරණයක් ගන්න බැරි වෙලා තියෙන්නෙ මේ නිසා.
මම එලෙස නොයෙක් කාලයන්වල අත් දුටු කතා කිහිපයක් මෙතන ලියන්නේ ඔබේ දැනුවත් වීමට.
"ඩොක්ටර්.."
මව දරුවා ඇඳෙහි තබා මවෙත පැමිණ යම් අපහසුතාවයකින් යමක් අසන්නට මෙන් සැරසෙයි.
"ඇයි අම්මා"
"පුතා සුයිමිං (swimming) කරන්න ගත්තට පස්සේ, මොලේට වතුර යනවත් වැඩි ඇති නේද?"
මෙවැනි අන්ඩර දෙමළ කතා අහලා අහලාම මේවට හිනාවෙන්න හෝ කලබල නොවෙන්න තරම් මානසිකත්වයක් අපට ඇතිවෙලා තියෙන නිසා හොඳයි.
" ඇයි අම්මාට එහෙම හිතෙන්නේ"
"නෑ වතුර යටදි නහයෙන් මොලේට වතුර යනවනේ" ඇගේ නොදැනුවත්කම මට මැනවින් වැටහිනි.
ඉන්පසු එළඹුනේ රූප සටහන් මගින් ඇයට මිනිසාගේ හිස්කබල මොළය සහ නාසය උගුර කට පිහිටා ඇති අන්දම පැහැදිලි කිරීමේ කාලයකි. ඇයට ඇඳ පැහැදිලි කළාම ඇය ඒ ගැන පිළිගත්තා.
ඒත් ඇයි අපි කුඩා කාලයේ ඉගෙන ගන්නා විද්යාව පාඩම් මේ තරම් ඉක්මනට අමතක කරන්නේ?
මද වෙලාවකින් පසු නර්ස් නෝනා කෙනෙක් "ඩොක්ටර් .........මොකද මේ බී එච් ටී (ඇඳ ඉහ පත) එකේ මූණු ඇඳලා... ඇනටමි පාඩමක්වත් කියලා දුන්නද ?" කියා අසයි.
මේවගේ අමුතු කතා අඩුවක් නැත
.....................
ගර්භනී අම්මාවරුන්ව පරීක්ෂා කරද්දී බඩේ නියපොතු පාරවල් තිබුනොත් අපි විශේෂයෙන් ඒ ගැන වද වෙනවා... ඇතැම් විට එය අක්මාව සම්බන්ධ රෝගාබාද තත්වයකට මුල පිරීමක් දෝ කියලා හිතලා. ඔන්න ඉතින් එහෙම හිතන් අම්මෙක්ගේ බඩ පරීක්ෂා කරනකොට, ඇගේ කුසේ සීරිම් පහරවල් තිබුනා.
“අම්මේ බඩ කසනවා ද?” මම ඇසුවා
"නෝනා දන්නවද බඩ කසන්නේ ඇයි කියලා ? ඇතුලේ ඉන්න බබාගේ කෙස් වදිනවා බඩේ ඒකයි"
ඇය මට කියනවා.
දැන් මට වෛද්ය ශිෂ්ය සමයේ උගත් human anatomy පාඩම, ගර්භාශය, දරුවා දක්වා තිබෙන පටල ප්රමාණය. ඉන්පසු උදරයේ හමේ සිට පහලට තිබෙන ස්ථර සියල්ල සිහිවේ.
අත පය , හිස, මේවානම් උදරය අල්ලා බැලූ විට දැනේ ඒත් කෙස් ? දැන් ඇයට මෙය පැහැදිලි කරන්නේ ?
" මේන් මෙච්චරක් විතර ඝනකමක් තියෙනවා . අම්මේ ඉතින් කොහොමද ඔයාගේ හමට බබාගේ කෙස් දැනෙන්නේ මෙහෙම වෙන්න පුළුවන් වැඩිම හේතුව හෝමෝන වෙනස්කම් තමා." මම ඇයට පැහැදිලි කරමි. යන්තම් ඇතිවන මේ කැසීම් තත්ත්වය බරපතල නෑ. එහෙත් ගර්භණී සමයේ අක්මාව සම්බන්දයෙන් ඇතිවන රෝග තත්ත්වයේදීත් කැසීම රෝග ලක්ෂණයක් නිසා අපි ඒ ගැන වඩා සැලකිලිමත් වෙන්නෙමු.
"ඕවා ඔයාලට තේරෙන්නෙ නෑ. " කියමින් ඇය නිහඬ වෙයි. අපරාදේ පැහැදිලි කරන්න ගිය කාලය ! මම සිතින් සිතමි. බොහෝ විශ්වාස වලට පදනමක් නැති වුනත් ඒවා සමාජයේ මුල් බැසගෙන ඉවරයි.
එහෙත් අපි වඩාත් විමසිලිමත් වෙමු. සමාජය විසින් මුල්බැසගත් කාරණාවල ඇත්ත නැත්ත සොයා බලමු. හැම විටම පර් යෙෂණ පත්රිකා වගේ ඒවා කියවා කරුණු කාරණා සොයා බලමු
මහපට ඇඟිල්ල අනිත් පැත්තට නැවෙන එක ගැන ... බාලගිරි සහ බඩ කැසීම මගේ සත දෙක ඔයාලට ලිව්වේ දැනුවත් කරන්න.
ඔව් අරගලය අස්සේ මේවාත් ලියන්න වෙලා මොකද මේවගේ දැනුම හොයාගෙන යන්නේ නැති මිත්යා විශ්වාස රැඳුණු සමාජයක් රවට්ටන්න හරි ලේසියි.
චේ ගුවේරා... එ ක අවස්ථාවක කියනවා විප්ලවයක අවශ්යම කාරණාව දැනුමෙන් සන්නද්ධ වීමයි කියලා ...
ඉතින් මම මතක ඇති කාලෙක ඉඳන් කරන්නේ ඔයාලව දැනුමෙන් සන්නද්ධ කරන එක...
....................................
වෛද්ය බෝධිනී සමරතුංග
අධි නැවෙන සුළු ඇඟිලි - https://www.nhs.uk/conditions/joint-hypermobility-syndrome/
බාලගිරි අද නොවේ හෙට ගැන https://www.mayoclinic.org/.../symptoms-causes/syc-20371074
📷 පින්තූර, එසේ මව්වරුන් දැනුවත් කරන්න සායනයේ කතා පවත්වන මම....පින්තූර ගත් රුක්ෂානී මිස් වෙත ස්තුතිය.