Wednesday, September 13, 2017

ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද ?

වේදිකාව මත දිග හැරෙන වචන මගේ හදවත පසාරු කරගෙන යන්නට විය. මගේ ඇස් මුලට කඳුළු කැට පිරෙන්නට විය. මුහුණේ මාංශ පේෂීන් තද කරගෙන කඳුළු නවතාගන්නට ද හැඬුම් මැඩලන්නටද මට සිදු විය.

එක් වරම මා සිටියේ, වවුනියාවේ මහ රෝහලේ නාරිවේද වාට්ටුවේ ය. ළමා වාට්ටුවෙන් අප වෙත එවා තිබුනේ මවක් ළදරුවෙක් සහ අවුරුදු පහක පමණ දැරිවියක් ය.
ඇඳ ඉහ පතෙහි ලියා තිබුණු දේ දැක, මා වික්ෂිප්තව ඔවුන් දෙස බැලීමි, මව ළදරුවා තුරුළුකරගෙන කඳුළු පුරවාගෙන මා දෙස බලා සිටී. ඒ කුඩා දැරිවිය මව අසල එහෙ මෙහෙ දුවමින් හිඳී. මේ කතාව, එවකට විසි හත් හැවිරිදි මා සසල කළේ කෙසේද යත්, දින ගණනක් මට ඒ බිහිසුණු සිතුවිලි මනසෙන් ඉවත්කරන්නට නොහැකි විය. මා එක්වරම ඔසවා පොළොවේ ගැසුවාක් මෙන් විය.

“මම මේ බබා ලැබෙන්න රෝහල් ගත වෙලා හිටියේ, එතකොට තමයි මෙයාගේ තාත්තා මෙයාට මෙහෙම කරලා තියෙන්නේ” ඒ මව හැඬුම් අතරින් කියයි. ඒ දැරිවිය ගේ වයස අවුරුදු පහකි.

දරුවාට අප කියන දෙයක් හෝ අප අහන දෙයක් තේරුනේ නැත. ඇය ඇගේ ලිංගේන්ද්‍රිය පරීක්ෂා කර බලන්න කිසිවෙකුට අවසර දුන්නේද නැත. වේදනාව සමනය කරන්න බෙහෙත් දාන්න ඕනෑ යැයි මව විසින් ඇවිටිලි කර කියා අවසානයේ ඇය ඩොක්ටර් ඇන්ටී කෙනෙකුට පමණක් බලන්න දෙන්නම් කියා එකඟ කරගත්තෙමු. අප විශේෂඥ වෛද්‍යවරයා වෙත ඇය යොමු කළ විට, “මේ පොඩි කිරි සප්පයගෙන් මොනවා බලාපොරොත්තුවෙනවද ඒ මිනිහා. මනස විකෘති වෙච්ච තිරිසනෙක් වෙන්න ඕනේ.” විශේෂඥ වෛද්‍යවරයා තරහින් , ඉංග්‍රීසි බසින් බැන වදිමින් කුඩා දැරිය පරික්ෂා කළේ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ මතය ඉල්ලා සිටි නිසා ය. ඇයට මේ දේ කළ ඇගේම තාත්තා පොලිස් අත් අඩංගුවේය. මව අලුත උපන් බිළිඳා, සහ මේ පස් හැවිරිදි දැරිය ළමා වාට්ටුවේ නවතා ඇත.

කෙතරම් ආරක්ෂිත නිවසක වුනත් , යන එන හිතවත් නෑයින් මිත්‍රයින් අතින් අපචාරයට, ලිංගික හිංසනයට ලක්වන දරුවන් දැරිවියන් කොතෙකුත් දැයි මගේ හිත විස්සෝප වේ.

වේදිකාව මත සිටින, තරුණයා සහ තරුණිය අපට පවසන්නේ ඔවුන්ගේ ඒ අඳුරු ජීවිතයේ ශෝකාලාපය ය.

“ඔයාලා නම් සුරංගනාවියෝ, මම කිළිටිම කිළිටි වුන අපායේ යන කෙනෙක්” (you are  virgin angels, Im dirty and unclean)” පාසැලේ පල්ලියේ පිය ගැට පෙළ මත හිඳ දැරියක් හඬමින් සිටින දර්ශනයක් මගේ මනසෙහි ඇඳේ, ඇය වටා රොක් වී සිටින දැරියන් ඒ ඇයි දැයි ඇසන විට ඇය කඳුළු වගුරන අයුරු මගේ මනසේ සටහන් වී තිබේ. මිතුරන්ගෙන් අවබෝධ කරගන්නවා හෝ වැඩිහිටියන් කියා දුන්නොත් මිසක පාසැල් අධ්‍යාපනය තුලින් හරි හමං ලිංගික හෝ ප්‍රජනන සෞඛ්‍ය පාඩමක් නොවී ය. අපට ගෘහවිද්‍යාව ඉගැන්වූ ගුරුතුමිය අප ට නිරන්තරයෙන් ගැහැණු දරුවන්ගේ පරිස්සම ගැන ඔවදන් දුන් අතර ඇය අපට මවක් මෙන් විය.

“ඇයි ඇයි එහෙම කියන්නේ” දැරිවියක් ප්‍රශ්න කරද්දී, අර දැරිවියගේ දුක බෙදාගනිමින් සිටි තවත් දැරියක් කීවේ, “ඔයාලට මේවා තේරෙන්නෙ නෑ, ඔයාලා පොඩි වැඩී” , කියාය. මේවායේ බර පතල දිගු දුර මට දැනෙන්නේ දැන් ය. ඇගේම මාමා කෙනෙකු, නිතර ඇයව ලිංගික හිංසනයට පත් කළ බවත්, ඇගේ මව පිට රටක සිටි බවත්, ඉන්පසු මේ කතාව ඔස්සේ, ඇය ට පාසැල් ගුරුවරිය හරහා ආරක්ෂාව සහ උපකාර ලැබුණු බවත් මට මතක ය.
මෙවැනි කතා අනන්ත ය. තම සීයා අතීන් එවැනිම ලිංගික හිංසනයකට මුහුණ දුන් දැරියක් තමන්ගේ මවට ඒ ගැන පැවසූ විට කියා තිබුනේ “ ආ අපිටත් ඔහොම තමයි ඒක නෝමල් “ කියා ය. වාසනාවකට පාසැලේ ඇතැම් ගුරුවරියන්, අම්මාවරුන් මෙන් සෙනෙහස දක්වන නිසා ඔවුන් හා මේ කරදර කියන්නටත් ඉන් ගැලවෙන්නටත් ඇතැම් දැරියන්ට පුළුවන් කමක් තිබිණි. මා මෙතෙක් කල් ලියූ කතා වල දැරියන් ඔබට මතක් වෙනවා ඇත.

දරු දැරියන් ලෙස අපි පරිස්සම් විය යුතු බවත්, පිරිමි අයට අප ස්පර්ශ කරන්න නොදිය යුතු බවත්, කොටින්ම දන්නා හඳුනන පිරිමියකු ගේ අසල වුව වාඩි නොවෙන්න යැයි අම්මා නිතර කී බවත් මට දැන් මතකය ට නැගේ. ගෙදරට නෑයින් කවුරුන් හෝ පැමිණි විට, නංගීත් මාත් අම්මාගේ කාමරයේ නිදි කරවා ගෙන , දොර ලොක් කරන ඇය ගැන එකල අපි සිනහ වුණු නමුත්, දාඩිය දමාගෙන නිදන්නට වුණු නිසා ( අම්මාට විදුලි පංකාව අරහන් නිසා) ඇය හා උරණ වුණු නමුත් අප ආරක්ෂා කළ ඇය ගැන දැන් දැනෙන්නේ අපිරිමිත සෙනෙහසකි.

අල්ලපු ගෙදර අයියා, අන්කල් , මාමා,හෝ ගෙදර සේවකයා අතින් අපහරණයට ලක් වූ දරුවන්, ඒ දේ වැරදී කියා නොදන්නා , හයක් හතරක් නොතේරෙන වයසේ දැරිවියන්, මට කොතෙකුත් හමු වේ. කොටින්ම තමන්ගේ ඇඟේ අවයව පද්ධති ගැනවත් දැනුමක් නැති අවුරුදු තුන හතරේ දරුවන්, තමන්ගේ දෙමාපියන් සිටින ඒ නිවෙස් තුලම අපචාරයට ලක්වන සමාජයක් අප වටා ඇත.

“මලක පාට කුමක් දැයි කියා ගන්න බැරි දරුවාගෙන් උසාවියේදී නීතීඥයා අහනවා, what colour was your under wear ? එය සිදුවන වෙලාවේ ඔබ ඇඳ සිටි ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද? කියලා”

"ඒ සිදුවීම මට වගේම මගේ සහෝදරියන්ට සිදු වුනා.පසුව මම මගේ හිතේ පීඩනයෙන් ගොඩ එන්න මානසික වෛද්‍ය උපදෙස් පවා ගන්න සිදුවුනා. ඒක ඒ තරම්ම පීඩා කාරී යි"

වේදිකාව මත ගොඩ නැගෙන ඒ වචන වල කම්පනය, පදනම් ආයතනයේ බිත්ති පවා සසල කළ හැකි තරම් ප්‍රබල ය.

දිගු කළක් තිස්සේ ඒ කරුමය හිත දරන් ජීවිතේ අනෙක් පීඩන ජය ගන්න වෙහෙසෙන කුඩා මල් කැකුළු කොතෙකුත් දැයි මට සිතා ගන්නට පවා නොහැකිය. සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙක්, කුඩා කළ ලිංගික හිංසනයට පත් වූ අයෙකි යැයි, කියන ඒ වදන් පෙළ දැන් මගේ දෙසවනට වෑස්සේ. මා විසල් වූ නෙත් මුල් තෙත් කරමින් ගලා යන කඳුළට ඉඩ දුන්නේ, නාරිවේද වාට්ටු, ළමා වාට්ටු තුල මට හමුවුන ඒ කුඩා මල් පොඩිති වල දුක්බර මුහුණ මගේ මනසේ රූපාකාරයෙන් දිස් වෙද්දී ය.

වෛද්‍යවරුන් ලෙස අප කළ යුත්තේ මෙන්න මේ දේ යැයි නීති රීති අප වෙත සකස් කර ඇත. එහෙත් අප මේ දරුවන් ඉන් පසු බාරදෙන, ළමා ආරක්ෂක අධිකාරිය මේ දරුවන් වෙනුවෙන්  සිදු කළ යුතු කාර් යය භාරය විශාලය. එහෙත් !

එදින, එනම් සැප්තැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී "ළමා ආරක්ෂණ බලකාය" බල මුළු ගැන්වීමේ උත්සව සභාව ඇමතූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කියා ගත යුතු වුන දේ අපටත් වඩා හොඳින් උත්සව සභාව අමතා පැවසූ අතර, (පහත වීඩියෝව නරඹන්න) එම ශාලාවේ, ළමා ආරක්ෂන අධිකාරිය වෙනුවෙන් වෙන් කළ තිබුණු “හිස් පුටු” ඒ අහවල් අධිකාරියේ ස්වභාවය හොඳ හැටි පැවසූ බව අපට පසක් විය.



ළමා ආරක්ෂණ බලකාය ! child protection force, නමින් අප පාසලේම ඉගෙනුම ලැබූ නීතීඥ මිලානි සල්පිටිකෝරාල විසින් බල ගැන්වූ, මේ ආරක්ෂණ කණ්ඩායම, ළමයින් ආරක්ෂා කරන්නට, එවැනි හිංසනයට පීඩනයට පත් වූ දරුවන් දැරිවියන්, තවත් පීඩාවට පත් කරන සුළු වන නීති යාන්ත්‍රනයේ ඇති දරුණු පසු බෑම් සහ දරුවන් තව තවත් අසරණ කරවන සුළු වන ඒ සමස්ථ නීති පද්ධතියම හරි මගට යොමු කිරීමෙහි ලා ගත් සුවිශාල වැදගත් තීරණයකි.


ආදරණීය මිලානි නංගී, මට මතක්වෙන්නේ ඔබේ පාසැල් කාලයයි. මට වඩා වසර කීපයක් පහළ පන්තියක සිටි ඔබ තුලින් මා සුවිශේෂී, නායකත්ව ලක්ෂන දුටුවේ එකල සිට ය.  ඔබ අද මුළු මහත් සමාජයටම ආදර්ශයක් වී, ළමුන් වෙනුවෙන් සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන්නට විශාල පියවරක් දැනටමත් අරන් ඉවර ය. මා ලියන කතා ඔස්සේ,නිතර මා හා දොඩමළුවන නීතියෙන් කළ හැක්කේ කුමක් දැයි පවසන, ඔබ සමස්ථ දූෂිත යාන්ත්‍රණය වෙත බොහෝ ප්‍රායෝගික කනේ පහරක් එල්ල කරාට මම ඔබට ස්තූති වන්ත වෙමි.

“අයියෝ ඩොක්ටර්, අර අපි අවුරුදු දෙකකට කළින් ඉන්ෆෝම් කළ කේස් එක , inquiry කරන්න කෝල් කළේ මේ ඊයෙ පෙරේදා,මම කීවේ ඕකුන්ට කියලා වැඩක් නෑ” මේ මම අධිකාරිය ගැන ඇසූ වදන් ය. රාජ්‍ය යාන්ත්‍රණයේ අඩු පාඩු දැක දැක බැණ අඬගා ගනිමින් , ආතතියට පත්වෙමින් සේවය කරන්නට සිදුවීම කාලකන්නිකම කි යැයි මට සිතේ.

“නංගී මතකද , අපි බොහොම හිතේ අමාරුවෙන් හිටියා, ළමා අපයෝජනය සිදුවෙන පන්සලක හාමුදුරුවෝ ගැන, ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුනේ එයා අහවල් බලවතාගේ කෙනෙක් නිසානේ. ආණ්ඩු මාරු වෙච්ච ගමන්, ඒ චීවර දාරියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා , ඒ දරුවන්, ළමා නිවාසයට බාර කළා” උතුරු කොනේන් මා ඇමතූ අපේ ජේෂ්ඨ වෛද්‍යවරයෙක් මට පැවසුවේ 2015 දී ය. ඔව් , ඒ පොඩි හාමුදුරුවරු, සහ දරුවන් අපට කියූ දෑ, එම ටය. පන්සල් පල්ලි මූලික ඒ සමාජයේ සිදුවන එවැනි දූෂණ අපචාර ගැන වුවද මේ රට මර නින්දේ පසුවන බව පමණක් මම ලියා තබමි.

ඔව් මේ , අපේ රටේ ඇත්ත කථාව ය. දරුවන් මල් වගේ දරුවන් ආරක්ෂා කරගමු යැයි කොතෙකුත් පැවසුවද, අපේ ඇස් ඉදිරිපිටම දරුවන් ගේ ලෝකය විනාශ වෙමින් සිටී.

“මගෙ ටිකට් කපන්න නෝනා” අළුත උපන් බිළිඳා රැගෙන ඉක්මනින් ගෙදර දුවන්න වෙහෙසෙන මවක් අවසානයේ පැවසූයේ, තමන්ගේ දස හැවිරිදි දියණිය සිටින්නේ බීමත් සැමියා භාරයේ බව ත් ඇය දූෂණය වේ යැයි බියක් හිතේ ඇති වගත් ය.

මිනිස්සු මේවා කරන්න භය නැත්තේ ළමා අපචාර නීති රීදී දැඩිව ක්‍රියාත්මක වන සුළු නොවන නිසා යැයි මම කියමි.

ළමා අපචාරයන්ට ලක්වන දරුවන් සහ දෙමාපියන් බොහෝ විට මේ යාන්ත්‍රනයේ පවතින ගැටළුකාරී බව නිසා, දරුවන් උසාවි ගානේ, පොලිසි ගානේ ගෙනිහින්, අනෙක් පැත්තේ නීතීඥයින්ගේ ( දූෂිතයා වෙනුවෙන් පෙනී සිටින) ප්‍රශ්න හමුවේ තවත් අසරණ වෙන නිසා.
ඔවුන්ව උසාවියක් ඉදිරියේ, පිරිසක් ඉදිරියේ, ඔවුන්ට අත් දකින්න සිදුවූ ඒ දරුණු ඛේදවාචකය සිදු නොවුනැයි, ඔප්පු කරන්නට ඔවුන්ව තව තවත් කරදරයට පත් කරන නිසා, ඔවුන් ඇත්ත කියද්දී ඔවුන් බොරු කියන්නේයැයි ඔප්පු කරන්නට හදන නිසා, දරුවෝ ද දෙමාපියන් ද මේ යාන්ත්‍රනය ඔස්සේ යුක්තිය ඉටු කරගැනීමට මැලි වෙති. දරුවන්ගේ හිත, මනස ගැන සොයා බලන්නට මානසික වෛද්‍ය උපකාර හෝ, උපදේශනය ඔවුන් ට මෙහිදී ලැබෙනවා ද ? ඔවුන් මුහුණ දුන් ඔවුන්ටවත් නොතේරෙන ඒ කරුම සිද්ධිය ගැන ඔවුන්ගේ හිත හදන්න යමක් මේ යාන්ත්‍රණයෙන් සිදු කරනවා ද? නැත !

එහි දී අදහස් දැක්වූ මනෝ විද්‍යාඥ ආචාර් ය ෂාන්‍යා අබේනායක, පැවසූයේ එම මනෝ චිකිත්සක උපකාර යොමු කරවන යාන්ත්‍රනය ඉතා දුර්වල බව ය. ඇය මුහුණදුන් එවැනි සිදුවීමක් සහ දෙමාපියන් නීතිය හමුවේ කෙතරම් උකටලී ස්වභාවයක් පෙන්නුම් කරනවාද යන්නත් ඇය පැහැදිලි කළාය.


දරුවන් වෙනුවෙන් ජීවිතය දී ක්‍රියා කරන්නන් අපට අවශ්‍ය ය.

දරුවන් ගේ ජීවත සුරක්ෂිත කිරීමට හැකි පිරිස් අපට අවශ්‍යය.

දරුවන්ට සිදුවන මේ ඛේදවාචක ගැන ඔවුන් හෝ දෙමාපියන් නිහඬ නොවී සිටිය හැකි රාජ්‍ය යාන්ත්‍රනයක් අපට අවශ්‍ය ය.

ඔවුන්ගේ ඉදිරිය අඳුරු නොවන, කායික මානසික උපදේශන සේවාවක් අපට අවශ්‍ය ය.

දරුවන්ට සුරක්ෂිත සමාජයක් නැති නිසා, ඔවුන්ට ආරක්ෂා වීම ගැන කියා දීම අවශ්‍යය, ඔවුන්ගේ ලිංගික/ප්‍රජනන සෞඛ්‍යය ගැන සහ ඔවුන්ගේ නිවස තුලම ආරක්ෂා වීම ගැන ඔවුන්ට වටහා දීම අවශ්‍යය ( වෛද්‍යවරුන් වන අපට ඒ ගැන වඩා හොඳින් විවෘතව කතාබස් කළ හැකි නිසා අපේ සහය පාසැල් වලට ලබා ගත යුතු ය)

එනිසා ළමා ආරක්ෂක බලකාය ! ඔව් එය කාලීන සමාජ අවශ්‍යතාවය කි. ඊනියා ආගමික සදාචාරයක් ගැන පම්පෝරි ගැසුවාට මේ ලංකා පොළොව මත, හය හතර නොතේරෙන කිරි සප්පයින් ගොදුරු කරගන්නා, රකුසන් එමට ය, කරුමය නම් එවැන්නවුන් ඇතැම් විට ඔවුන්ට ජීවය දුන් පියවරුන් ය, එක්කුස උපන් සහෝදරයින් ය, ලේ නෑයින් ය, හිතවතුන් ය, ආරක්ෂාකාරීයැයි දෙමාපියන් සිතුවාට, එම නිවසෙහිම සිටිනා , යන එන රකුසන් ය.

මේ ළමා ආරක්ෂක බලකායේ ෆේස් බුක් පිටුව යි. පිවිසෙන්න
https://web.facebook.com/childprotectionforce/
එය වෙත, ඔබේ අදහස් උපකාර මේ වෙනුවෙන් ලබා දෙන්න.

අපි අපේ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරමු !

17 comments:

  1. ඔලුවට ගල්ගෙඩියකින් ගැහුවා වගේ!

    මොකක් කියන්නද කියා හිතාගන්න බැහැ

    ReplyDelete
  2. තනිව හෝ ඔබ ගන්නා උත්සාහය පිළිබඳව මගේ ප්‍රණාමය.

    ReplyDelete
  3. ළමා ආරක්ෂක බලකාය... ගැන දැනුවත් උනේ බෝධිනී මැතිණියගේ බ්ලොග් එක හරහා..තවමත් සමාජයේ මෙහි ආයතනික ව්‍යුහය සහ කාර්යභාරය ගැන දැනුවත්වීමක් නැහැ.. මා හිතන්නේ එය ක්‍රමාණුකූලව කරනු ඇති..සාමාන්‍ය රාජ්‍ය නොවන සන්විධානයකින් එහාට අඩිය තියන්ටනම් මෙය අවශ්‍ය කාරණාවක්..වැඩියෙන්ම මේ දුක්මුසු ඉරණමට ගොදුරුවෙන්නෙ දුප්පත් සින්හල දෙමල ලමයි..නෙ

    ළමා ආරක්ෂක බලකාය..... තුන් කෝරලේ හතර කෝරලේ හත් කෝරලේ ඟඟබඩ පත්තුවෙ කිලිනොච්චියේ මේ හැමතැනම ළමයි රකුසන්ගෙන් බේරගන්ට සල්පිටිකෝරාළ මැතිණියගේ නව ස0විධානය හැකිවේවා..

    ReplyDelete
  4. පාසල් අධ්‍යාපනය තුළ ළමයින්ට හරි හැටි ලිංගික අධ්‍යානය නොලැබීම එක් අතකින් මේ අපරාධවලට හේතුවක් තමයි අක්කේ.. මේ තිරිසන් සමාජය දිනෙන් දින තව තවත් පිරිහෙනනේ නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීම නිසයි... මේ කාර්යන් ඉතාමත් විශිෂ්ඨයි...

    ReplyDelete
  5. ++++

    Good move! Started following on FB.. Let us know what we can do.

    ReplyDelete
  6. දරුවනට සුරක්ශිත සමාජයක් ඇතිකරන්න අපි රජයට බලකරන්න ඕනි, අපි අපිට පුළුවන් විදියට අපේ සහයෝගය, ශක්තිය ලබාදෙන්න ඕනි. ඒ වගේම ඇයි මේ සමාජය මේ තරම් පහත් තත්වයට පත්වෙලා තියෙන්නේ කුමක් නිසාද කියන එක ගැන සමාජ විද්‍යාව පිලිබඳ විශේෂ දැනුමක් ඇති ආචාර්ය, මහාචාර්යවරුන්ගේ දැණුම උපයෝගී කරගනිමින් research කෙරෙන්න ඕනි. මේ සමාජයේ මිනිසුනට ඇයි මෙතරම් කාමාග්නියක්....එය සංසිඳුවා ගන්න ඔවුනට සම වයසේ වැඩිහිටියන් සමඟ බැරි ඇයි....ඒ සඳහා ඔවුනට වුවමනා කරන සේවා නැත්තේ ඇයි....දරුවන් ඇති මව්වරුන් මැදපෙරදිග රැකියාවලට යන නිසාද....මේ සියළුම වගඋත්තරකරුවන් paedophilia රෝගීන් නම් නොවයි කියලයි මටනම් සිතෙන්නේ.
    ඔබ නිතරම සමාජය අවදිකරවන ප්‍රයෝජනවත් ලිපි පළකරනවාට අපගේ ආදරය සහ ස්තුතිය

    ReplyDelete
  7. මොනවා කියන්නද ? :( :( :( :(

    ReplyDelete
  8. අම්මාලා හිතන්නේ ලිංගික අධ්‍යාපනය ලබන්න තම ළමුන් පොඩි කියලා.. ඒත් අවුරුදු 14, 15 වන විට ළමයි වුනත් පෙළඹෙනවා වැඩි දැන් තියන තාක්ෂණය දියුනුවත් එක්ක...ඒ වගේම දරුවන්ටවිතරක් නෙවෙයි අම්මලා තාත්තලටත් ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනා..

    ReplyDelete
  9. 2006 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයේ සේවය කරන විටදී මානසික ව්‍යාකූලතාවක් සමග ඉතා තරුණ කාන්තාවක් කිරි දරුවෙකු සමග ආවාය​. මෙම තරුණ කාන්තාවගේ තනියට ඇයගේ මවද ගැබිණි නැගෙනියද ඇවිත් සිටි අතර සුපුරුදු ලෙසින් මම ඔවුන් ගේ විස්තර විචාලෙමි. ඔවුන් පැවසූ කරුණු අසා මම කම්පනයට පත් වූයෙමි.

    මේ පවුල ඉතා දුප්පත් ය​. පියා වර්තමානයේ රැකියාවක් නොකරන්නෙකි. සහෝදරියන් දෙදෙනා සහ ඔවුන් ගේ අට හැවිරිදි සොහොයුරා ජීවත් වන්නේ මව විසින් සොයන ආදායමෙනි මව කුලී වැඩ කරන්නීය​. මව ගෙදර නොමැති අවස්ථාවලදී පියා විසින් වැඩිමහල් දුවට පහර දී බිය වද්දා ඇයව දූෂණය කොට තිබේ. මෙලෙස දූෂණයට ලක් වීම නිසා ඇය ගැබිනියක වූවාය​. මින් අතිශයින්ම කම්පා වූ මව එය පවුලේ රහසක්ව තබා ගත්තාය​. කල් ඉකුත් වීමේදී වැඩිමහළු සොහොයුරිය දරුවෙකු ප්‍රසූත කලාය​. මේ එම දරුවාය​. වැඩිමහළු දුව දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූ විට ඇය අසල සිටියේ මවය​. දරු ප්‍රසූතියෙන් පසු දුව සහ බිළිඳා ගෙදර ගෙන එන විට මව දුටුවේ තවත් ව්‍යසනයකි. ඇය ගෙදර නොසිටි කාලයේ සැමියා දෙවන දියණියද දූෂණය කොට තිබුනාය​. දැන ඇයද ගැබිනියකි.

    තව දුරටත් රහස් ආරක්‍ෂා කිරීමෙන් එලක් නොවන බව තේරුම් ගත් ඇය පොලිසි ගියාය​. දැන් පියා රිමාන්ඩ් භාරයේය​. එහෙත් දැන් මුළු පවුලම ගිනි ගොඩකට මැදිවී සිටියි. මේ චිත්තාවේගී පීඩාවන් නිසා වැඩිමහල් සොහොයුරිය විශාදයේ ලක්‍ෂණ පෙන්වන බව පෙනී යයි. මෙම පවුලට ඖෂධ වලටත් වඩා අවශ්‍ය කෙරෙන්නේ උපදේශනය සහ මනෝ සමාජීය සහන සේවාවන් වෙති. එහෙත් ජාතික රෝහලේ සීමිත පරාසයක සේවය කරන අප කෙසේ මේ ව්‍යසනයට පත් වූ පවුලට මනෝ සමාජීය සහන සේවා සපයන් ද ? නමුත් සුනාමි සමයේදී අපගේ රෝගීන්ට මනෝ සමාජීය සහන සේවා සැපයූ ආයතන මතක් වූයෙන් මම ඔවුන් ව එකී ආයතන වලට යොමු කලෙමි.

    ඉන් පසු මෙම පවුල යලි සායනයට පැමිනියේ නැත​. දෙවන දියණියද දරුවා ප්‍රසූත කරන්නට ඇත​. ඔවුන් ගේ පියා සිරගෙට නියම වූයේද නැතහොත් ඇප ලබා පැමිනියේද කියා මම නොදනිමි. එහෙත් කුඩා ශරීරයකින් හෙබි සියළු දුක් පීඩා වලට මුහුණ දුන් ඔවුන් ගේ මව තම අන්තිම හුස්ම පොද දක්වා ඇයගේ දරුවන් සහ ව්‍යභිචාරය නිසා උපන් කිරි දරුවන් දෙදෙනා පෝෂණය කරනු ඇත​.

    ReplyDelete
  10. 1. පහළ ශ්‍රේණි වල සිට ලිංගික අධ්‍යාපණය පිළිබදව පුළුල්ව දැනුවත් කිරීම්
    2. නීතිය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම(ලිංගික අපාරාධ සදහා දැනට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමානවත් යැයි සිතමි)
    3. නීතිමය තත්වයන් තුළින් සමාජයට පවතින මට්ටමට වඩා ලිංගික නිදහසක් ලබාදීම
    මට තේරණ විදියට ඉහත කරුණු තුන මත පිහිටා කටයුතු කිරීම මෙම තත්වයන් අවම කරගත හැකි තත්වයකි.ඔබට ජය....

    ReplyDelete
  11. ධන බලය, නිල බලය, දේශපාලන බලය, සිවිල් බලය ඇති එකා තමන්ට අසාධාරණයක් වූවිට සාධාරණය ඉටුකරගනී. නැතිනම් තමන් කළ වැරැද්දෙන් ගැලවී සිටීමට එම බලයන් ආධාරකරගනී. මේ කිසිවක් නැති අසරණයින්ට හූල්ලනවා හැර වෙන කරන්නට දෙයක් නැති මට්ටමක් නිර්මාණය වී ඇත.

    මේ වගේ අපරාධ කරනා එවුන්ගැන මගේ මතය නම් උන්ගේ ලිංගේන්ද්‍රය කපා ලුණු දැමිය යුතු බවයි.

    ReplyDelete
  12. තම සමාජ වගකීම වැටහෙන ඕනෑම වැඩිහිටියෙකුගේ යුතු කමක් දරු පරපුර නරුමයින්ගේ ගොදුරු වීමෙන් වලකා ගැනීම.
    ඔබේ උසස් ලේකන හැකියාව මෙවන් සද්කාර්‍යයක් කෙරෙහි යොදාගැනීමෙන් ඔබ කරන්නේ මහඟු පුන්‍යකර්මයක්.
    මෙවන් දේ කුනුවූ දේශපාලන අධිකාරියේ ඊනියා ප්‍රථිරූප ගොඩ නැගීමෙන් පරිභාහිරව රට තුල ප්‍රභල ජනමතයක් ගොඩ නගෙන ලෙස ක්‍රියාත්මක විය යුතුය.

    ReplyDelete
  13. නංගී, මේ ලිපි අපිවත් උස්සලා පොලොවේ ගහනවා.

    පියෙක් මොන හිතකින් ඒ වගේ අපරාධයක් තමන්ගේ දරුවෙක්ට කරාන්වද කියලා හිතා ගනන්වත් බෑ . . .

    දරුවෙක් හදනන් කලින් මව් - පිය පදවියට සුදුසුද කියලා තීරණය කරන්න උසාවි අවසරයක් ඕන වගේ නීතියක් ගේනවනම් කියල හිතෙනවා.

    ReplyDelete
  14. කාලෝචිත හොඳ ලිපියක්. මම මේක ෆේස්බුක් එකෙත් ෂෙයාර් කලා.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !