Friday, April 14, 2023

මට මතකයි ... අවුරුදු කාලෙට

Down the memory lane

ගමක අවුරුදු නිවාඩුව ගත කළ පැටිවිය ගැන...
අතීත අහ්ලාදයන් එකට ගෙන ලියූ සටහන් කියවනු මැනවි.
(මීට දශක දෙකකට එහා මා යොවුන් වියේදී අන්තර්ජාලයේ තිබුණු වෙබ් අඩවියක් වෙනුවෙන් මේ කතා ලියා දුන්නේ.)
අවුරුද්දට ගමට යනවා...
ඉස්කෝලෙන් නිවාඩු ලැබුන ගමන් ඉතින් නුවර යන්න තමයි අපේ දැඟලිල්ල. දරුවෝ හැමෝම මහ ගෙදරට ඇවිත් අම්මා අප්පච්චී එක්ක අවුරුදු කාලෙ ගත කරන සිරිත අපේ ගෙවල්වල තිබුනා එනිසා අත්තම්මා ලොකු අත්තා ඇතුලූ සෙසු නෑදෑයෝ සමග අවුරුදු සමරන්න හැම අවුරුද්දකටම අපි ගමේ යනවාමයි. අපේ ගම කීවේ අප්පච්චිගේ ගම්පළාත වුණු මහනුවර, නැහිනිවෙල නම් සුන්දර ගම් පියසටයි. ඒ යන පාරෙ අතරමග පහුවෙන ගැටඹේ පන්සල ලඟදී පඩුරු දමන්න කවුරුත් අමතක කරන්නෙ නැහැ. කාර් බස් කෝක උනත් එතනදී නතර කරල වැඳලා පඩුරු දමනවා.
එක කාලෙක මහා ගං වතුරක් ඇතිවෙලා ගම් නියම් ගම් ඔක්කොම යටවෙලා, මේ බෝධි මළුව සහ පන්සල විතරක් යට නොවී බේරිල තියෙන්නෙ, ඉතින් මිනිස්සු අදත් එතනින් යද්දි වාහන නතර කරල පඩුරු දමලා අවසර ආරක්ෂාව පතන්න අමතක කරන්නේ නැහැ.
නුවර දළදා මාලිගාව ලඟින් යද්දී දොහොත් මුදුන් දීලා ඒ දිහාට වැඳලා තමයි යන්නේ, ඒ වගේම දිවුරුම් බෝධිය පන්සලත් පහු කරගෙන තමයි අපි ගමට යන්නේ, ඒ නම හැදුනේ, දුටු ගැමුණු රජතුමා යුද්ධෙට යද්දී රට බේරා ගන්ට දිවුරුම් දීලා තියෙන්නේ එතන නිසා, අත්තම්මාගෙන් නිතර අහන පුරාණ කතන්දර වල කියෑවුනේ, මෙහෙම කථාවක්, සුද්දා අපේ රට පාලනය කරද්දී, දළදා මාලිගාව සහ ඒ ආස්රිත සිරිත් ක්රියා හෙළා දැකපු නිළදාරීන් දන්ත ධාතූන් වහන් සේ තලා විනාශ කිරීමට නියෝග කලාලු, එතකොට ඒ අවස්ථාවේ ධාතූන් වහන් සේ අහසට නැගී අතුරුදහන් උනාලු, පසුව දන්ත ධාතූන් වහන් සේ දිවුරුම් බෝධියේ අතු අතර වැඩ සිටිනු සැදැහැවතියන් දුටුවාලු, අත්තම්මා කිව්වෙ එහෙමයි ඒකත් ජනප්රවාදයක්ද ඇත්තම ඇත්ත කථාවක්ද කියා හා ගිස්සන්න නම් ගියේ නෑ.
රුප්පේ නම් ලද ස්ථානය පහු වෙනකොටම අප්පච්චී හෝන් එක ගහනවා තුන් හතර සැරයක්, මොකද හෝන් එකේ සද්දේ මහ ගෙදරට රුප්පේ ලඟදී ඇහෙන නිසා. එතකොටලූ ලොකු අත්තාගේ මූණේ හිනාවක් මතුවෙන්නේ, අත්තම්මා ලොකු අත්තා ඇතුලූ හැමෝම එතකොට පුතාල එනවා කියලා දැන ගන්නවා.මොකද ඒ කාලෙ අපේ ගමට විදුලිය, දුරකථන පහසුකම් තිබුනේ නැහැ. මේක හැමදාම නොවරදවා කෙරුනු දෙයක්. රුප්පේ කියන ස්ථානය හා සම්බන්දව ඉතිහාස කථාවකුත් තියෙනවා.
රාජසිංහ රජතුමා (එහෙම තමයි මට දැන ගන්ට ලැබුනේ) ඔන්න ගම් නියම් ගම් වල සැරිසරන අතරේ ලොකු වැස්සක් ඇවිදින් ගං පිටාර ගලලා. රාසීහ රජතුමා, රුප්පේ හරියේ තියෙන ගහට නැගලා, උදව් ඉල්ලලා තියෙනවා. රුප්පෙ වංගුවෙන් පහල කඳු අතරේ නිම්නයේ පිහිටි ”වලක වගේ” ගම තමයි ලඟම තිබුනේ නමුත් කාටවත් ඇහිලා නැහැ. වැස්ස නිසා වෙන්ට ඇති, ඒත් ඊට එහායින් කන්දේ පිහිටි ගමේ මිනිස්සුන්ට ඇහිලා එයලා ඇවිත් රජ්ජුරුවන් බේරගෙන. රජතුමාට ඉතින් කේන්තියි අච්චර ලඟ තිබුනු ගමේ මිනිස්සු ආවෙ නැති එකට, ඉතිං රජ්ජුරුවෝ ඒ ගමට නෑහුණු වල කියල නම් තිබ්බලූ, අර ඇහිලා බේරගන්ට ආපු මිනිස්සුන්ගේ ගමට ඇහුණුගම කියලා නම් තිබ්බලූ
අන්තිමට ජන ව්යාවහාරය නිසා. නෑහුණුවල , නැහිනිවල උනා, අද වෙනකොට ඇහුණු ගම , ඇතුල්ගම කියලා හඳුන්වනවා. මේ මම අප්පච්චී, ලොකු අප්පච්චීගෙන් එහෙම අහගත්තු කථාන්දරය.. රුප්පේ වංගුවේ අර රජතුමා ගොඩවුනු ගහ කියලා එකක් අපිට පෙන්වනවා මතකයි.
එක පැත්තකින් හන්තාන කඳු වලල්ල පෙනෙනවා, තව පැත්තකින් ඌරාගල කන්ද පේනවා. ගම මැද්දෙන් ගලන තලාතුඔය මහවැලි ගඟ බලා ඇදෙනවා. වැහි කාලෙට තලාතුඔය පිටාර ගලනවා, එතකොට පාළමටත් උඩින් වතුර දමනවා.
ගමේ යද්දී, අප්පච්චී මග දකින හැම කෙනෙක්ටම වාහනේ නතර කරලා කථා කරන්න අමතක කරන්නේ නැහැ. මේක අපේ ගම්වල තියෙන හොඳ ගුණාංගයක්, කා එක්ක උනත, කට පුරා හිනාවෙලා, බෑරක්ද ආයිබෝං කියල අහන්නේ , හිතේ තියෙන ළෙංගතු කමටයි. තලාතුඔය පාළම පහුකරගෙන යද්දී, ඔය ලඟම දෙපැත්තේ වෙල් යාය, මේ දැනුත් මගේ මනසේ ඇඳෙනවා...
සිංහල අළුත් අවුරුදු ළං වෙද්දී හැම ගෙයක්ම කල එළි වෙනවා. ”දොළොස්මහක් ගෙවෙන දවසට ගෙදර දොර සිරියාවට තියෙන්නෙ ඕනෙ” කියලා අපේ අත්තම්මා කියනවා නිතරම.
ඔන්න ඉතිං අපි පොඩි කාලෙනම් අවුරුදු කැවිලි හදද්දී අපිට කුස්සිය පැත්ත පළාතට එන්න දෙන්නේ නැහැ, මොකද ඒ කාලෙ කුස්සියේ දර ලිප් හදලා තිබ්බේ බිම, උදේට සීතලට ලිප ලඟ ගුලි ගැහැන්න අපි පොඩි එවුන් හැමෝම පොරකනවා එක වගේ. ඔය කැවිලි පෙවිලි හදන කරන වැඩ වලට උදව් වෙන්ට මට නොලැබුනත් කුස්සියට වෙලා ඕව ඔක්කොම බලාගෙන ඉන්නේ මම හරි ආසාවෙන්.
ගෙදරින් පිට වෙනම මැටි වලින් හැදූ සුදු හුණු පිරියම් කරපු ගේ පොඞ්ඩක් මහ නුවර පළාතේ බොහෝ ගෙවල් වල දකින්න ලැබෙනවා, මේකට අත්තම්මානම් කිව්වෙ මඩු ගේ කියලා. ඒකෙ පොළවටම සවි කරපු ලොකු ගල් වංගෙඩියක් , කුරහන් ගලක් එහෙම තියෙනවා. ඕං ඉතින් දැන් වගේ නෙමේ හාල්, මුං සේරම පිටි කරගන්නේ මේ කුරහන් ගලේ අඹරලා, වංගෙඩියෙන් කොටලා. මෝල් ගස් දෙකකින්, දෙන්නෙක් එක්වර හාල් පිටි කරද්දී, බලන් ඉන්න හරිම ලස්සනයි , අපිට වැඩිය මඩු ගෙට ඇතුල් වෙන්ට ලැබෙන්නේ නෑ, එළියේ දුව පැනලා ඇතුලට වැලි ගෙනෙනවා කියල. මඩු ගේ පිවිසුම වහන්න කුඩා ලී වැටක් හෙම තිබුනා අපි ඉතින් ඒ ලී වැටේ එල්ලිලා ඇතුලට එබිලා බලන් ඉන්නවා. මම ටිකක් ළමිස්සි කාලේ එද්දි එහෙම අත්තම්මා ලොකු අම්මා, ලොකු අක්කා පොඩි අක්කා එක්ක හරි හරියට, කුරහන් ගලේ මුං ඇට අඹරන්න, අත් මාරු කර කර වංගෙඩියේ හාල් පිටි කොටන්න උදව් වෙලා තියෙනවා.
පැණි වළලූ හදනවා බලං ඉන්න ලස්සනයි, පැණි මුට්ටිය පැත්තකින් තියාගෙන, උඳු පිටි වලින් හදා ගත්තු මිශ්රණය, බොත්තම් කාසියක් මසාගත්තු හතරැස් රෙදිකෑල්ලකට දාල එකෙන් හරි අපූරුවුට උතුරන තෙල් තාච්චියෙ වළලූ රටාවට වත්කරලා, ඊට පස්සෙ ඒව අරගෙන පැණි මුට්ටියේ ඔබනවා, එතකොට සූස් ගාල වළලූ ඇතුලට පැණි උරාගන්න සද්දේ ඇහෙන්ට ඕනෙ, ඕව මම කරල නම් නැහැ ඒත් අම්මා, අත්තම්මා ලොකු අම්මලා එකතු වෙලා හදනවා බලං ඉඳලා තියෙනවා. කොකිස් හදද්දිනම් ඉතින් අපෙන් ගැලවිල්ලක් නෑ, කොකිසක් ලැබෙන තුරු කුස්සිය හරියෙම ගැවසෙනවා, අන්තිමට අපේ කරච්චලෙන් ගැලවෙන්ට ඉතින් කොකිසක් දෙන්නම වෙනවා.
අතිරස, මුං කැවුම් , කොණ්ඩ කැවුම්,කොකිස් එක්ක වැලි තලප එහෙමත් හදන්නවා. අවුරුදු නැකතට කලින් නොනගතේට ඉතිං හැමදෙනාම පන්සල් යන්නත් අමතක කරන්නේ නැහැ. ලොකු කුඩා බේදයක් නැතිව සියල්ලෝම අළුත් ඇඳුම් ආයිත්තම් වලින් හැඩ වෙනව. අස්වනු කැපෙන කාලෙ නිසා අපේ ගම් පළාත්වල උදවියගේ අතමිටත් සරු සාරයි.
අපේ ගම් පලාතෙ නම් කැවිලි පෙවිලි හුවමාරු කරගන්නේ පරණ අවුරුද්ද දවසේ, අත්තම්මා කිව්වේ මේක ගොඩක් ආදි කාලෙ ඉඳන් පැවතෙන සිරිතක් කියල, එතකොට අවුරුද්දට කැවිලි පෙවිලි හදා ගන්ට බැරි උනු එහෙමත් නැත්නම් අග හිඟකම් නිසා, වැඩිය දෙයක් හදන්ට බැරි උනු ගෙදරකට උනත් අවුරුදු ලබද්දී අවුරුදු කෑම මේසෙට කැවිලි පෙවිලි අඩුවක් වෙන්නේ නැහැ, බලාගෙන ගියාම ඒක ඇත්තටම ගොඩක් හොඳ සිරිතක් කියලා මට හිතුනා.
නොනගතය වෙලාවට අපි හැමෝම පන්සල් යනවා. ආගමික වතාවත් වල යෙදෙනකොට සිත් සතන් පහන් වෙනවා, නිවෙනවා.

අවුරුදු ලබනකොට ගෙදර හැමදෙනාම එකතුවෙනවා අවුරුදු කෑම අනුභවයට, මට මතකයි ලොකු අත්තා පොල් තෙල් පහන පත්තු කරලා, කිරිබත් කැල්ලක් හැමොගෙම පිඟන් වලට බෙදනවා, ගෙදර හැමෝම එකතුවෙලා අර හදාපු කෑම රස කර කර කනවා මතක් වෙද්දී මේ ලියන ගමනුත් මගෙ කටට කෙළ උනනවා.
ගනු දෙනු කරන වෙලාවට තමයි අපි පුංචි ඈයෝ හුඟක්ම කැමති , බුලත් කොළ වල ඔතපු කාසිය බැගින් ලොකු අත්තා, අත්තම්මා ඇතුලූ ඔක්කොම වැඩිහිටියෝ අපිට දෙනවා, ඒ කාලෙ වැඩිපුරම ලබෙන්නේ රුපියල් පහේ කාසි තමයි, ඉතිං අපිට රටක් රාජ්ජයක් ලැබුනා වගේ, සල්ලි ටික බොහොම පරිස්සමෙන් කැටේකට දානවා එහෙම නැත්නම් අම්මට දෙනවා අරං තියන්න. ඒ වගේම හැමෝම වැඩිහිටියන්ට බුළත් දීල වඳ ආශිර්වාද ගන්නවා. කොයි ගෙදරට ගොඩ උනත් වැඩිහිටි සියල්ලන්ටම දණ නමා වඳින්න ගමේදි පුරුද්දක් තිබුනා. අප්පච්චි අපිව කොළඹ උස් මහත් කළත් ඒ ගති සිරිත් ඒ විදිහටම අපිට පුරුදු පුහුණු කරල තිබ්බේ.
මට මතකයි ගමේ ගියාම ඉතින් අපිට එක විනාඩියක් එකතැනක ඉන්ට ඉස්පාසුවක් නෑ. මහා විසාල අරලිය ගහේ අත්තක නොවරදවාම බඳින ඔන්චිල්ලාව පදින්න අපි ඔක්කොමලා පොර අල්ලනවා, ඉස්කෝලේ ඉගෙන ගත්තු ඔන්චිලි වාරම් කවිත් අත්තම්මා පොඩි නැන්දම්මා උගන්නපු ඒවත් කිය කියා ඔන්චිලි පදිනවා මට තවම මතකයි.
ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්ට බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ
ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට පුවක් කැලේ
නැන්දලාගෙ කොස් අත්තේ
එක ගෙඩියයි පල ගත්තේ
ඒක කන්ට ලූණු නැත්තේ
ලූණු මිනිහා ගම නැත්තේ
ගම කොතැනද කටුබැද්දේ
ඔංචිලිචිලි චිල්ල මලේ
ඒ අරලියා ගහ ගොඩක් පරණ නිසා සවි ශක්තිමත්, ඒ ගහ මුදුනටමතකෙට නැගලා "රජ්ජුරුවෝ උඩයි උඩයි, චූ කොල්ලෝ බිමයි බිමයි" කියනවත් මතකයි.
ඒ අතීතය හරිම සුන්දරයි මතක් කරගත්තාම සිත පුරා බොහොම සුපසන් හැඟුම් සමුදායක් ඇතිවෙනවා. ඒ කාලෙ හැම පවුලකම දරුවෝ හතර පස් දෙනෙක් උන්නා, අපේ අප්පච්චිටම සහෝදර සහෝදරියෝ හත් දෙනෙක්, ඉතිං අවුරුදු කාලෙට මුළු ගෙදරම පිරෙනවා.
සෙල්ලම් කරන්න පංච දමන්න, ඔළිඳ කෙලින්න එහෙම කට්ටිය වැඩියි ඉතින් හොඳටෝම.
අපේ ගමේ නම් අවුරුදු උත්සවයක් නොවැරදීම ගමේ තරුණයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙනවා. එදාට ඉතින් බාල මහළු සියලූම දෙනා පාළම අසල අවුරුද්ද වෙනුවෙන්ම සැකසුනු මඩුව වෙත ඇදෙන්නේ හිත පිරි සතුටෙන්, අපිත් ඉතින් පුළුවන් හැම තරෙඟටම ඉදිරිපත් වෙනවා. මට මතකයි ලොකු අක්කත් එක්ක ඉඳිකට්ටට නූල අමුණන තරෙඟන් මමයි අක්කයි තුන්වෙනි තැන දින්නා. වීදුරු හතරක් ලැබුනා, අනේ දෙක දෙක බෙදා ගත්තා අපි දෙන්නා අපිට ඒවා මහ මෙරක් වගේ ඒ කාලේ. කවුරුත් තරඟ වලට ඉදිරිපත් වෙන්නේ දිනන්නම බලාගෙන නොවේ විනෝදයටමයි.
ඒ කාලේ ගමක් තුල එකමුතුව සමගිය සමාදානය හොඳින් පැවතුනා, මගුලකට මරණෙකට එකතුවෙලා දුක සතුට බෙදා හදා ගන්න තරම් ළෙංගතුකමක් හැමෝගෙම හිත් වල තිබුනා. අළුත් අවුරුද්දට තරහ මරහ අත ඇරලා සියළු දෙනා එක්කම හොඳ හිත ඇති කරගන්න එක අපේ කම ඉස්මතු කරන්නක්. මට මතකයි, දැනුම් හැඳුනුම් බේදයක් නැතිව අවට සියලූ දෙනාත් සමගම අවුරුදු කැවිලි පෙවිලි බෙදා හදා ගැනීමත්, පෙර අමනාපකම් සියල්ල ලබන්නාවූ අළුත් අවුරුද්දේ්දී අමතක කරදමා සියල්ලන් හා සාමයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමත් අපේ පැරැණ්නනගේ මා දුටු හොඳ සිරිතක්.
ඔබ හැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.
උපුටා නැවත පල කරන්න එපා. මේ මගේ පුද්ගලික මතකයන් එසේ අවශ්ය නම් මා වෙත පණිවිඩයක් එවා අවසර ගන්න. බෙදා ගන්නේ නම් මේ පෝස්ට් එක share කරගන්න.
වෛද්ය බෝධිනි සමරතුංග
මේ ලස්සනම පින්තූරය මුහුණු පොතෙනි. නිර්මාණකරුවා වෙත ප්රණාමය !



Tuesday, April 11, 2023

චේරන් ලියූ සලාද දවස්

Salad days by Cheran Rudramoorthy හෙවත් දකුණ නොදත් උතුරේ කතාව !

මගේදෑස් බොඳවී කල්පනා ලෝකයක අතරමං කරවූ මා දින ගණනක් පුරා කියවන ලද Salad days නම් පරිච්ච්ජේදය ගැන මගේ අදහස් මෙසේ එකතු කර ලියමි. තම තමන්ගේ පක්ෂග්රාහී බව එක්ක, biases එක්ක මේ ලියැවිල්ල ඕනේ ආකාරයකට කියවා ගන්න !
“ඔහුට කරදර කරන්න එපා ඔහු අපේ උප කතෘ…” ප්රධාන කතෘ එසේ පවසද්දී එහෙත් ඔහුව හමුදා අත් අඩංගුවට පත් වෙනවා. ඒ Saturday Review නම් ඉංග්රීසි පුවත්පතේ සේවය කරද්දී. මේ කාර්යාලය තියෙන්නෙ යාපනේ.
උතුරට යන්නෙ මම යුද්ධෙ ඉවර වුනායින් පස්සේ… ඒක මගේ තෝරාගැනීමක් ! ඒත් මම උතුරට ගියායින් තමයි තේරුණේ, චේරන් ගේ කතන්දරය තුළ මට හමුවෙන උතුර මට කිසිදා මුණ නොගැසුණු උතුර බව. මම කලින් ලියා තැබුවා ඔබට මතක ඇති 83 ඇසල කළුවර මිටින් ගෙන ඉපැදුණු හැදී වැඩුණු අපේ පරපුරට ඒ බිහිසුණු කාලයේ අත් දැකීම් ගැන කිසිඳු මතකයක් නොමැති බව. අප දැනගෙන හිටියේ පෙරා තෝරා කියූ ලියූ දේවල් බව වැටහෙන්නෙ බොහෝ කල් ගත වූ පසු ය. කොටින්ම අන්තර්ජාලය පවා පාවිච්චි කරන්නේ යුරෝපීය රටක ඉගෙන ගනිද්දීය. මේ තොරතුරු සන්නිවේදනය නොවිමේ අවුල තාක්ෂණය මේ තරම් නොදියුණු දුර්වල අවධිවල බොහෝ සෙයින් පැවතුනා.
එකම රටේ දෙපැත්තක් ගැන 83 වර්ගවාදී කලබල ගැන එහෙම මතකයන් නැති නිසා අන්තවාදී නොවී මෙහෙම ලියන්න පුළුවන් බවත් එක් වැඩිහිටියෙක් මා සමඟ තර්ක කළා. හැබැයි ඊට වඩා සුදුසු උත්තරය නම්, කිසිදා නොදුටු උතුරක් ගැන ලියනවාට වඩා, උතුර ඒ ලෙසින් එහි ගොස් එහි ජීවත්වෙමින් දකින්න හැකි වුණු නිසා කියා කීවොත් නිවැරදියි. ඒ ලද පන්නරය නිසා වඩා විවෘත මනසකින් සියලු අන්ත දෙස දකින්න කියවන්න හැකි වුණා.
මේ කතා පුවත ගෙන එන්නෙ අසූව දශකයේ යාපන පුවත්පත් කාර්යාලයක සිදුවීම් සමග ගොඩ නැගුණු මතකයන් ය. ජූලි 83 මේ පුවත්පත නවතා දමන බවත් එය පටන් ගත් සිවනායගම් මහතාට සැඟවෙන්න සිදුවුණු බවත් කියැවේ. සමාජ අසාධාරණයට එරෙහිව හඬ නඟන සියල්ලන්ටම සිදුවන අකරතැබ්බ මධ්යයෙ වුවද යාපනයේ ඉතිරි වූ සිංහල ජාතික ගාමිණී නවරත්න එහි ප්රධාන කතෘ බවට පත් වේ.
සත්යවාදී වීම නිසාම මර්දනයට ලක් වෙන්න පෑනක් අත දැරීම පමණක් ඇතිය කියා සිතෙන්න තරම් අප ඇවිද ආ ඇති දැඩි වූ සමාජය නිදහස් සත්යවාදී මිනිසුන්ගේ ප්රයත්නයන් මළ සොහොන් බවට පත් කර තිබේ යැයි මට සිතේ.
ඔහුව නිදහස් කරද්දී කඳවුර පිහිටි යාපනය ප්රදේශයේම ඇඳිරි නීතිය පනවා තිබූ නිසා ඔහුව නැවත කාර්යාලය වෙත ඇරලවන්න හැකිදැයි ඇසූවිට නොහැකි බව කියන නිළදරුවා, ඔබට වෙඩි නොතියන්න යැයි මා උපදෙස් දෙන්නම් යැයි පවසයි.
පසු පස නොබලා මම දිව්වෙමි ! ඔහු ලියයි. ඔබේ පක්ෂග්රාහී බව අනුව දෙමළ විමුක්තිකාමීන් හෝ දමිල ත්රස්තවාදීන් යැයි හඳුන්වන පිරිස 83 ට පෙර සිටියේ අතේ ඇඟිලි ගණනට පමණ පිරිසකි. එහෙත් 83 ජූලි ජාතිවාදී කලබල සහ සංහාරයට පසු මේ ප්රමාණ බෙහෙවින් ඉහල ගිය බවත්, එවැනි විප්ලවවාදී කණ්ඩායම් තිස්පහක් පමණ ගොඩ නැගුණු බවත් අසල්වැසි රට තුළ පුහුණුව සහ උදව් ලැබුණු බවත් කියැවේ. එක පැත්තකින් ඔවුන්ගේ පහර දීම් වැඩි වෙද්දී අනෙක් පසින් රජයේ හමුදාවල ප්රහාරද පැවතිනි. මේ දෙක අතර හිරවූ වැසියන්ගේ මානසික තත්වය පිළිබඳ පසුව මා ඇසුවේ දුටුවේ උතුරේදී ය. එවැනිම වූ බියකින් කොයි වෙලේ බෝම්බ පුපුරාවි දැයි අගනුවර වැසියෝ බියෙන් සලිතව සිටිය අවදිය මගේ මතකය තුළ තිබේ.
Lions and tigers symbolize the majority Sinhalese and minority Tamils who have been ripping the country apart for sixteen years…
එසේ පසු පස නොබලා දිව ගිය කතානායකයා ද ප්රධාන කතෘ ගාමිණී ද ඉන්පසු නැවත ශනිදා විපරම පත්රයේ දිගටම වැඩ කළ අතර විටින් විට වාරණයේ අදිසි හස්තයේ ගිලටීනයටද නීතිමය ප්රශ්න වලටද හසුවු පුවත්පත වසා දමන්නට ආසන්න විය. සියලු ප්රකාශන අධීක්ෂණය සඳහා මුද්රනය කිරීමට ප්රථම අගනුවරට යවන්නට අවසර ගන්නට සිදුවූයෙන් මුද්රණය ප්රමාද විය. එංගලන්තයේ ඉගෙනුම ලැබූ ආරක්ෂක ඇමතිකෙනෙකුගේ බලපෑම සෘජුව දැනෙන්නට වූ බවත් එහි සඳහන් වේ. මෙවැනි වාරණ යටතේ… විවිධ ආකාරයේ මාතෘකා සහ පිට රටවල ප්රවෘත්ති ආකාරයෙන් මහ පොළොවේ යථාර්තය ලියා දැන්වීමට සිදුවූ බව මා කියවද්දී, වර්ථමානය දෙස නිතැතින් සිහි වේ. මා උතුරු කොන සිදුවීම් ලියන්නට පටන් ගත්තේද අනවර්ථ නමකිනි, රෝහල හැඳින්වුවේද අනිත් කොන ලෙසය.
ඔහු වෙල්වෙටිතුරෙයි මුහුදුබඩ ගමක සම්මුඛ සාකච්ඡාවක් ගනිද්දී පොළොව දෙදරුම් කමින් ප්රහාරයක් නිකුත් වූ වග ද සෙසු ගමේ පුරුෂයින් සමග ඔහු ඉන් ඉවත යා යුතු බවද පැවසූයෙන් ඔවුන් එම ගමෙන් ඉවත ගියේ, එසේ නැතිනම් අවුරුදු හතලිස් පහකට අඩු පිරිමි සියල්ලන් දිවයිනේ හතර දිග් බාගයේ කඳවුරුවලට යවන නිසා එසේ යැවුනොත් නැවත පැමිණීම අඩමාන නිසාය. එහිදී ඔහුට අත් විඳින්නට සිදුවූ සිදුවීම්, දකුණේ අප දැනගන්නේ නැත. සන්නිවේදනයේ අවුල විසින් අපේ ගොඩ සහ ඔවුන්ගේ ගොඩ වෙත මිනී ගොඩ ගැසෙනු ගණන් තැබුවා මිසක මේ මිනිස් සංහාරයන් ලියා තැබුවෙ නැත. ඉන් එහා කියවන්නෙ මා බොඳවූ දෙනෙතිනි.
මා කුඩා කළ ඉගෙන ගත් ඉතිහාස කථාවක සඳහන් වූ බව මතකයි පණ්ඩුකාභය කුමාරයා මරවන්න මාමාවරු, ඒ ගම් දනව් පුරා ඒ වයසැති පිරිමි දරුවන් මැරෙව්ව බව. යේසුස් ක්රිස්තුස් කතන්දරයේද එසේ එදින උපන් පිරිමි දරුවන් මැරවූ කතාවක් ඇසේ….අසූව දශකයේ උතුරු කොන වෙල්වෙටිතුරෙයි නම් ගමේදී එසේම අවුරුදු 45 ට අඩු සියලු පිරිමින් එක් රැස් කර…කඳවුරු ගත කළ බව කියනා මිනිසුන්, එසේ විසි හයක් පමණ වූ තරුණ පිරිසක් දෑත් බැඳ ගාල් කළ තැනක, පිපිරීමක් සිදුවූණු ඇසුණු පසු එහි ගිය ගම්වාසීන්ට සහ කතා නායකයාට, හකු හණු ඇස් මස් ලේ පිපිරී ගොස් ඉතිරි වුණු හඳුනාගත නොහැකි ශරීර කොටස් හමුවේ. ඒ අප නෑසු උතුර ය. හන්දියක් ගානේ තරුණ දරුවන් පිළිස්සුණ ටයර් සෑයවල දැවුණු හැටි එක්ක මේ එකම දේශයක දෙකොනක ලියැවුණු තරුණයින්ගේ මළගම නොවේද ? මම ඔහුගේ සලාද දවස් පරිච්ජේදයේ අකුරු අතර සිරවූ සිතිවිලි එකින් එක ලිහාගනිමි.
“අයියෝ ඔවුන් මගේ මල්ලී රැගෙන ගියා” තරුණයෙක් වැලපේ…..
“තම්බි කුට්ටි තම්බි කුට්ටි…” (මල්ලි පැටියා) කියමින් වැලපෙන අනිත් කොන පොතේ මා ලියූ ගීතාගේ වැලපුම් හඬ මගේ මතකය අවුස්සයි. මගේ මල්ලි මට අහිමි නොවුණු නිසා මට නොදැනුණු ඒ ශෝකය මේ හැමෝගේම කතා ඔස්සේ මට දැනෙන්නට පටන් ගනිද්දි ඒ සහ වේදනයේ පාඩම පසක් කරමි.
“අනිත් කොන කියවන එක නැවැත්තුවා. මගේ මල්ලි මට අහිමි වෙනවා මැවී පෙනුනා ගීතා එයාගේ මල්ලී සොයා විලාප දෙන හැටි කියෙව්වම…ඒ කඳුළු නවත්වන්නට බැරිම තැන හස්බන්ඩ් පොත හැංගුවා, ළමයා ලැබුනට පස්සේ කියවන්න කියලා” ගැබිණි සහෝදරියක් මා වෙත ලියා එවා තිබුණා.
නැතිවුණු සමීපතයින් මතක් කරමින් අද ද සුසුම් හෙළන වන්නියේ ඈත වැල්වෙටිතුරෙයි අම්මාද, සහෝදරයාද, දකුණේ තිස්සමහාරාමයේ අම්මාද සහෝදරියන්ද අදටත් රාමු කරගත් පින්තූර ඉස්සරහ මතක බණ පදයක් මුමුණනවා නොවෙද ? දකුණේ සැමරුම් වෙඩිමුර අසල තවමත් දරු සොයා ඒ සොවින් වැලපෙන උතුරේ අම්මලාගේ ඉකිබිඳුම් වැලපුම් වලට සහනයක් ලැබුනාද ?
කතා නායකයා තවත් ටිකක් දුර යන විට ඔහුට ගම්වාසීන් පිරිසක් මුණ ගැසේ. ඉන් පසු ඔවුන් හට මුණ ගැසෙන්නෙ, දෑත් බැඳ දැමූ යෞවනයින්ගේ පිපිරී හාත් පස විසිරුණු මළ කඳන් ගොන්නකි. කළින් ඇසුණු පිපුරුම් හඬ මෙය විය යුතුයැයි නිගමනය කරයි.
"රත්න රාජා අපේ ප්රවෘත්ති පත්රයේ යතුරු ලියන්නෙක් ඔහු එවන ලද ලිපියක් මට ඊළඟ දවසේ ලැබෙනවා “ මගේ පුතා හමුදා විසින් වෙඩි තබා මරා දමා තිබුනා එනිසා මට ලබන සතියේ එන්න වෙන්නෙ නෑ” (salad days)
ප්රවෘත්ති පල කරද්දී වාරණය කිරීමෙන් බේරෙන්නට ඔවුන් උත්ප්රාසය සහ හාස්ය රැගත් වදන් දවටා ලියන ආකාරය චේරන් මේ කතාව පුරා පැහැදිලි කරයි.
What better purpose for the writer than dedication to the cause of freedom ? To remain honest and to maintain moral and creative integrity under any circumstances is a difficult path. But I have no other - Cheran R. - Salad days
යතාර්ථය සහ වාරණය අතර දෝලනය වීම නම් වූ බිහිසුනු ලියවීම සමඟ, ගිලටීනයට හසු නොවී ලියන්නට දරපු උත්සහය සමග ඔහු උත්ප්රාසය සහ උපමාරූපක භාවිතය පිළිබඳව බහුස්රැත වූ බවක් පවසයි. අවසාන වශයෙන් ඔහු ලියන්නා සහ දේශපාලනික බලය අතර සම්බන්දය අතේ දුරින් පැවතිය යුතු බවද පවසයි. එකක අනිසි බලය විසින් අනෙක තුළ මහත් වූ ප්රතිවිපාක ඇති කරන බවද ලේඛකයකු හට ඇති ප්රධානම අභියෝගය මෙය අභිබවා යෑම බවද, ලියන්නෙකු සතු ප්රබලම ගුණයන් වන අවංකභාවය, ආචාරධර්ම අනුකූල වීම සහ නොසැලෙන නිර්මාණකරනය යන මේවා පවත්වා ගැනීම ඉතා අපහසු අසීරු කාර්යයක් වුවද එය කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව කියා ඔහු අප වෙත ගෙන එන පණිවිඩය ඉතා ප්රබලය !
මේ ගුණයන් සමග ලියැවිල්ලේ යෙදෙන ඒ නිසාම වාරණයට මර්ධනයට ලක්වෙන, හෝ එසේ වේ යැයි ස්වයං වාරණ දමාගෙන ලියන අයවලුන්ට ධෛර්යය ශක්තිය ලබා දෙන සුළුය.
උතුරේ වැඩ කළ, උතුරේ සිට ලියූ මාව දකුණේදී කතා කරවූ වේදිකා බොහොම අල්පයකි. අන්නාසි සහ කඩලගොටු සාහිත්ය උළෙල හෙවත් A&K literature festival එසේ දෙවරක්ම මා වෙනුවෙන් ඉඩ සැලසූ වේදිකාවකි. ලේඛක නාලක ගුණවර්ධනයන්ගේ ඇරයුමෙන් 2019 දී woman’s gaze ස්ත්රී දැහැන නමින් කතා කළ ඒ වේදිකාවේ උතුරට ගිය මමත්, උතුරු යුද්ධයෙන් තම අත පවා අහිමි වූ වෙටරි චෙල්විත්, එකම වේදිකාවක කතා කළෙමු.
ඇයි එහේ විතර ද ? ඇයි මෙහේ සිදුවූ දෑ මතක නැද්ද ? කියමින් දෙකොන අවුලන්න හදන හනුමන්තලා වෙත සත්යය පසක් වූයේ මෑතකදී ය. ඒ දකුණද එදා උතුර විඳි වාරණ, මර්දන සහ භීෂණය යළි අත්විඳින්නට ගත් පසු ය. එය කවදා කොතැනකදී ද කියා මා පහදා දිය යුතු නැතැයි සිතේ. උතුරට උදව් කළ යුතු යැයි කියු තමිල්නාඩුව වෙත, උදව් කරනවානම් රටටම උදව් කරන්න යැයි කියූ උතුරේ සංහිඳියා පාඩම අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් හෝ අප ඉගෙන ගත යුතුමය. එසේ නොවන්නේ නම්, වහා ගිනි අවුලන සුළු වාතාවරණයන් හී ගිනි පුපුරු විසි කරගන්නා මිනිසුන් අවුලවන ගින්නෙන් පරපුරක්ම දැවී යා හැක.
ප්රති ත්රස්ත පණත යළි කරලියට පැමිණ තිබියදී මානව අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට එකඟ වූ රටක් ලෙස එය එසේ ක්රියාත්මක වීම සුදුසු නොවන්නේ ඇයි දැයි අප සිතා බැලිය යුතුය. දැන් මෙහෙම නම් අපට ඒ කාලේ උන් හට කොහොම නම් අමාරු කාලයක් තිබුණා දැයි කල්පනා කර බැලිය යුතුමය.
මා උතුරු කොන ඊලාමයේ හදවත නම් ලද නගරයේ රෝහලේ වැඩ කරද්දී… එක් දිනෙක මහා විශාල කලබලයකි. හෙට විදෙස් ඇමති..සහ මේ මේ ඇමතිලා පැමිණෙන බවත් සාරි ඇඳිය යුතු බවත් පවසයි. අහෝ සාරියක් ! හොඳ වෙලාවට එකම එකක් ඇත. කඩතොලු මතුව තිබූ ඒ නමය මාර්ගයේ සිට රෝහලට දිවෙන දුඹුරු දූවිලි නැගෙන පාර කඩිමුඩියේ තාර වැටෙමින් අව් රශ්මියෙන් දිලිසෙන්නට විය. රෝහලට කලින් හදිසියේ ඇටවූ ලෑලි බිත්ති සහ ටකරං වහලෙන් සැදුම් ලත් අපේ නේවාසික කාමර වෙත ආවේ දහවල් ආහාරය ලබා ගන්නටය. ඒ පිටුපස තුරු සෙවනේ අප මෙන්ම දිවා ආහාරය බුදින පාරට තාර දැමූ, කැළෑව එළි පෙහෙළි කළ පිරිසකි.
“දැන් වීරයෝ බලුවෙලා බං, සිමෙන්ති අනනවා තාර පෙරනවා” ලෙසින් ඇසුණු කතා බහ අපේ හිත් අංශක 360ක් කැරකැව්වා. පසුගිය වසර කිහිපය යුද්ධය, යුද්ධය අවසානය සහ සංවර්ධනය රට ඇදගෙන ගිය දුර පිළිබඳ දකුණේ වැසියන්ට කදිමට අත් විඳින්නට සිදුවූ බව ලිවිය යුතුමය.
සෙනෙහසිනි...

Sunday, April 9, 2023

බෙහෙත් එක්කම ලොසින්ජරයක් දීලා ඔළුව අතගාන කතාබහක්

 ‍‍


විවිධ වෘත්තීන්වල නියැළෙන, පතපොත ලියන කතුවරු පසුකාලීනව පූර්ණ වශයෙන් ලිවීම වෙනුවෙන් හෝ, වෘත්තීයත් එක්ක ම සමබරව ලිවීම වෙනුවෙන් කැපවෙන අවස්ථා ලෝක සාහිත්යයෙන් වගේ ම ලංකාවේදිත් අපි දකිනවා. ඇන්ටන් චෙකොෆ්, ආතර් කොනන් ඩොයිල්, ආර් එල් ස්පිට්ල්, කලීඩ් හුසේනි... එකවර ම මතක් වෙන නම් කිහිපයක්. විශේෂයෙන් වෙනත් විෂයක පරිචය ලැබූ කෙනෙක් සාහිත්ය ලේඛනයට එන එක මාව උනන්දු කළ මාතෘකාවක්. මොකද, ඔවුන්ට තියෙනවා පටන්ගැන්මේ සිට ම සාහිත්ය ලියූ අයෙකුගේ භාෂා භාවිතයට වඩා ෆෝකස් වුණු, පෙරීමක් වුණු, සාරයක් වුණු, වටේ දුවන්නෙ නැති, යුනීක් භාෂා රටාවක්. මින් පෙරත් මේ ගැන යම් යම් සටහන්වල දි සඳහන් කළා. උදාහරණයක් විදියට, ඉංජිනේරු විෂය, ගෘහ නිර්මාණය, ගණිතය, චිත්ර කලාව වැනි විශයක් ගැන ප්රාමාණික, එහි කිඳාබැහැලා ඉන්න කෙනෙක් පසුකාලීනව ලියද්දි එයාලගෙ රචනා රටාව හැදෙන්නෙ අර විශයන්වල, ඒ හැඩතලවල සැකිලි, මූලත් එක්කම යි. මේක පැහැදිලිව පේන්න ගන්නවා ඔවුන්ගේ භාෂාවෙ ස්ථර නිරීක්ෂණය කරද්දි.

වෛද්ය බෝධිනී සමරතුංග 'රැස' පුවත්පතට ලිව්ව ලිපි මාලාව, 'සායනික සටහන් නොවේ' යනුවෙන් පොතකට එකතු කරනවා. මේ සටහන් කියවද්දිත් අපිට අර ඇයට ම ඔබින භාෂාවෙ ලක්ෂණ හඳුනගන්න ලැබෙනවා. සම්පූර්ණ නිර්මාණත්මක ලේඛනයක් විදියට නැතිව, තමන්ගෙ අත්දැකීම් දින සටහන් නැතිනම් එක්තරා memoir එකක් විදියට ලියද්දි, බොහෝ අය ප්රවේශ වෙන වාර්තා ලිවීමක ස්වභාවය හෝ දත්ත පද්ධති ඇතුළත් කිරීමේ ස්වභාවය ඇයගේ නැහැ. නීරස නෑ. ඒ වෙනුවට ඇය සරල, නමුත් ඇතැම් තැනක කාව්යත්මක බසකින් ඇගේ අත්දැකීම් අපට කියනවා. හුදෙක් තමන්ගෙ විශයට ම අදාළ නොකරගෙන, පොදුවේ මිනිස්සුන්ට ආමත්රණය කළ හැකි 'කාන්තා බස'ක් ඇය සතු යි. අධිකාරී බලයක් ඇය දරන්නේ නෑ. සරලයි. ආලවට්ටම් නෑ.
"පතුල බිඳුණු සිමෙන්ති පොළොවේ වල ගොඩැලිවල වැටි වැටී ට්රොලි තල්ලුකරන, රෝද ගැලවෙන්න ඔන්න මෙන්න තිබෙන මලබැඳුණු පාපුවරු නැති රෝද පුටු මගේ මතකය හාරා අවුස්සයි. එහෙව් කොරිඩෝවල යන එන අතර පිටකොන්දට දැනෙන අමාරුව අකුරු කළ පිළිකාවකින් රෝගී වී දුක්විඳ අප අතරින් වෙන් වූ අනුදි රන්මුතු සොයුරියගේ ෆේස්බුක් සටහන් මතක් වේ.
'මට මගේ රට ගැන දුක හිතෙනවා', කියා ඔවුන්හට මම කොහොම නම් කියන්නද?"
"මේ කඩින්කඩ වැහි වැටෙන අවධිය වූයෙන් පසුගිය සමයේ නිහඬව සිටි මදුරු රංචුවලට පණ ඇවිත් ඇති සෙයකි..." (සායනික සටහන් නොවේ)
'මම හිතුවා', 'මම දැක්කා...' ආදි වශයෙන් 'මම' දකින හඟින දේවල් මගේ කෝණයෙන් ලියන නිසා කියවන්නාට ළංවෙන්න පහසුයි. මේක ලියන්නෙ ඩොක්ටර් කෙනෙක් - අපි සාමාන්ය මිනිස්සුනේ කියල හිතන තරමේවත් මානසික රික්තකයක් කියවන්නාත් ඇයත් අතර හැදෙන්නෙ නෑ ඒනිසා.
ඒ සියල්ලටත් වඩා මේ සටහන් මානුෂීය බවින් පිරිලා. හෘදයංගමයි. සංවේදීයි. ළතෙත්. මෙළෙකයි. සෙනෙහැතියි. හිතැතියි. කෝමල යනගි අත්තක් වගේ. මොනතරම් පරාසයක අත්දැකීම් වුණත් මැදහත්ව ඒවා දරාගන්න ඇය තමන්ගේ ජීවිතේ ගැන අපිට කියන්නෙ ඒක තිත්ත බෙහෙතක් නොකර. ඒනිසා බෙහෙතත් එක්ක ම ලොසින්ජරයකුත් දීලා, ඔළුවත් අතගාලා කතාබහ කරනවා. ගතේ ලෙඩට වගේ ම හිතේ ලෙඩටත් බෙහෙත් කරන නයිටින්ගේල්වරියක් පොතෙන් අපිට මැවෙනවා.
වෛද්යවරියකගේ ජීවිතය ගැන සාමාන්ය මිනිස්සු නොදැන සිටිය පැති ගැන වැටහීමක් මෙයින් ලැබෙන එක තවත් කරුණක්. තමන්ගෙ මුහුණට කෙළ ගහන රෝගියාටත්, තමන්ට ගුටි දෙන රෝගියාටත්, තමන් දෙන වෛද්ය උපදෙස් පිළිපදින්නෙ නැති රෝගියාටත්, තමන්ට බැණ බැණ යන රෝගියාටත් එක ම විදියෙ උපේක්ෂාවකින් සහ මානුෂීය බවකින් සලකන්නෙ කොහොමද කියලා අපි විශ්මයපත් වෙනවා. වෛද්යවරුන්ටත් ලෙඩ හැදෙනවා නේද කියල, ඔවුනුත් අපි වගේම කොටසක් නේද කියල ආයෙ හිතන්න සලස්වන මේ සටහන්, 'සායනික' නෙමේ, 'මානුෂික' සටහන්. ඒනිසා, මා ලියන මේ කෙටි සටහනත් ඇල්දියෙන් අඹරා, සංවේදීව ලියූ බවක් ඔබට හැඟුණොත් ඒ වෙනුවෙන් කමන්න.
තීරු ලිපි එකතුවක් විදියට බෝධිනී සමරතුංග මේ සටහන් ලියන විදිය ගැනත් යම් අදහසක් ගන්න පුලුවන්. සටහනේ සැකිල්ල සැලසුම් කර ඇති සැටි, පටන්ගන්න හැටි, අවසන් කරන හැටි, කතාවේ උච්චතම තැන් සලකුණු කරන හැටි, දෙබස් හා සංවාද කථන, සංක්ෂිප්තව ලිවීම් සහ විස්තර කළ යුතු තැන් ආදිය ගැන ඇය දැනුවත්. එක ම පොතේ එක ම පරිච්ඡේදය ඇතුළෙ විවිධ රස භාව වැඩෙනවා. එක් සටහනක් කියවලා කඳුළු පිරුණු දෑසින් ම, තව සටහනක් කියවල සතුටුවෙන්න පුලුවන්.
ඒවගේ ම, ඇයට තමන්ගෙ ම මතයක්, දැක්මක් තියෙන බවත්, එය කිවයුතු විදිය ගැන වැටහීමක් තිබෙන බවත් පැහැදිලියි.
'Motherhood is a choice ! මාතෲත්වය යනු ස්ව කැමැත්තකි' (සායනික සටහන් නොවේ)
වෛද්ය බෝධිනී සමරතුංග, උතුරේ රෝහල්වල සේවය කරන කාලයේ ලැබූ අත්දැකීම් පොත සමබර කරනවා. කඳවුරුවල සෞඛ්ය පහසුකම් නොමැතිවීම්, මිනිසුන් විඳි දුක්වේදනා, බිම් බෝම්බ, අනතුරු ඇඟවීම් ආදිය එක්ක යුද්ධය ගැන හීරෙන මතක අහුරක් ඇය අරන් එනවා. එක ම පසුබිමක ඉඳගෙන, ඒ විශයෙහි පැති කිහිපයක් ආවරණය වෙන විදියට ඇය ලියනවා. 2018 රැස තීරුවට ලිව්ව සටහනක අන්තිම වැකි දෙක මෙහෙමයි.
"දැන් අවුරුදු නමයකට කිට්ටුයි. ඒත් තාමත් වැළලුණු බිම්බෝම්බ බලාගෙන ඉන්නවා, පාදයක් නෙමෙයි ජීවිතයක් එනකම්"
මේ වැකියත් එක්ක ම මං මුහුණදුන් ඇත්ත ම පෞද්ගලික යමක් කියන්න ඉඩදෙන්න. ගිය සතියෙ බස් රථයේ ඉඳගෙන මේ පොත කියවමින් ගමනක් යද්දි, පෙරළිලා තිබුණේ 'බිම්බෝම්බ' කියන පරිච්ඡේදයට. මට එහාපැත්තේ වුන්නු මහත්තයෙක්, පොතට එබිලා ඒ මාතෘකාව දැකලා එයාගෙ අත පෙන්නලා කිව්වා, 'මේ තියෙන්නෙ බිම්බෝම්වලින් මට ඉතුරුවුණු කැළැල් තමයි' කියල. බැලින්නම්, ඔහු ඒකාලෙ හමුදාවෙ සේවය කළ අයෙක්. දැන් තමන්ගෙ ම රැකියාවක් කරගෙන ඉන්න මැදිවියේ මහත්මයෙක්. බිම්බෝම්බ සහ යුද්ධය නිසා වුණු දේවල්, තමන්ගෙ මිතුරන්ට වුණුදේවල්, යුද්ධයෙන් පස්සෙ මානසිකව ගොඩ එන්න ඔවුන් කළ කී දේවල්, ආදිය ගැන ඔහු කියන්න ගත්තා. පොතේ කියවගෙන යන දෙයට ම ගැළපෙන දෙයක් එවෙලෙ ම මුණගැහුණු එක මටත් අමුතු අත්දැකීමක් වුණා.
ආයෙත් පොතට එමු.
'දරුවනි, යුද්ධ නොකරන්න. එහි වීරකමක් නැත...' (සායනික සටහන් නොවේ)
මේ වැකි දෙක, මාව ලියෝ තෝල්ස්තෝයිගේ 'යුද පෙරමුණක තෙමසක්' (සෙවෙස්තපෝල් සටහන්) වෙත අරගෙන ගියා. ක්රිමියානු යුද්ධයේ ඉදිරිපෙළ කාලතුවක්කු වෙඩික්කාරයෙකු වශයෙන් තරුණ අවධියේ රුසියානු භට කණ්ඩායම වෙනුවෙන් සේවය කළ තෝල්ස්තෝයි, ප්රංශ සහ රුසියානු හමුදා යුද පවත්වන සෙවෙස්තපෝල් නගර මධ්යයේ සිටිමින් රචනා කරන ලද සටහන්, මේ. පාලකයන් වෙනුවෙන්වත් බොරු වර්ණනා නැතිව ඔහු යුද්ධය ගැන ඇත්ත මෙහෙම ලියනවා.
‘ඔබට යුද්ධය දක්නට ලැබෙන්නේ සංගීතය හා රණබෙර මධ්යයේ ධජපතාක ලෙළ දෙන්නා වූද, සාඩම්බර ගමන් ඇති ජෙනරාල්වරුන්ද සහිත අලංකාර විචිත්ර ස්වරූපයෙන් නොව එහි සැබෑ ස්වරූපයෙනි. එනම් ලේ තුළිනි. වේදනාව තුළිනි. මරණය තුළිනි...’ (යුද පෙරමුණක තෙමසක්)
කතුවරිය ජීවිතය ඇතිවීමත් නැතිවීමත්, දුකත් සතුටත් යන දියදහම දැනහඳුනාගෙන ඉගෙනගන්නෙ රෝහලෙන්. මේ වචනවලින් අපි දකින බෝධිනීගේ උපේක්ෂාව, මැදහත්බව, අවබෝධය සහ 'මෝරන වීකරල නැමෙයි බර වැඩිවෙන කල' ගුණය ඈ රෝහල් ජීවිතයෙන් ම ප්රගුණ කරන්නට ඇතැයි සිතනවා. ඇගේ වචනයට ම ඉඩ දීලා මම මේ සටහන නිමාකරනවා.
"රුක්මනී අම්මාගේ ජීවිතයක වෙහෙස එසේ නිමා විය. නැවත වාට්ටුවට යද්දී නව ජන්ම වාට්ටුවෙන් ඇසෙන්නේ අලුත උපන් බිළිඳුන්ගේ හැඬුම් ය. රෝහල යනු ලෝක ධර්මතාව කැටිකර පෙන්වන ජීවන තක්සලාවකි"
• ඩිල්ශානි චතුරිකා දාබරේ

photo credit - Dilshani Chathurika Dabare