හිමි අහිමි වීම් සහ බලාපොරොත්තු කඩවීම් සමග වස බීම්...
අද අවුරුදු 28 ක දරු දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් තම 3 මස් වියැති බිළිඳාත් 3 අවුරුදු කුඩා පුතාත් සමග අප වාට්ටුවට එවා තිබුනේ හදිසි ප්‍රතිකාර අංශයෙන්. තම දිවි තොර කරගැනීමට ඈ කනේරු ඇට කා තිබුනා. දිවි නසා ගැනීමට වස පානය කරගෙන එන කා එක්ක ඇතිවෙන්නේ කළ කිරීමක්. මේතරම් වටිනා ජීවිතයක් මේ තරම් ඉක්මනට නැති කරගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතන්නේ නැත්තේ ඇයි කියන එකමයි මගේ හිතට එන්නේ. නමුත් ඔවුන්ගේ අභ්‍යන්තරයේ රැඳි දුක් කන්ද දුටු විට ඔවුන්ට දරාගත නොහැකි දුකක් ඇති වුන විට ශක්තිමත් නැති හිත් මොහොතකට හෝ ඒ අඳුරු අකාරුණික විඳීම් වලින් මිදෙන්නට මෙවැනි තීරණ ගන්නවා. මොවුන් හැමෝටම ඔවුන්ගේ ක්‍රියාව සාධාරණීකරනය කිරීමට හේතු අනන්තයි.
එක්තරා සිවු දරු පියෙක් වස පානය කර පැමිණ සිටියේ තම බිරිඳ දරු සිවු දෙනා හා ඔහුව අතහැර ගිය නිසා.
මා ඉහත කියූ මව තම බීමත් සැමියාගේ හිරි හැර ඉවසාගත නොහැකි තැන එසේ දැඩි තීරණයක් ගෙන දිවි නසා ගැන්මට උත්සහ කර තිබුනා.
ජීවත් වෙන්න කාසි නොමැති කමින්... ආර්ථික අහේනිය නිසා නූගත් කුලී වැඩෙහි යෙදෙන එක් අයෙක් වස පානය කරද්දී, උගත් සමාජයේ ඉහළ පෙලේ ව්‍යාපාර වල නිරත තවත් අයෙක් තම ව්‍යාපාර බිඳ වැටුන නිසා වස පානය කර තිබුනා
18 හැවිරිදි තරුණියක් තම පෙම්වතා සමග ගෙදරට හොරා ඇවිත් ඔහු ඇයව අනාථ කර ලොජ් එකක අතරමං කර දමා ගොස් තිබුනා... ඇය එනිසා වස පානය කර දිවි නසාගන්නට තැත් කර තිබුනා..
මේ අතර අම්මා හෝ තාත්තා බැන්නායැයි.. අයියා අක්කා තරවටු කරායැයි වස පානය කර අප වාට්ටුව වෙත ගෙන එන ඇට්ටර කොල්ලන් සහ කෙල්ලන්ද හිඟ නෑ. මොවුන් බොහෝමයකට ජීවිතේ ගැන හරි වැටහීමක් හෝ දැනුමක් නැති බව ඔවුන් හා කල කතා බහෙන්ම තේරෙනවා. අයියට පාඩමක් උගන්වන්න මෙහෙම කලා අම්මට පාඩමක් උගන්වන්න මෙහෙම කලා. යැයි කියන්නෝද බහුලය
නමුත් අන්තිමට පාඩම ඉගෙන ගන්නේ ඔවුන්මය. මන්ද බොහෝ දුක් විඳ මරණය ළඟා වන නිසාය. එවිට කළ වැරැද්ද නිවැරදි කිරීමට කාලය මදිය.
වකුගඩු ආබාධවලින් හෝ හර්ද රෝග නිසා මරණාසන්නව දුක් විඳින මහළු මෙන්ම තරුණ රෝගීන්ද ඒ අතර බොහෝ වෙත්. මා කරන්නේ එසේ වස බී පැමිණෙන්නන්ට මොවුන්ගේ දුක පෙන්වා දීමය. අතපය හතර හොඳට තිබියදීත් නිසි ශරීර සෞඛ්‍යයකින් හෙබි ඔවුන් ජීවිතේ එක්ක මොන කෝන්තරයක් පිරිමහන්නද මෙසේ අනතුරු දායක දේ තමන්ටම කරගන්නේ යන වග මා ඔවුන්ට පෙන්වා දෙනවා. නමුත් දුකක් කරදරයක් අප හිතට ළංවෙද්දී අපිත් හැසිරෙන්නේ මොන තරම් හැඟීම්බරවද කියන දේ පසුව වටහා ගනිද්දී මට මා ගැනත් තරහක් හිතට එනවා. මා අමතක කර දැමූ මග හැර දැමූ දෑ බොහෝය. ඒ අතර මගේ ලියවීම්ද ආත්ම විඳීම්ද ඇතුලු බොහෝ දෑ වෙත්. යමකට හෝ දෙයට අවසඟව ජීවිතය අහිමි කරගන්නට වෙර දරන ඔවුන්ද... එවැනිම වූ විඳීම් අභියස ඉකි ගසා හඬන වැලපෙන නොවක් දුක් සමග වැඩෙහි යෙදෙන ජීවිත ජීවත් කරවන, සිනහ නගන නින්දට යන නැවත නැගිට අලුත් දවසකට මුහුණ දෙන අපද අතර වෙනස අප... කරදර දුක් කන්ද අභියස, අහිමි වීම් අභියස ජීවිතය අත හැර දමා නොයන එකම නේදැයි මට සිතේ.
සසර පුරාවට අප කරන්නේ මගේ යැයි අපේ යැයි කියාගෙන එකිනෙකා හා යුතුකම් වගකීම් සහ අයිතිවාසිකම් වැනි බැඳීම් වලින් අප අතපය නොව හිත වෙලාගෙන නොවක් බලාපොරොත්තු පොඳි බැඳ ඒවා ඉටු කිරීමට හා ඉටු කරවා ගැනීමට දරණ නිරන්තර කෙළවරක් නොමැති උත්සහයකි. ඒ බැඳීම් නොමැති නම් තනිවෙනවා අතරමංවෙනවා , අසරණ වෙනවා වැනි හැඟීමක් හිතට ඇතිවෙන්නේ. ඒත් ඒ විඳීම් සියල්ල දිහා පැත්තක ඉඳන් බලන්නට විචාරයේ යෙදෙන්නට නොහැකිවූයෙන් .... දිගෙන් දිගටම එවැනි අහිමිවීම් ඉදිරියේ දුක් වෙන්නත් වැලපෙන්නත් අපේ හිත් රිදවා ගන්නත් අප පෙළඹෙනවා. නමුත් මෙහි නිස්සාරත්වය වටහා ගන්නට එක තත්පරයකින් පංගුවෙන් එකක් වැනි සුළු මොහොතකින් හැකි වූයේ... ඒ දුක් කන්ද අභියස ඔවුන් ජීවිතය අත හැරීම වෙනුවට අපි තවදුරටත් ජීවත්වීම යන්න තෝරාගත් නිසාය.