"තවම හොඳ නෑ ඩොක්ටර්"
"ඇයි දන්නෙ නෑ උණ එන්නේ, "
ඒවගේ කතා කියන්නේ බොහොම කණගාටුවෙන්. ඉතින් එකවරක් නොව සිය වරක් උනත් එන එන දොස්තරගෙන් නර්ස් නෝනෙක්ගෙන් එකම දේ අහන්නේ හිත සැහැල්ලු කරගන්න වෙන්නත් ඇති. වාට්ටුව වටේ ඇඳෙන් ඇඳට යද්දී, මගේ කරේ නළාවේ පැටලිලා එකතුවෙන දුක් කඳුළු සෝ සුසුම් , හිතට ගෙන එන්නේ බරක්
ඩෙංගු රෝගීන් ගණනෙහි අඩුවක් දකින්න තිබුනත්, නේවාසිකව තවමත් ඩෙංගු ඇන්ටිජන් පොසිටිව් ඒවගේම නෙගටිව් වුනත් ප්ලේට්ලට් අඩුවෙන පිරිසක් තවම එනවා , ප්‍රතිකාර ගන්නවා.
කළින් තිබුනු අමුතුම ආකාරයේ රෝගීන් උතුරා යෑමක් දැන්නම් පෙනෙන්නට නෑ.
ඔය අතරේ, මම රෑ වැඩ සඳහා වාට්ටුවට පැමිනෙද්දිම මිස් කෙනෙක් කීවේ..
"ඩොක්ටර් අන්න අර අහවල් ඇඳේ බබා පැය තුනක්ටම මූත්‍රා මිලි ලීටර් 25 දාලා තියෙන්නේ" කියලයි...
ඔන්න ඉතින් ෆයිල් එක අරන් පසුගිය සටහන් බලද්දී තේරුණ දෙයක් තමයි, මේ දරුවා ඊට කළින් සෑම පැය තුනකටම වරක් සීයකට වඩා මූත්‍රා දමා තිබෙන බව.
මේවගේ එකපාරම අඩුවීම් තමා භයානක.
කෝකටත් පෙර උගත් පාඩම් ඇති නිසා
එක පාරක් පැය තුනක්ම ගියේ මිලි මීටර් නමයයි කීව අම්මෙක් නිසා අපේ හදවත් නවතින්න ගිහින් මොකුත් කරන්න කලින් " කෝ මනින කප් එක " කියලා ඒක බලද්දී, මිලි ලීටර් 9 කියා අවුන්ස 9ක් පෙන්නුවා කප් එක පිරෙන්න එතකොට චූ ගිහින්.
ඔන්න ඔහොම වැඩ කරන අම්මලා ඉන්න නිසා, අපිට එයාලා මූත්‍රා මනින කප් එක ඉල්ලගෙන හොයාගෙන බලන්නත් වෙනවා. ඔව් අර මූත්‍රා මනින කප් එක, සිරින්ජ් එක.... එක සැරයක් කිලෝ 40 කියලා ගහපු සිරින්ජරයක් නිසා 40 ඒවා 7 දැම්මා කීව බබෙක් ගැන, ඒකත් කලබල වෙන්න කලින් ඔය සිරින්ජරෙ පෙන්වන්න කීව නිසා යන්තම් කරදර වෙන්න කලින් සිද්ධිය බේරුම් කර ගත්තා.
හැබැයි ඊයේ අම්මා නම් එක හෙලා කියා හිටියා. හරියට මැන්න බව.
මායි මිසුයි යනවා ඇඳ ළඟට... "කෝ දෙන්න කෝප්පේ" අම්මා කෝප්පේ දෙනවා...
මට පේනවා අවසාන අගය ලෙස අඩියට පොඩ්ඩක් උඩින් සටහන් වෙන්නේ 100 ml ඒ කියන්නේ මිලි ලීටර් 100 ඊට පස්සෙ 150 , 200 ඔහොම වැඩි වෙමින් යන්නේ ඉහළට යනකම්... දැන් මට පුදුම අම්මා කොහොමද 25 ml මැන්නේ කියලා.
"කෝ අම්මේ මිලි ලීටර් 25 සලකුණ"
අම්මා අන්දුන් කුන්දුන්... "අනේ මට ඇස් පේන්නෙ නෑ, පුතා තමයි කීවේ 25 කියලා" ඔන්න බළලා මල්ලෙන් එළියට පනිනවා.
දරුවා නිදි.. මේ අවුරුදු 12 විතර වෙන ඔය අපිව නුරුස්සන සෙට් එකේ පොඩ්ඩෙක්.
මම කතා කරලා අහනවා, "පුතේ කොහොමද ඔයා විසිපහක් කීවේ..."
"අනේ මං දන්නෑ.. මට හිතිච්ච ගානක් කිවා" ඔන්න දරුවාගේ උත්තරේ
එහෙම කියලා චක් චුක් ගාලා මෙන්න මේ පැංචා ආයෙම බුදි.
දැන් අම්මා ඔරවගෙන ඉන්නවා අපි දිහා.
"අම්මේ මොකද කරන්නේ , මේ දරුවට ඩෙංගු ( ඇන්ටිජන් පොසිටිව්) එතකොට මේ දරුවාගේ මූත්‍රා මනින එකයි දියර හරියට දෙන එකයි තමයි ඔයා කරන්න ඕනෙ. "
"කෝ බලමු මනින ඒවා ලියන කොළ "
ඒකත් බලද්දී හොඳටම ලියලා තිබ්බට මට තේරුනා මේ අම්මට එහෙම විශේෂ වැටහීමක් මේ කරන වැඩේ ගැන නැති බව.
"ඇයි මේ වැඩිපුර දීලා" මම අහද්දී උත්තරේ වුනේ
"බොනකොට වමනෙ ගියා එනිසා මම ආයෙත් වැඩිපුර ප්‍රමාණයක් දුන්නා" කියලයි.
"වමනේ ගියොත් අපිට කියන්න ඕනෙ, එහෙම ඔයාට ඕනෙ විදිහට පොවන්න බෑ" මම පැහැදිලි කළා.
"ඇයි මේ උණ බහින්නේ නැත්තේ"
මම මේ මුත්‍රා ප්‍රශ්නෙ විසඳන්න හදද්දී අම්මා වෙන වෙන ඒවා අහනවා මග අරින්න ප්‍රශ්නෙන්.
"දැන් අම්මේ ඔයාට කළින් හිටපු ඩොක්ටත් ලොකු මැඩමුත් මේවා පැහැදිලි කළා, ඔන්න ඩොක්ටර් අර ඩොක්ටර් මාලිත් මෙයාට පැයක් විතර අඬගහලා පැහැදිලි කළා" මිස් මට කියනවා.
"අම්මේ මේ කරන දේ හරියට කරන්න කියන්නේ අපි හොයන බලන නිසා නෙමේ. ඔයාගේ දරුවා කරදරයක් නැතිව ලෙඩ හොඳ වුනොත් ඒක ඔයාගේ සැනසීම. මේ දේවල් කරන්නේ අපිව සනසන්න නෙමේ "
අපි කළේ මිලි ලීටර් 10 සිරින්ජරේ ගානේ මේ අම්මට දෙන එක, අල්ලපු ඇඳේ ඉන්න ආච්චියෙක් , එයාවත් චෙක් කරා නිකමට , අනේ එයාගෙ කෝප්පෙත් 100 ml වල්ට වඩා අඩුවෙන් මනින්න බෑ. ඒ පාර එයාටත් ඔන්න කියලා දුන්නා.
ඊළඟට ආයෙම ඒ පොත බලද්දී, එක පාරම බොන්න දුන්නු ගාන වෙනස් කරලා. මම එහෙම කරෙත් නැති නිසා බලද්දී, ළමයගෙ අම්මා, ආච්චිට බබා බලන්න බාර දෙද්දී වරද්දලා කියලා කියලයි තේරුනේ.
"අනේ පුතේ මට 40 ml තැන පේන්නෙ නෑ " කියමින් මං ළඟට ආයෙම ආවා කෝප්පේ උස්සගෙන, ඒපාර වෝඩ් රවුන්ඩ් එක පැත්තක තියලා, ටිපෙක්ස් එකක් ගෙන්නගෙන මෙයාලට සලකුණු කරලා දුන්නා " අපිම ආයේ මේ ප්‍රමාණ වෙනස් කරනකම් මෙහෙම තමා" කියලා.
ඊළඟට මම දහයට ඇවිත් බලනවා. කෝ අර බබාගේ පැයෙන් පැය මැන්නද කියලා
"අම්මේ පහුගිය පැයේ කීයක් දැම්මද ?"
"සිරින්ජරෙන් තුනක් "
ආ ඒකියන්නේ 30 ml මම ගණන් හදා ගන්නවා.
"ඊළඟ පැයේ ? "
"දැම්මේ නෑ, මැන්නෙ නෑ, කෝ මට කීවේ නෑනේ"
ඉතින් මට පොළොවේ පස් කන්න හිතුනා, මෙච්චර පැය භාගෙටත් වඩා වෙහෙසිලා...
අම්මේ ඔයාට කරන්න තියෙන්නේ වැඩ දෙකයි. දැන් බබාට මූත්‍රා අඩු නිසා අපි සියළු දියර ජාති සේලයින් එකෙන් දෙනවා. එනිසා බොන්න දෙන්න එපා ! මූත්‍රා හරියට පැයෙන් පැය මැනිලා කියන්න" මම ඇඟිලි දෙකක් ඔසවලා ඇයට පෙන්නමින් කීවා. ඒත් මෙයා පැය තුනක් යද්දි ඔන්න මැනලාම නෑ.
"හා දැන් දාන්න මේ පැයේ බලමු" මම කීවා.
ඔන්න අම්මා ටිකකින් එනවා. "කොච්චරක් තිබ්බද ?"
"සිරින්ජර 3යි පොඩ්ඩයි"
"කෝ ගේන්න සිරින්ජරේ, ඉතින් ඔය පොඩ්ඩ මනින්නනේ සිරින්ජරේ දුන්නේ"
අම්මා මට සිරින්ජරේ දික් කරමින්, දෙකේ ස්ළකුණ පෙන්වයි." ඇයට කියවා ගන්න බැරි බව දැන් මට වැටහේ. අහෝ මම විඳි දුකක් !
"ඩොක්ටර් ඔයාගේ කට ගලක උලාගත්තනම් හොඳයි කියලා හිතුනා නේද ?" වාට්ටුවේ මිස්කෙනෙක් අසයි.
අප වෙත එන බොහෝ මව්වරුන් මෙවැනි අඩු ආදායම් ලාභී පවුල් වල හරි හමන් ඉගෙනුමක් ලැබූ අය නොවේ. ඔවුන් කියන දේවල් ඒ අයුරින්ම ගත්තා නම් මේ දරුවන්ට එක්කෝ අපි වැඩිපුර දියර දී අමාරුකරගෙනය, නැත්නම් අඩුවෙන් දියර දී විජලනය කරගෙනය.
මේ ලංකා අහස යට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක වැඩකරනවා යනු විටෙක අප, නඩුකාර උන්නාන්සෙලාය, විටෙක ගණිත ගුරුවරුන් ය. විටෙක පෝෂණවේදීන් ය. විටෙක පවුල් ආරවුල් විසඳන අයවලුන් ය. ඇඳුම් සපයන්නෝය, සෙල්ලම් බඩු සපයන්නෝ ය. මදුරු දැල් ගෙන එන්න ආධාර සොයන්නවුන් ය. මිතුරන් සමග එකතුවී වාට්ටු පේන්ට් කරන පේන්ට් බාස්සුනැහැලාය.
කොටින්ම වාට්ටුවේ හෝ රෝහලේ කුදු මහත් අඩු පාඩුකම් පෙනෙද්දී දෑස් පියන් අපේ වැඩේ විතරක් කරගෙන පාඩුවේ ඉන්නට බැරි බැරියාව ඇති අය ය. එහෙම අයට මේවායේ කරන්නට වැඩ ඕනෑ තරම් ය.
මේ සියලු සංවේදනා විටෙක වෙහෙසක් ය. මතක් කරද්දී සැනසෙන්නට කරුණු ඕනෑ තරම් ය !
Wish all doctors think and work like you. Maybe I am dreaming.
ReplyDeleteමේ සටහන් කියවන කොට හිතට සතුටක් වගේම බරකුත් දැනෙනවා.සතුට දැනෙන්නේ වෛද්‍යවරුන් සහා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ තත්වය තුල ඉවසිමෙන්,සංයමයෙන් කටයුතු කරන ආකාරය දැකීමෙන්.(අසාධරණ ස්ට්‍රයික් කරන කිහිප දෙනෙකුත් ඉන්නවා.හැබැයි බහුතරය එහෙම නැහැ කියලා හිතනවා.)
ReplyDeleteහිතට බරක් දැනෙන්නේ මේ සමාජයේ ඉන්න හැමදාමත් ප්‍රශ්න කරදර එක්ක ජිවත් වෙන මිනිස්සු හින්දා.එදා වේල යම්තම් ගැට ගහගෙන ජිවත් වෙන මිනිස්සු පිටට මේ වගේ උවදුරුත් ආවම "කොරේ පිටට මරේ" වගේ තමයි.
මේ වගේ අවස්ථා වලදී කටයුතු කරන්න ඕනේ කොහමද කියන එක මේ වගේ මිනිස්සුන්ට කියා දිය යුතුයි.ප්‍රජා සෞඛ්‍ය ගැන මිනිස්සු දැනුවත් කිරීම මිට වඩා මාධ්‍ය ඔස්සේ වෙන්න ඕනේ.
ඔක්කෝම කරලා වෙලාව ඉතුරු වුනොත් දොස්තරකම කරන්නයි වෙන්නෙ...ඇඳන් තුන හතරක ගෲප් එකක් තියාගන්න බැරිවෙයිද ලිහිල් බැඳීමක් හදල එකිනෙකාට උදව් කරගන්න විදියට..ඒත් ඉතින් ඒක තේරුම් කරන්න ඊට වඩා අමාරුවෙයි..කෝකටත් ඔය විදිය හොඳා...
ReplyDeleteඔක්කොම එක වගේ කලබලෙන් කරදරෙන් ඉන්නකොට එහෙම අහන්නත් බෑ.. ඒත් සමහර අම්මලගෙන් උදව් කරන්න කීවම හොඳට බලනවා... සමහරු අකමැතී !
Deleteවෛද්‍යවරුන් යනු වෘත්තියකට එහා ගිය මහා මෙහෙවරක්, කැපවීමක් සිදුකරන උදවිය බව මම දැනගෙන හිටියා. මට කරන්න බැරි, මහා උතුම් දෙයක් කරන පිරිසක් විදිහට හැමදාමත් මගේ ගෞරවය අක්කා වගේ මේ උතුම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටම හිමි වෙනවා.
ReplyDelete