"අක්කා මම උසස් පෙළ ලියලා දැන් ප්‍රින්ටින්ග් ප්‍රෙස් එකක වැඩ කරනවා." ඒ කිව්වේ දන්නා හඳුනන දෙමළ මල්ලී කෙනෙක්. කලකට කලින් අනිත්කොණ රෝහලේ වැඩ කරද්දී පුනුරුත්ථාපනය වෙච්චි ළමා සොල්දාදුවන්ගෙන් කෙනෙක්. මතකද මම ලීවා ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොලසන් සහ අපරාජිතන්, හතුරු හිත් මිතුරු කළ බෙහෙත, ජීවිතය සොයා .
"ඔයාට බය හිතුනේ නැද්ද ? ඒ අය එක්ක කතා කරන්න" යෙහෙළියක් අහනවා දවසක්.
"මොකටද ?"
"කොච්චර උනත් තුවක්කු අරගෙන යුද්ධ කරපු අයනේ" ඇය කියයි.
"එගෙම උනත් ඒ අය ඒකාලේ පොඩි ළමයි, ඒ අයව හරි මගට ගන්න අපි මග පෙන්නුවා. දැන් එයාලා සන්තෝස වෙනවා ඒ ගැන."
අසනීප වුනත් නොලියා ඉන්නේ කොහොමද...ඩූඩ් අයියා කිව්ව නිසාම ඉංග්‍රිසි ලිපි වලට වෙනම බ්ලොග් එකක් පටන් ගත්තා.monsoon bliss කියලා... මෝසම් වැස්සට කවුද අකමැති... ඒ අතරේ අසනීප වුන නිසා මාසෙකට වඩා නිවාඩු ඉන්නත් වුනා. ජීවිතේ පළමු වතාවට රෝහල්ගත වෙන්නත් වුනා. ඒකනම් හරිම හාස්‍යජනකයි. මම මගේ රෝහලේ මගෙම වාට්ටුවේ රෝගියෙක් වුනා. කමක් නෑ පූරුවේ කර්ම තමයි. ඒ එක්කම කරපු හොඳ සේරම උදව් වෙන්න ඇති ජීවිතේ බේරෙන්නත්.
" අක්කේ අපේ පොත හදනවද?"
"ඔව් මල්ලී මට සමාවෙන්න මේ තරම් කාලයක් ගත වුන එකට... ඒක එකලසක් කරන්න අපිට වෙලාව හොයාගන්න බැරි වුනා"
"කමක් නෑ.. අක්කේ ඔයාට කොහොමද ?"
"ඔයාට දැන් හොඳද අක්කේ... "
ළඟම යහළුවන් වුනත් එකට වැඩ කරන දොස්තරලා වුනත් නෑයින් වුනත් මට මොකද වුනේ කියා දැන දැනත් කොහොමද කියා වචනෙකින් නොවිමසන කල මාස කිහිපයක් ඔවුන් හට උදව් කළ සිංහල අක්කා ගැන ඔවුන් වද වේ. සුව දුක් සොයා බලයි.
"ඔයාට බය නැද්ද ෆේස් බුක් එකෙත් ඇඩ් කරගන්න..." ඊනියා වර්ගවාදී අදහස් පමණක්ම හිත් වල ඇති අය කවදා මනුස්සකමක් ගැන ඉගෙන ගනියිද ?
"නෑ මට බය නෑ... මොකද, ත්‍රස්ත්වාදී අදහස් පමණක් කවා පොවා තුවක්කු අතට දීලා අනුන් මරන්නට හදපු ඒ දරුවන්ගේ කුඩා මොළ වලට මනුස්සකම ආදරය කරුණාව ඉගැන්නුවේ අපි නිසා... අපෙන් ඉගෙන ගත්තු මනුස්සකම එයාලගෙන් ආයේ ගිලිහෙන්නේ නෑ."
මොන තරම් වෛර කරන කෙනෙක්ට උනත් මෛත්‍රීය කරුණාව පතුරන්න, තමන්ගේ හිත හදා ගැනීම වඩා උසස් උතුම් කාර් යය බව වටහා දෙන්න අපට පුළුවන් වුනා. අනුන්ට ගහන්නට අත උස්සනවා වෙනුවට ඒ අයට නැගී හිටින්නට අත දෙන කෙනෙක් වෙන්න උගන්වන්න පුළුවන් වීම. අනික් අයගේ දුක දැනෙන අය වීමට පුළුවන් වීම ගැන මට දැනෙන්නේ සිහින් ආඩම්බරයක්. ඒ සියල්ලෝම ඔවුන් ගැන හොඳ කතා කරන නිසාය. ඔවුන්ගේ පොත දෙමළ බසින් දැනටමත් පිටවී තිබේ. එහි තිබෙන්නේ ඔවුන් කුඩා කල සිට විඳි දුක් සහ යුද්ධය නිමා වූ පසු ඔවුන් වින්ද සැනසීම සහ සතුටයි. එහි සියල්ල සිංහලට හැරවීම කලත් තවම පොත එකලසක් කරන්න නිවාඩුවක් හොයාගන්න බැරිවීම දුකක්. !
"ඉක්මනින් මම ඔයාලගේ පොත සිංහලෙන් හදනවා" මම ඔවුන්ට පැවසීමි.
"අක්කා ඉස්සෙල්ලා සනීප වෙලා ඉන්න" එක් අයෙක් පවසයි.