ඔසප් සනීපාරක්ෂාව යනු කාන්තාවකගේ අයිතිවාසිකමකි.
Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Thursday, December 23, 2021
ඔසප් සනීපාරක්ෂාව
Wednesday, December 22, 2021
පළා කෑම
අප වසන ගම් පෙදෙසේ නිවසට අත් උදව්වට යන එන ස්ත්‍රියක් වේ. ගම ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ ඇය අතේ පණිවිඩ එවීමෙනි. මගෙන් අසා දැනගෙන එන්න යැයි දිනකට ප්‍රශ්න දෙක තුනක්වත් මට ලැබේ.
"නෝනා අර අපේ අර අහවල් කෙනාගේ දුවගෙ බබා දැන් මාසයක් විතර වෙනවා. මව්කිරි දෙන්නෙ නෑ පිටිකිරි දෙන්නෙ කියලා අහන් එන්න කීවා හොඳ පිටි වර්ගයක්" මම තුෂ්නිම්භූත වීමි. එදාවේල අමාරුවෙන් ගෙවා ගන්නා කුලී වැඩ කරන මේ මිනිසුන් ආර්ථික වශයෙන් සවි ශක්තිමත් නැත.
" මව්කිරි නොදෙන්නේ ඒ අම්මාගේ කිරි නැද්ද ?"
" අම්මට හොඳට කිරි තියෙනවා. ඒ බබා නිතරම කක්කා පොඩ්ඩ පොඩ්ඩ දමන නිසා නැන්දම්මා කීවලු ඒ අම්මට දියවැඩියාව නිසයි එහෙම වෙන්නේ එනිසා මව් කිරි දෙන්න හොඳ නෑ බබාට කියලා" මෙවැනි දෑ ඇසීම අපට අමුතු නැත. විවිධ වූ විශ්වාසයන්ගෙන් ගහන සමාජයක හිතකර මෙන්ම අහිතකර උපදෙස්ද මෙලෙස ඇසේ.
" ළදරුවන්ට කොහොමත් කක්කා පොඩ්ඩ පොඩ්ඩ යනවා. කහිද්දී, කිඹිහුම් යද්දී... එහෙම තමයි. ඒකෙන් ඒ අම්මට දියවැඩියාව තියෙනවා කියන්න බෑ"
" ආ එයාගේ නැන්දම්මා තමයි එහෙම කරන්න කියලා තියෙන්නේ"
" අම්මට දියවැඩියාව තිබුනත් කිරි දෙන්න ඕනේ දරුවට. දියවැඩියාව තිබුන අම්මලා උනත් දරුවට කිරි නොදී ඉන්න කියලා එහෙම කතාවක් කොහෙවත් නෑ" මම පැහැදිලි කළෙමි.
"ඒ අම්මට වයස කීයද ?"
"අවුරුදු 20ක් ඇති"
" අනේ තරුණ ළමයෙක්නේ... දියවැඩියාව බබා ලැබෙන්න ඉද්දී චෙක් කරනවා, දියවැඩියාව හැදෙන්න විවිද හේතු සාධක ගොඩක් තියෙනවා. ඒකට වෙනම පරීක්ෂණ තියෙනව. බබා නිතර කක්කා දානවා කියලා අම්මට දියවැඩියාව කියන්න බෑ, එහෙම කියලා අම්මගේ මව්කිරි නවත්වන්න කියලා නිර්නායක කොහේවත් නෑ" මම පැහැදිලි කළෙමි..
" ඇරත්, මාස 6ක් වෙනකම් අනිවාර් යයෙන් මව් කිරි පමණක් දෙන්න ඕනේ.. දරුවෙක්ට හොඳින් වැඩෙන්න එයාලගේ ප්‍රතිශක්තියට ලෙඩරෝග වලින් වැලකෙන්න මව්කිරි ඕනෑ." ඇයට පැහැදිලි කළෙමි
" ආ මං කියන්නම්.. අපරාදේ එයාලා පිටිකිරි දෙන්න හදනවා" කියමින් ඇය පණිවිඩය රැගෙන ගියාය.
ඒ මම ඇසූ බොහොම වෙනස් ජාතියේ කතාගොන්නෙන් එකකි.
කිරි පිටි සම්බන්දයෙන් අමුතු කතා ඇහෙන මේ කාලයේදී වෛද්‍යවරියක් සහ මවක් ලෙස මම ද මෙවැනි උපදෙස් මටද කියන්නට එන සමාජයක ජීවත්වන නිසා මව්වරුන් වෙත ඇති මෙවැනි බලපෑම් ගැන හොඳාකාරවම දනිමි.
අවුරුදු ගණනාවක් ළමා වාට්ටු වල සේවය කර ඇත්තෙමි. මව් කිරි ප්‍රවර්ධනය සහ ස්තාපනය පිළිබඳව උපදේශකයෙක් ලෙස වැඩමුළු වලට පවා සහභාගි වීමි. මව් කිරිදීමේ වැදගත්කම අවබෝද කර ගත්තෙමි.
දරුවෙක් වැඩෙද්දී මාස හයක සිට ඝණ ආහාරවලට හුරු පුරුදු කිරීම අදවන විට සියළු දෙනා පුරුද්දක් වශයෙන් කරති. අවුරුදු 1- 2 පමණ වන විට මව් කිරි දීම ද අත්‍යාවශ්‍ය නොවන බව ද දරුවාට අවශ්‍ය පෝෂණකොටස් ලැබෙන්නේ ඝණ ආහාරවලින් බවද ඉගෙන ඇත්තෙමි.
“බර වැඩි වෙන්න පිටි එකක්වත් ලියලා දෙන්න ඩොක්ටර්” යැයි සායනවලදී අපට අනන්තවත් මව්වරු ආයාචනා කරති. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් සහ මේදය බහුල ආහාරවේලකින් ලැබෙන පෝෂණයට සම කරන්නට කිරිපිටි වලින් නොහැකි බව අප ඔවුනට වටහා දෙන්නෙමු.
ඇමෙරිකාවේ වෙසෙන ජිම් ක්වික් යනු වේගයෙන් කියවීම, මතකය වැඩිදියුණු කිරීම සහ ප්රශස්ත මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විශේෂඥයෙකි ඔහු රටවල් 150 කට අධික සංඛ්‍යාවක සෑම වයස් කාණ්ඩයකම සහ සෑම වෘත්තියකම නියැලී සිටින්නන් සඳහා වේගවත් ඉගෙනීමේ ක්‍රම පිළිබඳ වැඩමුළු සහ පුහුණු කිරීම් සිදු කරයි. මෑතක ඔහු සිදු කරන ලද මතක ශක්තිය වැඩි කිරීම පිළිබඳ වැඩමුළුවකදී ඔහු පැවසුවේ, මොළයේ වර්ධනය සිදු කරන මොළයට හිතකර කෑම වර්ග පිළිබඳවය. ගොටු කොළ, අලිගැට පේර, බ්රොක්කලි, පොල් තෙල්, බිත්තර, සැමන් මාළු, කහ, වෝල් නට් සහ ඩාක් චොකලට් මේ ලැයිස්තුවේ අන්තර්ගතය. ගොටු කොළ රිසි සේ වැවෙන, පොල් තෙල්ද ඇති මේ රටේ මව්වරුන් මේවා ගැන දැනුවත් නැත. සත්ත්ව හෝ ශාක මේදය අඩංගුමාජරින් හෝ මේද තැවරුම් බටර් යැයි කියා භාවිතා කරති. දරුවන් හට බර වැඩි කර ගන්නයැයි නොයෙක් තැන ඇසෙන දෑ ගෙනැවිත් ගිල්ලති.
දරුවෙකුගේ වර්ධනය සිදුවෙන මූලික වයස්කාණ්ඩ වලදී නිසි පෝෂණයක් සහිත කෑම වර්ග ලබා දිය යුතුය. ප්‍රෝටීන බහුල ආහාර මෙන්ම පළාවර්ගද බොහෝ සෙයින් අප ආහාරවට්ටෝරු වලින් ඇත්වී ඇති බව මට වැටහේ.
ගෙවත්තේ පෝච්චියක ගොටු කොළ හෝ නිවිති වවාගත හැකි බව මා ප්‍රායෝගිකව දනිමි. දිනපතා කොළ දහයක් සෝදා ලියා දරුවාගේ කෑමවේලට එකතුකළ හැක. දරුවන් යනු පුහුණු කරගත හැකි පිරිසකි. දිනපතා මෙවැනි පෝෂණයක් සහිත ආහාරවේලක් දරුවාට දීමෙන් ඇත්තටම ඔවුන් ඒ දේට හුරුවන බව මම දන්නේ මගේ දරුවා සම්බන්දයෙන් මට ඇති අත්දැකීමෙනි. අමු තක්කාලි, රතු ලූණු සහ කොළ පැහැති පළා වර්ග කොයි තරම් හිතකර දැයි බොහෝ බටහිර රටවල ලිපි මගින් සාකච්ජා කෙරේ. මුරුංගා කොළ මිටක්, කතුරු මුරුංගා කොළ මිටක්, ගොටු කොළ මිටක් එකතුකරගැනීම තුළින් අත්වන වාසි, නොයෙක් පෝෂණ ඇතැයි කියමින් ගිල්ලන පෝෂණ පැකට් හෝ ද්‍රාවණ තුළින් ලබා ගැනීම අපහසුය.
සායනික සටහන් නොවේ- වෛද්‍ය බෝධිනී සමරතුංග
From newspaper column
Wednesday, December 15, 2021
ත්‍රීපෝෂ පැකට් දෙක
ත්‍රී පෝෂ පැකට් දෙකකට බුද්ධත්වය පැතීම....
this was written in 2014 ....
රජයේ මාතෘ සායන වලදී නොමිලේ දෙන අර ත්‍රීපෝෂ පැකට් දෙක මොන තරම් නම් වටිනවාද කියලා තේරුම් ගියේ මට මෑතකදී. (2014)
මා වැඩ කරන ළමා සායනයේදී දරුවන්ට පෝෂණ ඌනතා ඇතැයි කියා ත්‍රිපෝෂ ලබා ගැනීමට කොයි තරම් නම් අම්මලා අපට ආයාචනා කරනවාද ? නමුත් නිසි බර උස ඇති දරුවන්ට බොරුවට ලියුම් ලබා දිය නොහැකි බව කියා ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්නට වුනේ එහෙම ක්‍රමවේදයක් නොමැති නිසාමයි. එනමුත් අඩු ආර්ථික මට්ටමක් සහිත ඔවුන් හට මේ ත්‍රිපෝෂ පැකට් දෙක ගෙදර ඉන්නා කුඩා වුන් රොත්තකගේ බඩගින්න නිවන යාන්ත්රනයකි.
මා ගැබිනි අවධියේ රෝහලේ පැවති මාතෘ සායනයේ රෙජිස්ටර් වෙන්නට සිදුවිනි. ඒ නීතිය එහෙමමය. වාට්ටුවේ වැඩ කරන අතර තුර අල්ලපු ගොඩනැගිල්ලේ සායනයට ගිහින් එන්න පුළුවන් වීම එක්තරා විදියක පහසුවකි.
එහිදී ගැබිනි මව්වරුන්ට ත්‍රීපෝෂ, ෆෝලික් ඇසිඩ් පෙති, යකඩ පෙති විටමින් සී නොමිලේ මසක් ගානේ ලබා දේ
පළමු සායනයේදීම , මා ඔවුන්ට පැවසුවේ… මට එම දීමනාව අනවශ්‍ය බවය. ඒ මට මහා ලොකුවට පෝෂණය සපයාගන්න ධනස්කන්ධයක් හිමි නිසා නම් නොවේ.
රජයෙන් ලැබෙන වැටුපෙන් ඒ දේවල් ලබා ගන්නට පුළුවන් කමක් මට තියෙන නිසාත් මගේ පුද්ගලික ප්‍රින්සිපල්ස් අනුව මට අවැසි දේ මට සපයා ගන්නට තරම් මුදලක් අතට ලැබෙද්දී ඒ නිකම් ලැබෙන දේ මට වඩා අසරණ කෙනෙක් වෙනුවෙන් වෙන් කිරීම යෙහෙකැයි සිතන්නට පුරුදු වී ඇති නිසාත් ය. මා සායනයෙන් විටමින් පෙත්තක්වත් ලබා ගන්නේ නැත.
මා එම දීමනාව අනවශ්‍ය බව කීවාට, ගැබිනි මට වෙන් කර ඇති කොටස කොහොමත් ලැබෙන බවක් ඔවුන් කීවෝය. “ අනේ මිස් මෙතනට එන දරුවෝ ගොඩක් ඉන්න ගැබිනි අම්මෙක්ට ඔය ත්‍රීපෝෂ ටික දෙන්න..” මගේ කටෙන් පිටවෙනවාත් සමගම අසල සිටි දෙදෙනෙක් දිව ආවෝය. “අනේ ඩොක්ටර්ට එපා නම් අපිට ඒක දෙන්න ලැබෙන්න ඉන්න දරුවටත් පින් මගෙ රත්තරන් මැඩම්… ඔය ආදී ලෙස පින්සෙන්ඩු වෙමින් බුදු බව පවා ප්‍රාර්ථනා කරන්නට විය. ඒ ත්‍රීපෝෂ පැකට් දෙකකට !
දැන් ඔවුන් මා සායනයට යන සෑම මසකම මට ලැබෙන දීමනාව ලබා ගනී. අසනීප නිසා එහි යන්නට බැරි වුන පසුගිය දිනෙක කෙනෙක් පැමිණ මගේ කාඩ්පත රැගෙන ගොස් ඒවා ලබාගෙන නැවත කාඩ් පත මට ගෙනැවිත් දුන්නේ පින් සිද්ධ වෙනවා යැයි මතක් කරමිනි. දැන් ඒ පැකට් දෙකට බැල්ම දාන පිරිසද වැඩිය. අයියෝ මැඩම් මට දෙන්න තිබුනානේ.. ඇතැමෙක් පවසයි. . සමහරු අර උන්දැලාගෙන් ඒ ගැන විමසයි. ඔවුන් මට ඇමතුම් දේ “ මැඩම්ට ඕනෙද පැකට් දෙක අහවලා කියනවා මැඩම්ට දෙන්න කියලා”… “නෑ මට ඕනෑ නෑ. මං ඉල්ලුවෙත් නෑ.. ඕනෑ කෙනෙක් ඕනේ දෙයක් කරගන්න” .
මා ඇතැම් විට අපේ paediatric සායන හමාර කොට වාට්ටුවට එන ටිකට පාර දිගේ දිව එන ගැබිනි මව්වරුන් මුණ ගැසේ... ඔවුන් සිතන්නේ මා සායනයට ගොස් පැමිණෙන ගැබිණි මවක් කියාය. "අද ත්‍රීපෝෂ දීලා ඉවරද ?" , "තවම ත්‍රීපෝෂ දෙනවද " ඔවුන් මගෙන් විමසයි. ඒ කිසිඳු අම්මා කෙනෙක් ත්‍රීපෝෂ ගෙනියන්නේ ඔවුන්ගේ පෝෂණය සඳහානම් නොවේ... ගෙදර සිටින අන් දරුවන්ගේ කුස පිරවීමටය.. මොකක්ද මේ රටට උනේ !