Tuesday, June 11, 2013

මම මැරුණම මට තනියම ඉන්න වෙයිද ?

" මට බයයි....මම මැරුණම මෝචරියට ගියාම මට තනියමද ඉන්න වෙන්නේ අනිත් මළ මිනී එක්ක" කුඩා දැරිවියක් අසයි. එක අතක ඇත්තේ පැය විසි හතර පුරා හෙමින් හෙමින් ශරීර ගත කරන රුධිරයේ යකඩ ඉවත් කරන ඖෂධය රැගත් රැඳවුම හෙවත් අයි වී ස්ටෑන්ඩ් එකයි. ඔවුන් රෝද සහිත එය තල්ලු කරගෙන වාට්ටුව පුරා ඇවිදියි. අප මේසය අසලට එයි.

සමහර විට ඔවුන් අප හා ඔවුන්ගේ දුක සතුට හැඟීම් දැනීම් කියන්නේ, අප ඔවුන් ගේ ජීවිත වල ගැවසෙන කෙනෙක් නොවන නිසා වෙන්න පුළුවන්, සමහර විට අපි හොඳ ඇහුම්කන්දෙන්නන් බවට පත්වී ඇති නිසා වෙන්නත් පුළුවන්... එහෙම නැත්නම් අපිට කීවාම යම්කිසි සහනයක් ලැබෙයි කියලත් හිතනවා වෙන්න පුළුවන්. දවස පුරාම නන්නාඳුනන මෙන්ම නිතර දකින නිසා හඳුනන, බෙහෙත් කරන නිසා හඳුනන අයගේ දුක් ගැනවිලි මැසිවිලි, කරදර කම් කටොළු වලට කන් දීලා ඔද්දල් වෙච්ච හිතත් කරගහගෙන ගෙදර යන්නේ.... ඉතින් හවස හතරට අපේ වැඩ කාලය අවසන් වුනත්, සියළු වැඩ ඉවර වෙද්දී හවස 5 , 6 සමහර විට 7 ත් පසු වෙලා. මේ දවස් වල අහස අඳුරුම අඳූරුයි, කොයි මොහොතේ හරි කඩන් වැටෙන්න බලන් ඉන්නේ.ේ

  "මාත් ආසයි ඩොක්ටර් බඳින්න, දරුවෝ හදන්න...ලස්සනට ගෙයක් දොරක් හදාගෙන ඉන්න, මට ලස්සනට මහන්න පුළුවන් , හොඳට උයන්නත් පුළුවන්, ඒත් කවුද අපිව බඳින්න කැමති වෙන්නේ "

මා ඉදිරියේ ඉන්න මේ යෞවනිය බිමට බර කරගත්තු මුහුණින් කියද්දී මගේ හිත පුරා දැනුනේ අසීමිත දුකක්.

 "පුංචි කාලේ අම්මා අපිව උස්සගෙන ගිහින් බලෙන් බෙහෙත් විද්දේ... එයා අපිව ජිවත් කරපු නිසානේ ඩොක්ටර් අද අපි මෙහෙම හරි ඔළුව උස්සගෙන ඉන්නේ. " ඔව් මෙහි එන යන දරු දැරියන් හැමෝගෙම දෙමාපියන් වයස මාස තුන හතරේ සිට තම කිරි කැටි දරුවාද ඔසවාගෙන රෝහලේ දින ගනන් ගත කරපු දුක් බර කාල වකවානු ගෙවා ඇත්තේ. අද නව යෞවන වියේ පසුවන ඔවුන් තනිවම ඇවිත් තම බෙහෙත් ප්‍රතිකාර කරගන්නවා. ඔවුන් ජීවත් වෙනවා දකින, ඔවුන්ට කුඩා කල සිට ප්‍රතිකාර කළ මෙහි සිටින ජේෂ්ඨ වෛද්‍යවරිය පැවසුවේ, ඔවුන් ජීවත් වෙනවා දකින විට දැනෙන සතුට ඇයට කියා නිම කළ නොහැකි බවයි.

" ගෙදර ඔහේ ඉන්න එකත් එපාවෙලා. අපිට කොහෙන්ද ඩොක්ටර් රස්සා... එහෙම රස්සාවක් දෙනවානම් ඒකොම්පැනියේ බොස් ට තැලසීමියා තියෙන්න ඕනේ"

ඇය පැවසූ විට මා මොහොතකට ගල් ගැසුනා. සමාජය ඔවුන්ව කොයි තරම් අසරණ කරලා ඇද්ද ? ඇය පවසන්නේ ඔවුන්ට රස්සාවක් දෙන්න තරම් අනුකම්පා කරන්නේ තැලසීමියා වැළඳී ඒ රෝගයෙන් විඳිනා දුක දන්නා හඳුනන කෙනෙකුම වන්නට ඕනෑ බවයි. එකල සමාජයේ මේ පිළිබඳව තිබුන දැනුවත් බව අඩු නිසා , සමහර පවුල් වල දෙමාපියන් තමන් රෝග වාහකයන් බව නොදැනීම නිසා බොහෝ පවුල් වලට තැලසීමියා රෝගී දරුවන් දෙතුන් දෙනා සිටියා. හැබැයි අද ඒ දෙමාපියන්ගේ සහ වෛද්‍යවරුන්ගේ කැපවීම නිසා ඒ දරුවන් යෞවනත්වය විඳින වයස දක්වා උස්මහත් වී සිටිනවා. අධ්‍යාපනය පවා බොහෝ සෙයින් ඔවුන්ට පාඩු වී තිබුනා. සමහරු වැළඳුනු අතුරු ආබාධ නිසා වූ කරදර නිසා පාසැල් නොගොස් තිබුනා.

බොහෝ කාලෙකට කලින් මාරාන්තික රෝගයක් වුනු මෙය, ඉක්මනින් මැරෙන ළමයින් යයි හංවඩු ගැසුනු මොවුන් නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමග ඇතිවුනු නව ඖෂධ ක්‍රම නිසා අතුරු ආබාධ රහිතව හෝ අවමව ජීවීතය පවත්වාගෙන යාමට හැකි වෙලා තියෙනවා. ඒත් මාසෙකට සැරයක් රෝහල් ගත වීමද , ඉක්මනින් ආසාදන වලට ගොදුරු වීමේ ප්‍රවනතාවයද ඔවුන්ට තියෙනවා. ඕනෑම සුළු ආසාදනයකින් පවා නිසි ප්‍රතිකාර සිදු නොවුනහොත් මියයන්න පවා පුළුවන් බව ඔවුන් ලබා තිබෙන අත් දැකීම් වලින්ම දන්නවා. ඒ එසේ මිය ගිය ඔවුන්ගේ යහළුවන්ගේ මතක සහ ඔවුන්ට විඳින්න සිදුවුනු රෝගාබාද නිසාය.

 මේ ළඟදී දානෙකට මේ වාට්ටුවට වැඩි හාමුදුරුවන් වහන්සේ නමක්, මේ දරුවන් අමතා දේශනයක් කරන ලදී. එය අවසානයේ අප වෙත පැමිණි එක් දැරිවියක් පැවසුවේ...
"හාමුදුරුවෝ බණට කීවානේ ඩොක්ටර්ලා ටත් ලෙඩ හැදෙනවා කියලා. අනේ මං මේ වෙනකම් හිතුවේ ඩොක්ටර්ලාට ලෙඩ හැදෙන්නෙම නෑ කියලනේ"අප ලෙඩ දුක් හැදෙන්නේ නැති අමුතුම සුපිරි මනුස්සයන් පිරිසක් යැයි ඇය සිතාගෙන සිටී. වෙලාවක මටත් හිතෙනවා, මට සියළු රෝගීන්ගේ ලෙඩ දුක් කරදර සියල්ල එක මොහොතින් නැති කරන්න මට සුපිරි සුව කිරීමේ හැකියාවක් සහිත ශක්තියක් ලැබුනානම් කියලා.

මම ඇයට මා කලකට පෙර පීඩා විඳි රෝග තත්වය ගැන පැහැදිලි කළෙමි. " අනේ පව් නේද ඩොක්ටර් අර අලුත් ඩොක්ටර්, එයාටත් සනීප නැති වෙලානේ.." යැයි මා ගැන බොහෝ දුකින් ඇය අනෙක් වෛද්‍යවරිය හා පවසමින් දුක් වී තිබුනේ, තමන්ගේ රෝග තත්වය මොහොතකට අමතක කරමිනි.
"ඩොක්ටර්ගේ වයසේම වෙන්න ඇති මම" ඔවුන්ට පුතා යනුවෙන් මම ආමන්ත්‍රණය කරන නිසා එක් අයෙක් පවසයි. වැඩීම අඩු නිසා උසින් මෙන්ම මුහුණුවරින්ද ඔවුන් පාසල් යන වයසේ කුඩා දරුවන් බඳුය. (මෙම රෝගය ගැන පෙර ලිපියකින් ලීවෙමි, "මේ ලේ මට නොවේ " කියවන්න)

 "ඩොක්ටර් මට ලොකු වෙද්දි ලොකු වෙද්දි දැනෙද්දි මේ ජීවිතේ හැටි මේ ලෙඩෙන් ගැලවිල්ලක් නැති හැටි...සාමාන්‍ය ජීවිතයක් නැති හැටි මට කලකිරුනා, මම දිවි නහ ගන්නත් හිතුවා" මා ඉදිරියේ ඉන්න යෞවනයා කඳුළු පිරි දෑසින් පවසයි. "මම ඒ තුලින් තේරුම් ගත්තා ජීවිතේ කියන්නේ මොකද්ද කියලා. මේ තාවකාලික ජීවිතේ ගැන අවබෝදයක් නැතිව අපි කොයි තරම් පුහු වැඩකට නැති විච්චූරණ පස්සෙද දුවන්නේ කියලා. ඒ කාලේ මං හිතුවේ මට මේ ලෝකේ අන්තිම දරුණුම දේ වුන කෙනෙක් කියලා.
මේ ලෙඩේ ගැන, බෙහෙත් ගැන, මේ විඳින කරදරේ ගැන මට ලොකු තරහවක් තිබ්බේ. ඒත් අන්තිමට මට අවබෝධ වුනා, මේ සියල්ල තාවකාලික බව. මේ විඳීම්, දැනීම්, මේ රෝගය උනත්. මට ඒ ලැබුන දැනීම නිසා මම හිතන්නේ මට වුන හොඳම දේ මට මේ ලෙඩේ හැදුන එකයි ඩොක්ටර්. දැන් මේක නිට්ටාවට හොඳ කරන්න බෙහෙතක් තියෙනවා කිව්වත් මට ඕනෙ නෑ ඒක"

ඔහුගේ දුක්බර කතා පුවත මා හා පැවසුවත් මම මෙහි එය සටහන් කරන්නේ නෑ. මන්ද අකුරු කරගත නොහැකි තරම් ඒවා ලියන මගේ හිතට මේ තරම් කම්පනයක් ඇති කලාක් මෙන්ම කියවන ඔබේ හිතටත් බර වැඩි වෙනු ඇති බැවිනි. ඔවුන් බොහෝ ශක්තිමත් සිත් ඇත්තන් බවද , මට ඔවුන් විඳි දුක කොහොමටත් දරා ගන්නට බැරි බවද ඒ අතින් ඔවුන් ඉතා උසස් ශක්තිමත් අය බවද කතා බහ කරන විට මම ඔවුන් හා පවසමි. ඔවුන්ගේ දුක දරාගෙන ඔවුන් යන ගමන ප්‍රශංසා කරන්නෙමි.

ජීවිතය යනු විටෙක  මහා කම්පනයකි... එය මා යන මාවතේ හැල හැප්පීම් මෙන්ම හමුවෙන සියළු දෙන  මවෙත ගෙන එන දුක් කම්කටොළු හා බැඳි කම්පනයන් ය... මේ දුක් කරදර විඳීම් දැනීම් ඔස්සේ එය කොයිම විටකවත් සොඳුරු නොවේ යැයි මට සිතේ. ඔද්දල් වී ගිය හිත පොඩ්ඩකට හෝ සුවපත් කරන ඔබේ දයාබරත්වය රැඳි කමෙන්ටුවක් බොහෝ සෙයින් උපකාරී වෙනවාමයි.... කිසි දිනය හමු නොවූ නොදන්නා ඔබ , මෙහි රැඳී අකුරු කර, මොහොතක් හෝ මිඩංගු කර මා වෙනුවෙන් පුද කරන ඒ සහෝදරකමට , තනි තනිව ස්තූති කරන්නට බැරිවීම ගැන සමාවෙන්න.

33 comments:

  1. අනිත් කොණ ලංකාවේ අනිත් කොණේ රාජකාරි කරන කාලේ ඉඳන් ඔබ අන් අයට වඩා සුවිශේෂී කෙනෙක් බව මම තේරුම් අරන් තිබුනේ. ඔබ දුශ්කර සේවය කලෙත් අපි කලා වගේ අකමැත්තෙන් නෙවෙයි ආශාවෙන් කියලා මට හිතුනා.

    කොහොම හරි තොටියා, සිඳූ, ගිමන් සහ ඔබ වැඩි වෛද්‍ය වෘතියේ යෙදෙන බ්ලොග් කරුවන් ගැන හිතුවාම මම නිතර කියපු දෙයක් තමයි ඇයි අර අනිත් අය ඔහොම නොහිතන්නේ කියන එක.

    විශේෂයෙන්ම ලංකාව වගේ රටවල රෝගියා සහ වෛද්‍යවරයා අතර තියෙන දුර, කුල බේදය අමතක කරලා වැඩ කරන වෛද්‍යවරුන්ට රෝගීන් කොහොමත් ආදරය කරනවා. හිර ගෙදර බිත්තියේ ගහලා තියෙන හිරකරුවෝද මනුෂ්‍යයෝය කියන එකට අමතරව සමහර ඉස්පිරිතාල වල බිත්තියෙත් රෝහල් කාර්ය මණ්ඩලයේ දැනගැනීමට 'රෝගීහුද මනුෂ්‍යයෝය' කියලා ලියන්න හිතෙන කාලෙක ඔබ වැනි අය කරන සේවය මම ඇත්තෙන්ම අගයනවා.

    ReplyDelete
    Replies
    1. ++++++++++

      කලින්ම ඇවිත් කමෙන්ට් නොදා ගියා මේ කතාව මට ඕනෙවටත් වඩා සංවේදී නිසා... ඒත් ඩූඩ් මං කිව්වටත් වඩා හොඳට මගේ හිතේ තිබ්බ දේම කියලා....

      Delete
    2. මට හිතෙන දේ තමයි...අනිත් කොන හිතන අන්දමට හිතන අය ටිකක් හරි ඉන්නවා..නමුත් එහෙම අයට අනිත් ඇයගේ කැපිල්ල වැඩියි...(මේ මා ද ඇතුළුව)

      Delete
    3. හිරු, හෙන්‍ රි අයියා ස්තූතියි... වෙනසක් ඇති කරන්න ඒ වෙනස මම වෙන්නයි බලන්නේ.. මටත් හිතා ගන්න බැරි ඇයි අපේ අච්චුවෙන් සිය දහස් ගණනක් නෙමෙයි මිලියනයක්වත් අය මේ ලෝකේ නැත්තේ කියලා, ඇයි අපි හිතන තරම් මානුෂීය නොවන්නේ කියලා. කළු සුදු, අනිවා, කැපිල්ල බොහෝමයි. ඒක හැමතැනම එහෙමමයි. මේ බ්ලොග් අවකාශෙත් ඇතුලුව කොයි සමාජෙත් වැඩි පිරිස බලන්නේ අනුන්ගේ දුක නොදැක ඉන්නයි. අනුන්ගේ හිත් රිදවන එක එයාලට බොහොම පොඩි දෙයක් වෙලා, කැපිල්ලටමයි හිත.

      Delete
  2. "ජීවිතය යනු විටෙක මහා කම්පනයකි... එය මා යන මාවතේ හැල හැප්පීම් මෙන්ම හමුවෙන සියළු දෙන මවෙත ගෙන එන දුක් කම්කටොළු හා බැඳි කම්පනයන් ය..."
    ඒ තමයි සැබෑ සත්‍යය. තවකෙකුගේ දුක් නිවන ඔබට එයම නිවනක් වනු ඇත.
    මැණික්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මැනික්... අනුන් දුක් නිවන අයට බොහෝ විට ඉන්න වෙන්නේ දුකින් කියලත් හිතෙනවා ...

      Delete
  3. ජීවිතේ අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විදින මිනිසුන්, දරුවන් මටත් මුණ ගැහෙනවා... ඇත්තටම වෙලාවකට මගේ හිත හරි බරයි... දුක් අහලම.. ඒ වෙනුවෙන් යමක් කර ගන්න බැරි උණාම...

    හිත හැදෙන්න කතා කරන එක.. ආදරේ කරන එක අපට ලේසියෙන්ම කරන්න පුළුවන්.. ඒකට ඕන වෙන්නෙ හොද හිත, කැපවීම...

    ඒත් පස්සෙදි හිතෙනවා ඒ විතරක් මදි අනේ මීට වඩා දෙයක් කරන්න බැරිද කියල... තැලිසීමියා රෝගියෙක් මට මුණ ගැහිලම නෑ නංගි... මේ විස්තරය දැක්කමත් හරි දුකක් හිතුණා... ඔයා වගේ සංවේදී වෛද්‍යවරු ඉන්නම ඕන මේ මිනිසුන්ගෙ ලෙඩට විතරක් නෙවෙයි හිතටත් සුවය දෙන්න....

    ReplyDelete
    Replies
    1. මටත් තරු අක්කේ මුලදි හිතුනේ.. මගේ ප්‍රශ්ණ තමයි ප්‍රශ්ණ, ඊට වඩා ප්‍රශ්ණයක් කොහෙද කියලා. ඒත් මේ රෝගීන් අතර ඉන්නකොට, එයාලගේ ජීවිත සටන දකිද්දී... අපිට ඇත්තේ මොන තරම් විහිළු සහගත ප්‍රශ්ණයක්ද කියලා හිතුනා.. මේ අය ඒ තරම් ශක්තිමත්. සංවේදී වෙන එකත් එක වෙලාවකට් කර්මයක් අක්කේ...

      Delete
  4. අනුන්ගේ දුකේදි එය තමන්ගේ හදවතට බර කරගෙන විඳින්න හැකිවීම උසස් මනුස්ස ගතියක්. ඒත් ඒක ඒ වගේම ජීවිතයට බරක්.. මගේම උන බරපතල විසඳුමක් නැති ප්‍රශ්නයක් තිබුණත් අනුන්ගේ දුක්ද මගේ කර ගැනීම මගෙත් උපන් ගතියක් ඒත් මම බුදු දහම අනුව දැන් සිතනවා, කරුණාව මයිත්‍රිය දැක්වීමත් දුක දැනීමත් හැකි අයුරින් පිහිට වීමත් කලම බුදු දහමින් සිත සනසාගන්න මම පුරුදු උණා.. සිඳුගෙ පෝස්ට් එකෙත් මම මේක ලිවුවා. .. ඔය හිත හදාගන්න ඕනෙ ඉක්මනට බුදු දහම අනුව ජීවිතේ ගැන හිතන්න. සියලු දේම අනිත්‍යයි.. වේදනාවල් තුලින් ජීවිතය සැබැ ලෙසින් දකින්න .. වරක් එක් රහතන්වහන්සේ නමක් (හසිත නම්නමත් කියයි) පිඩුසිඟා වඩිනකොට එක පෙරේතියක් ගහක මුලක් පිරිනමනව. ඒ මුල අතට ගත්තාම අර හාමුදුරුවන්ට පෙනෙන්නෙ තමන් වටේට ඉන්න විශාල සංඛ්‍යාවක් ප්‍රේතයෝ.. හාමුදුරුවන්ට අඩියක් තියන්න බෑ කෙනෙකුගෙ ඇ‍ඟේ නොවැදී.. නොපාගා. බුදු හාමුදුරුවෝ ඒක දෙකලා අර හිමියන්ට මුල විසි කරන්න කියනව. ඇයි ඒ කියල හිතන්න...

    ReplyDelete
    Replies
    1. බුදු දහමින් තමයි මමත් හිත සනසගත්තේ අයියා.... බුදු හාමුදුරුවෝ ඒ මුල විසි කරන්න කීවේ, ඒ තරම් ප්‍රේතයන් දැක් දැක ඔවුන් නොපෑගී වඩින්න බැරි නිසා නේද ? ඒ වගේමයි අපි දකින විඳින දුක් කන්ද, මේ සියල්ලට විසඳුම් ගෙනෙන්න අපිට බෑ කියන එකත් මම හොඳාකාරවම දන්නවා. ස්තූතියි අයියා ඒ පෙන්වා දුන්න දහම් කරුණ අගෙයි

      Delete
  5. හරිම සංවේදී දේවල් ඔබට අත්දකින්න වෙන්නේ . මනුස්ස ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක් .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි... ඇත්තටම එය පුදුමාකාරයි...

      Delete
  6. බහුතරයක් මිනිස්සු, තමන් විඳින්නෙ දුක් බවවත් නොදැන දුක් විඳිද්දි, අවබෝධයෙන් ජිවත් වෙන රෝගීන් කොච්චර ඉන්නවද? ඒත් තමන්ගෙ බයවත් වචනෙට පෙරළගන්න බැරි අයත් කොයිතරම් මේ අතරෙ ඉන්නවද? එහෙම අය වෙනුවෙන් කාලය මිඩංගු කරන ඔබට පින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලිනි අක්කා, අනුන්ගේ හිත හිතක් කියලා නොසීතන, අනුන්ගේ දුක දුකක් කියලා නොසිතන දහක් දෙනා අතරේ, ඔබ මම ඒ දුක දකින්නත් විඳින්නත් ඒකට සහනයක් සලසන්නත් හැකි තැනක ඉන්නවා, ඒ ටික ඇත්තටම භාඟ්‍යයක්, නැත්නම් අපිට වෙන්නෙත් අනිත් ගොඩට එකතු වෙන්න. අක්කා.... ! යළි ආ එකට ගොඩක් සතුටුයි. ඔබේ කමෙන්ටුවක් නැතිව හිත ටිකක් විතර කරදරත් උනා, ඇයි ඒ කියලා. පෝස්ටුවක් දැක්කේ නැතිව නිතර බ්ලොග් එක බලමින් සිටියා.මේ දෙසට් නැවත ඔබ ආ එකට සතුටුයි

      Delete
  7. සටහන යටින්ම තියෙන කොටස දැක්කාම හිතට ආවේ කියාගන්ට බැරි අන්දමේ හැඟීමක්. ඔයාගේ සතුට, වේදනාව, කරදර, හැමදෙයක්ම අපි එක්ක බෙදාගන්ට. අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා. මේ කියන්නේ ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි, හැමදාම මේ දුක බෙදා ගන්න එකට ගොඩක් ස්තූතියි. මේ ලියන දුක් ගැනවිලි උනත් කාගෙවත් ඇහැකට යොමු නොවුන විට කොයි තරම් නම් දුකක් ද ?

      Delete
  8. මොනවා කරන්ඩද අක්කේ.දැන්නං තැලසීමියා තියෙන ළමයි හැදෙනවා අඩුයිනේ.ඔය කුරුණෑගල පැත්තේ අයට නොමිලේ රෝග වාහකයෙක්ද කියලා බලාගන්ඩත් පුළුවන්නේ.ඔය වගේ උපතින් එන ලෙඩ අරං එන මිනිස්සුන්ට අනුකම්පා කරනවා ඇර වෙන මොනවා කරන්ඩද?

    ReplyDelete
    Replies
    1. මල්ලී,දැන්නම් ටිකක් විතර අඩුවෙලා තියෙනවා, ඒත් හැදුනු ළමයි ජීවත් කරවන එක මොන තරම් ලොකු කර්තව්‍යයක්ද ? ඒක ළමයි වගේම දෙමාපියනුත් ගොඩක් විදවන විඳින තත්වයක්. සාමාන්‍යයෙන් කායික රෝග වාට්ටුවල මේ රෝගීන් හමුවෙන්නෙ කලාතුරකින්, ඒත් ශීක්ෂණ රෝහල් වල නම් මේ තත්වය වෙනස්. මටත් හරියටම තේරුණේ මම මේ වාට්ටුවක සේවය කරන්න ලැබුන කාලයේ....මල්ලිටත්, ස්ප්ලීන් එකක් පැල්පේට් කරන්න හම්බුනාම මතක් වෙයි මේ ලිපිය දවසක. කුරුණෑගල විතරක් නෙමෙයි... දැනට උතුරු කොළඹ රෝහලෙත් රිජ් වේ ආර්‍යා රෝහලෙත්, ඒවගේම අනුරාධපුරයෙත් මේ ගැන නොමිලේම බලනවා කියලයි ආරංචි. HPLC ලැබ් පහසුකම් තියෙනවා.

      Delete
  9. තැලසීමියා රෝගීන් සමග සබැඳුණු ඔබේ පෝස්ටුව ඉතාම සංවේදීයි....එවන් අත්දැකීමක් නොවුනද...මා ප්‍රතිකාර කරන ශාරීරික ආබාධිත වූ රෝගීන් සම්බන්ධව ද මේ සියලුම අදහස් ඒක සෙයින්ම ගැලපෙන බව මම තරයේම විශ්වාශ කරනවා...රෝගීන් වුවත්...ඒ හැම දෙනාම අප වගේම හැගීම් දැනෙනා වූ මිනිසුන්

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඔබටත් මේ දුක්කදායී තත්වය එක සේ දැනෙන්න විඳින්න හැකිවූ කෙනෙක් කියා. ඇත්තටම ඔව් ඔවුන්ගේ රෝග තත්වය ගැන මීට වඩා මනුෂ්‍යයන් ලෙස සිතන්න ඕනේ කළු සහ සුදු... මෙහි ආ එකට කමෙන්ට් කරාට ස්තූතියි. ඔබේ බ්ලොග් පිටුවත් කියවන්න save කරගත්තා..

      Delete
  10. මම දවසක් රුපවාහිනී වැඩසටහනක දැක්ක ඔය තැලිසීමියා රෝගය වැළදුන දරුවෙක් කතා කරනවා ..ඒ ළමයා අඩ අඬා තමයි කතාකලේ ,"මට ඉස්කෝලේ යන්න බෑ ..මාව කොන් කරනවා ...ලේ දෙන එකා කියනවා" කියලා තව ගොඩක් විස්තර කියුවා ..ඒක බොහොම සංවේදී සටහනක් උනා ...ඇත්තටම කනගාටුවක් දැනෙනවා මේ රෝගීන් ගැන !

    ReplyDelete
  11. හොඳ ලිපියක් දොස්තර නෝනා,
    අපෙ කෙල්ලෙකුටත් පොසිටිව් කැරියර් එකක් ආවා,
    මොනවා කරන්න්නද.
    අනික් එක මම නම් හිතන්නේ තවත් හොඳ දොස්තරලා ගොඩක් ඇති රටේ, ඒත් නරක අයත් ඉන්නවා,
    එහෙම වුනාට මම නම් ලංකාවේ දොස්තරලා කරන වැඩ කොටස අගය කරනවා.
    උදා: මහාචාර්ය නිමල් සේනානායක, සැරයි තමා, ඒත් ඇති දක්ෂ දොස්තර කෙනෙක්, කොච්චර ඉහලට ගියත් දේශපාලකයන්ට කඩේ නොගියපු කෙනෙක්, ඒත් ටිකක් සැර නිසා මිනිස්සුන්ට නරක දොස්තර කෙනෙක් විදිහට පෙනෙන්ට ඉඩ තියනවා.-

    ReplyDelete
    Replies
    1. නිමල් සේනානායක මහාචාර්යතුමා මගෙත් ගුරුවරයෙක්. ඔහුට පුදුම හැකියාවක් තියෙනවා ලෙඩෙක් දුටු පමණින් රෝග විනිශ්චයකට එන්න. අර spot diagnosis කියන්නේ. ඒනිසාම වෙන්න ඇති එතුමා සාමාන්‍යයෙන් ලෙඩ්ඩු එක්ක එතරම් වෙලා කතා කරන්නේ නෑ. අවශ්‍යම දෙයක් තමා අහන්නේ. ඒ නිසා වෙන්න ඇති සමහර මිනිස්සු හිතන්නේ "අපෝ ඒ දොස්තර මූන බලලා කතා කරන්නේවත් නෑ, ලෙඩේ හරියට අහගත්තෙත් නෑ, දකිනකොට බෙහෙත ලියලා ඉවරයි" ආදී දේවල් (මේවා මට ලෙඩ්ඩුම කියපුවා). නමුත් ඔහු සුපිරිම වෛද්‍යවරයෙක්. එපමණක් නෙවි හොඳ කලාකරුවෙක්. පීඨයේ හැම කලා වැඩකටම උපරිමෙන් සහය දුන්නා. එතුමා රචිත ගීත,චිත්‍රපට,ටෙලිනාට්‍ය, ගණනාවක් තියෙනවා. ඇල්ල ලඟ වලව්ව,සුභ අනාගතයක්, මායා මන්දිර, සංක්‍රාන්ති වගේ ජනප්‍රිය නිර්මාණ ඔහුගේ දායකත්වයෙන් තැනුන ඒවා බව බොහෝ අය අදත් දන්නේ නෑ.

      Delete
    2. ඔව් ඒක ඇත්ත, අපිට වුනත් ගියපු ගමන බෙහෙත් දුන්නොත් හිතෙන්නේ වෙන දෙයක්,
      ඒත් ඉතින් දොස්තරට අපිව දැක්ක ගමන්ම ලෙඩේ ප්‍රත්‍යක්ෂව විනිශ්චය කරන්න පුළුවන් නම් මොනවා කරන්නද?
      ඔව් මමත් ඉස්සර හිතුවේ නිමල් සේනානායක කියන්නේ කලා පීඨයේ මහාචාර්යවරයෙක් කියල,
      පස්සේ තමා දන්නේ එතුමා දොස්තර කෙනෙක් කියලා,
      අලුතින් සිංදු වගයක් කරලා තියනවා සර් හොයල බලන්න.

      Delete
  12. ඇත්තටම සංවේදී කතාවක් අක්කේ. ළමාරෝග වාට්ටුවල ඉන්න කාලේ තැල් දරුවන් අනන්තවත් දැකලා තිබුණත් මේ වගේ තරුණ වයසේ අය එතරම් හමුවෙලා නෑ. හය හතර නොතේරෙන පොඩිඑවුන්ට නම් ලෙඩේ ගණනක් නොවුනට ඒකෙ බලපෑම දරුණුවටම දැනෙන්නේ නව යොවුන්වියට එළඹෙන විට තමා. දැන්වත් මිනිස්සු විවාහ වෙන්න කලින් පොරොන්දම් වලට අමතරව රුධිර පොරොන්දමත් බලන්න හුරු වෙනවා නම් කොතරම් හොඳද?

    ReplyDelete
  13. පොඩි විවේකයක් ලැබුනා. අක්කගෙ ලිපි වලින් ගොඩක් සංවේදි විදිහට ලියවුනු ලිපියක්. මම මගෙ ෆේස්බුක් පිටුවටත් දැම්මා. මේ වගේ ලිපි සමාජයට යන්න ඕනෙ. එතකොටයි ඇත්ත මොකක්ද කියන එක වැඩි දෙනෙක්ට තෙරුම් ග්න්න පුලුවන් වෙන්නෙ.

    ReplyDelete
  14. තරැ අරණට ගොඩ උන ‘අනිත් කොණ‘ කවුද කියල හොයාගෙන යන විටයි පෙනුනේ එසේ මෙසේ කෙනෙකු නොවන වග. අහන්නත් සතුටුයි වෛද්යතවරයෙකු බ්ලොග් සටහන් අතර සිටීම. “මම මැරුණම මට තනියම ඉන්න වෙයිද ?“ මට කියවන්න ලැබුණ මුල්ම පෝස්ට්ටුව. මන්ද මම බ්ලොග් අතරට නවකයෙක් නිසා. සත්තකින්ම ඔබ වැනි මානව හිතවාදී වෛද්යටවරැ අපේ රටට සම්පතක්. ඔයාගේ අනාගතය සර්වප්රෙකාරයෙන් සාර්ථක වේවා! කියලා පතනවා.

    ReplyDelete
  15. තැලසිමියා රෝගය ගැන මටත් අත්දැකීමක් තියෙනවා. මගේ හොඳම යාලුවෙකුත් ඉන් මිය ගියා.අපේ ජීවිතය නිශ්පලයි කියා හිතෙනවා ඒව දැක්කම. ඔබේ සංවේදී කම රෝගීන්ට ලොකු වාසනාවක්.

    ReplyDelete
  16. කෝ දරුවෝ මොකද අලුතින් නොලිවුවෙ ? කරදරයක්වත්ද ?

    ReplyDelete
  17. අදමයි ගොඩ වැදුනේ අනිත් කොනට... නියමයි. දිගටම ලියන්න!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. නැවතත් එන්න...

      Delete
  18. මම ඔබට හදවතින්ම සුබපතනව. මට ගොඩාක් දේවල් දැනගන්න තියනව. මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න. නිදහස් වේලාවක.

    ReplyDelete
  19. මම දන්න කෙනෙක් කනෙක්ටවිටි ටිෂු ඩිසීසස් කියන රෝගයෙන් පෙලෙනවා. මේ ලෙඩේ හැදුනොත් මොකද වෙන්නේ.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !