Thursday, April 18, 2013

කැඩුනු වෙද නළාව සහ හැදුනු හිත


කොළඹ 7 ධර්මපාල මාවත දිගේ ගිණි අව්වේ ඇවිදින්න වුනා...ගත පුරා දහඩිය බේරෙනකොට මට මතක් වුනේ, මෙච්චර ඉගෙන ගත්තු අපි සොච්චම් පඩියක් අරගෙන සේවය කරද්දී, ඉගෙන නොගත්තු අය රටට සේවය කරන රිසියෙන් ඉන්ටර් කූලර් වල යන හැටි ගැනයි. 

අවුරුදු 7 කට පස්සෙ මගෙ වෙද නලාව කැඩුනා. ඒක හොඳ ලිට්මන් එකක්. මොන තරම් පරිස්සමෙන් පාවිච්චි කරාද කියලා දන්නේ මම. (ඒක අරන් දුන්නේ මගේ පියා. එතකොට මම තුන් වෙනි අවුරුද්දේ ඉගෙන ගනිමින් හිටියේ)  

ඉතින් අපේ ස්කෑන් යන්ත්‍රය තියෙන කාමරයේ පොඩි මේසයේ කොණක තියපු වෙද නලාව බිම වැටිලා බෙල් එක කොටසේ රිම් එක ගැලවිලා ගියහම හිතුනේ... ඒකත් එහෙම උනා නේද ? කියලා. කොහොමත් සියලු සංස්කාරයෝ නැසෙන සුළු උනත් ස්ටෙත් එකක් නැතුව වැඩ කරන්න පුළුවන් කමක් නෑ. ක්ලිනික් දවසට අපි හරි අමාරුවක වැටෙන්නේ. මොකද හතර පස් දෙනෙක් ම, එන්නේ ස්ටෙත් එක නැතිව . ඒකත් කමක් නෑ ගෙදර ආවම , අනේ පුතේ ප්‍රෙෂර් බලන්න කියලා අහල පහල ඇන්ටිලා අන්කල්ලා එනකොට දැන් මාස තුන හතරක්ම කීවේ නලාව කැඩිලා කියලා. අන්තිමට මම හිතුවා දැන් නම් නලාව හදා ගන්නම ඕනේ කියලා. කොහොම හරි , කොළඹ රටේ වාහනයක් එළවලා නැති මට.. සිද්ධ වෙනවා බස් එකේ යන්න ( අනිත් කොණේ මට තිබුනේ බයිසිකලයක් නේ).

අපේ ගෙදර අයට මම කොළඹ තනියම ඇවිදීම ගැන එතරම් මනාපයක් තිබුනේ නෑ. ඒත් සමහරු කියන්නේ... අච්චර අර දුර ඉන්නත් පුළුවන් තනියම , එන්නත් පුළුවන් තනියම. මේ ටවුමට ගිහින් එන ටිකට මොකද ඔච්චර බය කියලයි.

කොහොම හරි කොල්ලුපිටියේ පුද්ගලික රෝහලක ලෙඩින් සිටි අක්කගෙ බබාවත් බලාගෙන, එළියට බැස්සම තමයි මට තේරුණේ ඒක කොයි තරම් අමාරුද කියලා.

ඔන්න මමත් නැග්ගා බස් එකක... මට යන්න තිබුනේ ධර්මපාල මාවතට ටවුන් හෝල් එක කිට්ටුවට එනකම් ෆාමසි තුන හතරක් චෙක් කරන්න වෙන නිසා, බෙල් එක කොටසේ කැඩුනු කොටස් ටික විතරක් ගන්න. මේක ටිකක් විශේෂයි මොකද, මේ මගේ පළමු ස්ටෙතසය. මෙය ලැබෙනකම් මම පාවිච්චි කලේ ලාභ බොහොම ප්රාතමික වෙද නළාවක්. දැන් ඉතින් අව්වයි කියලා නොගිහින් ඉන්න යෑ.

බස් යන පාරවල් වෙනස් කරපු බව වැටහුනේ, එක පාරක් නැගපු බස් එක, ටවුන්හෝල් වෙනුවට බම්බලපිටිය පැත්තට හැරෙව්වමයි, අනිත් බස් එක ටවුන් හෝල් යන්නේ නැත නෙළුම් පොකුණ ළඟින්නම් බස්සවන්නම් කියූවමයි. වැඩි හොඳට, පයින් යන්නම් කියලා, මහජන පුස්තකාලය ළගින් බැහැ ගත්තා. ඉස්සරනම් මහජන පුස්තකාලය මට ලෝකයම වගෙයි. ඒ කාලේ බොහොම කලබගෑනි පිරුණු පරිසරයක ජීවත් වුනු මට නිස්කලංකව පාඩම් කරගන්න උපකාරී වුනේ මෙහි තිබෙන පාඩම් ශාලාවයි. තනි තනිව කොටු කරලා තිබෙන මේසෙකට වෙලා බොහොම නිවි සැනසිල්ලේ පාඩම් වැඩ කරගන්න පුළුවන් කම තිබුනා. ඒ කාලේ මාසෙකටම එහි යන්න ප්‍රවේශ පත්‍රය වුනේ රුපියල් 10 යි. අපිට දැන් කාලේ දරුවන්ට තරම් මහා ලොකු හීන ගොඩක් හෝ අරමුණු ගොඩක් තිබ්බේ නෑ. ඉස්සෙල්ලම සා පෙල, ඊට පස්සෙ උසස් පෙළ, දැන්නම් අර විභාග මේ විභාග , නැටුම් පන්ති, මියුසික් පන්ති ලන්ඩන් එක්සෑම් කියලා කොයිතරම් නම් දේවල් ගොඩක් ඇද්ද.

ඒ මතකයන් එක්ක කොහොම හරි ටවුන් හෝල් ආසන්නයේ වෛද්‍ය උපකරණ විකුණන කඩයට ගිහින් වෙද නළාවේ කැඩුනු කොටස් මිලදී ගත්තා. ඒ අයටත් පුදුමයි මෙච්චර කාලයක් වෙද නළාව පැවැතීම ගැන. හැබැයි පාටනම් වෙනස් වෙලා. කඩේ හිටපු ගෑණු ළමයා කිව්වේ " මෙච්චර කාලයක් මේක පරිස්සම් වුන එක නම් වාසනාවක්" කියලයි.

වාසනාවක් තමයි ! රට විනාස කරලා උපයාගන්න මිලියන ගණනක් මුදල් හෝ සැප පහසු යාන වාහන නොතිබුනාට... නොදන්නා කෙනෙකුගේ ජීවිතය තමන්ගේ වගේ හිතලා ක්‍රියාකරලා, වෙහෙසිලා හම්බවෙන සොච්චමේ අගය මට වැටහුනා.

වෙහෙසකර දවසක අවසානයේ තමන්ගේ හර්ද සාක්ෂිය එක්ක ගණුදෙනු කරද්දී තමන් ගැන අභිමානයක් , සතුටක් හිතට දැනෙනවානම් ඒකම තමයි උපයා ගත්තු හොඳම දේ කියලා මට වැටහුනා. ඒකත් කොයි තරම් වාසනාවක්ද ?

16 comments:

  1. lassana, hithata wadinaliyawillak.

    ReplyDelete
  2. ඔය කැඩුන නළාව මිනිස්සු කීදෙනෙකුගෙ හදවත්වල නාදය අහන්න ඇත්ද ? ඒත් ඒ මිනිස්සු ඔක්කොම ඔයාගෙ හදවත දැක්කද ?රාජ්‍ය සේවයේ කැපවීමෙන් වැඩකල කාටත් අන්තිමට ඉතිරිවෙන්නෙ තමුන් ගැන ඇති අභිමානය විතරයි.. හුඟක් කැපවෙලා වැඩ කරන අය අන්තිමට රට හැර යන්නේ ඔන්න ඔය විදිහට කලකිරීම හිතට එබෙන්න ගත්තම.. දශක ගනනක සෙවයෙන් පසු මමත් එහෙම ගිය කෙනෙක්.. මේ තත්වෙ කවදා වෙනස් වෙයිද අපේ රටේ ?

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම් මේ ගැන මට තියෙන්නේ වෙන අදහසක් ..
    මම ඒක නොකියා ඉන්න තීරණය කළා , නුහුරට යන්න
    පුළුවන් නිසා ...

    ReplyDelete
  4. වෙද නලාව හොඳ හදවතක් සහ ඔලුවක් තියෙන ඔබ වගේ කෙනෙක්ගේ අතට ගියහම දහසක් හදවත් සුවපත් වෙනවා .

    ඉස්සර ඉඳන්ම කොළඹ පාරවල් ඇස පියාගෙන වුනත් මතක් කරගන්න පුළුවන්කම තිබුණ . . දැන් බස් යන විදිහත් ටිකක් වෙනස් . විශේෂයෙන් ටවුන් හෝල් හරියේ පුස්තකාලය ඉස්සරහින් ගිය බස් ලොකු රවුමක් අරන් රතු කුරුසේ ගාවින් ආයේ පාරට දාන්නේ .

    ඉගෙන ගත්තේ නැති කියන්නේ දේශපාලකයෝ සහ ඒගොල්ලන්ගේ පිරිවර තමයි . සමහර විට ඉහලට ඉගෙන නොගෙන තමන්ගේ ව්‍යාපාරයක් කරලා දියුණු වුන කෙනෙක් වාහන ගත්තට අපට මුකුත් කියන්න බැහැනේ .

    දොස්තර කෙනෙක්ට ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරන් ජිවත් වෙන්න ඒ කියන්නේ අඩුගානේ මධ්‍යම පන්ති ජිවන රටාවකට අපේ රටේ ඉඩකඩ තියෙන බවයි මම අහපු දැකපු දේ වලින් සිතුනේ . දැන් තත්වය වෙනස් වෙලාද .

    ReplyDelete
  5. කොළඹ පාරවල් ගැන නම් මම මොනාවත් දන්නේ නෑ ... අවුරුදු 3කට කලින් කොළඹ යන එක නවත්තපු නිසා.. දැන් නං ගියොත් අතරමං වෙනවාමයි...

    ඇත්තටම මාත් කල්පනා කළේ ඉගෙන ගත්ත මිනිස්සු දුෂ්කර පළාත්වල දුක් විඳගෙන, ඒත් හිතේ තෘප්තියෙන් මහන්සි වෙලා වැඩ කරන එකයි කුඩුකාරයොයි, මිනිමරුවොයි, පාතාලයොයි කොළඹට වෙලා රජ සැප විඳින හැටියි ගැන තමයි.... ඕකේ වෙනස මං හිතන්නේ අරමුණකට මහන්සියෙන් වැඩ කරපු මනුස්සසා දන්නවා ලබාගන්න දේ වටිනාකම.. අරුන්ට අනුන්ගෙන් හොරකම් කරපුවාම කාලා අගයක් තියෙයියැ...

    ReplyDelete
  6. දැන් අනිත් කොණ ඉන්නේ අනිත් කොණේ නෙවේද? අලුත් වෙද නලාවක් ගත්තොත් මොකද වෙන්නේ? එතකොට තව කාලයක් ඒක පාවිච්චි කරන්ට පුලුවනිනේ.

    ReplyDelete
  7. මම බැලුවා මේ කතාව මම ආයෙම කියවන්නෙ කොහොමද කියලා. මට අමතක වුනානේ මුල් වතාවට කියෙව්වේ ඉංග්‍රීසියෙන් වග. මම ඒ පාර කියවනකොටත් මට හිතුනා මේ අර මුලින්ම කියවපු ස්ටෙත් එකක් අරගෙන රෝහලට ආ තරුණිය ගැන කියවනවද කියලා.

    ඉතින් දැන් කොළඹ ජීවිතයට ආයෙම හැඩ ගැහෙනවා ඇති මේ දවස් වල නේද? මුදල් පසු පසම හඹා යාම ඔය පරිසරයේ අධික බව නම් දැනටමත් අනිත් කොණට තේරිලා ඇති. සමහරවිට ඔයා alienate වෙන්නත් ඉඩ තියෙනවා ඔතන. බලාගෙන.

    ReplyDelete
  8. මොනව කියන්නද ?

    ReplyDelete
  9. උගත්කමත් හෑල්ලු වෙලා... හැකියාවත් හෑල්ලු වෙලා... මිනිස්සු ලංකාව දාල යන්න පෙරුම් පුරන එක ගැන නම් පුදුම වෙන්න දෙයක් නැහැ....
    කාලෙකින් ඔයාගෙ ලිපියක් බැලුවෙ... අළුත් අවුරුද්ද සුබ වේවා කියල ප්රාලර්ථනා කරනවා නංගි...

    ReplyDelete
  10. උගත්කමත් හෑල්ලු වෙලා... හැකියාවත් හෑල්ලු වෙලා... මිනිස්සු ලංකාව දාල යන්න පෙරුම් පුරන එක ගැන නම් පුදුම වෙන්න දෙයක් නැහැ....
    කාලෙකින් ඔයාගෙ ලිපියක් බැලුවෙ... අළුත් අවුරුද්ද සුබ වේවා කියල ප්රාලර්ථනා කරනවා නංගි...

    ReplyDelete
  11. සල්ලියි මනුස්සකමයි දෙක එකට යනවා හරි අඩුයි අක්කේ..

    ReplyDelete
  12. මමත් තවම පාවිච්චි කරන්නේ දෙවන වසර විභාගේ පාස් වුනාම කෙනෙක්ගෙන් මට තෑග්ගකට ලැබුණු එක. තෑග්ගක් නිසාම පරිස්සමින් පාවිච්චි කළේ. තවම හොඳට වැඩ. අක්කා කියපු දේවල් වලට ඔක්කෝටම එකඟයි.අවසානයේ ඉතුරු වෙන්නේ අර කිව්ව ආත්මතෘප්තිය විතරයි. ඒත් වෘත්තීය ගැන සමාජයේ සමහර අයගේ ප්‍රතිචාර නිසා ඉස්සරහට නිසා ඒ ටිකවත් ඉතුරු වෙයිද දන්නෑ

    ReplyDelete
  13. අක්කා කියන දේවල් මේ සමාජයේ හැමදෙනාටම දකින්න පුලුවන් නම් එයාලගේ හිතේ තියෙන ආකල්ප ගැන තව පාරක් හිතල බලයි.

    ReplyDelete
  14. අක්කා කියන දේවල් මේ සමාජයේ හැමදෙනාටම දකින්න පුලුවන් නම් එයාලගේ හිතේ තියෙන ආකල්ප ගැන තව පාරක් හිතල බලයි.

    ReplyDelete
  15. ජීවිතේට දැනෙන්න යමක් කරනවා හැර අපිට වෙන මොනවද ඉතුරු...?

    ReplyDelete
  16. ජීවිතේට දැනෙන්න අනුන් වෙනුවෙන් කල හැකි දේ කරනවා මිස අපිට මොනවද ඉතුරු...?

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !