මම රජයේ වෛද්යවරියක ලෙස වැඩ කරන්න ගත්තු කාලයේ සිට අපට තිබුණු ප්රධානම අභියෝගයක් තමයි stocks නැති වෙන හරි එහෙම නැත්තං පිටින් ගන්න ඖෂධ තුන්ඩු ලිවීම කියන කාරණේ.
ඖෂධ නිකුත් කරන ස්ථානයෙන් ඒ කියන්නේ හොස්පිටල් එකේ ෆාමසියකින් අපිට එවනවා out of stock drug list එකක් ඒ කියන්නේ ගබඩාවේ නැති ඖෂධවල නම් ලැයිස්තුව. ඒත් අපි අවශ්ය සියලු ඖෂධ ලිව්වම ඒ තුණ්ඩුවේම අපට ආපිට එවනවා o/s ගහලා පිටින් ලියන්න ඕනේ ඖෂධ. එතකොට අපි ඒ ඖෂධ පිටින් ගෙනෙන්න තුණ්ඩුවක් රෝගියාට දෙන්න ඕනේ.
වෛද්යවරු ඒ ඖෂධය ලියන්නේ generic name එකෙන් ඒ කියන්නේ සාමාන්ය නමින්, ඒවා රෝහලෙන් පිට ෆාමසිවලි තියෙන්නේ brand names වලින් ඒ කියන්නේ කොම්පැණි වලින් දාපු නම් වලින්. ඒ කොම්පැණි නම් වලින් බෙහෙත් ලියන්න ආචාර්ය ධර්ම අනුව සහ මට මතක විදිහට සේනක බිබිලේ ඖෂධ ප්රතිපත්තිය අනුව තහනම්. ( වැරදි නම් නිවැරදි කරන්න )
උතුර යුද්ධය ඉවර වුණ කාලේ එහෙ වැඩ කරද්දි අපිට තිබුන ලොකුම බාධකය තමයි අපි generic name එකෙන් ලියල දෙන, ඒ කියන්නේ ඖෂධයේ සාමාන්ය නමින් ලියල දෙන ඖෂධය ගන්න රෝගීන් හෝ ඔවුන්ගේ නෑයින් ෆාමසියකට ගිය විට ඒ ෆාමසි එකේ ඖෂධවේදියා "යම් කොම්පැනියක බ්රෑන්ඩ්" එකක් ඔවුන් වෙත දෙන එක. මිනිසුන් බොහෝ විට නැවත ඇවිත් කියනවා ඔවුන්ට ඒ ඖෂධය මිලදී ගන්න අපහසුයි මිල අධිකයි කියලා. මිනිසුන්ට දැනුම අඩු නිසා ඔවුන් දන්නේ නැහැ ඔවුන් වෙත දෙන්නේ මිල අධිකම එකක්ද තව මිල අඩු ඒවා තියෙනවාද කියන එක. ඒකෙම spc එකේ ඒ කියන්නේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් නිෂ්පාදනය වෙච්ච ඖෂධයක් ඉතා අඩු මිලට තියෙද්දි ඔවුන් වෙත දෙන්නේ පිටරටින් ආනයනික ඒ නමින්ම තියෙන ඖෂධ brand එකක් විය හැකියි.
මෙන්න මේ තත්ත්වය සමනය කරගන්න විදිහක් හොයන්නෙ කොහොමද ?
ෆාමසිකරුවාගේ / ඖෂධවේදියාගේ නිකුත් කිරීම ගණනය වෙනවා ද ?
බොහෝ වෙලාවට ඔවුන්ට අතේ තියෙන්නේ රුපියල් දෙසීයක් තුන්සීයක් නම් එහෙම මිල අධික brand වලින් ටැබ්ලට් දෙක තුනයි ගන්න පුළුවන්. ඔවුන් නැවතත් අප වෙත ඇවිත් කියනවා ටැබ්ලට් එකක් රුපියල් අසූවයි අපි කොහොමද දවස් පහකට මේක ගන්නෙ කියල. මේ උහතෝකෝටික ප්රශ්නය විසඳන්න අපට තිබුණේ එක විසඳුමයි. අපි ඔවුන්ට කියලා දෙනවා spc එකෙන් එම ඖෂධයම ඊට වඩා අඩු මුදලකට ලබාගන්න පුළුවන් බව. එතකොට අපි කියනවා ඔවුන්ට පිට ෆාමසියෙන් අඩුම මුදලට තියන එක ලබාගන්න කියලා.
මේ කතාව මගේ පස්සෙන් එන්න පොතෙන් මම සාකච්ජා කරලා තියෙනවා. සායනික සටහන් නොවේ පොතේත් තීරු ලිපියක්ම තියෙනවා "මේ බෙහෙත නැද්ද?" කියලා.
ඒ වගේම මිනිස්සු අතර තියෙනවා විශ්වාසයක් පිටරටින් ගෙන්නන බෙහෙත් හොඳයි කියලා.
ඒ කාලේ මේ ප්රශ්නෙ එක්ක නොසෑහෙන්න කලබල කරදර ඇතිවුණා. මේ මිනිසුන්ට ඔවුන්ගේ ආර්ථික තත්ත්වයට ගැලපෙන්න ඖෂධයක් ලබා ගන්න එක පුදුම අරගලයක්. සමහර විට අපි ඉන්ටර්න් වෛද්යවරු අපි අතරෙන් සල්ලි එකතුකරලා දුන්නා බෙහෙත් ගන්න.
රැස කොලම් එක ලියන කාලේ මම මේ ගැන පුවත්පත්වලට ලිව්වා මේ ප්රශ්නෙ ගැන අපි රජකාරි මට්ටමින් කතා කරා.
නමුත් මෑතක් වෙනකම් පිටින් ගේන්න ඖෂධයක් ලියල දෙන එක සාමාන්ය නමින් generic name එකෙන් ලියු විට ප්රශ්නයක් නොවෙනවා කියලා තමයි අපි විශ්වාස කළේ.
නමුත් ප්රශ්නය වෙන පැත්තකට යොමු වෙන බව මෑතක සිට පෙනෙනවා. තමන්ගේ ළබැඳියාවන් සහ සැබඳියාවන් ඇති තැන්වලට ඖෂධ කොම්පැණි වලට මිනිසුන් යොමු කරන එක හෝ ඒ තැන්වලින් දේවල් ලබාගන්න එක කොයි තරම් වැරදිද කියලා අපි මේ ප්රශ්නෙදි දැක්කා.
වෛද්ය ආචාර ධර්ම තුලින් අපට මේ දේවල් කියලා දෙනවා. මහාචාර්ය සේනක බිබිලේ නම් අසහාය වෛද්යවරයා තමන්ගේ රාජකාරි ජීවිතයම කැපකළේ මිනිසුන්ට සහනයක් ගෙන එන්න ඖෂධ මිල ගණන් පාලනය කරන්න. අපේ රටේ ඖෂධ ප්රතිපත්තිය බිහිවෙන්නේ එලෙසයි. රෝගී සත්කාරය කියන්නේ ඉතා උතුම් දෙයක් ලෙස අතීතයේ ඉඳන් සැලකුව නිසා, දෙවියන්ට පස්සේ මිනිස්සුන්ට ජීවිතය දෙන්න පවා පුළුවන් කෙනෙක් ලෙස ඇතැම් ආගම් ධර්මවලදී විශ්වාස කළ නිසා තමයි වෛද්යවරයා දේවත්වයෙන් සැලකුවේ. නමුත් අද පවතින චින්තනයේ වෙනස්කම් නිසා දේශපාලනික වෙනස්කම් නිසා සමාජය තුළ වෛද්යවරුන් කෙරෙහි නොයෙක් අවලාද අපහාස එකිනෙකා කෙරෙහි කියන්න කරන්න මිනිස්සු හරි ඉක්මනට පෙලඹෙනවා.
මේ ප්රශ්න දිගින් දිගටම ඇදෙනකොට මේකෙන් බැටකන්නේ මහජනයා.
දැන් මං ඉන්න රටේ බෙහෙත් දෙන හැටි කියන්නම්...
වෛද්යවරයා සියල්ල ලියන්නේ පරිගණකයේ සිස්ටම් එකේ. එතකොට ඒ ලියන ඖෂධ නියම කරන තුණ්ඩුව හෙවත් prescription එක රටේ සියලුම ෆාමසි වලට access තියෙනවා. මේ රටේ හතු පිපෙන්නා වගේ ඕනේ ඕනේ ලෙස ෆාමසි පවත්වාගෙන යන්න බෑ. ඒ සඳහා අවසර ලත් පුද්ගලික ඖෂධ ජාල කිහිපයක් සහ ඒවායේ branches තියෙන්නේ. මෙන්න මේ ශාඛා ඇතැම්විට පවතින්නේ පුද්ගලික අයිතිය යටතේ ඒ කියන්නේ ඒ නගරයේ ඉන්න ඖෂධවේදීන්ගේ අයිතිය යට තේ.
මෙහෙ ඖෂධයක් නියම කළාම අපි ඒ රෝහලේ තියෙන ෆයමසියෙන් හරි ඕනෙම තැනක තියෙන එකට ගිහින් අපේ හැඳුනුම්පත් අංකය දුන්නම ඒ බෙහෙත අපට නිකුත් කරනවා. මෙහිදී සහන මිලකට මිසක් නොමිලේ දෙන්නේ දරුවන්ගේ සහ විශ්රාමිකයන්ගේ බෙහෙත් පමණයි. මිල ගණන් අධික බෙහෙත් රජයෙන් සහනයක් දෙනවා. රජයෙන් සහන මිලක් නියම කර තියෙනවා.
මේ එනිසා රෝගියාගේ අතට ලබා දෙන කඩදාසි හෝ ලියන තුන්ඩු නැති බැවින් එම බෙහෙත් තුන්ඩු නැවත අවබාවිතාව හෝ ෆාමසි අයියාගෙන් සෙමට බඩ දැවිල්ලට කියලා ඔහේ බෙහෙත් අර ගැනිල්ලක් නෑ.
එහෙම නියමයක් නැතිව සාමාන්යයෙන් බහුල සුළු අසනීප සඳහා ගන්න පුළුවන් බෙහෙත් බොහොමයක් මෙහෙත් තියෙනවා. ලංකාවේ වගේ antibiotics නම් මලාට ගන්න බෑ prescription එකක් නැතිව. මේවා මෙහෙම වෙනකොට පාරදෘශ්ය බව නිසා ඖෂධ අවභාවිතය වැළකෙනවා. එතකොට හිතුමතේට ඖෂධ නිකුත් කරන්න බෑ.
මට මතකයි මම උතුරුකොණේ මනෝවෛද්ය අංශයේ වැඩ කරද්දී, මානසික රෝග වලට දෙන ඖෂධ මත් වෙන්න ලබාගෙන තිබුණු තරුණ පිරිස් නිසා නගරයේ ඖෂධ සැල් පිරික්සා මෙහෙයුමක් පවා දියත් කළා. Prescription එකක් මගින් පමණක් ලබා ගත හැකි එවන් ඖෂධ පවා ගිනි ගණන් වලට තරුණයන්ට විකුණා තිබුණු බව ඇසුණා.
මේවා නවත්වන්න නම් මේ ජාලයේ සියලුම තැන් නිසි ලෙස කළමනාකරණය විය යුතුයි. වෛද්යවරයා ලියන තුණ්ඩුව විතරක් regulate කරලා වැඩක් නෑ. සියලුම ෆාමසි digital prescription එකකට යටත් වෙන විදිහට කළ යුතුයි.
මෙන්න මේ දේ පැහැදිලි කරන්නයි මෙච්චර ලීවේ !
මට හිතෙනවා මෙහිදී ම අපිට ලංකාවේ සෞඛ්ය සේවය හැටියට කරන්න පුළුවන් තවත් හොඳම විසඳුමක් තමයි digital දත්ත පෙන්වන පද්ධතියකින් සමන්විත ඖෂධ නිකුත් කිරීම් හෝ ගබඩා කිරීමේ ක්රමවේදයක් සකස් කිරීම. ඒක රජයේ රෝහල් වලටත් පහසුවක්. එතකොට ඒ නැති ඖෂධ යම් තැනක නොමැති නම් වෙන රෝහලකින් ඒවා අඩුවෙන් පාවිච්චි වනව නම් හෝ මාස කිහිපයකින් කල් ඉකුත්වෙනවානම් හෝ එවන් තැනකින් ගෙන්වා ඒ නැති ඖෂධ අඩුව පියවන්න පුළුවන්. ඔබ නොදන්නවා වුණා මේ හුවමාරු ක්රමය සාකච්ජා කර ක්රියාවට නැංවීම සිදු කළා පසුගිය අරගල සමයේ ඖෂධ හිඟ වෙද්දී. අපේ වෛද්ය සමූහ තුළ මේ වැඩේ කතා කෙරුනා.
මේ වගේ digital real time data පද්ධතියක්, එවකට බලපිටිය ලේ බැංකුවේ වැඩ කරපු වෛද්යවරයෙක් වෙන Dr. Pushpika de Silva විසින් හදලා ලේ බැංකු පද්ධතිය තුළ ස්ථාපිත කරලා ක්රියාත්මක කරා ඇත්තටම රියල් ටයිම් ඩේටා පෙන්නන්න ගත්තහම, අඩුව මග හරින්න වගේම නාස්තිය වලක්වාගන්න හැකියි. මොකද ඒ දේවල් කාර්යක්ෂමව පාවිච්චි කරන්න අවශ්ය දත්ත ලබාදෙනවා. එතකොට ඒ ක්රමයෙන් හදිසි අවස්ථා වලදී සූදානම් වීම සහ ඉදිරිය සඳහා ප්ලෑන් කරන එක උනත් හරියට කරන්න පුළුවන්. අවශ්ය ඖෂධ ඊළඟ අවුරුදු වලට ලබාගන්න දකින ලොකුම අවුලක් තමයි අපේ රටේ ෂධ පද්ධතිය ඖෂධ බෙදා හැරීම් ගබඩා මේ හැමදේම පාරදෘශ්ය ලෙස සකස් වෙලා නැති එක.
දැං තියනවද දන්නේ නැහැ. නමුත් අපි වැඩ කරපු කාලවල ඒවා තිබුණේ නෑ . මට මතකයි ඖෂධ ඉතාම අඩුවෙලා රටේ නැතිවෙලා පිටරට වලින් ආධාර ලෙස ඖෂධ ලැබෙන කාලයේදී මේ මෑතක සමහර ප්රාදේශීය ඉස්පිරිතාලවල පාවිච්චි නොවෙන බෙහෙත් තිබුණා. වෛද්යවරු තමන්ගේම පණිවුඩ ක්රමයක් හරහා සිස්ටම් එකකට කතාබහ කරගෙන ඒවා හුවමාරු කරා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් එහෙම හැමෝටම පෙනෙන සිස්ටම් එකක් තියෙනවනම්. බොහෝ ඉස්පිරිතාලවල අන්තර්ජාලය සහ පරිගණක පහසුකම් තියෙනවා. මට හිතෙන්නේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා.
ඉහත ලියවිල්ලේ වැරද්දක් තියෙනවානම් කාරුණිකව පෙන්වා දෙන්න.
වෛද්ය බෝධිනී සමරතුංග
No comments:
Post a Comment
ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !