"ඉතින් කොහොමද?
"සුවෙන්" යැයි පවසන
හීන් වෙන ඇස් සිනාවෙනයුරු දකිමින
"කෑම කාලා ආවාද ?
හොඳ කෑම වේලක් ගත්තාද ?"
සුපුරුදු ප්‍රශ්න එනෙන උන් විමසන
"ඔව් ඔව් දැන් පැයක් මං හොඳට කෑවා"
වචන හංගා කී කතා ගංගා
කුලී වැඩ රස්සා නැතිව ගෙවනා කාලේ
පෝෂණ ආහාර ???
මේ අහන්නේ මොනවා නොතේරේ
බෝසත් මිනිස් දෙව් මුහුණූ අතරේ
කතා දහසක් හංගන සිනා හඬ පැතිරේ
රබර් අත් වැසුමෙන් සැරසුණු ඇඟිලි තුඩගින්
නාඩි අල්ලා බලමි හද සර
ප්‍රෙශර් මීටර් ඔතමින්
රළු අත්ල කරගැට නෙතින් අමදිමි
"අද මහන්සිවෙන බර වැඩ නෑනේද ? දුර ගමන් යන්නෑනේද ?
ලේ දුන්නට පස්සෙ නිදහසේ ඉන්න ඕනේ" සුපුරුදු අවවාද ගොන්නකි..
"දුර ගමන් කොහේ යන්නද ,
කොරෝනානේ ආයෙත් ඉතින් වැඩ නෑනේ
රස්සා නැතුව දැන් කාලයක් නෝනේ
ප්‍රෙශර් එක නෑ නේද මේ නරක කාලේ ?"
සුසුම් නැගුනද මුව වැසුම් අස්සෙන්
කතා කරනා නෙත් දිහා බලමි...
"පීඩනය නෝමල්, ප්‍රශ්නයක් නෑ දැන්,
ලේ දෙන්න පුළුවන්" අස්වැසුම් ගෙනදෙයි
හද ගැස්ම පීඩනය මැන බලන එනමුත්
හිතේ පීඩන කන්ද අසු නොවෙයි කොහොමත් !
විටෙන් විට හිත දුකට තිරය වෙත එබෙමි...
රට පුරා රුධිර බිඳු පිරෙනයුරු බලමි...
නිමක් නැති බොහෝ දුක් මතකයට හරිමි
රටක පණ රකින මිනිසුන් නමට වඳිමී...
වෛද්‍ය බෝධිනී සමරතුංග
1/11/2020 ලේ බැංකු මතක පොත
බිඳෙන් බිඳ දුන් රුදිර ගංගා
ReplyDeleteගමින් ගම දිව විත් පැතිරිලා
මුවෙන් මුව සිනා කැන් රන්දා
පතුරයි සුවද මිනිසත් බව පෙන්වා
හ්ම්ම්...
ReplyDelete😔😔😔
පේන හිනාවක නොපෙනෙන කඳුළු කතා කොච්චරද
සොඳුරු කවි පෙළක් සැබෑ සිද්ධීන් ගැන
ReplyDeleteවිටෙන් විට හිත දුකට තිරය වෙත එබෙමි...
ReplyDeleteරට පුරා රුධිර බිඳු පිරෙනයුරු බලමි..ලේ බිංදු ඇඟ වටේම වගේම සිත වටෙත් කොච්චර දුර යනවද ?