ඔසප් සනීපාරක්ෂාව යනු කාන්තාවකගේ අයිතිවාසිකමකි.
Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Pages
Thursday, December 23, 2021
ඔසප් සනීපාරක්ෂාව
Wednesday, December 22, 2021
පළා කෑම
අප වසන ගම් පෙදෙසේ නිවසට අත් උදව්වට යන එන ස්ත්‍රියක් වේ. ගම ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ ඇය අතේ පණිවිඩ එවීමෙනි. මගෙන් අසා දැනගෙන එන්න යැයි දිනකට ප්‍රශ්න දෙක තුනක්වත් මට ලැබේ.
"නෝනා අර අපේ අර අහවල් කෙනාගේ දුවගෙ බබා දැන් මාසයක් විතර වෙනවා. මව්කිරි දෙන්නෙ නෑ පිටිකිරි දෙන්නෙ කියලා අහන් එන්න කීවා හොඳ පිටි වර්ගයක්" මම තුෂ්නිම්භූත වීමි. එදාවේල අමාරුවෙන් ගෙවා ගන්නා කුලී වැඩ කරන මේ මිනිසුන් ආර්ථික වශයෙන් සවි ශක්තිමත් නැත.
" මව්කිරි නොදෙන්නේ ඒ අම්මාගේ කිරි නැද්ද ?"
" අම්මට හොඳට කිරි තියෙනවා. ඒ බබා නිතරම කක්කා පොඩ්ඩ පොඩ්ඩ දමන නිසා නැන්දම්මා කීවලු ඒ අම්මට දියවැඩියාව නිසයි එහෙම වෙන්නේ එනිසා මව් කිරි දෙන්න හොඳ නෑ බබාට කියලා" මෙවැනි දෑ ඇසීම අපට අමුතු නැත. විවිධ වූ විශ්වාසයන්ගෙන් ගහන සමාජයක හිතකර මෙන්ම අහිතකර උපදෙස්ද මෙලෙස ඇසේ.
" ළදරුවන්ට කොහොමත් කක්කා පොඩ්ඩ පොඩ්ඩ යනවා. කහිද්දී, කිඹිහුම් යද්දී... එහෙම තමයි. ඒකෙන් ඒ අම්මට දියවැඩියාව තියෙනවා කියන්න බෑ"
" ආ එයාගේ නැන්දම්මා තමයි එහෙම කරන්න කියලා තියෙන්නේ"
" අම්මට දියවැඩියාව තිබුනත් කිරි දෙන්න ඕනේ දරුවට. දියවැඩියාව තිබුන අම්මලා උනත් දරුවට කිරි නොදී ඉන්න කියලා එහෙම කතාවක් කොහෙවත් නෑ" මම පැහැදිලි කළෙමි.
"ඒ අම්මට වයස කීයද ?"
"අවුරුදු 20ක් ඇති"
" අනේ තරුණ ළමයෙක්නේ... දියවැඩියාව බබා ලැබෙන්න ඉද්දී චෙක් කරනවා, දියවැඩියාව හැදෙන්න විවිද හේතු සාධක ගොඩක් තියෙනවා. ඒකට වෙනම පරීක්ෂණ තියෙනව. බබා නිතර කක්කා දානවා කියලා අම්මට දියවැඩියාව කියන්න බෑ, එහෙම කියලා අම්මගේ මව්කිරි නවත්වන්න කියලා නිර්නායක කොහේවත් නෑ" මම පැහැදිලි කළෙමි..
" ඇරත්, මාස 6ක් වෙනකම් අනිවාර් යයෙන් මව් කිරි පමණක් දෙන්න ඕනේ.. දරුවෙක්ට හොඳින් වැඩෙන්න එයාලගේ ප්‍රතිශක්තියට ලෙඩරෝග වලින් වැලකෙන්න මව්කිරි ඕනෑ." ඇයට පැහැදිලි කළෙමි
" ආ මං කියන්නම්.. අපරාදේ එයාලා පිටිකිරි දෙන්න හදනවා" කියමින් ඇය පණිවිඩය රැගෙන ගියාය.
ඒ මම ඇසූ බොහොම වෙනස් ජාතියේ කතාගොන්නෙන් එකකි.
කිරි පිටි සම්බන්දයෙන් අමුතු කතා ඇහෙන මේ කාලයේදී වෛද්‍යවරියක් සහ මවක් ලෙස මම ද මෙවැනි උපදෙස් මටද කියන්නට එන සමාජයක ජීවත්වන නිසා මව්වරුන් වෙත ඇති මෙවැනි බලපෑම් ගැන හොඳාකාරවම දනිමි.
අවුරුදු ගණනාවක් ළමා වාට්ටු වල සේවය කර ඇත්තෙමි. මව් කිරි ප්‍රවර්ධනය සහ ස්තාපනය පිළිබඳව උපදේශකයෙක් ලෙස වැඩමුළු වලට පවා සහභාගි වීමි. මව් කිරිදීමේ වැදගත්කම අවබෝද කර ගත්තෙමි.
දරුවෙක් වැඩෙද්දී මාස හයක සිට ඝණ ආහාරවලට හුරු පුරුදු කිරීම අදවන විට සියළු දෙනා පුරුද්දක් වශයෙන් කරති. අවුරුදු 1- 2 පමණ වන විට මව් කිරි දීම ද අත්‍යාවශ්‍ය නොවන බව ද දරුවාට අවශ්‍ය පෝෂණකොටස් ලැබෙන්නේ ඝණ ආහාරවලින් බවද ඉගෙන ඇත්තෙමි.
“බර වැඩි වෙන්න පිටි එකක්වත් ලියලා දෙන්න ඩොක්ටර්” යැයි සායනවලදී අපට අනන්තවත් මව්වරු ආයාචනා කරති. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් සහ මේදය බහුල ආහාරවේලකින් ලැබෙන පෝෂණයට සම කරන්නට කිරිපිටි වලින් නොහැකි බව අප ඔවුනට වටහා දෙන්නෙමු.
ඇමෙරිකාවේ වෙසෙන ජිම් ක්වික් යනු වේගයෙන් කියවීම, මතකය වැඩිදියුණු කිරීම සහ ප්රශස්ත මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විශේෂඥයෙකි ඔහු රටවල් 150 කට අධික සංඛ්‍යාවක සෑම වයස් කාණ්ඩයකම සහ සෑම වෘත්තියකම නියැලී සිටින්නන් සඳහා වේගවත් ඉගෙනීමේ ක්‍රම පිළිබඳ වැඩමුළු සහ පුහුණු කිරීම් සිදු කරයි. මෑතක ඔහු සිදු කරන ලද මතක ශක්තිය වැඩි කිරීම පිළිබඳ වැඩමුළුවකදී ඔහු පැවසුවේ, මොළයේ වර්ධනය සිදු කරන මොළයට හිතකර කෑම වර්ග පිළිබඳවය. ගොටු කොළ, අලිගැට පේර, බ්රොක්කලි, පොල් තෙල්, බිත්තර, සැමන් මාළු, කහ, වෝල් නට් සහ ඩාක් චොකලට් මේ ලැයිස්තුවේ අන්තර්ගතය. ගොටු කොළ රිසි සේ වැවෙන, පොල් තෙල්ද ඇති මේ රටේ මව්වරුන් මේවා ගැන දැනුවත් නැත. සත්ත්ව හෝ ශාක මේදය අඩංගුමාජරින් හෝ මේද තැවරුම් බටර් යැයි කියා භාවිතා කරති. දරුවන් හට බර වැඩි කර ගන්නයැයි නොයෙක් තැන ඇසෙන දෑ ගෙනැවිත් ගිල්ලති.
දරුවෙකුගේ වර්ධනය සිදුවෙන මූලික වයස්කාණ්ඩ වලදී නිසි පෝෂණයක් සහිත කෑම වර්ග ලබා දිය යුතුය. ප්‍රෝටීන බහුල ආහාර මෙන්ම පළාවර්ගද බොහෝ සෙයින් අප ආහාරවට්ටෝරු වලින් ඇත්වී ඇති බව මට වැටහේ.
ගෙවත්තේ පෝච්චියක ගොටු කොළ හෝ නිවිති වවාගත හැකි බව මා ප්‍රායෝගිකව දනිමි. දිනපතා කොළ දහයක් සෝදා ලියා දරුවාගේ කෑමවේලට එකතුකළ හැක. දරුවන් යනු පුහුණු කරගත හැකි පිරිසකි. දිනපතා මෙවැනි පෝෂණයක් සහිත ආහාරවේලක් දරුවාට දීමෙන් ඇත්තටම ඔවුන් ඒ දේට හුරුවන බව මම දන්නේ මගේ දරුවා සම්බන්දයෙන් මට ඇති අත්දැකීමෙනි. අමු තක්කාලි, රතු ලූණු සහ කොළ පැහැති පළා වර්ග කොයි තරම් හිතකර දැයි බොහෝ බටහිර රටවල ලිපි මගින් සාකච්ජා කෙරේ. මුරුංගා කොළ මිටක්, කතුරු මුරුංගා කොළ මිටක්, ගොටු කොළ මිටක් එකතුකරගැනීම තුළින් අත්වන වාසි, නොයෙක් පෝෂණ ඇතැයි කියමින් ගිල්ලන පෝෂණ පැකට් හෝ ද්‍රාවණ තුළින් ලබා ගැනීම අපහසුය.
සායනික සටහන් නොවේ- වෛද්‍ය බෝධිනී සමරතුංග
From newspaper column
Wednesday, December 15, 2021
ත්‍රීපෝෂ පැකට් දෙක
ත්‍රී පෝෂ පැකට් දෙකකට බුද්ධත්වය පැතීම....
this was written in 2014 ....
රජයේ මාතෘ සායන වලදී නොමිලේ දෙන අර ත්‍රීපෝෂ පැකට් දෙක මොන තරම් නම් වටිනවාද කියලා තේරුම් ගියේ මට මෑතකදී. (2014)
මා වැඩ කරන ළමා සායනයේදී දරුවන්ට පෝෂණ ඌනතා ඇතැයි කියා ත්‍රිපෝෂ ලබා ගැනීමට කොයි තරම් නම් අම්මලා අපට ආයාචනා කරනවාද ? නමුත් නිසි බර උස ඇති දරුවන්ට බොරුවට ලියුම් ලබා දිය නොහැකි බව කියා ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්නට වුනේ එහෙම ක්‍රමවේදයක් නොමැති නිසාමයි. එනමුත් අඩු ආර්ථික මට්ටමක් සහිත ඔවුන් හට මේ ත්‍රිපෝෂ පැකට් දෙක ගෙදර ඉන්නා කුඩා වුන් රොත්තකගේ බඩගින්න නිවන යාන්ත්රනයකි.
මා ගැබිනි අවධියේ රෝහලේ පැවති මාතෘ සායනයේ රෙජිස්ටර් වෙන්නට සිදුවිනි. ඒ නීතිය එහෙමමය. වාට්ටුවේ වැඩ කරන අතර තුර අල්ලපු ගොඩනැගිල්ලේ සායනයට ගිහින් එන්න පුළුවන් වීම එක්තරා විදියක පහසුවකි.
එහිදී ගැබිනි මව්වරුන්ට ත්‍රීපෝෂ, ෆෝලික් ඇසිඩ් පෙති, යකඩ පෙති විටමින් සී නොමිලේ මසක් ගානේ ලබා දේ
පළමු සායනයේදීම , මා ඔවුන්ට පැවසුවේ… මට එම දීමනාව අනවශ්‍ය බවය. ඒ මට මහා ලොකුවට පෝෂණය සපයාගන්න ධනස්කන්ධයක් හිමි නිසා නම් නොවේ.
රජයෙන් ලැබෙන වැටුපෙන් ඒ දේවල් ලබා ගන්නට පුළුවන් කමක් මට තියෙන නිසාත් මගේ පුද්ගලික ප්‍රින්සිපල්ස් අනුව මට අවැසි දේ මට සපයා ගන්නට තරම් මුදලක් අතට ලැබෙද්දී ඒ නිකම් ලැබෙන දේ මට වඩා අසරණ කෙනෙක් වෙනුවෙන් වෙන් කිරීම යෙහෙකැයි සිතන්නට පුරුදු වී ඇති නිසාත් ය. මා සායනයෙන් විටමින් පෙත්තක්වත් ලබා ගන්නේ නැත.
මා එම දීමනාව අනවශ්‍ය බව කීවාට, ගැබිනි මට වෙන් කර ඇති කොටස කොහොමත් ලැබෙන බවක් ඔවුන් කීවෝය. “ අනේ මිස් මෙතනට එන දරුවෝ ගොඩක් ඉන්න ගැබිනි අම්මෙක්ට ඔය ත්‍රීපෝෂ ටික දෙන්න..” මගේ කටෙන් පිටවෙනවාත් සමගම අසල සිටි දෙදෙනෙක් දිව ආවෝය. “අනේ ඩොක්ටර්ට එපා නම් අපිට ඒක දෙන්න ලැබෙන්න ඉන්න දරුවටත් පින් මගෙ රත්තරන් මැඩම්… ඔය ආදී ලෙස පින්සෙන්ඩු වෙමින් බුදු බව පවා ප්‍රාර්ථනා කරන්නට විය. ඒ ත්‍රීපෝෂ පැකට් දෙකකට !
දැන් ඔවුන් මා සායනයට යන සෑම මසකම මට ලැබෙන දීමනාව ලබා ගනී. අසනීප නිසා එහි යන්නට බැරි වුන පසුගිය දිනෙක කෙනෙක් පැමිණ මගේ කාඩ්පත රැගෙන ගොස් ඒවා ලබාගෙන නැවත කාඩ් පත මට ගෙනැවිත් දුන්නේ පින් සිද්ධ වෙනවා යැයි මතක් කරමිනි. දැන් ඒ පැකට් දෙකට බැල්ම දාන පිරිසද වැඩිය. අයියෝ මැඩම් මට දෙන්න තිබුනානේ.. ඇතැමෙක් පවසයි. . සමහරු අර උන්දැලාගෙන් ඒ ගැන විමසයි. ඔවුන් මට ඇමතුම් දේ “ මැඩම්ට ඕනෙද පැකට් දෙක අහවලා කියනවා මැඩම්ට දෙන්න කියලා”… “නෑ මට ඕනෑ නෑ. මං ඉල්ලුවෙත් නෑ.. ඕනෑ කෙනෙක් ඕනේ දෙයක් කරගන්න” .
මා ඇතැම් විට අපේ paediatric සායන හමාර කොට වාට්ටුවට එන ටිකට පාර දිගේ දිව එන ගැබිනි මව්වරුන් මුණ ගැසේ... ඔවුන් සිතන්නේ මා සායනයට ගොස් පැමිණෙන ගැබිණි මවක් කියාය. "අද ත්‍රීපෝෂ දීලා ඉවරද ?" , "තවම ත්‍රීපෝෂ දෙනවද " ඔවුන් මගෙන් විමසයි. ඒ කිසිඳු අම්මා කෙනෙක් ත්‍රීපෝෂ ගෙනියන්නේ ඔවුන්ගේ පෝෂණය සඳහානම් නොවේ... ගෙදර සිටින අන් දරුවන්ගේ කුස පිරවීමටය.. මොකක්ද මේ රටට උනේ !
Friday, December 10, 2021
මා....
Tuesday, November 30, 2021
අගුළු දැමූ සටහන්....
Monday, November 29, 2021
හිටගෙන !
කාන්තා සුබසාධනය සඳහා කැපවී වැඩ කරන කතුවරියක වන පුෂ්පා රම්ලනී මහත්මිය ඔවුන් සම්බන්ද කාන්තා සංගමය හරහා මගෙන් ඉල්ලා සිටියේ දිගු කාලයක් සිටගෙන සිටීම තුළින් ශ්‍රමිකයන්ට විශේෂයෙන් කාන්තාවන්ට ඇතිවන අතුරු ආබාධ ගැන විස්තරයක්.
එහිදී මා සමග කතා බස් කළ ඇඟළුම් ක්ශේත්‍රයට සම්බන්දව වැඩ කරන දිගු කාලයක් හිටගෙන සිටින කාන්තාවන් පැවසුවේ ඔවුන්ගේ අත් පා සන්දි ආශ්‍රිතව දැඩි වේදනා තත්ත්වයන්ගෙන් පෙළෙන බව ය. සේවා ස්ථානයේ වැඩි කාලයක් රැඳී සිටින කාන්තා කම්කරුවන්ට මාංශ පේශි ආබාධ, නහර ගැටගැසීම, හෘද හා රුධිර සංසරණ ගැටලු සහ ප්‍රසව හා නාරිවේදය සම්බන්ද දුෂ්කරතා වැනි සෞඛ්‍යා තත්වයන් ඇතිවීමේ අවදානමක් ඇත. බොහෝ විට හා බහුලවම පැමිණිලි කරන රෝග ලක්ෂණ වන්නේ පහල ගාත්රාවල ඇති වන අපහසුතාව, තෙහෙට්ටුව සහ ඉදිමීමයි.නිදන්ගත හෘද රෝග සහ රුධිර සංසරණ ආබාධ රැකියාවෙහි දීගු කාලයක් සිටගෙන සිටීම නිසා ඇති විය හැක. වැඩ කරන ස්ථානයේ එල,අ ඉරියව්වකින් ඉතා දීගු කාලයක් ගත කිරීම අධි රුධිර පීඩනය ඇතිවීමට ඇති අවදානම අවුරුදු විස්සකින් වයසට යෑම හා සමාන බව එක් පර්යේෂනයකදී සොයාගෙන ඇත.
දේවි එවැනි ඇඟළුම් කම්හලක වැඩකරන තිස්දෙහැවිරිදි තැනැත්තියකි.
“ලැයිමේ ඉන්න බෑ හිටියොත් දළු කඩන්න ඕනා. මම අවුරුදු විස්සෙන් ගාමන්ට් ආවේ. තැන්කීපෙක වැඩ කළා දැන් අවුරුදු පහක ඉඳන් මේ කකුල් සහ අතේ ඇඟිළි වල හිරි වැටීමයි කැක්කුමයි” ඇය පවසයි.
රැකියාවෙහි දිගු කාලයක් සිටගෙන සිටීම හෘදයාබාධ හා අංශභාගය ඇතිවීමේ අවදානම ඇති කරන බවට ප්‍රබල සාක්ෂි මෑතකදී අනාවරණය විය. පර්යේෂකයන් මෙහිදී කාලයත් සමග කැරොටිඩ් ධමනි සිහින් වීමේ අවදානමක් ඇති බවද එමඟින් හෘදයාබාධ හා අංශභාගය වැඩි වීමේ අවදානමක් ඇති බවද පෙන්වා දේ.
කකුළේ මතුපිට මෙන්ම මාංශපේශීන් අතර දිවයන රුධිර නාලද අවහිර වීමේ තත්ත්වයද දිගු කාලයක් රැඳී සිටීමේ පොදු සංකූලතාවකි. සිටගෙන සිටීමෙන් ඔබේ ශරීරයේ පහළ හෙවත් පාද ආශ්රිත රුධිර නාලවල පීඩනය වැඩි වන අතර, මේ නිසා එම රුධිර නාල විශාල වී පුපුරා යයි. Varicose veins හෙවත් නහර ගැටගැසීම නමින් හඳුන්වන තත්ත්වය රුධිර සංසරණ ගැටළු ඇති කරමින් හර්දය සහ රුධිර නාල ආශ්රිත රෝගාබාද සඳහා වැඩි අවදානමක් එකතු කෙරේ. මෙම නහර ආසාදනය වීමට හෝ බොහෝ කාලයක් පවතින වේදනාකාරී තත්ත්වයක් ඇති කිරීමට ද ඉඩ ඇත. එය හදිසි වෛද්‍ය උපකාර අවශ්‍ය විය හැකි බරපතල රෝගාබාධවලට පවා හේතු විය හැක. (thrombophlebitis, deep vein thrombosis, pulmonary embolism)
මාංශ පේශි වේදනාව, අත් පා හන්දි හිරි වැටීම ඉදිමීම, උකුල් හා දණහිසේ සන්ධි ප්‍රදාහයට ලක්වීම නිසා වැඩ කරන ප්‍රමාණය සීමාවීම. මෙය පසුකාලීනව රූමැටික් රෝගයට පවා හේතු විය හැක.
මෙසේ ශ්‍රමිකයන්ගේ කායික සෞඛ්‍යයේ ගැටළු ඇති කරන සේවාවේ ක්‍රම මගින් ඔවුන්ගේ කායික සෞඛ්‍ය පමණක් නොව මානසික සුවයද නැති කර දමනු ලැබේ. දිගු කාලීනව වේදනාවෙන් සිටින අයෙකුගේ ජීවිතයට මානසික ආතතියක් මේ නිසා ඇතිවේ. මෙය සේවකයාගේ ජීවිතයේ මනෝ සමාජීය අර්බුදයක් ඇති කරන අතර එය අවසානයේ විශාදිය වැනි මානසික රෝග තත්ත්වයට ලක්වීම දක්වා දරුණු විය හැක. .
මෙම වෛද්‍ය ගැටළු සමහරක් පසුකාලීනව සිදුවනු ඇති නමුත් එයින් සිදුවන්නේ කායික හා මානසික වශයෙන් රෝගී වූ ආබාධිත ජනගහනයක් සමාජයට එකතුවීම් ය්. එමෙන්ම එක තැන සිටගෙන වැඩ කිරීම තුළින් මෙන්ම පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීමද අහිතකර ආහාර රටාවන්ට යොමු වීමද නිසා මොවුන්ගෙන් වැඩි පිරිසක් ඉක්මනින් බෝ නොවන රෝගයන්ට ලක්වේ. එනම් දිය වැඩියාව අධික රුධිර පීඩනය වැනි සමාජයේ සුලභ රෝග තත්ත්වයන්ට මේ ශ්‍රමිකයන් ඉතා තරුණ අවධියේදීම ලක්වන බව අප හා කතා කළ ශ්‍රමිකයන්ගෙන් දැනගන්නට ලැබුණි. ලිවර්පූල් හි අධ්‍යනයකට අනුව මිනිත්තු 30ක් එක දීගට හිටගෙන ඒ ඉරියව්වෙන් වැඩ කිරීම සෞඛ්‍ය ගැටළු ඇති කරන බව පෙන්වා දී ඇත.
වැඩකරන ස්ථානය ආශ්‍රිතව තම ශ්‍රමිකයන් මේ ගැන දැනුවත් කර ඔවුන්හට සේවාමුර අතරතුර වෙනත් බාහිර ක්‍රියාකාරකමක් හෝ ව්‍යායාමයක් කරන්නට සංඥා කිරීම අද වන විට ප්‍රසිද්ධ ක්රියාමාර්ගයකි. එවැනි දෑ සිදු කිරීම තුළින් ශ්‍රමිකයාගේ කාර්යක්ෂමතාවයද වැඩි වන බව නොරහසකි.
දිගු කාලයක් සිටගෙන සිටීමේදී ඇතිවන රෝගාබාද අවම කිරීම සඳහා කෙටි සහ නිරන්තරයෙන් ලබාගන්න විවේක කාලයන් වැදගත් වේ. සේවකයින් විවේක කාලයේදී වාඩි වී සිටීමට හැකි ලෙස සේවා ස්ථානය සකස් කළ යුතුය. ඉරියව්වල වෙනස්කම් සැපයීම සහ ඇවිදීම දිරිමත් කිරීමද සේවා ස්ථාන ආශ්‍රිතව සිදු කළ හැක. කිසි විටෙකත් සේවකයාට බාධාකාරී ඉරියව්වකින් නොසිටීමට ඔවුන් දැනුවත් කිරීම සිදු කළ යුතුය. එමෙන්ම ලෝකයේ පිළිගත් කම්කරු ප්රඥාප්තීන්ට අනුකූලව හැකි සෑම විටම හිඳගෙන වැඩ කිරීමත්, සිටගෙන සිටීමට සිදුවෙනවානම් ඔවුන්ගේ කාලය සීමා කර හිඳ ගැනීමට පහසුකම් සැලැස්වීමත් යන කාරණා ගැන නීති සකස් වී ඇත.
රටක ශ්‍රම බලකාය ඉතා ඉක්මනින් රෝගීන් වන්නේ නම් එය රටේ ඉදිරි ගමනට විශාල බාදාවකි. එනිසා ඔවුන්ගේ ජීවිත පහසු කිරීම සෞඛ්‍ය ප්‍රශ්න අවම කිරීම මෙන්ම රෝගී වෙන්නට ප්‍රථම එය වලක්වා ගැනීමට හැකි පියවර සකස් කිරීම නිසි බලධාරීන්ගේ වගකීමකි.
වෛද්‍ය බෝධිනී සමරතුංග - සායනික සටහන් නොවේ