Pages

Friday, April 14, 2023

මට මතකයි ... අවුරුදු කාලෙට

Down the memory lane

ගමක අවුරුදු නිවාඩුව ගත කළ පැටිවිය ගැන...
අතීත අහ්ලාදයන් එකට ගෙන ලියූ සටහන් කියවනු මැනවි.
(මීට දශක දෙකකට එහා මා යොවුන් වියේදී අන්තර්ජාලයේ තිබුණු වෙබ් අඩවියක් වෙනුවෙන් මේ කතා ලියා දුන්නේ.)
අවුරුද්දට ගමට යනවා...
ඉස්කෝලෙන් නිවාඩු ලැබුන ගමන් ඉතින් නුවර යන්න තමයි අපේ දැඟලිල්ල. දරුවෝ හැමෝම මහ ගෙදරට ඇවිත් අම්මා අප්පච්චී එක්ක අවුරුදු කාලෙ ගත කරන සිරිත අපේ ගෙවල්වල තිබුනා එනිසා අත්තම්මා ලොකු අත්තා ඇතුලූ සෙසු නෑදෑයෝ සමග අවුරුදු සමරන්න හැම අවුරුද්දකටම අපි ගමේ යනවාමයි. අපේ ගම කීවේ අප්පච්චිගේ ගම්පළාත වුණු මහනුවර, නැහිනිවෙල නම් සුන්දර ගම් පියසටයි. ඒ යන පාරෙ අතරමග පහුවෙන ගැටඹේ පන්සල ලඟදී පඩුරු දමන්න කවුරුත් අමතක කරන්නෙ නැහැ. කාර් බස් කෝක උනත් එතනදී නතර කරල වැඳලා පඩුරු දමනවා.
එක කාලෙක මහා ගං වතුරක් ඇතිවෙලා ගම් නියම් ගම් ඔක්කොම යටවෙලා, මේ බෝධි මළුව සහ පන්සල විතරක් යට නොවී බේරිල තියෙන්නෙ, ඉතින් මිනිස්සු අදත් එතනින් යද්දි වාහන නතර කරල පඩුරු දමලා අවසර ආරක්ෂාව පතන්න අමතක කරන්නේ නැහැ.
නුවර දළදා මාලිගාව ලඟින් යද්දී දොහොත් මුදුන් දීලා ඒ දිහාට වැඳලා තමයි යන්නේ, ඒ වගේම දිවුරුම් බෝධිය පන්සලත් පහු කරගෙන තමයි අපි ගමට යන්නේ, ඒ නම හැදුනේ, දුටු ගැමුණු රජතුමා යුද්ධෙට යද්දී රට බේරා ගන්ට දිවුරුම් දීලා තියෙන්නේ එතන නිසා, අත්තම්මාගෙන් නිතර අහන පුරාණ කතන්දර වල කියෑවුනේ, මෙහෙම කථාවක්, සුද්දා අපේ රට පාලනය කරද්දී, දළදා මාලිගාව සහ ඒ ආස්රිත සිරිත් ක්රියා හෙළා දැකපු නිළදාරීන් දන්ත ධාතූන් වහන් සේ තලා විනාශ කිරීමට නියෝග කලාලු, එතකොට ඒ අවස්ථාවේ ධාතූන් වහන් සේ අහසට නැගී අතුරුදහන් උනාලු, පසුව දන්ත ධාතූන් වහන් සේ දිවුරුම් බෝධියේ අතු අතර වැඩ සිටිනු සැදැහැවතියන් දුටුවාලු, අත්තම්මා කිව්වෙ එහෙමයි ඒකත් ජනප්රවාදයක්ද ඇත්තම ඇත්ත කථාවක්ද කියා හා ගිස්සන්න නම් ගියේ නෑ.
රුප්පේ නම් ලද ස්ථානය පහු වෙනකොටම අප්පච්චී හෝන් එක ගහනවා තුන් හතර සැරයක්, මොකද හෝන් එකේ සද්දේ මහ ගෙදරට රුප්පේ ලඟදී ඇහෙන නිසා. එතකොටලූ ලොකු අත්තාගේ මූණේ හිනාවක් මතුවෙන්නේ, අත්තම්මා ලොකු අත්තා ඇතුලූ හැමෝම එතකොට පුතාල එනවා කියලා දැන ගන්නවා.මොකද ඒ කාලෙ අපේ ගමට විදුලිය, දුරකථන පහසුකම් තිබුනේ නැහැ. මේක හැමදාම නොවරදවා කෙරුනු දෙයක්. රුප්පේ කියන ස්ථානය හා සම්බන්දව ඉතිහාස කථාවකුත් තියෙනවා.
රාජසිංහ රජතුමා (එහෙම තමයි මට දැන ගන්ට ලැබුනේ) ඔන්න ගම් නියම් ගම් වල සැරිසරන අතරේ ලොකු වැස්සක් ඇවිදින් ගං පිටාර ගලලා. රාසීහ රජතුමා, රුප්පේ හරියේ තියෙන ගහට නැගලා, උදව් ඉල්ලලා තියෙනවා. රුප්පෙ වංගුවෙන් පහල කඳු අතරේ නිම්නයේ පිහිටි ”වලක වගේ” ගම තමයි ලඟම තිබුනේ නමුත් කාටවත් ඇහිලා නැහැ. වැස්ස නිසා වෙන්ට ඇති, ඒත් ඊට එහායින් කන්දේ පිහිටි ගමේ මිනිස්සුන්ට ඇහිලා එයලා ඇවිත් රජ්ජුරුවන් බේරගෙන. රජතුමාට ඉතින් කේන්තියි අච්චර ලඟ තිබුනු ගමේ මිනිස්සු ආවෙ නැති එකට, ඉතිං රජ්ජුරුවෝ ඒ ගමට නෑහුණු වල කියල නම් තිබ්බලූ, අර ඇහිලා බේරගන්ට ආපු මිනිස්සුන්ගේ ගමට ඇහුණුගම කියලා නම් තිබ්බලූ
අන්තිමට ජන ව්යාවහාරය නිසා. නෑහුණුවල , නැහිනිවල උනා, අද වෙනකොට ඇහුණු ගම , ඇතුල්ගම කියලා හඳුන්වනවා. මේ මම අප්පච්චී, ලොකු අප්පච්චීගෙන් එහෙම අහගත්තු කථාන්දරය.. රුප්පේ වංගුවේ අර රජතුමා ගොඩවුනු ගහ කියලා එකක් අපිට පෙන්වනවා මතකයි.
එක පැත්තකින් හන්තාන කඳු වලල්ල පෙනෙනවා, තව පැත්තකින් ඌරාගල කන්ද පේනවා. ගම මැද්දෙන් ගලන තලාතුඔය මහවැලි ගඟ බලා ඇදෙනවා. වැහි කාලෙට තලාතුඔය පිටාර ගලනවා, එතකොට පාළමටත් උඩින් වතුර දමනවා.
ගමේ යද්දී, අප්පච්චී මග දකින හැම කෙනෙක්ටම වාහනේ නතර කරලා කථා කරන්න අමතක කරන්නේ නැහැ. මේක අපේ ගම්වල තියෙන හොඳ ගුණාංගයක්, කා එක්ක උනත, කට පුරා හිනාවෙලා, බෑරක්ද ආයිබෝං කියල අහන්නේ , හිතේ තියෙන ළෙංගතු කමටයි. තලාතුඔය පාළම පහුකරගෙන යද්දී, ඔය ලඟම දෙපැත්තේ වෙල් යාය, මේ දැනුත් මගේ මනසේ ඇඳෙනවා...
සිංහල අළුත් අවුරුදු ළං වෙද්දී හැම ගෙයක්ම කල එළි වෙනවා. ”දොළොස්මහක් ගෙවෙන දවසට ගෙදර දොර සිරියාවට තියෙන්නෙ ඕනෙ” කියලා අපේ අත්තම්මා කියනවා නිතරම.
ඔන්න ඉතිං අපි පොඩි කාලෙනම් අවුරුදු කැවිලි හදද්දී අපිට කුස්සිය පැත්ත පළාතට එන්න දෙන්නේ නැහැ, මොකද ඒ කාලෙ කුස්සියේ දර ලිප් හදලා තිබ්බේ බිම, උදේට සීතලට ලිප ලඟ ගුලි ගැහැන්න අපි පොඩි එවුන් හැමෝම පොරකනවා එක වගේ. ඔය කැවිලි පෙවිලි හදන කරන වැඩ වලට උදව් වෙන්ට මට නොලැබුනත් කුස්සියට වෙලා ඕව ඔක්කොම බලාගෙන ඉන්නේ මම හරි ආසාවෙන්.
ගෙදරින් පිට වෙනම මැටි වලින් හැදූ සුදු හුණු පිරියම් කරපු ගේ පොඞ්ඩක් මහ නුවර පළාතේ බොහෝ ගෙවල් වල දකින්න ලැබෙනවා, මේකට අත්තම්මානම් කිව්වෙ මඩු ගේ කියලා. ඒකෙ පොළවටම සවි කරපු ලොකු ගල් වංගෙඩියක් , කුරහන් ගලක් එහෙම තියෙනවා. ඕං ඉතින් දැන් වගේ නෙමේ හාල්, මුං සේරම පිටි කරගන්නේ මේ කුරහන් ගලේ අඹරලා, වංගෙඩියෙන් කොටලා. මෝල් ගස් දෙකකින්, දෙන්නෙක් එක්වර හාල් පිටි කරද්දී, බලන් ඉන්න හරිම ලස්සනයි , අපිට වැඩිය මඩු ගෙට ඇතුල් වෙන්ට ලැබෙන්නේ නෑ, එළියේ දුව පැනලා ඇතුලට වැලි ගෙනෙනවා කියල. මඩු ගේ පිවිසුම වහන්න කුඩා ලී වැටක් හෙම තිබුනා අපි ඉතින් ඒ ලී වැටේ එල්ලිලා ඇතුලට එබිලා බලන් ඉන්නවා. මම ටිකක් ළමිස්සි කාලේ එද්දි එහෙම අත්තම්මා ලොකු අම්මා, ලොකු අක්කා පොඩි අක්කා එක්ක හරි හරියට, කුරහන් ගලේ මුං ඇට අඹරන්න, අත් මාරු කර කර වංගෙඩියේ හාල් පිටි කොටන්න උදව් වෙලා තියෙනවා.
පැණි වළලූ හදනවා බලං ඉන්න ලස්සනයි, පැණි මුට්ටිය පැත්තකින් තියාගෙන, උඳු පිටි වලින් හදා ගත්තු මිශ්රණය, බොත්තම් කාසියක් මසාගත්තු හතරැස් රෙදිකෑල්ලකට දාල එකෙන් හරි අපූරුවුට උතුරන තෙල් තාච්චියෙ වළලූ රටාවට වත්කරලා, ඊට පස්සෙ ඒව අරගෙන පැණි මුට්ටියේ ඔබනවා, එතකොට සූස් ගාල වළලූ ඇතුලට පැණි උරාගන්න සද්දේ ඇහෙන්ට ඕනෙ, ඕව මම කරල නම් නැහැ ඒත් අම්මා, අත්තම්මා ලොකු අම්මලා එකතු වෙලා හදනවා බලං ඉඳලා තියෙනවා. කොකිස් හදද්දිනම් ඉතින් අපෙන් ගැලවිල්ලක් නෑ, කොකිසක් ලැබෙන තුරු කුස්සිය හරියෙම ගැවසෙනවා, අන්තිමට අපේ කරච්චලෙන් ගැලවෙන්ට ඉතින් කොකිසක් දෙන්නම වෙනවා.
අතිරස, මුං කැවුම් , කොණ්ඩ කැවුම්,කොකිස් එක්ක වැලි තලප එහෙමත් හදන්නවා. අවුරුදු නැකතට කලින් නොනගතේට ඉතිං හැමදෙනාම පන්සල් යන්නත් අමතක කරන්නේ නැහැ. ලොකු කුඩා බේදයක් නැතිව සියල්ලෝම අළුත් ඇඳුම් ආයිත්තම් වලින් හැඩ වෙනව. අස්වනු කැපෙන කාලෙ නිසා අපේ ගම් පළාත්වල උදවියගේ අතමිටත් සරු සාරයි.
අපේ ගම් පලාතෙ නම් කැවිලි පෙවිලි හුවමාරු කරගන්නේ පරණ අවුරුද්ද දවසේ, අත්තම්මා කිව්වේ මේක ගොඩක් ආදි කාලෙ ඉඳන් පැවතෙන සිරිතක් කියල, එතකොට අවුරුද්දට කැවිලි පෙවිලි හදා ගන්ට බැරි උනු එහෙමත් නැත්නම් අග හිඟකම් නිසා, වැඩිය දෙයක් හදන්ට බැරි උනු ගෙදරකට උනත් අවුරුදු ලබද්දී අවුරුදු කෑම මේසෙට කැවිලි පෙවිලි අඩුවක් වෙන්නේ නැහැ, බලාගෙන ගියාම ඒක ඇත්තටම ගොඩක් හොඳ සිරිතක් කියලා මට හිතුනා.
නොනගතය වෙලාවට අපි හැමෝම පන්සල් යනවා. ආගමික වතාවත් වල යෙදෙනකොට සිත් සතන් පහන් වෙනවා, නිවෙනවා.

අවුරුදු ලබනකොට ගෙදර හැමදෙනාම එකතුවෙනවා අවුරුදු කෑම අනුභවයට, මට මතකයි ලොකු අත්තා පොල් තෙල් පහන පත්තු කරලා, කිරිබත් කැල්ලක් හැමොගෙම පිඟන් වලට බෙදනවා, ගෙදර හැමෝම එකතුවෙලා අර හදාපු කෑම රස කර කර කනවා මතක් වෙද්දී මේ ලියන ගමනුත් මගෙ කටට කෙළ උනනවා.
ගනු දෙනු කරන වෙලාවට තමයි අපි පුංචි ඈයෝ හුඟක්ම කැමති , බුලත් කොළ වල ඔතපු කාසිය බැගින් ලොකු අත්තා, අත්තම්මා ඇතුලූ ඔක්කොම වැඩිහිටියෝ අපිට දෙනවා, ඒ කාලෙ වැඩිපුරම ලබෙන්නේ රුපියල් පහේ කාසි තමයි, ඉතිං අපිට රටක් රාජ්ජයක් ලැබුනා වගේ, සල්ලි ටික බොහොම පරිස්සමෙන් කැටේකට දානවා එහෙම නැත්නම් අම්මට දෙනවා අරං තියන්න. ඒ වගේම හැමෝම වැඩිහිටියන්ට බුළත් දීල වඳ ආශිර්වාද ගන්නවා. කොයි ගෙදරට ගොඩ උනත් වැඩිහිටි සියල්ලන්ටම දණ නමා වඳින්න ගමේදි පුරුද්දක් තිබුනා. අප්පච්චි අපිව කොළඹ උස් මහත් කළත් ඒ ගති සිරිත් ඒ විදිහටම අපිට පුරුදු පුහුණු කරල තිබ්බේ.
මට මතකයි ගමේ ගියාම ඉතින් අපිට එක විනාඩියක් එකතැනක ඉන්ට ඉස්පාසුවක් නෑ. මහා විසාල අරලිය ගහේ අත්තක නොවරදවාම බඳින ඔන්චිල්ලාව පදින්න අපි ඔක්කොමලා පොර අල්ලනවා, ඉස්කෝලේ ඉගෙන ගත්තු ඔන්චිලි වාරම් කවිත් අත්තම්මා පොඩි නැන්දම්මා උගන්නපු ඒවත් කිය කියා ඔන්චිලි පදිනවා මට තවම මතකයි.
ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්ට බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ
ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට පුවක් කැලේ
නැන්දලාගෙ කොස් අත්තේ
එක ගෙඩියයි පල ගත්තේ
ඒක කන්ට ලූණු නැත්තේ
ලූණු මිනිහා ගම නැත්තේ
ගම කොතැනද කටුබැද්දේ
ඔංචිලිචිලි චිල්ල මලේ
ඒ අරලියා ගහ ගොඩක් පරණ නිසා සවි ශක්තිමත්, ඒ ගහ මුදුනටමතකෙට නැගලා "රජ්ජුරුවෝ උඩයි උඩයි, චූ කොල්ලෝ බිමයි බිමයි" කියනවත් මතකයි.
ඒ අතීතය හරිම සුන්දරයි මතක් කරගත්තාම සිත පුරා බොහොම සුපසන් හැඟුම් සමුදායක් ඇතිවෙනවා. ඒ කාලෙ හැම පවුලකම දරුවෝ හතර පස් දෙනෙක් උන්නා, අපේ අප්පච්චිටම සහෝදර සහෝදරියෝ හත් දෙනෙක්, ඉතිං අවුරුදු කාලෙට මුළු ගෙදරම පිරෙනවා.
සෙල්ලම් කරන්න පංච දමන්න, ඔළිඳ කෙලින්න එහෙම කට්ටිය වැඩියි ඉතින් හොඳටෝම.
අපේ ගමේ නම් අවුරුදු උත්සවයක් නොවැරදීම ගමේ තරුණයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙනවා. එදාට ඉතින් බාල මහළු සියලූම දෙනා පාළම අසල අවුරුද්ද වෙනුවෙන්ම සැකසුනු මඩුව වෙත ඇදෙන්නේ හිත පිරි සතුටෙන්, අපිත් ඉතින් පුළුවන් හැම තරෙඟටම ඉදිරිපත් වෙනවා. මට මතකයි ලොකු අක්කත් එක්ක ඉඳිකට්ටට නූල අමුණන තරෙඟන් මමයි අක්කයි තුන්වෙනි තැන දින්නා. වීදුරු හතරක් ලැබුනා, අනේ දෙක දෙක බෙදා ගත්තා අපි දෙන්නා අපිට ඒවා මහ මෙරක් වගේ ඒ කාලේ. කවුරුත් තරඟ වලට ඉදිරිපත් වෙන්නේ දිනන්නම බලාගෙන නොවේ විනෝදයටමයි.
ඒ කාලේ ගමක් තුල එකමුතුව සමගිය සමාදානය හොඳින් පැවතුනා, මගුලකට මරණෙකට එකතුවෙලා දුක සතුට බෙදා හදා ගන්න තරම් ළෙංගතුකමක් හැමෝගෙම හිත් වල තිබුනා. අළුත් අවුරුද්දට තරහ මරහ අත ඇරලා සියළු දෙනා එක්කම හොඳ හිත ඇති කරගන්න එක අපේ කම ඉස්මතු කරන්නක්. මට මතකයි, දැනුම් හැඳුනුම් බේදයක් නැතිව අවට සියලූ දෙනාත් සමගම අවුරුදු කැවිලි පෙවිලි බෙදා හදා ගැනීමත්, පෙර අමනාපකම් සියල්ල ලබන්නාවූ අළුත් අවුරුද්දේ්දී අමතක කරදමා සියල්ලන් හා සාමයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමත් අපේ පැරැණ්නනගේ මා දුටු හොඳ සිරිතක්.
ඔබ හැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.
උපුටා නැවත පල කරන්න එපා. මේ මගේ පුද්ගලික මතකයන් එසේ අවශ්ය නම් මා වෙත පණිවිඩයක් එවා අවසර ගන්න. බෙදා ගන්නේ නම් මේ පෝස්ට් එක share කරගන්න.
වෛද්ය බෝධිනි සමරතුංග
මේ ලස්සනම පින්තූරය මුහුණු පොතෙනි. නිර්මාණකරුවා වෙත ප්රණාමය !



8 comments:

  1. හ්ම්👌... සුබ අලුත් අවුරුද්දක් වේවා ඈ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එසේම වේවා !

      Delete
  2. අවුරුද්දටම නොවුනත් අපි කුඩා කාලෙ ආච්චි අම්මලාගෙ ගමට ගිය විට එකිනෙකාට උදව් කරගන්න මිනිස්සු කොතෙකුත් දැකල තියෙනවා. ඒත් නුවර පැත්තෙ මැනික් හින්න කියල පැත්තක්. ඉස්සර තිබ්බ ලෙන්ගතු කම් දැන් ගොඩක් වෙනස් වෙලා කියල තමයි මතුපිටින් පේන්නේ. ඒවුනත් ලොකු ආපදාවකදි කරදරය පත්වෙච්ච අයට උදව් කරන්න එකතු වෙන විදිහ දැක්කම මට හිතෙන්නේ ගොඩ දෙනෙක් ගේ හිත්වල තාම ඒ ලෙන්ගතු කම් තියෙනවා කියලයි. බොරු කාරයන්ගෙන් බේරිලා ජීවත් වෙන්න හදා ගත්ත කපටි කම් තිබ්බත් ඇත්තටම කරදරයට පත්වෙච්ච කෙනෙක් දැක්කම අර මිනිස් ගති එලියට එනවා මම දැකල තියෙනවා. ඔබට සුභ අළුත් අවුරුද්දක් පතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියා. ඒ පැත්තේ ගිහින් තියෙනවා. නෑයෝ ඉන්නවා එහෙත්. ස්තූතියි ඔබ කියන්නේ ඇත්ත තමයි.

      Delete
  3. සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා එසේම වේවා

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !