Pages

Sunday, February 26, 2017

දරුවාට නමක් තියන්න !

බ්ලොග් එකකින් කරන්න පුළුවන් දේ මොනවද කියා මා දැන උන්නේ නෑ. අනිත්කොන බ්ලොග් පිටුව පටන් ගනිද්දී උනත් මේ සංවේදී හර්ද කම්පන බෙදා ගැනීම මිසක් ලොකු අරමුණක් තිබුනේ නෑ. බ්ලොග් ලොවින්ම හමුවුන මිතුරියක් වන රන්දිල් බ්ලොග් එක ලියන රන්දිකා නොවේනම් අනිත්කොන බ්ලොග් එක පොතක් නොවෙන්නත් තිබුනා. ඔව් බ්ලොග් එකක් පොතක් කරන්න පුළුවන් ! ඒ ඇරුනම ලෝක සාමය, සාගිනි නිවීම, සැමට නිවසක් වගේ සිතුවිලි හිතේ ක්‍රියාත්මක වුනාට ඒක බ්ලොග් එකක් හරහා කරන්න බෑ. "මම ලියන්නේ මට ඕනෑ නිසා" කියන සාධකය ඇරුනම වෙන මොකුත් ඔතන නෑ. සාහිත්‍යට අමිල සේවයක් කළා වගේ හිතුවිලි හිතන අයත් ඇති. බ්ලොග් ලෝකයේ දැවැන්තයෝ කියලා ලේබල් ගහගන්න එහෙමත් පුළුවන් හැබැයි ඒ ඔක්කොම එක එක්කෙනාගේ හිතේ ස්වභාවයන් තමා. තමන් ගැන අධි තක්සේරුවක් තිබීම හොඳයි කියලයි මට හිතෙන්නේ.

අනිත් කොන කතන්දර මාලාව ලියද්දී ඇතැම් අයෙක් විමතියට පත් වුනා. ඒ තරම් පුදුමාකාර දේවල් එක මනුස්ස ප්‍රාණියෙක්ට ජීවිත කාලෙකදි වෙන්න පුළුවන්ද කියලා.. ඒ සා විසල් සුවිශේෂ චරිත හමුවෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම .... ඔව් පශ්චාත් යුධ සමයක ඒ වෙන සිදුවීම් මාලාව හරිම අපූරුම කතන්දර ගොන්නක් මවෙත තිළිණ කළා.  හැමෝම කියන කතාවක් තමා පොත කියවලා ඇඬුවා කියලා. ඥාතී අක්කා කෙනෙක් විස්සෝප වුනා "අනේ මෙහෙම මිනිස්සු කොහොමෙයි ජීවත් වෙන්නෙ ?" කියලා. මමත් ඇතැම් දිනක විමතියට පත් වුනා කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. ඔවුන්ගේ දුක හමුවේ විස්සෝප වුනා. ඒ දුකට පිළියම් සොයන්න පිහිටක් ගෙනෙන්න වෙහෙසුනා. බ්ලොග් හරහා ඇතැම් පිරිස් මේ වාට සංවේදී වුනා. මට හොඳම යහළුවෝ පිරිසක් හමුවුනා. අදටත් දුක සැප බෙදාගන්න, හමුවෙන සිනහවෙන යෙහෙළියන් පිරිසක් ඉන්නවා බ්ලොග් තුලින් හමුවුන.

මම අද ලියන්න යන්නෙත් ඒ වගේ මහ පුදුමාකාර යමක්. ඇත්තටම මට මේ වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුනේ ජීවිතේ ප්‍රථම වතාවට. අළුත ඉපදුන දරුවෙක්ගේ අම්මෙක් තාත්තෙක්... එදින හමුවූ මගෙන් ඉල්ලනවා දරුවාට නමක් තියන්නලු... ඔබම හිතන්න ඒක කොයි තරම් පුදූමසහගත ඉල්ලීමක්ද කියලා. මෙන්න ඒ කතාව

එදින රාත්‍රී වැඩමුරය යෙදී තිබුනෙන් වාට්ටුවේ නේවාසික රෝගී දරුවන් පරීක්ෂා කොට තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිකර්ම ලියා තබා රෑ කෑම ගන්නට කියා සූදානම් වෙද්දී ලැබුණු දුරකථන ඇමතුමෙන් කීවේ, ප්‍රසව හා නාරිවේද වාට්ටුවේ ප්‍රසූතිකාගාරයේ දරුවෙක් ලැබෙන්න කිට්ටු අම්මා කෙනෙක් සිටින බවත්, කුස තුල සිටින දරුවාගේ හර්ද ස්පන්දන වේගය අඩුවෙමින් පවතින බවත්, දැන් දැන් මවගේ ගැබ්ගෙලින් ශ්‍රාවය වන තරලය මෙකෝනියම් පැහැය ගන්නා බවත් ය. මෙකෝනියම් යනු දරුවා කුස තුලදී පහ කරන මල ද්‍රව්‍ය හඳුන්වන නම ය.
මෙකෝනියම් තරලයේ පැහැය අනුව නම් දරුවා කුස තුල සිටීම අවදානම් නිසා සීසර් සැත්කම මගින් දරුවා එළියට ගැනීම සිදු කළ යුතු බව එම වෛද්‍යවරයා මට දැන්වීය. 
ළමා වාට්ටුව බාර එකම වෛද්‍යවරයා මම නිසාත්, අප රෝහලේ නොමේරූ ළදරු ඒකකයක් හෝ ළදරු දැඩි සත්කාර ඒකකයක් නොමැති නිසා අමාරු වන දරුවන් එසැනින් එවැනි ඒකක ඇති රෝහලකට ගෙන යා යුතුය. පවතින තත්වය අනුව මෙම දරුවා මව් කුසේ සිටියදී යැවීමද කළ නොහැක. බොහෝ එවැනි අවදානම් සහිත කලින් හඳුනාගත් මව්වරුන් එවැනි ඒකක සහිත රෝහල් වලට ප්‍රසූතියට කලින්ම මාරු කර යැවීම අප රෝහල වැනි මූලික රෝහල් වල ක්‍රියා පටිපාටියයි. දරුවාට සහ මවට සිදු විය යුතු හොඳම දේ සිදු කළ යුතු නිසා ය. 
මා ශල්‍යාගාරය වෙත දිව ගියෙමි. ඒ මහ රෑ කළුවර මැදින් ඇටෙන්ඩන් කෙනෙකු අත වූ ටෝච් එළි පිහිටෙනි. මග දිගට බල්ලන් බුරා හැලෙති. උන්ගෙන් බේරී, තවත් ජීවිත බේරාගන්න දිව යා යුතුය. කායික රෝඅ වාට්ටුව අසලදී එහි වෛද්‍යවරියක සපාකෑවේ මුන්ගෙන් එකෙකි. ඇයට ජල භීතිකා එන්නත විදගන්නට සිදුවුනේ මේ බල්ලන් රෝහලට ඉබේ පාත් වූවන් නිසා ය. රෝහලෙන් ඇති කරන බල්ලන් නොවේ. 
බල්ලන්ගේ සපාකෑමකට ලක් නොවී මම එදින ශල්‍යාගාරය වෙත දිව ගතිමි. 
වහ වහා ලක ලෑස්ති වී සීසර් සැත්කම සිදුවෙමින් පැවතිනි. 

මම එහි ගිය විගස මවගේ ටිකට් එක හෙවත් ඇඳ ඉහපත පරීක්ෂා කළෙමි. ඒ අනුව මට අවශ්‍ය කරුණු රාශියක් දැන ගැනීමට හැක. මවගේ රුධිර ඝණයේ සිට මේ මොහොතකට කලින් දරුවාගේ හර්ද ස්පන්දනය දැක්වෙන ප්‍රස්ථාර කොළය හෙවත් සී ටී ජී සටහන් කොළය මෙන්ම ප්‍රසවයේ විස්තර සටහන් පාටොග්‍රෑම් එක ( ප්‍රසූතිකාගාරයේදී සටහන් යොදන වගු සහිත කොළය) මම පරීක්ෂා කළෙමි. දරුවාගේ හර්ද ස්පන්දන වේගය ගැන නම් සෑහීමකට පත් විය නොහැක. 
ඒ අතරේ හදිසි ප්‍රකෘතිකරනයට හෙවත් රිසසිටේෂන් එකට අවශ්‍ය මෙවලම් සූදානම් කළ හෙදියන් හා ඒවා වැඩ කරන්නේදැයි පණ ගන්වමින් බැලුවෙමි. 
දරුවා ඉපදුනු විගස මා දුටුවේ කොළ කහ මුසු ඝනකම් තරලයක් ඔහුගේ මුව මුහුණ ඇඟ වසා ඇති බවයි.
ඉක්මනින් දරුවා උණුසුම් කර රෙද්දක ඔතා මවෙත ලබා දුනි. දරුවා හුස්ම ගන්නේ නැත. මළ කඳක් මෙනි. මෙවලමක ආධාරයෙන් මුව ඇර එහි තිබූ තරලය උගුර දක්වා විහිදී තිබුනු බව මට ලැරින්ජොස්කෝප් නම් මෙවලමේ ආදාරයෙන් පෙනී ගියේය. දරුවා ප්‍රකෘති කිරීමට කෘතිම ශ්වසන දීමට ප්‍රතම එම තරලය ඉවත් කළ යුතුය. සකර් මැෂිමක ආධාරයෙන් එය ඉවත් කර කෘතිම ශ්වසන මෙවලම මගින් බැලුමක් ආකාරයේ වාත කුහරය තෙරපමින් ශ්වසනය දුනිමි. හර්ද ස්පන්දනයද ඇසෙන්නේ අඩුවෙනි. ඒ අතර ඔක්සිජන් ප්‍රතිශතය ආදිය මැන බැලිනි. 
කෙසේ හෝ දරුවාගේ කෙඳිරියත් සමග නැවත හුස්ම ගැනීම ආරම්භ කරගැනීමට මිනිත්තු කිහිපයක් වැය වුණු බව මතකය. ඔක්සිජන් නොකඩවා දෙමින් දරුවාට රුධිර නාලිකා ඔස්සේ අවශ්‍ය ඖෂධ රුධිරගත කළෙමු. ඊට සාමාන්‍යයෙන් පෙකණිවැල ඔස්සේ බටයක් දමා (umbilical catheter) පහසු මාර්ගයක් පාදා ගත්තෙමු. මේ සියල්ල කරන්නට වූයේ මට ය. උදව්වට පැමිණියේ නිර්වින්දන වෛද්‍යවර යාය. සියල්ල යම් තරමකට ස්ථාවර කර ගත් පසු තමා විශේෂඥ වෛද්‍යතුමා ඇමතුවේ.

  ඊට කළියෙන් මෙහෙම "බකට් එකක්" පෙරලෙන්න නියමිතයි කියා කියලා තිබුනේ.

 අපටම ආවේනික ස්ලෑන්ග් වචන තියෙන බවත් ලීවිය යුතුමයි.  ඇත්තටම බකට් යනු හදිසි දරුණු තත්ව හැඳින්වීමට කියන නම යි. "ආ ඊයේ බකට් එකක් පෙරලගත්තා කියලා ආරංචියි යනුවෙන් අසන්නේ හිතමිතුරු වෛද්‍යවරුන් ය" ඔන්න වාට්ටුවේ බකට් කීපයක්ම තියෙනවා... කියන්නත් පුළුවනි. 
ජෝන් වීම යනු... ඔක්කොම කරදර සහ හදිසි තත්වයන් සාමාන්‍යයෙන් දිගටම එක්කෙනෙක්ට සිදුවීමය .. එවිට ඒ පුද්ගලයා ජෝන් කියා හඳුන්වනවා.. "ඊයේ රෑ නම් ඔයා ජෝන් වෙලා වගේ " කියන්නේ රෑ තිස්සේ ඇතුලත් කිරීම් බහුල වෙලා හදිසි තත්ව බහුල වෙලා උදේ වාට්ටුව පුරෝගෙන ඉන්න විටය . ට්‍රාන්සර් උනත් යන්න පුළුවන් ජෝන් තත්වය බහුල කෙනෙක්.. එහෙම කෙනෙක්ට රාත්‍රී වැඩ මුරයේ සැනසීල්ලේ ඉන්න නිදාගන්න එහෙම හැකි වෙන්නේ නැත. එහෙම ජෝන්ලා ඉන්න තැන දෙවෙනි වැඩමුර බාර වෛද්‍යතැනට උනත් විශේෂඥ වෛද්‍ය තැනට උනත් සැනසිල්ලේ නිදා ගන්න ලැබෙන්නේ නම් නැත.  දැන් ඉන්න වාට්ටුවේ මහ ජෝන්ට පසුව ඉන්නා ජෝන් මම ය. වෙන්න පුළුවන් අමාරු වැඩ සියල්ල වෙන්නේ අප දෙදෙනාට ය. අප දෙදෙනාම හිටියොත් බකට් කීපයක් පෙරළේ.

ඉතින් කොහොම හරි අර චූටි පැංචා පණ ගන්වා ඔක්සිජන් දමා ගෙන සිටියත් දැන් ඔහුව දැඩි සත්කාර ඒකකයකට කෘතිම ශ්වසන යන්ත්‍රයක්ට සම්බන්ධ කළ යුතුයි. රට වටේ ඒ සඳහා කෝල් දැමිය යුතුයි. ඉන්කියුබේටරයක් සොයා ගන්නකම් අපට ඇති ඉන්කියුබේටරයටවත් මේ දරුවා දැමීම සිදු කළ යුතු යැයි විශේෂඥ වෛද්‍යවරයා දැනුම් දුන්නත් එය ව්‍යර්ථ වූයේ එක් අවාසනාවන්ත සිදුවීමකිනි. දුරකථන ඇමතුම් සියල්ලටම ලැබුනේ එකම නරක ප්‍රතිචාරයක්. දරුවා බාර ගන්නට හිස් ඉඩක් කිසිම දැඩි සත්කාර ඒකකයක හෝ නොමේරු ළදරු ඒකකයක නොමැති බවය.
ඔවුන් බොහෝ දෙනෙක් එල්ලකරන චෝදනාව නම් එසේ එම ඒකක නොමැතිව ඇයි අපි සාමාන්‍ය දරු උපත් සහ සීසර් සැත්කම්  සිදු කරන්නේ ? යනුවෙනි.
මහ රෑ 12 පසුවන විටද හොඳ ප්‍රතිචාරයක් නොමැති කළ... "මා වෛද්‍ය අධිකාරි තුමිය ඇමතුවෙමි. පැය තුනක් තිස්සේ මම මේ වෝමර් එක යට දරුවෙක් රිසසිටේට් කරලා ඇම්බෝ කරමින් ඉන්නේ... කියමින් icu ඇඳක් නොමැති කම ගැන කියූ අතර, අප විශේෂඥ වෛද්‍යතුමා පැවසුවේ තමන් පුද්ගලිකව තවත් රෝහලක් අමතා ඇඳක් ලබා ගත් නිසා එහි යන ලෙසය.
අප සැනසුම් සුසුම් හෙළමින් දරුවා එහි ගෙන ගොස් බාරදී පැමිණියෙමු,
ඊළඟ දවසේ පාලන අධිකාරීතුමියට මහ රෑ කෝල් කර කියවූ වෛද්‍ය නිළදාරි ජෝන් තුමී ඇතුලු වෛද්‍ය කණ්ඩායමම ලිඛිතව ලියුමක් ලියා දුන්නේ... මෙලෙස ජීවිත අවදානම් ගන්න බෑ එනිසා ඉක්මනින් නොමේරූ දැඩි සත්කාර ළදරු ඒකකයක් ස්ථාපිත කර දෙන ලෙසය. නැත්නම් මෙලෙස වැඩ කරන්න බෑ කියලත් ලීවා.  නමුත් එහෙම අපිට "තග" දාන්න බෑ කියලත් අනිත්පැත්තට අහගත්තා. ( නොකරන ස්ට්‍රයික් වලට බැනුම් අහන අපි... රෝගීන් වෙනුවෙන් කරදර වෙන, ඇතැම් විට තදින් කතා කරන, අතර පාලනාධිකාරියට විවිධ තර්ජන ලියුම් ලියන බව ඔබ නොදන්නවා ඇති )
ඉන්පසු එළඹි සතියක කාලයක්... විවිධ සාකච්ජා සහ චෝදනා විමසීම් තිබුනා. අන්තිමේදී අපේ ළමා වාට්ටුවේ හෙදියන් එකඟ වුනා , එහෙම කෙටි කාලීන විසඳුමක් ලෙස අපට ලබා දෙන කුඩා ළදරු ඒකක කොටස අපේ වාට්ටුවට ගන්නත් ( අර විෂ බීජ සහිත ළමා කායික වාට්ටුවට ) ඒ එක්කම එකඟ වුනා ඔවුන් ඒ ළදරුවන් බලා ගන්නත්. ඒකට තමා පරිණත බව සහ කාර් යය පිළිබඳ ඇති විශ්වාසය ( confidence)  කියන්නේ කියලයි මට හිතුනේ. ඔවුන් කිහිප දෙනෙක් ළදරු දැඩි සත්කාර ඒකක වල පුහුණුව ලද අය.


අළුත් ළදරු ඒකකයකට ප්ලෑනක් ඇඳ වෙනම ගොඩනැගිල්ලක් ඇති බව පැවසූ  පාලන අධිකාරී වෛද්‍යතුමිය එය ඉදිවෙන තෙක් අප වෙත තාවකාලික කුඩා ඉඩක් වෙන් කර ඉන්කියුබේටර් තබා ඉක්මනින් යමක් කරදෙන්න උත්සුක වුනා.
ඇය ගේ ප්‍රතිචාරය සහ ක්‍රියාකාරිත්වය ප්‍රශංසනීය බව මේ සමගම කිවිය යුතුමය.
අර දරුව  නම්  අර අගනුවර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ශ්වසන මෙවලමට සම්බන්ද කර දිනක පමණ කාලයකින් පසු නැවත අපට ලබා දුන්නා. ඔහු කිසිඳු සංකූලතාවයක් නොමැතිව ප්‍රතිකාර අවසන් ව ගෙදර ගියා.

ඉන්පසු එළඹි සති දෙකකින් පසු මව පියා සමග දරුවා අප වෙත පැමිණියා. දරුවා පරීක්ෂා කර අවසානයේ, මවත් පියාත් මා හට එක හෙළා කියූවේ මා දරුවා බේරාගත් නිසා ඔහුට නමක් දැමිය යුතු බවය. මට සතුටු කඳුළු ඇස් වල පිරුණු බව දැනිනි.
මා ඔවුන්ට පැවසුවේ මා එයට සුදුසු කෙනෙක් නොවන බවත් ඔවුන් දරුවා උපන් වේලාව අනු නමක් යොදන ලෙස ඉල්ලුවත් ඔවුන් ඒ වෙන විටත් ගෙන ආ අකුරු පෙන්වමින් කීවේ මා විසින්ම දරුවා නම් කළ යුතු බවය... මවගේ මුල් අකුර සහ තාත්තාගේ මුල අකුර අසා කදිම නමක් තෝරා දුන්නේ ඔවුන්ගේ පෙරැත්තය සහ වැඳ වැටීම් නිසාය. "මම එදා සීසර් එකෙන් පස්සෙ ඒ කාමරේ ඉන්නකොට මම දැක්කා ඩොක්ටර් වෙහෙසුණු හැටි" ඒ මව සියල්ල බලාගෙන හිඳ තිබේ. ළදරු වන් දමන වෝමර් එක ආශ්‍රිත කොටස ඇත්තෙත් සැත්කමට පසු ප්‍රකෘති කරන (රිකවරි) කොටසේය. මවත් පියාත් අද බොහෝ සතුටෙනි.  ඒ ඔවුන්ගේ කුළුඳුල් දරු පැටියා ය
ඉන්පසු ඒ දරුවා සෑම මසකම දුටුවත් ඔහුගේ වර්ධනයේ අමුත්තක් නොතිබිනි.

  • Pics: our neonatal care area 

20 comments:

  1. අපේ රැකියාවේ හමුවන "ජෝන්ලා" ගැන සැබෑ අත්දැකීමක්.. ඔවැනි හෙද සොහොයුරියන් (වගකීමෙන් මිදෙන්නට කෙටි පාරවල් හොයන ) මෙහෙදිත් කලාතුරකින් මුණගැහෙනවා. මේ රට වල නම් රෙජිස්ට්‍රාර් රෝහල තුලම සිටින වා බොහෝ දිනවල . නැතිදවස් වලට කන්සල්ටන්ට් ඕනෑම වෙලාවක සම්බන්ධ කරගත හැකියි (මුලික රෝහල් වල )

    ReplyDelete
    Replies
    1. අපෙ නම් කන්සල්ටන්ට් ට එන්න කලින් වැඩේ ගොඩ දාගෙන තමා කෝල් කරන්න සිද්ධ වෙන්නෙ. හැබැයි කෝල් ඕනෙම වෙලාවක සම්බන්ධ කරගනන් පුලුවන්...ඔව් එවැනි හෙද සොයුරියෝ ගැන අවධානෙන් ඉන්නේ...

      Delete
  2. අලුතෙන් වෛද්‍යවරයෙක් යන ගානෙ ජෝන් වෙන ගතියක් සමහර වාට්‍ටුවල තියෙනවද බෝධිනී? හෙදියන් පවා එහෙම කියනවා. අලුතෙන් කෙනෙක් ආපු ගමන් මහාම කලබල.

    නම තියන්න සුදුසුම කෙනාට තමයි ඉල්ලීම කරලා තියෙන්නෙ.

    ඔන්න එක පාරක් අලුතෙන් ඉපදුනු ළමයෙකුට නමක් තියන්න ඕනෙ වෙලා තවත් නෑදෑ පොඩි දැරියකට කියලා මෙයාට නමක් තියන්නකො කියලා. අකුරගයන්න. පොඩ්ඩක් කල්පනා කරපු අර දැරිය මෙහෙම කිව්වා. "ම්ම්ම් ගයන්නෙන් නේද? ගවයා කියලා නම තියන්න නැන්දෙ."

    ඒ දැරිය බෝධිනිත් අඳුනනවා. :D හොඳ වෙලාවට අර පොඩි එකාට ගයාත් කියලා නම දැම්මා. දැන් ගයාත් කැම්පස්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. එහෙම එකක් එයාලම කියනවා. අපි සාමාන්‍යයෙන් යන තැන විස්තර නොදන්න නිසා පොඩ්ඩක් බිසී උනත් ඩොක්ටර් නිසා තමා වගේ කතාවක් ඇහෙනවා.
      ඊළඟට ඔය නර්ස් නෝනලගෙත් ජෝන් වෙන කට්ටිය ඉන්නවා. ඒ කාලේ අපි කිහිප දෙනා සෙට් උනොත් ට්‍රාන්සත් යනවා. අනේ මන්දා අපි බලනවා වැඩි කමටද මන්දා ඔක්කොම ආබාධ අවුල්, අහුවෙනවා. ලක් එක තමා
      හැබැයි මා ගැනනම් මටම තේරෙනවා අමාරුකාරයෝ වැඩියෙන් එනවා වගේ එකක්. ඊයේ රෑත් එහෙමයි... රෑ 12 ටත් එනවා දවස් පහක් උණ කියලා. ඉවසීම ප්‍රගුණ කරලා තියෙන නිසා මම ඉතින් මොකුත් කියන්නෙ නෑ. ලේ එකක් බැලුවම ප්ලේට්ලට් 50 000 ටත් අඩුයි. ඒ කියන්නේ ඩෙංගු ක්‍රිටිකල් ෆේස්...අමාරුම අධියරේ.. දවස් පහක් තිස්සේ ප්‍රයිවට් තැන් වලට පෙන්නලා පෙන්නලා අමාරුම වෙද්දි ජෝන් ඔන් කෝල් දවසටම කඩා පාත් වෙනවා.
      හා හා මටත් හිතෙනවා මම ඒ දැරිය දන්නවා කියලා...

      Delete
  3. හතර පාරක් පොඩි මෙන්ඩව බේර ගත්තා ඔයාලා වගේ අය

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ හත් පාරක් ! මොනවා වුනාද ?

      Delete
  4. මගේ හිතේ බොහොමයක් දොස්තරලා ගැන තියෙන්නේ ලොකු භක්තියක්! හැබැයි සමහරක් ගැන නම් පට්ට අජූත හැඟීමක්!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් මටත් එසේමයි... some doctors are bad, some are mad, the rest is sad because of previous two catergories...

      Delete
  5. 'ප්‍රතිකාර අවසන් ව ගෙදර ගියා' කියන කොට දැනුණ සැනසීම කියන්න වචන නැහැ.. ඉතින් කියන්න, මොකක්ද ඔයා දැම්ම නම? රාජකාරිය හරියට කරනවා කියන එක මොනතරං වෙහෙසකර අසීරු දෙයක්ද කියා මම දන්නවා.. ඒක ජීවිතය එක්ක මේ තරං බද්ධ වුණාම මොනතරං බරපතලද! මම හැමදේම සැපපහසුව සිදුවෙන්න සැලසුම් කළත්, ඔය අත්දැකීම එතැනින් එහාට ගියා.. මටත් ආපහු රජයේ රෝහලකට යන්න සිද්ධ වුණා.. ඒ අතර කාලයේ මට රජයේ හෙදියන් කීපදෙනෙක් මොනතරං උදවු කළාද කිව්වොත්.. ඒ අය මගේ හිත තුළ තාමත් ඉන්නෙ දෙවියන් වගෙයි.. මිනිස්සු වගේ ඉන්න දෙවියන්!! ඔයත් ඒ වගෙයි.. ස්තූතියි ඒකට.. ❤

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත ! ඔයාටත් ස්තූතියි දිරි ගැන්වීම් වලට

      Delete
  6. හරිම සන්තෝසයි.. අඩු පහසුකම් යටතේ වුවත් තමන්ගෙ වෘත්තීය වගකීම් කලාපයෙන් ඔබ්බට ගිහින් මානුශිකව හිතලා වැඩ කරන ඔබ වැනි අයවලුන් තමයි වයිද්‍ය වෘත්තිය සේවයක් සහ පින් උල්පතක් බවට පත් කරන්නේ.මා එය හැම වෙලාවකම කියන්න පැකිලෙන්නෙ නෑ.
    එක්තරා ළමාරෝග වි.වයිද්‍යවරයෙක් චැනල් එක නොදාපු නිසා මාස හතරක දරුවෙක් ජීවිත අවධානම් අඩියකට පත්වෙනකන් දින ගණනක් සැත්කම් පමා කල සිද්ධියක් නිසා තුවාලවී සිටි සිතට ඔබේ ලිපිය අසුවක් උනා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපොයි එයාලා ගැන නම් කියලා වැඩක් නෑ...

      Delete
  7. මට හිතුනෙ මෙන්න මෙහෙම.

    "මං මෙඩිකල් යන්න පාස් නොවුනෙ හොඳ වෙලාවට"

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත වෘත්තීය ජීවිතයේ ඇතැම් ඩවුන් ෆෝල්ස් එක්ක මටත් හිතුනා අපරාදේ මම එහෙම උනේ අපරාදේ යුරෝපීය රටක හොඳ පඩියකට වැඩ කරන එක අත ඇරලා ලංකාවට ආවේ වගේ ඒවා.

      Delete
  8. මටනම් පොඩි ළමයි එක්ක අත්දැකීම් නැහැ.ඒ උනත් අමාරු ලෙඩෙක් ගොඩ දාගත්තම දැනෙන ආතල් එක සල්ලිවලට ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා !

      Delete
  9. හරිම සතුටක් දැනුනා පොඩි එකා කරදරයක් නැතුව කියලා තියෙනවා දැක්කම.අඩු පහසුකම් යටතේ වුනත් ඔබ කල අනගි සේවයට හොඳ අගය කිරීමක් ඒ දෙමාව්පියෝත් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඒත් මම හිතන්නෙ ඔවුන් එසේ කළ යුතු නෑ... ඒක අපේ රාජකාරියනේ.. සමාජය හෝ රට විසීන් අපිව ඒ තැන තියන්නේ ඔවුන් ව බලා ගන්න තමා

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !