Pages

Thursday, September 24, 2015

හැමවිටම දුක්බර නොවේ !

"ඩොක්ටර් මට හොඳට සිංහල පුළුවන්" සත් මස් හැවිරිදි ගැබිනි මව ඉතා පැහැදිලි සිංහලෙන් කියද්දිත් මා විශේෂ පුදුමයක් , සතුටක් හෝ ප්රතිචාරයක් දැක්වූයේ නෑ. එහෙම කියද්දී මගෙන් ඈ එවැන්නක් බලාපොරොත්තු වූ වගක් මට හොඳටම තේරුනත්, නෑ මම "ආ" යනුවෙන් සඳහන් කොට ඊළඟ ප්‍රශ්නය ඇසුවා. ඒත් දෙමලෙන්...

 "ඩොක්ටර්ට පුදුම නැද්ද මං සිංහල කතා කරන එක... කඳවුරේදී මම ආමි එකට උදව් කලා දෙමළ සිංහල දෙකම මට පුළුවන් නිසා, මිනිස්සුන්ව ලියා පදිංචි කරද්දි, ඒ ඔෆිස් වලදි" ඇය නැවත පැවසුවේ ඇය ට විශේෂ සැලකිලි උවමනාවෙන්දැයි මට සිතුනා.

අපට සායන වලට එන සියල්ලන්ම එකය.  ඇයට ප්‍රතිචාර දැක්වීමෙන් අවට සිටින අනිත් මව්වරුන්ට ඇය කෙරෙහි අප විශේෂිත වේයැයි සිතෙන නිසා අපි එලෙස එවැනි දෑ වලට ප්‍රතිචාර නොදක්වමු.  ඇය මාගෙන් ප්‍රශ්න කරන්නේ පැහැදිලි සිංහලෙනි.

 "ආ ගොඩක් හොඳයි. අපිට සිංහලෙන් කතාකරන්න පුළුවන් වේවි. " එදින සායනය අවසන් වූ පසු ඈ පිටව ගියාය.

ඉන්පසු නැවත ඈ මුණ ගැසෙන්නේ දරුවා ලැබීමට රෝහල්ගත වූ පසුය.
"ඩොක්ටර් මතකද මාව" ඇය සිනා මුසු මුහුණින් ප්‍රශ්න කරයි.

"මොකද අමතක " මා කියද්දී ඇත්තටම සුරූපී ඇය ගේ මුහුණ තවත් විකසිත විය.

ඇතුලත් වීමේදී පිරවිය යුතු ඇඳ ඉහපත් සටහන් සියල්ල පුරවා, පරීක්ෂා කර අවසානයේ ඇයට ඇඳක් ලබා දුනිමු. ඉන්පසු රාත්රී වාට්ටුව බැලීමට පැමින සායන වටය අවසානයේ අප විශේෂඥ වෛද්‍යවරයා නික්ම ගිය පසු ඈ නැවත අප මේසය තිබුනු කොටසට පැමිණියා.

 "ඩොක්ටර් මේ..... මම ඩොක්ටර්ට පෙන්වන්න ගෙනාවා" ඇය මා වෙත පැමින ඇය අතේ තිබුනු බ්‍රවුන් පේපර් බෑග් එකකින් යමක් එළියට අදිමින් පැවසීය.

"මගේ ෆොටෝ" එය තුලින් ගත් ඇල්බමයක් මට දික් කළාය.

"මගෙ කතාව ඩොක්ටර්ට කියන්න ඕනේ" ඇය අසල තිබුනු ප්ලාස්ටික් පුටුව ඇද ගත්තාය.

පැහැදිලි සිංහල කතා කරන ඈ මා අසලට විත් ඇගේ කතාව බෙදාගන්නට හදයි. කතා අහන්නට කැමති මා ඇය වෙනුවෙන් තව කාලයක් වාට්ටුවේම රැඳුනෙමි.

" මේ මගේ ලොකු බබා, මේ එයාගේ ඉපදුනු කාලේ ගත්තු ෆොටෝ. මගේ ගම මෙහේ, ඒ කාලේ මෙහෙ නිදහස් නෑ.... මේ මගේ කලින් මහත්තයා. එයා දැන් නැහැ , එයා ත්‍රස්තවාදී සංවිධානෙට බැඳිලා හිටියේ. එයා මැරුණු බවක් තමයි දැන ගත්තේ. "

ඇය පෙන්වන ෆොටෝ වල සිටින අයවලුන් පෙන්ව පෙන්වා පවසයි.

"අපි පුදුම දුකක් වින්දේ ඩොක්ටර්.... එයා නැති වුනාට පස්සෙ මමයි පුතයි අනාථ වුනා. අන්තිම යුද්ධෙන් පස්සෙ අපි හිටියේ කඳවුරේ. මට සිංහල පුළුවන් මං ඉගෙන ගත්තේ කොළඹ, මට ලියන්නත් පුළුවන් එනිසා මාව කඳවුරේ ඔෆිස් වැඩට ගත්තා. " ඇයගේ දක්ෂකම් ගැන ඇය පවසයි.  ඇය ඔෆිස් වැඩ යනුවෙන් සඳහන් කරන්නේ, ලියාපදිංචි කිරීම්, ගණනය කිරීම් විය යුතුය. ඒ සඳහා භාෂා පරිවථකලාගේ සහාය අවශ්‍ය වනු ඇත.

"ඩොක්ටර් දන්නවද කඳවුරේ කොයි තරම් බිසී ද කියලා" ඇය කඳවුරු ජීවිතය ගැන පවසයි.

"මාත් ඇවිත් තියෙනවා සායන වලට" මම ද ඒ අතීතය සිහිපත් කරමින් පැවසුවෙමි.

එකළ කිලෝමීටර ගණනාවක් ගෙවාගෙන අපි කඳවුරු පරිශ්‍රයට යෑම් ඊම් කළෙමු. මානසික වෛද්‍ය ඒකකයේ සිටි එකම සිංහල වෛද්‍යවරිය නිසා ඒ ගමන් බිමන් වලදී මට වාහනයේ ඉදිරිපස අසුන හිමි විය. එය ගමන බිමනට වඩා පහසු විය. මුර කපොළු වඩා සුහද විය. කඳවුරක් කීවද,  එය කුඩා ගම්මානයක් මෙනි. දරුවන්ට පාසැල් පැවැත්විනි. ලෙඩ දුකට සායන, රෝහල් පැවැතිනි.

"කඳවුරේදි මගේ දැන් හස්බන්ඩ් හම්බුනේ. එයා දකුණේ, එයා ආමි එකේ. එයා හරිම හොඳයි " ඇය පවසද්දී සිතුවිලි ගණනාවක් මගේ හිත තුල සක්මන් කරන්නට විනි.

පලමු දරුවාගේ තාත්තා ත්‍රස්තවාදියෙකි. දෙවන දරුවාගේ තාත්තා සොල්දාදුවෙකි, දරුවා ලැබුනු පසු ඇය පිටවී ගියේ, මේ කතාව මෙලෙස ලියන්නටද කියා ඇසූ මට "අනේ ලියන්න" යැයි පවසමිනි.  ඉන්පසු ඇය නැවත මුණ ගැසුනේ කැන්ටිමේ දීය. මා දැක මසක් පමණ වුනු දරුවාද රැගෙන තවත් අවුරුදු 5 ක පමණ දරුවෙක් අතින් අල්ලාගෙන මා අසලට දිව විත්.

"මේ ඉන්නේ ලොකු පුතා, මේ ඩොක්ටර්... මේ බබාට මාසයක්... දැන් ක්ලිනික් ආවා"  සිනහා මුහුණින් පැවසුවාය. එහෙ මෙහෙ දුවන ඇගේ පළමු දරුවා හුරුබුහුටිය.
බිස්කට් චොකලට් රැසක් ගෙන ඔහුට දුන්විට ඒ කුඩා මුහුණ ආලෝකමත් විය.

"තැන්කූ" ඔහු පැවසුවේය.

"මම ඉගැන්නුවේ බබාට ඉංග්‍රීසි සිංහල" ඇය පැවසුවා ය.

"මහත්තයා ඇවිත් ගියා. එයා වැඩ , කොළඹ, එන මාසේ අපිව එහෙ එක්ක යන්න එනවා කීවා " ඇය මා දෙස බලාගෙන කියවයි. අතේ සිටින දරු පැටියා, මවට තුරුල් වී සිටී.

" ආයේ ආවම ඩොක්ටර් බලන්න එන්නම් " ඇය එසේ කියා පිටවී ගියා ය. නමුත් ඉන්පසු කිසි දිනක මට ඇය හමු නොවී ය. යුද්ධයේ අතුරු කතාන්දර හැම විටම දුක්බර නොවේ යැයි මට සිතේ.

28 comments:

  1. මිට වඩා සංහිදියාවක් අැත්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... එවැනි පවුල් බොහෝ සිටියා...

      Delete
  2. මේ කතාව සුඛාන්තයක් වුනාට දුඛාන්ත කීයක් අතරද ඒ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත... එනිසා තමයි දුක් කතා ලියූ මම දුක්බර නොවන එකක් ලීවේ...

      Delete
  3. යුද්ධයේ සහ පශ්චාත් යුධ සමයේ , අපේම මිනිසුන් විදි දුක් දෝමනස්ස අතරේ මෙවන් සුන්දර හැඟීම් ගෙන දෙන තවත් “සත්‍ය කතාවක්“ සටහන් කළාට ඔබට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. හැකි හැම විටම ලියන්නම්... මෙහි අවසානය කෙසේ විසඳුනා දැයි නොදනිමි.

      Delete
  4. හිතන්න යමක් ඉතිරි කල කතාවක්...

    ReplyDelete
  5. හිතට දැණුනා............
    //හැමවිටම දුක්බර නොවේ//
    ඒක ඇත්ත.............

    ReplyDelete
  6. ඔව්.. හැමවිටම දුක්බර නොවේ.. මෙවැනි කතාවලටත් වැඩි ඉඩක් වෙන්විය යුතුයි..

    ReplyDelete
    Replies
    1. වැඩි ඉඩක් ලැබිය යුතුමය.. හිත සනහන කතා වලට... ඒත් වැඩියෙන් ඇත්තේ දුක්බර කතාම ය

      Delete
  7. එහෙම කොළඹ එක්ක යන්නම් කියලා බලාපොරොත්තු දීලා ආපහු දකින්නවත් ආවේ නැති තාත්තලාත් ඕන තරම් හිටියා . ඒ අතර ආපහු ඇත්තමට ආපහු ආපු තාත්තලාත් හිටියා .කොහොම වුනත් අතුරු කතා හැමවිම දුක්බර වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් හිටියා.. ඒ දුක එහෙම්මම ය...

      Delete
  8. මේ ජිවිත වලට මොන ඊලම් ද?

    ReplyDelete
    Replies
    1. එය නොතේරෙන්නේ බලයට ලොල් වූ පාලක කම් කරන අයට ය...

      Delete
    2. එය නොතේරෙන්නේ බලයට ලොල් වූ පාලක කම් කරන අයට ය...

      Delete
  9. යුද්ධයේ අතුරු කතන්දර හැමවිටම දුක්බර වියයුතුම යයි කියා නියමයක්ද නැත.

    මම වරක් කියෙව්වා අතරමංවූ මිත්‍රහමුදා සහ ජර්මන් හමුදා සෙබලුන් පිරිසක් එකම එක නත්තල් ‍රැයක් ගොවි ගෙදරක එකට ගතකරපු කතාවක්. ඒක මගෙ හිතේ හොඳින් ‍රැඳුනු ඔය ජාතියෙ කතාවක්. මට ඒ කතාව ආයෙ හොයාගන්න බැරිවුනා ජාලෙවත්. ඔන්න හම්බවුනොත් ලින්ක් එක දාන්න.

    ඒක නෙවෙයි. ඇඳ පාමුල තියෙන වාර්තාවට ඇයි ඇඳ ඉහපත් (Bed head) සටහන් කියන්නේ?

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      මචං මමත් කියවල තියනව ඒ කතාව. හැත්තෑ ගණන් වල නවයුගයෙ ගියා ඔය වගෙ සත්‍ය කථා සීරිස් එකක්. ප්‍රංශෙ ඔය වැඩේ වෙලා තියෙන්නෙ. දෙවෙනි ලෝක යුද්ධ කාලෙ.නත්තල් දවසට කලින් දවසෙ දරුණු හිම කුණාටුවකට අහුවෙලා අමරිකන් හමුදා කණ්ඩායමක් අතරමං වෙලා පාර වැරදිල ජර්මන් කොටසට ඇතුල් වෙලා. අන්තිමට ප්‍රංශ ජාතික මහළු කාන්තාවක් තනියම ඉන්න ගේක නවාතැන් අරන් තියනව.

      ටික වෙලාවකට පස්සෙ ඒ වගේම අතරමං වෙච්චි ජර්මන් මුර සංචාරක හමුදා කණ්ඩායමකුත් ඒ ගෙදරටම ඇවිල්ල තියනව. සතුරාට නවාතැන් දීම ක්ෂණිකව මරණ දඬුවම දියහැකි වරදක්. අමරිකන් හමුදා නායකය කියනව " අම්මා බය වෙන්න එපා. අපි ඔබට කරදරයක් නොවෙන්න පිටිපස්සෙන් පැනල යන්නම් " කියල.

      ඒත් ඒ මව කියනව " මේ රෑ ඕගොල්ලො කොහේ යන්නද? අනික මේ කුණටු වෙලාවෙ." එහෙම කියල එළියට ගිහිල්ල ජර්මන් කණ්ඩායමේ නායකයට කතා කරල කියනව " ඔබට මගේ ගෙදර විවෘතයි අද රෑ නවාතැන් ගන්න. ඒත් ඔබ හෙට ඇතුල් වෙන්ට ඉස්සර ආයුධ මට භාර දෙන්න ඕන. ඒ වගේම ගේ ඇතුලෙ තවත් මගේ අමුත්තො කණ්ඩායමක් ඉන්නව. ඒ අයට කිසිම හිරිහැරයක් කරන්න බෑ, " කියල.

      ජර්මන් නායකය කලින් ටිකක් අදිමදි කලත් ඒ මහළු කාන්තාවගෙ බලකිරීම මත අන්තිමට ඒ කොන්දේසි වලට එකඟ වෙනව. පස්සෙ දෙගොල්ලොම රෑ ඒ ගෙදර නවාතැන් ගන්නව. ඒ අතර හිටපු ජර්මන් සෙබලු දෙතුන් දෙනෙකුටම හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්. ඒ දෙන්න භාෂා පරිවර්තකයින් හැටියට ක්‍රියා කරනව. එක ජර්මන් සෙබලෙක් අමරිකන් විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න බොහොම කැමැත්තෙන් ඉඳල තියනව යුද්දෙට ඉස්සර. එයා අමරිකාවෙ විශ්ව විද්‍යාල ගැන විස්තර අහනව.

      තවත් ජර්මන් සෙබලෙක්ගෙ වළලුකර පැනල මිනිහ බොහොම අමාරුවෙන් ඉන්නෙ. අමරිකන් කණ්ඩායමේ ඉන්න ප්‍රථමාධාර ගැන හොඳට දන්න සෙබලෙක් වළළුකර හදල බෙහෙත් දානව. රෑ කෑම ලෑස්ති වෙනකල් අර මහළු මව වයින් බෝතල් දෙකක් ගෙනත් දෙනව කට්ටියටම. " මම මෙව්ව තියාගෙන හිටියෙ යුද්දෙ ඉවරවෙලා සාමය උදා වෙනකල්. ඒත් මම හිතන්නෙ මේ තමයි මේවා විවෘත කරන්න හොඳම අවස්ථාව " කියල .රෑ දොළහට නත්තල උදාවෙනකොට දෙගොල්ලම නත්තල් ගීතිකා ගායනය කරනව. පහුවදා උදේ එකිනෙකා වැළඳගෙන සමුඅරං දෙගොල්ල දෙපැත්තට යනව. වෙන්වෙලා යන්ට ඉස්සර ජර්මන් නායකය තමන්ගෙ අනික් මුර සංචාරක කණ්ඩායම් වලට අහුනොවී අමරිකන් කොටසට යාගන්න පහසු මාර්ගයක් අමරිකන් කණ්ඩායමට කියල දෙනව.

      ඒ ගොල්ල එකිනෙකාට පොරොන්දු වෙනව කවදක හරි යුද්දෙ ඉවරෞනහම නොමැරි බේරුන අය අර අම්ම බලන්ට එනවයි කියල. ඒ වගේම එහෙම බේරුන අය ආපහු ආවයි කියලත් ඒ කතාවෙ තිබ්බ. මචං බොහොම පොඩි වයසෙ උනත් මගෙ හිතට තදින් දැනිච්ච කතාවක් ඒක...

      Delete
    2. ස්තුතියි රවි. ඒ කතාව ජාලෙ හම්බවුනොත් මට කියනවද?

      Delete
    3. ජාතිය ජම්මය මොකක් උනත් මනුස්ස හැඟීම් කොච්චර අව්‍යාජද? ඒ ඇහැ හැම මිනිහාටම ලැබුණ දාට ලෝකය සුරපුරයක්.

      Delete
    4. ෆිල්ම් එක සයිලන්ට් නයිට්
      https://www.youtube.com/watch?v=n1sFcMf4CIQ

      Delete
  10. මට එක පාරටම මතක් වුනේ " The Last Samurai " චිත්‍රපටය.

    ReplyDelete
  11. 1993 දී වවුනියාවේ සේවය කළ මගේ රෙජිමේන්තුවේ නිලධාරියෙක් (ලුතිතන්) වවුනියාවේ කොමියුනිකේෂන් සෙන්ටර් එකක වැඩකළ ලස්සන දෙමළ කෙල්ලෙක් එක්ක යාලුවුනා. මෙය මාරාන්තික වැඩක්. හමුදාව දන්නවානම්, අර නිලධාරියා අත්අඩංගුවට ගන්නවා, ත්‍රස්තවාදීන්ට හමුදා රහස් පිටවීමට ඉඩ හැරියා කියා. LTTE සංවිධානය දන්නවානම්, අර කෙල්ල මරනවා, සිංහල හමුදාවට උදව් කරනවා කියලා. මුන් දෙන්නට කරන්න පුළුවන් හැම උදව්වක්ම, අපි හොරෙන් හොරෙන් කරලා දුන්නා.

    කොල්ලා මොලේ පාවිච්චි කරලා, හමුදාවෙන් අස්වුණා. කොළඹ ඇවිත් වෙන රැකියාවක් හොයාගත්තා. යුද්දේ දවස්වලම රහසින් කසාද බැන්දා. යුද්දෙන් පස්සේ කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අද ඔවුන් කොළඹ පැත්තේ, ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගතකරනවා. හොඳ දෑවැද්දකුත් ලැබුනා. කිලිනොච්චිය පැත්තේ විශාල ඉඩමක් සහ වාහනයක්.

    ReplyDelete
  12. Replies
    1. බොහොම ස්තූතියි ඉයන්....මට මතක තිබ්බට වඩා කතාව වෙනස් .....හෙහ්,හෙහ්, පුදුමෙකුත් නෙවෙයි එක අතකට. අවුරුදු හතළිහක් තිස්සෙ මොළේ නියුරෝන මොනතරම් වෙනස්කම් වලට භාජනය වෙන්න ඇත්ද? …:)

      Delete
  13. දුව, අපි කාලයක් පදිංචි වෙලා හිටියෙ සැම්බියාවෙ. අපි බොහෝ දෙමළ පවුල් ආශ්‍රය කලා. ඒ අය අදටත් වයස් ගතව ඉන්න අපේ අම්ම තාත්තා බලන්න එනව. අපිට කිසිම විටෙක වෙනසක් දැනුනෙ නෑ. අපි බොහොම සංහිදියාවෙන් කල් ගෙවුවා. මේ සටහන හරිම ආදරනීයයි. කවදා හෝ මේ පොළව මත හමුවේවි ඔවුන්.

    ReplyDelete
  14. ගෝත්‍රික ලන්තයක සිද්ධ වුනු දුර්ලභ සංසිද්දියක්.

    ReplyDelete
  15. ලස්සන මතකයක්. මන් හිතනවා අර දෙවන හස්බන්ඩ් ඇවිත් අරන් යන්න ති කියල කොළඹ මේ පවුලම. අපට අහන්න ලැබෙන්නෙම වෙනස් විධිහේ කතා නිසා.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !