Pages

Saturday, February 25, 2023

නැවත පාවිච්චිය !

Re using and Thrifting ! second hand shops …

හොඳ මාතෘකාවක් එළියට ඇවිත් තිබෙනවා ව්රායි බල්තසාර් මහත්මිය දැක්වූ අදහසක් නිසා. ඇතැම් තැනක එම අදහසට සමාජවාදය ගාවාගෙන තිබුන නිසා එම අදහස වැරදියට අර්ථකතනය වී ඇති බවක් පෙනුනා. පාවිච්චි කළ ඇඳුම් ඇන්ද පිරිස #metoo campaign එකක් පටන් අරන් තිබ්බා. එහෙමනම් මමත් #metoo තමා.
නැවත භාවිතය , හුවමාරුව , ප්රතිචක්රීකරණය
වගේ සංකල්ප අද වන විට ලෝකයේ හිතකර භාවිතාවන් ලෙස පිළිගන්නේ.
අපේ රටේ ඇඳුම් මහ පරිමාණයෙන් විකිණෙන කඩ නොතිබුනාට ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ බොහෝ ඒවා වෙනත් රටවල භාවිතා කළ ඒවා විකුනනු දැක තිබෙනවා. අපට උගැන්වූ මහාචාර්යවරියක් දවසක් අපි ලස්සනයි කිව්ව එයාගේ හැට්ටය සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකකින් ගත්තේ කිව්වා. ඒක හොඳ බ්රැන්ඩ් එකක් ඒත් හෙන ලාබෙට අරන් තිබුනා. සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් වල ඇඳුමේ ඉඳන් ගෘහ භාන්ඩ දක්වා සියල්ල එහෙම අරගෙන මේ රටවල්වල භාවිතා කරනවා. අපිත් පොඩි කාලේ සිටම සහෝදරියන්, නෑදෑ සහෝදරියන් අතර ඇඳුම් හුවමාරු කරගෙන අඳින සිරිතක් තිබුනා. Hand me downs ලෙස හඳුන්වන ක්රමය නෑදෑයින් යෙහෙළියන් අතර සුලබව තිබුණා. එය වැඩෙන දරුවන් ඉන්න පවුල්වලට මහා උදව්වක් බව මම දැක්කා. උත්සවවලට වුනත් අලුතින් ඇඳුම් ගත්තේ හරිම අඩුවෙන්, පොඩි කාලේ නම් එහෙම ගත්තේ නැතිම තරම්. පසුකාලීනව රාජකාරියේදී මම ඇඳපු සාරී සියල්ලම පාහේ අම්මගේ ආච්චිගේ හෝ නංගිගෙ ඒවා. මම නාස්තිය අවම කරන්න බොහොම කැමැති කෙනෙක්. මගුලකට වුණත් මගේ මංගල්ලයේ සාරිය අඳිනවා මිසක මම අලුතින් යමක් ගන්න අඳින්න වුවමනා නැත්තෙක්. ඉතින් තිබෙන ඇඳුමක් පාවිච්චි කිරීම හෝ සහෝදරියට අනවශ්ය ඇඳුම් හෝ නෑදෑයින්ට අනවශ්ය ඇඳුම් පාවිචියට මගේ කිසි අවුලක් තිබුනේ නෑ.
යුරෝපයේ සිටියදී අපට වඩා මේ භාවිතය යුරෝපීය ජාතිකයන්ගෙන් දැක්කා. මීට අවුරුදු දහයකට කලින්. මම, මගේ ඕස්ට්රේලියානු ජාතික වෛද්ය මිතුරිය සහ බ්රිතාන්යයේ යහළුවා ඇඳුම් ගත්තෙත් සීත කබාය පවා ගත්තේ එවන් නැවත භාවිතා කිරීම සඳහා ඇදුම් විකුණන සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකකින්.
මා ඉහත කී මගේ ඕස්ට්රේලියානු මිතුරිය ගර්භනී කාලයේ මා ළඟ තිබුණු ඇදෙන සුළු රෙදිවලින් මහන ලද දිග කුර්තා වැනි කමිස ඉල්ලගත්ත. විවිධ නම් වලින් second hand shops වලින් , garage sale, floor market, flea market දේස දීපංකර වල, මෙවැනි භාවිතා කරන ලද ඇඳුම් සපත්තු සහ ගෘහභාන්ඩ තොග විකුණනනවා.
තව කාරණයක් මතක් වුණා මම ත් මගේ යෙහෙළියත් ඇගේ සැමියාගේ පල්ලියේ වැඩවලට සුප් කිචන් එකට එහෙම උදව් වෙන්න යනවා. නගරයේ ප්රධාන පල්ලියේ සුප් කිචන් එකටත් උදව් වෙන්න යනවා ( මගේ බුදුන් සහ ඇගේ ජේසුන් කියා කතාවක් ලියා ඇති අප දෙදෙනාගේ මිත්රත්වය ගැන) එතකොට එළියේ ඇතුල්වෙන තැන වෙනත් කාමරයක පාවිච්චි කර ඉවත ලූ ඇඳුම් සපත්තු සහ ආයිත්තම් බොහෝමයක් ගොඩ ගසා තිබෙනවා. නොමිලේ කෑම වේලක් කන්න එන මිනිසුන් ඒවා බලා තමන්ට උවමනා දේවල් අරන් යනවා.
ඒවා හරි ලස්සන ක්රියා. මිනිසුන් වෙනුවෙන් මිනිසුන් කරනා උපකාර.
දැන් අලුතෙන් මේ සෞඛ්යාරක්ෂිත බව ගැන කියමින් පිරිසක් අමුතු බියක් ඇති කරනවා.
චර්ම රෝග කාරක බහුලව පැතිරෙන්නේ skin to skin contact හෙවත් ස්පර්ශ වීම මගින්.
ඕනෙම රෙද්දක් අලුත් පරණ තමන් ඇඳපු එකක් හරි රෙදි සෝදන කුඩු මගින් සෝදා අව්වේ වෙලා ගන්න ඒක තමා නිවැරැදි භාවිතය. නැත්නම් තමන්ගේ රෙදි වලින් වුණත් සමේ ආසාදන එන්න පුළුවන්. කොටින්ම රෝහල්වල භාවිතා කරන රෙදි, ශරීර තරල පවා පෙගෙන ගෑවෙන රෙදි ශල්යකර්ම වලදී භාවිතා වෙන ඒවාත් නැවත නැවත නිසි ක්රමවේද වලට සෝදා පාවිච්චි කරනවා.
ඉතින් හපෝ.. විෂ බීජ කියනවා වගේම අපිට ඒ සඳහා විසඳුම් ද ලියන්න ඕනේ.
එහෙම බැලුවොත් මේ ලෝකෙම "හපොයි විෂබීජ" තමා.
2021 ඉරානයේ කළ අධ්යයනයකදී සොයාගෙන තියෙනවා, second hand shops වල නැවත සෝදා වේලා ගත් ඇඳුම් වල පරපෝෂිතයක් කිසිසේත්ම නොසිටිය බව. ඉතින් එයාලා නිගමනය කරලා තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල තියෙන ඇඳුම් හොඳින් සෝදා වේලා විකිණිය යුතුය කියා. (doi: 10.18502/ijph.v50i1.5093)
2022 නයිජීරියාවේ කරපු අධ්යනයක පර් යේෂණයේදි රෙදි සෝදන කුඩු, සාමාන්ය සබන් සහ රෙදි සෝදන බ්ලීච් කියන මේ ද්රව්ය වලින් මෙලෙස පාචිච්චි කරන ලද ඇඳුම්වල බැක්ටීරියා ඉවත් වේද කියා සොයා බලා තිබෙනවා. ඔවුන් නිගමනය කරනවා laundry bleach වල දින කිහිපයක් ගිල්වා තැබීම සහ ඉන්පසු රෙදි සෝදන කුඩු මගින් සෝදා , ස්ත්රික්කයකින් මැද ගැනීම තුලින් විශේෂයෙන් යට ඇඳුම්වල සහ ඇඳුම්වල බැක්ටීරියා ප්රතිශතය හොඳටම අඩු කරගත හැකි බව සහ සාමාන්ය සබන් වලට වඩා රෙදි සෝදන කුඩු වලින් වැඩියෙන් මේ රෙදිවල බැක්ටීරියා සිටියොත් ඉවත් වෙන බව කියනවා. (DOI: 10.9734/SAJRM/2022/v12i330273).
මේ හැම අධ්යනයක්ම කියන්නේ නැවත භාවිතා කරද්දි ඇඳුම් නිසි පරිදි සෝදා වේලා අඳින ලෙසයි. එහෙම නැතිව නැවත පාවිච්චි කරන්න එපා කියලා නෑ.
මේවා සමහර රටවල් වල හිතකර සංකල්ප.
එතකොට අපි කඩෙන් ගන්නා ඇඳුම් වල මේ විෂබීජ තිබෙන්න බැරිද ? පුළුවන් !
කොටින්ම අපි ඉන්නා පරිසරයම ඉතින් ක්ෂුද්රජීවින් බහුල තැනක්. ඒත් අපේ හමේ ඉඳන් ශරීර අභ්යන්තරය දක්වාම අප ආරක්ෂා කරන්න ප්රතිශක්තීකරණ පද්ධතිය මගින් විවිධ බාධක අපමණ දමා තිබෙනවා. ඉතින් එහෙමයි මේ අවට පරිසරයේ අපේ සම මත වුණාත් ඉන්නා බැක්ටීරියා වෛරස දිලීර වලින් අපි ආරක්ෂා වෙන්නේ.
ඔය කඩවල්වලින් ගේන ඇඳුමක් වුනත් කොහේ තිබුණා ද, මොන දේවල් එක්ක ගැටිලා ද කියා අපි දන්නේ නෑනේ එනිසා හෝදන්නෙ නැතුව අඳින්න එපා. රෙදි සෝදන සබන්කුඩු දාලා හොඳට හෝදලා වේලා ඉස්ත්රීක්කයකින් මැද අඳින්න. සමහරු ලේසියට අයන් කරලා විතරක් අඳිනවා. වඩා හොඳයි සෝදා වේලා ගන්න එක.ළමයින්ගේ ඇඳුම් ද එහෙමයි.
ඉතින් ආර්ථික අර්බුද හමුවේ ඇඳුම් හුවමාරුව කරන නැවත භාවිතය සඳහා මිලදී ගන්න මිනිසුන් වගේම අධි පරිභෝජනය බැහැර කරන මේ ලෝකෙට හිතකර ක්රියා සිදුකරන මිනිසුන් කෙරෙහි අවඥා සහගත වෙන්න එපා.
ඒ වගේම තමා මිනිස්සු ඔබ නොදන්න බොහෝ කරදර රාශියකින් බැටකමින් සිටිනවා. මම ඉහත කියූ සුප් කිචන් වලදී මට මුණගැසුනු මිනිසුන් කියූ කතන්දර මේ ලෝකයේ යතාර්ථය තවත් පෙන්වනවා. උඩින් අඳින ඇඳුම් ගවුම් කලිසම් කමිස එහෙම අනන්තවත් අපි හුවමාරු කරනවා. මගේ දරුවාගේ ඇඳුම් කුඩා වෙද්දී යෙහෙළියන්ට මෙන්ම නැදෑ සහෝදරියන්ගේ දරුවන්ට යැව්වා. මගෙ දරුවාට හිතවත් අක්කා කෙනෙක් ඇගෙ දියනියගේ ඇඳුම් එව්වා. දැන් මෙහෙදිත් දරුවාගෙ කුඩා වෙන ඇඳුම් සපත්තු සේරම එහෙම එකතු කරනවා ගෙනෙන්න. ඒවාගෙමයි මගේ ජර්මන් ජාතික මිතුරිය අවුරුද්දට දෙපාරක් විතර ඔවුන්ගේ ළමා ඇඳුම් සහ සෙල්ලම්බඩු එකතු කර ලංකාවට එවනවා. ඒ සියල්ල විවිධ අවස්ථාවලදී අන්ත අසරණ මිනිසුන් වෙත ලබා දෙනවා. අපේ ළමා රෝග වාට්ටුව අපි නිතරම එහෙම ඇඳුම් හොඳින් සෝදා මැද ගබඩාකර තිබුණා. ඒ තරම් අහේනියක් ඇති පිරිසක් ඒවාට ආවේ. එකල ෆේස්බුක් එකේ දැමූ සටහන් නිසා මම දන්න තරමක් යාළුවෝ එසේ ඇඳුම් සෙල්ලම් බඩු උදව් රැගෙන ආවා. ඉස්පිරිතාලේ කබඩ් එකක තියාගෙන හිටිය එහෙම ඇඳුම් හරි ඉක්මනට බෙදා ඉවර වෙනවා. දන්නවාද ලංකාවේ බහුතරයක් මිනිස්සු ෆේස් බුක් එකේ දකින ඔබ මම වගේ නෙමේ.
ඇතැමෙක් ප්රශ්න කරනවා එතකොට නිෂ්පාදන අලෙවි නොවීම නිසා ව්යාපාර වලට මෙය අවුලක් නෙමෙයිද කියලා. සහන හෝ නැවත පරිභෝජන ප්රතිචක්රීකරණය වැනි ක්රියාදාමයන් ව්යාපාරවලට හානිදායක ද කියා දන්නා කෙනෙක් කියා දෙන්න.
අප පුරුදු විය යුතුයි, නාස්තිකාර නොවී මිනිසුන්ට අවමලෙස අවශ්යම දෑ පරිභෝජනය කරන හැටි කියාදෙන එක. රොනිති සර්ධාතිලක අවමවාදී වීම ගැන "සරල මං" කියලා අපූරු පොතක් ලියා තිබෙනවා. ඒකත් ඔබට හැකිනම් සොයාගෙන කියවන්න. මේ අධි පරිභෝජන රටාව නිසා ලෝකය තව තවත් විනාසයට තල්ලු වෙනවා, ස්වභාවික සම්පත් හීන වීම හරිතාගාර වායු විමෝචනය වගේ දේවල් සිදුවෙනවා.
බිළිඳුන්ට හොඳින් සේදුනේ නැති රෙදි වලින් ආසාදන එන්න පුළුවන්, ඒවා බැක්ටීරියා ක්ෂුද්රජීවීන් කියලා නෑ ආසාත්මික allergy වෙන්නත් පුළුවන් ඒකනේ බේබි සබන් වගේ මෘදු සබන් පාවිච්චි කරන්න අව්වේ වේලා ගන්න අයන් කරගන්න කියන්නේ. රෝහලේදී බබාලාගෙ රෙදි සහ නැපි එහෙම විෂබීජාණුහරණය කරලාත් දෙනවා. සමහර විට අම්මලා කලින් දරුවාගෙ නැපිම ගේන අවස්ථා තියෙනවා, කඩේන් ගන්නා ඒවා හෝදන්නෙ නැතිව ගේනවා.
ඔබ මගෙන් ඇහුවොත් දැනුත් මා එහෙමද කියා මේ ලියන මොහොතේ වුවද මා ඇඳන් ඉන්නේ, මට එසේ 2003 ලැබුණු පාවිච්චි කරන ලද ඇඳුම්. අපි බොහෝ අය තවමත් හුවමාරු කරගෙන අඳිනවා. ඒත් ඒ ඕනේ ඇඳුමක් කඩෙන් වේවා, තෑගි වේවා හුවමාරු වේවා හොඳින් රෙදි සෝදන කුඩු හෙවත් detergent වර්ගයකින් සෝදා වේලා, ඉස්ත්රික්කයකින් මැද , ඇඳගන්න !
වෛද්ය බෝධිනි සමරතුංග

3 comments:

  1. ඒකෙ වැරැද්දක් නැහැ. අපේ ළමයි පොඩි කාලේ ඉනේසුත් කළා

    ReplyDelete
  2. හොද වගේම තවත් වැදගත් ලිපියක් . කැනඩාවේත් පාවිච්චි කල යලි යලිත් භාවිතා වෙනවා . පාවිච්චි කල ඇදුම් , ගෘහභාණ්ඩ , විදුලි උපකරණ ඒ අතර ඉදිරියෙන් තියෙනවා . සමහර තැන් වල මධ්‍යස්ථාන වගේම පොදු වෙළද මධ්‍යස්ථාන වල තැනින් තැන රදවා තැබෙන විශාල ලෝහ පෙට්ටි වලට ඔබේ භාවිතයට ගත හැකි තත්වයේ එවන් දෑ බහාලන්න පුළුවන් . බොහෝ විට ඒවා මෙහෙය වන්නේ පුණ්‍යාතන මගින්. ඒවා තෝරා , පිරිසුදු කර විකුණන මධ්‍යස්ථාන වගේම අප්‍රිකානු රටවලට යවන ව්‍යාපෘති තියෙනවා. ඒ වගේම මුහුණු පොත සහ තවත් ඇප් සහ මෘදුකාංග හරහා බොහෝ දෙනා ගෙවල් වලට ගිහින් පාවිච්චි කල දේවල් ගන්නවා. මමත් එහෙම අරගෙන වගේම විකුණලත් තියෙනවා. ගරාජ් සේල් විදිහට සමහරු එකතු වෙලාත් මේ වැඩේ කරනවා . මම හිතන්නෙ එහෙම කරන එක පහත් බාල දෙයක් නෙවෙයි කියන ආකල්ප වෙනස් කිරීම කරන එක තමයි ලොකුම දේ .

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !