Pages

Wednesday, October 27, 2021

මම බයිසිකලයක් !

උතුරේ රෝහලේ මා වැඩ කළ ප්‍රසව හා නාරිවේද ඒකකය තිබුනේ ප්‍රධාන බිල්ඩිමේ පිටිපස්සෙම කොටසේ. ඉතින් මම බයිසිකලයෙන්ම ඒ කොනටම ගිහින් පහළ කොරිඩෝවේ හෝ හෙවනක නවත්වා ලොක් එක එහෙම දාලා වාට්ටුවට යන්න උඩට නගින්නේ. එක දවසක් ඔහොම ගිහින් ආයේ පහළට ආවම බයිසිකලය නවත්වා ගිය තැන පේන්න නෑ. ඒ එක්කම මට පේනව ට්‍රැක්ටරයක් එතැන ඉඳන් ගේට්ටුව දිහාට යනවා. 
මට ටක් ගාලා හිතුනේ ලොක් කරපු බයිසිකලේ දාගෙන යනවා ඇති කියලා. 
හැම තැනම හොරු කියලා සමාජය විසින් හිමි කර තිබුණු දුෂ්ට සිතිවිලි ඉතින්. හැමෝම හොරුය කියා හිතන් හිටියට ඒක එහෙම නොවේ කියලා පෙන්නුම් කළේ එහෙමත් කෙනෙක්.

මම ඉතින් කෑ ගහනවා දෙමළෙන්...."මගේ බයිසිකලේ මගේ බහිසිකලේ' කියලා. ට්‍රැක්ටරේ කට්ටිය ට්‍රැක්ටරේ නවත්තන් හිනා වෙනවා.
ඒකේ මිනිස්සු දෙන්නා හිනා වෙවී කියනවා. 
"නෑ ඔයා බයිසිකලයක් නෙමේ " කියලා.

එතකොටයි මට තේරුනේ....
හදිසියට ට්‍රැක්ටරේ පස්සෙන් දුව දුවා දෙමළෙන් මම කෑ ගහලා තිබුනේ... "මගේ " වෙනුවට.. "මම බයිසිකලයක්" හෝව් හෝව් "මම බයිසිකලයක්" කියලා... 
මං හිතන්නේ රෝහලක් නිසා එයාලා හිතන්න ඇති මොකක් හරි මානසික ආබාධයක් සහිත කෙනෙක් කියලා... ඊට පස්සෙ ඉතින් ඒ ට්‍රැක්ටරේ නවත්වනකොටම දුවලා ගිහින් බැලුවා ඇතුල. වැලි වගයක් බාලා යන එකක්. 

 අපොයි ඉතින් ඒකේ බැලුවත් බයික් එක තිබුනේ නෑ, ගියදේ ගියාවේ කියලා බොහොම දුකෙන් මම එනකොට රෝහලේ ඕවර්සියර් ඉන්නවා හිනා වෙවී එතන. 
"ඩොක්ටර්ගේද බයිසිකලේ. අපි ඒක මෙතන ස්ටෝරු කාමරෙන් තිබ්බා. මේ හරිය පේන්ට් කරා . තීන්ත වදී කියලා. ඩොක්ටර්,  මම බයිසිකලේ කියලා කෑ ගහද්දී ඇවිත් බැලුවේ. අයියෝ සොරි " කියලා ඔහු කියමින් බයිසිකලය  ගෙනැවිත් දුන්නා. කවදාවත් ඉන් පස්සෙ නැති වුනේ නම් නෑ.

බයිසිකල් පැදීම ගැන මට ලොකු කතාවක් තියෙනවා. මං උතුරට ගිහින් ගත්තු ප්‍රථම සහ එකම වාහනය බයිසිකලයක් !මේක ගත්තේ බැනුම් අහගෙන ඊට කලින් ගන්න හැදුවට මැරෙන්නැතුව ඉන්න කියලා කීප දෙනෙක් දෝෂාරෝපණය කළ නිසා ඒක කරන්න බැරි වුණා.

මම උතුරු කොන පැමිණි පසු ගෙදර තිබෙන බයිසිකලය එහි ගෙනෙන්නට හැදුවෙමි. ඔව් මම කුඩා කල සිටම එක එක ජාතියේ බයිසිකල් කිහිපයක සාඩම්බර අයිතිකාරයෙක් වීමි. මම වැඩෙනවාත් සමගම බයිසිකලයේ ප්‍රමාණයත් වැඩි විය. ඒත් ප්‍රවාහන අවහිරතා නිසා දිනෙන් දින දැනට මා ගෙදරදී පාවිච්චි කරන්න අම්මා අරගෙන දූන්නු බයිසිකලය මෙහි ගෙන එන එක කල් ගියාය. 
එක පාරක් ඒ අදහස කියන්න ගිහින්  කිහිප දෙනෙක්ගෙන් බැනුම් අහගත්තා. "අපෝ දොස්තර නේද ? තත්වේ තියාගන්න දන්නැද්ද ? "කියලා

හැබැයි  මට හමුවෙනවා අපූරු, පොළවේ පය ගහලා ඉන්න, ස්ටේටස් මේන්ටේන් කරන්නේ නැති යහළුවෙක්. Timur Rahaman, එයාටත් තිබුනේ බයිසිකලයක්. ඉතින් රහමාන් එක්ක, මමයි, ෆර්හානායි ගිහින් ටවුමේ කඩ කීපයකම ඇවිදලා ලේඩීස් බයිසිකලයක් ගත්ත දවසේ තමා මේ ෆොටෝ එකත් ගත්තේ. 
📷

ඉතිරි ටික පොතේ තියන නිසා සහ කලින් ලියපු නිසා ලියන්නේ නෑ. 
මෙන්න ලින්ක් එක...

Monday, October 25, 2021

ඒත් එයා මෙච්චර වෙලා ලිව්වේ මොනවාද ?

ප්‍රාඩ විලී

සායනික සටහන් නොවේ - මේ ජීවිත සටහන් ගොන්නකි කියලා අනිත් කොන බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2009 දී.... ලේක් හවුස් රැස පුවත් පතට  ලිපියක් ලියන්න කියලා ආපු ඉල්ලීමත් එක්ක, තිරුවටත් බ්ලොග් එකේ ලීව "සායනික සටහන් නොවේ" කියන නම ගැලපෙනවා කිව්වේ, කසුන් පුස්සේවෙල මල්ලි.   අවුරුදු දෙකක් ලියපු පුවත්පත් තීරු ලිපි තමා 2019 දී සායනික සටහන් නොවේ කියලා grantha.lk ග්‍රන්ථ ප්‍රකාශන සමාගම විසින් මුද්‍රණය කළේ. පොතේ එහෙම කතා 60ක් තියෙනවා
දැන් ඒ පොතේ තෙවන මුද්‍රණය යන්නේ....
පොතේ නැති කතා ගොන්නක් අතේ ඉතුරුවෙලා තියෙන නිසා බ්ලොග් එකේ දාන්න හිතුවා.
ප්‍රාඩ විලී ගැන ඔබ අහලා තියෙනවද ?

සුදු කෝට් එකත් දමාගෙන නළාවත් බෙල්ල වටේ දමාගෙන බොහොම ආසාවෙන් සායනික අධ්‍යාපනය පටන් ගත්ත තුන්වෙනි අවුරුද්ද අමතක නොවේ. බොහෝ රෝගාබාද ගැන ඒවෙද්දිත් පොත පතෙන් කියවා ඇතැම්විට ඒවායේ මූලබීජ හේතුසාධක සහිතව හඳුනාගත් නමුත් අපි වෛද්‍යවරු කරන වැඩ කරමින් සැබැවින්ම වෛද්‍ය අධ්‍යාපනයට පිවිසුනා වගේ දැනෙන්න ගන්නේ ඔය කාලයේ. බොහෝ විට සති කිහිපයක් පුරා එක එක වාට්ටු සහ අංශවල මහාචාර්ය ඒකකවල අධ්‍යාපනය ලබන්නට සිදුවුනි.
ළමා රෝහලේ මහාචාර්ය ඒකකය වෙත ගිය අප සියල්ලෝම, දෙතුන්දෙනාගේ කණ්ඩායම් සාදා රෝගී දරුවන්ගේ ඇඳ අංක බෙදා දුනි. 
ඇඳ සොයාගෙන ගිය මට දකින්න ලැබුනේ ජනේලෙන් එපිට පෙනෙන කුඩා උද්‍යානය දෙස බලාගෙන සිටිනා ස්ථුල දැරියකි. අසල කවුරුත් නොරැඳීමට හේතුව ලෙස අනාථ ළමා නිවාසයක සිටින දැරියක බව හෙදිය අප හා කීවාය. 
"ලේසි නෑ කතා කරන්න නම් ඒත් ට්‍රයි කරලා බලන්න" කියමින් ඇයගේ සායනික සටහන් ගොනුව අප අසලින් රැගෙන ගියාය. 

අප දුටු සැනින් සිනහ වූ ඇයට අප හා කතා කරන්නට හැකි දැයි ඇසූ විට කතා කරන්න අපහසු බව කට පෙන්වමින් අභිනයෙන් පැවසූ ඇය මා අත තිබූ පෑන සහ පොත ඉල්ලා "ලියා දෙන්න දැ"යි අභිනයෙන් ඇසුවාය. 

බොහොම කැමැත්තෙන් ඇයට ඒවා දුන් අප දෙදෙන ඇගෙන් ප්‍රශ්න අහන්නට ගත් අතර සෑම ප්‍රශ්නයකටම පසු ඇය අපට අතින්, කථාව නවතන්නට සංඥා කර කොලයේ යමක් බොහොම වැර වීර් යයෙන් සටහන් කරන්නීය. නමුත් ඇය අප ඉදිරියේ හිඳගෙන ඉන්නා හැටියට ඇය ලියන්නේ කුමක්දැයි අපට නොපෙනේ.
ඔය ආකාරයෙන් අපට අසන්නට වුවමනා ප්‍රශ්න ඇසුවාට පසු ඇය ලියූ කොළය අපට දුන් අතර එහි වූයේ විවිධ හැඩයක් ගත් ඉංග්‍රිසි ආර් අකුරු පේළිගොඩකි. පිටුව පිරෙන්න ඇය ආර් R අකුරු ලියා තිබුණි. 
අප දෙස බලා පියකරු සිනහවක් පෑ දැරිය මේ බලා ඉන්නේ අප කියන්නේ කුමක්ද කියාය.
"හරිම ලස්සනයි " ඇය අගය කරමින් සුසුමන් හිතේ සඟවා කියූ මා ඇයට සමු දී,  වාට්ටුවෙන් පිටට දිව ගියේ හැඬුම් නතර නොවුන නිසා ය. අවුරුදු දහ හතරක් පමණ වන ඇය බුද්ධි හීන දැරියකි. ඇගේම ලෝකයක් තනාගෙන ජීවත් වෙන සිනාමුසුව සිටින මේ දැරියගැන දැනෙද්දි මා එළියේ පඩිපෙළමුල හිඳගෙන ගලායන කඳුළට ඉඩ හැරියාය. 

ඇයගේ ජෛව ලක්ෂන අනුව සින්ඩ්‍රෝම රෝගයක ලක්ෂන මතක් වේ. අප ඉගෙන ගනිමින් සිටියේ එවන් මිනිස් ජාන සැකැස්මේ අඩු පාඩු කම් නිසා ඇතිවන ජානමය ආබාධ ගැන ය. 
"ඇය ජීවිත කාලය මුලුල්ලේම මෙහෙමයි" , ඉතා ප්‍රියමනාප මුහුණක් සහිත මේ දැරිය දෙස බලාගෙන මම ද යෙහෙළියද විටින් විට ඒ ප්‍රශ්නය අසා ගත්තෙමු. 
Prader-Willi සහලක්ෂණය යනු ශරීරයේ බොහෝ ඉන්ද්‍රිය අවයවවලට බලපාන සංකීර්ණ ජානමය තත්වයකි. 15 වෙනි ක්‍රෝමසෝමයේ ඇතිවන ජාන අඩුවීමක් හෝ නොපිහිටීමක් නිසා ඇතිවන මෙම තත්වය ඉතා කළාතුරකින් ඇති වෙන්නකි. මෙම ක්‍රෝමසෝම 15 ජාන නොපිහිටීම මොළයේ හයිපොතැලමස් යන කොටසේ සැකැස්මට බලපාන බව සොයාගෙන ඇත. එහෙත් මේ තත්ත්වය ඇතිවීමට හේතුව තවම සොයාගෙන නැත. එය ප්‍රවේනිගතව උරුමවන රෝගී තත්ත්වයක් නොවන බවද පැවසේ.

ළදරු අවධියේදී, මෙම තත්වය දුර්වල මාංශ පේශි, දුර්වල බුද්ධි වර්ධනය සහ කායික වර්ධනය මගින් සංලක්ෂිත වේ. ළමා කාලයේ සිටම,මේ දරුවන්ට අධික ආහාර රුචියක් ඇති අතර, එය අධික ලෙස ආහාර ගැනීමට සහ තරබාරුකමට හේතු වේ. ප්‍රාඩර්-විලි සින්ඩ්‍රෝමය ඇති සමහර පුද්ගලයින්ට, විශේෂයෙන් තරබාරුකම ඇති අයට දියවැඩියාව ඇතිවේ. (දියවැඩියාවේ 2 වර්ගය - වඩාත් සුලභ ආකාරය වේ) අධි රුධිර පීඩනය අක්මාව සම්බන්ද රෝගාබාද සහ පිත්තාශයේ ගල් ඇතිවීම වැනි තත්ත්වයන්ට ද ගොදුරු විය හැක.

ප්‍රාඩ-විලි සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයින්ට බුද්ධිමය දුර්වලතා සහ ඉගෙනීමේ දුර්වලතා ඇතිවේ. චර්යාත්මක ගැටළු බහුලව දක්නට ලැබේ. පාලනය කළ නොහැකි කෝපය, මුරණ්ඩුකම මොවුන් තුළින් දක්නට ලැබේ. මෙම තත්වයේ අතිරේක ලක්ෂණ අතර පටු නළල, ආමන්ඩ් හැඩැති ඇස් සහ ත්‍රිකෝණාකාර මුඛය වැනි සුවිශේෂී මුහුණේ ලක්ෂණ ඇතුළත් වේ; කෙටි උස; සහ කුඩා අත් සහ පාද. Prader-Willi සින්ඩ්‍රෝමය ඇති සමහර පුද්ගලයින්ට අසාමාන්‍ය ලෙස පැහැපත් සමක් සහ ලා පැහැති හිසකෙස් පිහිටිය හැක. මෙම ජානමය බලපෑමට ලක් වූ පිරිමින් සහ බලපෑමට ලක් වූ කාන්තාවන් හට ප්‍රජනනය සම්බන්ද ගැටළු ඇත. ඒ නොවැඩුණු ලිංගික ඉන්ද්‍රිය පිහිටීම නිසාය. වැඩිවිය පැමිණීම ප්‍රමාද වී හෝ අසම්පූර්ණ වන අතර බොහෝ බලපෑමට ලක්වූ පුද්ගලයන්ට දරුවන් ලැබීමට නොහැකි වේ (නිසරු).
විශේෂ අධ්‍යාපනික ක්‍රම මගින් ඔවුන් හට සමාජයේ ජීවත්වීම සඳහා උපකාර කළ හැක. එහෙත් එය අද සමාජයේ සිදුවෙනවාද යන්න සැක සහිතය. ඇයගේ මව්පියන් ඇය ළමා නිවාසයක අත හැර දමා සිටියහ. මෙවන් දරුවන්ට හිතකර පහසු සුරක්ෂිත පරිසරයක් එවන් නිවාසවල බොහෝවිට දකින්නට නැත්තේය. ඇය රැක බලා ගන්නට වෙනම කෙනෙක් නොමැත.  එදා වෛද්‍ය ශිෂ්‍ය අවධියේ මෙවන් සිදුවීම් හමුවේ අතිශය සංවේදී වූ අතර දුක දරාගන්නට නොහැකිව හඬා වැටෙන අපේ කඳුළු පිටතට නොපෙන්වා සිටින්නට කාලයක් ගත වෙද්දී හැකි විය.



Sunday, October 24, 2021

තෝරාගැනීම් !


අනෝජා (අනවර්ථ නමකි) බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත දැරියක්. ඇය අපේ වාට්ටුවට ඇතුල් කරලා තිබුනේ වෛරස් උණ නිසා. මේ දවස් වල වගේම ඒ දවස් වලත් වෛරස් උණ තිබුනා, වාට්ටු පිරී ගියා.

අනෝජා හිටියේ අපිට පේන මානේ ඇඳක. ඒ දවස් වල මම වාට්ටුවේ වැඩ ඉවර කරලා මොකක් හරි බරසාර පොතක් කියවනවා. බොහෝ විට වෛද්‍ය විද්‍යාව සම්බන්ද පොතක්. අපිට එහෙම පොත් ගොන්නක්ම මිතුරෙක් ගෙනත් දුන්නා ඉස්සරහට එන එක්සෑම් වලට පාඩම් කරන්න කියලා.

"ඩොක්ටර් ඉංග්‍රීසියෙන්ද කියවන්නේ" අනෝජා එක වෙලාවක ඇහුවා.
"ඔව් අපිට ලියන්නත් කියවන්නත් ඔක්කොම කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන්" මම පැහැදිලි කළා.
"මට අමාරුම ඉංග්‍රීසි" අනෝජා කීවේ මූණ ඇද කරමින්.
"ඒක ඇත්ත මට ඕක හිතාගන්න පුළුවන්. ඉංග්‍රීසි කොහොමත් අපිට උගන්වන පොත පත නම් ස්ටෑන්ඩර්ඩ් මදි... ඊටත් වඩා ගුරු හිඟයත් තියෙනවානේ" ඒ එක්කම මම ඒ කාලේ දැක්කා එයාලගේ සිලබස් වෙනස් විත්තිය.
"ඒත් අනෝජා ඔයා දන්නවද මම පිටරට ඉගෙනගත් කාලේ පළමු ඉංග්‍රීසියෙන් තිබ්බ ලෙක්චර් එකට ගිහින් එළියට ඇවිත් ඇඬුවා" 
දෑස් විසල් කරමින් ඈ මදෙස බලයි.
" මොකද සුද්දොත් කතා කරන්නේ ඇක්සන්ට් එකකට... අපිට ඒ ඇක්සන්ට් එක තේරෙන්න කාලයක් ගියා. මං ඒ ඇහෙන විදියටම ලියාගෙන ගෙදර ඇවිත් වචන හොයා ගත්තා. අමාරු නෑ එහෙම ඉගෙන ගනිද්දී...ඩික්ශනරියක් පාවිච්චි කරන්න. අපි පොඩි කාලේ ඉංග්‍රිසි ටීවී චැනල් එහෙම බලන්න තිබ්බේ නෑ." 

ඔහොම ඉන්න අතරේ අනෝජා කියනවා පොඩි කාලේ කොයි තරම් අමාරුවෙන්ද පාඩම් කරේ කියලත්.
සමහර දවසට ගෙවල් අත ඇරලා කොහේ හරි නෑයෝ ඉන්න දිහාක ගිහින් එද්දී සති ගණන් පාසැල් පැවැත්වුනේ නැතිලු. අනෝජා ගේ අක්කා සංවිධානෙට බැඳුන නිසා ගෙදර අනික් කුඩා වුන්ට ඉන්න දීලා තිබුනා. 
"ඩොක්ටර් ඔයා කොහොමද ගෙදර නැතුව ඉන්නේ" අනෝජා කැඩිච්ච සිංහලෙන් අහනවා.

"ජීවිතේ අපිට එක එක කාලෙට එක එක විදිහේ තෝරා ගැනීම් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තෝරාගැනීම් එක්ක අපිට කොහොම හරි ඉන්න වෙනවා. Its a choice anoja, we just have no other option but to live with our choices" 

"ඒමද..." අනෝජා බර කල්පනාවක ආයෙමත්.

"ඩොක්ටර් ඒ තෝරා ගැනීම හොඳ ද?" අනෝජා ඉංග්‍රිසියෙන් අහනවා.

"I dont know dear. I just love what I do thats all that matters" මම ඇයට උත්තර දෙනවා ඉංග්‍රීසියෙන්. එහි තේරුම " මම දන්නෙ නෑ දරුවා, මම කරන දේ කැමැත්තෙන් කරනවා ඒක තමයි වැදගත් !"

මට මේ කුඩා ගැහැණු දරුවන්ගේ කතා මතක් වුණේ මෑතකදී මට මුහුණ දෙන්නට සිදුවුණු සිදුවීම් මාලාවක් නිසා. මිනිස්සු කොයි තරම් නම් තමන්ගේ ආසාවල් සහ කැමැත්තවල් නිසා අනුන් පෙළනවාද කියා මම අත් දුටුවා. ඉතින් මේ මතකයන් අළුත් කරන්නට හිතුනා.

බ්ලොග් ලියමන අමතක කරේ නැති වුනත් රැස පුවත් පතේ ලියන "සායනික සටහන් නොවේ"තීරුව ලියන්න සිදුවෙන නිසා ලියන්න ගත කරන කුඩා කාලය ඒ වෙනුවෙන් යොදවන්න සිදුවුණා.

ඒ ගැන ඇත්තෙ සුපහන් සිතුවිලි සමුදායක් ! 

මීට බොහෝ කලක සිට අපි ලියන ඒවා ඇස ගැටුණු පත්තර මිතුරන් නිසා ඒවා පුවත් පත් වල පල වුණා. නමුත් රැස පුවත් පත පටන් ගත් කාලයේ පටන් එහි තීරුවක් ලියන්න යැයි ආරාධනා කරමින් මට නිරතුරු මතක් කිරීම් එවමින් මංජුල සමරසිංහ මල්ලී මා ලවා කෙසේ හෝ තීරුව ලියවා ගත්තා. ටිකෙන් ටික පාඨක ප්‍රතිචාර සුබාශිංසන සමග වචන 650 හේ තීරු අවුරුදු දෙකක්ම පුවත්පත නවත්වනකම්ම ලීවා. මේ දවස්වල පස් තාච්චි පෙරළන්න ඉගෙන ගන්න නිසා, බ්ලොග් ලියන්න වෙලාවක් වෙන්කරගන්නවා හිතලාම.

ජීවිතය යනු තෝරාගැනීම් රොත්තක් ! ඇතැම් තෝරාගැනීම් හිතකරවූ ඒවා, ඇතැම් තෝරාගැනීම් ජීවිතේට අවාසනාව ගෙන ආවා. හැබැයි පාඩම් ඉගෙන ගත්තා. ඉදිරියේ වෙන්න තිබුණු විනාශ වැළැකුවා. එනිසා අවසානයේ ජීවිතයේ බොහෝ තෝරා ගැනීම් ගැන ලියන්නට ඇත්තේ ද මා අනෝජාට කී දෙයම ය.
"මම කරන දේ කැමැත්තෙන් කරනවා එයයි වැදගත් !"
,,📷 දුක, සතුට බෙදා ගත් උතුරු කොන වැව් ඉවුර. 2010 දී....

Friday, October 22, 2021

ඔව්‍ මං ඩ්‍රැකියුලාගේ නංගි !

 ලේ බැංකුවේ රස කතා....


ලේ බැංකුවේ වැඩ කරන අපි හැමෝටම මේ කාලය හරිම කලබල , අවිනිශ්චිත , ආතතිය පිරි කාලයක් බව ඔබ දන්නවා. මගේ වැඩේ ලියන එක. අපේ රුධිර පාරවිලයන සේවයේ පිටුවෙන් ! 
ඒ අතර මේ කතා රුධිර දායක අපේ ලේ  නෑදෑයෝ එක්ක බෙදාගන්න හිතුවා. මේ මට වෙච්ච වැඩ.

කතාව 1.
ගූගල් දෙයියාට අපේ පාර මිස් වුණු නිසා කවදාවත් ටැක්සි එකකට හරියට ලොකේශන් දෙන්න බෑ. ඉතින් ලේසියට ආසන්නම ලෑන්ඩ් මාර්ක් එක වන කනත්ත මාක් කරනවා. යන තැන නම් හරියට මාක් කරගන්න පුළුවන්. 
අදත් ලේ දන් දීමක්...

"මිස් ඉන්නේ කනත්තේ, යන්නේ ලේ බැංකුවට... 😁😁😁"
මට උදේම හිනාවක් මතක් කළ ත්‍රීවීල් අන්කල් කීවා.

"ඔව් ඔව් මං ඩ්‍රැකියුලාගේ නංගී 😊 " මාත් හිනාවට එකතු වුණා....

කතාව 2

කොවිඩ්‍ එක්ක සැරෙන් සැරේ ලේ එකතු කිරීම්‍ අඩු වෙද්දි රටටම ඔනෑ ලේ හොයන්න බෙදා හරින්න පුදුම මහන්සියක් වෙන්නේ අපි හැමෝම. එහෙම කාලෙක ගෙදර ඇවිත් මූණ නරක් කරගෙන ඉන්න මා දුටු අප්පච්චී මෙහෙම අහනවා.

අප්පච්චී : මොකද ලොකු දුව 

මම: මහන්සියි මටනම් එපා වෙලා අප්පච්චී

අප්පච්චී : ඒ මොකද ?

මම : ලේ අඩුයි..

අප්පච්චී : ඕක තමයි කියන්නේ.. ඉතින් හරියට කෑමක් කන එකක් යෑ... කන බොන ටික හරියට කන්න ඕනේ..ලේ අඩු ඒකයි.

මම : අයියෝ බනින්න එපා.....මගේ නෙමෙයි .... ලේ බැංකුවේ...

අප්පච්චී : ඉතින් හරියට කියන්න එපැයි ...රටේ ලේ කියලා...

කතාව 3

ලංකවේ සුළුතරයක් හැරුණු කොට බහුතරයක් බොහොම පරාර්ථකාමී මිනිස්සු.
මනුස්සකම් පිරුණු හොඳ මිනිස්සු.

මට ඒක හොඳටම මතක් වෙන්නේ ලේ දන් දීමේ කඳවුරුවලදී, අපේ රුධිර මධ්‍යස්ථානයකදී...
" හා එහෙනම් සේරම හරි අපි ලේ ටිකක් දීලා බලමු නේද " හිනාවෙන් මම අපේ දායක මහත්මයෙක්ට කියනවා.
" ඇයි ටිකක් ගන්නකෝ ඔක්කොම වුණත්. ඇත්තටම කියන්නේ පැකට් දෙකක් ගමු " 
අනේ අපේ රුධිර දායක මහත්මයා කියන්නේ මුහුණ පුරා හිනාවක් සමඟ.


සමහර මිනිස්සුන්ගෙන් රුධිරය ගන්න බැරි අවස්ථා එනවා. හොඳ නොවූ තුවාල , උණ කැස්ස හෙම්බිරිස්සාව, නිදා ගෙන ඇත්තේ සුළු වේලාවක් හෝ කෑම නොකෑම වගේ හේතු. මම ඉතින් මුලින්ම ඔවුන්ට ඇතිවිය හැකි කරදර ගැන කියද්දී
 "ඒකට කමක් නෑ ගන්නකෝ ඩොක්ටර් මට හානියක් වුනාට කමක් නෑ " කියලා බහුතරයක් කියනවා. 
සමහරු ආවේගශීලි වෙනවා. "මම පෙන්නුව හින්දනේ තුවාලේ දැක්කේ" කියලා.
ඒ තරම් පරිත්‍යාගශීලී මිනිසුන් ! එයාලව අමාරුවෙ දාලා ලේ ගන්න බෑ කියලා තවත් පැහැදිලිකරලා තුවාල හෝ ආසාදන තත්ව තිබේ නම් ඒ නිසා ලේ පරිත්‍යාගයත් අපතේ යා හැකියි කීවම ඔන්න පොඩ්ඩක් අපි කියන දේ අහනවා. 
මම පසුගිය දිනවල හිටපු යුරෝපීය රටේ නම් ලේ පයින්ට් එකකට පරිත්‍යාග කරන අයට අවශ්‍යනම් සල්ලිත් දෙනවා. ඉතින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට ඒක අමතර ආදායමක්. අපේ රටේ සියයට සීයක්ම රුධිර පරිත්‍යාග දානයක් හෙවත් රුධිර පරිත්‍යාගයක්ම නොමිලේම සිදු කරන බව අසා ඔවුන් පුදුම වුණා. එතැනදී සියළු ආගම් වල උදවියගේ ආගම දහමට ඇති නැඹුරුව වගේම මිනිසුන්ගේ පරාර්ථකාමීබව ගැන ද කතා බස් කළා. 
ඇත්තටම අපේ රටේ මිනිස්සු අනුන් ගැන හිතනවා. එදිනෙදා වැඩ අස්සේ තමන් ගැන වැඩිපුර හිතුවත් මේ වගේ වෙලාවක් ලැබුනම ඒ අය හිතන්න ගන්නවා ඇති
එහෙම තමා බහුතරයක්...පරිත්‍යාගශීලී පරාර්ථකාමී මිනිස්සු !
එහෙම මිනිස්සු හරි සුන්දරයි !

ඔබත් මේ මොහොතේ ළඟම තිබෙන ලේ බැංකුවට හෝ රුධිර මධ්‍යස්ථානයට යන්න හැකිනම් ගිහින් රුධිරය පරිත්‍යාග කරන්න.

 බොහෝ රුධිර මධ්‍යස්ථාන සහ ලේ බැංකු රෝහල් පරිශ්‍රයෙන් පිට වාට්ටු සමග ගැටෙන්නේ නැති තැන්වල පිහිටාතිබෙන්නේ.
බොහෝ අලුතෙන් හැදූ ලේ බැංකු ගොඩනැගිලි ගේට්ටුව අසලම,රොහලෙන් පිට වෙනත් ගේට්ටුවකින් සම්බද වන ලෙස පවතී.( උදාහරණ මහ රෝහල- කොළඹ , රාගම, කුරුණෑගල , අනුරාධපුර , මහරගම....)

නාරහෙන්පිට රුධිර මධ්‍යස්ථානය සහ කඹුරුගමුව දකුණු රුධිර මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ රෝහලක  නොවේ.
අප රෝහල් සහ මධ්‍යස්ථානවල කාර් යය මණ්ඩලයේ සියල්ලන්ම වාගේ ප්‍රතිශක්තිකරණ එන්නත දෙවන මාත්‍රාවත් ලබාගෙන අවසන්.ඔවුන් ඔබ හමුවට එන්නේ මුහුණු ආවරණ සහ ආරක්ෂිත ඇඳුම් මෙවලම් ඇඳගෙනය. ඉතින් සෞඛ්‍යාරක්ෂිතව රුධිර දානයට ඔබට පහසුකම් ඇත.

වෛද්‍ය බෝධිනී සමරතුංග 
නාරහෙන්පිට ජාතික  රුධිර මධ්‍යස්ථානයෙ වැඩ කරන කාලේ ලියපුවා…..
📷 රුධිර ගබඩාවේ බෙදා හැරීමේ කට්ටිය....

Thursday, October 21, 2021

මං තමා ලොකුම හොල්මන !

අවුරුදු දා කට්ටිය එක්ක හොලමන් කතා කිව්වට පස්සෙ මේ කතාව මතක් වුණේ....

මම නම් කනත්තක් පහු කරගෙන ගෙදර යන කෙනෙක් සහ කනත්ත පේන දුරක ගෙදර තියන කෙනෙක් නිසාත් පොඩ් කාලේ ඉඳන් නෑදෑ අයියලා අක්කලා එක්ක ඔය කනත්ත සහ සියලුම යක්කු පෙරේතයෝ ගැන කතායි අහලා, බය වෙලා බය කරලා, යක්කු බලන්න රෑ දොලහ වෙනකම් ඇහැරගෙන ඉඳලා,  හොඳට පදම් වෙලා නිසා කළුවරට සහ අමනුස්ස කතා කෙරෙහි කිසිම බයක් නැතුව හිටිය කෙනෙක්.

මහ රෑත් පාන්දරත් රෝහලම කිසි හැල හොල්මනක් නැති වෙලාවෙත් ඇවිදගෙන යන්න වෙනවා වාට්ටුවට හදිසියක් වෙලා කතා කරාම. යුද්ධේ ඉවර වුණු මුල නම් මහ රැයෙත් රෝහල පුරා සොල්දාදුවෝ හිටියා නිදිවරමින් ආයුධ අත දරාගෙන. රෝහලම මහ දවල් වගේ එළියයි ලයිට් නිසා. රෝහලක් නිදියන්නේ නෑනේ රැයක් දවාලක් නෑනේ. ඉ
මෝචරිය පහුකරලා යන්න තියෙන මනෝවෛද්‍ය වාට්ටුවට ඒ කාලේ රෑටත් තනියම යනවා. ආයේ ක්වාටර්ස් යද්දී බලෙන්ම ඇටෙන්ඩන්ලා පස්සෙන් දුවන් එනවා ආරක්ෂාවට.

ඔන්න කොහොම හරි අපිට තිබ්බා ප්‍රසව වාට්ටු දෙකක්. මේ දෙකෙන් වැඩි පුරම අපි රැඳෙන්නේ පරණ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ.
අලුත් වාට්ටුවේ ලේබර් රූම් එක හෙවත් ප්‍රසූතිකාගාරය සහ කාමරය මහා විශාලයි ඒවගේම ඒක වාට්ටුවෙන් පිට කොරිඩෝවක එහායින් තමා තිබ්බේ...අලුතෙන් හදපු එක. 

එක දවසක් හවස, දරුවෝ ලැබෙන්න හිටිය අම්මලත් ඔක්කොමලා ඒ වෙනකොට "ඩිලිවර් කරලා" සියල් වැඩ සපුරල,මම එපිස් ටිකත් පට් පට් ගාලා මහලා ඒ වෙනකොට. 7 ට ඕෆ් වෙන්න මිස්ලා යන්න සැරසෙනවා. පසු ප්‍රසව කාලය ඉතින් සෙල්ලම් නෙමේ. රුධිර වහනය ගැන බලාගෙන ඉන්න ඕනේ. බැරි වෙලාවත් මිස් වුණොත් අම්මලාගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ. ලෝකේ , දරු ප්‍රසූතියෙන් පසු අම්මල වැඩියෙන්ම මිය යන හේතුව පසු ප්‍රසව රුධිර වහනය. මගේ පොඩි අක්කා (කසින්) මියගියෙත් පළමු දරුවා ලැබිලා ඒ එක්කම ආපු මේ තත්ත්වය නිසා. ඉපදුණු සැනින් දරුවෙක්ට අම්මා අහිමි වෙනවා කියන එක ඛේදවාචකයක් !

ඉතින් අම්මලා සියල්ල මොනිටර් කරලා පිට කරනකම් ඒ කොටසේ තිබ්බ මේසය මත ලැප්ටොප් එකත් දිග ඇරගෙන පෙරි නේටල් මෝටැලිටි මීටිමේ ( peri natal mortality meeting)  ප්‍රසන්ටේශන් එක හදනවා. 

ඒ කීවේ ප්‍රාදේශීය සෞඛ්‍ය  සම්බන්ද ලොකු මීටිමක් තියෙනවා අම්මලා සහ බබාලගෙ ප්‍රශ්න කතා කරන.දරු ප්‍රසූතියේදී අපහසු වුණු අමාරුවුණු අසාද්‍ය වුණු කේසස් කතා කරනවා. එහිදී අපේ වැරදි හොයනවා කියලා අපි හිතුවට ඇත්තටම වැරදුණු තැන් සහ ඒවා නිවැරදි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලනවා. විශේෂඥ වෛද්‍යවරු ඒ ගැන උපදෙස් දෙනවා. රෝහලම රැස් වෙනවා. දරු උපත් ප්‍රසව කාලය ගැන විස්තර හොය හොයා අවි අමෝරාගෙන එන ප්‍රදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට මෙන්ම මව්-දරු පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට තමා අපි බයම. (MOH and MOMCH)
ඔහේ යන්නන් වාලේ යන්නේ නැතුව මේ රටේ ප්‍රජා සහ ප්‍රතිකාර අංශවල සෞඛ්‍ය සේවය මේ තරම් කාර්‍යක්ෂම සහ වගකීමක් සහිත වෙන්න ඒ ඇඟිලි ගැසීම් උදව් වෙනවා.
ප්‍රසුතිකාගාරය පැත්තේ ඇවිත් පරණ සටහන් පොත් එහෙමත් බලා ස්ටාෆ් එකෙන් විස්තරත් අහගන්නවා එයාලා. 

ඉතින් එදා....
අන්තිමට දරුවා ප්‍රසූත කරපු අම්මත් දරුවා තුරුල් කරගෙන ස්ට්‍රෙචර් එකේ හිනාවක් එක්ක "නන්ඩ්‍රි අම්මා" කියලා ලේබර්  රූම් එකෙන් පිට වුනා, එතකොට හතට විතර ඇති. ඉන්පස්සේ මිස්ලා ඇටෙන්ඩන් ලා ලේබර් රූම් එක පිරිසිඳු කරලා යන්න ගියා. මම තවම වැඩ...
කොහොම හරි ඔන් කෝල් හිටියේ වෙන කෙනෙක් නිසා මට කරදර බාදා ආවෙත් නෑ. රෝහලේ අපේ ඒකකය වෙනුවෙන් ප්‍රසන්ටේශන් එක හදලා ඉවර වෙද්දි රෑ නමය විතර වුණා. ලැප්ටොප් එකේ ප්ලග් ගලවලා පැක් කරගෙන එළියට එන්න දොර එහෙ මෙහෙ කරද්දී එතන තිබුණු  කාමරේක පුළුන් ඔතමින් ගෝස් පැක් හදමින් හිටිපු පිරිස කෑ ගහගෙන වාට්ටුව පැත්තට දිව්වා.

මාත් බයවෙලා දොර ඇරගන්න බැරුව තව ලතවෙලා....පැටලිලා ...ලැප්ටොප් එකත් බී එච් ටී ටිකත් උස්සන් මාත් අරයලා පස්සේ දුවනවා. වාට්ටුවම කළුවරයි ලයිට් නිමලා... කට්ටිය ආත භූත නැතිව දුවනවා.
ඉතින් කොහොම හරි දුවන අය පස්සෙ මං දුවලා, ඒ අය තව හයියෙන් දුවලා... ලයිට් ඇති කොරිඩෝවට ගියාම තමා භය බිරාන්ත වෙච්ච  හති දමන මිස්ලා ඇටෙන්ඩන්ලා පිරිස දැක්කේ.
"මොකෝ දිව්වේ"

"අයියෝ ඩොකටර් ද ලේබර් රූම් එකේ හිටියේ..." හති දම දම හිටිය මිඩ්වයිෆ් මිස් කෙනෙක් අහපි.

ඩියුටි මාරුවුණ නිසා මේ රෑ වැඩ ආපු අය දන්නෙ නෑ මං ඇතුලේ කීයලා . වැඩ අහවර කළ අයට කියන්න අමතක වෙලා මං හිටියා කියලා. ඇතුලෙන් සද්ද එද්දී... මේ කට්ටිය පණ එපා කියලා දුවලා.

හේතුව අහගත්තෙත් එතකොට. ඒ වෙනකොටත් ලේබර් රූම් එකේ කාලෙකට කලින් සිදුවෙච්ච මාතෘ මරණයක් නිසා ඒ මැරුණු අම්මා හොල්මන් කරන බවට කතාවක් තියෙනවාලු . කිහිප දෙනෙක් දැකලත් තිබුණා. දැක්ක අය හැඩ රුව පවා කීවා. ඒක ඒ කට්ටිය සීරියස්ලි ගත්තු කතාවක් !

ඉතින් එයාලා හිතලා ඇතුලේ සද්ද ඒ නිසා කියලා... දොරත් අරිද්දි තව බය වෙලා
මම කිව්වා 
"මේත් ඉතින් හොල්මනක් තමා වැඩි වෙනසක් නෑ" කියලා....

පස්සේ ඉතිං මෙයාලව සනසන්න "අපෝ ඕවා බොරු කතා..හොල්මන් කොහෙද දොරවල් අරින්නේ"කියලා දාර්ශනික කතා කීවට පිලිගන්න කෙනෙක් හිටියේ නෑ.

මං බය වුනෙත් නෑ.

ආ අර මෝචරිය පහු කරලා ඒක වටේ දිග කොරිඩෝවකින් යන්න ඕනේ මනෝවෛද්‍ය වාට්ටුවට... යද්දි අතරමැද කටස් ඩාං කියලා සද්ද ඇහෙනවාමයි. මාත් මුලින් ගැස්සුණා හයියෙන් අඩිය ඉක්මන් කරා. ඕකටත් බය වෙච්ච අය ඉන්නවා.
බලද්දි මෝචරියේ මිනී තියලා තියන ෆ්‍රිසර් එකේ ෆෑන් එක ඔන් ඕෆ් වෙනවා !

බය වෙලාම නැද්ද ?
මොකෝ නැත්තේ  සද්දවලට පොඩ්ඩක් හිත ගැස්සිලා තියෙනවා. ඒත් තවම හොල්මන් දැකලා නම් නෑ.

📷 සතුටින්ම හිටි කාලය... අනිත් කොනේ ප්‍රසව වාට්ටුවේ, ඩිස්චාජ් ලියන අතරේ..

Wednesday, October 20, 2021

අන්නාසි සහ කඩලාගොටු මතක....

මීට අවුරුදු දෙකකට කලින් අද වගේ දවසක මට අන්නාසි සහ කඩලගොටු හෙවත් A &K lit festival එකේ සංවාද මණ්ඩපයක කතා කරන්න ලැබුණා.

මිනිස්සුන්ගේ සැබෑ ජීවන අත්දැකීම් ගැන කතා කරන වේදිකා මට කිහිපවරක් හමුවෙනවා.
අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උළෙල එසේ මා දෙවරක් සහභාගී වූ සංවාද මණ්ඩපයක්...

මේ ගිය අවුරුද්දේ අප සහභාගී වූ සංවාද මණ්ඩපය - ලේඛනය ආශ්‍රිත ස්ත්‍රී චින්තනය යන මැයෙන් පැවැත්වූ අතර ඒ සඳහා මන්නාරමේ සිට මෙහි පැමිණ සහභාගී වූ වෙට්රි චෙල්වි සහ මම යුද්ධය අවසානයේ එකම රෝහලකදී අවකාශය බෙදාගත් අය බව වැටහෙන්නට ටික වේලාවක් ගියා. සෙනඟ උතුරන උතුරු කොන රෝහලක දෝරේගලන දුක්ඛ දෝමනස්සයන් එක්ක බොහෝ අයගේ නම් සහ සිදුවීම් අමතකව ගිහින් තිබුණා ඒත් වෙට්රි එක්ක කතා කරද්දී මට ඇය මතකයට නැඟුනා.

මතකද 2009 එක්තරා දිනක මා ප්‍රථමයෙන් බ්ලොග් සටහනක් ලීවා….ඉර හඳ යට ආදරේ විඳින්න, from north with love… කියලා. ඉන්පසු මාසෙකට සැරයක් හෝ මාස දෙකකට සැරයක්… හෙමින් හෙමින් උතුරු කොන රෝහලේ සිට ලියැවුණු අනිත් කොනේ විත්ති මේ සටහන් කියවන සියලු දෙනා හරි ආදරයෙන් ආශාවෙන් වැළඳ ගත්තා. උතුරු කොනේ ජීවිත ගොඩ නැගීම් , ජයග්‍රහණ ලියවෙද්දී ඔල්වරසන් නැගූ ඔබ සැම, පරාජයන්, දුක්වැළපීම් වලදී දුක බෙදාගන්නත් අනිත් කොන සමග සිටියා. මට අවශ්‍ය වුණේ රටේ ඉතාම තීරණාත්මක කාලයක , යුද්ධය අවසානයේ රටගොඩ නැගීමේ කර්තව්‍යයට එක පැත්තකින් උර දුන් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ අපි මුහුණ දුන් දේවල් සහ අනිත් කොන වැසියන්ගේ ජීවිත වල හැඩතල ඔබ හා බෙදා ගන්නයි.
2009 සිට අවුරුදු ගණනක් තිස්සේ ලියමින් සිටි බ්ලොග් සටහන් පොතක් වුණේ 2014 දී...ඉන්පසු පුවත්පත් තීරු ලිපියක් ලෙස ලියූ සෞඛ්‍ය කතන්දර පොතක් වුනේ ගිය අවුරුද්දේ...

වන්නි අහස යට අකුරු කළ සැබෑ ජීවන අත්දැකීම්, ගල්කිස්සේ හෝටලයේ සාහිත්‍ය උළෙලෙහි සංවාද මණ්ඩපයක බොහෝ නිදහසේ කතා කරන්නට ලැබේවි කියා කවුද හිතුවේ !

When i wrote the blog anonymously , beneath the wanni sky I never imagined that I would sit leisurely and discuss what we went through with an audience in south.
 Mine and Vetrichelvi's, (a writer from mannar), pathways crossed once during the post war era when there were no two sides but a bunch of internally and externally displaced people...lost in their own world of chaos, trying to find their destiny ! 

This discussion panel took place at the AK lit festival on oct 20th 2019, vetri, myself along with Prashani (the author of asiri's quest which unweils her magical writing wrapping up mythical creatures of our traditions and culture.) And Smriti moderating the panel.

Met this strong lady at a&k 
This is what our future generations should reach and read. 
 Vetrichelvi Velu - her stories remind us why we have to choose Love in the midst of all hatred and divisions. Her writing , her glare should reach the  south. 
thank you vetri for being the person you are ! Thank you for forgiving and accepting life challenges with love. this is the kind of healing we need for this country ❤️🌸

එහිදී හරි වැදගත් හමුවීමක් වුණා. ඒ උතුරෙන් ආපු වෙට්‍රි චෙල්වි හමුවීම.
A woman's gaze , නමින් හැඳින්වුණු අප සාකච්චාව ස්ත්‍රීවාදී ලිවීම ගැනද කතා වුණා.
අප මුහුණ දුන් ගැටළු, බාධක සහ අපේ දෘෂ්ටිය වෙනස් වූ හැටි එහිදී කතා කළා 

වන්නි අහස යට ඉඳගෙන අකුරු කළ අමුතුම කාලයක සැබෑ ජීවන අත්දැකීම් ගල්කිස්ස හෝටලයේ සාහිත්‍ය උළෙලක සංවාද මණ්ඩපයක බොහෝ නිදහස් කතා කරන්න ලැබේවි කියා කවුද හිතන්නේ ! 

Photo credits - Nalaka gunawardena

Tuesday, October 19, 2021

හරිනම් එයා එන්ඩ ඕනේ අපිව බලන්න !

මේකත් අනිත්කොන පොතේ ලිව්වෙ නැති කතාවක්. 

අනිත්කොන රෝහලේ දවසක් හෙණ කාලගෝට්ටියක් නලුවෙක් නිලියෙක් එනවා කියලා.
අපිත් ඔන්න වැඩ නවත්තලා බලන්න ගියා කියමුකෝ සල්මාන් කාන් සහ අසින්. සලමන්ට එච්චර කැමැත්තක් නැතිවුණත්...අසින් මාත් කැමති නිළියක්,ගජිනි වගේම තව කැමති ෆිල්ම්ස් කීපයක් තිබ්බා ඒ වෙද්දි. කොහොමත් මං දෙමළ ෆිල්ම් බැලුවේ තරුණ කාලේ ඉදන්.. මාධවන්, සූර්‍යා ඊටපස්සේ කාර්තික් මට නම් ඉතින් මාරයි. ප්‍රභූ දේවා නම් අදටත් මාරයි. 

එතනින් යන්න ගිය ඇනස්තීසියා අයියෙක් අපිට කින්ඩියට හිනාවෙමින් ගියා. පස්සේ කියනවා... 

" පොරකාලා බලා ගත්තද ? ....පිස්සුද හලෝ ... මෙච්චර වැඩ කන්දක් එක්ක හැප්පෙන ඔයාලා, නිළියෙක් බලන්න පොර කනවා...හරිනම් හසිනි එන්ඩ ඕනේ ඔයාලා බලන්න.මළ විකාර. මේ මං හිටියේ, එයාට ඕනෙනම් මාව බලන්න ආපුදෙන් කියලා" 

"ඉතින් ආවද ?" 

"තියටර් එක ළඟටම ඔය ඇවිත් ගියේ මං ගණං ගත්තද ? නෑනේ..." 

"මේ එයාගේ නම හසිනි නේමේ අසින්" 

"අඩේ,  කවුද ඕවා දන්නේ... ඇහුණේ හසිනි කියලා" 

අපව සිනා සාගරයක ගිල්වමින් ඔහු උත්තර දුන්නා.
පහුවෙනිදා වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේදී අපි අසින් බලන්න ගිය එකට අයියා අපිට හිනා වෙනවා. ඒ එක්කම මම කිය කියා හිටියා එදාම හවස මැණික්ෆාම් හි ටෙන්ට් එකක ගින්නක් නිසා පිච්චිලා ආපු බඩදරු අම්මා කෙනෙක්ගේ පිච්චුන බඩ අමාරුවෙන් ස්කෑන් එක කරපු හැටි.

"ඒයි අසින්ට බනින්න එපා එයාලා ආධාර කරලා ඇස් වාට්ටුවම හැදුවා සර්ජරි කරන්න පටන් ගත්තා තමන්ගේ ප්‍රතිභාව තමන්ගේ දක්ෂකමෙන් උපයන සල්ලි එහෙම ඩොනේට් කරන එකත් බෝසත්කමක් තමයි.අපි කරන්නේ රස්සාව. ඒ වගේද අසින්ලා" මම වාද කළා. 

මට තවමත් මේ දැවැන්ත චරිත එක්ක තියෙන්නේ සතුටක්. සමාජයක් වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් වෙන එක. උතුරේ රෝහලක ඇස් වාට්ටුවක් හදලා.අක්ෂිකාච සැත්කම්වලට ධන පරිත්‍යාග කරලා ඒත් මේ අපේ රටෙන් පිට රටක නිළියක් සහ නළුවෙක්.
නළුවා නම් ආවේ නෑ. 
එහෙම ප්‍රතිභාපූර්ණ සමාජ ආකර්ෂණීය චරිතවලට සමාජයේ සුබසාදනය සඳහා බොහෝ දේවල් කරන්න පුළුවන්. මත්පැන් සිගරට්, අහිතකර කෑමවර්ග ප්‍රචාරනය නොකර ඉන්නත් පුළුවන්. 

අසින්ව හැබැහින් දැක්කෙත් නෑ. කොහෙද පොරකන්න බැරි නිසා අපි පස්සට වෙලා හිටියා. උස අයියා කෙනෙක් අපේ කැමරාව ඉල්ලන් ෆොටෝ ටිකක් ගහලා දුන්නා. අසිනිව අල්ලන්න කතා කරන්න කොහොම හරි තෙරපුණු අපේ මිස්ලා ඇටෙන්ඩන්ලා ටිකටහැකි වුණා. 

"ආනේ අසින් අල්ලපු අත...ආ මේ එයාගෙන් චුට්ටක් ගෑවිලා...හනේ ඒ පාටම වෙලා... හායි අසින්" කිය කියා විහිළු කළා.

" අත හෝදන්න එහෙම එපා ඉතින් අසිනි අල්ලපු අත නේ" එහෙමත් විහිළු කළා. 

ෆොටෝ එකේ දේසපාලන සීන් කෝන් ටිකකුත් මතුවෙන නිසා මූණු හැංගුවා. එහෙම නැත්නම්, මේ කියවන්න එන කට්ටියට අසින් නෙමේ පෙනෙන්නේ අර දේසපාලන දේවතාවියො ටික. 

This picture was taken when south indian film star asini visited our north end hospital. photos which were in my old laptop brought back many untold stories and i am so tempted to unveil them in face book where majority of my friends became fans of my books. 
I have no intention to harm or insult any living person but to bring out the stress and fun filled hectic work load of our north end post war era service. 
කාලය 2010 මැයි/ජූනි විය යුතුයි.
(උතුරේ පාවිච්චි කළ ලැප්ටොප් එක පණ ඇදලා මැරුණා. හාඩ් ඩිස්ක් එක රිකවර් කරලා දුන්නා සැමියා. 
මේ පින්තූරේ ඉතින් , පස්සටම වෙලා හිටියා ලෝකල් නිළියන්ගේ කැමරා එක අරගෙන ටිකක් උස අයියා කෙනෙක් ඉන්දියානු නිළිය සහ අපේ ඇමතිනිලා ගේ පින්තූරයක් අරන් දුන්නා. මේක හරිම පරණ පින්තූරයක්.
දැන් මේවා දකිද්දි හෝ ගාලා මතක් වෙනවා කතන්දර. අපි අසිනි දැක්කේ නෑනේ අන්තිමට අපේ පින්තූර ගත්තා )

අනිත්කොන මතක (පොතේ නැති කතා) උපුටා ගැනීම හෝ පළ කිරීම තහනම් !!!!

Monday, October 18, 2021

පෑන් ඉස්සීම

බ්ලොග් ලියන්න කියලා විටින් විට මුහුණු පොතේ මතක් කිරීම්.
ඇත්තටම මගේ අන්තර්ජාල ලියැවිල්ලට තිත වැටුණේ පත්තර කෝලම් එක නිසා කියලයි හිතුනේ. පහුගිය අවුරුද්දේ ඉඳන් මේ දක්වා හරිම කලබල කාලයක් ගත වුණා 
කොවිද වසංගතය එක්ක ඇතිවුණු කලබල අස්සේ ඇතැම් දිනවල ඇතැම් කතා කියලා මම පොඩි සටහන්වාගයක් මුහුණු පොතට එකතු කළා. ඒවා විටින් විට මේ අතරින් පතර පල කරන්න හිතුවා.

පෑන් ඉස්සීම..
පෑන්වල නම ගහගෙන පාවිච්චිය සීමාවාසික කාලේ ඉඳන් කරන දෙයක්...පෑනක් නැතිවුනොත් සොරිම තාමා. හදිසියට මිස්ලගේ පෑනක් ගත්තත් මිස්ලා පෑන දිහා බලාගෙන ඉඳලා ලියන ටික ඉවර උන ගමන් ඉල්ලා ගන්නවා. පැනක් හදිසියේ හරි අතින් අරන් ගිහින් තිබුණොත් දෙනකම් මතක් කරනවා.
ඒකත් ඉතින් මෙහෙම පැන් බටේ අස්සට නම ගහපු පෑන්. ඉතින් ආ ගිය තැන්වල නැවත ඇවිදලා නම ගහපු පැන හොයාගන්නවා.

මං නම් ඉතින් පාට කොළයක් ඔබලා.... මේ පාට මගේ කියාගෙන ඉන්නවා...
පස්සෙ කාලෙක නම ගහගෙන පාට කොළ දාලා පෑන් පරිස්සම් කරන පිස්සුව නැති වුණේ nbc වැඩ කරද්දි බොහෝ දුරට කොම්පියුටරේම ලියන වැඩ කරපු නිසා, හැබැයි ඉතින් පෑන් ඕනෙ වුණාම තියන එකකින් වැඩ කරනවා. මගේද කාගෙද අදාල නෑ...අනික මම ගෙදරින් ගේන පෑන කොහේ හරි අමතක වෙනවා. 
පසුගිය දාක බඩු අස් කරනකොට දැක්කේ...අපේ කන්සල්ටන්ට්, ඉන්දිකා මැඩම්ගේ පෑනත් මං උස්සලා. මේක රිටර්න් කරන්න බැරි වුණා. 
අවුරුදු දෙකක් කොරෝනා එක්ක ලේ බෙදා හැරීම් එකතුකිරීම් ගැන අපි එක්ක ලොකුම කට්ටක් කෑවා මැඩම්. ඒ ප්ලෑන් නිසා ලේ වැඩි වෙන්නෙත් නැතිව අඩු වෙනකොට පුළුවන් තරම් මැනේජ් කරගෙන යන්න පුළුවන් වුණා. අනික අපිට තීරණ ගැනීමේදී ඕනෑම දෙයක් කතා කරන්න විරුද්ධ අදහස් වුනත් කියන්න කිසි බයක් දැනුනේ නෑ. මත ගැටුම් කවදාවත් දුර දිග ගෙනිච්චේ නෑ. මට එහෙම බොස් කෙනෙක්ගෙන් මැසිව් සපෝට් එකක් කිසිම දවසක දැනිලා නෑ.  අදටත් ලොකු සෙනෙහසක් ගෞරවයක් තිබෙනවා.
The support and strength was unbelievable 💐  මේ පෝස්ට් එක දාන්නෙත් මේක පෑන් ඉස්සීම සම්බන්දයෙන් සෞඛ්‍ය ක්ශේත්‍රයේ තියෙන විහිළුවලත් epic ම සිද්ධියක් නිසා ❤️💐

කන්සල්ටන්ගේ පෑන උස්සපු කෙනෙක් ඉන්න විදිහක් නෑ ඉතින් !
මේ සටහන දැකලා ඇය කියනවා, "වෙන මිනිස්සු මැරුණම තමා හොඳ කියන්නේ ඒත් මට මැරෙන්න කලින් මෙහෙම හොඳ අහන්න සැලැස්සුවාට ස්තූතියි" කියලා.
ඇත්තටම ඇයි අපට මිනිස්සු මැරෙනකම්ම වේ අයගේ හොඳ මතක් නොවෙන්නේ....


Friday, October 15, 2021

දරුවන්ට හොඳම නෑ !

ලියන්න හරි කම්මැලියි.... ඒත් බ්ලොග් ආයෙත් ලියන්න කියලා හෙමි හෙමින් උත්සාහය.
අද උදේ journal paper එකක් කියවනකොට කොහොම හරි මේ ටික කෙටියෙන් ලියන්න හිතුවා. පොඩි පොඩි සටහන්... කියවන්න කම්මැලි නැති සටහන්.
ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් .. ඇමෙරිකාවේ නම් බැන් කරන්න හෙවත් තහනම් කරන්නයි කතාව. 
 ඒත් බැට් බොල් තරු ඇවිත් කීවත් දරුවන්ට දෙන්න එපා කියලයි කියන්නේ.
මේ ඇමෙරිකාවේ හෘද විශේෂඥයින් ගේ ජර්නල් එකෙන් කොටසක්.
ඒක බෑන් කළ එකෙන් හෘද රෝග අඩු වෙයි කියලත් කියනවා.

ඔය මම පින්තූරේ කළුවට උඩින් පෙන්නලා තියෙන්නේ ඒ trans fatty  acid  කියන්නේ මොනවාද කියලා .
බලන් ගියාම අපි කන කේක් කෑල්ලේ පෙස්ට්‍රියේ බනිසේ එකේ ඉදන්ම ඒවා නේ...
කමක් නෑ කොහොමත් මැරෙනවනේ...කියලා සමහරු තර්ක කරයි.
ඊයේ දරුවාගේ ඉස්කෝලෙ නර්ස් නෝන කිව්වේ වතුර සහ කිරි ඇරුණුකොට වෙනත් ආටිෆිෂල් බීම සතියට එක් වතාවක් දෙන්න කියලා.

මේ ස්ක්‍රීන් ෂෝට් එක ගත්ත ජර්නල් අටිකල් ලින්ක් එක මෙන්න
Image source - aha  circulation, journal article.

Monday, October 11, 2021

ළමයින්ටයි පාට පාට

2019 මැයි මස ලියූ පුවත්පත් ලිපියකි

විවිධාකාරයේ ඉස්ලාම් ආගමික පාසල් පසුගිය කාලයේ සිදුවීම් පෙළ සමඟ කරළියට ආවේය. විවිධ වූ සංස්කෘතීන්, ආගම් හා ජාතීන් රැසක් ඇති මේ කුඩා දිවයිනට මේ සා විසල් බෙදීමක් සැඟවීමක් කුමටදැයි මට සිතේ. මේ සියල්ල අවුරුදු කිහිපයක් තුළ මේ රට බිලිගත් ආගමික අන්තවාදයේ බිහිසුණුකමය.

දිවයිනේ සියලුම දරුවන් කෙරෙහි එකම නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතුය. නමුත් විසි එක්වන සියවසේ තාක්ෂණයේ හිනිපෙත්තෙහි සිටින්නාවූ මේ සමාජයේ මෑතක සිදු වුණු පුපුරා යෑම් තුළින් හෙළිවූයේ කුමක්ද? අපේ රටේම මුස්ලිම් ජාතික ඇතැම් දරුවන් පිරිසක් සෙසු දරුවන් විඳින්නා වූ ළමා කාලය නොලබන බවය. අධ්‍යාපන රටාව නොලැබෙන බවය. ඇතැම් ඉහළ පාන්තික දරුවන් මේ සියල්ල ලබන අතර අන්තවාදය දැඩිව ක්‍රියාත්මක වන ඇතැම් පෙදෙස්වල සහ මුස්ලිම් ජන සමාජවල මේ දරුවන් වෙනස් වූ ජීවන ක්‍රමයකට බලෙන් ඇද දමා ඇති බවත් දක්නට ලැබේ.

මට අවුරුදු 18දී මුල් වරට රටේ නැඟෙනහිර පෙදෙසට හෙවත් අක්කරෛපත්තුව ප්‍රදේශයට යෑමට ලැබුණේ එහි සේවය කළ ඥාතියකුගේ සුවදුක් බැලීමටය. ඉන්පසු වාර්ෂිකව එහි යන්නට එනන්ට සිදු වූයේ දීඝවාපී චෛත්‍යය වැඳ පුදා ගැන්මටය. ඒ යන ගමන්වලදී හමු වූ මුස්ලිම් ජාතික මිනිසුන් වෙතින් කියැවුණේ අමුතු කතාය. අප ගිය එක ගෙදරක දරුවන් දෙදෙනකුගේ අම්මා කෙනෙකු සිටි අතර ඇයත් මගේ වයසේමයි කී විට මා පුදුමයට පත් වුණෙමි.

"ඔයා මගෙ වයසෙමයි. ඔයාට දරුවන් දෙන්නෙකුත් ඉන්නවා. ඒත් මම ඒ ලෙවල් කළා විතරයි." කියා මම කම්පා වුණෙමි.

මගේ කතා අහගෙන සිටි ඒ ගෙදර ආච්චි කෙනෙකු සිනාසෙමින් පැවසුවේ එය මේ එතරම් පුදුම විය යුතු දෙයක් නොවන බවය. ඇය තවදුරටත් පැවසුවේ ඇයව විවාහ කර දුන්නේ අවුරුදු 11දී පමණ බවත් ඇය ඒ වනවිට මල්වර වී නොසිටි බවත්ය. ඇය විවාහ කරගත්තේ අවුරුදු විසි ගණනක් වයස පුරුෂයෙකි.

මගේ නළලට එසැවුණු විසල් වූ දෑස් හමුවේ ඇය පැවසුවේ වැඩිවිය පැමිණෙන තුරු නැන්දම්මා ළඟ නිදාගත් බවත් අවුරුදු 13දී වැඩිවිය පැමිණුණු අතර අවුරුදු 15 පමණ වනවිට පළමු දරුවාද ලැබුණු බවත්ය. මගේ හිත අවුරුදු ගණනාවක් පෙළූ මේ පුවත ඉන්පසු මාගේ දෑස් හමුවේ රඟදෙන්නට පටන් ගත්තේ උතුරු කොන සේවය කරද්දීය.

අගනුවර කතෝලික පාසලක ඉගෙනුම ලැබූ මගේ මිතුරියන් සිහිවිය. මුස්ලිම් ජාතික මිතුරියන් හතර දෙනෙකු පමණ සිටි අතර ඔවුන් මුහුණු ආවරණය නොකර පාසලේ විවිධාකාර වූ ක්‍රීඩාවල යෙදුණු, ජාතික තලයේ ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කළ අය වූහ. ඔවුන් කිසිවෙක් අඩු වයසෙන් විවාහ වූයේ හෝ ඉගෙනීම නතර කළේ නැත. සමහරෙක් ප්‍රබල දේශපාලන පවුල් පසුබිමක් තිබූ අය වූහ.

එදා දහඅට වියැති දැරියකව සිටි මා නැඟෙනහිර පළාතේ වැඩිහිටියන් සමඟද ඉන්පසු විසි අට වියැති වෛද්‍යවරියක්ව උතුරේ රෝහල්වල හමුවන ළමා මවුවරුන් දුටු විටද තර්ක කළෙමි. "හයක් හතරක් නොතේරෙන දරුවන්ට එහෙම කරන එක වැරදියි. මෙහෙම රටක එහෙම වෙන්න දෙනවා නම් ඒක කොයි තරම් වැරදිද?" මම එහෙම කියන විට ඒ වැඩිහිටියන්ගෙන් ලැබුණේ එකම උත්තරයකි. "ඒක අපේ ආගමික, ජාතික සංස්කෘතිය, ඒක නීතියෙන් තහනම් නෑ." යන්නයි.

පණ්ඩුල නයන බණ්ඩාර සොයුරා මුහුණුෙපොතේ ඉතා වැදගත් කරුණක් ලියා තිබුණි. අවුරුදු 12ක, 13ක, 15ක වශයෙන් දැරිවියන් එකම රටේ සමාජ දෙකක හැදී වැඩෙන අයුරු සහ ඉස්ලාම් අන්තවාදය ඔස්සේ ඔවුන් මුහුණ දෙන ඛේදාන්තය ඔහු පෙන්වා දී තිබුණේය. මම ඒ ඛේදාන්තය දෑසින් දැක්කෙමි. කොළඹ මගේ යෙහෙළියන් අප මෙන් සාමාන්‍ය ජීවිත ගත කරද්දී, උපාධි ලබද්දී එහෙ දැරිවියෝ අවුරුදු 14න් විවාහ වී දරුවන් කරපින්නාගෙන සිටියෝය.

එහෙත් හැම විටම අපට ආගමික හෝ ජාතික සංහිඳියාව යන වචන හමුවේ නිහඬ වෙන්නට සිදු විය. මා මේ ලියන්නේ කිසිදු ආගමකට හෝ ජාතියකට විරුද්ධව නොවේ. එහෙත් ළමා ළපටි දැරිවියන්ගේ ඉගෙනුම ඔවුන් ළමා වියේදීම වැඩිහිටියන් කරන්නට. දරා ගන්නට බැරි තරම් හිංසා විඳින්නට සැකසුණු පසුබිම ඉවත් කරවනු උදෙසාය. සංහිඳියාව කියා ළමා අපචාර, දූෂණ, හිංසාවලට ඉඩදෙන මෙවැනි ආගමික නීතිරීති ශිෂ්ට ජන සමාජයකට අවශ්‍ය නොවේ.

මා දන්නා තරමින් රටේ සියලු දරු දැරියන් අවුරුදු 18ක වැඩිහිටියන් වන තෙක් ඔවුන් ගැන විශාල වගකීමක් ඒ රටේ රජයටත් තිබේ. එසේ නම් කාන්තා හා ළමා ආරක්ෂක කාර්යාංශ මඟින් මේ ගැන කිසිවක් නොකරන්නේ ඇයි? අමු අමුවේ උල්ලංඝනය වන ළමා මානව හිමිකම් ගැන කිසිවෙක් කටක් අරින්නැත්තේ ඇයි?

එකිනෙකාට විවෘත වූ සමාජයක් සැදුණේ නම් අද වනවිට අසල්වැසියා කෙරෙහි සැකයෙන් කෝපයෙන් බලන්නට තරම් මේ සා විනාශයක් සිදුවෙයිද?

ආගමික අන්තවාදය යනු මහත් සේ පිළිකුල් කර ඉවත දැමිය යුතු විෂඝෝර සර්පයෙකි. එය විද්වත් මුස්ලිම් සමාජයෙන් සිදුවනවා නම් රටේ අනාගතය වෙනුවෙන් මතු දරු පරපුර වෙනුවෙන් සිදු කරන්නාවූ විසල් මෙහෙවරකි.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

http://resa.lk/රැස-තීරුව/2019/may/03/10776/ළමයින්ටයි-පාට-පාට