Pages

Thursday, September 23, 2021

Blook බවට පත් වූ බ්ලොග් එක.

මා ලියූ පළමු පොත... ගැන අද මතක අලුත් වූයේ කල්හාරී ලියනගම ඒවෙනුවෙන් ලියූ  මේ කවිය දුටු විටය... 
මෙහි ඇති නම් ගම් සියල්ල මනංකල්පිතය..යුද්ධය අවසාන වූ කාලයේ පටන් අවුරුදු 3ක ඇතැම් මතක අනිත් කොන පොතේද තව කොටසක් සායනික සටහන් නොවේ පොතේද ඇත.
පොත මුද්‍රණයේ නැත.. එහෙත් එහි එන මේ චරිත මා හද තවන මතක ඉතිරි කර ඇත... ඉන්දු.. වෙන්කටේශ්... රාජිතන්.. ගීතා... ඇතුළු බොහෝ දෙනා... මේ හැම දෙනාම හදේ තියා රැක්කෙමි...

උතුරු කොන රෝහලේ ජර්සියක් ඇන්ද කෙනෙක් දැක්කමයි කීවේ මහ රෑ 12ට සීතලේ වෝඩ් එකට දුවන මාව දැක්ක එහෙ මනුස්සයෙක්...ඩෙංගු අසාධ්‍ය තත්වයේ සිටි රෝගීන් 4-5 දෙනෙක් පළමු ඇඳන් කිහිපයේ තියාගෙන, ඒවායේ අගිස්සේ එල්ලා ඇති මූත්‍රා පැකට් එක පිරෙනකම් අනිමිස ලෝචනය කළ හැටි (ඇසිපිය හෙලමින් නමුත් එක එල්ලේ බලා හිටි) . මන්නාරමෙන් එවන මූත්‍රා සමග ලේ පිටවෙන ඩෙංගු රෝගීන්, icu බෙඩ් නැති නිසා "අමාරු වෙන්න එපා" යැයි යදිමින් වාට්ටුවේ පුළුවන් තරම් මොනිටර් කිරීම. එක උදෑසනක සර්ප දෂ්ඨ කිරීමෙ තුන හතර මොනිටර් කිරීම, ඒ එක්ක දෙන්නෙක්ට තුන්දෙනෙක්ට AVS දීම. එක්කෙනෙක්වත් ඇරෙස්ට් නොවීම. 

මේ ඔක්කොම තනි HO කෙනෙක් කරන්නේ කොහොමද ? " මෙච්චර නිර්භීත වුණේ කොහොමද " කියා vp madam ඔළුවේ අත් තියාගෙන කම්පා වීම ( අලුත් බැච් එක පමාවීම නිසා ) අන්තිමේ you were my best HO කියා අසා ගැනීම. එතුමියගෙන් එසේ අසා ගැනීම කිකිළියෙක්ගෙන් රත්තරන් බිත්තරයක් ලබා ගැනීම හා සමාන යැයි ඩෙපියුටි ඩිරෙක්ටර් පැවසීම... මේ ඔක්කොම අද උදේ මතක් වුණා... සංසාරේ....
 
හුඟක් වෙලාවට වාට්ටුවෙන් පිටවී ක්වාටර්ස් එකට යන්නේ නාන්න හෝ කෑම කන්න .... ඇතැම් විට නනා ඉද්දි වාට්ටුවෙන් කෝල් එනකොට වතුර බේරි බේරී දුවන් එනවා කාමරේ මැද දුරකථනයට. 
ඩිස්චාජ් වෙද්දි ඔක්කොම පොර කන්නේ ඉක්මනින් ගෙදර යන්න. සැරෙන් සැරේ යාදිනි තමන්ගේ කාඩ් එක ලියවගන්න. මම ඉතින් ලියනවා නෙමේ මලවනවා...අන්තිමේ දවසක මැඩම් ම කියා දුන්නා පොඩි පොඩි ලෙඩ රෝගවලට කාඩ් එක කෙටියෙන් අවශ්‍ය ටික පමණක් ලියන හැටි. Vp මැඩම් සහ සර්, එයාලගේ පවුලේ අය හැටියට වාට්ටු හතරේම වෛද්‍යවරුන්ව සැලකුවේ... ගෙට ගෙවිදීම, දරුවන්ගේ උපන්දින මේ හැම එකටම වෙනසක් නැතුව අපි ඔක්කොමලාටම කතා කරනවා.නිතර කෑම බීම වාට්ටු දෙකෙන් එකකට ගේනවා. අපි ඔක්කොම එක්කන් ඇවිත් කන්න දෙනවා. උතුරු කොනේ අපිට කොච්චර අපහසු කාලයක් වුණත් ඒ දෙන්නා ( වෛද්‍ය වාට්ටු හතරේ විශේෂඥ වෛද්‍යවරු දෙන්නා ස්වාමියා සහ බිරිඳ නාලායිනි මැඩම් සහ සර්) හරි පුදුමාකාර ලෙස අපට සෙනෙහස දැක්වූවා. 

මේවගේ දේවල් පත්තරවල පොත්වල ලීවේ නෑ...ඒවයේ ලීවේ....

"""විටෙන් විට ඇද වැටෙන මේ මහා වැහි වතුරෙන් සහ දෙගොඩ තලා ගොස් ඉතිරි කරන රොන් මඩ තට්ටුවෙන් උතුරු බිම් සරුසාර වන බව වැඩිහිටියෝ නිතර මතක් කර දුන්හ. 

එහෙත් හාත්පස සැරිසරන මදුරු සේනා සහ විටෙන් විට මුත්‍රා මැන බලමින්, පසුවන ඩෙංගු උණ රෝගීන්ද නොනවතින කැස්ස සමග දුම ඇල්ලීම සඳහා මැෂිම වෙත ඇදෙන ඇදුම රෝගීන්ද දකිනා මට වැස්සේ සොඳුරු බව නොපෙනුණි." කියලයි...

සුබේන් අයියා, සිවදාස් සර්, සුදා අයියා, නලායිනී මැඩම්...චාන්දනී මිස් ජයබුද්දිකා මිස්, සුදා මිස්...
විජයලක්ශ්මි අක්කා... නිලූකා මේ හැම දෙනාම මට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න උගැන්වූවෝ වෙති...

6 comments:

  1. පොත කියවන්න ආසවක් ඇති උනා

    ReplyDelete
  2. ආයිමත් බ්ලොග් එක ලියන්න.

    ReplyDelete
  3. කලිනුත් කිව්ව වගේ... නැවත ලියනව දැකීම සතුටක්

    ReplyDelete
  4. ආපහු ඇවිල්ල වගේ, ලියමු එහෙනම්

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !