Pages

Friday, December 22, 2017

හුස්ම ඉල්ලද්දී නොදී කොහොමද ?

හරියට වැඩෙන්නත් කළින්, ඔයා හිත හදන් එන්නත් කළින් ඔයාට එන්න වැඩ සිද්ධවෙනකොට, හුස්ම ඉල්ලගෙන ආපු ඔයාට හුස්ම නොදී කොහොමද පුතේ...

අම්මාටත් එපා වුණු ඔයාට හොර ගබ්සා මධ්‍යස්ථානයේදිම පරලොව යන්න සිද්ධ නොකර හදිසියේම අපි ඉන්න හවසක රෝහලටම ඒගන්න ඒ අම්මාට සිදුවුනේ දෛවයේ හාස්කම නිසා. ඒක වාසනාවද අවාසනාවද කියලා මම දන්නේම නෑ පුතේ...

ඔයාව ජීවත් කරවපු එක අපි කළ වැරැද්දක්ද දන්නේ නෑ පුතේ. අපිට උගන්වලා තියෙන්නේ ජීවිත ජීවත් කරවන්නයි !

 අම්මාට අමාරුවෙනකොට හොර ගබ්සා මධ්‍යස්ථානයෙන් රජයේ රෝහල් වලට පටවන එකයි කරන්නේ. අම්මාගෙත් ජීවිතේ අනතුරේ.
අම්මෙක්ට ඒ තත්වෙට පත්වෙන්න හිත හදාගන්න පුළුවන් තරමට සමාජය පිරිහිලා. ඒ අම්මව ඒ තරම් අසරණ කරපු මිනිහෙක් කොහේ හරි ඇති. සමහර විට මේ පුතා බරක් වෙන්න තරම් ඒ දෙන්නම අසරණ ඇති. සති විසි ගාණක් වෙද්දි මෙහෙම කරන්න හිත හදාගත්තෙ කොහොමද කියලා අපි ඇහුවේ නෑ. අපේ කලබලය අස්සේ මම දැක්කා ඔයාගේ අම්මා අඬනවා. ඔයා නියමිත කාලයක් හිටියනම් හොඳ වැඩුණු බබෙක් ලෙස එළියට එන්න තිබ්බා.
ඇම්බෝ, ලැරින්ජොස්කෝප්, ටියුබ් ඔක්සිජන් මේ සියල්ල ළඟට අරන් අපි ඔයාව ජීවත් කෙරෙව්වා. ඔයාව ශ්වසන මැශිමක් තියෙන රෝහලක් හොයාගෙන ඒකට ගිහින් සම්බන්ද කරනකම් ඔයා හුස්ම ගත්තා තනියම. ඔයා හරි ශක්තිමත් කියලමයි අපිට හිතුනේ පුතේ....
ඒ වෙලාවේ ඉඳන් මම හරිම හිතේ මහන්සියෙන් හිටියේ , සංවේදී මිනිස්සු නිසා ලොකු දුකක් දැනෙනවා.
දරුවෝ නැති මගේ යහළුවෝ අනන්ත දුක් වෙනවා. එයාලට දරුවෙක් නැති දුක තේරෙනවා.
සමහර විට ඔයාගේ අම්මත් දුක් වෙනවා ඇති. ඔයාව අපිට ජීවත් කරන්න වුනා. සමහර විට එයාට වෙන කරන්නම දෙයක් නොතිබෙන්න ඇති. සමහර විට... මම දන්නේ නෑ. මම මොකුත් ඇහුවේ නෑ.
සමහර විට ඔයාව ළමා නිවාසෙකට බාර දෙයි. සමාජෙට වෛර නොකරන කෙනෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගැහැණු සහ දරුවන් අසරණ නොවන සමාජයක් බිහි කරන්න ඔයාටවත් පුළුවන් වේවි කියා මම ප්‍රාර්ථනා කරනවා !
දරුවන්ට , තරුණ තරුණියන්ට හරි ලිංගික අධ්‍යාපනයක් දෙන රටක් සමාජයක් බිහිවේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. තමන්ට බරක් වෙන දරුවෙක් වෙනුවෙන් හරි උදව්වක් ඒ අම්මලාට ලැබෙන ක්‍රමවේදයක් මේ සමාජෙට අවශ්‍යයි කියා මම තරයේ විශ්වාස කරනවා.  එතකොට ඒ අම්මලාට දරුවෝ බරක් වෙන එකක් නෑ.
 උපදේශනය, දරුවා වැඩෙන තෙක් බිහිවන තෙක් රැකවරණය මේ අවිවාහක අම්මලාට ලැබේනම් මේ ලෙස අතර මැද දරුවන් අසරණ නොවෙන්නත් ඉඩ තිබුනා. සමාජ භීතිකා බවට පත් කර, අවජාතකයා යැයි ලේබල් ගසන්නේ නැතිනම් මේ තනිකඩ අම්මලා දරුවන් හදාගන්නත් ඉඩ තිබ්බා.
බොහෝ වෙහෙස හිතත්, මේ දරුණු ඛේදවාචක දකින නෙතත් නිතර දුක් වෙනවා. මේවා හිරකරගෙන ඉන්න බැරි නිසා සටහන් කර තබන්න සිතුවා.
මේ බබාට අන්දන්න ඇඳුම් උණුසුම් කරන්න තුවා සියල්ල තිබුනා... මගේ යෙහෙළියන් සැරින් සැරේ ගෙනත් දෙන අළුත් නැපි ගවුම් කොට්ශීට් නිසා 💞
wrote this a while ago after resuscitating a 27 weeks old baby,
unmarried mom, didnt know what to do so looked for help in an illegal abortion place but came to hospital when things go horribly wrong. Im just so so so so angry with the whole world right now ! why do we need to bring babies to this world to suffer like this! (probably last few resuscitations .. 😔)

4 comments:

  1. මුලින් කතාවක් වගේ ගිහින් පස්සෙ ලිපියක් වෙලා.. කතාව වගේ තිබ්බ නම් හොඳයි කියලා හිතුන.මං ආස නිසා, ඇත්ත ලියලා තියෙන්නේ.. දුකයි...

    ReplyDelete
  2. හදවත බොහොම රිදෙනවා මේ සටහන් කියවද්දී.කැමැති හැකි උපකාරයක් කරන්න.
    අපි වෙනුවෙන් අපි තමයි ඉන්නේ .

    ReplyDelete
  3. ඇග හිතල වෙලා යනවා මෙව්වා කියවන කොට.මේ වගේ ප්‍රශ්න වලට ලොකුම හේතුවක් තමයි නිසි අධ්‍යාපනයක් මේ දේවල් ගැන නැති කම.අනිත් පැත්තෙන් සමාජ,ආර්ථික ප්‍රශ්න.මේ සිදුවීම් වලදී ඒ අම්මා විතරක් තනියෙන් වරදකාරියෙක් වෙන්නේ නැහැ.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !