Pages

Sunday, August 27, 2017

මොකුත්ම කරන්න බෑ අම්මේ !

වැඩ කරපු තරමක් කරේ, ප්‍රසව හා නාරි වේද වාට්ටු තුලයි, එහිදිත් මේ වගේ ජාන විකෘති නිසා අවයව ඉන්ද්‍රිය නොවැඩුණු ළමයි ප්‍රසූත කරනකම් , එයාලා මැරෙනකම් බලන් ඉන්න වුනා. එයාලව ප්‍රකෘති කරන්නේ නෑ, ජීවත් කරවන්න බැරි නිසා. එහෙම තමයි guidelines තියෙන්නෙ.

ඒත් ! anomaly ස්කෑන් කියන විකෘතිතා හොයන ස්කෑන් මගින් සති විස්සකට අඩු කාලයකදී මේ වගේ සංකූලතා හොයා ගත්තත්

"ඔයාගේ දරුවා හරියට වැඩෙන්නෙ නෑ අම්මේ, එයා ඉපදුනාම ජීවත් වෙන එකක් නෑ"

කියන වචන ටික එක්ක, මාස 9 ක් සම්පූර්ණ කරන්න ඒ අම්මලාට සිදුවෙනවා.

අනික් අම්මලා, ප්ලාස්ටික් කූඩ වලට, පොඩි ඇඳුම්, නැපී අඩුක් කරගෙන එද්දි එයා බොහොම දුක පිරුණු මුහුනෙන් ඇඳකට වෙලා බලන් ඉන්නවා එයාගේ ජීවත්වෙන්නෙ නැති විකෘතිතා ඇති දරුවා බිහි කරන්න. ඊට පස්සෙ කිරි එරෙන නමුත් එයාට ඒවා නවත්තගන්න වෙනවා.
" තදින් බ්‍රා එක්ක් අඳින්න අම්මේ, එහෙම නැත්නම් කිරි ගල් වුනාම බෙහෙත් දෙන්න වෙනවා, ඊළඟ බබා එහෙම වෙන එකක් නෑ " අපි කියනවා.
"මම කොහොමද තව ළමෙක් හදන්නේ හිත හදාගෙන, මට ළමයි එපා" ඇය තරහ අප දෙසට පිට කරනවා.
"ඩොක්ටර් ඒ අම්මා නම් ඩිප්‍රෙස් වගේ" මිඩ් වයිෆ් මිස්ලා නර්ස් මිස්ලා කොඳුරනවා.

ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා. තරහ යනවා. විෂාධියට ලක් වෙනවා. අපි මනෝවෛද්‍ය ඒකකයට ලියනවා. " looks depressed" ඒත් එහෙම නොවුනොත් නේද පුදුමේ. ඇයි මිනිස්සුන්ට මේ දුක දකින්න තරම් සංවේදී හෝ සානුකම්පිත විය නොහැක්කේ. මම නිතර හිතනවා. බොහෝ සංකූලතා හඳුනාගන්න තරම් තාක්ෂණය දියුණු වුනාට ඊට එහා යමක් කරන්න බැරි කමක් තිබුනා.

මේවා දැක දැකම මම ගර්භනී සමයක් පසු කළා, සායන වලට ලෙඩ දරුවන්, අතින් කරින් උස්සාගෙන, දර කොට වගේ අත පය වලංගු නැති උපත් ආබාධ සහිත දරුවන් උස්සන් එන අම්මලා දකිමින් මම ගර්භනී අවධියක් පසු කළා. ඇතැම් විට ඉපදුණු ගමන් ශ්වසන මෙවලම් හයි කරගෙන නොමේරූ ළදරු ඒකක වලට දරුවන් ගෙන ගියා. ඇතැම් දරුවන්, මොළය නැතිව, අත පය නැතිව, ඉපදෙනකොට, ඒවා බලන්න යන්න එපා කියා අනිත් වෛද්‍යවරුන් මාව ඒ වාට්ටුවේ වැඩ වලින් නිදහස් කළා.

මගේ මිතුරියක් එහෙම උපත් ආබාධ සහිතව අඩු සති ගණනකින් ඉපදුන දරුවා සමග දැන් විවිධ වූ කථන, කායික පුහුණු චිකිත්සා වලට දුවමින්, විශේෂ දරුවන්ගේ පාසැල් වලට දරුවා යොමු කරමින් යෙදෙන යුද්ධය මම දැක දැක. මනසින් බොහෝ වේදනා වින්දා.

ඒත් එහෙම දරුවෝ දිගටම ඉපදුනා.

මොකුත්ම කරන්න දෙයක් තිබ්බේ නෑ. "ඒක එයාලගෙ කර්මය" කියලා ෆේස් බුක් එකේ කී බෝඩ් වීරයෝ ලියලා තිබ්බා.

ඒත් සානුකම්පිත වෙන්න පුරුදු වෙච්ච හදවත් ඇති අපට මේ දේවල් මහ විශාල කම්පනයක් ගෙන ආවා.

මේ මම එවැනි මොළය රහිත දරුවෙක් උපදින කම්, ප්‍රසූතිකාගාරයේ බලාගෙන හිටපු හැටි... මෙහෙම සටහන් කරලා තිබුනා. මාස නමයක් දරු ගැබ සපිරුණත් අත පය ඇඟ මේ සේරම වැඩිලා තිබුනත් මොළය වැඩුනේ නැති නිසා ඒ දරුවා ඉපදී පැය කිහිපයකින් මැරුණා.


 feeling emotional.
Holding a heart in my hands while waiting for an anencephaly baby to be delivered ....heart throb ! I hate my job at times like this..
( හදවතක් අතේ දරාඑන මම , මොළය රහිත දරුවෙක් ඉපදෙනකම් බලාගෙන ඉන්නවා, හදවත කම්පා වෙනවා, මම මගේ රස්සාවට දැඩිව වෛර කරනවා මේ වගේ අවස්ථා වල - එහි තේරුම යි)

" මොකුත්ම කරන්න බැරිද " කියමින් තමන්ගේ එළියට නෙරා නොපෙනුන උදරය දිහා බලමින් අම්මලා කන් කෙඳිරි ගෑ අයුරු මතක් වෙනවා.

" අපි මොකද කරන්නේ අම්මා, රටේ නීතිය අනුව අපිට අම්මගේ ජිවිතේට හානියක් වෙනවනම් මිසක කළලයක් ඉවත් කරන්න බෑනේ" අපේ සර් පැහැදිලි කළා

"මගේ ජීවිතේට හානියක් තමයි " ඒ අම්මා අපිට කීවට ඒක බොහෝ අයට තේරුණේ නෑ කියලා දැන් මටත් තේරෙනවා.

නොවැඩුනු කළලයක්, සමග ඒ අම්මා හඬමින් ගෙදර ගියා. ඒ අම්මා ගෙදර ගිහින් එයා එකතු කරපු බඩු වීසි කරලා, යකා නටන්න ගත්තාම, කට්ටඬියෙක් ගෙනැවිත් නූල් බැන්දාලු. කවදාවත් අපේ සායනයකට ආවේ නෑ.

"එයා කොහොමද සතුටෙන් ආයේ සායන වලට එන්නේ. එයාට බලාගන්න හොඳක් තියෙනවද ? නෑනේ" මට එහෙම හිතුනා.

ඒ අම්මා ඒ දරුවා ප්‍රසූත කළත්, ඒ මාළුවෙක් සිහි ගැන්වෙන දරුවා, ( කකුල් දෙක එකට හා වෙලා, ඔළුවේ මොළය නෑ, පිට ඇරිලා, සුෂුම්නාව සහ ඇතුලේ කොටස් පේනවා ) ඇස් දෙක එළියට පැනලා තිබුනා. ඒ බබා බලලා තවත් කෑ ගහලා ඇඬුවා.
ඉන් පස්සෙ මම එයාව දැක්කේ මනෝ වෛද්‍ය සායනවලදී. මගේ කරුමෙට මම මනෝ වෛද්‍ය අංශයෙත් වැඩ කළා. ඒ අම්මාට දරුවා නැතිවීම දරා ගන්න බැරි වුනා.

එහෙම අම්මලා කොතෙකුත් හිටියා. එහෙම දරුවෝ කොතෙකුත් බිහි වුනා. ඉපදිලා බොහෝ සේ දුක් විඳ මිය පරලොව ගියා. ඒත් එයාලා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වුනා !

එහෙම ළමයි බිහිවෙන්නෙ ඇයි මේ ලෝකෙට. ! අන්න ඒක මට නිතරම හිතුන දෙයක්. 

බොහෝ දුරට අපි ස්කෑන් වලින් මේ සංකූලතා අඳුන ගන්නවා. එවැනි දරුවන් බිහි වෙද්දි ළමා වෛද්‍යවරයාගේ සිට සියළු දෙනාට දන්වා තිබෙන්නෙ. ඒත් දැඩි සංකූලතා සහිත අය ජීවත් කරවන්න අමාරුයි. ඒ අය පැය කිහිපයක් පණ ඇදලා මිය යනවා. ඒක තමයි ඇත්ත.
ඒ අම්මලා තාත්තලා එහෙම මැරෙන දරුවන්ට , නමක් තියලා, නම රෙජිස්ටර් කරලා, පෙට්ටියක දාලා මිහිදන් කළ යුතු වුනා.

අනික අපේ රටේ කැපකරු මාපිය ක්‍රමයක් හෝ, හරි හමන් ළමයි අරන් හදාගන්න ක්‍රමවේදයක් නෑ. අරන් හදාගන්න අයත් අරගන්නේ කිසිම ආබාධයක් නැති, ලස්සන දරුවෝ. ඔව් ඒක තමයි කටුක යථාර්තය.
මේ ළමයි ඔක්කොම අන්තිමේ රජයේ ළමා නිවාස වල ගාල් වෙනවා. එහෙම දරුවෝ සැරෙන් සැරේ එයාලගේ ආබාධ නිසා අපේ රෝහල් වලට එවනවා.
එතකොට මට හමුවුන දරුවෙක් කීවේ " අපෙ අම්මා ඇයි මාව ඉපදුණු ගමන් මරලා දැම්මේ නැත්තේ ඩොක්ටර්, ඇයි මාව මෙහෙම දුක් විඳින්න අත ඇරලා ගියේ" කියලයි

මේවගේම ජානමය රෝගයකින් දුක් විඳින තරුණ දරුවෝ පිරිසක් මම දන්නවා. මම ඔවුන්ට යහළුවෙක් වගේ. කෙනෙක් අහනවා. "ඩොක්ටර් ඔයා ඔච්චර කත ලියනවා අපේ මේ දුක්බර ජීවිතේ ගැන ලියන්න බැරිද? " කියලා

මේවා මුහුණු පොතේ ලීවම, වෛද්‍යවරියක්ම අහනවා "එතකොට ඔයා හිතන්නේ මේ දරුවන්ව බඩේදිම මරන්නද ? " කියලා. ඒ කීව කෙනා ලිංමැඩි වෛද්‍යවරියක් වීමම මට තිබෙන දුක. අච්චර වෛද්‍ය විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරලා,

පවුල් සෞඛ්‍ය සංවිධානය සහ ප්‍රසව හා නාරිවේද සංගමයේ වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ජා තියලා කියද්දිත්, මෙච්චර දුක් විඳිමින් අම්මලා දරුවන් , ජීවිතේ නැති කරගන්න තරම් හිතද්දිත් අපි කොහොමද මේ කඳුළු දැක දැක, ඕක ඕගොල්ලොන්ගෙ කර්මය, ඔයා ඔය දුක විඳගන්න කියලා කියන්නේ ?

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි මහතා පැවසුවේ මෙම පනත් කෙටුම්පත මීට පෙර සම්මත නොවූයේ දේශපාලන, ආගමික, සංස්කෘතික සහ සමාජයීය පීඩනයන් හේතුවෙන් බවයි. “නමුත් මව්වරුන්ගේ විඳවීම අවසන් කිරීමට මේ නීතිය අත්‍යාවශ්‍යයි. හැම අම්මා කෙනෙකුටම වේදනාවෙන් සහ පීඩාවෙන් නිදහස් වීමට අයිතියක් තිබෙනවා” යැයි ද වෛද්‍ය රත්නසිරි මහතා ප්‍රකාශ කළේය. 
-ඩේලි නිව්ස්


බෞද්ධාගමික පරිසරයක හැදුණු මම ද, ගබ්සාවට , ජීවියෙක් මරණ එකට විරුද්ධ නමුත්, මම වෛද්‍යවරියක් වෙලා, මේ දුක සහ මේ මිනිස් හදවත් වල සැබෑ ස්වරූපය දකින්න ගත්තම මම මගේ අදහස වෙනස් කර ගත්තා.

ලිංගික හිංසනයට පත් වූ කතුන් සහ දැරියන්, ඔවුන්ට අවශ්‍ය නැති කළලයක් දරාගෙන ඉන්න ඕනෑ නැති බව ඕනෙම කෙනෙක්ට තේරෙනවා. මරණීය ආබාධ සහිත දරුවන් මෙලෙස බිහි වුනත් මිය යන කළල යන මේ හේතු කාරණා දෙකේදී පමණයි අවසරය ලබා දෙන්නට හදන්නේ. ඒත් ඔබ මා හොඳාකාරවම දන්නවා දිනකට ගබ්සා විශාල ප්‍රමාණයක් හොර රහසේම සිදුකරන තැන් සහ පුද්ගලික ස්ථාන ඇති බව.

"අම්මෝ ඩොක්ටර් මම නම් කරන්න තියෙන ඔක්කොම ටෙස්ට් කරනවා" එක මිසී කෙනෙක් කියයි. අපි දෙන්නාම වීදුරුවෙන් පෙනෙන trisomy 21 ගෙවත් downs සින්ඩ්‍රෝමය ඇතිව ඉපදුණු දරුවෙක් රැඳි ඉන්කියුබේටරය අසල ඇති ඔක්සිජන් ප්‍රතිශතය මැනෙන උපකරණය දිහා බලාගෙන සිටියෙමු. මේ දරුවාගේ හර්ද සංකූලතා ද එමට ය. මේ අම්මාගේම පළමු දරුවාද, උපත් ආබාධ සහිතව, මන්ද මානසික තත්වයේ පසුවේ. දෛවය ඔවුන්ට බොහෝ සේ අකාරුණික වී තිබේ.

මේ අතර නිෆ්ටි, ට්‍රිපල් ටෙස්ට්, වැනි නම් වලින් බොහෝ ජානමය ලක්ෂන හඳුනා ගැනෙන රුධිර පරීක්ෂන ඇති හැකි පවුල් වල ගර්භනී මව්වරුන් කරගනු ලබයි. ඉතින් ජානමය ආබාධ උපත් ආබාධ ඇතැයි ඔප්පු වුනොත් ඒ කළල ඔවුන් තියාගෙන ඉන්නවා දැයි මම ඔබෙන් අසමි. !

ලිංගික හිංසනයට ලක් වූ අය, සල්ලි විය පැහැදම් කරන්නට නොහැකි වු අසරණ කාන්තාවන් මෙලෙස දුක් විඳින කල, ඇති හැකි අය පමණක් සැපෙන් සනීපෙන් දුක් නොවිඳ දරුවන් හැදිය යුතුයැයි පවසන ෆේස් බුක් ප්‍රජාව දෙස මා කම්පිතව බලා සිටින අතර මෙහෙම රටක අපි තවමත් මේ දරුවන් ගේ දුක දරමින් අම්මලාගේ දුක දරමින් වෙහෙසෙමු.

19 comments:

  1. විවිධ අවස්ථාවල දී සංකුල තා ඇති දරුවන් නිසා දරුවන් පමණක් නොව දෙමව්පියන් පවා අසරණව විවිධ මානසික රෝගයන්ගෙන් දුක්විඳින අවස්ථා මුණගැහෙනවා. සරලවම ඔව් මෙවැනි අවස්තාවක ඉතාම සාධාරණ ලෙස කළලය ඉවත් කරන්න මවකට නීතිය කාරුණික විය යුතුයි . එසේ නොවිය යුතුයැයි සිතන මවකට දරුවා හදාවඩා ගැනීම ටත් නිදහස තිබිය යුතුයි.
    තවත් දෙයක්.... ආගමික මතවාද අතින් ගෙන අදහස් දක්වන අය පැහැදිලිව දතයුතුයි, එසේ ගබ්සා කිරීමට යොමුවන අය එකී කර්මය මුහුණ දෙවි. ඔවුන් ගැන ද්වේශයක් ඇති කරගැනීමෙන් ඔබ අකුසල් රැස්කර ගැනීම පවා ඔබේ අභිරුචියයි.

    ReplyDelete
  2. ඔය කියන උදවියටම ඔය විදිහට සන්කූලතා තියන දරුවෙක් හම්බෙන්න ආවොත් එයාලත් කරන්නෙ නීතියෙන් අවසරය තියනවනම් ඒ කලලය නැති කරන එකයි.. ආගමට මුලා වෙලා බොරු බයිල ගහනව ... ඔය සිවුරු ඇදගතු ලොගු දාපු සමහර අයට භාර්යාවන් පවා ඉන්නව නීතිමය නොවුනත් හොරට ඉන්නව ... ඔය වගේ ලමයෙක් එක්ක ජීවිත් කාලෙම විඳවන එක කොයි තරන් නම් මානසික වදයක් ද.... දැන්වත් මේ හනමිටි අදස් වලින් මිදිල 21 වෙනි සතවර්ශෙට ආවනම් හොදයි.

    ReplyDelete
  3. ජීවිත කාලය පුරාම තමන්ගේ කැමැත්තට වැඩකරන උදවිය මේ කාරණාවේදී පමණක් දෙවියන් වහන්සේගේ ගේ කැමැත්ත එසේම සිඳුවියයුතුයැයි පැවසීම හාස්‍යජනකය...සිඳුවියහැකි ව්‍යසනයක් කලින්ම දැනගෙන විපතට පත්වන්නා ආරක්ෂාකරගැනීමම දෙවියන් වහන්සේ සතුටු කිරීමකි...

    ReplyDelete
  4. ජීවිත කාලය පුරාම තමන්ගේ කැමැත්තට වැඩකරන උදවිය මේ කාරණාවේදී පමණක් දෙවියන් වහන්සේගේ ගේ කැමැත්ත එසේම සිඳුවියයුතුයැයි පැවසීම හාස්‍යජනකය...සිඳුවියහැකි ව්‍යසනයක් කලින්ම දැනගෙන විපතට පත්වන්නා ආරක්ෂාකරගැනීමම දෙවියන් වහන්සේ සතුටු කිරීමකි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දෙවියන් ගුණ සදිසි මිනිස්සු මෙහෙම හැසිරීමත් පුදුමයක් කියා මට සිතෙනවා.

      Delete
  5. වෛද්‍ය තුමියනි,
    ඔබගේ අත්දැකීම් දරුනු පීඩාකාරී වෘත්තීය අත්දැකීම් කියාපාන්නේ ප්‍රශ්නයෙන් පිට සිටින උන් බන දෙසන්නේ නොදැනුවත් කමින් බවයි.
    වනේ නැතුව උන් දුක දන්නේ කෝම..?

    එකඟයි හෝ නැතැයි කීමට අපහසු ප්‍රශ්නයක් ගබ්සාව.
    ඒත් වනය ඇති එකාට ඒ තීරණය ගැනීමේ අයිතිය ලැබේනම් අපි ඒ ගැන විවේචන කරනුයේ මොකටද?

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඇත්ත නයනේ.

      Delete
    2. http://nayanegesithuwili.blogspot.com/2017/08/blog-post.html
      ඔබට ඉඩක් ඇත්නම් මෙයත් කියවන්න.

      Delete
  6. හරිම සංවේදී ලිපියක් මොනවා හිතා ගනන්ද කියල තේරෙන්නේ නැහැ

    ReplyDelete
  7. අම්මලාගෙ පැත්තෙනුත් හිතන්න පුලුවන් තවත් අම්මා කෙනෙකුට හරි සංවේදී හදවතක් ඇති මනුස්සයෙකුට විතරයි. මේ නීතිය සන්ෂෝධනය ගැන මමත් මේ නීතිය ගේන්න කටයුතු කල සියකලු දෙනාට පින් දෙනව.

    ReplyDelete
  8. http://www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/termination-abortion-for-foetal-abnormality.aspx

    ReplyDelete
  9. ජාන විකුර්තිතා නිසා දුඛ් විදින දරුවො, දෙමාපියෝ ඕනෑ තරම් දැකලා තියනවා... ඒ අයගේ දුඛ විදින පීඩනය වෙනුවෙන් ඔය කතා කරන කවුරුත් පුංචිම පුංචි දෙයක්වත් කරනවාද... ඒ අය වෙනුවෙන් එක වචනයක් කතා කරනවාද.. කවදාවත් නෑ අක්කේ.. ඒ වෙනුවට කරන්නේ ඒ අය තවත් පීඩනයට පත් කරන එක විතරයි... ඔය බණ දෙස අයටත් ඒ වගේ දරුවෙක් ඉපදුනොත් ඒ හැම දේම තේරේවි...

    ReplyDelete
  10. මේ සමහර කතා කියෙව්වේ නැහැ ඒ තරමට සංවේදීයි.මේ වගේ නීති ගෙන එන්න බල කිරීමයි සමාජයක් විදියට අපි කල යුත්තේ.මේ කරුණු සම්බන්ධයෙන් යෝජිත පනත බොහොම වැදගත් විදියට සකසා ඇති බවක් පෙනෙනවා.ඉතින් මෙව්වාට විරුද්ධ වෙන්නේ ඇයිද යන්න මට නම් නොවැටහේ.

    ReplyDelete
  11. http://awasankawiya.blogspot.com/2017/08/blog-post.html

    ReplyDelete
  12. ගොඩක් අය මේ කතාව පටලවගෙන තමයි අදහස් දක්වන්නේ. ගබ්සාව නීතිගත කළත්, අකමැති අයට නොකර ඉන්න පුළුවන් කියන එක හැමෝටම අමතකයි.

    ආබාධිත දරුවෙක් පිළිසිඳගත් කාන්තාවකට දරුවා හදාගන්න කැමති නම් හදාගන්න පුළුවන්. දූෂණයට ලක් වුණු කෙනෙකුට දරුවා ඕන නම් ඒත් හදා ගන්න පුළුවන්. ගබ්සාවට අකමැති අයට ඒ වගේ දරුවන්ව හදාගන්න උදව් කරලා, ගබ්සාවට යොමු වෙන අයගේ සංඛ්‍යාව එකකින් හරි අඩු කරන්න පුළුවන්. දූෂණයට ලක් වුණා හෝ දරුවා ආභාදිත වූ නිසාවෙන්ම බලෙන් අල්ලාගෙන දරුවා නැති කරන්නේ නැහැ නේ.

    දැන් ලංකාවේ ගවඝාතනය තහනම් නෑ නේ. ඒ උනාට ගව ඝාතනයට අකමැති අය, ගවයින්ට අභය දානය ලබා දීලා ගොවි මහතුන්ට බෙදා දෙන අවස්ථා තියනවා නේ. ඒ වගේ ගබ්සාවට අකමැති අයට පුළුවන් සෝෂල් සර්විස් එකක් විදියට ආබාධිත දරුවන්ට උදව් කරන්නත්, දූෂණයට ලක් වූ කාන්තාවන්ට සාමාජයෙන් සිදුවන අඩත්තේට්ටම් වලට එරෙහිව පෙනී සිටින්නත්.

    අනිත් එක ආගමට අනුව ගබ්සාව තහනම් නම්, එහෙම ආගමට විරුද්ධව ගබ්සා කරන අයට ආගමට අනුවම අනිවාර්යෙන් විපාක විඳින්න වේවි. ඒ ගැන අනිත් අය කලබල වෙන්න ඕන නෑ.

    පාසල් දරුවන් දූෂණයට ලක් වන, මනසින් හරියට වැඩිලා නැති ආබාධිත දැරියන් පවා දූෂණයට ලක් වන, ඉතාමත් අනාරක්ෂිත සමාජයක් අපිට තියෙන්නේ. ඉතින් දූෂණයට ලක් වූ, දරුවෙක් ඉන්නා ගැහැනියකට ජීවිතේ අලුතින් පටන් අරන් ඉදිරියට යන්නට පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. ගැහැණුන්ටත් හීන, අරමුණු තියනවා නේ. එක අවාසනාවන්ත සිදුවීමක් මත ඇගේ මුළු ජීවිතයම විනාශ විය යුතු යයි සිතීම කොච්චර දරුණුයි ද?

    ReplyDelete
  13. ගර්භාෂයේ අයිතිය ඇගේය. අන් සියලු තර්ක ඒ අයිතියට යටය.

    ReplyDelete
  14. Dear Dr Bodhini
    Today 6th Sept I saw this News Item . It may give some stimulus to your view.
    විකෘතිතා සහිත ළදරු කළල
    මුලින්ම හඳුනාගෙන ඉවත් කළ යුතුයි
    සෞඛ්‍ය ඇමැති

    ඒමන්ති මාරඹේ

    විකෘතිතා සහිත දරුවෙකු ලොවට බිහි වීම පාපකර්මයක්‌ බැවින් එවැනි විකෘතිතා සහිත ළදරු කලල මුල සිටම හඳුනාගෙන ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    කාන්තාවන් බලහත්කාරයෙන් දූෂණයට ලක්‌ වීම හා ළදරු කලලය කිසියම් රෝගයකට ගොදුරුව විකෘති දරුවකු මෙලොව එළිය දැකීම යන කරුණු වලට අදාළව පමණක්‌ ගබ්සාව නීතිගත කළ යුතු බවට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් යෝජනා කර ඇතත් එම යෝජනා මෙතෙක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී නැතැයිද ඇමැතිවරයා කීවේය.

    එම යෝජනා අමාත්‍යාංශය වෙත ලැබුණු වහාම ඒවා අමාත්‍ය මණ්‌ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

    ReplyDelete
  15. Dear Dr Bodhini
    Futher to my comment on 6th Sept 2017 I add this which i saw in today's Lankaenews.com
    යෝජිත ගබ්සා නීතිය ලිහිල් කිරීමේ සංශෝධනයට ඔබේ සහායත් දෙන්න..! පෙත්සමට අත්සන් කරන්න..!!
    (ලංකා ඊ නිව්ස් -2017.සැප්.13, පෙ.ව‍.0.10) දැනට යෝජනා වී ඇති ගබ්සා නීතිය ලිහිල් කිරීමේ සංශෝධනයට සහාය පළ කෙරෙන පෙත්සමට ඔබේ අත්සනද තබන මෙන් ඒ පිලිබඳ උනන්දුවක් දක්වන්නෝ ඉල්ලා සිටිති.
    අවස්ථා දෙකකදී එනම්,
    1. දරුණු කළල විකෘතිතා පිහිටන අවස්ථා වලදී
    2. ස්ත්‍රී දූෂණයක ප්‍රතිපලය ලෙස ගැබ් ගැනීමක් සිදු වූ අවස්ථාවකදී
    ගර්භණීභාවය අවසන් කිරීමට ඉඩ ලබා දීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් එකඟ වී ඇති යෝජනාවට අපි සහය පළ කරමු.
    මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මෙහි අත්සන් කරන අප රජයට බල කර සිටින අතර ඒ සඳහා පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන මෙන් සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ මන්ත්‍රීවරියන්ගේ ඉල්ලා සිටිමු.
    දැනට පවතින නීතිය මගින් ගබ්සාවක් සිදු කිරීම සඳහා අවසර ඇත්තේ ගර්භණීභාවය මවගේ ජීවිතයට තර්ජනයක් නම් වන අවස්ථාවකදී පමණි.
    මෙය කිසිසේත්ම ප්‍රමාණයත් නොවේ. ස්ත්‍රී දූෂණයකදී සහ ව්‍යභිචාරයකදී (ළඟම ඥාතියෙකුගෙන් දූෂණය වූ විට) ගැබ් ගත් අවස්ථා වලදී වින්දිතයන්ට ගර්භණීභාවය පූර්ණත්වය දක්වා දරා සිටීමට සිදු වේ. ඇතැම් විට මෙම වින්දිතයන් අවුරුදු 12 ක් තරම් බාල වයසේ පසුවන දැරියන්ය. ස්ත්‍රී දූෂණ සහ ව්‍යභිචාරයට ලක් වන කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ දෙන ශාරීරික සහ මානසික කම්පනය අති විශාලය. එමෙන්ම එය සමානාත්මතාවය අගයන ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම වලටද පටහැනිය. තම පියාගෙන් දූෂණයට ලක් වන දියණියකට සිය කුස තුළ වැඩෙන කළලය පූර්ණ ගර්භණීත්වය දක්වා දරා සීටීමට බල කිරීමට අපට කිසිසේත්ම අයිතියක් නොමැත.
    දරුණු කළල විකෘතිතා සහිතව උපදින දරුවන් නිසා පවුල් මුහුණ දෙන සෞඛ්‍යමය සංකූලතා, ආර්ථික අභියෝග සහ ජීවිතයේ ගුණාත්මකභාවය ආශ්‍රිත ගැටළු බොහෝ විට නොසලකා හැරේ. මෙවැනි දරුවන්ට අවශ්‍ය සත්කාර සහ සහාය සඳහා ප්‍රවේශ වීමට අප වටා ඇති සමාජ ආර්ථික යතාර්ථයන් ඉඩ අහුරා ඇත. මේ තත්ත්වය තුළ ඔවුන් ජීවත් වන ඉතා සුළු කාලයට පවා ලැබෙන ගුණාත්මක භාවය ඉතා පහල මට්ටමක පවතී.
    ශ්‍රී ලංකාව තුළ දිනකට ගබ්සා 700 ක් පමණ සිදු වන බව ඒ පිළිබඳ වූ සමීක්ෂණ වාර්තා පෙන්වයි. ඒ අපගේ යථාර්ථයයි. මෙම ගබ්සා වලින් අති බහුතරය සිදු වන්නේ අනාරක්ෂිත සහ කිසිදු සනීපාරක්ෂාවක් නොමැති වටපිටාවන් තුළ වන අතර, එවැනි ගබ්සා වලින් පසුව ලේ විෂ වීම, පූර්ණ වඳභාවය වැනි බරපතල සෞඛ්‍යය ගැටළු වලට මුහුණ දීමට ඇතැම් කාන්තාවන්ට සිදුවේ. මේ සංකූලතා වලින් කාන්තාවන් මිය වන අවස්ථා ද ඇත. පවුල් සෞඛ්‍යය කාර්යංශයේ 2012 දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ මාතෘ මරණ වලට තෙවැනි මූලික හේතුව අනාරක්ෂිත ගබ්සා වන අතර එය සමස්ත මාතෘ මරණ වලින් 13% කි.
    ගර්භණීභාවය අවසන් කිරීම සදාචාරය පිළිබඳ සාකච්ඡාවක් නොවේ. ගර්භණීභාවය අවසන් කරනවාද, එය පූර්ණත්තවය කරා දරා සිටිනවාද යන්න පිළිබඳ දැනුවත් ලෙස තීරණය කිරීමට කාන්තාවකට ඇති අයිතිය තහවුරු කරන්නකි.
    එම නිසා, ඔබේ මහජන නියෝජිතයන් සමග දැනුවත් සාකච්ඡාවක් අරඹමින්, දැනට පවතින ගබ්සා නීතිය ලිහිල් කිරීම සඳහා සෞඛ්‍යය අමාත්‍යංශය සහ වත්මන් රජය දරන උත්සාහයට සහය ලබා දෙන මෙන් සියළුම පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිමු. පහත දිගුව ක්ලික් කර ඔබේ අත්සන තබන්න
    https://docs.google.com/forms/d/e/1FAIpQLSfJ-rFdvjkUev4rCobDwLjPt5R4TqckngXXb8Aez5miQXd7Vw/viewform


    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !