Pages

Saturday, December 17, 2016

කස්ටඩ් සහ බොරු වැලි එකම වගේ...

They say the cooking custard has the same chemical substance as quick sand but what differ is the bonds.

කස්ටඩ් වලත්, බොරු වැලි වලත් සංඝටක එකම බව පැවසේ ඒත් වෙනස් වෙන්නේ එහි අණු අතර පවතින බන්ධන (බැඳුම්) වල වෙනසය.

ජීවිතයත් මේ වගෙයි මට සිතේ... බන්ධන නො තිබුනා නම් ජීවිතේ අප ගත කරන මොහොතවල්... කරන බොහෝ දේ එකකට එකක් පරස්පර වුනත් මොකක්දෝ සමානකමක් වේ. වෙනස් වෙන්නේ බැඳීම් නිසා ඇතිවන්නාවූ වෙනස්කම ය.

"some times it lasts in love , some times it hurts instead. "

ඒ වන විටත් ඇය ඉතා කෘෂව සුදුමැලිව සිටියා... නිතර ක්ලාන්ත ගතියෙන් පෙළුනා.
" කන්න හරියකට හම්බුවෙන්නෙ නෑ.. උදේ පාන්දර ගෙදරින් එන්නේ.. හවස යනකොටත් කඩෙන් කන්නේ"
ඇය මට පැවසුවා.

"මම හිටියේ බොහොම සතුටෙන්. ගොඩාක් අයට උදව් කරගෙන. මගේ විවාහය මාව කණපිට පෙරළුවා... නැන්දම්මා මාව පණ පිටින් පිච්චුවා" ඇය කඳුළු සලන්නට විය. “දෙවෙනි ගමන දාම මට කීවේ ඔය කාමරේට වෙලා ඕනෙ දෙයක් කරගෙන ඉන්න්මේ ගෙදර වෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා කියලයි. ම්ා ජීවත් වුනේ සිරකාරියක් වගේ. අච්චර ජරාජීර්ණ වෙච්ච ගෙදරක. මගේ දෙමාපියන්ටවත් මේ ගැන කීවේ නෑ ඒ අයගේ හිත රිදෙයි කියලා.”

දැන් ඇය සිව් මස් ගැබිණියක්.... "ඉතින් මෙච්චර ප්‍රශ්න තියෙද්දී.. ස්වාමියා ඔයාව නොසලකා හරිද්දී ඇයි දරුවෙක් හදන්නේ " ඇය සිටියේ කබලෙන් ලිපට වැටෙමිනි.

"විවාහයක් කැඩුනම ගැහැණියට හිරිහැර වැඩී. දරුවෙක් හිටියනම් සමහර විට සැමියා ටිකක් හරි වෙනස් වෙයි කියලා හිතුනා , කොහොමත් අන්තිමට මට දරුවා හරි ඉතිරි වෙයිනේ" ඇය මෝරා එමින් තිබූ උදරය අතගාමින් කීවා ය.

එසේ පැවසූ ඇය යළිත් හමුවෙන්නේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් බෙහෙත් අහුරු ගිලමින් ඇයට මානසික ලෙඩක් යැයි ඇය අතැර දැමූ සැමියා යලි ඒව්වි යැයි බලාපොරොත්තු වෙමින්‍ අප හා වාද කරමින් දරුවා කරපින්නාගෙන ඇවිදින දිරාපත් වූ ගැහැණියක ලෙසය.

ඇගේ සැමියා ඇය අතැර ගොසිනි.

" ඉතින් දැන් මම බලන් ඉන්නවා ආයේ එනකම් කවදා හරි දරුවායි මාවයි මතක් වෙලා"

චිත්ත සන්තානයේ ඉපදෙන සිතුවිලි පුදුමාකාර ය. ගැහැණිය, එක එක අයගේ ඕනෑ එපාකම් ඔස්සේ තම ජීවිතය සකසා ගනී. ඇතැම් විශිෂ්ඨ චිත්ත ශක්තියක් හිමි අයවලුන් තම සිතැඟි ඔස්සේ ජීවිතය සොයා යයි.
මට හමුවෙන්නේ එවන් අය නොවේ... මා සිටින මේ ලංකා සමාජය තුල හමුවෙන ස්ත්‍රී න්බොහෝ පීඩන හමුවේ ගොළුවී සිටී. සමාජය විසින් ඔවුනට හිමි කර දී ඇත්තේ එවැනි අනාරක්ෂිත බවකි.
ඇතැම් විට දරුවන් වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන්, සමාජයේ ජීවත් වීම වෙනුවෙන් පවුල් රකින... නොරැඳෙන බන්දන රකින ස්ත්‍රීන් බොහෝ වෙති.
තමන්ට ඒ දේ වෙනකම් විඳිනකම්ම තේරුම්ගන්න අමාරුයි ගැහැණියක් තනිවුනාම කොයි තරම් ප්‍රශ්ණ මැද්දේ ජීවත් විය. යුතුද කියලා. මේ අකුරු මේ ලියවිල්ලට සීමා නොකර මා හමුවන බොහෝ කාන්තාවන් හට ශක්තියක් වෙන්නට යොදාගන්නේ එහෙයිනි.

හිතට ශක්තිය ගන්න , මීට වඩා ස්ට්‍රෝන්ග් වෙන්න කියලා කියන්න නම් ඕනෑ තරම් අය ඉන්න බව මම හොඳාකාරවම දන්නවා. නමුත් වෙන කෙනෙක්ගේ ශක්තිමත් බව අගයන්න කෙනෙක්ට ඇති නොහැකියාව මිසක් අනුන්ව ඔවුන් ඉන්න තැනින් ඔසවා වඩා හොඳ තැනක තියන්න පුළුවන් පිරිස අඩුයි.”

There are two kinds of pain.. the pain which makes u strong and the other that makes u suffer and rotten.

මට හමුවෙන බොහෝ ස්ත්‍රීන් හුදෙකලා වූවෝ ය. ඔවුන්ගේ චිත්ත සන්තානයේ දිග පළල ගැඹුර විනිවිද පෙන්වන කතන්දර බොහෝ අප ඒකකය තුලදී දිග හැරේ.

ආශා පවුලේ වැඩි මහළු දරුවා ය. වයස අවුරුදු 18 කි. සියදිවි නසා ගැනීමට තැත් කිරීම් රෝහල් ගත කිරීම් අවසානයේ ඇගේ මනෝ ව්‍යාධියේ තරම කොයිතරම්ද කීවොත් ඇවිදින මළ මිනියක් මෙන් ඒ මුහුණේ කිසිඳු පේෂියක් සෙලවුනේවත් නැත. හරියට ඝන වෙස්මුහුනක් පැළඳියාක් මෙනි.
ඇය ගේ පියා මසකට කිහිප වරක් නොයෙක් තැන ඇවිදින ව්‍යාපාරිකයෙක් වූ හෙයින් ඔහු නිතර නිවස රැඳුනේ නැත. ඇය යම් වයසක දී ඇගේ පියා ඇගේ මව මෙන්ම පුංචි අම්මාද (මවගේ නැගණිය) සමග පවුල් කන බව දැන ගන්නට ලැබී තිබේ. මේ ප්‍රදේශයේ තිබුන යුධ තත්වයත් එයට හේතු වෙන්නට ඇති. ඒ පවුල මීට බොහෝ ඈත දිස්ත්‍රික්කයක සිටින අතර දරුවන් ලොකු මහත් වන තෙක්ම මේ ගැන දැනගන්නට ලැබී තිබුනේ නැත. ආශාගේ මව මේ ගැන දැනගත් වහාම සිය දිවි නසාගෙන තිබුනු අතර ඉතිරි දරුවන් පිරිස රැක බලාගෙන තිබුනේ මේ දියණියයි.
අවසන ඇයට මවගේ මරණයත් සමග තම පියාගේ හැසිරීම ගැන වෛරයක් හට ගන්නවා. ඒ වෛරය නිසාම ඇය සිය ජිවිතයෙන් සමුගන්න පවා සැරසෙනවා. ඒ ලැජ්ජාවට බවයි ඇය පවසන්නේ. මම ඒ රෝහලෙන් සමුගෙන පැමිණෙන කාලයෙත් ඇය නේවාසිකව ප්‍රතිකාර ගත්තා.
ඒ තාත්තා පැමිණි දිනක දියණිය ඔහු ඉදිරියේ හඬා වැටී බැණ වැදී "මගේ අම්මා මරාගත්තේ ඇයි " අහද්දී ඒ තාත්තා හඬන්නට වුනා.

සිලාසිනී.. එලෙස මට අනිත් කොන රෝහල් සේවය කරද්දී හමුවූ ස්ත්‍රියකි. අප නිතර යන එන මහළු නිවාසයක රැකියාවක් කරමින් තම දරු දෙදෙන රකී. සැමියාද කම්කරුවෙකි. ඔහුගෙන් ශ්‍රමය හෝ සැලකිය යුතු මුදලක් තම දරු පවුල වෙනුවෙන් නොයෙදේ. ඒ වන විටත්, අනියම් සබඳතා මෙන්ම අධික ලෙස මත් පැනට ගිජුවූ මිනිසෙකි. සිලා නිසාම අපි ඔහුට අප ඒකකය වෙත එන්න යැයි පැවසුවත් ඔහු ආවේ පණිවිඩ කිහිප වරක් යැවූ පසුව ය.

පිරිමියෙක් පිට යන්නේ ගැහැණියගේ වරදින්.. ඕකට සියයට පනහක් දෙගොල්ලොම වැරදියි... එහෙම කියමනක් ද ඇසෙයි. එහෙත් පුදුමය නම් අපි අද ජීවත් වෙන්නේ ඉර හඳ තරු වන්දනා නොකරන, සමානාත්මතාවය සොයන... ගැහැණිය ද පිරිමියාද උරෙනුර ගැටී එක සේ වැඩ රාජකාරි කරන... අභ්‍යවකාශ ගමනේ යෙදෙන ඩිජිටල් සමාජයක වීම ය.

ඉතින් දැන් අපි මේ පවුල දෙසට හැරෙමු.ඔහු මෙලෙස හැසිරෙන්න ඇගෙන් මදි පාඩුවක් විනි දෝ යැයි අපි මුලින් ඇසුවෙමු. ඔහු කියන පරිදි ඇය දරුවන් රැකගෙන දහඩිය මහන්සියෙන් උපයා ගෙදර බත් මාළු පිනි උයා , ඔහුගෙන් වෙන්න තියෙන යුතුකම් පවා නොපිරිහෙලා ඉටු කරයි.

"මට මේ ඕනෑ කම නවත්වන්න ඕනේ නෝනා." ඔහු පවසයි. ඒ අනියම් සබඳතා ගැන ය.
 


"ඔය බීමට, ගෑණුන්ට වියදම් කරන මුදල ඉතිරි කරලා දරුවන්ට යමක් කරන්න. කවදා හරි මහළු වෙද්දි දරුවො නැත්නම් කියාවි අපේ අප්පා.. මෙහෙමයි අම්මා තමයි අපිව රැක්කේ කියලා"

එකින් එක අපි ඔහුට හරි වැරදි කියා දුනිමු. බටහිර සමාජයේ නම්, මෙවැනි සබඳතා ගැන දැඩිව විමසිලිමත් නොවන්නාක් මෙන්ම ගැහැණියක හෝ පිරිමියක අතර පවතින සබඳකම් වලදී සමාජය ඔවුන් එකිනෙකාගේ පෞද්ගලිකත්වයට , ස්වාධීනත්වයට ගරු කරනු මම කොතෙකුත් දැක ඇත.

නමුත් ලංකා සමාජය ඊට හාත් පසින් වෙනස් ය. ඕපා දූප මෙන්ම එකිනෙකා කා කොටා ගැනිලිත් අඩු නැත. වෙන්වූ නළු නිලි ප්‍රසිද්ධ පුද්ගලයින් කොතෙකුත් පුවත්පත් මගින් බැන ගන්නායුරු දිස්වේ.


ඉහත බ්ලොග් ලිපිය ලියන අතරේ මා මිතුරියක් සමග කතා බහ කරද්දී ඇගේ මතය වුනේත්.. හොඳ ගෑණුන්ට ලැබුනු නරක පිරිමිත් ඉන්නවා.. නරක ගෑණුන්ට ලැබුන හොඳ පිරිමිත් ඉන්නවා. පිට යනවා නම් කොයි කවුරුත් කොහොම උනත් එහෙමයි. ගෑණු නරකයි, ගෙදරින් අඩු පාඩු වෙනවා කියා පිට යන පිරිමිත් ඉන්නවා
එහෙම වුනත් පවුල රැකගෙන ඉන්න පිරිමිත් ඉන්නවා.
ඕකේ අනිත් පැත්ත ගත්තත් එහෙමමයි" කියා ය.
වරද ඇත්තේ අනුන්ගේ ඕපාදූපය සොයන්න විවේචනය කරනන් පෙළඹෙන පටු දූපත් වාසී මානසිකත්වයක් හිමි අයවලුන්ගේ ය.
එහෙත් ගැහැණියෙක්ගේ දුක දැනෙන්නේ තවත් ගැහැණියකට බව මම තවමත් විශ්වාස කරමි.

ps : ඔහ් මේක 100 වෙනි පෝස්ටුව.... සීයක් ලියා ගත්තේ කොයි තරම් අමාරුවෙන් ද ? 

Saturday, November 26, 2016

භූමිතෙල් රස ද ?

වෛද්‍යවරුන් යනු මැජික් හෝ විශ්මයන් කරන්නන් නොවේ.. නමුත් ඇතැම් විට අපිට ඉන්ද්‍රජාලික බලයක් තිබුනොත් කොයි තරම් අගනේ ද කියා මට සිතේ.

සෑම හදිසි අවස්ථාවකදීම, සෑම කරදරකාරී පීඩනය පිරි මොහොතක දීම, මගේ මුවින්/ සිතින් පිටවෙන්නේ සදාතනික අයැදුමකි. එය ජීවිතයක් ජීවත් කිරීම සඳහාම ය.

ඇතැම් විට ඒ හදිසි ප්‍රතිකාර අංශයට පැමිණි දියේ ගිළුනු පොඩ්ඩෙකි... එහෙම නැත්නම් අම්මාගේ හෝ ආත්තම්මාගේපෙති බෝතලය කෑ පොඩ්ඩෙකි.... ඇතැම් විට භූමිතෙල් පෙවුනු පොඩ්ඩෙකි... එක්කෝ මෙකෝනියම් සිරවී, නැත්නම් ඔක්සිජන් අඩුවී මළ දරුවෙක් සේ මෙළොවට බිහිවුනු ළදරුවෙකි. මේ හැම මොහොතකම අපේ හර්ද ස්පන්දනය වැඩි වේ. අපි දැඩි වේගයකින් ශ්‍රමයකින් වැඩ කළ යුතුයි.

පෙරේදා රාත්‍රී වැඩ මුරයේ... ( රාත්‍රියට රෝහල් වාට්ටුවේ ඉන්නේ එක වෛද්‍යවරයෙක් නිසා සියලු වගකීම ඔහු / ඇය මත යි. හදිසි අවස්ථාවකදී තව කෙනෙක් ඕනෑ නම් අනික් වෛද්‍යවරුන්ට කතා කල හැක). හවස හයට පමණ හදිසි ප්‍රතිකාර අංශයට ගෙන ආ අවුරුදු එක හමාරක බබෙක්, භූමිතෙල් බීලා ! ඒ බව කොරිඩෝවේ එද්දිම මට වැටහුනේ භූමිතෙල් ගඳ නහයට දැනුණු නිසා.

"අනේ ඩොක්ටර්... මම ලොකු දුවට වතුර එක දෙන ටිකට... බබා ගිහින් අහලක තිබ්බ භූමිතෙල් බෝතලේ අරන් කටට ගන්නකොටටම ටීචර් දැකලා කෑ ගහලා...අපි උදුරලා ගත්තා"

මොන්ටිසෝරියේ කොන්සර්ට් එකකට පුහුණුවීම සඳහා හවස අම්මා ලොකු දරුවාව අරගෙන ගිහින්... අවුරුදු එකහමාරක පොඩි දරුවත් ගෙදර තියා යන්න බැරි කමට... එතන මොන්ටිසෝරිය පේන්ට් කරමින් හිටි අය භූමිතෙල් බෝතලේ ඇරලා දාලා ගිහින් ..." තරම් කුඩා දරුවන් සිටි තැනක හානිකර දේ දරුවන්ට අත පොවන්න හැකි අයුරින් තබා තිබීම කොයි තරම් හානි කරද කියලා. භූමිතෙල් වල පාට නිසා පොඩි අය කටට හලා ගන්නවා. එහෙම ආපු දරුවන් බොහෝමයි.

දරුවා පරීක්ෂා කර බලා වෛද්‍ය උපකාර සහ අවශ්‍ය බෙහෙත් හේත් නිම කිරීමෙන් පසු...මොන්ටිසෝරියේ ගුරුවරියත් ඒ ආපු අනිත් වැඩිහිටි පිරිසත් අම්මාටත් මම බොහොම කාරුණිකව කියා දුන්නා...

  • දරුවන් ඉන්න තැනක මෙහෙම දේවල් කරද්දී පරිස්සම ගැන හිතන්න කියන එක. 
  • ඒවගේම බෙහෙත් පෙති පවා හංගා හෝ ලොක් කරන ලද කබඩ් වල ඔවුන්ට ගන්න බැරි විදිහට තියන්න කියන එක. 
  • ඒවගේම ඇනෙන සුළු දෑ පොඩි දරුවන්ට අත පොවන මානේ තියන්න නරකයි. පෑනක් පැන්සලක් උනත්. මට මතක් වෙනවා ඇඳ උඩට පැනපු දරුවෙක්ට ඔහුම වෙලාවකට කලින් ඇඳේ ලියමින් අඳිමින් සිටි පැන්සල ඇනිලා ඒක හර්දය පසාරු කරගෙන ඇතුල් වී තිබී. මව හෙදියක් නිසා එහෙමම ඉස්පිරිතාලෙට ගෙනාපු කතාවක්. ඉතින් ඇඳන් උඩ සුමට මතුපිටවල් ( සෝෆා වැනි තැන්) වල පෑන් පැන්සල් සමග චිත්‍ර අඳින්න දීමත් නොකළ යුතුයි. 
  • කටේ දාන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. 
  • ආහාර උනත් කුඩා හපන්න අමාරු තරම් හයිය දේවල් ඔවුන්ට දෙන්න එපා... 
  • පීනට් සහ බිස්කට් පැකට් වල තෙතමනය නැති කරන්න දාන සිලිකන් ඔක්සිඩන්ට් පැකට් පවා දරුවෝ කනවා දන්නේ නැතුව . එනිසා පැකට් පිටින් කිසි දෙයක් පරීක්ෂා කර බලන්නේ නැතුව දරුවන්ට දෙන්න එපා. ටිකක් ලොකු ළමයි එන්නේ ඒවා කාලා.
  • මල් පැල වලටපොහොර ලෙස භාවිතාකරන ජෙලිවැනි ජලයේදී ප්‍රසාරණය වන කුඩා බෝල ඒවත් කාලා එනවා.
අවුරුදු දෙකකට අඩු පොඩි දරුවෙක් හුස්ම ගැනීමේ අපහසුතා සමග මහ රෑ ඇඩිමිට් කරා. දරුවා සිටියේ බොහෝම දුර්වලව. රුධිරගත ඔක්සිජන් අගය පහළ අගයක තිබුනේ. ඔහුගේ හුස්ම ගැනීමත් බොහෝම සද්ධයි. හරියට ශ්වසන මාර්ගයේ යමක් හිරවෙලා හරි සෙම හෝ ඇඳුම වැඩි වෙලා වගෙයි පිටතට ඇහෙන්නේ... පරීක්ෂා කර බැලූ අපට තේරුනේ එක පැත්තක පමණක් මේ ලක්ෂණ තිබෙන නිසා foreign body.. හෙවත් යමක් පිටතින් ඇතුල් වී සිරවී ඇති සෙයකි.
 ඒ දරුවාට අවශ්‍ය ප්‍රතිකාර පටන් ගෙන අප රෝහලේ පරීක්ෂණ සඳහා විශේෂඥයින් හෝ උපකරණ නොමැති හෙයින් ළමා රෝහලට දරුවා ගෙන ගියෙමු. ඒ සමබන්ධ පරීක්ෂණ සිදු කළ විට දුටුවේ රට කජු කැබැල්ලක් සිරවී තිබුණු බව ය. අම්මා පැවසුවේ.. ලොකු දරුවන් දෙදෙනාට රට කජු පැකට් එකක් කඩා දුන් බව පමණි. ඇය ඒ ගැන සැලකිලිමත් වී නොතිබිණි. මේ දරුවාටත් ඒවා කවා තිබුනේ ලොකු දරුවන් දෙදෙනා ය. ඇපල් කෑල්ලක් සිරවී පැමිණ මිය පරලොව ගිය කුඩා දරුවා ගැන මතක් විනි.

ඉතින් අම්මේ තාත්තේ ඔබේ සුළු ප්‍රමාදය ඇති ඔවුන්ට ජීවිතයට හානි දායක දෙයක් සිදු කරගන්න.

අදත් ලියන්න වෙලාව ලැබුනේ අහම්බෙන්... ඒ එක්කම මා ලියූ... වෛද්‍යවරුන්ගේ යාඥාව ඉංග්‍රීසි කවියද මෙයට අලවමි...මෙවැනි හදවත නවතන මොහොතවල අප හිතේ ඇතිවන කම්පනය වචනයට හැරවුණු අයුරු ය.

A doctor's prayer - Dr. Bodhini Samaratunga

I'm praying at your bedside
Just like I prayed every day
Just like on every on call night
On emergencies we delt
Beside countless beds and hallways
For the strangers I never knew

I prayed at every bedside
For the lives I saved like mine
On every case of emergency
On every incision I made
On every suture and stitch
On every delivery I took

Labor room,theaters and wards
Every where I ran..
My mind chanting a prayer
For the unknown lives in hand
For a breath and a beating heart
For the lives that I cared like mine

A cry from a newly born
For a smile from a hoping mom
I prayed at every bedside
For the lives I saved like mine


On every CPR
eyes fixed on screen for a beat
Chanted the prayer in mind
At times unconsciously loud
For the lives I saved like mine
For the strangers I never knew

"Sometimes you whisper under your breath
What language is that?" they ask
A prayer through words of an unknown grace
Just flow for a beat from an unknown heart
Today I pray at your bedside
Same whisper of hope and strength
Counting all the blessings of strangers
For the bliss they've left behind
I prayed at every bedside
For the lives I never knew
I prayed for every heart beat
For the lives I saved like mine

ආ භූමිතෙල් බීලා ආපු පොඩ්ඩා... එයා ගැන කියන්න අමතක වෙනවා තව ටිකෙන්...

භූමිතෙල් මගින් සැර වාෂ්පයක් නිකුත් වෙනවා... ඒක ශ්වසන මාර්ගයට ගිය විට ආසාදන ඇති කරන්න පුළුවන් ... උගුර කට ආහාර මාර්ගය ඒ සැරට ඉදිමෙන්න වේදනා දෙන්න පුළුවන්. සමහර විෂ ශරීරගත වුනාම අපි ඒක උදරයට බටයක් දමා එළියට ගන්නවා. ඒත් භූමිතෙල් පෙට්‍රල් වගේ ඒවට එහෙම කරන්නේ නෑ. ශ්වසන මාර්ගයට ගියොත්.. වමනය කරොත් හානි සිදුවෙන නිසා. activated charcoal වැනි විෂ උරාගන්නා අඟුරු ශරීර ගත කරන්නෙත් නෑ.

ඒ පොඩ්ඩා නම් වමනය කළා .. භූමිතෙල් ගඳ බත් සහ සියළු උදරගත වුනු කෑම බීම. ඒකේ ගඳ බලන්නත් සිදු වුනා. ඔව්.. වෛද්‍යවරුන්ට.. එහෙම දේවල් කරන්න වෙනවා. වමනය මොන පාටද? ලේ තිබුනද ? භූමිතෙල් ගඳ තිබුනද ? අසූචි මුත්‍රා පවා. ඒ ඒ පද්ධති වල ප්‍රශ්නයක් නම්.. මොන පාටද ලේ තිබුනද කියා පරීක්ෂා කරන්න වෙනවා. අපේ නංගී අහන්නෙත් ඔයා කොහොමද ඕවා කරන්නේ කියලයි. ඒක වෙනම කතාවක්.

ඔන්න අම්මා කීවා මළ පහ පවා භූමිතෙල් ගඳ බව. එනකොට පොඩ්ඩා හිටියේ නිදිමත ගතියෙන්. ඒකත් භූමිතෙල් පෙවුනම එන ලක්ෂණයක්. ඇන්ටි බයොටික් දෙන්න වුනා... පෙනහළු වලින් ආසාධනයක ලක්ෂණ පෙන්නුම් කළ නිසා ( නළාවට ඇහෙනවා ) එක්ස්‍රේ මගින් එය සනාථ කරන්න පුළුවන්. උදරගත දැවිල්ලට සහනයක් ගෙන දෙන ඖෂධ සහ වමනය වලක්වන ඖෂධ දුන්නා.. ඊළඟ දවසේ ඉඳන් හොඳ හිනාවෙන් ලොකු දාංගලයක් සහිත සාමාන්‍ය තත්වයට පත් වුනු දරුවාගෙන් " භූමිතෙල් රස ද " කියා විමසන විට ඔහු හයියෙන් හිනැහුනා. තේරිලා නම් නොවේ.

අද පින්තූර මම ගත්තු ඒවා , වාට්ටුවේ වැඩ කරන අතර තුර ....ස්ටෙතස්කෝප් ටිකට විවේකයක් ලැබුණු මොහොතක්..

අනික් පින්තූරේ අපේ කුඩා ළදරු ඒකකය... ඒක හදාගත් හැටිත් අපූරු කතාවක් ! ඒකත් දවසක ලියන්නම් !

Sunday, October 30, 2016

සර්පයින් ගැන කතාවක් !

වැසි සමය ආරම්භ වූයෙන් චුරු චුරු හඬින් පටන් ගෙන මහා ලොකු අකුණු හෙණ ගෙඩි ලෙසින් පාත් වෙන කාලයක් එක්කම අනිත් කොන රෝහල බොහෝ සෙයින් කලබල වෙනවා. මා මීට පෙරත් ලියූ ලෙස , සාමාන්‍ය උණ තත්වයන් සිට ඇදුම ශ්වසන රෝග එක්කම ඩෙංගු උණත් හිස ඔසවන්නේ ඔය කාලෙදී. මී උණ ත් අඩුවක් නැතිව ඇත්තේ කුඹුරු වෙල් යාය ආශ්‍රිතව මඩ වතුර සමග එකතුවන මීයන්, බල්ලන්, හරකුන් වැනි සතුන්ගේ මූත්‍රා වලින් එකතු වන බැක්ටීරියාවන් නිසා ය. ලෙප්ටොස්පයිරෝසිස් නමින් හැඳින්වෙන්නේ මෙයයි.

කුඩයක් ඉහළාගෙන චිරි චිරි යේ පයට පෑගෙන මඩ වූ පොළව මතින් යද්දී ඇහැ ගැටෙන සර්පයින්ද අපමණය. බයිසිකලයේ යද්දී නම් ඔවුන් බේරන්න්ට වෙට්ටු දමන්නට සිදුවේ. බොහෝ විට හමුවෙන්නේ දෂ්ඨ නොකරන විෂ රහිත අයවලුන් ය.

නේවාසිකාගාරය වැට අයිනෙන් රෝහල් භූමියේ තුරු වදුල් කුඩා පඳුරු ඇතු බිම් කොටසට ඇතුල් වෙන පිටවෙන නිතරම දකින කළු දිග නයා නම් අපව දන්නා හඳුනන බවක් පෙන්වයි. එයා නම් ඈත තියා දකින්නට තරම් දිග මහත ඇත්තෙකි. දිනක් බයිසිකලය නවත්වා ඒ ඇත්තා පාර මාරුවී පිට්ටනිය දෙසට යන තුරු බලා ඉඳෙද්දී ඈත තියා ඇවිදන් ආපු සිකියුරිටි මහත්මයෙක් මා නවතන් ඉන්නේ ඇයිද විමසද්දී , "අන්න අරයා යනකම් කියා" පෙන්වූ සැනින් මේ මනුස්සයා, අහල තිබුනු ලීයක් උස්සාගෙන එද්දී මා එපා කියූවත් ඔහු නොවේ කනකට ගත්තේ.... මම හරවගත්තු බයිසිකලය වැර යොදා පාගා ඉවතට පැද ගියෙමි. නයාට ගහලා පොල්ල වරද්දාගන්න එපා කියන කියමන මේ මනුස්සයා නම් දන්නේම නැතිද කොහෙද. පොල්ල නයිහාමිට නොවැඳුනු නමුත්, බොහෝ වෙලාවක් පෙනේ පුප්පාගෙන අර මනුස්සයා දෙස බලා සිටිය බව මතකයි. වෙලාවට මම ඒ දර්ශන පථයේ නොසිටියේ.


සර්පයන් දශ්ඨ කළ හෝ සපා කෑ අයවලුන් ගෙන එන විට ඒ සර්පයාද අල්ලා බෝතලයක හෝ බෑගයක දමාගෙන ගෙන ඒම බොහෝ අයගේ සිරිතයි.

එවැනි දිනක ගෝනියක ගැට ගසා ගෙන ආ සර්පයා හඳුනාගෙන බෙහෙත් නියම කළ පසු අප වාට්ටුවට අලුතෙන් පත් වී ආ සීමාවාසික වෛද්‍යවරයා ද එදෙසට පැමිණියෙන්, "මේ බලන්න මේ මල්ලේ" යැයි කීවා පමණි. ගෝනිය ඇතුල කඩි මුඩියේ බැලූ ඔහු කපා හෙළූ කඳක් මෙන් අසල පුටුව මත වැටුනේ බුදු අම්මෝ යැයි කියමිනි. හේතුව ඔහු තුල සර්පයින් ගැන තියෙන්නා වූ දැඩි බිය යි. අප එය නොදැන සිටියෙමු.

මග මරුවා නමින්ම හැඳින්වෙන තෙල් කරවලා, වැලි පොළඟා, තිත් පොළඟා, පොළොන් තෙලිස්සා යන මේ සර්පයන් බොහෝ විට හමුවෙන්නේ වියළි සහ ශුෂ්ක කලාප වලින්.... ඒ කියන්නේ අනිත් කොනේ දීත් මේ අය නිතර දෙවේලේ මුන ගැහුණු කොට්ටාශයක්... ඒ හැරුණු කොට නාගයා සහ මුදු කරවලා නම් තෙත් වියළි හැම ප්‍රදේශයකම ඉන්නවා.


නාගයා අධික විෂ සහිතය. ස්නායු පද්ධතිය අකර්මණ්‍ය කරන විෂ සහිතය. මාංශ පේෂී දුර්වල වීමත්, ඇස් පියන් ඇරීමට නොහැකියාවත් ඇතිවේ. සියලු මාංශ පේෂී සහ ස්නායු පද්ධතියේ අකර්මන්‍ය තාවය නිසා ශ්වසනය, ආහාර ගිලීම අපහසුවේ. පහත වගුවේ ඔවුන් දශ්ඨ කළ විට පිටත දක්නට ලැබෙන ලක්ෂණ සහ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන තත්වයන් විග්‍රහ කරයි.



රසල්ස් වයිපර් හෙවත් තිත් පොළඟා තමයි වැඩි පුරම අප වෙත ගෙන එන අය රැගෙන එන්නේ... තිත් පොළං විෂ ශරීර ගත වුණු විට බලපාන්නේ රුධිර සංසරණ පද්ධතියටය. ලේ කැටි ගැසීම නවතී. මූත්‍රා සමග ලේ පිටවීම සමග වකුගඩු අකර්මණ්‍ය වීම ද සිදුවේ. විදුරුමස් වලින් පවා ලේ ගැලීම් සිදුවිය හැක. මුහුණ ඇස් ඉදිමේ. එවැන්නවුන් හට රුධිර කැටි ගැසීම පරීක්ෂා කිරීම සිදු කළ යුතුය.





වාට්ටුවේදී.. කුඩා ලේ පරීක්ෂා කරන්න ගන්නා බෝතලයක අඩියට රුධිරය 1-2 මිලි ලීටර පමණ දමා මිනිත්තු විස්සකින් හරවා බැලීමෙන් රුධිරය කැටි ගැසෙනවාද නැද්ද යන්න පැහැදිලි ලෙස දැකිය හැක. ඉතින් එහෙම නොවුනොත් වහාම යලිත් බෝතලයකට ලේ දමා පරීක්ෂා කර තහවුරු කරගෙන. රුධිරය කැටි නොගැසෙන්නේ නම් පොළොං විෂ නයි විෂ සඳහා නිපදවූ විෂ නසන බෙහෙත් ශරීර ගත කළ යුතුය. මේ ක්‍රියාවලියේදී, anaphylaxis ඇනැෆිලැක්සිස් හෙවත් එම ඖෂධ සඳහා ශරීරයේ ප්‍රතික්‍රියාවක් සිදුවිය හැකි හදිසි ජීවිත තර්ජන තත්වයක් නිසා කෝකටත් අපි හදිසි අවස්ථාවකදී භාවිතයට ගන්නා ට්‍රොලිය සහ ඖෂධ සියල්ල ලෑස්ති කරගෙන සිටින්නෙමු. 






හැබැයි මා කායික රෝග වාට්ටු වල වැඩ කරන කාලය තුල කිසිම විටක එවැනි හදිසි අවස්ථා ඇති වුනේ නැත. අපි සමහර විට එක වර රෝගීන් දෙදෙනා තුන්දෙනා තබාගෙන ප්‍රතිකාර කර තිබේ.

මේ අය හඳුනාගන්න හැකි... ජායාරූප සහ විෂ ඇතුල් වෙන ස්ථානයේ ලක්ෂණ සහ ඉන්පසු විෂ නිසා ඇති විය හැකි රෝග ලක්ෂණ අඩංගු විශාල පෝස්ටර් අපේ වාට්ටුවේ ඇතුල් වෙන තැනම අලවා තිබෙනවා. එනිසා අපට ද එය මහත් ඉස්පාසුවක් .... ගෙනෙන සර්පයා හඳුනාගන්න අවශ්‍ය ජායාරූප එහිම තිබෙන නිසා. ඒත් බොහෝ විට සිදුවෙන්නේ.. කුඹුරක හෝ කැලෑවකදී නම් දෂ්ඨ කරන ලද සර්පයා වෙනුවට අසල සිටින ඕනෑම සර්පයකු ගෙන එන එක ය. එනිසා ගෙන එන සර්පයා අනුව නොව ඇතිවන ශරීර සංකූලතා ආබාධ ගැන ද සැලකිල්ලට ගත යුතු ය. 

 තෙල් කරවලයා උග්‍ර විෂ සහිත සර්පයෙක්  හැබැයි සපා කෑ ස්ථානය ඉදිමෙනවා.   බොහෝ විට නින්දෙන් පසු කෘමි සතෙකු සපා කෑවාක් වැනි රිදීමක් මිසක් තුවාල ලකුණක්වත් සොයා ගන්න බෑ මුදු කරවලා සපා කෑවොත්
  
සමහර මිනිසුන් සතා සිවුපාවුන් සමග සංහිදියාවෙන් ජීවත් වීම ගැන නොදන්නේ දැයි මට සිතේ. දෝරේ ගලන වතුරේ පීනමින් එන පොළඟුන් නම් අප නේවාසිකාගාරයේ පඩිය අසලින් ද ඇදී යයි. ඔවුන්ගේ ගමන ඔවුන් යන තුරා අපේ ගමන නවත්වා සිටිය යුතු වේ. මගේ පියා පැවසුවේ අපෙන් කරදරයක් නොවන තාක් ඔවුන්ගෙන් කරදරයක් නොවන බව ය. මෙය කෙතරම් ඇත්ත් දැයි මට සිතේ. එහෙත් බොහෝ විට සිදුවෙන්නේ කුඹුරක හෝ අවට වන පඳුරු ගහණ පෙදෙසක නොපෙනීම නිසා නොදැන ඔවුන් මත පා තැබීම ය.

Saturday, September 24, 2016

පොත් සල්පිල සහ බ්ලූක්ස්

ඊයේ දිනය හරි අපූරුම දවසක් !...
බොහෝ පොත් මිත්‍රයන් මුණ ගැසුනා. ඇතැම් අයට වෛද්‍ය අවවාදත් ලබා දුන්නා.. ඒ එක්කම සයුර ප්‍රකාශන හි නිලන්ත අයියාගේ අක්කා මීට වසර 6 කට පෙර ලියූ නවකථාවක "බෝධිනී" කියා වෛද්‍යවරියක් ගැන ලියූ බව කීවා... මට ඒක පුදුමයක් එතකොට ඒ කාලේ මම උතුරු කොනේ.. පොත් ලෝකේ ගැන හාංකවිස්සියක්වත් නොතිබුනු යුගයක් නිසා පොත නම් මග හැරුනා... සම සයුර සහ කවි පොත් සල්පිල අතර ඇවිදිමින් හිටියා.

බ්ලුක්ස් හෙවත් පොත් වුනු බ්ලොග් ලිපි ...

බ්ලොග් ලියන අප කිහිප දෙනෙක්ගේම පොත් මෙවර සල්පිලේ තිබුනා
සම K 308 / සයුර L407 කුටි වලින් බ්ලොග් පොත් වලට ලැබුනේ හොඳ ඉඩක් !





බොහෝ අය දුටු විට දැන හඳුනගෙන කතා කරන්නත් අමතක කළේ නෑ.
මෙතෙක් ස්ටෝරුගත වී තිබුනු මගේ ඉතිරි පොත් බන්ඩල් කිහිපයද මෙවර සල්පිලට එකතු කලා.

කවි පොතේ කවියක් පත්තරය පල කළ ප්‍රවීණ රචකයෙක් "ඒ වගේ කවි වලට මම කැමති නෑ අර මම පත්තරේ දාපු කවිය හොඳයි" කියා කීවා. අන්තර්ජාලයේ මුහුණු පොතේ මරාගන්න උදවිය... පොත් සල්පිලේදී සෙනෙහසින් වෙලී සිටිනවාද දුටුවා. අපරාදේ ඒ අය නිසා දෙකට බෙදී මුහුණු පොතේ යුද්ධ කළ උදවිය. නවකයින්ගේ පොත් කරමින්, ඒවා සල්ලි ඉල්ලම් බවට පත් කරගත් අප්‍රකට චරිතයක් ගැනත් බොහෝ දේ දැනගත්තා... මේ හැම චරිතයක්ම අපූරු පාඩමක් !
දෙමාපියන් දරුවන් එක්ක අභ්‍යාස පොත්, විභාග පොත් සහිත තැන් වල පොදි කකා හිටියා.... වාට්ටුවේ දරුවන්ට චිත්‍ර බඩු ගන්න පුළුවන්ද බලන්න එක පොත් සැලකට ගියත් එතන බිල් ගෙවන්න තිබුනු පෝළිම දැකලා මම ඒ අදහස අත් හැර ගත්තා...ඒකට ලබන සතියේ පිටකොටුව දිහාට යන්න හිතා ගත්තා.

මම දකින්නේ එක එක විදිහේ පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන්. මනෝවෛද්‍ය විද්‍යාවේ නම් මේ හැම චරිතලක්ෂණයක් ගැනම විග්‍රහ කරනවා. පොත් ලියන්නෝද පොත් කියවන්නෝද පොත් පෙරලන්නෝද, පොත් මවන්නෝද, එකට එකතුවුනු අපූරු තැනක් පොත් සල්පිල...
ලබන අවුරුද්දෙත් හමුවෙමු.

Friday, July 22, 2016

අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය !

ඇය මට හමුවුනේ හරියටම දෙවසරකට පසු... අප දන්නා කියන අයෙක්... නැවත පන්සලේදී මුණගැසුනාට ඇය වෙනස් වී තිබුනා.

"නංගී මම අවුරුදු දෙකක් වෙනකම් කතා කරන්න බැරුව හිටියා. දරුවා ඉන්නවා කියලාවත් මට දැනුනේ නෑ. සියල්ල අමතකයි" ඇය පැවසුවා මතකයි.

"දරුවා ලැබිලා එදා රෑ මට මතක ලයින් හෝම් එකේ... වාට්ටුවේ ටොයිලට් එකට ගියා... ලොකු තඩි කකුල් දෙකක් මා දිහාට ඇවිදන් ආවා." ඇය එහෙමත් කීවා මතකයි.

"දැන් තමා මට සිහියක් ආවේ...මට දරුවා අල්ලන්න දරුවා බලන්නවත් ලැබුනේ නෑ. පුතාට කිරි දීලාත් නෑ මම"

නමුත් එවකට උසස් පෙල පන්තියේ සිසුවියක් වු මට ඒ අක්කා කියපු කතාව නිරන්තරයෙන් මතක් වුනේ වෛද්‍ය විද්‍යාලයේදී සායන වටයකදී පසු ප්‍රසව ආතතියට/ විෂාධිය ට ලක් වුනු කාන්තාවන් දුටු විට ය.

එක් අයෙක් අත් දෙක බැඳගෙන දරුවෙක් නලවන ආකාරයට එය එහෙ මෙහෙ කරමින් උන්නා. ඇය අසලට ගිය විට ඇය අපෙන් දරුවා මදකට අල්ලා ගන්නවාදැයි අසා.. අපේ කණ්ඩායමේ පිරිමි ළමයෙක් වෙත පැමිණ අතේ දරුවෙක් නොසිටි නමුත් දරුවෙක් ඉන්නා ආකාරයට ඔහුගේ අතට මාරු කළා.
ඒ පටන් මේ වන තෙක් ප්‍රසව හා නාරිවේද වාට්ටු තුල ද, මානසික ඒකකයන් වලද නිරන්තරයෙන් මට ඔවුන් මුණ ගැසෙනවා.

අප වෙත පැමිණෙන දරුවන් කිහිප දෙනෙක්ගේම අම්මලා මේ තත්වය නිසා, මනස විකල් වී, ඔහේ බලාගත්තු අත බලාගෙන හිඳින්නියන් වෙලා.
ඒ දරුවන්ගේ කායික සහ මානසික වර්ධනය සම්බන්ධ ගැටළු රාශියක් තිබෙනවා. ඔවුන්ගේ පවුල් පසුබිමේ වුනත් ඒ ගැන වැඩි දැනුමක් නැති නිසා ඒ අම්මලාගේ සුව වීම සතුටු දායක මට්ටමක නොමැත. දරුවන් හැමෝම වාගේ ආච්චි අම්මාගේ රැකවරණය ලබයි. නාම මාත්‍රිකව පමණක් මවක සිටින දරුවන් ද මේ අතර වේ. මේ තත්වය ගැන වඩා සවිස්තරාත්මක ලියවිල්ලක යෙදෙන්නට අවැසිමය කියා මට සිතිනි.
මේ ලින්ක් එකෙන් ඔබට ඒ ගැන ඉංග්‍රීසි බසින් කියවන්නට පුළුවන. http://www.mayoclinic.org/

 හේතු වන කරුණු රාශියකි...
ඉන් අතර මූලිකවම ඇත්තේ ගර්භනී සමයේදී ශරීරයේ ඇති වූ වෙනස්කම් වලට හේතු පාදක වන හෝමෝන වල ක්‍රියාකාරිත්වයයි. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රෝන් යන හෝමෝන දෙකෙහි ප්‍රමාණයන් විශාල වශයෙන් අඩු වීම මෙයට හේතුවන බවත් සොයාගෙන ඇත. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන අඩු වීම යන මෙයත් එක හේතුවකි.

දරුවා ලැබෙන්න ඉන්න කාලයේ ඉඳන් දැනුණු කායික පීඩා, දරුවා ලැබුණු පසු නින්ද නොමැති වීම අධික තෙහෙට්ටුව මහන්සිය , නිවැසියන්ගෙන් එල්ල වන ඇතැම් මානසික පීඩා යනාදියත් මෙයට හේතු විය හැකිය.

තවත් පැත්තකින් බොහෝ කලබලකාරී හෝ අහිමිවීම් බහුල ගර්භනී සමයක් ගෙවූ අයට ද, ස්වාමියාගෙන් නිවැසියන්ගෙන් උදව් උපකාර අඩු අය ද,  ආතතිය, විෂාධිය සහ මානසික රෝගාබාධවලට කලින්ම ගොදුරු වූ අයද මෙවැනි තත්වයකට ඇද වැටිය හැකිය.
අලුත උපන් බිළිඳාගේ රෝගී තත්වයක් වුනත් මවකට බොහෝ පීඩා ගෙන දී එයින්ම ඇය පසු ප්‍රසව විෂාධිය තත්වයට පත් විය හැක.
 මෙහි ඇති භයානක බව සමාජයට වැටහෙන්නේ නැති බව මා හොඳින්ම දනිමි. දරුවන් තිදෙනෙක් මෙලොව තනිකර මෑතකදී අවසන් ගමන් ගිය වෛද්‍යවරයෙකුගේ බිරිඳ ගැන කතා පුවත මට මතක් වේ.

ඔබ දන්නවා ද ? පෝස්ට් පාර්ටම් ඩිප්‍රෙෂන් හෙවත් පසු ප්‍රසව විෂාධිය තත්වය ගැන ? එසේ නම් අපි ඒ ගැන සොයා බලමු.

"ඩොක්ටර් මට ජීවත් වෙන එකත් එපා වෙලා... මේ ප්‍රශ්නෙ නිසා... බබා කිරි බීවට අඬනවා ඉවරයක් නෑ. එයාගේ බරත් අඩු වෙලා " ඔහොම කියන තරුණ මව්වරුන් බොහෝමයකට බලපෑම් එන්නේ
 " ඔයාගේ කිරි මදි ඒකයි ළමයා අඬන්නේ , ඉතින් පිටි කිරි දෙන්න"  කියලයි. එහෙම නැත්නම් දරුවෝ හදන හැටි ගැන අළුත් අම්මලාට විශාරද  ඝණයේ උපදෙස් දෙන නැන්දම්මලා, ඒ වගේ අනවශ්‍ය බලපෑම් කිරීම් නිසා තරුණ මව්වරුන් බොහෝමයක් ඉන්නේ දැඩි පීඩනයක.

"මට තේරුණා එයා ගොඩක් සංවේදී කියලා, දරුවා ඉපදුනත් එක්ක අම්මලාගේ ගෙදර ඉන්නකොට ඇඟිලි ගැසීම් වැඩී. කොයිවෙලෙත් කට්ටිය කිරි දෙන්න කිරි දෙන්න ඇයි අඩන්නේ වගේ ප්‍රශ්න අහනකොට එයා ගොඩක් කලබල වෙනවා. බබාගේ වැඩත් තනියම කරගෙන කොහොම ඉන්නවද මන්දා " පියෙක් එහෙම කියද්දී මට ඇත්තටම ඒ ගැන සතුටු හිතුනා.

මව්වරු විශාල කරදර ගොන්නකට මුහුණ දේ.
ඒක , අම්මා කෙනෙක්ගේ වගකීම හෝ යුතුකම ලෙසින් ලේබල් ගසන්නට උත්සහ ගන්නා දහසකුත් පිරිමින් අතර, තමන්ගේ බිරිඳ විඳින කායික සහ මානසික වේදනා ගැන බොහොම සංවේදීව කරුණාවෙන් සිතන , ඒ ගැන කණගාටු වෙන පිරිමින් සහ ඔවුන්ගේ ඒ පීඩාවලට සහනයක් ගෙන දෙන්න වෙහෙසෙන සැමියන්ද මා කොතෙකුත් දැක ඇත.

" මම රෑට කිරි වේල් දොවලා තියනවා, හස්බන්ඩ් සතියකට දින කීපයක්, මට නිදාගන්න කියලා, බබා ඇහෙරෙනකොට එයා ඒ කිරි පොවනවා. මට ඒ නිසා ලොකු වෙහෙසක් නැති දින කීපයක් තියෙනවා" ඒ මා සමග දොඩමළු වුන පිටරට සිටින යුරෝපීය ජාතික යෙහෙළියක් පැවසූ වදනක්.

" හස්බන්ඩ් රෑ තිස්සේ කිරි පොවලා දුන්නම ගුඩුස් බස්සනවා, එයාට පහුවදා වැඩට ගිහින් හරි වෙහෙසලු, මම නම් ටිකක් හරි නිදියනවා"

" මම කිරි දොවලා තියලා ඇවිදින්න යනවා, සැමියා තමා කිරි පොවන්නේ... පැයක්වත්  මම ඇවිදිනවා" ඒ මගේ පිටරට ඉන්න නෑනා කියපු කතාව.

ඔව් බටහිර රටවල , යුරෝපය ඇමෙරිකාව වගේ නිදහස් චින්තනයක් හෙබි රටවල එහෙමයි.

අපේ රටේ ඇතැම් සැමියන් කියන්නේ

"අම්මෙක්ගේ යුතුකම් වගකීම්. අම්මෙක් උනාම ඔහොම තමා. ඕවා තනියම විඳින්න... ඕවා ඔයාගේ වැඩ ඔයා කරන්න...."
"මොන මළ වදයක්ද මේ.. මොකටද එහෙනම් දරුවෝ හැදුවේ"
"ඕවා දරුවා හදන්න කලින් හිතන්න තිබුනා"
" හැදුවනම් දැන් ඉතින් කරගන්න "
"මේ අඬවැඩියාව ඉවරයක් නැද්ද?"

ඔය වගේ අමනුස්ස කතා කියන නොමිනිස්සු ඉන්න මහා සංස්කෘතික රටේ අය වගේ නොවේ සමහර පිටරට වල ඉන්න අය...

ඒ අය,
 හැම මනුස්සයෙක්ටම තමන්ට වගේම අමාරුකම් තියෙන, දැනෙන අය බව වටහා ගන්නා පිරිසක් බව ය මගේ හැඟීම.

ඒවගේම දරු ප්‍රසූතියකට පස්සේ අම්මෙක් දැඩි වෙහෙසක ඉන්න බවත්, සීසර් සැත්කම හෝ යෝනි මාර්ගයේ කැපුම් පැලීම් තුවාල නිසා අම්මෙක් අමාරුවෙන් ඉන්න බව වටහා ගන්න පිරිසක්.

ඉතින් ඒ අය තමන්ගේ බිරිඳට ගෞරවයෙන් සලකනවා.
පූර්ව හෝ පසු ප්‍රසව ආතතියෙන් පෙලෙන තමන්ගේ බිරිඳව ආදරෙන් බලාගන්න උපදෙස් ගන්නවා. ඒකට අන්තර්ජාලයෙත් බොහෝ උපදෙස් තියෙනවා. එතකොට ආතතිය විෂාධියක් බවට පෙරලෙන්න තියන අවදානමද අඩුයි.

අළුත් ජීවියෙක් කැන්දන් එන මවකට පියෙකුට ඒ දරුවා ගැන කොයි තරම් නම් ස්නේහයක් තියෙනවා ද? ඒ සෙනෙහසම එකිනෙකා වෙනුවෙන් දක්වන්න පුළුවන්නම් මේ ප්‍රශ්න බොහෝමයක් අඩුවෙන බවයි අපේ මනෝවෛද්‍ය විශේෂඥවරයා පවසන්නේ.

"පැය දෙකෙන් දෙක නැගිටිමින් කිරි දෙමින්, ගුඩුස් බස්සන්න කරේ තියන් ඇවිදිමින් ( අර කැපුම් තුවාල සීසර් සැත්කම් අමාරුකම් එක්ක) ඊළඟට ඇඳුම් හෝදමින් මදිමින්... මේ සියල්ල කරමින් ඉන්නා මවකට සැනසීමක් සහනයක් ලබා දීම  කරන්නෙ නැතිව පීඩනයක්ම එල්ල කරනවිට ඇය පුපුරා යන එක අහන්න දෙයක් නොවේ.... "ඔහු තව දුරටත් පැවසුවා.

පිටරටවල තරුණ පියවරුන්ගේ මම දකින ලක්ෂණයක් තමයි වගකීම් දරනා ස්වභාවය. අපේ රටේ ඒක අඩුයි.
ලංකාවේදී නම් මට සතුටෙන් පිරියෙන් සිටින අම්මෙක් මුණ ගැසුනේම නැති තරම්.

ඉපදී සතියක් වයසැති දරුවන් බලන well baby clinic වලදී මේ අම්මලා විඳිනා ගැහැට ඔවුන්ගේ මුහුණු වලින් සහ හැසිරීමෙන්ම දකින්නට ලැබේ.

"අම්මා නිදාගත්ත ද? ගොඩක් වෙහෙස ද?" වගේ කාරුණික ප්‍රශ්නයක් අහලා මා ඔවුන්ට හිත සැහැල්ලු කරගන්න අවකාශ සලසන්නේ එහෙයිනි.
" අනේ ඩොක්ටර් පොඩි දෙන්නගේ වැඩත් මෙයාගේ කිරි දෙන එකත් ඔක්කොම කරනකොට මට පිස්සු වගේ හවස් වෙනකොට"

"දැන් ඔයාට සියල්ල තනියෙන් කරන්න බෑ, ඔයාට උදව් ඕනෑ අම්මා" එහෙම කියද්දී

" මහත්තයා ආවා එයාට ඔය ටික කියන්න පුළුවන්ද ඩොක්ටර් " කියා අසන අම්මලාද අඩු නැත.

"අනේ ඩොක්ටර් මං නිදාගෙනම නෑ එක දිගට ඇහැරලා..." දින දහයක් පමණ තම රෝගී දරුවා සමග දුක්විඳින මවක් අප හා පවසයි. ඇතැම් මව්වරු තමන්ගේ සුවපහසුව තකා රෝගී දරුවාද රැගෙන ගෙවල් වල යති.

මසකට දෙතුන් පාරක්, ජාතික මානසික රෝහලේ ඇම්බියුලන්ස් එකක , පසු ප්‍රසව විෂාධියෙන් පෙළෙන මව්වරුන්ගේ කුඩා බිළිඳුන් අප රෝහල වෙත එවන්නේ ඔවුන්ගේ නොයෙකුත් ප්‍රශ්න සඳහා පිළියම් සෙවීමටය. ඒ මව්වරුන් බොහෝමයකට ඒ වෙනකොටත් සිහි කල්පනාවක් නැතිව ඊ සී ටී ලබා දෙන බවද ඇසේ.  මේ දරුවන්ගේ අනාගතය කෙබඳු වේ ද ?
අම්මා නොමැති කල අප්පා කවර කල යන කියමන සනාථ කරමින් ඔවුන්ගේ පියවරුන්ද දරුවන් කෙරෙහි ආදරයෙන් සිටින  ආකාරයේ හැසිරීමක් නොපෙන්වති. ඇතැමුන්ගේ පියවරුන් ඔවුන් හැර ගොසිනි.

බොහෝ පියවරුන් එසේ ය. බොහෝ විට උපතේදී රෝගී වුන දරුවන් ගේ බර දරාගෙන රෝහලේම කල් ගත කරන මව්වරුන් තනිව විඳින ඒ දුක දැනෙන්නේ අපට පමණම දැයි සිතේ.
ඇතැම් පියවරුන් මෙවැනි ප්‍රශ්න මත , තවත් ගැටළු නිර්මාණය කරගෙන අර මව්වරුන්ගේ පීඩනය රෝගයකට හරවා ඔවුන් හැර යති.

ඒ අම්මලා මේ කරුම කරදර දරන් දරුවන් හදා ගන්නේ කොහොමද ? දරුවන් ගේ මනස නිසි ආකාරයෙන් වර්ධනයක් සිදුවේ ද? අවසානයේ මව්වරුන් සියදිවි නසාගන්න තරම් මේ තත්වය භයානක බව කොයි තරම් ද කීවොත් , 2013 ඇමරිකාවේ දී කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබුනේ පසු ප්‍රසව විෂාධිය ට ලක් වූ මව්වරුන් පස් දෙනෙකුගේන්ම කෙනෙක් සිය දිවි හානි කරගන්නා සිතුවිලි තිබූ අයවලුන් බවය.
(CDC statistics  - and  post partum statistics )

අපේ රටේ කියා මේ තත්වය වෙනස් වෙන්නේ නැත. මව්වරුන් වැඩිමනක් මිය යන්නේ, පසු ප්‍රසව රුධිර වහන තත්වයන් නිසාය දෙවෙනියට මිය යන්නේ, සිය දිවි හානි කරගැනීම් නිසාය ඒ මේ කියන විෂාධිය නිසාය.

එනිසා මව්වරුන්ගේ මානසික සෞඛ්‍යය ගැනද සිතා බැලිය යුතු කාලයකි මේ. දරුවාට ආදරය කරන බොහෝ පියවරුන් දරුවාට ජීවය දෙන තම දිවියම වෙනස් කරගන්නා මව්වරුන්ට බොහෝ මානසික/ කායික පීඩා කරති.
මා බොහෝ ප්‍රිය කරන කියමනක් තිබේ ... " ඔබේ දරුවන්ට ආදරේ නම් ඔවුන්ගේ මවට ආදරේ කරන්න" කියන කියමනයි. එහි සැඟවුනු අරුත ඔබට වැටහේ යැයි සිතේ.

තමන්ගේ බිරිඳට, බෙහෙත් ගන්න, සාමාන්‍ය කෙනෙක් වෙන්න කියන්න වචන නාස්ති කරන ඔබ, ඇයට යථා තත්වයට පත් වෙන්න උදව්වන සානුකම්පිත , ඇය වෙනුවෙන් කරුණාව දක්වන කෙනෙක් වෙන්න.

පසු ප්‍රසව විෂාධිය ඇති වීමට අවධානම වැඩි පරිසර, තත්ව , රෝගාබාද, හෝ සාමාජීය ප්‍රශ්න ඇති අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.
විශේෂයෙන්ම මානසික රෝගාබාද වලට ලක් වූ අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.
අවසානයේ...
ඇයට ආදරය දක්වන්න, හැකි තරම් පීඩා ඉවත් කරන්න, තනි කර පලා නොයන්න, ඇය  ඉක්මනින් සුව වෙනු ඇත !

"මම මොකද්ද කරන්න ඕනේ ඩොක්ටර් එයාව සතුටින් තියන්න ? "
එහෙම අහපු තරුණ පරිඝණක ඉංජිනේරු පියෙක් අපට හමුවේ.
" එයා ගැන විතරක්ම අහන්න, ගෙදර ආපු ගමන් දරුවා ගැන ප්‍රශ්න අහන්නේ නැතිව එයාට කොහොම ද? කියලා විතරක් සොයා බලන්න ! දරුවා ගැන අපි බලන්නම්, අම්මා ගේ මනස හරියනකොට, කිරි ප්‍රශ්නය විසඳෙනවා. දුකින් ඉන්නකොට කිරි එරෙන එකත් අඩු වෙනවා" ඒ වගේ පිළිතුරු අපෙන් ලැබුනා.

ඒ අතර බ්ලොග් ලියමන ප්‍රමාද වෙන්නට හේතු කාරනා බොහෝමයක් තිබෙනවා.. වෛරස් උණ රෝග, ඩෙංගු, බඩ එළියේ යෑම වමන )ය සමග වාට්ටු පිරී ඉතිරී යෑම.... සැරෙන් සැරේ අප වෙතද ඒ රෝග බෝ වීම වැනි කාරණා නිසා ජීවිතේ බොහෝ අපහසුකම් මැද ගෙවිනි....





Sunday, June 5, 2016

ගංවතුරේ දින සටහන් !

On may 17th

Struggling to get to work ! Felt bad about the kids who had to go to school in this rain. Hospital is safe from floods ! but kelani river is conquering her banks.. කැළණි ගඟ දෙපස ඉවුරක්වත් නොපෙනෙන්නට සාදා තිබූ කුඩා ගෙවල් සියල්ල වතුරෙන් යටවී ඇත. පරිසරය හා සංහිඳියාවෙන් ජීවත් නොවීමේ විපාක මේ මිනිසුන් විඳින්නේ. වෙල් යායවල් ගොඩ කර සාදන ලද නිවාස පිහිටි ඉසව් සියල්ල වතුරෙන් යටවී ඇත.

එක දිගට ඇද හැළුනු වර්ෂාව නිසා ටිකෙන් ටික පළාතේ එකතුවුනු ජලය සහ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යෑම වැනි කරුණු නිසා මා රැකියාවට යන එන විට දුටුවේ හෙමි හෙමින් පාරවල්... වෙල් යායවල් සහ වෙල් ගොඩ කර සෑදූ නිවාස සංකීර්ණ ජලයෙන් යටවෙන අන්දමය.
මේ ළඟදී කලා හිත ලියන සුමිත් කළණසිරි සොයුරා විසින් කරන ලද පාසැල් දරුවන් සඳහා සපත්තු පරිත්‍යාග කිරීම සිදුවුනු හෙලේනා විජේවර්ධන පාසැලත් මා එන මග හමුවන්නක් ඒ ඉදිරිපිට මේ දසුන් රූපගත වුනේ මැයි මස 17 වෙනිදා 




On May 19th

හැමදාම කැළණි ගඟ පසු කරමින් වැඩට යන ගෙදර එන නිසා.. මම නිතරම ගඟ අසබඩ ජීවිත් වෙන මිනිස්සු සහ ගෙවල් ගැන හිත හිතා එතැන් පසු කරන්නේ.. ගඟ උතුරා ගැලුවොත් මේ අය මොකද කරන්නේ ? හැම තිස්සෙම මම හිතපු කාරණයක්. අද ප්‍රායෝගිකව මේ දේවල් වලට විසඳුම් සොයන්න වෙලා වගේ... මට බොහොම තදින් මේ දේවල් දැනෙන්නේ..ඒ ලෑලි ගෙවල් වල ඉන්නා ජීවිත ගැන සිතන කොට.., ඒ අය කොහේ කොහොම ඉන්නවා ඇද්ද කියා සිතෙනවා. රස්සාවට යන්නත් දැන් වට වන්දනාවක යන්න වෙනවා... කොළඹටම ගිහින් විකල්ප මාර්ග භාවිතා කරන්න වෙලා ! Kelaniya residents warned of flash floods. The water levels of the Kelani River has risen once again. If it reaches 9 feet water could over flow the bunt which protects kelaniya and colombo...

එතකොට බොහෝ අය ( මා එම ප්‍රදේශයම මූලික රෝහලක වැඩ කරන නිසා) කීවේ අවුරුදු විසි ගාණකට කළින් ගංවතුර ආවා ඒ උනත් ආයේ ඒ තරම් වතුරක් එන්නෙ නෑ කියලයි...

කැළණි මුල්ල ප්‍රදේශයේ බොහෝ පැරණි ගෙවල් වල බිත්ති වල ටයිල් අල්ලා තියෙන බවක් දුටුවා. ඔවුන් කීවේ ගංවතුර ආවත් ඉක්මනින් බැස යන බවයි.
මේ අවුරුදු 3 ට වෙල් ගොඩ කරමින් නිවාස හැදෙන බව මා දුටුවා... (උදේ හවස යන එන පාර නිසා ) 
මේ සියල්ල ඔස්සේ පසු ගිය අවුරුදුවලත් වැස්සා... ගඟේ වතුර වැඩි උනා... අංගොඩ කැළණිමුල්ල හරහා කැළණි විහාරෙට යන්න තිබුනු පටු පාරේ.. ඉතා පටු යකඩ පාළම ඔස්සේ අපි ගියා ආවා.. කවදා අලුත් පාර/ පාළම හැදෙයිද සිතමින්.. වාහන තදබදයේ පැය ගණන් ගත කරමින් අපි ගඟ දිහා, ගඟට මායිම්ව, ගෙවල් හදන් කැඳ විකුණමින් පළතුරු විකුණමින් ඉන්නා පිරිස දිහා බලමින් එතනින් ගියා ආවා.

"ඔහොම ගෙවල් වල හරියට නින්ද යනවා ද? " විටෙක අපි කතා වුනා. කොයි මොහොතේ හෝ ගඟට බිලි විය හැකි ගෙවල් ජීවිත ගැන හූල්ලමින් අපි එතැනින් ගියා ආවා... අවුරුදු කීපයක්ම !

ගිය අවුරුද්දේ මේ අළුත් පාළම සාදා නිම කර තිබුනා. මේ අවූරුද්දේ ඇද වැටුණු මහ වැස්සෙන් අපිට කැළණි විහාරෙන් එහාට යන්න බැරි තරමට, ගඟ දෙගොඩ තලා ගලා ගියා. කැළණි මුල්ල අංගොඩ එතනින් එහාට, සේදවත්ත, කොටිකාවත්ත වගේම වැල්ලම්පිටියත් ... කඩුවෙල හංවැල්ල මල්වාන දක්වාත් කැළණි ගංවතුරෙන් යට වුනා...අපි රෝහල වෙත ළඟා වුනේ කොළඹට ඇවිත් ( පැය 3ක් පමණ ගියා) රාජගිරියේ බුත්ගමුව පාර ඔස්සේ වටයක් ගසමින්.


මේ අතර සැරින් සැරේ විවිධ පැති වල, වෛද්‍ය සායන පැවැත්වූ අතර... අප රෝහලෙන්ද වෛද්‍යවරු ඒවා සඳහා යොමු කළා. MOH හෙවත් කලාප බාර වෛද්‍ය කාර්‍යාලයෙන් අවශ්‍ය බෙහෙත් ඕනෑම වෛද්‍යවරයෙක්ට ලබා දෙන බවත් පැවසූවා. අපට ද ඒ සායන සඳහා සහභාගි වෙන්න පුළුවන් වුනා.
දණක් උස  වතුරේ බැස බෝට්ටු වල නගිමින් බසිමින්, පාරවල් වල මේස පුටු අටවා තිබූ වෛද්‍ය සායන වලදී ඔවුන් වෙනුවෙන් වෙහෙසුනේ... ජීවිත යුද්ධයක් අතරින්. 
මේ මා  දුටු දසුන්...බෝට්ටුවෙන් වෛද්‍ය සායනයක් කරා යන විට...වෛද්‍ය කඳවුරු සඳහා සංවිධාන ශක්තිය දුන්, ආධාර දුන් බොහෝ අය සිටිති. ඇතැමුන් පිට රටවල සිට මේවාට ආධාර උපකාර කළ අතර මේ බිමේ සිටි තරුණ පිරිසක් දිවා රෑ නොබලා උරෙනුර ගැටී වැඩ කළහ. ත්‍රිවිධ හමුදාවේ පිරිස කළ මෙහෙය අමතක නොවන්නේ ගංවතුරෙන් බැට කෑ පිරිසට ය. " අපිට උදව්වට හිටියේ නේවි එකේ අය, ආමි එකේ අය " කියමින් රෝහලේදී අප හා කතා බස් කරන අය පැවසුවා.

ගෙවල් වල ඇති බඩු මුට්ටු ප්‍රවේසම් කරන්න තමන්ගේ ජීවිතය පවා අවදානමේ දමා ගත්ත් අයත් අඩු නැතිව සිටියා. අප දන්නා හඳුනන එවැනි පවුලක පිරිසක් පළමු තට්ටුව යටවීමෙන් පසු දෙවෙනි තට්ට්ටුවට වී බඩු මුට්ටු ආරක්ෂා කරමින් සිටියේ අපගේ කන් කෙඳිරිගෑම් ද නොතකමිනි. රෝහල් සේවකයෙකුගෙන් ඇසූනේ... එහෙම ගෙදර රැකගෙන සිටි ගැබිනි මවක් වතුර මට්ටම ඉහළ යන විට වහලයට නැග්ග බවත් අන්තිමේ වහලය අසලට ආ බෝට්ටුවට ගොඩ වෙන්නට යද්දී පෙරළී වතුරට වැටුණු බවත් මිනිය ගොඩ ගන්නට පැය 2ක් ගතවූ බවත් ය. මාස 9 ක ළදරුවෙක් මිය ගොස් සිටියේ ඇඳෙන් වතුරට පෙරළීමෙනි.






දැන් ගංවතුර බැස ගිහින්... 

පාරවල් වල එද්දී පසු කරගෙන එන ගෙවල් වල බිත්ති වල හරස් ඉරි , මඩ පාට ඉරි පෙන්නුම් කරන්නේ වතුර තිබූ මට්ටම... දැන් හමුවෙනවා අඩු රුධිර පට්ටිකා සහිත උණ දවස් 3 කට වඩා තිබුනු දරුවන්... වෛරස් උණ ( ඩෙංගු විය හැකි) ලක්ෂණ සමග ... ඒ එක්කම කඳවුරු වල සිටි පිරිස නැවත තමන්ගේ ගෙවල් වලට යමින් සිටී.
අත දරුවන්ගේ සිට අවුරුදු 12 දක්වා දරුවන් ඇතුලත් වෙන අපේ වාට්ටුවේ බඩ එළියේ යෑම සහ වමනය සහිත දරුවන් ඇතුලත් වීම බොහෝ සෙයින් වැඩි වී තිබේ.

ඒ ප්‍රදේශයේම රෝහලක සේවය කරන නිසා නිතර හමුවෙන පිරිස හා ඒ ගැන විමසන්න මට හැකි වෙනවා. බහුතරය කියන්නේ හරි හැටි දෙයක් ලැබුනේ නැති බවයි. ඔක්කොම පාරවල් වල පොරකාලා කට්ටිය බෙදා ගත්තා... ඒ එකතු කරපු අය කිසි දෙයක් අනිත් අයට දුන්නේ නෑ.. එහෙම කතා එමටයි. 

ඒ හැම කතාවකම බර පැන තියෙන නිසා එකපාර විශ්වාස කරන්න හෝ නොකරන්න බෑ. සමහරු කියනවා... අපිට ලැබෙන්නේ නෑ... අපි කුලියට නේ ඉන්නේ... අපි රෙජිස්ටර් වෙලා නෑනේ කියලත්... බොහොම දුක්බර කතා. නමුත් කුලී නිවස අයිති අයට ඒ මුදල් ලැබෙනවාලු... එතකොට මේ අයගේ හානි වුණු භාණ්ඩ ? ඒ වගේම ඇහෙනවා ගංවතුර බැස ගිය පසු.. වැඩට බැහැලා ඉල්ලම් පාදාගෙන ඉන්නා අය ගැනත්...! 

අපි එක්ක මිනිස්සු බයක් නැතුව එයාලගේ අදහස් උදහස් කියනවා. අපෙන් රෝග වලට බෙහෙතක් මිසක් වෙනයම් දෙයක් බලාපොරොත්තු වුනේ නැතුවට අපි ඇස් කන් පියාගෙන ඉන්නේ කොහොමද ? අපි නිකම්ම..එයාලගේ දුක අහගෙන ඉන්න අය බවට පත් වෙලා..."මේ ටිකේම හිටියේ යහළුවෙක්ගේ ගෙදර මිස්.. අපි කඳවුරු වල හිටියේ නැති නිසා ආධාර ලැබුනේ නෑ.. ඊයේ ඔන්න ..... හමුවෙලා හාල් කිලෝ 5ක් පිටි පැකට් එකක් වගේ දේවල් ඉල්ලාගත්තා. කුලියට ඉන්න නිසා වන්දියක් නෑ " ඔන්න ඔය වගේ කතා එමටයි... මේ අය මේ කියන හැම කතාවකම තියෙන්නේ... ආධාර ගසා කෑ පිරිස ගැනයි.

ඒ අතර ඊයේ රෝහලේ සුළු සේවකයෙක් පැවසුවේ.. අහවල් කඩේ හාල් පරිප්පු වේලෙන්න දාලා යනුවෙනි... යම් දුරකථන අංකයකට කතා කර ඒ ගැන දැනුම් දෙන බවත් ඔවුන් පැවසුවා. ගංවතුරට හසු වූ හාල් ගෝනි පරිප්පු ගෝනි වැනි දේ වේලා විකුණන්න පවා මිනිස්සු පෙළඹිලා. අනෙකාට කුමක් සිදුවුනත් තමන්ගේ මඩිය තර කර ගන්න පෙලඹී ඇති මිනිස් හිත ගැන නම් පුදුමයි !

දැන් වතුර බැස යමින් තිබේ...
සෝදා පාළු වූ ජීවිතද වේලාගත යුතුය...
එහෙත් මේ තෙත බරිත වූ හිත් වේලෙන්නේ කවදා ද ?

මේ අතර , මේ වතුරට හසුවූ පොත පත බේරා ගත නොහැකි වූ දරුවන් තැන තැන හඬා වැටෙද්දී... "පහ වසර නෝට් ටික බේරා ගත්තා , හතර වසරෙ ඒවා වතුරේ ගියා" කියා ඊයේ සායනයට පැමිණි දරුවෙක් පැවසුවේ සිනහ මුහුණෙනි. 
මේ දරුවන් සඳහා හිත් හදන්නට උදව්වෙන්නට ඉදිරිපත් වුනු පෙරමුණ ගත් පිරිස අපමණය. ඒ ගැනත් විස්තර පසුව ලියන්නම්. 

Monday, May 23, 2016

කඳවුරු සටහන් - තෙතබරිත රෝග !

වෛද්‍ය කඳවුරු සටහන් අංක 1 - ගංවතුර ආශ්‍රිත රෝගාබාද ගැන සුළු කෙටි විග්‍රහයක් !‍‍

සහන සලසන්නෙත් ජීවිත යුද්ධයක් අතරින් නිසයි මේ දේ ලියන්න පමා වුනේ... අප රෝහල වෙත එන පිරිස සහ අපි ඒ පෙදෙස්වලටම ගොස් ක්‍රියාත්මක කළ සේවා වලදී අපට වැටහුන කරුණු කිහිපයක් මේ... ඔවුන්ට අවශ්‍ය ආහාර ලැබෙන බව තේරෙනවා. නමුත් සනීපාරක්ෂාව ගැන වඩාත් සිතිය යුතුයැයි සිතෙනවා.

- මා පරීක්ෂා කළ ළදරු ළමා සියල්ලන්ගේම තිබුනේ ශ්වසන ආබාධ උගුර ආශ්‍රිත සෙම් ගෙඩි තත්ව සහ හෙම්බිරිස්සාව නිසා නාසය අවහිර වීම වැනි බැරෑරුම් නොවූ තත්වයන්. පෙනහළු ආශ්‍රිත ඇදුම තත්වයන් තිබූ දරුවන් සිටියේ සුළුවෙන්.

- ඩොක්සිසයික්ලින් ම ඉල්ලන පිරිසක් හිටියා- අවුරුදු 8ට අඩු දරුවන්ට දෙන්න එපා කියලා බොහොම තදින් කීවා. ඇත්තටම එහෙම තමා CDC එකෙන් කියන්නේ.. ඉතින් පොදුවේ දරුවන්ට දෙන්න එපා කියලත් , කිරිදෙන අම්මලාට මේවා බොන්න එපා කියලත් අර ෂෙයා වන පෝස්ට් වල දැම්මනම් හොඳයි නේද කියා සිතුනා

- උණ තිබුන දරුවන්ගේ මව්වරුන් කීවේ අතට රස්නෙ දැනෙන්නේ කියලයි... ඔවුන්ට උණ මැනීමට උණ කට්ටක් තිබුනේ නෑ. ඉන්පසු අපි කළේ එක් එක් කඳවුරට උණ කටුව බැගින් ලබා දීම ය. උණ බලා එය 98.4 F- වැඩි අගයක්නම් පැරසිටමෝල් දෙන ලෙස ය. එනිසා උණ කටු ඔවුන්ට ලබා දීම අත්‍යාවශ්‍ය යැයි සිතේ.. වැහි බීරම සීතල පරිසරයකදී කොහොමත් ඔතා ඇති ළදරුවන්ගේ ශරීර උෂ්ණත්වය අත තියා බැලුවොතින් වැඩි නිසා ය. පැරසිටමෝල් නිරපරාධේ දරුවන්ට දෙන එක සුභදායක නොවන නිසා ය.

- තුවාල ඇති අය බොහෝය. දෙමාපියන් කියන්නේ වතුරේ නටනවා එහෙ මෙහෙ යනවා, තුවාල කරගන්නවා කියාය. තුවාල හොඳවීමටනම් මුළින් දරුවන් වතුරෙන් මුදවා ගත යුතුයි. ඒක අමාරු බව දන්නවා නමුත් වැසිකිළි වලවල් පවා උතුරා ඒවායේ අපද්‍රව්‍යද මිශ්‍රවී ඇති නිසා මේ වතුරේ දියබුං ගසමින් නෑම නම් යෝග්‍ය නොවේ. පෙවෙන එකත් හොඳ නැත.

-වමනය යෑම බොහෝ දරුවන්ට තිබුනි. ඒ කෑම බීම නිසා හෝ පෙර කියූ පරිදි වතුර පෙවීම නිසා විය හැකිය. ජීවනී වැනි දේවල් වලින් ලේසියෙන්ම විජලනය තත්වය පාලනය කරන්නට පුළුවනි. වමනයට විරුද්ධව දිය හැකි ඖෂධ තිබුනි.

දරුවන්ට පොදුවේ තිබුනු skin rashes දද කුෂ්ඨ , දාඩිය බිබිලි සහ වතුරේ බැස සිටි නිසා කැසීම් තිබුනු අයට aqueous cream ලබා දුන්නා... කොන්ඩිස් දමා සෝදන්න කියා කීවා...පුස් සහ බැක්ටීරියා වලට විරුද්ධව ක්‍රියාකරන ක්‍රීම් වර්ග තිබුනේ සුළුවෙන් නිසා එක ටියුබය බෙදා දෙන සිදුවුනා...

- ඩයරියා හෙවත් බඩ එළියේ යෑම වැනි තත්ව ද තිබුනි...probiotics.. පාවිච්චි කිරීමට අපහසු,  ඒවා නැති තැන් වලදී යෝගට් එකක් කන්න දෙන්න යැයි කීවෙමු.

මේ සැකවින් හඳුනාගත් ආබාධයන් ය. නාසය ට දමන normal saline nasal drops...steroidal/ anti bacterial local applications සහ nasal decongestant වැනි නහයට ඉසින්න පුළුවන් බිංදු / ස්ප්‍රේ තිබුනානම් හොඳයි සිතුනා.


කඳවුරු සටහන් අංක 2


පාචනය , වමනය, බඩ එළියේ යෑම හිස ඔසවමින් සිටී... දරුවන් ඉක්මනින් විජලනය විය හැකි බැවින් අනාථ කඳවුරු වල සිටින මව්වරුන් දැනුවත් කිරීම වටී. බොහෝ දරුවන් රෝහල් ගත කරන විට අධික ලෙස විජලනය වී තිබුනි.

වමනය කී වරක් ද? බඩ එළියේ යෑම කී වරක් ද ? සංයුතිය කුමක් ද ? ලේ හෝ රතු පැහැයට යමක් පිටවී ද? මෙවැනි ප්‍රශ්න වලට ටිකක් ලොකු දරුවන්ගෙන් නම් ඔවුන්ගෙන්ම සහ කුඩා දරුවන්ගේ නම් අම්මලාගෙන් උත්තර ලබා ගත හැකියි. බොහෝ දරුවන් සිටින්නේ ආච්චී හෝ පුංචිලා සමග ය. මව බොහෝ විට අප වෙත නො එන්නේ තව දරු පිරිසක් කෑම්ප් එකේ සිටින නිසා ය. ඉතින් මේ ආච්චිලා පුංචිලා දරුවන්ගේ සායන ඉතිහාසය නොදනී. අසාත්මිකතා allergies තියෙන්නේ මොනවාට දැයි නොදනී.

ප්‍රෝ බයොටික් පරිහරණය අපේ රටට අළුත් නොවුනත් එතරම් ප්‍රසිද්ධ නොවේ.... එයින් සිදුවෙන්නේ අපේ බඩවැල් තුල ඉන්නා හිතකර බැක්ටීරියා ( ආහාර ජීර්ණයට උදව් වන) අප ශරීරය තුලට දැමීමය. එයට හේතුව නම් බඩ එළියේ යෑමකදී බොහෝ විට සිදුවෙන්නේ අපට හිතකර අපේ බඩවැල් වල අභ්‍යන්තර ස්ථර ආරක්ශා කරන බැක්ටීරියා වර්ග අඩු වීමය. ඉතින් ඕනෑම වර්ගයක ප්‍රෝබයෝටික් නාමය යටතේ ඇති කැප්ෂුල් හෝ දිය කර සාදාගත හැකි සැෂේ පැකට් උදේ හවස පානය කිරීමෙන් ඇත්තටම වීශේෂ ඖෂධ නොමැතිව බඩ එළියේ යෑම නවතාගත හැකිය. යෝගට් වලද මේවා තිබේ.. ඇතැම් යෝගට් වර්ග වල ඒ ගැන සඳහන් වේ. බඩ එළියේ යන අයට, බැක්ටීරියා නාශක ඖෂධ ඉක්මනින් ලබා නොදෙන්නේ එහෙයිනි.

ජීවනී වැනි පානයක් විශේෂයෙන් සාදා දිය යුත්තේ විජලනයෙන් සහ ලවණ ඇඟෙන් පිටවීම වැලැක්වීමටය...පිරිසිඳු නටවා පෙරා නිවාගත් ජලය පානය කළ යුතුය.

වතුරේ වැඩි කාලයක් සිටීම නිසා වැඩිහිටි තරුණ මහළු දුවා දරුවන් සැමගේම ඇඟිලි කරු වණවී කසන්නට පටන් ගෙන ඇත. එම වතුරේ දණක් උසට ගමන් කළ අපගේද කකුල් කසන්නට පටන්ගත්තේ ඒ ආවේ ගඟේ වතුර පමණක්ම නොවන නිසා ය.

එයට විවිධ අපද්‍රව්‍ය කුණු එක් රැස් කරන කුණු කඳු සහිත පෙදෙස් වලින්, අසූචි මුත්‍රා ඉවත් කරන වලවල් වලින් ආදි බොහෝ අපද්‍රව්‍ය එකතු වී තිබේ... එනිසා දරුවන්ට අපි යන වෛද්‍ය කඳවුරු සියල්ලකදීම වතුරේ නැටුවොත් මේ දේවල් වේ යැයි බිය වැද්දීමක් කරන්න යැයි මව් පියන් ඉල්ලති.... අපි හැකි පමණ උපදෙස් දෙන්නෙමු.

දැන් වඩා අවශ්‍ය වෙන්නේ.. තුවාල සඳහා බෙහෙත් වර්ගත්... පාදවල ඇඟිලි කරු කැසීම් දද කුෂ්ඨ යනාදියට අවශ්‍ය බෙහෙත් වර්ගත්... පාචනය වමනය.. සහ බඩ එළියේ යෑමට අවශ්‍ය ප්‍රෝබයිටික් වැනි දෑ.. ය.

---------------------------------------------
doxycyclin ගැන මී උණ ගැන අපේ විශේෂඥ වෛද්‍යවරිය විසින් ක්ෂුද්‍ර ජිවී විශේෂඥ වෛද්‍යතුමිය හා සාකච්ජා කොට ලබාගත් තොරතුරු - වැරදි තොරතුරු ගොඩක් සංක්‍රමණය වෙන නිසා මුහුණු පොතේ මේ ටික ඉක්මනින් ඇඩ් කරන්න හිතුවා... මම කීප සැරයක් ඒ පෝස්ට් වලටත් පිළිතුරු ලීවා...

ඩොක්සිසයික්ලින් 200 mg බොන්න ඕනේ...සතියකට එක වරක් ! වතුරට බහින්න දවස් 3 කට කලින් හෝ වතුරට බැහැලා දවස් 3ක් ඇතුලත මේක බොන්න ඕන.
ඒ ඩෝස් එක සතියකට එක වරක් පමණයි ඒකත් වතුරෙන් මිදුනම නම් දිගටම බොන්න ඕනෙ වෙන්නෙ නෑ.
දවස් 3 කට වඩා වතුරේ බැහැලා උන්නා නම් දැන් ඉතින් වැඩක් නෑ බීවට කියලා තමා කීවේ....

ප්‍රෙග්නන්ට්/ගර්භනී අය, අවුරුදු 12 ට අඩු ළමයි සහ කිරිදෙන අම්මලා... කලින් අසාත්මික තා තිබුන අය ... ටෙට්‍රාසයික්ලින් කියන බෙහෙත් කාණ්ඩයට අසාත්මිකතා තිබුනු අය ඩොක්සි බොන්න එපා


ඩොක්සි ගන්න බැරි අය මොකද කරන්නේ ? එයාලට නිර්දේශ කරන්නේ ඇසිත්‍රොමයිසින්... azithromycin ඒක 500mg මිලිග්‍රෑම් දවසට එක වරක් දවස් 3ක් සතියට සැරයක් තමයි නිර්දේශය . හැබැයි මේකත් ගර්භනී මව්වරුන්ට හොඳ නෑ.... පොඩි දරුවන්ට ඔය 500mg දෙන්න යන්න එපා.. අවුරුදු 12 අඩු දරුවන්ට ඕනෑම බෙහෙතක් දෙන්නේ බර අනුව.. ඒ නිසා වෛද්‍යවරයෙක් හමුවෙලා දරුවාගේ බරට නියමිත මාත්‍රාව ඉල්ලා ගන්න.
හිතුමතේ බෙහෙත් ගන්න එපා... ඩොක්සි සයික්ලින් උනත් ! මේවාට කොහොමත් වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යයි. එනිසා ඕනෑම බෙහෙතක් ගන්න කලින් සෑම විටම වෛද්‍ය උපදෙස් ගන්න.


මෙසේ දැනුවත් කිරීමෙන් ඔබට මේ ගංවතුර තත්වය සමග වැඩියෙන් හිස ඔසවන රෝගාබාද ගැන වැටහීමක් ලැබෙනු ඇතැයි සිතේ...

Saturday, May 14, 2016

මිහිමඬලේ දරුවෝ - why plant ?


මේ ලෝකේ පවතින්නේ සොබාදහම නිසා. පොඩ්ඩක් හිතන්න අපි හුස්ම ගන්න ඔක්සිජන් ටික අපිට නැති උනොතින් මොකද වෙන්නේ කියලා ?මේ කියවන ඔබම හිතලා බලන්න !
පෙනහළු අකර්මණ්‍ය වුනු හුස්ම ගන්න අපහසු රෝගීන්ට ඔක්සිජන් සැපයූ විට ඔවුන් බොහොම පහසුවෙන් හුස්ම අරගෙන යථා තත්වයට පත් වෙනවා. ඔවුන්ගේ නම් පෙනහළු දුර්වල වීම නිසයි එහෙම වෙන්නේ... නමුත් මහ පොළොව ? මහ පොළොවේ පෙනහළු වෙන්නේ මේ ගහ කොළ .

හැකි තරම් වනාන්තර කපා කොටා ගෙවල් දොරවල් හදා ගන්න නමුත් ජීවත් වෙන්න අපිට අත්‍යාවශ්‍යම ඔක්සිජන් ටික, පිරිසිඳු වාතය ටික ලබාදෙන ගස් වැල් කපා විනාශ කරමින් මිනිසා අද ඔහුගේම විනාශය ළඟා කරගෙන අවසානයි. අකලට වැසි, මහා නියං කාල, නාය යෑම් ස්භාවික විපත් කරදර , මේ දේවල් වලට හොඳින් මුහුණ දෙන්න ක්‍රමයක් නැත්තේ අපේ ඒ ජීවිතාරක්ෂක පද්ධතිය හෙවත් life guard සිස්ටම් එක වන ස්වභාවික පරිසරයම අපිම විනාශ කර ඇති නිසා. 



ඉන්පසු බලන්න ඔබෙන් මේ ලෝකෙට වෙන්න ඕනෑ යුතුකම කවරාකාරද කියලා. වත්තේ පිටියේ තියෙන ගස් කොළන් කප කපා කොන්ක්‍රීට් පුරවන නාගරික ගෙවල් දොරවල් මා අනන්තවත් දැක ඇත. මේ ගිනි කාෂ්ඨක අව්වෙන් මද සිහිලසක් ලැබෙන්නේ අපට ගස් කොළන් නිසා බව මම, ඔබ අත් දැකීමෙන් දන්නෙමු. 

කිසිවක් බලාපොරොත්තු නොවී ඔවුන් මේ කරනා සේවය මහෝඝයකි. හරියට අම්මා කෙනෙක් වගේ මහ පොළොව අපට ලබා දුන් හුස්ම ටික, හද ගැස්ම දැන් .. මිය යමින් සිටිය ඇය ජීවත් කරවන්නට මේ දරුවන් ලබා දෙන්නේ අපි සියල්ලන්ටම මහත් වූ ආදර්ශයක් සපයමිනි. 

වැසි වනාන්තර විකිණීම, කැලෑ හෙළි කිරීම,  පරිසර පද්ධති විනාශ කිරීම ගැන අපි තරුණ කාලේ ඒ තරම්ම කතා බස් ඇති වුනා සමහරු වැඩ කලා. නමුත් මේ බැක් ටු ග්‍රීන් දරුවන් කරන කාර්යය තරම් ඒ ගැන උනන්දු වුන සමාජ සත්කාරයක් සිදු වුනේම නැති තරම්.

…මහ පොළව කියන්නේ අම්මා කෙනෙක්. එයාට දඩබ්බර නොසන්ඩාල දරුවෝ වගේම බොහොම ආදරණීය දරුවොත් ඉන්නවා.... ඒ ආදරණීය දරුවෝ හෙවත් මිහි මඬලේ දරුවෝ ඉන්නේ සුළු ප්‍රමාණයක් !
සැරින් සැරේට මිහි මඬලේ දරුවෝ එළි බහිනවා. ඒ අය මේ හැම දෙයක්ම පුළුවන් විදියකට රැක ගන්න බලනවා… මා මේ හරිත ලොවක් තනන්න වෙර දරණ මේ දරුවන් දකින්නේත් ඒ විදිහට. මේ තරම් ගස් වැල් සිටවනවා පමණක් නොවේ. ඒවා රැක බලා ගන්න විදිවිධාන ක්‍රමෝපායන් සකස් කරනවාත් ඇති.


“How can you buy or sell the sky, the warmth of the land? The idea is strange to us.If we do not own the freshness of the air and the sparkle of the water, how can you buy them? ” Chief Seattle, 1854
මහ අහසත්, මහ පොළොවේ උණුසුමත් මිලදී ගන්නේ කොහොම දැයි රතු ඉන්දියානු නායක සියැටල් ඉංග්‍රීසි ආණ්ඩුවට ලියූ ලියුමක සඳහන් වෙනවා. වාතයේ පිරිපුන් නැවුම් බවත් ජලයේ පිරිපහදු දිස්නයත් අප මිලදී ගන්නේ කොහොමද ? ඔහු විමසනවා…

"හුස්මක වැදගත් කම ඔක්සිජන් වල වැදගත්කම රෝහලකට ඇවිත් පෙනහළු අකර්මණ්‍යව පණ අදින ලෙඩෙක් ගෙන් බලා ගත්තොත් .. එදාට ඔබත් පැලයක් හිටවයි අනිවාර් යයෙන් "

පරිසරයට බද්ධ වෙච්ච අයට ගහකින් කොළයක්වත් මලක්වත් කඩන්න හිත් දෙන්නේ නෑ. ඒක ඒ අයට තමන්ගේම අත පය කපාගන්නවා වගේ දැනෙන්නේ…
මේ ගහකොළ ඇල දොල නැති වෙච්චි දවසට අපිත් මෙහි සිටින එකක් නම් නැති වෙයි. මේ ලෝකය කොයිතරම් මුඩු හිස් තැනක් වේවිද.

පරිසරය සුරකින්නන් වෙනුවෙන් මෙසේද ලියා තබමි.

We love you all and owe you a lot for doing this for our children ! You will be remembered through heart beats and breaths of the future generations ! Thank you !

ඔබ සැමට අපි ආදරෙයි. ඒ ඔබ අපි හැමෝම වෙනුවෙන් මේ දේවල් කරන එකට. අපේ දරුවන් වෙනුවෙන් මේ දේවල් කරන එකට.
ඔබ සැම මිලියන බිලියන ගණනාවකගේ හුස්ම තුල , ජීවිත තුල, හර්ද ස්පන්දන තුල රැඳේවි.
ඔබ මේ කරන හරිත විප්ලවය මතු දිනක ලොවක් ජීවත් කරවාවි.
ඔබට බොහොම ස්තූතියි !

“Man did not weave the web of life – he is merely a strand in it.
Whatever he does to the web, he does to himself.”
Chief Seattle, 1854.

Friday, May 13, 2016

ඔහුට පාසැලක් !


මේ දිනවල චුරු චුරු වැස්ස ඉවරයක් නෑ.... ඒ එක්කම පහුගිය ටිකේ නිහඬව සිටි මදුරු රෑන් වලටත් ආයේ පණ ඇවිත්... සතියකට දෙතුන් දෙනෙක් බැගින් ඩෙංගු වැළඳුනු පොඩිත්තනුත් රෝහල් ගත වෙනවා.... දස වියැති පැංචෙක් අප වෙත එවා තිබුනේ මගේ ඩියුටි වෙලාවක ය. ඉතින් ඔහු මුලින්ම බැලූ වෛද්‍යවරයා වුනෙත් මම ය. බුද්ධි හීන තාවය ඇති කරවන සින්ඩ්‍රෝමයක ලක්ෂන ඔහු වෙතින් පෙන්නුම් කරන බව දුටු විටම මට වැටහුනි.

"පරණ පොත්, ක්ලිනික් කාඩ් මොකුත් හදිසියට ගෙනාවේ නෑ" මවගෙන් සුපුරුදු වදන් පෙළක් ඇසුනි.
තමන්ගේ දරුවාගේ රෝග නිධාන සහිත කාඩ් තූන්ඩු පරිස්සම් කරගෙන ඉන්නේ එහෙමත් කෙනෙක්. බොහෝ අයට ඒ සඳහා නිදහසට කාරණා බොහෝමයි. ඉතින් මේ කියන පුතාත් මවත් මා අසල පුටුවල හිඳුවා ගෙන රෝග ඉතිහාසය ලියාගන්නට වෙර දරන අතරේ මම දුටුවේ ඔහු බොහොම කලබලයෙන් සිටි බවයි. උණ බලන්න කිහිල්ලේ තියා තිබුනු උණ කටුව රඳවාගෙන ඉන්න අම්මා සෑහෙන උත්සහයක නිරත වුනා.

"දවස් පහක් විතර උණ... " ඒ මව පැවසූවා ය. 

"දැනුත් 103 ' C ට උණ ඩොක්ටර්" ඩිජිටල් උණ කටුවේ නාදය එක්ක හෙදිය පරීක්ෂා කර බලා මට පැවසූවාය.

"හුස්ම ගන්න පුතේ... පහළ හෙලන්න " ඔහුට නොවැටහේ යැයි සිතුනු නමුත් මා එසේ කියද්දී ඔහු හුස්ම ඉහළ පහළ හෙළුවේය. 
ඒ කියන්නේ තේරුම් කරන්න අපහසු තරමට ඔහුගේ තත්වය දුබල නොවන බවයි.

"දරුවා ඉපදුනේ අහවල් දිහා... එහෙදී තමා හඳුනගත්තේ පුතාගේ වෙනස් කම්... දැන් අපි ඉන්නේ මේ රෝහලට කිට්ටු මේ නගරයේ... මේ මගේ ගම. මහත්තයා ඇක්සිඩන්ට් එකක් වෙලා ඔළුව ඔපරේෂන් කරලා සිහියක් නෑ... එයා ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. මෙයාට වැඩිමල් දුව ඕ ලෙවල් වලින් පස්සේ ඉස්කෝලෙ ගියේ නෑ ගාමන්ට් එකකට යනවා.. මමත් ගාමන්ට් එකක වැඩ කරන්නේ.. දරුවා බලන් ඉන්නේ මගේ අම්මා, දරුවා ඉස්කෝලෙකට යැව්වා අවුරුදු දෙකක් අරහේ ඉන්නකොට නමුත් අපට ඇතිවුනු ප්‍රශ්න නිසා මෙහෙ ආවට පස්සේ යවාගන්න බැරි උනා. දැනටත් මහත්තයා රස්සාවක් කරන්නේ නෑ... එයා උන්නු ගමන් අත්වැඩ කුලීවැඩ කරලා කීයක් හරි හොයාගෙන දිනපතා බොනවා... සැරපරුෂයි ගහනවා බනිනව..."
මේ ඇගේ කතාවේ සංෂිප්තයක්...මම මෙහෙම ලියන්නේ ඇයි කියා ඔබ හිතාවි... ඒ හේතුව පසුව ලියන්නම්.උණ සඳහා ප්‍රතිකාර කරමින් ඒ සමගම, රුධිර පරීක්ෂණ වාර්ථා හදිසි ලේබලය යටතේ යැවුයේ.. දරුවාගේ පෙනහළු වලින් සෙම් රෝග ලක්ෂන ඇසුනු නිසා ය. හිතුවා වගේම... රුධිර පට්ටිකා තිබුනේ ඉතා පහළ අගයක... 80 000ට අඩුවෙන්... ඒ කියන්නේ ඩෙංගු උණ රෝගයේ අවධානම් අවධිය එළඹ ඇති බව අපට වැටහුනි.... ඉන්පසු ගතවන පැය හතලිස් අට තුල රුධිර පට්ටිකා වල අගය පහල බැස්සේ 20 000 ටත් අඩුවෙන් ... ඒ එක්කම ඔහුගේ පෙනහළු වලින් එපිට ප්ළූරා පටල අතර අවකාශයේ පවා තරල පිරී තිබුනු බව අප පරීක්ෂාවන් වලදී දැනුන නිසා ස්කෑන් පරීක්ෂන එක්ස් කිරණ පරීක්ෂන මගින් සනාථ විනි.

මා රාත්‍රී සේවය කළ ඒ දිනයේදී... දැඩි සත්කාර ඒකකයක ට ඇතුල් කරන්නට පවා අවධානම බොහෝ සෙයින් තිබුනු හෙයින් ළමා රෝහල ඇතුලු අගනුවර බොහෝ රෝහල් වලට කතා කොට දැඩි සත්කාර ඒකක ඇඳන් නොමැති බව දැනගත්තා. ( දැඩි සත්කාර ඒකකයක් හෝ නොමේරූ ළදරු ඒකකයක් නොමැති අප රෝහල වැනි මූලික රෝහල් වලින් අසාධ්‍ය රෝගීන් මහ රෝහල් වලට ඇතුල් කරන්නට යාමේදී මෙවැනි ඇඳන් නොමැති තත්වයන් කොතෙකුත් ඇතිවේ.) මීට කලින් වතාවක මෙකෝනියම් තරලය පෙනහළු වලට ඇතුල් වී තිබුනු ඉපදුනු විට හුස්ම නොගත් පැංචෙක් ගේ දිවි බේරාගෙන, නොමේරූ ළදරු ඒකකයක හෝ ළදරු දැඩි සත්කාර ඒකකයක ඇඳක් ලැබෙන තුරු... පැය තුනක් ඇම්බෝ කරමින් ( කෘතිම ශ්වසනය) දෙමින් අප වින්දේ දැඩි අපහසු තාවයකි. වාසනාවට පැය තුනකින් පමණ පසු ඇඳක් ලැබුනු නිසා ඔහුව අගනුවරින් පිට රෝහලකට මාරු කර යැවිනි.

 ඉතින් දින දෙකක් පුරා රුධිර පාරවිලයනය කරමින්... ශරීරයෙන් පිටවන සහ ඇතුල් කරන තරල සහ ද්‍රාවණ මට්ටම් ගණනය කරමින් ( input out put chart / fluid quota) රුධිර පරීක්ෂා කරමින් දැඩි අවධානම් තත්වයෙන් ඔහු මුදවා ගත්තෝය.

ඉන්පසු එළඹියේ තවත් ප්‍රශ්නයකි. මේ දරුවා තනිව ඇඳුම් හැඳ පැළඳ ගන්නා බවත්, අපි කතා කරද්දී තේරෙන බවත් විධාන නියම කරන දෑ වලට ප්‍රතිචාර දක්වන බවත් අපට දැනුනි.

"අම්මේ , මේ බබාට හරියට අධ්‍යාපනයක් පුනුරුත්තාපනයක් ලැබුනානම් මෙයා හොඳ මට්ටමකට ඒවි තනියම වැඩකරගෙන තේරුම් කරගන්න තරම්.... " අපි ඇයට කීවෙමු.

"මට උදේ ඇරලලා මම වැඩ ඉවර වෙන වෙලාවට පහට පමණ අරගන්න පුළුවන්. මේ අවට පාසැලක් තියේනම් හොඳයි ඩොක්ටර්.. මම දන්නෙ නෑ එහෙම හොයාගන්නෙ කොහොමද කියලත්. මේ පවුලම බලා ගන්න වැඩ කරන්නේ මම නේ" 

නිසි දැනුම් තේරුම් කමක් නොතිබුනත්... දරුවා සමග ඒ දින පහ හයේ ඇය විශාල දුකක් වින්දා. දරුවා ඔහුගේ අමාරුකම් විඳදරා ගන්නට බැරි වෙනකොට මේ අම්මට තමයි කරදර කරමින් ඇඳේ දඟලමින් සිටියේ.. මුත්‍රා පිට නොවුනු තරම් වුනු දිනයේ මුත්‍රා බටයක් ඇතුල් කළ විට එය ගලවා ගන්නටම උත්සහ කළ දරුවාගේ අත් දෙකත් අල්ලාගෙන දරුවා මේච්චල් කරගත් ඇය ගේ මුවින් කෝපසහගත වදනක් හෝ හැඟුමක් වත් පිට වුනේ නෑ. එය අපට බොහෝ පුදුමයක් ගෙන දුන්නා...

මේ තරම් ඉවසීමක් සහ උපේක්ෂාවක් ඇති අම්මෙක් මා දුටුවාමයි... තමන්ට ඉන්න අමාරු වෙන විට අවධානම් තත්වයේ සිටින අත දරුවන්ගේ පවා බලෙන් ටිකට් කපන් යන මව්වරුන් දැක ඇති මට, දරුවා කරදර කරනවා කියමින් අපට කරදර කරන , නින්ද යන්න මොකුත් දෙන්න යැයි නොකියා කියන මව්වරුන් සිටින කලෙක මේ මවගේ ඉවසීම සහ දරාගැනීම මට පුදුමයක් ගෙන ආවා. 

දැන් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මහත් වූ උපකාරයක්. මේ දරුවාට ආබාධ සහිත දරුවන් ඉගෙනුම ලබන පාසැලක දරුවා නවත්වා උගන්වන්න උනත් මව සූදානම් හැබැයි ඇයට පුද්ගලික මුදල් වියදමට හැකියාවක් නෑ.. මා ඒ සඳහා පත් කර ඇතැයි සිතෙන නිලධාරීන් සිටින ප්‍රාදේශීය කාර්යාලයට කතා කලත් එහි ටෙලිෆෝන් ඔපරේටර් වරයා එවැනි නිලධාරීන් සිටින බව පැවසුවත් ඒ යොමු කළ අංකයෙන් නම් දුරකථන අංකයට පිළිතුරු ලැබුනේ නැත. එනිසා රජයේ හෝ සංවිධානයක් මගින් කරගෙන යන හෝ එවන් තැනක් ගැන හොයා බලා දන්වන්නේ නම් එය අගනේය. 
එහි දරුවා දිනය පුරාම හෝ මවට පැමිණ රැගෙන යන තෙක් රැඳවිය හැකි තැනක් වීම අවශ්‍ය ය. ළමා නිවාසයකට හෝ අනාථ නිවාසයක දරුවා රැඳවීම ඇයට අවශ්‍ය නොවේ.. දැනටත් ඇගේ මව දරුවා සමග නිවසේ රැඳේ. ඒ තරම් දුක් කන්දක් උහුලගෙන මනස විකල් සැමියාගෙන් උපකාරයක් නොමැතිව දරු පවුල ගොඩගන්න වෙර දරන ඇයට ඇගේ දරුවා යම් මට්ටමකට හසුරුවාගන්න හැකි අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ හැකිනම් එය අපට කළ හැකි උපකාරයක් බව අපට වැටහුනි.

මට අමතක වුනා ප්‍රදේශය සඳහන් කරන්න - කඩුවෙල සිට අංගොඩ දක්වා පෙදෙස.. තලාහේන බත්තරමුල්ල උනත් කමක් නෑ.. ලෝ ලෙවල් එක ආශ්‍රිතව උනත් කමක් නෑ...

උපකාරයක් කරන්න කාත් කවුරුත්ම නොමැති කළ මිනිසුන් අසරණ වෙන්නේ කෙසේදැයි මා සේවය පටන් ගත් දා සිටම අත් දකිමි. ඔවුන්ගේ දුකට පිහිටක් වෙන්නට යමක් කළ යුතු යැයි සිතෙන්නේ එහෙයිනි.

Monday, May 2, 2016

පොටෑසියම් නැති වුනත් කමක් නෑ !

මා කලින් ලියා තිබුනාක් මෙන් වකුගඩු රෝගයද මේ පෙදෙස් වල බහුලය. එකල ලිපි කිහිපයක් ලියූ හෙයින් ඒ ගැන යලිත් ලියන්නට නොසිතේ. අපි ඔහුට ජයසීලන් කියමු. ජයසීලන් වාට්ටුවට ඇතුල් කරන්නේ පපුවේ මහන්සිය යැයි කියමිනි.

බොහෝ කෘෂ කේඩෑරී ශරීරයක් ඇති ඔහු ගේ පපුවේ මහන්සිය පපුව ගැහෙනවා හයියෙන් හයියෙන්.. ඇඟට පණ නැහැ වැනි ප්‍රශ්න ගණනාවක් සමගම කරන ලද පරීක්ෂා සහ රසායනාගාර වාර්ථා ඊසීජී එක්ස් රේ.. මේ සියල්ල අවසානයේ... ඔහුගේ රුධිරගත පොටෑසියම් අගය බොහෝම පහළ අගයක තිබෙන බව සොයාගන්නා ලදී.
"ඉක්මනින් මට මොනවා හරි දෙන්න ගෙදර යන්න" ඔය වගේ ඉල්ලීම් එක්ක
"තව මොනවද මේ ලේ ගන්නවා ගන්නවා , කූඩැල්ලෝ වගේ " ටිකක් සැර නොරුස්සනා කියුම් එක්ක.‍

"ඔබේ ශරීරගත පොටෑසියම් අගය අඩු නිසා ඒක වැඩි කරන්න මෙන්න මෙහෙම කරන්න ඕනේ " කියා විස්තර කිරීම අසන්නටවත් ඔහුට උවමනාවක් උනේ නෑ.

"මොනවා හරි දීලා ඉක්මනින් මාව ගෙදර යවන්න " ඔන්න ඔහොම කියන්න විතරයි ඔහුට පුළුවන් වුනේ.

රුධිරගත පොටෑසියම් කීවම ඔබ අපි අහලා දන්නා පොටෑසියම් ගැනම තමා මේ කියන්නේ K + , ශරීරයේ වැදගත් සංඝටකයක් !  ඉතින් පොටෑසියම් අඩු වෙද්දී අපට දැනෙන අමාරුකම් අතරේ මම ඉහත කියූ දේ ත් තිබෙනවා. මේකට හේතු ලෙස, ඇල්ඩොස්ටෙරෝන් නම් හෝමෝනයක වැඩි වීම. (ඇඩ්‍රිනල් ග්‍රන්ථියෙන්)  වගේම පිච්චිම්, පෝෂන ඌනතා , ශරීරයෙන් තරල ඉවත් වීම් , පාචනය , බඩ යෑම වමනය, දියවැඩියා රෝගය ආශ්‍රිත කීටෝඇසිඩෝසිස් තත්වය ආදිය මෙන්ම  දිගු කාලීනව පවතින වකුගඩු රෝගය ද හේතු වෙනවා. පොටෑසියම් වැඩි වෙන්නත් පුළුවන් ! එහෙම වෙන්නත් වෙනම හේතු ටිකක් තියෙනවා.

ඔහුගේ මේ රෝගී තත්වයට හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයේ මුල් අවදිය සහ පෝෂනයේ දුර්වලතා කියලයි අවසානේ තීන්දු වුනේ. ඒවෙනකොට ECG පටියේද පොටෑසියම් අඩු වූ විට පෙන්වන්නාවූ  වෙනස් කම් දකින්න ලැබුනි.

පොටෑසියම් ද්‍රාවන ලෙස ශරීරයට ඇතුල් කළ යුතුය. එක් දිනක් තුල ඔහුගේ අඩුව පුරවන්නටද නොහැකි ය. එය ක්‍රමාණුකූලව දිනකට නියමිත ගණන හදා ඇතුල් කළ යුතුය. ඉතින් පළමු දවසේ සහ දෙවෙනි දවසේ යන්තම් ඔහුගේ ඇනුම් බැනුම් චෝදනා එක්ක හරියට අපිට හොඳක් කරගන්නවා වගේ අවශ්‍ය ප්‍රතිකර්ම කරා. තුන්වෙනි දවසේ නම් ඔහු හොඳටම නොසන්සුන්... දහවල් දෙක පසුවෙද්දී පුරුදු නෝක්කාඩු සේරම එකපිට එක අප වෙත දමා ගහන්න සැරසුනා.

"මට දුවලාම තුන්දෙනෙක් ! එයාලට කන්න අඳින්න දෙන්නේ ඔයාල ද? " ඔහු දැඩි හඬින් කියවන්නට විය.

"හැමදේම කරන්න ජීවත් වෙලා ඉන්න එපැයි " විශේෂඥ වෛද්‍යවරිය පවා ඔහුට බොහෝ අවවාද කරන බව අපි දුටිමු.

"පොටෑසියම් අඩු නෙමෙයි නැති වුනත් කමක් නෑ. " ඔහුගේ කන්දොස්කිරියාවත් නුරුස්සනා බැල්මත් අඩු නොවී ය.

"දවස් කීයක කුලී වැඩ මට මග හැරෙනව ද?" ඔහු තව දිනක් දෙකක් හිටියානම් මීට වඩා අසාධ්‍ය තත්වයෙන් තමා රෝහල් ගත වෙන්නේ. ඒ බව ඔහුට වැටහෙන්නේ නෑ.

ඉන්පසු එළඹුන සවස් කාලයේ තමා සන්තක සියල්ල අහුරා ගත් ඔහු..."කරුණාකර මේ කටුව ගලවන්න මම මගේ කැමැත්තෙන් පිටවී යනවා"
අපට අවසාන නිවේදනය කළේය.

"වෛද්‍ය අවවාද වලට විරුද්ධව මම මාගේ කැමැත්තෙන් පිටව යමි. රෝගය ගැන අවධානම දනිමි. මම සියල්ලෙහි වගකීම දරමි" ඔන්න ඔය වගේ මට මතක . එහෙම එකක් ලියලා අස්සන් කරලා ඔහු අපට බැන බැන යන්නට ගියේය. මෙවැනි රෝගීන් බොහෝ හමුවේ. යන්තම් සුවයක් දැනුනු ගමන් වාට්ටුවෙන් පිටවීමට මග බලමින් සිටී.

"මම නම් හිතන්නේ හදිසි ප්‍රතිකාර අංශය හරියේදී ආයේ අසාධ්‍ය වෙයි කියලා... ගියොත් නම් තව අමාරු වෙයි.. සමහර විට !" අපි එකිනෙකා කතිකා කරගත්තෙමු.
එහෙත් ඔහු නැවත පැමිණියේ නැත.

Wednesday, April 27, 2016

ඔහු ඔහුත් එක්ක යුද්ධෙක....

කලින් කතාවේ ඩොක්ටර් කෙනෙක් යැයි පැවසූ ත්‍රස්තක්‍රියා හා සම්බන්ධ පුද්ගලයා ගැන ලියූ පෝස්ටුව බලාපොරොත්තු වුනාටත් වැඩිය ප්‍රතිචාර ලැබුනු ඒවගේම හිතන්නට තව පැති බොහෝමයක් ඇති බවට මට ඒත්තු ගැන්වූ එකක් වුනා.
ඒ පෝස්ටුවේ මතුකළ කාරණා නම් පුද්ගලික ප්‍රශ්න නොවේ පොදුවේ සමාජයේ මුල් බැසගෙන ඇති කරුණු ය. බොහෝ සෞඛ්‍ය සේවකයින්ට සිදු වුනා ත්‍රස්තයින් යටතේ සේවය කරන්න. බලෙන් කැඳවාගත් අයත් බහුල ය. දුක් වුනේ මිනිසුන් සුවපත් කිරීමට උගත්කමක් ඇති එවැන්නවුන් අත් අඩංගුවේ සිටීම ගැන ය . ඒසා විශාල ඛේදාන්තය අවසානය දුක්ඛදායි නොවේනම් පුදුමයක් ! එනමුත් ඒතරම් කරදර දුක් මැද උනත් මා දුටුවේ ඔවුන් සිනහ නගන අන්දමය.

රටේ අනිත් කොනේ හදවත් වල "ලබ් ඩබ්" ශබ්දය මයි රටේ මේ කොනෙත් හදවත් වලින් ඇහෙන්නේ කියා වටහා ගත් දවසට, මම කියන්නේ , අපි හැමෝම වටහා ගත් දවසට තමයි අනෙකාත් තමන් ලෙස හැඟෙන්න පටන් ගන්නේ.

එහෙම උනානම් මේ අපි දකින වෛරී අදහස් හෝ කියුම් නැති වේවි. මේ තරමින් හරි මේ දේවල් ලියන්න උනන්දුව ලැබුනේ අපි ඒ ගත කරමින් සිටි කාලය ආයේ කිසිවෙකුට මුණ ගැසෙන්නේ නැති නිසා මිසක, ලොකු කමකට පුරාජේරුවකට නොවන බව වටහා ගන්නා තුරු මේ සටහන් ඔබට සමස්ථ වෛද්‍ය ප්‍රජාව ගැනම ඇති වෛරයට භාජනය වන බව මා නොදන්නවා නොවේ.
කොළඹ සැප පහසුව සිටීම වෙනුවට ඈත දුෂ්කර සේවයෙහි යෙදෙන වෛද්‍යවරුන් අතරේ බ්ලොග් ලියන අය ලෙස අනිත්කොන ලියන මා ද, ලෝකයේ කොනක ලියන සිදූ ද  සිටී.

ගිය වර කතාව නවත්තපු තැනින් එහාට ලියන බවට වූ පොරොන්දුව නිසාම මේ ලිපියට කාලය වැය කළෙමි. මා මුලින්ම පත්වීම ලැබූයේ කායික රෝග වාට්ටුවේ වුනත් දමිළ බස කතා කරන්නට පුළුවන් කමක් ඇතිවූ නිසා මට මනෝ වෛද්‍ය ඒකකයෙහි සේවය කරන්නට ලැබෙනවා. මා එම ඒකකයෙන් යන එක ගැන විශේෂඥ වෛද්‍යවරිය අකමැති වුනත්, මනෝවෛද්‍ය අංශයේ අත්දැකීම් ලැබෙන නිසා ඒක මගේ අධ්‍යාපනයට වැදගත් නිසා , ඔවැනි කාරණා සලකා බලා ඇය මට අවසරය ලබා දෙනවා.

ඔබට මතක ඇති, මෙන්න මෙයා පැති මාරු කරලා ..ඔබ තමයි අන්තිම සටනේදී මගේ උරහිසට බෙහෙත් දැම්මේ කියන ගීතා වගේ ත්‍රස්ත සොල්දාදුවන්ගේ ඉඳන්, ආයුධ අතට දී බලෙන් යුද්ධයට ඇද දැමූ ළමා සොල්දාදුවන්, වෛද්‍ය පීඨයට තේරුණත් බලෙන් ඇදගෙන සටනට රැගෙන ගිය ශිෂ්‍යයින්, සිංහල කතා කරන හැමෝටම ගහපු, මම විතරක් බේරුණු ත්‍රස්තවාදී නෑදෑකම් තිබූ පුද්ගලයා වගේම මට දැන් මතකයට එන්නේ නැති සියලු කතා චරිත හමුවෙන්නේ ඒ කාලයේදී ය.

"විස්ස විද්‍යාලෙදි ගෙම්බෝ මරලා සත්තු කපලා පව් පුරෝගෙන ඉන්නේ ඕගොල්ලෝ " කියා මූණටම බැනපු,

"අපිව මේ කූඩු කරගෙන ඉන්නේ අපිට මොනවා කරන්නද ඈ ?" කියා අසමින්, තමන් ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ වැනි චරිත වලින් හඳුන්වපු ස්ත්‍රිය මට මුණගැසෙන්නේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටුව තුලදී.

ඒ කාලේ එහි පොකුණක් සාදා ඒකේ අලුත්වැඩියා පිරිසිඳු කිරීම් කරන්නටත් අපි වෛද්‍යවරුම එකතු වුන කාලේ ඇය වාට්ටුවේ දැල් අතරින් අප දෙස බලාගෙන ඔවැනි දේ කියවනවා අපෙන් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන්.
"අනේ පව් " කියා හිතෙනවා ඇරෙන්න ඔවුන් ගැන ද්වේශයක් කේන්තියක් හිතට ඇතිවෙන්නේ නැත්තේ ඔවුන් මානසික රෝගාබාද වලින් පීඩා විඳින්නන් ලෙස හඳුනාගන්න අපට පුළුවන් වුන නිසා. ඒවගේ පිරිස් අපට මේ සමාජය තුල කොතෙක් නම් මුණ ගැසෙනවා ද ? ඉන්පසු ටික කලකදී අප සමග යහළුවෙන ඔවුන්ගේ කතා අපට කියන්නේ ඒ විශ්වාසය නිසාම යි.

කලින් පෝස්ටුවේ මට මුණ ගැසුනු තැනැත්තා යලිත් හමු වෙන්නේ මනෝ වෛද්‍ය ඒකකය තුල... ඒ මගේ මාරුවත් සමග.
නමුත් ඔහු මා දන්නා බවක් පෙන්නුවේ නම් නෑ.

"මම හරි දුකෙන් ඉන්නේ... කරදරයි ජීවිතේ. " ඔහු ඉඳගත් සැනින් මා හට එහෙම කීවා. මුලදී ඔහුගෙන් ඇසුනේ චෝදනා අඳෝනා සහ කෝපාවිශ්ඨ වදන් පමණයි.
හමුදා සමග හෝ ආණ්ඩුව සමග ඇති කෝපය පිට කලේ අපට බනිමින්. විශේෂයෙන්ම සිංහල ජාතිකයෙක් වුන මට බනිමින්.

ටික කලක් ඔහොම ගෙවෙන විට ඔහු අප සම්බන්දයෙන් කේන්ති ගන්නා එක අඩුවුන බවක් දුටුවා.
 දැන් ඔහු අර නිතර එනවිට අත පය වල තිබුනු විලංගු දකින්න තිබුනේ නෑ.
රැවුල කපා, පිරිසිඳු සරමක් කමිසයක් හැඳි ඔහුගේ මුහුණේ දකින්න ලැබුනේ පැහැපත් බවක්.

"දැන් ඔබේ පෙනුම කොයි තරම් හොඳ ද ! " මම ඔහුට පැවසු විට ඔහුගේ මුහුණේ දකින්න ලැබුනේ විස්මයක්.

"දැන් ඔබට කොහොම ද ?"

"පෙර කාලේ තරම් හොඳ නෑ, දැන් අපේ පාලනය නෙමෙයිනේ... ඒත් මම හොඳින් ඉන්නවා. ඒත් ඒ කාලේ හොඳයි දැනට වඩා"

"ඇයි එහෙම කියන්නේ ?" මම විමසුවෙමි.

"නෑ ඉතින් ඒ කාලේ අපිනේ පාලනය කලේ මේ පැති. දැන් අපි ඉන්නේ අත් අඩංගුවේ නේ. හැබැයි මම නිදහස් වෙනවා තව කාලෙකින්. දන්නවද මගේ වයිෆ් ළමයා නැතිව ඉන්න එක තමයි දුක"

ඉන්පසු ඇතිවුනු කතා බහේදී ඔහු මට ඔහුගේ පවුල ගැන විස්තර කරමින් කියන්නේ ඔවුන් බටහිර රටකට ගොස් නෑයින් සමග සිටිය බවත් දැන් ආයෙත් ඔවුන්ගේ නිවස්නය බලා පැමිණි බවත්, ඔහු බලන්නට එන යන බවත් ය.

අපේ මුල් හමුවීමට වඩා ඔහු මා සමග මිත්‍රශීලී බවක් පෙන්වයි. ඒ මේ ඒකකය තුල පවතින වෙනස්කම් දැයි මට සිතේ. අප රෝගීන් හමුවෙන්නේ වෙනම කාමරයක් තුල දී ය. ඒ කතාබහට අපි කිහිප දෙනෙක් සහාභාගි වෙමු. වෛද්‍යවරු ,(medical officers) හෙද හෙදි, නිළධාරියෙකු (nursing officers) හෝ නිළධාරිනියක , උපදේශකයින් (counselors) සහ මානසික ඒකකයට අනුබද්ධ සමාජ සේවකයින් ( Psyco-social workers )පැමිණේ. මේ සියල්ලෝම රෝගීන් ගැන බොහෝ දුරට දන්නා ගෙදර අය තරම්ම හිතවත් පිරිසකි. ඔවුන්ගේ නිවෙස් වලට ආගිය පිරිස කි. එනිසා කතා බහ පහසු ය.

හාත් පස මලින් පිරී ගිය තුරු ගොමු ය. කොරිඩෝ වල ඉඳගැනීමට බංකු ඇත. වාට්ටුව මැද වතුර මල් , මත්ස්‍යයින් මලින් පිරි පොකුණකි, කුරුල්ලන්ගේ කිචිබිචිය අඩු නැත. මේ සියල්ල මෙලෙස තනවා ඇත්තේ මේ ඒකකයේ සිටින මානව හිතවාදී විශේෂඥ වෛද්‍යවරයාගේ අනුදැනුමින් ය. ඉතින් වාට්ටුවක සිටිනවා කියා සිතෙන්නේ නැති තරම් ය. ඇතුල් වෙන අය යන්නට අකමැතිය. ඒ ඔවුන්ගේ නිවෙස් වල පරිසරය මීට බොහෝ සෙයින් වෙනස් කලබලකාරී ඝෝෂා සහිත තැන් නිසා වෙන්නට පුළුවන.
මාස කිහිපයක දී මට හමුවූ ඔහුත් දැන් මා ඉදිරියේ සිටින ඔහුත් බොහෝ සෙයින් වෙනස් ය. ඔහුගේ වෙනස් වීම සැලකිය යුතු තරමේ එකකි.

"මට ඉස්සර නින්ද ගියේ නෑ. මම තරහෙන් හිටියේ. මට ඒකාලේ තිබුනු තත්වය මට තිබුනු සැප පහසුකම් ගැන විතරයි හිතුනේ. ඒනිසා මට තරහ ගිහින් හිටියේ." මේ සැකවින් ඔහු කියූ කරුණු කිහිපයකි.

"ඉන්පසු මට තේරුනා අපිට දැන් උනා වගේ ඉස්සර අපිත් මිනිස්සුන්ට කරානේ කියලා, මගේ අතින් මිනිසුන් කොයි තරම් මිය යන්න ඇති ද ? මම දන්නේ නෑ ඩොක් . මම අත් අඩංගුවේ ඉන්නවා වගේ ඉස්සර මිනිස්සු අපිත් එහෙම හිර කලානේ, දැන් මට දුක ඒ කාලේ කණපිට පෙරළුණු නිසා"

බොහෝ රෝගීන් එලෙස ඔවුන්ගේ පීඩනය ගැන තමන් සමගම සම්මුතියකට එයි. එහෙයින් ඔවුන්ගේ මානසික පීඩනය හෝ ආතතිය සැලකිය යුතු තරමින් අඩු වේ. පවතින තත්වයන් සමග සංහිඳියාවකට ඒමට ඔවුන් ගේ සිත් වලට හැකිවීම එක අතකට මනෝ උපදේශකයන්ගෙන් ද පැසසිය යුතු අන්දමේ සේවාවක් සිදුවේ. කිහිප ගමනක් ජීවිතය තොර කරගන්නට සිදූ ගීතා (අනවර්ථ නමකි) වෙන්කටේෂ් (අනවර්ථ නමකි ) වැනි චරිත ඔබට මගේ කතා තුලින්, පොතෙන් හමුවෙන්නට ඇති. ඔවුන් සියල්ලෝම තම මනෝ ව්‍යාදි සමග පොරබදමින් ජීවිතය ගොඩ නගන්නේ ඒ උපදේශනයන්ගේ උදව්වෙනි.

ඔහු මෙලෙස තමාගේ පවතින තත්වය සමග සාමකාමී වීම එක අතකට ඔහුගේ අනෙක් ප්‍රශ්නවලට ද විසඳුමකි යැයි මට සිතේ. පුනුරුත්ථාපනය අවසානයේ ඔවුන් සමාජගත විය යුතු වේ. නැවත ඔහු වෙත පැමිණි දරුවා සහ බිරිය සමග ජීවිතය ගෙවන්නට , රැකියාවක් කරන්නට ඔහුට සිදු වේ.

යුද්ධයක සැබෑ ජයග්‍රාහකයෝ හෝ පරාජිතයෝ නැත. යැයි කියමනක් තිබේ. මා දකින්නේ සිදුවූ ඛේදාන්ත වලට ජයග්‍රාහී ලෙස මුහුණ දුන්, ඒවාට සුබදායක ලෙස මුහුණ දෙන පිරිස්ම නොවේ. ඒත් ඔවුන්ගේ මේ මුහුණ දීම්, ගොඩ නැංවීම් සහ අවබෝධකර ගැනීම් ගැන මට ඇත්තේ මහත් ගෞරවය කි. ඒ , මට මෙහෙම උනානම් මේ තරම් දරා ගනීවි දැයි ?  අපි අපෙන්ම ප්‍රශ්න කර සිතා බැලිය යුතු කාරනයක් වන නිසා ය.

පසුගිය කතාවේ අවසානයේ බොහෝ අය ප්‍රශ්න කෙරුවාක් මෙන් ඔහු සැබැවින්ම වෛද්‍යවරයෙක් ද ?
එය එසේ නොවන බව දැනගත්තත් ඇයි එලෙස බොරුවක් කීවේ යන ඒ ප්‍රශ්නය මා කිසිම විටක ඔහුගෙන් ප්‍රශ්න කළේ නැත. ඔහු එලෙස මට කියන්නට හේතු වූ කාරනා දහසක් ඔහුගේ හිතේ තියෙන්නට ඇති. එය වරදක් නොවේ.

ඔහු කවරෙක් වුනත් මට ඔහු අනෙකුන් හා සමාන ය. ඔහු මට කවරාකාරයෙන් පෙනී සිටිය ද මගේ සේවය ලබන්නට එය කිසිවිටක ගැටළුවක් නොවේ.

අපේ ජාතිය විය යුත්තේ මනුස්ස ජාතිය යි. ආගම , කරුණාව සහ උපේක්ෂාව යි. වෛද්‍යවරයෙකු දිවුරුම් දෙන ප්‍රතිඥාවේ ද අඩංගු මෙවැනි කරුණු කාරනා ය.

ඩොක්ටර් යනු ගෞරව පදයක් නොවේ. වෛද්‍ය වෘත්තිකයන් හඳුන්වන පදය කි. ඔවුන් ට දොස්තර ,  "අම්මා" හෝ "අයියා" වෙන්නේ ඒ වෛද්‍යවරයා නම් කෙනා තුල ඇති මනුස්සකම නිසා ය. අපි එනකොට නැගිටින්න එපා, වඳින්න එපා, නෝනා කියන්න එපා, අම්මා කියන්න එපා යැයි මම, ඔබ කොතෙක් කීව ද, නැවැත්තුව ද එය එක් එක් මිනිසුන් තුල ඇති හොඳ නරක මත , මතුවටත් ඇතිවන තත්වය කි. මා කාලයක් සේවය කළ අනිත් කොන රෝහල් වලින් එනවිට ආපසු රැගෙන ආවේ මනුස්සකම ය.

සමස්ථ වෛද්‍ය ප්‍රජාවම එසේ නොවන බව දනිමි.  හරියට උපේක්ෂා පෙර පෝස්ටුවක දී කලාකරුවන් ගැන නැගූ තර්කය වගේම, කළු සුදු චරිත නැත. ඇත්තේ අළුපාට චරිත ය.
*/

Sunday, April 24, 2016

මමත් ඔයා වගේ ...

සලාං බලාං ...සලාං බලාං රෝහල් කොරිඩෝව දිගට දම්වැල් ඇතිල්ලෙන සද්දෙත් එක්ක මට සිහිවෙන්නේ පෙරහැරක යන අලි ඇතුන් ය. අත් දෙකෙත් මාංචු , කකුල් දෙකෙත් මාංචු, ඇතැම්විට ඒ දෙක අතරත් දම්වැලක්... ඒ එක්කම බොහොම භය බිරාන්ත වූ මුහුණු. ඇතැම් විට රකුසු වෙස් ගත් මුහුණු.‍

අනිත් කොන නමින් මා යුද්ධය අවසන් වූ තැන පටන් ජීවිත ගොඩ ගැනීමේ මානුෂීය මෙහෙවරට උරදුන් ආකාරය ලීවේ ඒකාලේ ඒ මොහොතේම ය.
පොත බවට පත්වුනේ ද ඒ කතාම ය. නමුත් දැන් මා ලියන්නේ මේ කොනේ අගනුවර සිට ය. කතා සිදුවීම් මතකයේ ඇති තැන් පීරා සොයා පිරිපහදු කරගෙන ය.

මට ඔහු හමුවෙන්නේ කායික රෝග වාට්ටුවේදී...
අර සලාං බලාං සද්ධ... යුනිෆෝම් කට්ටිය... ඇඩ්මිෂන් මේසයට ඇවිද විත්...

"මේවා ගලවන්න ඉතින්... මට කතා කරන්න බෑ ඔහොම" මම කාරුණිකව ඔහුගේ අත් පළඳනා මාංචු ඉවත් කරන්නට නියම කළෙමි.

"ඩොක්ටර් අලුත් ?" ඔහු ඇසුවේ දෙමළෙන්...

"ඕම් ! " මම එහෙම කියද්දී ඔහුගේ මුහුණේ සිනහවක් ඇඳුනා. මාත් දමිල බව හිතන්න ඇති ..

රෝගියා ඇතුලත් කරද්දී ඒ වෛද්‍යවරයා ලියූ සටහන දෙස මදකට මා දෑස යොමු කරද්දී මා සිතූ ආකාරයෙන්ම, කඳවුරු වල අත් අඩංගුවේ සිටින්නන් මෙහි ගෙන එන පොදු හේතු ගණනාවෙන් එකක් ! ලේ වමනය යෑම. එහෙම නැත්නම් මම මීට පෙර සඳහන් කළා වගේ, ෆිට් එකට දෙන පෙති නොබී සිටීම. ඒකෙන් වෙන්නේ ෆිට්ස් හෙවත් වලිප්පුව වැඩි වෙලා අසාධ්‍ය තත්වයෙන් මොවුන්ව රෝහල් ගත කරන එකයි. එහෙම ඇතුලත් වූවන් මුල් කාලයේදී නම් බොහෝ විට මා මග හරින බවක් වැටහුනා. නමුත් ඔවුන්ගේ බස හුරුවූ පසුව මා සමග වඩා මිතුරු වුනා.

"මම සිංහල, ඒත් ඔබට පහසු බසකින් කතා කරන්න, මොකද්ද ප්‍රශ්නෙ "

මා හිතූ අයුරින්ම, ලේවමනය ගොස් ඇත්තේ සිර කඳවුරේදීය. දුටු කෙනෙක් නැත.

"හරි එහෙනම් ආයෙ ගියොත් අපිට පෙන්වන්න ! යැයි කීවත් මොවුන් බහුතරයක් කැමැති දින කිහිපයක් රෝහලේ ගත කරන්නට නිසා රෝගවලට මුල්වෙන කිසිත් සොයා ගැන්ම අපහසු ය.

"ඩොක්ටර් මමත් ඔයා වගේ ඩොක්ටර් කෙනෙක්... " ඔහු එක්වරම පවසද්දී මට පුදුම සිතිනි.

"කොහොමද ඔබ අත් අඩංගුවට පත් වුනේ" මට ඕනෑ වුනා ඔහුගේ කතාව දැන ගන්න.

අප රටේ දශක දෙකකටත් වඩා ඔඩු දුවපු තුවාලයක් වී, ජීවිත හානි , ආර්ථිකමය අවපාත එක්කම සාමකාමි සහජිවනය විනාශකරන ලද්දේ යුද්ධය නිසා ය.

"මම ඒ පැත්තේ (ත්‍රස්තයින්ගේ) වෛද්‍යවරයෙක් ලෙස සේවය කළා. මගේ දුවයි නෝනයි ඉන්දියාවේ ඉන්නේ..."

"එතකොට ඔබ ඉගෙන ගත්තේ ?"

"ඉන්දියාවේ.." ඒ රටේ නගරයක් සඳහන් කරමින් ඔහු පැවසීය.

"හොඳට ඉගෙන ගත් නිසා මට ඉන්දියාවට යන්න එහෙ ඉගෙන ගන්න ලැබුනා. මෙහෙ ආවේ මේ ගම නිසා. ඉතින් එයාලට වැඩ කරන්න වුනා. " ඔහු ශෝකී මුහුණෙන් අතීත මතක එකිනෙක දිග හරින්නට විය.

"මම ----රමෙත් වැඩ කළා, ඉන්පසු එහෙ තියෙන රෝහලේ වැඩ කලේ අත් අඩංගුවට ගන්නකම්ම"

මොහු එහෙම කියද්දී , මට මතක් වුනේ ඒ කියූ සැනින් අප අහමුවට පැමිණෙන රෝගීන්ගේ නොයෙක් සංකූලතා වලට වගකියන්න වුනෙත් ඔය කියූ රෝහලෙන් පුහුණු නුපුහුණු ද වත් නොදන්නා වෛද්‍ය සභාවෙන් අනුමත හෝ ලියාපදිංචිය නොගත් වෛද්‍යවරු පිරිසක් විසින් කරන ලද සැත්කම් සහ ප්‍රතිකාර බවයි.

එසේ පැමිණි එක් ආච්චි අම්මා කෙනෙක් අපට පැවසුවේ මුත්‍රා කරන්නට දැඩි සේ තැටමිය යුතු බව ය. පරීක්ෂා කරද්දී ඇගේ යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසී තිබුනේ කුඩා හෝ සිදුරක් දකින්නටවත් නොමැතිව ය. ඇය අතේ තිබූනු කාඩ් පතකින් කීවේ ඇය ඒ කියූ ත්‍රස්තවාදීන් විසින් පාලනය කළ ප්‍රදේශයේ රෝහලෙන් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් කර ඇති බවය. එය යෝනිමාර්ගය හරහා කරන ලද VH& R යන නමින් හඳුන්වන සැත්කම කි. එහිදී ඇතිවූ සංකූලතා මගින් අර එවැනි ගැටළු සහගත තත්වයක් පැන නැංඟේ. ඒ ආත්තම්මාගේ මුත්‍රා මාර්ගය නැවත සකස් කරන්නට සිදුවුනා.

දැන් මොහු පවසන්නේ ඔහුත් ඒ කියන රෝහලේ වෛද්‍යවරයෙක් බව ය. සරම් කමිස හැඳගත් මොහුගේ මුහුණ පුරා රැවුල වැවී ඇත. කොණ්ඩය වැවී ඇත. දිස් වෙන්නේ ඉතා අසරණ සේයාවකි. එකම මේසයක දෙපැත්තක අප දෙදෙන ඉගෙනීමෙන් සමාන වුවත් තෝරාගැනීමෙන් වෙනස් වූ නිසා අද ඉරණම් දෙකක් උරුම වී ඇත. මට ඇති වුනේ කණගාටුවක්... තවත් වෘත්තීය සගයෙක් ගැන ඇතිවන දුකට සමාන දුකක්, කම්පාවක් සහ කළකිරීමක් !

"ඔබේ අපහසුතා මග අරින්නට හැකි පහසුකම් සලසන්නම් " මම ඔහු අස්වසමින් පැවසීමි.

"මිස්, මේත් ඩොක්ටර් කෙනෙක්. " කියමින් අලුත් නර්ස් මිස් ටද ඔහුගේ කතාව පැවසූ අතර අපි දෙදෙනාම ඉන්පසු කම්පා වීමු.

 මා නැවත කෑම පැයට නේවාසිකාගාරය වෙත ගිය අතර නැවත වාට්ටුවට ගිය සවස් යාමයේ... සේවා මුරයේ යෙදී සිටියේ පළපුරුදු මෙහි වසර ගණනක් සේවය කරන හෙදි සොයුරියකි.


"අනේ මිස් පව්නේ ඩොක්ටර් කෙනෙක් අර අත් අඩංගුවේ ඉන්නේ" මම මිස් ට මා ඇසූ කතාව කියද්දී...

 "අයියෝ ඩොක්ටර් අලුත්නේ , ඩොක්ටර් ට හොඳ ලණුවක් දීලා.. ඔය ඩොක්ටර් කෙනෙක් නෙමේ..ත්‍රස්තයෙක්... ඔය මනුස්සයා ඔහොමමයි. බොරු කියලා ඇටෙන්ෂන් ගන්නවා... අලුත් අයව අන්දනවා. ඩොක්ටර්ව රවට්ටලා " මිස් හිනාවෙවී කියද්දී මට හිතා ගන්නට බැරි විය. 
"වෙන්න බෑ මිස්... ඔයාලට නොකියා ඉන්න ඇති... මම මගේ හිතට දැනෙන දේ පවසුවෙමි.

"එයා එහෙම තමයි. අනික් ඩොක්ටර්ස්ලා දන්නවා එයා ගැන" ජේෂ්ඨ හෙදි සොයුරියත් එහෙම කියද්දී මට පිළිගන්නට ම විය. ඉන්පසු අපේ ජේෂ්ඨයින්ගෙන් විමසද්දී ඔවුන්ද ඒ බව සනාථ කළෝය.

සමහර විට මා අලුත් නිසා ඔහුට විශේෂ සැලකිල්ලක් ලබා ගැනීමට එසේ බොරුවක් ගෙතුවා වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් අවධානය ලබා ගන්නට මෙසේ කියුවා වෙන්න පුළුවනි.

ඇයි මෙහෙම බොරු කිවේ යැයි ඔහුගෙන් මා ඇසුවේද නැත. මා ඔහුගේ බොරුව දන්නා බවක් පැවසුවේ ද නැත.
ඔහු මට ඒ ගැන කියන්නට ආවේත් නැත්තේ කනින් කොනින් කිසිවෙකු මගින් ඔහුගේ බොරුව අපි දන්නවා යැයි ඇසුන නිසා දෝ යැයි මට සිතුනි. ඔහු වාට්ටුවේ කෙරෙන සායනික වට වලදී පවා සිටියේ බොහොම භය පක්ෂපාතීව ය. 
නැවත මට ඔහු මුණ ගැසුනේ මනෝවෛද්‍ය ඒකකයේදී ය. (ඒ තවත් කතාවක් ! ඉක්මනින්ම ලියන්නම් )

පසුව ලියමි - මෙහි දී මං හිතන්නේ... දොස්තර කෙනෙක් බව පැවසීමෙන් වැඩි අවධානයක් ලබා ගන්න ඔහු උත්සහ කරන්නට ඇත්තේ ත්‍රස්තවාදි කෙනෙක් සහ දොස්තරකෙනෙක් යන දෙන්නා දිහා සමාජය බලන විදිහ වෙනස් නිසා කියා මට හිතෙනවා. කෙනෙකුගේ වෘත්තීය සලකා බෙහෙත් කිරීමක් අපෙන් සිදු නොවුනත්... කම්පා වීම හෝ අනුකම්පාව නම් ඒ වගේ තැනකදී සමාජයෙන් ලැබෙන්නේ වෙනස් විදිහට නේද ? මේ මට උපේක්ෂා සහ සෑම් ගේ අදහස් වලින් වැටහුනු දෙයක්. ඔහු එහිදී තමන්ගේ භයානක බව හෝ කරන ලද ක්‍රියාවන් සඟවාගන්න (අලුත් දොස්තරගෙන් අනුකම්පාව ලබා ගන්න) එහෙම කළා කියලා හිතන්න පුළුවන් !
වෘත්තීය අනුව එහෙම කියලා සැලකිලි වල ආකල්ප වල හෝ ප්‍රතිකාර වල වෙනසක් සිදු නොවන බවත් ඔබ දන්නවා ඇති යැයි සිතමි. වෛද්‍ය වෘත්තිය එහෙමයි... දොස්තර කෙනෙක් කියන්නේ මිනිසුන් ජීවත් කරන්නෙක් , ත්‍රස්තවාදියෙක් කියන්නේ ජීවිත නසන්නෙක්.. එතකොට ඒ දෙපිරිස දිහා සමාජය බලන විදිහ වෙනස්... සමහර විට ඒ නිසා ඔහු එහෙම බොරුවක් කරන්න ඇති...
ඔහුගේ හිතේ තමන් කළ කී දේවල් එක්ක සමාජය දැන් ඔහුව පිළිගන්නා ආකාරයත් එක්ක කළකිරීමක් තියෙන්න ඇති එනිසා ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටින්නට අකමැති වෙන්නට ඇති..