Pages

Saturday, December 17, 2016

කස්ටඩ් සහ බොරු වැලි එකම වගේ...

They say the cooking custard has the same chemical substance as quick sand but what differ is the bonds.

කස්ටඩ් වලත්, බොරු වැලි වලත් සංඝටක එකම බව පැවසේ ඒත් වෙනස් වෙන්නේ එහි අණු අතර පවතින බන්ධන (බැඳුම්) වල වෙනසය.

ජීවිතයත් මේ වගෙයි මට සිතේ... බන්ධන නො තිබුනා නම් ජීවිතේ අප ගත කරන මොහොතවල්... කරන බොහෝ දේ එකකට එකක් පරස්පර වුනත් මොකක්දෝ සමානකමක් වේ. වෙනස් වෙන්නේ බැඳීම් නිසා ඇතිවන්නාවූ වෙනස්කම ය.

"some times it lasts in love , some times it hurts instead. "

ඒ වන විටත් ඇය ඉතා කෘෂව සුදුමැලිව සිටියා... නිතර ක්ලාන්ත ගතියෙන් පෙළුනා.
" කන්න හරියකට හම්බුවෙන්නෙ නෑ.. උදේ පාන්දර ගෙදරින් එන්නේ.. හවස යනකොටත් කඩෙන් කන්නේ"
ඇය මට පැවසුවා.

"මම හිටියේ බොහොම සතුටෙන්. ගොඩාක් අයට උදව් කරගෙන. මගේ විවාහය මාව කණපිට පෙරළුවා... නැන්දම්මා මාව පණ පිටින් පිච්චුවා" ඇය කඳුළු සලන්නට විය. “දෙවෙනි ගමන දාම මට කීවේ ඔය කාමරේට වෙලා ඕනෙ දෙයක් කරගෙන ඉන්න්මේ ගෙදර වෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා කියලයි. ම්ා ජීවත් වුනේ සිරකාරියක් වගේ. අච්චර ජරාජීර්ණ වෙච්ච ගෙදරක. මගේ දෙමාපියන්ටවත් මේ ගැන කීවේ නෑ ඒ අයගේ හිත රිදෙයි කියලා.”

දැන් ඇය සිව් මස් ගැබිණියක්.... "ඉතින් මෙච්චර ප්‍රශ්න තියෙද්දී.. ස්වාමියා ඔයාව නොසලකා හරිද්දී ඇයි දරුවෙක් හදන්නේ " ඇය සිටියේ කබලෙන් ලිපට වැටෙමිනි.

"විවාහයක් කැඩුනම ගැහැණියට හිරිහැර වැඩී. දරුවෙක් හිටියනම් සමහර විට සැමියා ටිකක් හරි වෙනස් වෙයි කියලා හිතුනා , කොහොමත් අන්තිමට මට දරුවා හරි ඉතිරි වෙයිනේ" ඇය මෝරා එමින් තිබූ උදරය අතගාමින් කීවා ය.

එසේ පැවසූ ඇය යළිත් හමුවෙන්නේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් බෙහෙත් අහුරු ගිලමින් ඇයට මානසික ලෙඩක් යැයි ඇය අතැර දැමූ සැමියා යලි ඒව්වි යැයි බලාපොරොත්තු වෙමින්‍ අප හා වාද කරමින් දරුවා කරපින්නාගෙන ඇවිදින දිරාපත් වූ ගැහැණියක ලෙසය.

ඇගේ සැමියා ඇය අතැර ගොසිනි.

" ඉතින් දැන් මම බලන් ඉන්නවා ආයේ එනකම් කවදා හරි දරුවායි මාවයි මතක් වෙලා"

චිත්ත සන්තානයේ ඉපදෙන සිතුවිලි පුදුමාකාර ය. ගැහැණිය, එක එක අයගේ ඕනෑ එපාකම් ඔස්සේ තම ජීවිතය සකසා ගනී. ඇතැම් විශිෂ්ඨ චිත්ත ශක්තියක් හිමි අයවලුන් තම සිතැඟි ඔස්සේ ජීවිතය සොයා යයි.
මට හමුවෙන්නේ එවන් අය නොවේ... මා සිටින මේ ලංකා සමාජය තුල හමුවෙන ස්ත්‍රී න්බොහෝ පීඩන හමුවේ ගොළුවී සිටී. සමාජය විසින් ඔවුනට හිමි කර දී ඇත්තේ එවැනි අනාරක්ෂිත බවකි.
ඇතැම් විට දරුවන් වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන්, සමාජයේ ජීවත් වීම වෙනුවෙන් පවුල් රකින... නොරැඳෙන බන්දන රකින ස්ත්‍රීන් බොහෝ වෙති.
තමන්ට ඒ දේ වෙනකම් විඳිනකම්ම තේරුම්ගන්න අමාරුයි ගැහැණියක් තනිවුනාම කොයි තරම් ප්‍රශ්ණ මැද්දේ ජීවත් විය. යුතුද කියලා. මේ අකුරු මේ ලියවිල්ලට සීමා නොකර මා හමුවන බොහෝ කාන්තාවන් හට ශක්තියක් වෙන්නට යොදාගන්නේ එහෙයිනි.

හිතට ශක්තිය ගන්න , මීට වඩා ස්ට්‍රෝන්ග් වෙන්න කියලා කියන්න නම් ඕනෑ තරම් අය ඉන්න බව මම හොඳාකාරවම දන්නවා. නමුත් වෙන කෙනෙක්ගේ ශක්තිමත් බව අගයන්න කෙනෙක්ට ඇති නොහැකියාව මිසක් අනුන්ව ඔවුන් ඉන්න තැනින් ඔසවා වඩා හොඳ තැනක තියන්න පුළුවන් පිරිස අඩුයි.”

There are two kinds of pain.. the pain which makes u strong and the other that makes u suffer and rotten.

මට හමුවෙන බොහෝ ස්ත්‍රීන් හුදෙකලා වූවෝ ය. ඔවුන්ගේ චිත්ත සන්තානයේ දිග පළල ගැඹුර විනිවිද පෙන්වන කතන්දර බොහෝ අප ඒකකය තුලදී දිග හැරේ.

ආශා පවුලේ වැඩි මහළු දරුවා ය. වයස අවුරුදු 18 කි. සියදිවි නසා ගැනීමට තැත් කිරීම් රෝහල් ගත කිරීම් අවසානයේ ඇගේ මනෝ ව්‍යාධියේ තරම කොයිතරම්ද කීවොත් ඇවිදින මළ මිනියක් මෙන් ඒ මුහුණේ කිසිඳු පේෂියක් සෙලවුනේවත් නැත. හරියට ඝන වෙස්මුහුනක් පැළඳියාක් මෙනි.
ඇය ගේ පියා මසකට කිහිප වරක් නොයෙක් තැන ඇවිදින ව්‍යාපාරිකයෙක් වූ හෙයින් ඔහු නිතර නිවස රැඳුනේ නැත. ඇය යම් වයසක දී ඇගේ පියා ඇගේ මව මෙන්ම පුංචි අම්මාද (මවගේ නැගණිය) සමග පවුල් කන බව දැන ගන්නට ලැබී තිබේ. මේ ප්‍රදේශයේ තිබුන යුධ තත්වයත් එයට හේතු වෙන්නට ඇති. ඒ පවුල මීට බොහෝ ඈත දිස්ත්‍රික්කයක සිටින අතර දරුවන් ලොකු මහත් වන තෙක්ම මේ ගැන දැනගන්නට ලැබී තිබුනේ නැත. ආශාගේ මව මේ ගැන දැනගත් වහාම සිය දිවි නසාගෙන තිබුනු අතර ඉතිරි දරුවන් පිරිස රැක බලාගෙන තිබුනේ මේ දියණියයි.
අවසන ඇයට මවගේ මරණයත් සමග තම පියාගේ හැසිරීම ගැන වෛරයක් හට ගන්නවා. ඒ වෛරය නිසාම ඇය සිය ජිවිතයෙන් සමුගන්න පවා සැරසෙනවා. ඒ ලැජ්ජාවට බවයි ඇය පවසන්නේ. මම ඒ රෝහලෙන් සමුගෙන පැමිණෙන කාලයෙත් ඇය නේවාසිකව ප්‍රතිකාර ගත්තා.
ඒ තාත්තා පැමිණි දිනක දියණිය ඔහු ඉදිරියේ හඬා වැටී බැණ වැදී "මගේ අම්මා මරාගත්තේ ඇයි " අහද්දී ඒ තාත්තා හඬන්නට වුනා.

සිලාසිනී.. එලෙස මට අනිත් කොන රෝහල් සේවය කරද්දී හමුවූ ස්ත්‍රියකි. අප නිතර යන එන මහළු නිවාසයක රැකියාවක් කරමින් තම දරු දෙදෙන රකී. සැමියාද කම්කරුවෙකි. ඔහුගෙන් ශ්‍රමය හෝ සැලකිය යුතු මුදලක් තම දරු පවුල වෙනුවෙන් නොයෙදේ. ඒ වන විටත්, අනියම් සබඳතා මෙන්ම අධික ලෙස මත් පැනට ගිජුවූ මිනිසෙකි. සිලා නිසාම අපි ඔහුට අප ඒකකය වෙත එන්න යැයි පැවසුවත් ඔහු ආවේ පණිවිඩ කිහිප වරක් යැවූ පසුව ය.

පිරිමියෙක් පිට යන්නේ ගැහැණියගේ වරදින්.. ඕකට සියයට පනහක් දෙගොල්ලොම වැරදියි... එහෙම කියමනක් ද ඇසෙයි. එහෙත් පුදුමය නම් අපි අද ජීවත් වෙන්නේ ඉර හඳ තරු වන්දනා නොකරන, සමානාත්මතාවය සොයන... ගැහැණිය ද පිරිමියාද උරෙනුර ගැටී එක සේ වැඩ රාජකාරි කරන... අභ්‍යවකාශ ගමනේ යෙදෙන ඩිජිටල් සමාජයක වීම ය.

ඉතින් දැන් අපි මේ පවුල දෙසට හැරෙමු.ඔහු මෙලෙස හැසිරෙන්න ඇගෙන් මදි පාඩුවක් විනි දෝ යැයි අපි මුලින් ඇසුවෙමු. ඔහු කියන පරිදි ඇය දරුවන් රැකගෙන දහඩිය මහන්සියෙන් උපයා ගෙදර බත් මාළු පිනි උයා , ඔහුගෙන් වෙන්න තියෙන යුතුකම් පවා නොපිරිහෙලා ඉටු කරයි.

"මට මේ ඕනෑ කම නවත්වන්න ඕනේ නෝනා." ඔහු පවසයි. ඒ අනියම් සබඳතා ගැන ය.
 


"ඔය බීමට, ගෑණුන්ට වියදම් කරන මුදල ඉතිරි කරලා දරුවන්ට යමක් කරන්න. කවදා හරි මහළු වෙද්දි දරුවො නැත්නම් කියාවි අපේ අප්පා.. මෙහෙමයි අම්මා තමයි අපිව රැක්කේ කියලා"

එකින් එක අපි ඔහුට හරි වැරදි කියා දුනිමු. බටහිර සමාජයේ නම්, මෙවැනි සබඳතා ගැන දැඩිව විමසිලිමත් නොවන්නාක් මෙන්ම ගැහැණියක හෝ පිරිමියක අතර පවතින සබඳකම් වලදී සමාජය ඔවුන් එකිනෙකාගේ පෞද්ගලිකත්වයට , ස්වාධීනත්වයට ගරු කරනු මම කොතෙකුත් දැක ඇත.

නමුත් ලංකා සමාජය ඊට හාත් පසින් වෙනස් ය. ඕපා දූප මෙන්ම එකිනෙකා කා කොටා ගැනිලිත් අඩු නැත. වෙන්වූ නළු නිලි ප්‍රසිද්ධ පුද්ගලයින් කොතෙකුත් පුවත්පත් මගින් බැන ගන්නායුරු දිස්වේ.


ඉහත බ්ලොග් ලිපිය ලියන අතරේ මා මිතුරියක් සමග කතා බහ කරද්දී ඇගේ මතය වුනේත්.. හොඳ ගෑණුන්ට ලැබුනු නරක පිරිමිත් ඉන්නවා.. නරක ගෑණුන්ට ලැබුන හොඳ පිරිමිත් ඉන්නවා. පිට යනවා නම් කොයි කවුරුත් කොහොම උනත් එහෙමයි. ගෑණු නරකයි, ගෙදරින් අඩු පාඩු වෙනවා කියා පිට යන පිරිමිත් ඉන්නවා
එහෙම වුනත් පවුල රැකගෙන ඉන්න පිරිමිත් ඉන්නවා.
ඕකේ අනිත් පැත්ත ගත්තත් එහෙමමයි" කියා ය.
වරද ඇත්තේ අනුන්ගේ ඕපාදූපය සොයන්න විවේචනය කරනන් පෙළඹෙන පටු දූපත් වාසී මානසිකත්වයක් හිමි අයවලුන්ගේ ය.
එහෙත් ගැහැණියෙක්ගේ දුක දැනෙන්නේ තවත් ගැහැණියකට බව මම තවමත් විශ්වාස කරමි.

ps : ඔහ් මේක 100 වෙනි පෝස්ටුව.... සීයක් ලියා ගත්තේ කොයි තරම් අමාරුවෙන් ද ? 

4 comments:

  1. මේක ලිවුවට බොහොම ස්තුතියි ඔබට. හිතට දැනුණු තැන් ගොඩක් තිබුණ.

    ReplyDelete
  2. ලොවට වැඩක් ඇති ලිපි සියයක් ලියන්නට වූ වෙහෙස වෙනුවෙන් ඔබට තුති , සමඟින් සුබ පැතුම් ඒ නිරාමිස සතුට ඔබට දැනෙන මොහොතේ .

    ReplyDelete
  3. තමුන්ගේ ජීවිතේ වින්ඳට කමක් නෑ. අපේ උවමනාවට ලෝකෙට ආව දරුවන්ට දුක් දෙන්නේ නැතිව.

    ReplyDelete
  4. ගැහැණියකගේ දුක දැනෙන්නේ ගැහැණියකටමය...
    කතාව බාගයක් ඇත්ත,...ඒත් ඒ ඔබ වගේ...අයට..
    සමහරක් විට ගැහැනියකට දුකක් වේදනාවක් දෙන කතාන්දරයේ වැඩි බරක් ගන්නේත් ගැහැනුන්මයි...

    මේ සටහනට මම ඉතාම කැමතියි

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !