Pages

Friday, March 4, 2016

සිඟිති සෝ සුසුම් කුමටද ?

උදෑසන වාට්ටුවට පැමිණි මා, රෝගී දරුවන් පරීක්ෂා කර බලා, ඉන්පසු අප විශේෂඥ වෛද්‍යතුමිය සමග සායන වටයට සහභාගී වෙමින් සිටියදී හෙදිය විසින් මා කැඳවාගත්තේ, " ඩොක්ටර් ස්ටැට් ඇඩ්මිෂන් එකක්" කියමිනි.
ස්ටැට් නම් එවෙලේම එසැනින් බැලිය යුතුය !

අවුරුදු එකොළහක ගැහැණු දැරිවියකි. කලාන්ත වූ බවක් පවසයි. සිනහවක් නැති මුහුන වේදනාවෙන් සිටින බවක් පෙන්වයි.
"මොකද පුතේ උනේ" මම අසද්දී
"දන්නෙ නෑ ඩොට්ටර් " යනුවෙන් ඇය අසල සිටි වයස්ගත කාන්තාව පිළිතුරු බඳින්නට විය.
"ඔයා කවුද අම්මා ද?

මේ දරුවාගේ වැඩිහිටියා ලෙසින් ඉදිරිපත් වී සිටියේ ආච්චී ය.

එකකට එකක් නොපෑහෙන අමාරුකම් බොහෝමයක් ඇය පවසයි. පාසැල් යන්නට ද අකමැති ය. ඇය කියූ ආකාරයට මේ දරුවා බොහොම සතුටෙන් කිසි දුකක් නැතිව ඇති දැඩි වේ. එනමුත් මෙවැනි කතා සිය ගණනක අත්දැකීම් ඇති අපට නම් බොරු කියන අය තෝරා බේරා ගන්න බොහෝම ලේසි බව ආච්චීට වැටහෙන්නේ නැත. හෝරා කිහිපයකින් අම්මා පැමිණියත් ඇය පැවසුවේ දරුවන් සිටින්නේ ආච්චිත් සමග බවය.  දරුවන් මව්පිය සෙනෙහස් ආදරය නැතිව වැඩෙන බවක් වැටහේ.

පසුව ඇති වූ කතාබහකදී මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍යතුමන්ට මේ දරුවා පැවසුයේ ජීවිතය නැති කරගන්නට පවා සිතෙන බවකි.
අවුරුදු එකොළහක දරුවෙක්ට ජීවිතේ නැති කරගන්න හිතෙනවානම්, නිවස අත් හැර දමා කොහේ හෝ යන්න හිතෙනවානම් එය බරපතල ඛේදවාචකයක් යැයි මට සිතේ. ඇගේ කතාව අගමුල සොයා ගැන්ම අපහසු වී ඇත්තේ හරියාකාරව ඇත්ත දකින්නට අපොහොසත් වැඩිහිටි පිරිසක් නිසා ය. දැන් ඔවුන් මේ දරුවාගේ මානසික ආතතිය නිසා ඇති වී ඇති මේ තත්වයට පිළියම් සොයන්නට යන්නේ තොවිල් පවිල් වලිනි.

වෛද්‍යවරුන් ලෙස අප කරන්නේ රෝගාබාද මැඩලීම පමණක් නොවේ. සමාජ සාධන කටයුතුත් ඒ අතරේ වේ. බොහෝමයක් එහෙමයි. සුළුතරයක් එහෙම නොවන අයත් සිටින බව අවබෝදයෙන් දනිමි. කිසිවෙක් කර දෙන තෙක් සිටින්නේ නැතිව අපිම පිළියම් සෙවීමට උත්සුක වන්නෙමු. මන්ද අප මේ ගොඩ නගන දේ අපට නොව අපේ අනාගත දරු පරපුරට පමණක්ම නිසා ය.

මෙහි ඇතුල් වෙන බොහෝ දරුවන් අඩු බර සහිතය. ඔවුන්ගේ ගිලී ගිය දෙනෙත් කෝටු අත පය මවෙත ඉතිරි කරන්නේ දැඩි දුකකි.  දැන් නම් පෝෂණය සම්බන්ධ පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරියක් සිටින නිසා ඇය මේ දරුවන් සහ භාරකරුවන් සියල්ලන්ම තනි තනිව හමුවී ඔවුන්ගේ ආහාර වේලෙහි අඩුපාඩු සොයා බලයි. නමුත් ආර්ථික අහේනියකින් පෙළෙන බොහෝ පවුල් වල මේ පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුව දෙනවදැයි සිතිය නොහැකිය.
මේ දරුවන් බොහෝමයක් ආත්තම්මා හෝ ආච්චිගේ සෙවනෙහි ඇති දැඩි වේ. මව රට යෑම හෝ දෙන්නා දෙමහල්ලන්ගේ ආරවුල් නිසා දුක් විඳින්නේ තැලෙන්නේ මේ සිත් පොඩිති ය.

ඔය අතරේ තමයි මේ කවි පද පබඳින්නේ... සායන වලදී වාට්ටුවේදී මුණ ගැහෙන මේ කුඩා දරුවන් මගේ දෙනෙතට කඳුළු ගෙන දේ.

කඳුළු සිතුවම්…. (මනුපුර සක්මන කවි පොත )

කාසි පස්සෙම දුවන ජීවිත කෙරූ පව් ගැන නෑ හොයන්නේ
ගෙන්දගම් නගරයේ රස්නෙට නොවෙද හදවත තව දැවෙන්නේ
දුකින් බර නෙත් කඳුළු සිතුවම් කෝටු අතපය ඇස ගැටෙන්නේ
සැපක් සතුටක් නොමැති ලෝකෙක අනේ පොඩි උන් අපි තැවෙන්නේ

අම්මෙ දරුවා කන්නෙ නැද්දෝ නිතර එන උන් හා අහන්නේ
අම්ම නොව මං ආත්තම්මා මුන්ගෙ අම්මා නෑනේ නෝනේ
එක්කො එතෙරය නැතොත් මෙතෙරය එතෙර ගිය උන් නැහැනෙ එන්නේ
මෙතෙර දෙන්නා මරා කා ගෙන අම්මා වෙනතක රැඳී ඉන්නේ

කුණු කරත්තේ තල්ලු කරලයි මාත් නෝනේ දිවි ගෙවන්නේ
ඒකි ගිය හැටි අනේ පුදුමයි දරුවො දෙන්නත් මං බලන්නේ
අප්පා බස් වල ටිකට් කඩලයි පුංචි උන්ගේ බඩ පිරෙන්නේ
වැඩිය විස්තර ඔබට මොකටද බෙහෙත් වඩියක් ලියලා දෙන්නේ 

දැවුනු හිත් දැලි අඟුරු විලසට බොහෝ වියළිව සුසුම් ලන්නේ
නොවක් කරදර දරා ගන්නට මෙහෙම ගොරහැඩි වෙලා ඉන්නේ
බිමට බරවූ, කඳුළු පිරි නෙත් මගේ හදවත දවාලන්නේ
අත හැරුනු මව් සෙනෙහෙ සුවඳක් පුංචි හිත තවමත් තලන්නේ

පද බැඳුනු කවි පදත් අත ගා බලමි නෑ නොවැ හිත හැදෙන්නේ
වෙද නලාවත් අතේ දවටන් සැබෑ ලොව වෙත යලි දුවන්නේ
සිනා විසිරෙන හිතක් පුපුරා ඉකි ගසන හඬ තව ඇසෙන්නේ
රෝග දුක් මැඩලනා පුරයට හෙමින් පා ඔසවමින් යන්නේ


ලේන්සුවෙන් වැසූ දරුවාගේ කතාවට පසු, එවැනි අඟ හිඟපාඩු ඇති දරුවන් සඳහා පාවිච්චි කරන ලද එහෙත් ඉවත නොදැමූ ඇඳුම් සහ සෙල්ලම් බඩු බොහෝමයක් සොඳුරු හිත් ඇත්තන් අප වාට්ටුවට විටින් විට ගෙනැවිත් දේ.

අගනුවර රෝහලක් වුනාට, ළඟදී මහ රෝහලක් බවට පත්වුනාට මෙහි බොහෝ අඩුපාඩු තිබේ... වාට්ටුවේ තවම ඇත්තේ සිමෙන්ති බිමකි.

විටින් විට අපි සිටින මේස තබා ඇති කොටස සහ කොරිඩෝ, වාට්ටු බිම රතු පේන්ට් ආලේප කරත් ඒවා වියැකී යන්නේ බොහෝම ඉක්මනිනි.. ඒ මේ රෝහල් වල බිම සහ බිත්ති නිතර නිතර හෝදන පිරිසිඳු කරන නිසාය. මං හිතන්නේ දිනකට දෙවරක්වත් මේ බිම මොප් කරති.

දැන් අපි වෙහෙසෙන්නේ මේ  වාට්ටු බිම ටයිල් කර ගැනීමට උදව් උපකාර ලබා ගැනීමය ( රජයෙන් නොකරනවා නොවේ.. කරදෙන්න ගතවෙන කාලය බොහෝ දිගු ය. ආණ්ඩුවෙන් කර දෙන තෙක් බලා ඉන්න වුනොත් එය සිදුවන්නේ අවුරුදු ගණනාවකට පසුවය. එය අද ඊයේ නොව පෙර සිටම එසේමය)

ඊළඟට කොරිඩෝ වල දැල් ආවරන පමණක් තියෙන නිසා වැස්සකට හාත්පස තෙමේ... මේවාට ආවරණ
සපයන්න බොහෝ දෙනෙකුට අපි දැනුම් දුන්නත් එය තවම නම් සිදුවුනේ නැත.. රෝගී දරුවන්ට ඇති පුස්තකාලයත් සෙල්ලම් කරන ප්ලේ රූම් එකත් ඇත්තේ එවැනි කොරිඩෝවකට දැල් ආවරණ යෙදූ කොටසකය. මීයන් ඔහේ ඇතුල් වේ පිටවේ. සර්පයින් පවා වාට්ටුවට ඇතුල් වෙන්නේ ඒවායෙනි. එකෙක් දෙන්නෙක් රාත්‍රියේ පොළවේ නිදා උන් මව්වරුන් අසලින් යද්දී ඇස ගැටුනු නිසා විනාශයක් සිදු නොවීය. 


ඒ අතරම එච් අයි වී ඇතැයි සැක සිතමින් දරුවෙක්ට පාසැලක් පවා අහිමි කරන්නට තරම් මා පිය පිරිසක් සහාසික වී තිබේ.
"කොයි දව්වත් දව්වෙක්" යැයි පවසමින් බලු පැටව් පූස් පැටවුන්ට පවා කරුණාව පෑ ආත්තම්මලා අත්තලා සිටි රටක, බුදු දහමේ සීල සමාධි ප්‍රඥා වෙන් ආලෝකය ලබන්නට, පෝය දාට පන්සල් පිරී ඉතිරෙන රටක ඇත්තෝ මෙසේ හැසීරීම කොයි තරම් නම් විහිළුවක් දැයි මට සිතේ.

විපතට පත් දරුවාට සහනයක් සලසමින් අන්තර් ජාල සහෘදයෙක් පවසා සිටියේ ඔවුන් මේ අයට උපකාර කරන්නට සිතන බවය. ඒ නිසා වගකිවයුතු අංශවලට කල විමසීම් වලදී හෙලි වුනේ මේ දරුවාට හෝ මවට (මිය ගිය පියාට වත්) HIV වෛරසයෙන් ආසාධිත නොවන බවට පරීක්ෂන වලින් ඔප්පු වී ඇති බව ය. මේ ගැටළු සහගත තත්වය හරියාකාරව කරුණු කාරනා නොදන්නා, හෝ නො පිළිගන්නා වැඩිහිටි සමාජයක් විසින් ඇති කරන ලද්දකි. දැන් මේ දරුවා සහ මව සමාජයේ, ගමේ සෙසු පිරිස වෙත ඇතිකරගන්නේ වෛරයකි.

දරුවාට පීඩාවක් නොවන පරිදි මේ තත්වය මැඩලන්නට උත්සුක වුනානම් කෙතරම් අගනේ ද ?
වෛරස්, බැක්ටීරියා, දිලීර පරපෝෂිතයන් කොතෙකුත් පරිසරයේ සිටිති. ඔවුන් සංසරනය වන සහ අප ශරීරයට ඇතුල් වන අයුරු වෙනස් ය. HIV නම් රුධිර පාරවිලයනයකදී හෝ, රුධිරය ආසාධිත තරල ශරීරගත වීමෙන් පමණක් මේ රෝගයෙන් ආසාධිත වෙන්නට පුළුවනි. එන්නත්, හෝ පාරවිලයන වැනි ආකාරයේ රුධිර ශරීරගතවීමක් මගින්, ලිංගික සබඳතා මගින්, ආසාධිත මවකගෙන් දරුවාට මව් කිරි ඔස්සේ ලෙස මේ තුන් ආකාරයෙන් එය ශරීරගත විය හැක.
මේ මිනිසුන්ට ඇත්තේ අනියත බියකි. කැස්ස හෙම්බිරිස්සාව හැදෙනවා වගේ වාතය මගින් ඒඩ්ස් බෝ නොවේ. ඒවාගේම වැළඳුනු කෙනෙන් ඇල්ලුවාය කියාත් බෝ නොවේ ( වෛද්‍ය ශිෂ්‍ය අවධියේ අපිට නම් ආසාදන ගැන තියෙන පාඩම් මාලාවේදී ඔවුන් මුණ ගැසී පරීක්ෂා කර බලා, කුඩා දරුවන්නම් වඩාගෙනත් තිබේ)  ඇල්ලූ හෝ එක ළඟ වාඩිවී සිටි පමණින් බෝ වෙන්නේ නැත. අප රටේ සෞඛ්‍ය අධ්‍යාපනය ගැන ද මානුෂීය ගුණධර්ම ගැන ද ඇතිවෙන්නේ කම්පාවකි.

අනිත් කොන කතා පොතට මා ලියූ යුධ අවසානයේ උතුරේ රෝහල් අත්දැකීම් කතාන්දරයක කොටසක් මතක් වේ...

                    සැත්කම් කරද්දී බොහෝ විට ඉඳිකටු අතේ ඇනෙයි. සමහර විට රුධිර නාලිකා පිපිරේ. බොහෝ විට පෙකණිවැල කපද්දී රුධිරය දස අත විදිමින් විසිරේ.. අපේ නිරාවණය වූ මුහුණේ කොටසේ , ඇස්.. වල තැවරේ. මාතෘ හා ගැබිණි වාට්ටුවල සෑම අම්මෙක්ටම VDRL පරීක්ෂණය කර නොතිබිනි. (යුද්ධය හමාර වූ කාලයේ ය. ඔවුන්ගේ සායනික කාඩ් පත පවා නැතිව පැමිණේ.) හදිසි අවස්ථාවක කිසිවක් පරීක්ෂා නොකෙරේ. ඔවුන්ගේ රුධිරය කැපුම් තුවාල ඔස්සේ අප ශරීර ගත වේ. HIV , ඒඩ්ස් තිබෙනවාදැයි වත් නොද නී.
සීමාවාසික කාලය පටන් ගත් මුලදී නම් කැපුමක් මසද්දී අතේ ඉඳිකටුවක් නො ඇනුනු දිනක් නොවීය.
දිනක් සීසේරියන් සැත්කමක් අවසානයේ අත් වැසුම් ගලවද්දී මා දුටුවේ ඉඳිකටු පාරක් ඇනී ඇති අන්දම. ඉතා දුක්බරව..
"අපොයි අම්මාට භයානක ලෙඩ නොවේවායි ප්‍රාර්ථනා කරනවා " යි මම කියද්දී , නිර්වින්දක වෛද්‍යවරයා මා වෙත එමින් පැවසුවේ. රුධිර නාලිකාවට කැනියුලාව ඇතුල් කිරීමටයද්දී ඒ අම්මා දැඟලූ නිසා කටුව ඔහුගේ ඇඟිල්ලේ ඇනුනු බවයි. " මගෙත් ඇනුනා, හැදුනොත් අපි දෙන්නටම ..." ඔහු හිනාවෙමින් පැවසුවේය.
~ අනිත් කොන - a doctor's heart sutra ...

9 comments:

  1. මනුසත් බව හිමි මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද> කාලීන මතෘකාවක් ගැන අගේට ලියල . සුබ පතමි යෙහෙළියේ

    ReplyDelete
  2. //මගෙත් ඇනුනා, හැදුනොත් අපි දෙන්නටම ...// සුන්දර මිනිස්සු

    ReplyDelete
  3. මේ කියා ඇති දේවල් වලට අමතරව වෛද්‍ය ආචාරධර්ම නිසා නොකියා සිටින දේ මීට වඩා බොහොම වැඩි යයි සිතනවා. බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන. මෙහි අවසානයට රතුපාටින් ඇති කොටස උපුටාගෙන අටම්පහුර අඩවියේ කමෙන්ට් එකකට අදාලව පළකරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බොහෝ දේ ලියන්නේ නැතිව ඉන්නේ ආචාරධර්ම නිසා තමයි. මතුපිටින් සියල්ල ලියන්න වෙලා තියෙන්නේ. මේ අය ගේ හැසිරීම නම් මා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක්. හොඳයි ඉස්පිරිතාලෙකට ගියා කියලා අපි ඔහොම බෙද බෙදා වෙන්කරමින් හැසිරෙන්නේ නෑනේ... අනික අපිට නම් හදිසි අවස්ථාවකදී අපේ ජීවිත ගැනවත් හිතෙන්නේ නෑ. මේ වගේ ගම්වල මානසිකත්ව හදන්න නම් කොහෙන් කොහොම අය එන්න වෙයිද මන්දා !

      Delete
  4. වෛද්‍ය වෘත්තීය, හෙද වෘත්තීය, උපස්ථායක වෘත්තීය (සමහර විට ගුරු වෘත්තීය) යනු සදෙව් ලොවට මෙන්ම සතර අපායට ද විවුර්ත කරගත හැකි දොරටු ඇති මාවතකි. සමහර උතුම් මිනිසුන් වෘත්තියේ යෙදෙමින් තමන්ට පමණක් නොව තම මවුපියන්ටද දරුවන්ටද දෙවු ලොවයාමට ඇති තරම් පින් කරගනිති. ඔබද ඒ ගොඩට අයිතිවන බව මම සිතමි.

    එහෙත් අවාසනවන්තයන් කොටසක් (ප්‍රතිශතය ඔබ තීරණ කරන්න) එම වෘත්තීන්ම කරමින් හත්මුතු පරම්පරාවට අපායේ දොරටුව විවර කරදෙති.

    (සමහර කොටස් ලංකාදීප පුවත් පතේ පලවන) රත්මලාන දහම් පර්යේෂණ ආයතනයේ හෑගොඩ විපස්සී ස්වාමීන් වහන්සේගේ පර්යේෂණ වල සමහර සොයාගැනීම් (සමහර වුර්තිකයන් දිවියේ සැන්දෑ සාමය ගෙවූ ආකාරය වැනි ඉතා සදෘශ සාක්ෂි සහිතව) මේ වෘත්තිකයන්ට දැනගැනීමට සැල්ස්වීමෙන් මේ අපාගත වීමට වැඩ සලසා ගන්න අයද ටික දෙනෙක් හෝ බෙර ගත හැකි වේ යයි සිතමි.

    ReplyDelete
  5. දරුවන්ට ලස්සන යහපත් රටක් ගොඩනඟන්න අපට කවදා නම් හැකි වේවිද?

    ReplyDelete
  6. මනුස්සකම සමඟ නිබඳ ගැටෙන , “මනුස්සකම“ පිරෙන ( අවාසනාවට සමහරෙකුට එසේ නොවුනත්) සේවාවක රැඳෙන ඔබගේ ලිපි හැමදාමත් කියවනවා , කොමෙන්ට් නොකළත් හැමෙකකම. මේ හැම ලිපියක්ම , මා මගේ “සුන්දරම වෘත්තීය“ කාළයට නැවත නැවතත් අරන් යමින් නැවත ඒ අතීතය තුල නැවත රඳවනවා.
    ස්තුතියි මේවන් මිනිසත්කම ගැන කතාකෙරෙන “වටිනා‘ දේ සිංහල අකුරින් අන්තර්ජාලය තුල රඳවනවාට

    ReplyDelete
  7. පාසලක් නැති වුන අර දරුවාගේ කතාව ඇහුව වෙලාවේ මටත් මතක් වුනේ අතේ ඇනෙන ඉදිකටු ප්‍රමාණය . මේ තරම් පටු දැනුම අඩු මිනිස්සු මේ තරම් ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා කියල හිතන්නත් අමාරුයි එක වෙලාවකට. කොහොම වුනත් දැන් ඒ දරුවට පාසලක් දෙන්න සහිරා විධ්යාලයත් ට්‍රිනිටි විද්‍යාලයත් ඉදිරිපත් වෙලා කියල දැනගන්න ලැබුණා. ඒ පුවත අත්තක් නම් ඒ පාසල් බලධාරීන් කරන්නේ ලොකු පිනක්. ඒ වගේම ආදර්ශයක්.......

    ReplyDelete
  8. අතේ එන්නතක් ඇනීමෙන් වෛද්‍යවරියකුත් ඒඩ්ස් වැළඳී මිය ගියපු සිදුවීමක් පහු ගිය කාලෙ අහන්න ලැබුණා.අවසාන ටික කියද්දී ඒක සිහිපත් වුණා..

    අපේ රට දරුවන් ගැන සලකන අන්දම ගැන කණගාටු හිතෙනවා.අර පුංචි දැරිය සිය දිවි නසාගන්න තරම් මානසික පීඩනේකට ලක් වෙන්න කොයි තරම්
    කණගාටුදායක වාතාවරණයකද ජීවත් වෙනව ඇත්තෙ.ඒඩ්ස් වැළඳුණූ පියාගේ දරුවගෙ ඉරණමත් ඉන් වෙනස් නැහැ.නූගත්කම තිබුණා කියල කොහොමද තමන්ගෙම දරුවන්ගෙ වයසෙ අහිංසක දරුවෙක් ඔහොම මානසික පීඩාවට ලක් කරන්නෙ.ට්‍රිනිටි විද්‍යාලයෙන් ඒ දරුවා භාරගන්න සූදානම් බවක් කියා තිබුණා.මේ වගේ තත්වයක් යටතේ සමාජයට වෛර කරන දූ දරුවන් බිහි වීම පුදුමයක් නෙමේ..

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !