"ඩොක්ටර් මට හොඳට සිංහල පුළුවන්" සත් මස් හැවිරිදි ගැබිනි මව ඉතා පැහැදිලි සිංහලෙන් කියද්දිත් මා විශේෂ පුදුමයක් , සතුටක් හෝ ප්රතිචාරයක් දැක්වූයේ නෑ. එහෙම කියද්දී මගෙන් ඈ එවැන්නක් බලාපොරොත්තු වූ වගක් මට හොඳටම තේරුනත්, නෑ මම "ආ" යනුවෙන් සඳහන් කොට ඊළඟ ප්‍රශ්නය ඇසුවා. ඒත් දෙමලෙන්...
"ඩොක්ටර්ට පුදුම නැද්ද මං සිංහල කතා කරන එක... කඳවුරේදී මම ආමි එකට උදව් කලා දෙමළ සිංහල දෙකම මට පුළුවන් නිසා, මිනිස්සුන්ව ලියා පදිංචි කරද්දි, ඒ ඔෆිස් වලදි" ඇය නැවත පැවසුවේ ඇය ට විශේෂ සැලකිලි උවමනාවෙන්දැයි මට සිතුනා.
අපට සායන වලට එන සියල්ලන්ම එකය. ඇයට ප්‍රතිචාර දැක්වීමෙන් අවට සිටින අනිත් මව්වරුන්ට ඇය කෙරෙහි අප විශේෂිත වේයැයි සිතෙන නිසා අපි එලෙස එවැනි දෑ වලට ප්‍රතිචාර නොදක්වමු. ඇය මාගෙන් ප්‍රශ්න කරන්නේ පැහැදිලි සිංහලෙනි.
"ආ ගොඩක් හොඳයි. අපිට සිංහලෙන් කතාකරන්න පුළුවන් වේවි. " එදින සායනය අවසන් වූ පසු ඈ පිටව ගියාය.
ඉන්පසු නැවත ඈ මුණ ගැසෙන්නේ දරුවා ලැබීමට රෝහල්ගත වූ පසුය.
"ඩොක්ටර් මතකද මාව" ඇය සිනා මුසු මුහුණින් ප්‍රශ්න කරයි.
"මොකද අමතක " මා කියද්දී ඇත්තටම සුරූපී ඇය ගේ මුහුණ තවත් විකසිත විය.
ඇතුලත් වීමේදී පිරවිය යුතු ඇඳ ඉහපත් සටහන් සියල්ල පුරවා, පරීක්ෂා කර අවසානයේ ඇයට ඇඳක් ලබා දුනිමු. ඉන්පසු රාත්රී වාට්ටුව බැලීමට පැමින සායන වටය අවසානයේ අප විශේෂඥ වෛද්‍යවරයා නික්ම ගිය පසු ඈ නැවත අප මේසය තිබුනු කොටසට පැමිණියා.
"ඩොක්ටර් මේ..... මම ඩොක්ටර්ට පෙන්වන්න ගෙනාවා" ඇය මා වෙත පැමින ඇය අතේ තිබුනු බ්‍රවුන් පේපර් බෑග් එකකින් යමක් එළියට අදිමින් පැවසීය.
"මගේ ෆොටෝ" එය තුලින් ගත් ඇල්බමයක් මට දික් කළාය.
"මගෙ කතාව ඩොක්ටර්ට කියන්න ඕනේ" ඇය අසල තිබුනු ප්ලාස්ටික් පුටුව ඇද ගත්තාය.
පැහැදිලි සිංහල කතා කරන ඈ මා අසලට විත් ඇගේ කතාව බෙදාගන්නට හදයි. කතා අහන්නට කැමති මා ඇය වෙනුවෙන් තව කාලයක් වාට්ටුවේම රැඳුනෙමි.
" මේ මගේ ලොකු බබා, මේ එයාගේ ඉපදුනු කාලේ ගත්තු ෆොටෝ. මගේ ගම මෙහේ, ඒ කාලේ මෙහෙ නිදහස් නෑ.... මේ මගේ කලින් මහත්තයා. එයා දැන් නැහැ , එයා ත්‍රස්තවාදී සංවිධානෙට බැඳිලා හිටියේ. එයා මැරුණු බවක් තමයි දැන ගත්තේ. "
ඇය පෙන්වන ෆොටෝ වල සිටින අයවලුන් පෙන්ව පෙන්වා පවසයි.
"අපි පුදුම දුකක් වින්දේ ඩොක්ටර්.... එයා නැති වුනාට පස්සෙ මමයි පුතයි අනාථ වුනා. අන්තිම යුද්ධෙන් පස්සෙ අපි හිටියේ කඳවුරේ. මට සිංහල පුළුවන් මං ඉගෙන ගත්තේ කොළඹ, මට ලියන්නත් පුළුවන් එනිසා මාව කඳවුරේ ඔෆිස් වැඩට ගත්තා. " ඇයගේ දක්ෂකම් ගැන ඇය පවසයි. ඇය ඔෆිස් වැඩ යනුවෙන් සඳහන් කරන්නේ, ලියාපදිංචි කිරීම්, ගණනය කිරීම් විය යුතුය. ඒ සඳහා භාෂා පරිවථකලාගේ සහාය අවශ්‍ය වනු ඇත.
"ඩොක්ටර් දන්නවද කඳවුරේ කොයි තරම් බිසී ද කියලා" ඇය කඳවුරු ජීවිතය ගැන පවසයි.
"මාත් ඇවිත් තියෙනවා සායන වලට" මම ද ඒ අතීතය සිහිපත් කරමින් පැවසුවෙමි.
එකළ කිලෝමීටර ගණනාවක් ගෙවාගෙන අපි කඳවුරු පරිශ්‍රයට යෑම් ඊම් කළෙමු. මානසික වෛද්‍ය ඒකකයේ සිටි එකම සිංහල වෛද්‍යවරිය නිසා ඒ ගමන් බිමන් වලදී මට වාහනයේ ඉදිරිපස අසුන හිමි විය. එය ගමන බිමනට වඩා පහසු විය. මුර කපොළු වඩා සුහද විය. කඳවුරක් කීවද, එය කුඩා ගම්මානයක් මෙනි. දරුවන්ට පාසැල් පැවැත්විනි. ලෙඩ දුකට සායන, රෝහල් පැවැතිනි.
"කඳවුරේදි මගේ දැන් හස්බන්ඩ් හම්බුනේ. එයා දකුණේ, එයා ආමි එකේ. එයා හරිම හොඳයි " ඇය පවසද්දී සිතුවිලි ගණනාවක් මගේ හිත තුල සක්මන් කරන්නට විනි.
පලමු දරුවාගේ තාත්තා ත්‍රස්තවාදියෙකි. දෙවන දරුවාගේ තාත්තා සොල්දාදුවෙකි, දරුවා ලැබුනු පසු ඇය පිටවී ගියේ, මේ කතාව මෙලෙස ලියන්නටද කියා ඇසූ මට "අනේ ලියන්න" යැයි පවසමිනි. ඉන්පසු ඇය නැවත මුණ ගැසුනේ කැන්ටිමේ දීය. මා දැක මසක් පමණ වුනු දරුවාද රැගෙන තවත් අවුරුදු 5 ක පමණ දරුවෙක් අතින් අල්ලාගෙන මා අසලට දිව විත්.
"මේ ඉන්නේ ලොකු පුතා, මේ ඩොක්ටර්... මේ බබාට මාසයක්... දැන් ක්ලිනික් ආවා" සිනහා මුහුණින් පැවසුවාය. එහෙ මෙහෙ දුවන ඇගේ පළමු දරුවා හුරුබුහුටිය.
බිස්කට් චොකලට් රැසක් ගෙන ඔහුට දුන්විට ඒ කුඩා මුහුණ ආලෝකමත් විය.
"තැන්කූ" ඔහු පැවසුවේය.
"මම ඉගැන්නුවේ බබාට ඉංග්‍රීසි සිංහල" ඇය පැවසුවා ය.
"මහත්තයා ඇවිත් ගියා. එයා වැඩ , කොළඹ, එන මාසේ අපිව එහෙ එක්ක යන්න එනවා කීවා " ඇය මා දෙස බලාගෙන කියවයි. අතේ සිටින දරු පැටියා, මවට තුරුල් වී සිටී.
" ආයේ ආවම ඩොක්ටර් බලන්න එන්නම් " ඇය එසේ කියා පිටවී ගියා ය. නමුත් ඉන්පසු කිසි දිනක මට ඇය හමු නොවී ය. යුද්ධයේ අතුරු කතාන්දර හැම විටම දුක්බර නොවේ යැයි මට සිතේ.