කොන්ඩය දිගට වවාගත් රැවුල් කොට සහිත මුහුණේ තිබුනේ භයංකාර පෙනුමක්. බැලූ ගමන් මට තේරුනේ ඔහු බීමතින් සිටි වගයි. බලෙන්ම වගේ සහායකයන් දෙදෙනෙක් ඔහුව පුටුවට තියා අලවාගෙන වගේ සිටියා. මොනවා කරන්නද , කවුරු ආවත් කොහොම මොන තරාතිරමක කෙනෙක් වුනත් පරීක්ෂා කර බලා බෙහෙත් හේත් කළ යුතුයි. ඒ අපේ රාජකාරියයි. හදවතේ ගැස්ම වේගවත් වීම මට දැනුනත් අනික් අයට දැනෙන්නේ නෑනේ එනිසා නිර්භීතකමක් මවාගෙන මා ඔහු ඉදිරියට ගියා. "මේ මොකද මේ ?" මගේ උස් හඬින් සහායකන් දෙදෙනා ඈත් වුනා. ඔවුන්ගේ මුහුණේ තිබ්බෙත් මහ භයානක පෙනුමක්. අත් වල තැනින් තැන පච්ච කොටා තිබුනා. ඇඳන් සිටි ඇඳුම් වල උනත් මහ නගරං පෙනුමක් තිබුනේ.
"මොකද්ද අමාරුව " මම දෙතුන් වරක් විමසුවෙමි.
" ඩොක්ටර් දැනගන්න එපැයි මට තියෙන ලෙඩේ, මම කියන්න ඕනේද ඒකත් " බීමතින් වැනෙමින් සිටි මොහු හා කතා කර පලක් නොවන බැවින් සහායකයන්ගෙන් විමසූ විට ඔවුන් නගරයේ ප්‍රධාන වෙළඳ පොලේ පිරිසක් බවය. බැලූ බැල්මට වෙළෙන්දන් නොවන බවනම් වැටහුනි.
"ඩොක්ටර් එනවා නේද මාර්කට් එකට " එක් අයෙක් විමසුවේය. ඒ අලුත් හිතවත්කම් හදා ගැනීමටය. "හ්ම්ම්... " මා අපහසුතාවයට පත්වෙනු දුටු විට අප රෝහල් වාට්ටුවේ සාත්තු සේවකයින් දෙදෙනෙකු පැමිණ සහයකයින් පිටමං කළෝය. දෑස් පියැවී හිස පහත් කරගෙන අධික බීමත් කමින් සිටි මොහු හා කතාබස් කිරීම තේරුමක් නැති හෙයින් ඉක්මනින් පරීක්ෂා කළයුතු වූයේ විෂවීමක් වී ඇත්නම් කඩිනමින් ප්‍රතිකාර කළයුතු නිසාය. නම කියා කතා කළ සැනින් අත පය විසිරුවමින් නැගී සිටියේ රණ්ඩුවකට සැරසී ගහ ගන්නට මෙනි. ඒ ඇසිල්ලේ දුටුවේ සාක්කුවෙන් ඉවතට පැන තිබූ උල් පිහියා තුඩක් වැන්නකි. පුද්ගලයා භයානක කෙනෙක් වැනිය. හෙද සොයුරන් පැමිණියෙන් ඔවුන්ගේ සහයද ඇතිව සාත්තු සේවකයා සාක්කු සියල්ල පරීක්ෂා කරන ලදි. කිණිස්සක්, බ්ලේඩ් තලයක්, උල් ආයුධ එක්කම කැරට් අලයක්, මිරිස් කරල් කිහිපයක්ද සාක්කුවෙන් මතු වුනි. සියල්ල අප භාරයට ගන්නා ලදි. ඔහුට අවශ්‍ය හදිසි ප්‍රතිකර්ම සියල්ල කර තත්වය භයානක නොවූයෙන් දැඩි පරීක්ෂාව යටතේ තබන ලදි. මෙවැන්නෝ නිතර මා සේවය කළ කායික රෝග වාට්ටුවට ඇතුල් වෙති. එන්නේ අසිහියෙනි. බාර් එකකට පඩි පත පූදා සිහියත් විකල්ව පැමිනෙයි. සිහිය පැමිණෙන විට එක්කෝ සාක්කුවටම කිසිවෙක් විද ඇති බවක් පවසයි. ගෙදර යන්නවත් සල්ලි නොමැති බව කියයි. ගෙදර අයට දන්වන්න එපා යැයි අයදියි.
මහ රෑ මැද එසේ පැමිණි අයෙක් මහ රෑ ඇඳ මත නැගිට මූත්‍රා කරන්නට පටන් ගත් විට ඔහුව සන්සුන් කළේ නිද්‍රා සහගත බව ඇති කරන ඉන්ජෙක්ෂන් විදීමෙනි. තවත් අයෙක් පරීක්ෂා කරනන්ට යද්දී දකුණු අතෙන් එල්ල කර පහරින් නොවැටී සිටියේ අමාරුවෙනි. සිහිය ආ පසු නම් දොස්තරට පහර එල්ල කළ එක ගැන ඔහු හරිම කනස්සල්ලෙන් පසුවූවා. කිහිප ගමනක් සමාව ඉල්ලුවා. සිහිය විකල්වෙච්චි මිනිස්සුනේ... ඔවුන් ගැන ඇති වෙන්නේ අනුකම්පාවක්.
පපුවේ අමාරුව සමග රෝහල් ගත කළ අයෙක් හවස අමුත්තන් පැමිණ ගිය පසු සිටියේ බොහෝ නොසන්සුන්වය... ගෙදර යා යුතු බවත් මෙහි සිටිමට බිය බවත් පැවසුවේය. හර්දයට රුධිරය සපයන රුධිර නාල අවහිර වීම නිසා ඇතිවන හාට් ඇටෑක් එකක් නිසා ඔහු හිටියේ හෙපරින් නම් පැය හතලිස් අටක් පුරා ශරීර ගත කරන එන්නත් කටු සම්බන්ද ස්වයංක්‍රීය බෙහෙත් පොම්පය සහිතවය. දැන් ගෙදර යා නොහැකි බව කී විට, නොසන්සුන්ව කටුව තමාම ඇද ගලවගෙන ඇඳ උඩට නැග කර්ටන් දමා තිබූ යකඩ සැකිලි ආදාරකයේ එල්ලී වාට්ටුවේ බිත්ති වලින් එළියට පැන්නේ කොරිඩෝවේ තිබූ ඇඳන් වල නිදා සිටි රෝගියෙක්ද පාගමිනි. යන්තම් එළියට දුවන්නට කලියෙන් අල්ලාගෙන විත් ඇඳට තබා බදින්නටත් වූයේ...ශරීරගත කරමින් සිටි බෙහෙත නිසාය. (ඇතැම් විට රුධිරයේ ඝනත්වය අඩු කරන බෙහෙත් වලින් මොළයේ රුධිර නාලිකා පුපුරා ගිය හැක එවිටද නොසන්සුන් හැසිරීමක් හෝ කලබල ගතියක් ඇතිවිය හැකිය) නමුත් ඊළඟ දින ආරංචි වූයේ... පැමිණි හිතවතෙක් ගංජා සහිත මත් ද්‍රව්‍යයක් දී තිබුනු බවය.මුළු රාත්‍රියේ අප සිටියේ අවදියෙනි... ඒ මොහුගේ ජීවිතය බේරා ගැනීමටයි... යම් කිසි විදිහකින් මොහුගේ ජීවිතයට යමක් සිදුවූයේනම් ? එනිසා යුද්ධයෙන් පසු කාලයේ කෙමෙන් ලිහිල් කරමින් සිටි වාට්ටුවල නීති රීති යළි තද කරන්නට සිදු වුනි... වාට්ටුවට ගෙන එන සියලු කෑම බීම අධීක්ෂනය කරන්නට හෙද හෙදි නිළධාරීන්ට සිදු වුනි. ප්ලේන්ටි ආකාරයෙන් ෆ්ලාස්ක් වල මත්පැන් ගෙන එන පිරිසක්ද සිටියෝය. තාවකාලික වින්දනයක් වෙනුවෙන් මිනිසුන් තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සැරසීම ශෝකජනකයි.
- දිනුක ජයකොඩි ලියූ උං බිව්වා කියලා අපි මැරෙන්ඩ ද? මේ ප්‍රශ්ණය ගැන පුළුල්ව සාකච්ජා කරන කදිම ලිපියකි.
ආ අර වෙළඳ පොළේ මනුස්සයා නම් සිහිය ආ පසු බොහොම ලැජ්ජාවෙන් සිටියා, ටිකට් කපන්න කලින් අතුරුදහන් වුනා. හැබැයි පොළේදී දැක්කම නම් නිතර සිනහවකින් සංග්‍රහ කළා. මොනවා කරන්නද ? සමාජයේ සියළු තරාතිරම් වල මිනිසුන් අප වෙත පැමිනෙනවා. හැමෝටම එක වගේ බෙහෙත් කරන්නට සිදුවෙනවා. වරෙක මා ලියූවාක් මෙන් මේ මනුස්සයා මැරුනොත් හොඳයි ඩොක්ටර්... කියා ගමක කසිප්පු වෙළෙන්දා වාට්ටුවට ගෙන ආවිට අපට ගමේ අයෙක් කිව්වත්, මනුස්ස ජීවිතය සුරැකීමට අප වගකීමෙන් බැඳී සිටිනවා. එනිසා කොයි මනුස්සයත් අපට වටිනා ජීවිතයක් !
'මනුස්ස ජීවිතය සුරැකීමට අපි බැඳී සිටිනවා ' කියන එක දොස්තර කෙනෙකුගේ වගකීම වගේම අපි හැම දෙනාගේම යුතුකමක් කියලයි හැමෝම හිතනවා නම් අපි ජීවත් වෙන මේ ලෝකය වඩාත් සුන්දර තැනක් වේවි.
ReplyDeleteකොහොමටත් මත්පැනින් සිහි විකල් උණාම මිනිස්සු වෙනස්. සමහර ඔයවගේ මිනිස්සු ලඟ අනෙක් අය අතර නැති විදියේ හොඳ ගතිගුණත් තියෙන්ට පුලුවනි.
ඒකනම් ඇත්ත පොඩ්ඩ්. හැමෝම ළඟ හොඳ නරක අඩු වැඩියෙන් තියෙනවා. නමුත් වැරැද්ද නම් මුදල් ගෙවා මොවුන් කය ලෙඩ කරගැනීමයි.
Deleteඅද කොන් දෙකම (ලෝකයේ කොනක සහ අනිත් කොණ ) එකපාර පෝස්ට් දාලා...:D
ReplyDeleteඒක තමයි මම නෝටිස් කරෙත් පොඩ්ඩි ඒ බව කීවම තමා...ඒකනම් අපූරුම වැඩේ.... මට අන්තර්ජාල පහසුකම ලැබුනේ කාලෙකින්... හැබැයි සිදූ නම් ටිකක් දුෂ්කර කාලයක් ගතකරන්නේ , සීමාවාසික කාලය නොවැ... ඒක තමයි නිතර දකින්න නොලැබෙන්නේ.. අපිටනම් ටිකක් විතර වැඩ ලිහිල් වෙලා ඒ වයසට ගිය නිසා...ඒත් පාඩම් වැඩ නම් ගොඩ වැඩි වෙලා.... ඒ අස්සේ ගෙදර වැඩයි, සමාජ සම්බන්දතා සුරැකීමේ කාර්‍ය බහුලකමයි නිසා දැන්නම් වෙලාව යනවා දැනෙන්නේ නෑ පොඩ්ඩි
Deleteඅනිත් කොණ, ඔය වගේ වෙලාවට රෝහලේ තියෙන පොලිස් ඒකකයෙන් සහයෝගය ගන්න බැරිද? දැන් ඔය විදියට ආයුධ අරන්, එහෙම නැතිනම් ලේ පෙරාගෙන ආවොත් පොලීසියේ පැමිණිල්ලක් දානකල් ප්‍රතිකාර කරන්නෙත් නෑ කියලයි මම දැනගෙන හිටියේ.
ReplyDeleteබොහෝ විට මේ අය රැගෙන එන්නෙත් පොලිසියෙන් තමයි. මොහු ගැන දැන්වූයේ අර කිණිස්ස දුටුවාට පසුයි.ඒත් මාර්කට් එකේ එළවළු විකුණන්නෙක් ළඟ පිහියක් තිබිය හැකියි කියාත් සිතිය හැකි නොවේද ?
Delete'එහෙම නැතිනම් ලේ පෙරාගෙන ආවොත් පොලීසියේ පැමිණිල්ලක් දානකල් ප්‍රතිකාර කරන්නෙත් නෑ කියලයි මම දැනගෙන හිටියේ."
Deleteඅපොයි එහෙම බලාගෙන ඉන්නේ නෑ... දන්වනවා නමුත් කළ යුතු හදිසි ප්‍රතිකාර සියල්ල කඩිනමින් කරනවා. කුමන තරාතිරමක කෙනෙක් වුනත් ජීවිතය රැකීම වැදගත්
"එහෙම නැතිනම් ලේ පෙරාගෙන ආවොත් පොලීසියේ පැමිණිල්ලක් දානකල් ප්‍රතිකාර කරන්නෙත් නෑ කියලයි මම දැනගෙන හිටියේ." සමහර වෙලාවට ඔහොම එන අය ගැන පැමිනිල්ල දාන්න වෙන්නෙත් අපටමයි. සමහර වෙලාවල් තියනවා ඒ අය වත්තන් කරන් එන අයත් ලෙඩාට වැඩිය ඩෝප් වෙලා එන. තවත් සමහර වෙලාවට ලෙඩ්ඩු ලඟ ඉන්න අය හොරාට ඉනේ කිනිසි එහෙම ගහං ඉන්නවා අනිත් පැත්තෙන් රිටර්න් එක එයි කියලා.
Deleteවෛද්‍යවරයකුගේ දවස ගැන මේ තොරතුරු වැඩිදෙනෙක් දන්නවා කියල මං හිතන්නෙ නෑ. ඒකයි කලාතුරකින් පොඩි වරදක් උනාම කෙලවරක් නැතුව ඔක්කොම අයට බනින්නෙ අපේ මිනිස්සු..
ReplyDeleteඒවා කොහෙත් එහෙමනේ සරත් අයියා... ඇත්තටම දැන්නම් වෛද්‍ය සේවයත් වෙළඳාමක් වෙලා
Deleteබීලා එක එක කචල් දාගෙන එන අයගෙන් යම් දඩයක් රෝහලට අය කරගන්න ඕන කියලා කාලෙකට පෙර ආපු යෝජනාව ක්‍රියාත්මක කළා නම් හොදයි කියලා හිතෙන්නෙ ඔය වගේ මිනිස්සු එක්ක වැඩ කරන්න ගියාම තමයි. ඒත් ඉතින් ඕක ප්‍රායෝගික නැහැනෙ. ඇරත් ඇබ්බැහිවීමත්,බේබදුකමත් රෝගය ලෙස සලකනොකොට එහෙම හිතන්නත් බෑ
ReplyDelete