Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Pages
▼
Monday, December 3, 2012
මේවා එවන්නේ අනිත්කොණට...ඕස්ට්‍රේලියාවෙන් මනුස්සකම...
මතකද එක්තරා දිනක මම මෙසේ ලියුවා.... ඇමෙරිකාවෙන් ඇඳුම් සහ එකම ඇඳුම හෝදන්න සැත්කමෙන් පසු ඇඳෙන් බැස්ස හැටි ගැන. ඒ ලිව්වේ අපි එදිනෙදා දකින විඳින දුක් කරදර පොදි බැඳි ජීවිත වල එක්තරා පැති කඩක්. දැනට අවුරුදු 3 කට කලින් සිට සැරෙන් සැරේ ( ඉතා හෙමින්) ලියවුනු මේ සටහන් නිතර ලියන්න වෙලාව නැති කමින් පරක්කු වීම ගැන බොහෝ දුකයි. ඒත් වැඩ අධික වුනු තෙහෙට්ටු කාලයට ලියන්න හිත හදා ගන්න හරි අමාරුයි. ඒ ගැන සමාවෙන්න.
කාලයක් යුද්ධයෙන් බැට කෑ දේශයක, හැම කල්හිම දුප්පත්කමින් අඟහිඟකම් වලින් බැටකන තුන්වන ලෝකයේ රටක, මෙවැනි ප්‍රදේශයක මෙවැනි මිනිසුන් අතර ජීවිතයේ තරුණ අවදියේම සේවය කරන්න ලැබීම ලොකු ආත්ම තෘප්තියක් එක් කරනවා. හැම දාම අපේ දොස්තර මේසේ ලොකර් එකේ තියන් ඉන්න කුඩාවුන්ගේ ඇඳුම් කෑලි කිහිපය අඟහිඟකමින් උපරිමයට දුක් විඳින ඔවුන් හට ලබා දෙන විට බොහෝ අය හඬා වැටෙනවා. ඒ අපි ඔවුන් ගැන හිතනවා කියා ඔවුන්ට දැනෙන නිසා කියා එක අම්මා කෙනෙක් කීවා.
අද උදෑසන රෝහලට පැමිණෙන විට පාර එහා පැත්තේ සිටි අම්මා කෙනෙක් "ඩොක්ටර්..." කියා මා අමතා පාර පැන තකහනියක් පැමිණියා. "මේ ඩොක්ටර් මගෙ බබා. පුතේ මේ ඔයාව බලපු ඩොක්ටර්." ඇය කුඩා දරුවාට මා හඳුන්වා දෙයි. දරුවා යාන්තමට මෝදුවී ඇති දත් පෙන්වා හිනාවෙයි. අර කලින් පෝස්ට් එකේ ලියූ කුඩා මල්ලිගේ අම්මා, පසු ගිය දිනෙක මානසික රෝගී වාට්ටුවේ සිටියදී මා ඒ අසලින් යද්දී අර අලුත ඉපදිච්ච දරුවා (දැන්නම් මාස 4 පමණ වේ) රැගෙන මා පසු පස දිව ආවේ දරුවා පෙන්නීමටයි.
"මේ ඩොක්ටර් සීසර් කරපු බබා... ඩොක්ටර් වගේම සුදුයි " එක් මවක් සායනයකදී පවසයි. "අනේ අම්මේ මම සීසර් කරා කියලා මං වගේ වෙන්නේ නෑ.අම්මා වගේමයි බබා " මම ඇයට එසේ කීමේ බරපතල කම වටහා දුන්නේ අනික් වෛද්‍යවරුන්ගේ විහිළු තහළු මැද්දේය. එක වෛද්‍යවරයෙක් සිනහා අතරින් පැවසුවේ "හොඳ වෙලාවට ඔයා වෛද්‍යවරියක් , බැරිවෙලාවත් පිරිමි වෛද්‍යවරයෙක්ට ඕක කිව්වනම්.."කියාය. ඔවුන් එසේ සිතන්නේ අප කෙරෙහි හිතේ ඇති සෙනෙහස නිසාය. ඔවුන්ගේ දෑසෙහි සටහන් වී ඇත්තේ සහෝදරත්වය සහ ලෙංගතු කමය. අප කළගුණ ඔවුන්ට මතකය.
"අපි ඔබේ කතා කියෙව්වා. මට ඔවුන්ට යමක් කරන්න ඕනේ..." ඕස්ට්‍රේලියාවේ සහෘද බ්ලොග් කියවන්නියක් ලියා එවා තිබුනා. "අපි ඇඳුම් එකතු කලා... ඔබේ කතාව කියවලා... ඒවා එවනවා අනිත්කොණට ... " තවත් කෙනෙක් ලියා දැන්වූවා.එසේ ලියුවේ උදව් බලාපොරොත්තුවෙන් නොවන නිසා කරදර නොවිය යුතු බව කිහිප විටක් මා ලියා දැන්වූවා.
ඒත් ඔවුන් පැවසුවේ, "ඔබ කියුවත් නැතත් දැන්නම් අපි සංවිධානය වී අවසානයි. ඔන්න අපි මෙන්න මෙදිනට මේ සියල්ල තැපැල් කරනවා" ඔවුන් සහ එහි සිංහල බෞද්ධ විහාරය මේ සඳහා මුල් වූ බවයි කියවුනේ.... එච්චර ඇඳුම් තොගයක් කොහොමද බෙදන්නේ. ඉස්පිරිතාලේ ගබඩා කර තියා ගන්නත් බැරි වෙනවා. අනික සැවොම අපි වගේ පරාර්ථකාමීව සිතන්නේ නැති නිසා.... දැනටත් තමන්ගේ දුක් ගැනවිලි කියන බොහෝ සේවකයින් ඉන්න නිසා... ඒ සඳහා මේ පළාත් බාරව ක්‍රියාකරන ඉහළ හමුදා නිලදාරී මහතාට දන්වා සිටියේ මේ ලියන දේවල් සහ අනිත්කොණද පෙන්වමිනි. දෙන්න පුළුවන් හොඳම තැන, දුප්පත්ම ගම්මාන, සහ අනාථ නිවාස අපේ සිතුවිලි වලට ඇතුලු වුනා. ඉතා කාර් යය බහුල ඒකකයක දිස්ත්‍රික් ප්‍රධාන රෝහලේ වැඩ කරන ගමන් මේ දේවල් කරන්නට එහෙ මෙහෙ දුවන්න පුළුවන්කම සීමිත බවත් මා ඕස්ට්‍රේලියාවේ යාළුවන්ට දැන්වූ අතර මේ සඳහා මේ ප්‍රදේශය බාරව සිටින ඉහළම කෙනාගෙන් මේ කාර් යයට උදව් ලැබෙන බව දන්වා යැව්වේ හදපිරි සතුටෙන්.
රෝහලේ දී බෙහෙත් ගැනීමට පැමිණි විට මුණ ගැහෙන කුඩා දරුවන් සිටින අනාථ නිවාසයට දිනක් යොදාගෙන අප ගියේත් එහෙයිනි. කුඩා දරුවන් 300 ආසන්න පිරිසක් සිටින බව වැටහුන අතර මොවුන් බොහෝමයකගේම මව පියා යන දෙදෙනාම නොමැති අයයි. ඔවුන් අප හා ගිය හමුදා අණදෙන නිළදාරී මහතා දුටු විගසම " --- මාමා" යනුවෙන් හඬ නගමින් පැමින අප හට ආයුබෝවන් කීවෝය. ඔවුන් වෙනුවෙන් ඉදි කළ කෝවිලේ වැඩ දැන් නිමවී ඇත. අවට ඇත්තේ ඉතා පිරිසිඳු බවකි. තමන්ගේ දරුවන් හා සමානව අන් දරුවන් ගැනත් සිතන්නට පුළුවන් අය සිටින්නේ බොහොම අඩුවෙනි. එවන් ආදරයක් කරුණාවක් මේ දරුවන් වෙත ලබාදෙන හමුදාවේ මාමලා අයියලා, මල්ලිලා සැවොම ඇත්තටම මේ ප්‍රදේශයේ මිනිසුන්ගේ හිත්වල ලියන්නේ මිතුරුදම සහ සහෝදරත්වයයි. ආයෙත් සහෝදර ජාතියක් වෙනුවෙන් වෛරය හිතන්නට ඉඩක් නොතියන්න එයම මහෝපකාරී වෙනවා ඇති. දුර බැහැර සිට බොහෝ ලෙංගතුව එවනා මේ තෑගි සියල්ල නිසි තැනට ලබා දීමට ඔවුන්ගේ සහයෙන් හැකිවෙනවා ඇති. (ඒ විස්තරත් රැගෙන නුදුරු දිනකම යළිත් ලියන්නට බලාගෙන සිටිමි.)
ඔක්කොම ටික හරිම සංවේදියි.. අන්තිම ඡේදේ ඔක්කොටම වඩා සංවේදියි....
ReplyDeleteතමන්ගේ දරුවන් හා සමානව අනුන්ගේ දරුවන් ගැනත් හිතන මිනිස්සු තාමත් මේ රටේ ඉන්නවා කියලා දැනෙනකොට හිතට එන්නේ හරිම සැහැල්ලුවක් ඇත්තටම...
අපි අතරෙ ගොඩක් සංවේදී හිත් තියන කාරුණික අය ඉන්නවා. ඒ අයට විශ්වාසවන්ත මගපෙන්වීමක් නායකත්වයක් ලැබෙනවා නම් ඕන තරම් උදව් කරන්න පෙළඹේවි. අක්කා මේ කරන දේ ලොකු පිනක්.
ReplyDeleteහිරු කිව්වා වගෙ අන්තිම ඡේදයට මම වඩාත් කැමතියි. ඔය කරන සේවයට නිසි අගැයීමක්, අවධානයක් නොලැබෙන එක අවාසනාවක්.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
නියමයි,
ReplyDeleteඔබ වෛද්‍ය වෘතියෙන් උපරිම ආත්ම තෘප්තියක් ලබනවා වගේ.
කරන දෙයක් මතුවට පිහිටාවි
හොඳ වැඩ...
ReplyDeleteඅපි අපේ පුද්ගලික වැඩ හා රාජකාරී වැඩත් එක්කම පොදු වැඩටත් බැස්සම එන ප්‍රශ්නනං නිමක් නැහැ... කාල වේලා ගැටළු එයින් ප්‍රධානයි... ඒත් ඉතිං කොහොම හරි කරලා දැම්මට පස්සේ හිතට දැනෙන සනීපේ ආයේ වචන වලින් විස්තර කරන්න බැහැ...
කාලෙකට පස්සෙ... ඔයාගෙ ලිපියක් දකින්න ලැබීමත් සතුටක්... රාජකාරියට වඩා එහා ගිය මිනිස්කමකින්, මානව දයාවකින් වැඩ කරන අය ගොඩක් අඩු වෙමින් යන කාලෙක මෙවැනි අත්දැකීම් ගැන අහන්න ලැබීමත් සතුටක්...
ReplyDeleteපහුගිය ටිකේ බ්ලොග් කියවීම සෑහෙන්න අඩුවෙලා නැතිවෙලාම වගේ ගියායින් ගොඩක් හොඳ දේවල් මට මිස් වෙලා වගේ . . .
ReplyDeleteමූනු පොතේ ජාතීන් අතර හිතවත් කම නැති කරන අන්තවාදී වැඩ රාසියක් වෙන අතරේ මේ වගේ ජාතින් අතර හිතවත්කම් ඇති කරන සද්කාරියන් සංවිධානය කරන එක ගැන මගේ ප්‍රනාමය ඔබට . .
වගකීම් රාශියක් සමග රැකියාවකින් එහා ගිය මානූෂික මෙහෙවරක යෙදෙන ඔබතුමිය ගැන ඇත්තටම ලොකු ගෞරවයක් ඇතිවෙනවා..මේ පතුරන මනුස්සකමේ සුවඳ හැම අතටම පැතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්.
ReplyDeleteකියන්න වචන නැහැ .
ReplyDeleteඔබේ බ්ලොගයට ආවේ මුල් වතාවටයි. හරිම සතුටක් ඇතිවුන මෙය කියවූ විට. ලාන්කීයයන්ගේ කරුනාව, දයාව, හිත උනු වීමේ ගුනය කොයි රටකට ගියත් මනාව කැපී පෙනෙනවා. ඔබේ උතුම් ගුනයට හිස නමා ආචාර කරමි.
ReplyDeleteඅර වගේ මිනිස්සුන්ගේ හදවත් වලත ඇතුල් වෙන්න පුලුවන් අය රට කරනවා නම් ! එහෙමනම් මෙ රටේ ආයිත් කවදාවත් යුද්ද ඇති නොවේවි..
ReplyDelete(දෙසැම්බර් මාසෙ ඒවා කියවන්නේ අදයි !)