Pages

Tuesday, July 3, 2012

ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොළසන් සමග රාජිතන් අපරාජිත විය !


ජීවිතේ බොහෝ දුක් පීඩා මැද ඉගෙනුම ලැබූවෙමි. වෛද්‍යවරියක්/වෛද්‍යවරයෙක් වූ පසුද දුක පීඩාව වෙනස් වූයේ නැත. නමුත් ඒවා මම පිළිගන්නා ආකාරය වෙනස් කෙරුවෙමි. තව දුරටත් දුක හෝ පීඩාව මට වෙහෙසකර වුනේ නැත. මා ඊට ගොදුරක් වෙන්නට ගියේද නැත.

දිගු කලකින් දන්නා හඳුනන මල්ලියෙක් කතා කළේය. "ආයුබෝවන් අක්කා" 

"ආ දැන් සිංහලෙන්ම කතා කරනවා" මට එක වරම කියැවිනි.  

මුලින්ම මා දකිද්දී ඔවුන් සිටියේ වයස 13, 14, 15 වියේදීය.පළමු දින වලදී ඔවුන් මා හා කතා කළේම නැත. පසුව බොහෝ සෙයින් ලෙංගතු විය. මුලින් මැඩම් යැයි ආමන්ත්‍රණය කල ඔවුන්ට මා පැවසුවේඅක්කා කියන්න කියාය. ඔවුන් කටපුරා අක්කා කියති. දැන් අවුරුදු 3 ඉක්ම ගොස් ඇත. අප ඒකකයමේ ඉසව්වේ මනෝ සෞඛ්‍ය ය ගැන ක්‍රියා කරන එකම රෝහලේ විය. එනිසා ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු සියල්ල සොයා බැලුවේ රජයේ රෝහලේ අප ඒකකයෙනි. මුලින් ඔවුන් මා සමග කතා කලේ බියෙන් බව දැනිනි, නමුත් මා ඔවුන්ගේ බසින් කතා කළ නිසා වඩා හොඳින් ඔවුන් හා කතා කරන්නට පුළුවන් විය. පසුව ඒ බිය පහ විය. 

 සමහර දිනක ටවුමට පැමිණි විට අප ඒකකය වෙත පැමින හලෝ! කියා යනන්ට ඔවුන් අමතක නොකළෝය. සියල්ලන්ම පුනුරුත්ථාපනයෙන් පසු නිදහස ලබා සිය මාපියන් නෑසියන් සමග සතුටින් සිටී. අඩි 6 පමන උස ශිවා ( අනවර්ථ නමකි) පැමිණ කියූවේ නිදහස් වෙන්නට ප්‍රථම ඔවුන් ලොකු ට්‍රිප් එකක් ගිය බවය. නුවර එළිය කොළඹ මෙන්ම ගාල්ල මාතර ප්‍රදේශ වලද ඔවුන් සංචාරය කර තිබුනි. 
"අරලිය ගහ මන්දිරේටත් ගියා ඩොක්ටර්ප්‍රසිඩන්ට් එක්ක කතා කලා. හරිම සතුටුයි. " ජනාධිපතිතුමා ඔවුන් හා ළඟට පැමිණ කතා කර තිබුනි. එය ඔවුන් හට මහ ලොකු දෙයකි. ඔවුන් මොන තරම් නිදහසක් සතුටක් දැන් භුක්ති විඳිනවාදඑදා අපිට ඇසුනේ වෙඩි හඬ සහ බෝම්බ හඬ අපි හිටියේ මර බියෙන්. නමුත් දැන් අද අපි නව ජීවිතයක් ලබාආකාසය වෙත පියා සලන්නට බලාගෙන ඉන්නවා. ඔවුන්ගෙන් එකෙක් ලියූ නිසඳැසක එහෙම තිබුනා. මොන තරම් තාඩන පීඩන ගොඩක් මැද්දේ ජීවිත ගෙව්වාද ඔවුන්. 

ඔවුන් සිටි කෑම්ප් එකේ ලොක්කා හෙවත් ඔවුන් පියෙකු සේ සලකන හමුදා නිළදාරි මහතා කියූවේ. "මට ඕනෑ මේ දරුවෝ... අනාගතයේ මගේ දරුවන් සමග යුද්ධ නොකරන්න ඔවුන්ගේ සිත සහ ජීවිතය හරි මගට යොමු කරන්නයි" 

ඒ සිතිවිල්ල කොතරම් උතුම්ද ?

"අක්කේ උත්සවයට එනව ද?" පසුගිය දිනක ඔවුන් ඇසීය.

"කොළඹනේ තියෙන්නේ හරි මම එන්නම්.

 රජයේ වෛද්‍යවරුන් ලෙස යුද්ධයේ සැබෑ තත්වය සහ ඉන්පසු මෙහෙ ජන ජීවිත ගැන මේ ප්‍රදේශ වල සිටම දැකපු නිසා යුද්ධය ඉවර වීම ගැන තිබෙන්නේ සතුටක්. 
 ඔය අතරේ වැඩ අධික වූ එක් දිනක් හවස  විශේෂඥ වෛද්‍යතුමා දුරකථනයෙන් කතා කොට පැවසුවේ. යම් පිරිසක් මා හමුවීමට පැමිණෙන බවත් ඒ අය අප ඒකකය වෙත එද්දී මම ඇතුලු අනෙක් වෛද්‍යවරු එහි පැමිණ සිටිය යුතු බවත් ය. 
රෝහලේ ප්‍රධාන ගොඩ නැගිල්ලේ තිබූ අප සායනය වෙත අපි ගොස් එහි ජනේලයෙන් පාර දෙස බලා සිටියේ කවුද මේ කැන්දන් එන පිරිස කියාය. මොන කෝලමක් නටන්නද මන්දා කියමින් අපේ අනෙක් වෛද්‍ය අයියාද සිටියේය. දුර ගමන් යන විශාල බස් රියක් පැමිණ රොහල් ගේට්ටුවෙන් ඇතුල් කලේ එවිටයි. වෛද්‍ය අධිකාරිතුමාත් ගේට්ටුව දෙසට දුවනවා අපි දුටුවේ එවිටයි. ඔන්න නැවැත්තූ බස් එකෙන් ඉතා උස යෝධයන් වැනි විදේශික තරුණ තරුණියන් 25 පමණ පිරිසක් පිටතට පැමිණ අපේ සර්සහ වෛද්‍ය අධිකාරී පළාත් පාලන ලොක්කෝ සමග අප දෙසට පැමිණෙන්නට විය. 

"කෝලමක් වගෙයි " අපටද කියැවිනි. ඒ පැමිණ සිටියේ ඕස්ට්‍රේලියානු පා පන්දු කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයන් සහ විශ්ව විද්‍යාල මහාචාර් ය වරුන් ය. ඔවුන් මෙහි පැමිණ ඇත්තේ අනිත් කොණ පුනුරුත්ටාපන වැඩමුළු වලට සහය දී ඒ දරුවන් හා ක්‍රීඩා වැඩමුළු පවත්වන්නටයි. විශාල පතාක යෝධයන් වැනි ඔවුන් පැමිණ තිබුනේ අප හමුවී අප මෙ කොණ කරන දෑ ගැන දැන ගැනීමටයැයි මට සිතිනි. නමුත්  ඕස්ට්‍රේලියාවට මසක වැඩමුළුවකට සහ සම්මන්ත්‍රණයකට ගිය විශේෂඥ වෛද්‍යතුමා අපි වෛද්‍යවරුන් තිදෙනා මෙහි කරන ලද සහ කරමින් සිටිනා සියල්ල ඔවුන් හා පවසා තිබුනේ පරිගණක සැකසුම් සහ පවර් පොයින්ට් සමගිනි. 
 ඕස්ට්‍රේලියාවේ පැවති, national reconciliation conference එකේදී අප යුද්ධයෙන් පසු ඒ ප්‍රදේශ වල කරනා සේවය අගයමින් එම පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක එහිදී ප්‍රදර්ශනය කෙරුනාලු. ඒ පතාක යෝධයන් වැනි ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් පිරිස (පාපන්දු ක්‍රීඩකයින් ඉතා විශාලයිනේ) පැමිණ අප ඉදිරියේ සිට ගෙන අත්පොලසන් දී  කිව්වේ අප කරන මෙහෙය ඉතා අගය කරන බවය. එම ඒකකයේ එකම සිංහල වෛද්‍යවරිය හැටියට මා මේ ප්‍රදේශයට පැමිණි දින සිට මා ලැබූ අත්දැකීම් මට ඔවුන් හා කියන්නට වුනා. රජයේ නියෝජිතවරියද ඇත්තටම ඔවුන් හට ඇත්ත හරියට කියා දෙන්නට යුහුසුලු වුනා. එවන් නිළදාරිනියන් සිටීම ඉතා අගය කරමි.
 ඇත්තටම ඒක අපූරු සැන්දෑවක් ! 

"අක්කාරාජිතන් මතකද ?" දුරකථනයෙන් කතා කළ මල්ලී කියවයි.

"ඔව් මල්ලී මතකයි" මම කීවෙමි.

 "එයා ඒ ලෙවල් හොඳට පාස්ඒ එකයි බී එකයි සී එකයි. කැම්පස් තේරුනා. සුහාෂන් අක්ක දුන්නු පැන්සල් සෙට් එකට ස්තූති කලා " මල්ලී කියුවේය. 

මා චිත්‍ර අඳින බව දැන එංගලන්තයේ සිටින යහළුවෙක් විවිධ  පැන්සල් 54 සහිත චිත්‍ර කට්ටලයක් එවා තිබිනි. අප ඒකකයේ බිත්ති හැඩවී ඇත්තේ සුහාෂන්ගේ චිත්‍ර වලිනි. ඔහු ඉතා දක්ෂ දරුවෙකි. මා එම පැන්සල් කට්ටලට ඔහු වෙත යැව්වෙමි.

අවුරුදු 13,16 වියේදීම ගිනි අවි අත දරාමිය යන්නට පවා තිබුනු ඒ දරුවන්ගේ ජීවිතඅද කළ එළි වී ඇත. ඔවුන් හට නැතිවූ ජීවිතය නැවත ලැබී ඇත. අද සියලු දෙනා නිදහස්වී තම නෑ සියන් සමග ගෙවල් වල සිටී. අවුරුදු 30ක යුද්ධයේ අවසාන අදියරේදී හමුදාව විසින් මුදා ගත් එම ළමයින් නැවත අද පාසැල් යයි. විභාග ලියයි. නිරන්තරයෙන් අපි හා කතා බස් කරයි. අද ඒ ප්‍රදේශයේ මා නොසිටියද ඔවුන් දුරකථනය ඔස්සේ කතා කර මා හා විස්තර පවසයි. සිංහලයින් ගැන ඔවුන්ගේ හිතේ තියෙන්නේ ආදරයකි. ඒ ඔවුන්ට හමූවූ සොඳුරු සිංහල මිනිසුන් නිසාය. තවමත් ඔවුන් තම තාත්තා යැයි පවසන කඳවුරු බාර මේජර්වරයාද එවන් සොඳුරු මිනිසෙකි ! 


23 comments:

  1. හිත උණුසුම් කල සොඳුරු සටහනක්... එක ශ්‍රීලාංකීය ජාතියක් දැකීමේ සිහිනය සැබෑ වෙන්නට නම් ඔබ වැනි දහසක් ජනතාව අතරේ පාලම් වියයුතුයි.. ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇත්තටම අපටම පුළුවන් එකිනෙකා අතරෙ වෛරය නැති කරන්න

      Delete
  2. ඇයි හැමදාම ඔයාගෙ පෝස්ට් එක කියවල මට අඬන්ට හිතෙන්නෙ?
    ගිය පාර මෙහෙ ආපු වෙලෙ මම තිරාණගම දොස්තර නෝන ගැන යු ටියුබ් එකේ වාර්තා වැඩ සටහනක් බැලුවා. දැනුන හැඟීම මිශ්‍රයි. ඔවුන් කලකදි ත්‍රස්තවාදීන්.........අක්කා පිටරට ගොස් ලබාගත් හා ඇය පොත් කියවා ලබාගත් අදහස් හරිහැටි හරි මගකට දමාගන්ට බැරි උන නිසාම, රැල්ලට වැටිලා ත්‍රස්තවාදීන්ට උදපදව් කරනවා. අවසානයේ ඔවුන් අතින්ම මියයනවා. හරිම ඛේදනීයයි.

    අනිත් කොනේ ඉන්න දොස්තරලා අතරින් ඔබ පූජනීය චරිතයක් කියලා විතරක් කියන්නම්. ඔබ හරියට අම්මා කෙනෙක් වගේ කිසි දෙයක් ආපසු බලාපොරොත්තු නොවී මේ කරනා සේවෙට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැන්දෙ... කිසිවක් බලාපොරොත්තු නොවී වැඩ කරන්න අපි පුරුදු වෙලා. පින්වත් අවශ්‍ය නෑ කියලයි හිතෙන්නෙ. මේක සේවයක් ! මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ අනිත් කොණ ඉස්පිරිතාලේ වැඩ කරද්දී මොකද දකුණු කොණ ඉස්පිරිතාල හැම එකකම තියෙන්නෙ තරඟයක් ... මෙහෙ අය අපිට කොහොමත් අම්මා කියන්නේ... දෙමළෙන් අම්මා කියන්නේ ගරු නාමයක් ! ඉඳ හිට ආච්චි අම්මා කෙනෙක් ඇවිත් තංගච්චි කියලා සුළු වෙලාවක් හරි හිනාවෙන්න යමක් ඉතුරු කරලා යනවා

      Delete
  3. ගිනි අවි අත දරා සිටි එකී දරුවන්ගේ දෑස් පාදන්නට දහසක් බාධක මැද වුවත් ගන්න මේ උත්සාහය ඇත්තෙන්ම වටිනා සත් ක්‍රියාවක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. ඔබ නම් බොහෝ දේ ඇත්ත ඇති සැටියෙන් දුටු කෙනෙක්නේ..

      Delete
  4. පුන්චිකාලේදීම පෑන වෙනුවට ගිනිඅවිය දීල ජීවිතේ වෙනස්කරපු පුංචි එවුන් අයෙත් හිනා වෙවී අකුරු ඉගෙන ගන්න ඉස්කෝලේ යන කාලේ ගැන අපි ඉස්සර කොච්චරනම් හීන මැව්වද. දැන් හීනය යතාර්ථයක් වෙලා. සාමය වෙනුවෙන් කැපවුණු සියලු දෙනාට මාගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් !

      Delete
  5. අනවබෝධය තමා ඔක්කොටම හේතුව! භාෂා ප්‍රශ්නය තමයි ඒකට ලොකුම හේතුව! එක් එක්කෙනාට ආදරය කරන ගෞරව කරන සමාජයක ජීවත් වෙන්න තියෙන එක කොයි තරම් සතුටක් ද..කොයි තරම් පිනක් ද!

    ReplyDelete
    Replies
    1. ඇත්ත මල්ලී... එහෙම දවසක් එනකම් අපි මග බලන් ඉන්නවා

      Delete
  6. මගෙනුත්- ක්ලැප්, ක්ලැප්, ක්ලැප්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කතන්දර... මේවා බෙදා ගන්නේ මේවා කවුරුත් නො ඇසූ කතා නිසා..

      Delete
  7. ඔබනම් අදහන්නට වටින චරිතයකි!
    henryblogwalker the Dude
    .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඒත් අපි නොසෑහෙන්න මානසිකවත් කායිකවත් දුක් වින්දා මේවා ගේ සමාජ සේවා වැඩ කරන්න ගිහින්. අදහන්න වටින්නේම නැත. සාමාන්‍ය රජයේ සේවකයෙක්මි. මනුස්සයන් අතර මනුස්සයෙක් වගේ ඉන්න උත්සහ කරමි අමනුස්සයෙක් නොවී.

      Delete
  8. පින් සොයමින් පන්සල් ගානේ ගොස් බොරු ෂෝ පෙන්නන් හට ඔබ ආදර්ශයකි.ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. පින් සොයමින් ගියොත් නම් සංසාරෙම අවුල්. අල්ල ගන්නෙ නැතුව අත අරින්න තියෙන්නෙ පින වුනත් අල්ලගත්තො කොහෝමෙයි නිවන් දකින්නේ...

      Delete
  9. ඇත්තෙන්ම වටින මනුස්සයෙක් ඔබ...

    සුභම වේවා!!!

    ReplyDelete
    Replies
    1. එතරම්ම වටින්නෙ නෑ. එහෙම හිතපු එකට ස්තූතියි...

      Delete
  10. "මට ඕනෑ මේ දරුවෝ... අනාගතයේ මගේ දරුවන් සමග යුද්ධ නොකරන්න ඔවුන්ගේ සිත සහ ජීවිතය හරි මගට යොමු කරන්නයි"

    මේක මාරෙට හිතට වැදුනා අක්කේ :(

    ReplyDelete
  11. අනේ මන්දා මෙහෙම යනකොට හැම පෝස්ට් එකකටම කොමෙන්ට් කරන්න වෙයි වගෙ,
    සන්වේදී ලියමන්
    විසිල් විතරක් නෙවේ බල්ටිත් තියනවා,
    ඒකයි වැදගත් කම

    ReplyDelete
  12. Beautiful piece. i can relate to your story very well Bodhini. Keep writing. What better platform can we think of in the long journey to reconciliation than these real life stories. Thank you for who you are to the humanity.

    ReplyDelete
  13. ආගම් වාදය, ජාති වාදය කියන්නෙ මේ ලෝකෙ පහත්ම දේවල්ය. එවන් දේ තුළ ගැටෙමින් ඔහුනගේ මනස සුවපත් කිරීම අතිශය අපහසු දේවල් යැයි සිතමු. ඔහුන්ට ඉගැන්විය යුත්තේ මනුසත් කම පිළිබදය....ඉතින් එය තේරුම් ගත් ඔබටත් සැමටත් ස්තූතියි

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !