Pages

Wednesday, March 24, 2021

තෙවන මුද්‍රණය

සායනික සටහන් නොවේ....නවතම මුද්‍රණය (තෙවන මුද්‍රණය) ඔබ වෙත 

"නංගී පොත වැඩිය යන්නේ නෑ නේද ?" පොත ගත්තා කියා සටහන් පෝස්ට් වැඩිය දකින්න ලැබුනේ නැතිවුණාම මම හිතේ ඇතිවුණු දුක සමඟ මගේ පොත් ප්‍රකාශක ග්‍රන්ථ ආයතනයේ හිමිකාරිය තනෝජා නංගිගෙන් ඇහුවා.

"ඔයාට තේරුනේ නැතිවුනාට අක්කේ පොත විකිණෙනනවා. අපි හිතුවට අක්කේ පෝස්ට් දැම්මේ නැතිවුනාට සේල් එකක් තියෙනවා" තනෝජා කීවා.
පොත out of stock වෙද්දී මට පණිවිඩ ආවා බලාපොරොත්තුවෙන් ඉන්නා පාඨකයන්ගෙන්. ඒක ඇත්තටම සතුටු ආරංචියක් වුණා. නිතර මතක් කිරීම් කරමින් පොත විකුණාගන්න වෙහෙසුනේ නැත්තේ කොවිඩ් වසංගතය හමුවේ එකදිගට වැඩ කරන්න වූ නිසාත් ආර්ථික අපහසුතා එමට පසුගිය අවුරුද්දේ අපි සියල්ලන් විඳ දරාගත් බව මා දන්නා නිසා. 

.....යුද්ධය අහවර වූ කාලයේ එක්තරා දිනක රාත්‍රි වැඩ මුරය අවසානයේ හදිසි සැත්කම් කිහිපයක් යෙදුණා. ඒ සියල්ල අවසන් වෙනවිට වාට්ටුවෙන් ඇමතුමක් ආවේ ප්‍රසූතිකාගාරයේ දරුවෙක් ලැබෙන්න සිටි අම්මා කෙනෙකුට ටිකක් අමාරු බවයි. එසැනින් මමද අප අලුත් විශේෂඥ වෛද්‍යවරයාද ඉක්මනින් වාට්ටුව වෙත දිව ගියෙමු.

“එක් වරම වාට්ටුව දෙස බැලූ ඔහු “ කෝ මේ මිනිස්සු, මොකද මේ ඇඳන් හිස්… කියා කෙටි බිත්තියට ඔබ්බෙන් පෙනෙන වාට්ටු දෙස බලා විමසුවේ පුදුමයෙන්. මීට කලින් මධ්‍යම රාත්‍රීයේ වාට්ටුව  නොදුටු අලුතෙන් පත් වී ආ අප විශේෂඥ වෛද්‍යවරයාට මෙය මහත් පුදුමයක් වුණා.

“ඔය ඔක්කොමලා බිම රෙදි, පැදුරු එළාගෙන බුදි… ඇඳන් වල නිදියන්න බයයි මේ අය වැටෙයි කියලා… අනික බොහෝ දෙනෙක්ට පුරුදු නෑ. ගෙවල් වල ඇඳන් නෑ.  කොහොමත්, ගස් යට, කැලෑ වැදිලා රැය පහන් කරපු මිනිස්සුනේ” අපිත් අපට ඇහුණු සහ මේ අම්මලා කීව හේතු පැහැදිලි කර දුන්නා.

කෙටි බිත්තියෙන් එබී බැලූ විට.. ඇඳන් අසල බිම සහ ඒ අවට ගුලි ගුලි ගැසී සිටින පිරිස දුටු විට ඔහුටද කාරණය වැටහුණා.
ඔවැනි සිදුවීම් කොතෙකුත් තිබුණා. ඒවා ඒ කාලයේ පටන් සටහන් කරගෙන ලීවා.

2009 එක්තරා දිනක මා ප්‍රථමයෙන් බ්ලොග් සටහනක් ලීවා….ඉර හඳ යට ආදරේ විඳින්න, from north with love… කියලා. ඉන්පසු මාසෙකට සැරයක් හෝ මාස දෙකකට සැරයක්… හෙමින් හෙමින් ලියැවුණු අනිත් කොනේ විත්ති මේ සටහන් කියවන සියලු දෙනා හරි ආදරයෙන් ආශාවෙන් වැළඳ ගත්තා. උතුරු කොනේ ජීවිත ගොඩ නැගීම් , ජයග්‍රහණ ලියවෙද්දී ඔල්වරසන් නැගූ ඔබ සැම, පරාජයන්, දුක්වැළපීම් වලදී දුක බෙදාගන්නත් අනිත් කොන සමග සිටියා. මට අවශ්‍ය වුණේ රටේ ඉතාම තීරණාත්මක කාලයක , යුද්ධය අවසානයේ රටගොඩ නැගීමේ කර්තව්‍යයට එක පැත්තකින් උර දුන් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ අපි මුහුණ දුන් දේවල් සහ අනිත් කොන වැසියන්ගේ ජීවිත වල හැඩතල ඔබ හා බෙදා ගන්නයි.

කවි ලියමින් ජීවිතේ සංවේදනා සටහන් කරමින් බ්ලොග් පිටුවක් ලියමින් හිටිය මට, යුද්ධය අහවර වුණු කාලයේම උතුරු කොනේ රෝහලක සේවය කරන්නට වුණු මම විටින් විට ලියූ උතුරේ කතන්දර රැස.. අනිත්කොන නමින්ද කවි පොත මනුපුර සක්මන නමින්ද පල වුනා.

ලේක් හවුස් - රැස පුවත්පතට ලියූ සායනික රෝගවල සායනික නොවන සටහන් අවුරුදු දෙකක් පුරා නොකඩවා ලියැවුණේ මා වෙනුවෙන් නිබඳව ඉඩ වෙන් කරන්නට යෙදුණු පුවත්පත සහ රසික ප්‍රජාවකගේ කියැවීම නිසා.

ජීවිතයෙ බොහෝ අඳුරු කාල පසුකරද්දී කඩා වැටෙන්න නොව දරාගන්නට සිත පුහුණු කළ මහා අමාරුම ව්‍යායාමය රෝගී සත්කාරය අතරතුර මේ කළ ලියැවීම්. 

දරුවන්ට කවන පොවන කිරි දෙන එකේ ඉඳන් හිත හදාගන්නට මහ මිනිස්සුන්ට උපදෙස් දෙන වෛද්‍ය කරුණු සරලව කතන්දර හා මුසු කර ලියා තැබූ, දොරට වැඩුමක් නැතිව ජනගත කළ මගේ තෙවැනි පොතේ නවතම මුද්‍රණය ග්‍රන්ථ වෙතින් ලබා ගත හැකියි කියන ආරංචිය අරගෙන ආවේ හිත පිරි සතුටින්.

මේ කවි ටිල ලීවේ පොත මුද්‍රණය වූ කාලයේ...

ඇවිත් මේ පොත ඔබත් අරගන්න
ඔබේ හිතවත් සවිය මට දෙන්න
ගිනි ගන්න මිනිස් හිත් මිස ඔන්න
මේ කතා සතුටු නැහැ සමරන්න

අඬ අඬා ජීවිතේ අත් හරින
රටක් හෙලනා සුසුම් අත ගන්න
මේ රටට නිදහසේ සැනසෙන්න
එහෙව් දුක මැඩිය හැකි මග ගන්න

පොත රැගෙන හෙමි හෙමින් කියවන්න
දුක දරන මිනිස් හිත් හඳුනන්න
නාඳුනන හුස්මකට වෙහෙසෙන්න
හැකි දාක අපට හැක හිනැහෙන්න 

ඉතින් සුබ දසුන් නැත මට දෙන්න
හද ගැහෙන හඬ ඔබත් විඳගන්න 
එහෙව් අකුරක් ඇවිත් ඇහිඳින්න 
පණ ගැහෙන කතා රැස අරගන්න 

පොත ගන්න හැකි තැන්...

සරසවි, සූරිය වැනි පොත් සැල්වලින්ද 

ග්‍රන්ථ.lk වෙබ් අඩවියෙන් නිවසටම ගෙන්වා ගැනීම හෝ මොරටුව ඔවුන්ගේ පොත් සැල වෙතින් ලබාගත හැක. එහිදී  30% වට්ටමක් හිමිවේ.

https://grantha.lk/sayanika-satahan-nowe-bodhini-samarathunga-grantha.html

Tuesday, March 23, 2021

ප්‍රේමණීය මිනිසුන්

ඔබ ගැන අපි ගැන කතාවක් !

රුධිරය වෙනුවෙන් කෘතිම ආදේශක නොමැති බව ඔබ දන්නවා ඇති. ඇස්, ලේ සහ අවයව දන් දෙමින් පාරමිතා පුරන්නාවූ බෝසත්වරුන් අපි මේ මානව සමාජයේ නිරන්තරයෙන් දකිමු. ජාතික රුධිර පාරවිලයන සේවය යනු එවන් බෝසත් දේව ගුණැති මිනිසුන්ගේ පරිත්‍යාගයන්ගෙන් මිනිසුන් වෙනුවෙන් සේවය ලබාදෙන්නාවූ තැනකි.

ප්‍රේමණීය මිනිසුන්, මානව වර්ගයා වෙනුවෙන් කැපකරන ලද තම සිරුරේ කොටස් බොහෝ පරිස්සමෙන් සකසා මිනිසුන්ටම පුදකරන තැනකි. 

ජාතික රුධිර පාරවිලයන සේවය යනු දිවයිනේ රුධිර අවශ්‍යතාවය සපුරන්නාවූ එකම ජාතික සේවයයි. එහි ලබා දෙන සෑම රුධිර බිඳුවක්ම මෙරටේ ස්වේජාවෙන් තම සුරක්ෂිත රුධිරය දානය කරන ලද පරිත්‍යාගශීලීන්ගෙනි.

“ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය” යනු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන ලද ලොව පුරා තම රුධිරයෙන් මිනිස් ජීවිත සුරකින් රුධිර පරිත්‍යාගශීලීන් සමරන දිනයයි. 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අප රටේ විවිධ දිස්ත්‍රික්ක සහ ඇතැම් විට මුළු රටටම බල පැවැත්වෙන ඇඳිරි නීතිය, පූර්ණ හෝ අර්ධ වශයෙන් වූ වසා දැමීම් හමුවේ වුවද සෞඛ්‍ය අංශවල සියල්ලෝම රැකියා සඳහා පැමිණියේ කිසිඳු මැසිවිල්ලකින් තොරව ය.

පොදු ප්‍රවාහන සේවය ඇණහිට ඇති අවස්ථාවල වුවද ප්‍රවාහන පහසුකම් පවා සපයමින් සියළු සේවකයින් රැකියාව සඳහා ගෙන්වා ගැනීමට පවා සිදුවිය. 
රුධිරය හෝ රුධිර සංඝටක යනු කෘතිම ආදේශකයක් නොමැති දෙයකි. එමෙන්ම එයින්  වෙන් කරගන්නා මූලිකවම අවශ්‍ය වන රතු සෛල සහ පට්ටිකා යනු කෙටි ජීවී කාලයක් ඇති හෙයින් නිරන්තරයෙන් එකතුකරගත යුතු දේ ය.වර්ථමානයේ පවතින වසංගත කාලයේවුවද රුධිර අවශ්‍යතාවය සඳහා රුධිරය එක් රැස් කිරීම අඛණ්ඩව සිදු කරන ලද්දේ රුධිරය සඳහා කෘතිම ආදේශකයක් නොමැති නිසාය. 

කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව එකෙන් එක වැඩිවෙමින් ගිය ඒ පළමු සති කිහිපය ඔබට මතක ඇති. ගෙවල්වලට වී සියළු ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් ඔබ සමාජයෙන් ඈත්වූ ඒ කාලය ඔබට මතක ඇති. එහෙත් අප රුධිර පාරවිලයන සේවයේ සේවකයින්ට එසේ නිවෙස්වල රැඳෙන්නට හෝ ආයතන තුල රැඳෙන්නට හැකිවූයේ නැත.
කොවිඩ් 19 අවධානම අතේ දරන් සමාජයට බහින්නට සිදුවූයේ ඒ කාලය මුළුල්ලේ ජංගම රුධිර කඳවුරු නොපැවැත්විය හැකි වුයෙන්, රුධිරය එක් රැස් කිරීමට වෙන විකල්පයක් නොවන තැන, ආයතන රෝහල් ලේ බැංකු තුලට බොහෝ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් නීරෝගී බව සපත කරගත් රුධිර පරිත්‍යාගශීලීන් නව්‍ය ක්‍රමෝපායන් රැසක් භාවිතයෙන් ගෙන්වාගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලදි.

වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ මගේ සහෝදර වෛද්‍යවරියක වෙත මා කීවේ පරිස්සමෙන් ආරක්ෂිතව සියල්ල සිදුකරන ලෙසය. එහෙත් ඇය පෙරලා මට පැවසුවේ, ප්‍රවේශම් විය යුත්තේ සමාජයේ සියලු ස්ථර හා ගැටෙන නිරෝගී යැයි උපකල්පනය කළ පුද්ගලයින් හමුවන, අප බව ය. ඒ එකල සමාජයේ තවමත් පරීක්ෂණ මඟින් තහවුරු නොකළ කොවිඩ් ලක්ෂණ නොපෙන්වන පිරිස් සිටිය හැකි නිසාය.

එහෙත් ජාතික රුධිර පාරවිලයන සේවයේ සෞඛ්‍ය සේවක කණ්ඩායම් පසුබට වූයේ නැත. මාස්ක් ග්ලවුස්, මුහුණු ආවරණ පළඳිමින්, අවදානම් අඩු කලාප තුල ජංගම රුධිර කඳවුරු සීමිත පිරිස් සහභාගිත්වයෙන් එක් රැස් වීමකින් තොරව පවත්වමින් කටයුතු කළ අතර, කොවිඩ් රෝගීන් සමාජයෙන් හමුවන කාලයේ වුවද ජංගම රුධිර කඳවුරු සඳහා සහභාගි වූ ඒ ලේ බැංකු සේවයේ සිටින වෛද්‍යවරුන් , ලේකඛාදිකාරී/ ඩිප්ලෝමා  වෛද්‍යවරුන්,  හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්, කණිෂ්ඨ සේවකයින්, රියැදුරන් සහ පිරිසිඳුකරන කාර්යය මණ්ඩලය යන මේ සියළු දෙනා ගැන බොහෝ කෘතවේදීත්වයක් දැනේ.

මිනිසුන් ගෙවල් ඇතුලටම වෙද්දී අපේ අය සමාජයේ ඕනැම තැනකට යා යුතු වුණා. ඒ හැඟීම කොයිතරම්නම් වීරකමක්දැයි සිතෙන්නේ මමද ඒ කුලයේ අයෙකු නිසා ඇතිවන සියුම් ආඩම්බරයද සමඟිනි.

“මම ගෙදර ගිහින් දරුවන් ළඟට නොගෙන හිටියා” 
ඒ වචන ඔබට අප ගත කළ කාලය ගැන අදහසක් දෙනු ඇතැයි සිතමි.

ඒ මතුද නොව, කොවිඩ් 19 ආසාදිත රෝගීන් සුවවූ පසු ඔවුන්ගේ ප්‍රතිදේහ සහිත රුධිර ප්ලාස්මාව , අසාධ්‍ය රෝගීන් වෙත ලබාදීම සඳහා එකතු කිරීම්, පරීක්ෂා කිරීම, බෙදාවෙන්කිරීම, අවශ්‍ය තත්ත්ව යටතේ ගබඩා කිරීම සහ පාරවිලයනය යන මේ සියල්ල සිදුකළේද ජාතික රුධිර පාරවිලයන සේවයට අයත් වූ රුධිර මධ්‍යස්ථානය සහ ලේ බැංකු තුලදීය. ඒ සඳහා මූලිකත්වය ගත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර් යය මණ්ඩල සිහිපත් කළ යුතුම ය. ආරක්ෂිත ඇඳුම් මෙවලම් දවටන් ඒ කාර් යය සිදු කළ පර්යේෂණාගාර තුල සේවය කළ වෛද්‍ය පරීක්ෂණ තාක්ෂණිකවේදීන් ද කළ මෙහෙය මතක් කළ යුතුමය. තමන්ගේ රෝගී තත්ත්වයෙන් යන්තම් ගැලවෙද්දීම තමන්ගේ ප්ලාස්මාව පරිත්‍යාග කරන්නට තරම් ඒ මිනිසුන් තුළ දුටුවේ මානවීය ප්‍රේමයේ උතුම් පරිත්‍යාගයේ ගුණයකි.

මේ සියල්ල අතරතුර, ඇඳිරි නීතිය පැවති මොහොතේ වුවද අපේ කැඳවීම් සැලකිල්ලට ගනිමින්,පොදු ප්‍රවාහන සේවා නොමැති කාලයේ තමන්ගේ වියදමින් ප්‍රවාහනය සකසා ගනිමින් දහසකුත් බාධක මධ්‍යයේ දැයට රුධිරය දානය කළ පරිත්‍යාගශීලීන් අප ජාතියට සම්පතක්වෙන්නේ එහෙයිනි. 

 රුධිර අවශ්‍යතා සපුරාගැනීම සඳහා හඳුනාගත් ආරක්ෂිත ප්‍රදේශවල ජංගම රුධිර කඳවුරු  සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සංවිධානය කළ සංවිධායකවරුන්ද දැඩි අර්බුද හමුවේ වුවද ඒ කළ මෙහෙයට ස්තූති කිරීමට වචන නැති තරම් ය. ත්‍රිවිද හමුදාවල, සිවිල් ආරක්ෂක බලකායේ සහ පොලීසියේ දායකත්වය ද රුධිර පරිත්‍යාගශීලීන් ලෙස ද, සංවිධානයේදී සහයෝගය සහ ආරක්ෂාව ලබා දෙමින් ද නිරන්තරයෙන් අප දිරිමත් කරමින් ජාතික සේවාව වෙත ලැබිණි.

බොහෝ පිරිස් 0112332153 දුරකථන අංකය ඔස්සේ අමතා දිනයක් වෙලාවක් වෙන්කර ගෙන පැමිණියෝය. ඒ සියල්ල වෙනුවෙන් දුරකථන ඇමතුම් ලබාගැනීමේ සිට රුධිර දානය දක්වා වෙහෙසුණු කාර් යය මණඩල මතකයට නැගේ.  (https://nbts.life)  ලියාපදිංචි වීමෙනි.
ඉතින් ඔබට හෘදයාංගම ගෞරවාදර ස්තූතිය පුද කරන්නට මේ සටහන ලියා තබන්නෙමි.

සටහන - වෛද්‍ය බෝධීනී සමරතුංග
ජාතික රුධිර මධ්‍යස්ථානය

Friday, March 19, 2021

හිර ගෙදර කලබලේ

ඒ කාලය අපි වෙහෙසකර සීමාවාසිකය අවසන් කරලා නිදහසක් ලැබූ කාලය යි. අපේ කණ්ඩායමේ එක්කෙනෙක් රාජ්‍ය සේවයෙන් අස් වූ අතර තව කෙනෙක් ගෙවල් ළඟ ඉස්පිරිතාලෙකට මාරුවීමක් රැගෙන තිබුනේ සියල්ලන්ටම හොර රහසේය.  වෛද්‍යවරු ඉල්ලා තිබූ විවිද වාට්ටුවලට ඉතිරිවූ අපි කිහිපදෙනා බෙදා දුන් නමුදු බාහිර රෝගී අංශයෙන් වෛද්‍යවරු ස්ථානමාරුවීම් සඳහා බෙදා හැරිය නිසා විටින් විට අපව එම කොටසට අනුයුක්ත කෙරිනි. ඒවනවිට උතුරේ යුද්ධය අහවරව තිබිණි

රෝහල්වල කෝකටත් තෛලය rho ලා ය. Rho යනු සීමාවාසියකය අහවර කළ වෛද්‍යවරුන්‍ ය.  මමත් මගේ කාමර සගයාත් opd හෙවත් භාහිර රෝගී අංශයේ වැඩ කළ ඉරිදා දිනයක හවස අප වෙත ආවේ අමුතු ඉල්ලීමකි.

"ප්‍රිසන් එකේ කිහිපදෙනෙක් උපවාසයක් කරනවා දවස් ගානක ඉඳන් එයාලට අමාරුයි එනිසා බලලා එන්න යන්න වෙනවා"

" අමාරුනම් කොහොමද බලලා එන්නේ. මෙහෙ ගේන්න එපැයි. ඇරත් ප්‍රිසන් එකේ ? ඇම්බියුලන්ස්වලින් මෙහෙට ගෙන්වමු" අපි කීවද ඔවුන් එකඟ වුණේ නැත.

"ඔගොල්ලො ගිහින්ම බලලා නිර්දේශ ලියලා එන්න, එතන ඉන්න ප්‍රිස්නර්ස්ලා වෙන කාවවත් විශ්වාස කරන්නේ නෑ ඩොක්ටර් කෙනෙක් එතනට ඇවිත් කිව්වොත් උපවාසේ නතර කරලා රෝහල්ගත වෙනවා කියා කියනවා. හරිම අසාධ්‍ය තත්‍ත්වයෙන් ඉන්නේ...එනිසා ඔය දෙන්නා යන්න" කාර් යය භාර වෛද්‍යවරයා අප වෙත දැනුම් දුන්නේය. ඔහු සිටියේ නිවාඩුවේ ගෙදර ගොසින් ය.

"අනේ ඔව් ඩොක්ටර් අපිව පේන්න බෑ , ඒ ගොල්ලොඅපි එක්ක සාකච්ජා කරන්නෙත් නෑ ඩොක්ටර් කෙනෙක් බලනකම් ඒක නවත්වන්නෙත් නෑ. අපි හරි අමාරු අඩියක ඉන්නේ" බන්ධනාගාර නිලධාරියා පැවසුවේය.

රෝහල් ඇම්බියුලන්ස් එකකින් එහි ගිය විට බන්ධනාගාර නිළදාරීන් පැවසුවේ, සිරකරුවන් පිරිස ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්ඩංගුවට ගත් බවත් ඔවුන් ඉන්නා සිර මැදිරි තුලින් එළියට ඒම ප්‍රතික්ෂේප කරන බවත් අපට එහි ගොස් ඔවුන් බලන්නට සිදුවන බවත් ය.

සිර මැදිරි තියා පොලීසියකට අඩිය නොගැසූ ළාමක , සමාජ අත්දැකීම් අඩු ගැහැණු වෛද්‍යවරියන් දෙදෙනෙකුට මේ වෙලාවේ හිතෙන්න ඇත්තේ මොනවාද ඔබට තේරෙනවා ඇති. ඇත්තටම අපට තීරණයක් ගන්නට නොහැකිය.
අප බාහිර රෝගී අංශය භාර වෛද්‍යවරයාට කතා කර කීවේ කිසිඳු ආරක්ෂාවකින් තොරව සිර මැදිරි අස්සටයාමට අපට නොහැකි බවය.

උපවාස කරමින් බොහෝ අසාධ්‍යව සිටි සිර කරුවන් සමග පණිවිඩකරුවන් යවා සාකච්ජා කළ අතර ඔවුන් පැවසුවේ රෝහල්ගත කරන්නේ නම් අප ඇවිත් ඔවුන් පරීක්ෂාකර බලා නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවය. එතෙක් කිසිසේත් ඉන්නා තැනින් හොලවන්නට බැරි ය. ඔවුන් සිතන්නේ බන්ධනාගාර නිලධාරීන් බොරු කියා ඔවුන් එතැනින් ඉවත්කරන්නට තැත්කරන බව ය.
මේ තත්ත්වය සමඟ නිලධාරීන් බොහෝ සෙයින් කලබල වී ඇත.

"දැන් මේ අය අහන්නේ ඩොක්‍ටර්ස්ලා කියන දේ විතරයි. මේ අයගේ තත්වය එන්න එන්න බරපතල වෙලා. අපි ආරක්ෂාව ගැන ඇප වෙනවා. බය නැතුව යමු ඩොක්ටර්" ඔවුන් පවසයි

වෛද්‍ය අධිකාරිවෙත සහ බාහිර රෝගී අංශයේ කාර් යය භාර වෛද්‍ය නිලධාරියා වෙත දැනුම් දුන් පසු බාහිර රෝගී අංශ බාර වෛද්‍යවරයා කීවේ සති අන්තයේ බාහිරරෝගී අංශයේ සියල්ලෝ නිවාඩු නිසා ඉන්නේ අප දෙදෙනා පමණක් බවය. "දැන් ඔය ගිය එකේ බලලාම එන්න" ඉල්ලීම් කෙරුණි. සමාජ අත්දැකීම් අඩු නමුදු රෝගීසත්කාරයට ඕනෑම දුරක් දුවන අප දෙදෙනා පින්සෙන්ඩුවන සිරකරුවන් සහ ජේලර්වරු සමග ඔවුන්ගේ සිර මැදිරියට ගියෙමු. යන මඟ දෙපස සිරකරුවන් පිරී ඉතිරී අප දෙස දෑස් ‍යොමුකරගෙන සිටී...අපට හැකි තරම් ඉඩදී ඈත්වෙවී නමුත් පොදි කමින් බලා සිටී. ජේලර්වරු කිහිපදෙනෙක් අප වටේ ගමන් කරමින් සිටියෝය.


එකම කාමරයක එම උපවාස කළ සිර කරුවන් පිරිස සිටි අතර ඔවුන් බිම වැතිර සිටියෝය. අප ඇතුල් වූ පසු කාමරයේ අගුළු දැමීය...බිමට නැවී හිඳගෙන හර්ද රිද්මය සහ රුධිර පීඩනය මැන බැලූ අපට තරු පෙනුණි. විජලනය සහ ආහාර නොමැති වීම නිසා මොවුන් අසාද්‍ය වී සිටියහ. මැදිරියෙන් එළියේ සිරකරුවන් පොදි කමින් සිටිනු අපට පෙනුනි.
"ඔබ හැමෝගෙම ප්‍රෙෂර් අඩුවෙලා සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා දැන්ම රෝහල්ගත නොකෙරුවොත්" අපි ඔවුන්ට කී බව මතකය.
ඔවුන් පරීක්ෂා කර බලා සිර මැදිරියෙන් එළියට එද්දී අතුරු සිදුරු නැතුව පිරී සිටි සිරකරුවන් අපට යන්නට  ගෞරවයෙන් ඉඩ සකස් කර දෑත් බැඳ ස්තූති කරමින් සිටියෝය. තවමත් ඒ අවස්ථා මතකයේ රැඳී ඇත්තේ  බොඳ වූ ජායාවක් මෙනි. කළු දුඹුරු නාවර පෙරුණු බිත්තිද බිම වැතිර සිටි සිරකරුවන්ද පමණක් මතක ය.

වහාම රෝහල්ගත කරන්න ! අපේ නිර්දේශ ලියා අප දෙදෙනා නැවත රෝහලට පැමිණියෙමු.
ඉන්පසු යම් කාලයක බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් අතර ගැටුමකින් බන්ධනාගාරයේ prison break නාටකයක් ආරම්භවී තිබුණි. එය දුටු අප, එදා අපව යැවූ අනාරක්ෂිත ගමන ගැන අංශභාර වෛද්‍යවරයා වෙතින් විමසූ විට හේ බොහෝ කණගාටු වී සමාව අයැද සිටියේය. හදිසියේවත් ඔවැනි කලබලයක් අප එහි සිටියදී සිදුවුනානම් ? එහෙනම් අපේ ජීවිත පවා අවදානමේ නොවෙද  කියා බොහෝ වෛද්‍යවරු දොස් කීවෝය.

වෛද්‍ය සේවා කාලයේදී... අපට හිතන්නට බැරි තැන්වල සේවය කරන්නද හිතාගන්නට බැරි ස්ථානවලට ගොස් සේවය සපයන්නද සිදුවේ. ඒවා අප ජීවිතය සෞඛ්‍යය පවා අනතුරේ හෙලනසුළුය.
බෝවන රෝග බොහෝ විට අපටද වැළඳේ. නිරන්තරයෙන් රෝගකාරකවලට නිරාවරණය වන නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් බොහෝ රෝග කාරක යටපත් කරනවා ඇතියැයි සිතේ.
මනෝවෛද්‍ය වාට්ටුවේ වැඩ කරද්දී සායන එන්නේ නැති හෝ අසාධ්‍ය තත්ත්වයන්ට ලක්වූ රෝගීන් සොයා ඔවුන්ගේ නිවෙස් වෙත පවා යාමට සිදුවූ විට, ඇතැම් රෝගීන් කැති පොලු අමෝරා අප පසුපස දිව ඒ.
බොහෝ විට මෙලෙස යන්නේ පොලිස් නිලධාරියෙක් සමඟය. වේගයෙන් දුවන්නට බැරි මට ඈතින්ම නවතින්න යැයි කියූ හැටිත් මතක් විය. සියල්ල සන්සුන් වූ පසු එහි එන්න යැයි අනෙක් සහෝදර වෛද්‍යවරයා පැවසූ පසු යන්නටත් පුරුදු වූයෙමි.
එහෙත් අදටත් බොහෝ අවදානම් තිබුනද සේවය නොපිරිහෙලා ඉටුකරන්නට අපි උපරිම උත්සහය ගන්නෙමු.
අවුරුදු ගණනාවක් මේ භූමියේ බොහෝ දුෂ්කර පරිසරවල දුක්විඳින මිනිසුන්ගේ දුක ඇසුවෙමි. පිළිසරණ වීමි. හොඳයි, නරකයි කියා බෙදෙන මිනිසුන්ගේ පවා ලෙඩ දුක් කරදර මගේ කරගෙන උදව් කළෙමි. මගේ ජීවිතේ පවා අඳුරේ හෙලමින් ඔවුන්ගෙන් කරදර වන අතර වුවද උදව් කළෙමි.
ඔබට සිතාගැන්මටවත් නොහැකි කාලයක උතුරේ සේවය කළ අතර ඒ කතා පොත් පත් පුවත්පත්වල ලීවා නොව ලියැවුණාය. තවත් මතකයේ රැඳි කතන්දර බොහෝ ය හැකි විටක ලියන්නම්.
(LankaTarget web අඩවිය සඳහා ලියූ ලිපි)

Saturday, March 13, 2021

පිපිරුණු හිත

 


“කොච්චර කිව්වත් ඔයා ඔය කියන තරම් මේ ලෝකේ හොඳ නෑ ඩොක්ටර්’ 

කමලා කොරිඩෝවේ පුටුවේ ඉඳගෙන එහෙට මෙහෙට පැද්දෙන ගමන් තමන්ගේ අතේ තිබුණු තණකොළ ගහ මා දිහාට පෙන්වමින්, 

“මේ තණකොළ ගස් ඊට වඩා හොඳයි” කීවාය. 

කමලා ඇතුළු බොහෝ දෙනෙක් ඒ වෙනකොට නිතර නිතර වාට්ටුවට ආවේ ගියේ ඔවුන්ගේ මනස මූලිකව පැවති ගැටළු නිසා. බොහෝ හිතවත්ව කතා කරන නමුදු ඇතැම් විට තරහා ඇවිස්සී බැන වදී. එවිට එතෙක් හොඳ මිනිසුන් ලෙස ඇයම හැඳින්වූ අප හැම බොහෝම නරක එවුන් යැයි කෑ ගසන්නීය. 

“ගෙම්බෝ කපලා කුරුමිණියෝ මරලා තමා ඕගොල්ලෝ දොස්තරලා වෙලා ඉන්නේ. එහෙම වෙලත් කරන්නේ සත්තු මරන එක. අපි කළෙත් මිනී මරපු එක ඩොක්ටර්ලත් මිනී මරුවෝ මිනී මරුවෝ මිනී මරුවෝ” ඇගේ මේ ගෝරනාඩුව මට මුලදී බොහෝ සංකා ගෙන ආවාය. අප කොයිතරම් ඔවුනට කාරුණික වුවද ඔවුන්ගේ මනසේ ඇතිකරන පෙරළිය තුළ තමන්ට දරා ගත නොහැකි තරම් කම්පනයන් සහ කලබල ඇති කළ බව පෙනෙන්නට තිබුණි. 

“අපි බංකර් වල ඉන්නකොට මට හිතුනෙම ඔළුවට කඩං වැටිලා වැලලෙයි කියලමයි.” ඔවුන් අවසන් කාලයේ ගත කළ මතක එකිනෙක දිග හරී. ශරීරයේ තුවාල සුව වී තිබුනද කඳවුරෙන් නිදහස ලබා පැමිණියද යන්නට තැනක් හෝ බාර ගන්නට නෑයෙක් නොවූයෙන් ඇයට සිදුවුණේ වැඩිහිටි නිවාසයකට යාමට සහ සුව නොවූ මනසට බෙහෙත් ලබා ගැනීමට ය. 

පශ්චාත් ව්‍යසන ක්ලමත අක්‍රමතාවය හෙවත් Post Traumatic stress disorder යනු පුද්ගලයෙකු හට කම්පන  සහගත සිදුවීමකට නිරාවරණය වීමෙන් පසුව වර්ධනය විය හැකි මානසික ආබාධයකි.  ලිංගික අතවර, යුද්ධ, රථවාහන ගැටුම්, ළමා අපයෝජන වැනි සිදුවීම්  සම්බන්ධ සිතුවිලි,  මෙවැනි බොහෝ දේ කම්පන ඇති කරවන සුළුය. ඒ සිදුවීම සමග ඇතිවූ හැඟීම් නිරන්තරයෙන් ඔවුන් තුල කම්පනයක් ඇති කරන අතර ඒ හැඟීම් සිතුවිලි හෝ සිහින නිසා තමන්ටම මානසික හෝ ශාරීරික පීඩා ඇතිකරති. එම ගැටළු නොයෙක් ආකාරයෙන් ඔවුන් තුළින් මතුවේ. ඇතැම් විට තම කිට්ටුම අය හා උරණ වෙමින් හිංසා පැමිණවීම වැනි ලක්ෂණ යුද වැදී විශ්‍රාමිකව සිටින සෙබලුන් කෙරෙන් දැක තිබුණු බව ඇමෙරිකාවේ පලවූ වාර්තාවල සඳහන් වේ.  එමෙන්ම පීටීඑස්ඩී ඇති පුද්ගලයෙකු සියදිවි නසාගැනීම් හා හිතාමතාම ස්වයං හානියක් කරගැනීමේ ද වැඩි අවදානමක් ඇත. 

අපේ රටේ ඇතිවූ අවුරුදු 30ක යුද්ධයෙන් පසු ඒ යුද්ධයට මැදිවූ රණවිරුවාගේ සිට සිවිල් වැසියා දක්වා යුද්ධයේ බිහිසුණු මතක සමග පශ්චාත් යුද කාලයේ මේ මානසික රෝගයට ගොදුරුවූ පිරිස් අපට මුණ ගැසිණි. ඔවුන් වෙනුවෙන් බොහෝ ක්‍රමවේදයන් මනෝවෛද්‍ය සායන හරහා ක්‍රියාත්මක කෙරිණි. සංගීතය, චිත්‍ර සහ නැටුම් ගැයුම් යන මේ දේවල් අඩංගු වැඩමුළු සහ කලා උළෙල ඔවුන් වෙනුවෙන් ලැහැස්ති කළ හැටි මට මතක් වේ. බොහෝ චිත්ත ආවේග සහ දුක් දොම්නස්, තම මනස කලාකාමී යමකට යොමු වීමෙන් අඩුකරගත හැකිවූ බව බොහෝ දෙනෙක් මට පැවසුවෝය. මේ තත්ත්වයට පත් වූයේ ත්‍රස්ත කණ්ඩායමේ සිටි පිරිස පමණක් නොවේ. යුද හමුදා සෙබළුන්ද , හිටපු ත්‍රස්තවාදී කණ්ඩායමේ අයවලුන්ද මේ බිහිසුණු යුද්ධයට මැදිව ජීවිත සහ තම ළබැඳියන් අහිමි කරගත් සිවිල් වැසියන්ද යන මේ සියල්ලෝම මනසින් බොහෝ පීඩා වින්දෝය. 

වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන්ද මේ ව්‍යසනවලදී දැඩි ලෙස මනසින් රෝගාතුර විය. බොහෝ පිරිසකට තම මව හෝ පියා අහිමි වූ අතර ඇතැමෙකුට කිසිවෙක් නැතිව අනාථ නිවාසවල දිවිගෙවන්නට සිදු විය. එවැනි අනාථ නිවාසවලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසා බැලීම එකල අප ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිරන්තරයෙන් සිදු කළේය. 

“හීනෙන් පේනවා බංකරේ ඉන්නවා කියලා. වතුර ගලනවා පේනවා. බංකරේ වතුර පිරෙනවා පේනවා. පීනගෙන අපි උඩට එන්න විදිහක් හොයනවා හොයනවා ඩොක්ටර් මට හෙලවෙන්නවත් බැරි වෙනවා. බයවෙලා නැගිටිනවා” මේ සිහිනය එවන් යුද්ධෙට මැදි වූ දකුණේ තරුණයෙකුගේ ය. මොවුන් තවමත් උතුරේත් දකුණේත් හුදෙකලා සටනකය. ඔවුන්ගේ හිත් හදාගන්නා යුද්ධයට පිළියම් ගෙනෙන්නේ කෙසේදැයි නොයෙක් තැන කතා බහ කරන බව දකිමි. ලංකාවේ සෑම රජයේ රෝහලකම මනෝවෛද්‍ය සායන තුළින් මොවුන් වෙනුවෙන් ප්‍රතිකාර සහ ක්‍රමවේද ක්‍රියාත්මක කෙරේ. මනෝ උපදේශනය ඉන් එකකි. පුහුණු මනෝ උපදේශකවරුන් සෑම රෝහලකම සිටිති. සාර්ථක උපදේශනය තුළින් ඔවුන්ගේ ගැටළු හඳුනාගැනීමට මෙන්ම, කම්පන පිරි අතීතය අමතක කර දමා යතාර්ථයට මුහුණ දීමට අවශ්‍ය සුවපත් වීමේ ප්‍රායෝගික ක්‍රමවේද පුහුණු කිරීමට හැකිවේ. 

පසුගිය සතියේ සාහිත්‍ය උළෙලකදී මට මුණ ගැසුණු උතුරු කොන සහෝදර සහෝදරියන් අප හමුවේ ගෙන හැර දැක්වූ කතා සිත බොහෝ සුවපත් කරවන සුළු ය. සන්නිවේදනයේ දුර්වලතා නිසා දෙමළ අකුරු සිංහලයට හැරවෙද්දී සිදුවන අලකලංචි නිසා ඔවුන් අපහසුතාවයට පත්වන අයුරුද එහිදී පැවසූහ. රටක ඉතිහාසය ලියන්නේ ඒ කාලවකවානුවේදී ජීවත් වූ ජන කොට්ඨාශය විසිනි. මේ ලියැවෙන වර්ථමානයේදී අප බොහෝ ඉවසීමෙන් දරාගත යුතුය. මන්ද මේ රටේ උතුර දකුණ අවුලමින් නැගුණු යුද්ධයේ ගිනි දැල් මුළුමනින්ම නිවී ගොස් නැති බැවිනි.

වෛද්‍ය බෝධිනී සමරතුංග 
(ලේක් හවුස් - රැස පුවත්පතේ පලවිය)

Thursday, March 4, 2021

මොනවද මෙහෙ තියන අඩුපාඩු ?

අලුතෙන් පත් වී ආ වෛද්‍ය අධ්‍යක්ෂවරයා සියලු වෛද්‍යවරුන් රැස් කර අහන්නේ එකම ප්‍රශ්නයක්.

“කොහොමද මම ඔබට උදව් කරන්නේ ?”
කිසිඳු පිළිතුරක් නොවන තැන ඔහු තව දුරටත් පැහැදිලි කරන්නේ ” මම ඔබට උදව් කළොත් ඔබේ සේවය පහසු කළොත් ඔබට ඔබේ රෝගීන්ට පිහිට විය හැකියි “ කියාය.
නව අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගත් පළමුදවසේම “රෝගී සත්කාරයට වඩා අය කරන මුදල් ප්‍රමාණය වැඩි” ඒකකයක වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් කළ හැටි පුදුමාකාරය…ඇත්තටම හිතා බැලුවොත් පුදුමවෙන්නට දෙයක් නැත. මේ නාටකයක් ය. ඉතින් සැබෑ ලෝකයේ වෙන, නොවෙන දේ සියල්ල මෙහි පෙන්වන නමුත් ඒවා හිතට බොහෝ කිට්ටු ය. මෙහි සිදුවීම් ඇතැම්විට අතිශ්‍යෝක්තීන් යැයි හිතෙන තරම් ය.

වෛද්‍යවරයා මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතු බව පෙන්වා දෙමින් පවතින යාන්ත්‍රණයේ අවුල ගැන කතා කරන මෙවන් නාටකයක් දුටුවේ කාලයකින් ය. මෙහි වෛද්‍ය අධ්‍යක්ෂ , සෞඛ්‍ය සේවයේම යාන්ත්‍රණයේ ( සිස්ටම් එකේ) අවුල වෙනස් කරන්නට වෙහෙසෙයි.
මනුෂ්‍යත්වය ඇති වෛද්‍යවරුන් වෙන්නට අනෙකා දිරිගන්වන වෛද්‍ය හේ, හොඳ වෙනුවෙන් වැඩ කරනා වෛද්‍යවරුන් දිරිගන්වනු දකින්නට ලැබෙයි.
මේ වෘතාන්තයකි… රූපවාහිනී ටෙලි නාට්‍ය මාලාවකි.

එහෙව් නාටක නොයෙක් තැන්වල නොයෙක් අයුරින් තත්‍ය ලෝකයේද අඩුවක් නැතිව පෙනෙන තැන් අපමණ ය. එවන් නාටකයක කොටසක් ලියා තබන්නට සිත් විය. මේ වෛද්‍යවරියක විසින් දුෂ්කර රෝහලක සේවය කරන අතර ලියූ සටහනකින් එකකි.

දිනය කිව නොහැකි එක්තරා දිනයකි –

වාට්ටු වල වැඩ අවසන් කොට පහළට පැමිණෙද්දීම ප්‍රධාන මාර්ගයේම පිහිටි ප්‍රාදේශීය රෝහලකඇම්බියුලන්ස් රථයක් නැවැත්වීය. අපේ හිතවතියක් වන ඒ රෝහලේ වෛද්‍යවරිය කඩිමුඩියේ එළියට බැස, කෑ ගසා සියල්ලන් රැස් කර ඇතුල තිබූ ස්ටෙචරය සමග රෝගියා රැගෙන හදිසි සත්කාර ඒකකය වෙත තල්ලු කරගෙන ගියාය.

දහවල් 12 පමණ වූයෙන් ETU (emergency treatment unit) හෙවත් හදිසි සත්කාර ඒකකය එවෙලාවේ බොහෝ කලබල නිසා අපි තිදෙනාද කෑමට නිල නිවාසයට යන ගමන නවත්වා එහි දිව ගියේ උදව් කිරීමටය.

රෝගියා දුටු මතින්ම බොහෝ අසාධ්‍ය යැයි සිතුණි. අපේ හිතවත් වෛද්‍යවරිය කීවේ, බයිසිකලයේ ගමන් ගත් ඔහුව, ටිපර් රථයක් හප්පාගෙන ගොස් ඇති බවය. ඔළුවට හානි සිදු වී ඇත. ඔක්සිජන් ප්‍රතිශතය බලාගෙන සිටියදී පහළ බසී. නාසයෙන් කටින් ලේ ගලයි.ශ්වසන මාර්ග සියල්ලම අවහිර වී ඇත. මොළයට දැඩි හානි සිදුවූ බවක් පෙන්වයි. ඔහුට සිහියක් නැත. නිර්වින්දන වෛද්‍යවරයා බටයක්දමා ශ්වසනය යථා තත්වයට පත් කරන්නට උත්සහ ගත්තද බටය දිගේ පැමිණෙන්නේ ලේ පමණි. හර්දයද අකර්මණ්‍ය වී ඇත. කෙනෙක් කෘතිම හර්ධ ස්පන්දනය ඇති කිරීමට උරස් ප්‍රදේශය තෙරපයි. අපද හැකි අයුරින් උදව් කළෙමු. එහෙත් රිද්මයේ වෙනසක් නැත. දෙතුන් පාර විදුලි සැර දීම මගින් හෘදය ක්‍රියාත්මක කිරීමට උත්සහ ගත්තද එය සාර්ථක වූයේ නැත. ඔහු මිය ගොසිනි. අපි අපේක්ෂාභංගව පිටතට පැමිණියෙමු.

එක දරුවෙක් වඩාගෙන තවත් දරුවෙක් අතින් අල්ලාගෙන ඔහුගේ බිරිඳ ETU එකේ දොරකඩ බලාගෙන සිටී. ඇය සිතන්නේ ඔහු ජීව්ත්වේය කියාය. අප නැවත නිල නිවස වෙත ගියෙමු. දැන් රෝහල දෙසින් මහත් විලාප හඬක් ඇසේ. නිර්වින්දක වෛද්‍යවරයා පිටතට පැමිණඔහුගේ බිරිඳට කනගාටුදායක පුවත පවසන්නට ඇති.

තරුණ මව දරුවන් දෙදෙනෙකු සමග තනිවී සිටී. කුලී වැඩ කර එදාවේල සරි කරගත් ඒ තිස් හැවිරිදි තරුණ පියා, ටිපර් රථ බයිසිකල්ගැටුමෙන් ලොව හැර ගොසිනි !

මගේ යෙහෙළියක් මා දෙස බලා “ පේනවා නේද.. තව බයිසිකල් පදිනවා” යැයි මා දෙස ඔරවාගෙන දොඩවයි. ඔව් එය ඇත්තෙන්ම භයානකයි ! (අත්දැකීමෙන් දනිමි.) රජය හෝ වගකිවයුතු ආයතන මෙවැනි මාර්ග අනතුරු ගැන සැලකිලිමත් වෙනවානම් හොඳයි සිතේ.

විශේෂ අමුත්තන් කිහිප දෙනෙක් මාස කිහිපයකට කලින් මේ අනිත්කොන රෝහලට පැමිණියා මතකය. ඒ පැමිණෙද්දී නම් දින 3 ඇතුළතරෝහල කළ එළි වී අමුතුම සිරියක් ගෙන ආවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පින් සිදු වෙන්නටයි. උත්සවයට කලින් දින එක් නිලදරුවෙක් රෝහලේ පිවිසුම් කොරිඩෝවේදී, හවස වැඩ ඇරී නිල නිවාසයට යමින් සිටින අපට මුණ ගැසිණි.

“මම අහවලා , ඩොක්ටර්ස්ලා කොහේද, කොහොමද කොයි පළාතේද. මෙහෙ හොඳද” යනුවෙන් ඇරඹි කතා බහ අවසානයේ.

“මොනවද ඩොක්ටර් තියෙන අඩු පාඩු” යැයි ඇසුවේය.

“අඩු පාඩු නම් එමටයි. අපට තියෙන්නෙ එකම එක ශල්‍යාගාරයයි.(operation theatre) ඉතින් හදිසි සැත්කම් අවස්ථා පැමිණි විට ඇතුළේකරමින් ඉන්න සැත්කම නවත්වා ඒ ලෙඩා එළියට අරගෙන අර හදිසි සැත්කම කරන්න වෙනවා. එහෙම නැත්නම් ඇතුළේ එක ඉවරවෙනකම් එළියේ ලෙඩා ජිවත්කරන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා”

“ඒ කිව්වේ”

“දැන් හිතන්න, කකුලක් කැඩිච්ච රෝගියෙක්ගේ සැත්කම කරමින් ඉන්නකොට, බබෙක් හම්බුවෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ ප්‍රශ්නයක් වෙලා හදිසියෙන් සීසර් කරන්න උණොත්. මිනිත්‍තු කිහිපයකින් ඒ දේ කරනන් ඕනේ. හැකි තරම් ඉක්මනින්. ඉතින් එතකොටඅර තියටර් එකේ ඇතුළේ ඉන්න ලෙඩා ඉක්මනින් සිහි ගන්වා එළියට ගන්න වෙනවා.” මම පැහැදිලි කළෙමි.

“ආ හරි. ඔව් ඩොක්ටර් ඒක ගැන මම සටහන් කරගන්නම්”

“තව.. මේ රෝහලේ ලිෆ්ට් එකක්වත් වැඩ කරන්නේ නෑ. දැන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු ගණනාවක් ගතවෙලා. වාට්ටු සහ ශල්‍යාගාර තියෙන්නේ දෙවෙනි තට්ටුවේ. ස්ටෙචර් පිටින් කර මතින් උස්සගෙන තමයි පඩිපෙළ නගින්නේ. හදිසියෙවත් රෝගියා වීල් චෙයා එකේ ගෙනාවොත්, සුළු සේවකයන්ට තේරෙන්නේ නෑනේ රෝගියාගේ තත්වය, එයාලා රෝගියා පයින් පඩිපෙළ දිගේ ගෙනියනවා. මේ ළඟදි දවසකත් පඩිපෙළ පාමුල අම්මා කෙනෙක් බබෙක් ප්‍රසූත කළා. අපි සේරම පල්ලෙහාට දුවලා තමයි දරුවා ගත්තේ. ඒකට අපිට කාටවත් බනින්න බෑ. දරුවෙක් ප්‍රසූත කරද්දී වීල් චෙයා හෝ ස්ටෙචර් එකේ ඒ අම්මව උඩට උස්සගෙන එන්න බෑනේ. සමහර විට හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ශල්‍යාගාරයට ගෙන යන හදිසි රෝගීන් පවා කර මතින් පඩිපෙලින් ගෙන යද්දී කොයි තරම් අමාරුද ඒකට විකල්පයක් නෑ. එනිසා පුළුවන්නම් මේ ලිෆ්ට් දෙකක් බිල්ඩිමේ දෙකොනේ තියෙනවා ඒ දෙක හරි ගස්සලා දෙන්න.”

“හොඳයි ඩොක්ටර්.. මම ඇහුවේ ඩොක්ටර්ස්ලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මෙහේ. ඉඳුම් හිටුම් , පහසුකම්” එතකොටයි මට තේරුණේ මොහු අසන්නේ අපේ පුද්ගලික අවශ්‍යතා ගැන කියා.

“නෑ අපිට නම් එහෙම කියන්න තරම් අපහසුතාවයක් නෑ. කියන පරක්කුවෙන් අපට අවශ්‍ය සියල්ල අපිට සපයන්න මෙහෙ පිරිස ඉන්නවා. එකම දේ මේවායේ තියෙන දේවල් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕනෙකම තියෙන අය හෝ පිරිස නෑ. ඒකියන්නේ maintenance, මේ දේවල් හරියට maintain කරනවානම් හොඳයි. එතකොට ගොඩක් කල් පවතිනවා. අනික අපිට කොහොම හරි එදා වේල කාලා බීලා ඉන්න හැකියාව තියෙනවා, ඒ උණත් මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට නම් සෑහෙන්න අමාරු ඇති. ආර්ථික ප්‍රශ්න දැන් තමා දැනෙන්නේ. කඳවුරුවලින් පිටවෙලානේ ඒ අය.

දැන් පාරවල් හැදෙන නිසා වාහන යනවා නෙමෙයි පියාඹනවා. දවසකට එකක් හෝ දෙකක් මාර්ග අනතුරු මරණ” මම ආයෙත් මාතෘකාවෙන් පිට කියවන බව හිතෙන් මතක් කළ නිසා, කතාව දිග්ගස්සන්නේ නැතුව හමාර කළෙමි.

ඉන් මාස ගණනාවකට පසු බොහෝ මැදිහත් වීම් නිසා දැන් අපට ශල්‍යාගාර දෙකක් ලැබී තිබේ.එනිසා දැන් හදිසි සැත්කම් එසැනින් සිදු කරන්නට අපට හැකියාව තිබේ. ලිෆ්ට් දෙක වැඩ කරවාගන්න නම් සෑහෙන කලක් ගියා.
අප ඒකකයට අලුතෙන් පැමිණි විශේෂඥ වෛද්‍යතුමා කියුවේ… “අඩු තරමේ මේ රෝහලේ සියල්ල අප කියූ සැණින් ක්‍රමානුකූලව සිදුකරන්න පියවර ගන්නවා නේ. ” කියලා. ඒ කතාව නම් සෑහෙන්න ඇත්ත.

Im doing what ever I can to change the unwanted into something productive and healthy.

එහෙම කතාවක් ඇය දිනපොතක ලියා තැබුවා මතක ය.

රෝහලක තතු රැගත් ගැන “new amsterdam” නාටකය ගැන කියන්නට ගිය කතාව දෙසට ආයෙම හැරෙන්නම්.

නමින් නිව් ඇම්ස්ටර්ඩෑම් ය , රෝහලක සිදුවීම් වටා ගෙතුනු මනුෂ්‍යත්වයේ කතාවකි.
ඇතැම් දෙබස් සහ සංසිද්ධි හිතේ මල් පුබුදනසුළුය. නෙත අග කඳුළු රඳවන සුළුය. අනුන් වෙනුවෙන් වෙහෙසී තබනා පියවර මතක් කරනා සුළු ය. එසේ දුවන අතර ඇසූ ඇනුම්පද , අපහාස උපහාස මතක් කරවනා සුළු ය.
“විහින් මැරුම් කන්නේ නැතුව රාජකාරිය විතරක් කරන්න” කියා අසාගත් හැටිද මතක් විය.

මේ ලෝකයේ හොඳ සහ නරක දෙකක් ඇත්නම් ඔබට ඉන් මධ්‍යස්තව දෙකම තෝරාගත නොහැක.
බොහෝ ආයතනවල සේවය කරන හොඳ මිනිසුන් කළකිරීම් මැද සේවය කරති. හොඳ වෙනුවෙන් අරගල කරති. පැරදුම හමුවේ සේවය අත් හැර යති. සෞඛ්‍යායතන පාලන ඒකක මගින් සමස්ථ සමාජයේ සුභසිද්ධිය වෙනුවෙබ් වැඩ කළ යුතුය. දූෂණය වංචාව දුටු තැන එය මර්ධනය කළ යුතුය. අවැඩ දැක දැක නිද්‍රාශීලීව සිටින්නේ නම්, අවැඩ වෙන්නේ සමස්ථ මානව සමාජයටම ය.
“People dont leave bad jobs, they leave bad bosses, poor management who dont appreciate their value”
“මිනිසුන් රැකියා අත හැර යන්නේ නැත. ඔවුන් අත හරින්නේ නරක ප්‍රධානීන්, දුර්වල පාලන ඒකක , ඔවුන්ගේ අගයට වෑයමට වටිනාකමක් නොදෙනා තැන් ”

මට ලියන්නට හැකි සීමාවේ සිට මේ වචන කැටි කළේ මෙය හුදෙක් ටෙලිවෘතාන්තයක් පමණක් නොව එදිනෙදා රෝහල් ජීවිත ගත කරන බොහෝ සෞඛ්‍ය සේවකයන්ගේ චිත්ත සන්ථානයේම පරිමාවක් ඇතුලත්කර ලියූ ජීවී සටහන් ගොන්නක් නිසා ය
ඉන් උපුටා ගත් වෛද්‍ය අධ්‍යක්ෂ විසින් කියනා දෙබස් කොටසක් ඔබ වෙනුවෙන් ලියා තබමි.

“Isn’t our job to provide our patients with the best possible care…?
But isnt it also to help people out in the world, not to become patients ?
Even if the system is broken we can offer them a path because if we dont we are just gonna see each generation back here again and again !
Babies returning with obesity before the age of six
Foster kids coming back as psych patients before they can even vote
So we need to break the chain
We can only help people if we our selves are willing to take risks
Cause change is always possible.”

“අපේ රැකියාව රෝගියා වෙනුවෙන් හොඳම සත්කාරය ලබා දීම නොවේද ?
ඒවගේම අපේ කාර් යය විය යුත්තේ ලෝකයම ලෙඩුන් වෙන එක වැලැක්වීම නොවේද ? එහෙම නොකළොත් අපිට හැම පරම්පරාවම රෝහල වෙත පැමිණීම වලක්වාගත හැකි නොවේ.
බිළිඳුන් අවුරුදු හය වෙනකොට අධි ස්ථූලතාවය සමග රෝගී වෙලා මෙහි ඒවි. කැපකරු ක්‍රමයේ සිටින දරුවන් ජන්දය හිමි වයසට එන්නට කලින් මානසික රෝගීන් වෙලා මෙහි ඒවි
එනිසා අපි මේ ක්‍රියාදාමය කඩා බිඳ දමමු.
නිසි ක්‍රමවේදයක් නොමැති වුවද යාන්ත්‍රණය ක්‍රියාවිරහිත වුවද අපට හරි මාර්ගය පෙන්වා දිය හැකි නොවේ ද?
මේ යාන්ත්‍රණයේ දම්වැල් පුරුක් අපි බිඳ දමමු. ඔව් මිනිසුන් වෙනුවෙන් මේ යාන්ත්‍රණය වෙනස් කිරීමට අපට අවදානමක් තිබුනද අපි ඒ අවදානම දරා ගනිමු…
මොකද වෙනසක් කිරීමට අපට හැකිය !

නිව් ඇම්ස්ටර්ඩෑම් ටෙලි වෘතාන්තය. අප වෘත්තිය ජීවිතයේ වෙනස්ම පැතිකඩක් ඔබට විවර කරනවා ඇත. එමෙන්ම රෝගියා මූලික කරගෙන ඒ වෙනුවෙන් යා හැකි උපරිම දුර ඇවිදින වෛද්‍යවරුන්ට මෙය උපහාරයක්ම වනු ඇත.
(හැකිනම් නරඹන්න. මම Netflix තුලින් නැරඹුවෙමි.)

Break the rules – Heal the system