Tuesday, March 27, 2018

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය සංවාදයේදී - “අපි ඔක්කොම එකම රටක ක්‍රමය විසින් අවතැන් කරපු, වෙනස් කරපු පුද්ගලයෝ”
-වෛද්‍ය බෝධිනී සමරතුංග
January 27th 2018


මම මුලින්ම කියන්න ඕනේ මම බෞද්ධයෙක් මම හැදුනේ සිංහල බෞද්ධ පරිසරයක,නමුත් මම පාසැල් ගියේ කතෝලික පාසැලකට එතකොට මට කතෝලික දහම දැනුනේ මගේ යෙහෙළියන්ගෙන් සහ පාසැලේ තිබුණු ක්‍රම වේද තුලින්, නමුත් මට මේ පොත කියවද්දී අර මම ටැබූ සබ්ජෙක්ට් හැටියට , අපි මේ මහා භයානක දෙයක් කිව්වා වගේ මම අහද්දී, මගේ යෙහෙළියෝ මගේ කට වැහුව දේවල්  පැහැදිලි කරලා දුන්නා මේ පොතෙන්. ඒක ප්‍රබල කාරණයක්. මම බෞද්ධයෙක් හැටියට මට ගොඩක් දේවල් තිබුනා ඉගෙන ගන්න. ඒ වගේම මේ දහමේ තිබුණු  ගැඹුරු දර්ශනය සහ අධ්‍යාත්මයට තිබුණු කිට්ටුකම මම මේ පොත තුලින් දැක්කා. පොත ගැන බොහෝ ගැඹුරින් කතා කළ දේශන තිබුන නිසා මම අද කතා කරන්න ආවේ දේශ ද්‍රෝහියා කියන වචනයත් එක්ක මට තියෙන සබැඳියාව ගැන මම මේ පොතේ එන ආදිත්‍ය , හෙවත් චන්ඩි ජීසස් සහ අපි දැකපු විඳපු ඒ පශ්චාත් යුද සමයක ඒ වන්නිය පුපුරලා ගිහිල්ලා අපිව යවලා පැලැස්තර දමන්න හදපු සමයක මට දැනුන දේවල් තමා මම කතා කරන්න ආවේ.

කාලෙකට කළින් මම වැඩ කරා මනෝ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරියක් හැටියට,උතුරේ ප්‍රධාන රෝහලක, ඒක විතරයි ඒ පැත්තටම තිබුණු ප්‍රධාන රෝහල. අම්මලා එනවා කීප දෙනෙක්. එක අම්මෙක් ආවා එයාගේ එකම පුතා අවසාන සටනේදී ආගිය අතක් නෑ. පුතා කියන්නේ හිටපු ත්‍රස්ත සොල්දාදුවෙක්. මුලතිව් වනයේ කොහේ හරි නැතිවෙලා පුතාව. එයාට තිබුණු ප්‍රශ්නය,  (මේ ඔක්කොමලා ptsd හරි ඒ ප්‍රශ්න වැඩිවෙලා ඩිප්‍රෙෂන් හෙවත් විශාදිය තත්වයට පත් වුන අය). එයාට තිබ්බ ප්‍රශ්නෙ, මගේ දරුවාට අවසාන මළගම සිද්ධ කරන්න බැරි වුනා චාරිත්‍රානුකූලව , ඒක කරනකල් නින්ද යන්නෙ නෑ පුතා ඇවිත් මට අඬ ගහනවා " කියන එක.

තව හිටියා අම්මා කෙනෙක්, සිංහල සොල්දාදුවෙක්. ආමි එකේ සොල්දාදුවෙක්ගේ මවක්, මැදවච්චියෙන් එන්නේ අපේ සායනයට, ඇයටත් තිබුන ප්‍රශ්නය ඇගේ දරුවා අතුරුදහන් වෙලා තිබුනා, මිනී පෙට්ටියක්වත් ලැබුනේ නෑ අතුරුදහන් බව පමණයි දන්නේ.. කියන එක.

එතකොට තව හිටියා කීප දෙනෙක් යුද්ධයේ අර අවසාන මෙහෙයුමේදී , තමාගේ,( මම හිතන්නේ මම ළඟදී මෛතලී ගැන ලීවා,) මේ ඔක්කොම අනවර්ථ නම් මම සත්‍ය නම් භාවිතා කරන්නේ නෑ.

මෛතලීගේ පෙම්වතා අත් අඩංගුවට පත් වෙලා අතුරුදහන් වෙන්නේ මේ කාලයේදී. මේ අයගේ තිබුණු මේ ප්‍රශ්නත් එක්ක අපි දැනගෙන හිටියා, මේ සමාජ ක්‍රමය නෙමේ .. මේ දේශපාලන ක්‍රමයයි. අන්න ඒ ක්‍රමයට ද්‍රෝහී වන්නන් මිස දේශයට ද්‍රෝහිවන්නන් නොවන බව මම පසක් කර ගත්තේ වන්නියේදී. මොකද අපි ඔක්කොම එකම රටක ක්‍රමය විසින් අවතැන් කරපු වෙනස් කරපු පුද්ගලයෝ.

මම එහෙට යනකම් මම හිතන් හිටියේ කොටි කියන්නේ මහා භයානක මිනිසුන් කොට්ඨාසයක් කියලා. ඔවුන් හිතන් හිටියේ සිංහල අය කියන්නේ මහා දරුණු බොහොම නරක කට්ටියක්, මේ අපට ජීවත් වෙන්න දෙන්නේ නැති, කියලා.නමුත් මා ඔවුන් හා මා අතර, අපි අතර !  ඇත්තෙන්ම සිංහල වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් හිටියා..ඔවුන් හා අප අතර ගනුදෙනුවේදී අපි තේරුම් ගත්තා දේශද්‍රෝහීන් කියන්නේ කවුරුන්ද කියා. ඇත්තටම දේශයට ආදරය කරන්නන් සියළු සෙසු මනුෂ්‍ය කොට්ඨාසයන් වෙත ද එකම මානව දයාවෙන් ක්‍රියාකරන බව මා තේරුම් ගත්තේ වන්නියේදී.
එතකොට මේ අම්මලා දෙන්නාගේ කතාවෙදි අපිට දැනුණු දෙයක් තමයි ඔවුන් දෙන්නටම අවශ්‍ය උත්තරයක්. තමන්ගේ දරුවා ජීවත්ව ඉන්නවද නැද්ද ? ඔවුන් හැම තිස්සෙම කියන්නේ ඒ දේ. අපිට උත්තරයක් දුන්නොත් හිත හදාගෙන ජීවත්වෙන්න ලේසියි කියන එක !

අපි කොහොමද මේකට උත්තරයක් හොයන්නේ ?

අපේ මනෝවෛද්‍ය විශේෂඥ වරයා අන්තිමට ඇසුවේ ඔබට හිත හදාගන්න මොකක්ද කරන්න ඕනේ කියලා. මට මුලතිව් වනයට ගිහිල්ලා මගේ පුතා අන්තිමට හිටියයි කියන තැනට ගිහින් පූජාව තියනන් ඕනේ කිඅය්ලා. අපේ සර් ඒකටත් එකඟ වුනා.

සිංහල සොල්දාදුවාගේ අම්මාට තිබුණු ප්‍රශ්නය පුතා නැවත ගෙදර එයිද කියලා. අපිට ඒකට දෙන්න උත්තරයක් කවදාවත් තිබුනේ නෑ.

ඒ වගේ පරිසරයක ඉඳිද්දී මම මේ පොත කියවද්දී, ආදිත්‍යගේ මව ගැන කියවද්දී මට මැවිලා පෙනෙන්නේ මේ අම්මලා.

සිස්ටර් සෙව්වන්දි තමන් ඉන්න ඕනෙ තැන ගැන පවසමින් විටින් විට, අර විප්ලවවාදී අදහස් වලදී මතුකරන තර්කයන් වලදී මට මතක් වෙන්නේ අපිව. අපි, රජයේ සේවකයො හැටියට අපි ඉන්න ඕනෙ තැන අපේ ඔළුවෙන් පෙන්වා ගනිමින් නමුත් ඊට වඩා දුර දිවයන්න අපිට  ඇතැම් වෙලාවට සිදුවුනා.

මොකද ඒ සමයේදී අර කළින් කිව්වා වගේ, යුද්දේ ඉවර වුනාට පස්සේ මොකුත්ම ප්‍රශ්නයක් නෑ වගේ...මිනිස්සු සතුටෙන් ඉන්නවා...කියලා  හිතාගෙන මිසක් පශ්චාත් යුද සමයක ඇතිවන ප්‍රශ්න ගැන කතාවක් නෑ. උදව්වට ආපු එන් ජී ඕ ප්‍රමාණයත් හිටියේ නෑ. එතකොට රජයේ සේවකයන් හැටියට අපිට මේ සියළු දේ කරන්න සිදුවුනා දේශපාලන කියන අර කොටුව ඇතුලේ ඉඳගෙන. මට කියන්න මතක් කරන්න ඕනේ වුනේ... දැන් අවුරුදු හතක් ගෙවිලා නමුත් මම තාමත් ඔවුන් සමග කතා කරනවා, මොකද අපි ඔවුන් සමග සහෝදරත්වයෙන් හිටියේ. මැණික්ෆාම්වල සිටි පිරිස ඊළඟට පූන්තෝඩම්කඳවුරේ හිටි ළමා සොල්දාදුවන් විශේෂයෙන් අපි එක්ක ළෙංගතු වුනා. මොකදඔවුන්ට  නෑයෝ කියලා කියන්න කෙනෙක් හිටියේ නෑ, සෙන්චෝලේ මාංචෝලේ ළමා අනාථ කඳවුරුවල සිටි අයට නෑයෝ කියන්න කෙනෙක් හිටියේ නෑ. ඔවුන් දේශද්‍රෝහියෝ වුනේ, අර බෞද්ධ සාහිත්‍යයේ  කියන ගිරව් දෙන්නගේ කතාවේ වගේ මම කොළඹ ඉපදුන, ඔවුන් වන්නියේ ඉපදුන හින්දා කියලා මම නිතරම ඔවුන්ට පැහැදිලි කළා

අපේ රටේ මේ ප්‍රශ්නෙට තවම පිළිතුරක් නැති එක ගැන මම එක හේතුවක් ලෙස දකිනවා අපි ජයග්‍රහණය පොදු දෙයක් කරේ නෑ, ඒක අපි අපේ කරගත්තා කියා මටහිතෙනවා. ඔවුන්ව පරාජිතයන් බවට පත් කළා කියලා මට හිතෙනවා. නමුත් අපි එහිදී ඔවුන්ට , ඔවුන් දේශද්‍රෝහී නොවන බවත් මේ සමාජ ක්‍රමයක වෙනසක් පමණක් බවත් පැහැදිළි කරන්න නිතරම සිදුවුනා. එය ත්‍රස්තවාදයට එරෙහි වූ යුද්ධයක් මිස ජාතියකට එරෙහිව කළ යුද්ධයක් නොවන බව අප ඔවුන්ට පැවසුවා.
එතකොට මෙතන එක තැනකදී මම මේ පොතෙන් අරගත්තු දෙයක් මතක් කරනවා . ඒ තමයි “සංවාදයක් සිදු කළ යුතු තැන සංවාද කළ යුතුයි , යුද්ධයක් අවැසි නොවේ කියලා”

මේ පොතේ මට දැඩිව දැනුන දේ තමයි  බොහෝ වෙලාවට අපි යම් කිසි දෙයක් මතුපිටින් ස්පර්ශ කරලා තමයි කතා කරන්නේ, උදා හරණයක් තමා අපි යුද්ධය ගැන කවි ලීවා විශ්ව විද්‍යාල යන කාලේ, එතකොට අපි උතුරක් දැකලා තිබුනේ නෑ ඒමිනිස්සු කොහොමද කියලා දැක්කේත් නෑ, නමුත් එහෙ ගියාට පස්සේ කවියක් ලියා ගන්නට බැරි තරම් හිත ගොළු වුනා.

ඉතින් යම් කිසි කෙනෙක් ඇත්තටම මේ දේවල් වින්දට පස්සේ ඒවා දැක්කට පස්සේ ඒවා සමග අරගල කළාට පස්සේ දැනෙන දේ බොහෝ වෙනස්. ඒක මේ පොතෙන් මම බොහෝ ලෙසින් දැක්කා.

ඊළඟට 189 වෙනි පිටුවේ මට නිතරම මතකයේ රැඳුණු තැනක් තමයි. කුමාර් පියතුමා කියන මතකය දිග හැරින තැන

“මේ සියල්ල කීමෙන් පලක් නැති නමුදු ඔබ නිතරම සිහිපත් කරන්න අපි ජීවිතය වෙනුවෙන් බොහෝ වද වේදනා විඳ ඇති බව එය දරා ගැනීමේ සීමාව ඉක්මවා බොහෝ දුර ගොස් ඇතත් අපි තවමත් දරා ගනිමින් සිටින බව. ඔබේ යැදුමන් වලදී නිතර අප සිහි කරන්න. ඔබේ හදවත් තුල අපවෙනුවෙන් කඳුළක් හෙලන්නට සංවේදි ඉඩක් වෙන්කර තබා ගන්න, එය එසේ නොවුනත් ඇත්තෙන්ම ඔබ තුල අප වෙනුවෙන් ඉඩක් නොවුනත් අප ජීවත් වන බවත් සිහි කරන්න”

අපට සිදුවුනෙත් එයයි. අදටත් වන්නියේත් දකුණේත් නිවෙස් වල මව්වරු කඳුළු හෙළනවා, අදටත් බිරින්දෑවරු තමන්ගේ අහිමි වුන ස්වාමි පුරුෂයන් එනකම් බලාගෙන ඉන්නවා.
අපිව අද වන විට අපිට මේවා නොදැනෙන නොදකින සමාජයක් බවට පත් කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. යම්කිසි දවසක අපිටමේ දේවල්වල මේ ගැටළුව ලිහා ගන්න පුළුවන් වුනානම් මං හිතන්නේ, "දේශද්‍රෝහියාගේ නිර්මල හදවත" කියලා මේ පොත නම් කරන්න ඕන  නෑ. මං හිතන්නේ නෑ ආදිත්‍ය දේශද්‍රෝහියෙක් කියලා ඔහු මානව හිතවාදියෙක්. ඔහු සියල්ලන්ටම එක සේ ප්‍රේමකළා ,වාසනාවකට දොස්තරලා හැටියට අපි දිවුරුම් දෙනවා සියල්ලන්ටම කිසිම බැඳීමකින් හෝ තත්වයකින් ස්වායක්තව හැමෝටම එක සේ දයාව කරුණාව සහ වගකීම් ඉටු කළ යුතු බවට, අපට එසේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුනේ නෑ. නමුත් මා දන්නවා එසේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණ පිරිස් ගැන ඔවුන් යම්කිසි පිරිසකට හෝ පුද්ගලයෙකුට උදව් කළ පමණින්.

එනිසා මම හිතන්නේ මේ පොත ගැන  මම අන්තිමට ඉදිරිපත් කළ කාරණය අපි වඩාත් හදවත් වලට ගනන් ඕනේ. කිසිම පුද්ගලයෙක් දේශ ද්‍රෝහියෙක් වෙන්නේ නෑ ඔවුන් මේ සමාජ ක්‍රමයේ ද්‍රෝහියෙක්  වෙනවා මිසක් ඒකත් මේ ක්‍රමය පාලනය කරන්නන් විසින් ඇති කරන්නේ. එනිසා මානව හිතවාදියෙක් වූ පමණින් දේශ්ද්‍රෝහියෙක් වෙන්නේ නෑ කියා මා කතාව අවසාන කරනවා..

දේශද්‍රෝහියාගේ නිර්මල හදවත පොත ගැන වූ සංවාදයේදී

1 comment:

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !