Sunday, February 26, 2017

දරුවාට නමක් තියන්න !

බ්ලොග් එකකින් කරන්න පුළුවන් දේ මොනවද කියා මා දැන උන්නේ නෑ. අනිත්කොන බ්ලොග් පිටුව පටන් ගනිද්දී උනත් මේ සංවේදී හර්ද කම්පන බෙදා ගැනීම මිසක් ලොකු අරමුණක් තිබුනේ නෑ. බ්ලොග් ලොවින්ම හමුවුන මිතුරියක් වන රන්දිල් බ්ලොග් එක ලියන රන්දිකා නොවේනම් අනිත්කොන බ්ලොග් එක පොතක් නොවෙන්නත් තිබුනා. ඔව් බ්ලොග් එකක් පොතක් කරන්න පුළුවන් ! ඒ ඇරුනම ලෝක සාමය, සාගිනි නිවීම, සැමට නිවසක් වගේ සිතුවිලි හිතේ ක්‍රියාත්මක වුනාට ඒක බ්ලොග් එකක් හරහා කරන්න බෑ. "මම ලියන්නේ මට ඕනෑ නිසා" කියන සාධකය ඇරුනම වෙන මොකුත් ඔතන නෑ. සාහිත්‍යට අමිල සේවයක් කළා වගේ හිතුවිලි හිතන අයත් ඇති. බ්ලොග් ලෝකයේ දැවැන්තයෝ කියලා ලේබල් ගහගන්න එහෙමත් පුළුවන් හැබැයි ඒ ඔක්කොම එක එක්කෙනාගේ හිතේ ස්වභාවයන් තමා. තමන් ගැන අධි තක්සේරුවක් තිබීම හොඳයි කියලයි මට හිතෙන්නේ.

අනිත් කොන කතන්දර මාලාව ලියද්දී ඇතැම් අයෙක් විමතියට පත් වුනා. ඒ තරම් පුදුමාකාර දේවල් එක මනුස්ස ප්‍රාණියෙක්ට ජීවිත කාලෙකදි වෙන්න පුළුවන්ද කියලා.. ඒ සා විසල් සුවිශේෂ චරිත හමුවෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම .... ඔව් පශ්චාත් යුධ සමයක ඒ වෙන සිදුවීම් මාලාව හරිම අපූරුම කතන්දර ගොන්නක් මවෙත තිළිණ කළා.  හැමෝම කියන කතාවක් තමා පොත කියවලා ඇඬුවා කියලා. ඥාතී අක්කා කෙනෙක් විස්සෝප වුනා "අනේ මෙහෙම මිනිස්සු කොහොමෙයි ජීවත් වෙන්නෙ ?" කියලා. මමත් ඇතැම් දිනක විමතියට පත් වුනා කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. ඔවුන්ගේ දුක හමුවේ විස්සෝප වුනා. ඒ දුකට පිළියම් සොයන්න පිහිටක් ගෙනෙන්න වෙහෙසුනා. බ්ලොග් හරහා ඇතැම් පිරිස් මේ වාට සංවේදී වුනා. මට හොඳම යහළුවෝ පිරිසක් හමුවුනා. අදටත් දුක සැප බෙදාගන්න, හමුවෙන සිනහවෙන යෙහෙළියන් පිරිසක් ඉන්නවා බ්ලොග් තුලින් හමුවුන.

මම අද ලියන්න යන්නෙත් ඒ වගේ මහ පුදුමාකාර යමක්. ඇත්තටම මට මේ වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුනේ ජීවිතේ ප්‍රථම වතාවට. අළුත ඉපදුන දරුවෙක්ගේ අම්මෙක් තාත්තෙක්... එදින හමුවූ මගෙන් ඉල්ලනවා දරුවාට නමක් තියන්නලු... ඔබම හිතන්න ඒක කොයි තරම් පුදූමසහගත ඉල්ලීමක්ද කියලා. මෙන්න ඒ කතාව

එදින රාත්‍රී වැඩමුරය යෙදී තිබුනෙන් වාට්ටුවේ නේවාසික රෝගී දරුවන් පරීක්ෂා කොට තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිකර්ම ලියා තබා රෑ කෑම ගන්නට කියා සූදානම් වෙද්දී ලැබුණු දුරකථන ඇමතුමෙන් කීවේ, ප්‍රසව හා නාරිවේද වාට්ටුවේ ප්‍රසූතිකාගාරයේ දරුවෙක් ලැබෙන්න කිට්ටු අම්මා කෙනෙක් සිටින බවත්, කුස තුල සිටින දරුවාගේ හර්ද ස්පන්දන වේගය අඩුවෙමින් පවතින බවත්, දැන් දැන් මවගේ ගැබ්ගෙලින් ශ්‍රාවය වන තරලය මෙකෝනියම් පැහැය ගන්නා බවත් ය. මෙකෝනියම් යනු දරුවා කුස තුලදී පහ කරන මල ද්‍රව්‍ය හඳුන්වන නම ය.
මෙකෝනියම් තරලයේ පැහැය අනුව නම් දරුවා කුස තුල සිටීම අවදානම් නිසා සීසර් සැත්කම මගින් දරුවා එළියට ගැනීම සිදු කළ යුතු බව එම වෛද්‍යවරයා මට දැන්වීය. 
ළමා වාට්ටුව බාර එකම වෛද්‍යවරයා මම නිසාත්, අප රෝහලේ නොමේරූ ළදරු ඒකකයක් හෝ ළදරු දැඩි සත්කාර ඒකකයක් නොමැති නිසා අමාරු වන දරුවන් එසැනින් එවැනි ඒකක ඇති රෝහලකට ගෙන යා යුතුය. පවතින තත්වය අනුව මෙම දරුවා මව් කුසේ සිටියදී යැවීමද කළ නොහැක. බොහෝ එවැනි අවදානම් සහිත කලින් හඳුනාගත් මව්වරුන් එවැනි ඒකක සහිත රෝහල් වලට ප්‍රසූතියට කලින්ම මාරු කර යැවීම අප රෝහල වැනි මූලික රෝහල් වල ක්‍රියා පටිපාටියයි. දරුවාට සහ මවට සිදු විය යුතු හොඳම දේ සිදු කළ යුතු නිසා ය. 
මා ශල්‍යාගාරය වෙත දිව ගියෙමි. ඒ මහ රෑ කළුවර මැදින් ඇටෙන්ඩන් කෙනෙකු අත වූ ටෝච් එළි පිහිටෙනි. මග දිගට බල්ලන් බුරා හැලෙති. උන්ගෙන් බේරී, තවත් ජීවිත බේරාගන්න දිව යා යුතුය. කායික රෝඅ වාට්ටුව අසලදී එහි වෛද්‍යවරියක සපාකෑවේ මුන්ගෙන් එකෙකි. ඇයට ජල භීතිකා එන්නත විදගන්නට සිදුවුනේ මේ බල්ලන් රෝහලට ඉබේ පාත් වූවන් නිසා ය. රෝහලෙන් ඇති කරන බල්ලන් නොවේ. 
බල්ලන්ගේ සපාකෑමකට ලක් නොවී මම එදින ශල්‍යාගාරය වෙත දිව ගතිමි. 
වහ වහා ලක ලෑස්ති වී සීසර් සැත්කම සිදුවෙමින් පැවතිනි. 

මම එහි ගිය විගස මවගේ ටිකට් එක හෙවත් ඇඳ ඉහපත පරීක්ෂා කළෙමි. ඒ අනුව මට අවශ්‍ය කරුණු රාශියක් දැන ගැනීමට හැක. මවගේ රුධිර ඝණයේ සිට මේ මොහොතකට කලින් දරුවාගේ හර්ද ස්පන්දනය දැක්වෙන ප්‍රස්ථාර කොළය හෙවත් සී ටී ජී සටහන් කොළය මෙන්ම ප්‍රසවයේ විස්තර සටහන් පාටොග්‍රෑම් එක ( ප්‍රසූතිකාගාරයේදී සටහන් යොදන වගු සහිත කොළය) මම පරීක්ෂා කළෙමි. දරුවාගේ හර්ද ස්පන්දන වේගය ගැන නම් සෑහීමකට පත් විය නොහැක. 
ඒ අතරේ හදිසි ප්‍රකෘතිකරනයට හෙවත් රිසසිටේෂන් එකට අවශ්‍ය මෙවලම් සූදානම් කළ හෙදියන් හා ඒවා වැඩ කරන්නේදැයි පණ ගන්වමින් බැලුවෙමි. 
දරුවා ඉපදුනු විගස මා දුටුවේ කොළ කහ මුසු ඝනකම් තරලයක් ඔහුගේ මුව මුහුණ ඇඟ වසා ඇති බවයි.
ඉක්මනින් දරුවා උණුසුම් කර රෙද්දක ඔතා මවෙත ලබා දුනි. දරුවා හුස්ම ගන්නේ නැත. මළ කඳක් මෙනි. මෙවලමක ආධාරයෙන් මුව ඇර එහි තිබූ තරලය උගුර දක්වා විහිදී තිබුනු බව මට ලැරින්ජොස්කෝප් නම් මෙවලමේ ආදාරයෙන් පෙනී ගියේය. දරුවා ප්‍රකෘති කිරීමට කෘතිම ශ්වසන දීමට ප්‍රතම එම තරලය ඉවත් කළ යුතුය. සකර් මැෂිමක ආධාරයෙන් එය ඉවත් කර කෘතිම ශ්වසන මෙවලම මගින් බැලුමක් ආකාරයේ වාත කුහරය තෙරපමින් ශ්වසනය දුනිමි. හර්ද ස්පන්දනයද ඇසෙන්නේ අඩුවෙනි. ඒ අතර ඔක්සිජන් ප්‍රතිශතය ආදිය මැන බැලිනි. 
කෙසේ හෝ දරුවාගේ කෙඳිරියත් සමග නැවත හුස්ම ගැනීම ආරම්භ කරගැනීමට මිනිත්තු කිහිපයක් වැය වුණු බව මතකය. ඔක්සිජන් නොකඩවා දෙමින් දරුවාට රුධිර නාලිකා ඔස්සේ අවශ්‍ය ඖෂධ රුධිරගත කළෙමු. ඊට සාමාන්‍යයෙන් පෙකණිවැල ඔස්සේ බටයක් දමා (umbilical catheter) පහසු මාර්ගයක් පාදා ගත්තෙමු. මේ සියල්ල කරන්නට වූයේ මට ය. උදව්වට පැමිණියේ නිර්වින්දන වෛද්‍යවර යාය. සියල්ල යම් තරමකට ස්ථාවර කර ගත් පසු තමා විශේෂඥ වෛද්‍යතුමා ඇමතුවේ.

  ඊට කළියෙන් මෙහෙම "බකට් එකක්" පෙරලෙන්න නියමිතයි කියා කියලා තිබුනේ.

 අපටම ආවේනික ස්ලෑන්ග් වචන තියෙන බවත් ලීවිය යුතුමයි.  ඇත්තටම බකට් යනු හදිසි දරුණු තත්ව හැඳින්වීමට කියන නම යි. "ආ ඊයේ බකට් එකක් පෙරලගත්තා කියලා ආරංචියි යනුවෙන් අසන්නේ හිතමිතුරු වෛද්‍යවරුන් ය" ඔන්න වාට්ටුවේ බකට් කීපයක්ම තියෙනවා... කියන්නත් පුළුවනි. 
ජෝන් වීම යනු... ඔක්කොම කරදර සහ හදිසි තත්වයන් සාමාන්‍යයෙන් දිගටම එක්කෙනෙක්ට සිදුවීමය .. එවිට ඒ පුද්ගලයා ජෝන් කියා හඳුන්වනවා.. "ඊයේ රෑ නම් ඔයා ජෝන් වෙලා වගේ " කියන්නේ රෑ තිස්සේ ඇතුලත් කිරීම් බහුල වෙලා හදිසි තත්ව බහුල වෙලා උදේ වාට්ටුව පුරෝගෙන ඉන්න විටය . ට්‍රාන්සර් උනත් යන්න පුළුවන් ජෝන් තත්වය බහුල කෙනෙක්.. එහෙම කෙනෙක්ට රාත්‍රී වැඩ මුරයේ සැනසීල්ලේ ඉන්න නිදාගන්න එහෙම හැකි වෙන්නේ නැත. එහෙම ජෝන්ලා ඉන්න තැන දෙවෙනි වැඩමුර බාර වෛද්‍යතැනට උනත් විශේෂඥ වෛද්‍ය තැනට උනත් සැනසිල්ලේ නිදා ගන්න ලැබෙන්නේ නම් නැත.  දැන් ඉන්න වාට්ටුවේ මහ ජෝන්ට පසුව ඉන්නා ජෝන් මම ය. වෙන්න පුළුවන් අමාරු වැඩ සියල්ල වෙන්නේ අප දෙදෙනාට ය. අප දෙදෙනාම හිටියොත් බකට් කීපයක් පෙරළේ.

ඉතින් කොහොම හරි අර චූටි පැංචා පණ ගන්වා ඔක්සිජන් දමා ගෙන සිටියත් දැන් ඔහුව දැඩි සත්කාර ඒකකයකට කෘතිම ශ්වසන යන්ත්‍රයක්ට සම්බන්ධ කළ යුතුයි. රට වටේ ඒ සඳහා කෝල් දැමිය යුතුයි. ඉන්කියුබේටරයක් සොයා ගන්නකම් අපට ඇති ඉන්කියුබේටරයටවත් මේ දරුවා දැමීම සිදු කළ යුතු යැයි විශේෂඥ වෛද්‍යවරයා දැනුම් දුන්නත් ප්‍රසව වාට්ටුවේ හෙදිය ඒකට විරුද්ධ වුනේ... ඔවුන්ට මෙවැනි දරුවෙක් බලා ගන්න බෑ කියමිනි. දුරකථන ඇමතුම් සියල්ලටම ලැබුනේ එකම නරක ප්‍රතිචාරයක්. දරුවා බාර ගන්නට හිස් ඉඩක් කිසිම දැඩි සත්කාර ඒකකයක හෝ නොමේරු ළදරු ඒකකයක නොමැති බවය.
ඔවුන් බොහෝ දෙනෙක් එල්ලකරන චෝදනාව නම් එසේ එම ඒකක නොමැතිව ඇයි අපි සාමාන්‍ය දරු උපත් සහ සීසර් සැත්කම්  සිදු කරන්නේ ? යනුවෙනි.
මහ රෑ 12 පසුවන විටද හොඳ ප්‍රතිචාරයක් නොමැති කළ... "මා වෛද්‍ය අධිකාරි තුමිය ඇමතුවෙමි. පැය තුනක් තිස්සේ මම මේ වෝමර් එක යට දරුවෙක් රිසසිටේට් කරලා ඇම්බෝ කරමින් ඉන්නේ... කියමින් icu ඇඳක් නොමැති කම ගැන කියූ අතර, අප විශේෂඥ වෛද්‍යතුමා පැවසුවේ තමන් පුද්ගලිකව තවත් රෝහලක් අමතා ඇඳක් ලබා ගත් නිසා එහි යන ලෙසය.
අප සැනසුම් සුසුම් හෙළමින් දරුවා එහි ගෙන ගොස් බාරදී පැමිණියෙමු,
ඊළඟ දවසේ පාලන අධිකාරීතුමියට මහ රෑ කෝල් කර කියවූ වෛද්‍ය නිළදාරි ජෝන් තුමී ඇතුලු වෛද්‍ය කණ්ඩායමම ලිඛිතව ලියුමක් ලියා දුන්නේ... මෙලෙස ජීවිත අවදානම් ගන්න බෑ එනිසා ඉක්මනින් නොමේරූ දැඩි සත්කාර ළදරු ඒකකයක් ස්ථාපිත කර දෙන ලෙසය. නැත්නම් මෙලෙස වැඩ කරන්න බෑ කියලත් ලීවා.  නමුත් එහෙම අපිට "තග" දාන්න බෑ කියලත් අනිත්පැත්තට අහගත්තා. ( නොකරන ස්ට්‍රයික් වලට බැනුම් අහන අපි... රෝගීන් වෙනුවෙන් කරදර වෙන, ඇතැම් විට තදින් කතා කරන, අතර පාලනාධිකාරියට විවිධ තර්ජන ලියුම් ලියන බව ඔබ නොදන්නවා ඇති )
ඉන්පසු එළඹි සතියක කාලයක්... විවිධ සාකච්ජා සහ චෝදනා විමසීම් තිබුනා. අර හෙදිය සහ ඇගේ ටීම් එකම කීවේ ඔවුන්ට එලෙස දරුවන් බලන්න පුහුූණුවක් නැති බවත්, ඔවුන් වින්නඹු සේවයේ පමණක් පුහුණුව ලද බවත් ය. අන්තිමේදී අපේ ළමා වාට්ටුවේ හෙදියන් එකඟ වුනා , එහෙම කෙටි කාලීන විසඳුමක් ලෙස අපට ලබා දෙන කුඩා ළදරු ඒකක කොටස අපේ වාට්ටුවට ගන්නත් ( අර විෂ බීජ සහිත ළමා කායික වාට්ටුවට ) ඒ එක්කම එකඟ වුනා ඔවුන් ඒ ළදරුවන් බලා ගන්නත්. ඒකට තමා පරිණත බව සහ කාර් යය පිළිබඳ ඇති විශ්වාසය ( confidence)  කියන්නේ කියලයි මට හිතුනේ. ඔවුන් කිහිප දෙනෙක් ළදරු දැඩි සත්කාර ඒකක වල පුහුණුව ලද අය.


අළුත් ළදරු ඒකකයකට ප්ලෑනක් ඇඳ වෙනම ගොඩනැගිල්ලක් ඇති බව පැවසූ  පාලන අධිකාරී වෛද්‍යතුමිය එය ඉදිවෙන තෙක් අප වෙත තාවකාලික කුඩා ඉඩක් වෙන් කර ඉන්කියුබේටර් තබා ඉක්මනින් යමක් කරදෙන්න උත්සුක වුනා.
ඇය ගේ ප්‍රතිචාරය සහ ක්‍රියාකාරිත්වය ප්‍රශංසනීය බව මේ සමගම කිවිය යුතුමය.
අර දරුව  නම්  අර අගනුවර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ශ්වසන මෙවලමට සම්බන්ද කර දිනක පමණ කාලයකින් පසු නැවත අපට ලබා දුන්නා. ඔහු කිසිඳු සංකූලතාවයක් නොමැතිව ප්‍රතිකාර අවසන් ව ගෙදර ගියා.

ඉන්පසු එළඹි සති දෙකකින් පසු මව පියා සමග දරුවා අප වෙත පැමිණියා. දරුවා පරීක්ෂා කර අවසානයේ, මවත් පියාත් මා හට එක හෙළා කියූවේ මා දරුවා බේරාගත් නිසා ඔහුට නමක් දැමිය යුතු බවය. මට සතුටු කඳුළු ඇස් වල පිරුණු බව දැනිනි.
මා ඔවුන්ට පැවසුවේ මා එයට සුදුසු කෙනෙක් නොවන බවත් ඔවුන් දරුවා උපන් වේලාව අනු නමක් යොදන ලෙස ඉල්ලුවත් ඔවුන් ඒ වෙන විටත් ගෙන ආ අකුරු පෙන්වමින් කීවේ මා විසින්ම දරුවා නම් කළ යුතු බවය... මවගේ මුල් අකුර සහ තාත්තාගේ මුල අකුර අසා කදිම නමක් තෝරා දුන්නේ ඔවුන්ගේ පෙරැත්තය සහ වැඳ වැටීම් නිසාය. "මම එදා සීසර් එකෙන් පස්සෙ ඒ කාමරේ ඉන්නකොට මම දැක්කා ඩොක්ටර් වෙහෙසුණු හැටි" ඒ මව සියල්ල බලාගෙන හිඳ තිබේ. ළදරු වන් දමන වෝමර් එක ආශ්‍රිත කොටස ඇත්තෙත් සැත්කමට පසු ප්‍රකෘති කරන (රිකවරි) කොටසේය. මවත් පියාත් අද බොහෝ සතුටෙනි.  ඒ ඔවුන්ගේ කුළුඳුල් දරු පැටියා ය
ඉන්පසු ඒ දරුවා සෑම මසකම දුටුවත් ඔහුගේ වර්ධනයේ අමුත්තක් නොතිබිනි.

  • Pics: our neonatal care area 

Monday, February 20, 2017

පොඩි පොඩි කතා එක්ක ලොකු අදහස් !

අවුරුදු තුනක විතර පොඩ්ඩෙක්, ෆිට් එකක් එක්ක ඇඩ්මිට් කරලා හිටියා... එයාගේ අතේ කොයි වෙලෙත් අම්මාගේ ස්මාර්ට් ෆෝන් එක තිබුනා. මේ දවස් දෙකක්ම මම දැන් මේක දැක්කා. අම්මාට සෑහෙන්න සැර දාන ටිකක් අමුතුම තාලේ ළමෙක්.
අම්මත් දරුවට බය නිසා හෝ, ඉස්පිරිතාලේ ලෙඩින් ඉන්න නිසා හෝ කියන සේරම දේ කරනවා. වඩන් ඇවිදින්න පවා සිදුවෙනවා. 
ඔහුව ගෙදර යවන්න හිටි දවසේ නම් මම උදෙත් දැක්කා. දවලුත් දැක්කා. දරුවා අතේ ෆෝන් එක එහෙමමයි. හවසත් අම්මා ඇඳට ඔළුව තියන් නිදි, බබා ෆෝන් එකේ.
" අම්මේ බබාලට වැඩිය ජංගම දුරකථන දෙන්න එපා" මම කීවෙමි
"ආ නෑ නෑ ඩොක්ටර් මම මේ හොස්පිටල් ලෙඩ වෙලා නිසා දුන්නේ." එය නැවත ගැනීමට තැත් කරයි. දරුවා සැර දමයි. අම්මා බය වෙයි.
" ආ බබාලා අතේ තියෙන ෆෝන් අපිට ගන්න කියලා තියෙන්නේ නැත්නම් පොලිසියට කියනවා" 
ඒපාර නම් බය වුන දරුවා මා දිහා බලන් ඉන්න අතරේ...
"මම ආයේ මෙතනින් යද්දි අතේ තිබ්බොත් ගන්නවා " කියාගෙන මම එතනින් යන අතරේ දුටුවේ අම්මාට ෆෝන් එක දෙන දරුවා ය.
මේ අය ආණ්ඩු මට්ටු කරන්න බොරු කියන්නත් වෙනවා. ඒත් ඉතින් මොනා කරන්නද ? ඔවුන්ගේම හොඳ ට නේ.

-----------------------------------------
"කමක් නෑ ඩොක්ටර්, මට මෙහෙම උනේ, ගිය ආත්මෙ මාත් දරුවො දාලා යන්න ඇති..." අවුරුදු 11 විතර දියණියක් එහෙම කියද්දි මගේ හිත කීරි ගැහිලා ගියා. 
" මම දැන් මගේ පව් ගෙවලා ඉවර කරනවා. එතකොට මට එන ආත්මෙ හොඳ තාත්තෙක් ලැබෙනවා"
ඇය කොහෙන් හෝ අසා ගත් යමක් විය හැකියි.
අධික ලෙස දුක සහ කළකිරීම් මත්තේ ජීවිත තොර කරගන්නන්ට, තාත්තා දමා ගිය මේ දියණියගේ චිත්ත ධෛර් යය මහ මෙරක් තරම් යැයි මට සිතේ.
ඇය මට රිබන් ගොතා ගෙනැවිත් තිබුනේ බබෙකුගේ ෆොටෝවක් සමගිනි. "ඩොක්ටර්ගෙ බබත් මේ වගේ වෙන්න" ඇය එහෙම කියූ බව මව කීවාය,
ඒ වන විටත් ගැබිණියක වූ මගේ කාමරයේ බබාලාගේ පින්තූර තිබුනේ නැත. ඇති තරම් අළුත ඉපදෙන බබාලා බලමින් වාට්ටුවෙත් එක එක වයස් වල බබාලා බලමින් සිටි මට එවැන්නක අවශ්‍යතාවයක් දැනුනේ නැත්තේ සිත සහ එහි හැසිරීම ගැන ලෞකික දෑ ගැන අල්පව සිතූ නිසාම වෙන්නත් පුළුවන.
මා ඒ පින්තූරය පෙනෙන තැනක අලවා තැබුවේ ඇය සිහිවීම සඳහා ය.

------------------------------------------

හදිසි සැත්කමකට ශල්‍යාගාරය වෙත ගොස්.. බිළිඳුන් ඉපදුනු පසු ඔවුන් තබන වෝමර් එක ඇති කොටස ඇති ප්‍රකෘතකරන ( රිකවරි) කොටසේ සිටින විට මා දුටුවේ එහි ට්‍රොලියක සිටින ආච්චී අම්මා කෙනෙකු බාගෙට නැගිටිමින් බහින්නට සූදානම් වන සෙයකි.
නිර්වින්දක වෛද්‍යවරයා ඇමතු ඇය " මට බහින්න උදව් කරන්න පුතේ, මට කඩේට යන්න ඕනෙ. පොඩ්ඩක් ගිහින් එන්නම් " කියද්දී. " ආ දැන් යන්න බෑ මට වැඩ , ඔහොම ඉන්න " කියා ඔහු දන්නා හඳුනන අයෙකුට මෙන් කීවේය. 
මේ ආච්චී ඇගේ කකුලේ තුවාලය සුද්ධ පවිත්‍ර කිරීම සඳහා නිතර රෝහල් ගත වන්නියකි. ඇයට මතකය හීන වීමේ ඩිමෙන්ෂියා හෙවත් මොළයේ සෛල වයසට යන විට මියයාම වැනි දෙයක් සිදුවන රෝගාබාදයකට ලක් වූ අයෙකි. 
ඇය කියන කිසි දෙයක් කිසිවෙක් ගණන් ගත්තේ නැත්තේ එහෙයිනි.
" ඔය දරුවා ගිහින් අම්මට දෙන්න. දරුවෙක් මොකද මෙහෙ ගෙනාවෙ." 
ඇය අප බිළිඳා පරීක්ෂා කරද්දී කෑ ගසයි.  භාගෙට නැගිටගෙන ය
"හා හා ආච්චී නිදා ගන්න " මිස් කෙනෙක් හඬ නගයි.
ඇයට සිහි කල්පනාව හීන වෙන්න පෙර කඩයක් තිබූ බව සත්‍යයකි. දැන් මතකයේ ඇත්තේ ඒ කඩය ගැනත් එම කඩයේ රෙදි පිළි ගැනත් ය.
මට සිහි වුනේ සංසාරය යනු කෙතරම් බිහිසුණු තැනක්ද යන්න ය. මේ හොඳින් තිබෙන මනස ඊළඟ මිනිත්තුවේ ලෙඩ විය හැක. 
අප ගිය අත් බවයක වුවද කළ වැරදි අප පසු පස පැමිණිය හැක.


------------------------------------------
ඔය අතර පරණ කතාවක් මතක් වෙයි.
තරුණ මව්පිය යුවලක් පැමිණ දිනක් පැවසුවේ.. ඔවුන්ගේ දරුවාට නමක් තබන ලෙස ය. මා එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේ එය ආවාට ගියාට කරන වැඩක් නොවන බව කියමිනි. ඇරත් මා නම් ඒ ශාස්ත්‍රය ගැන දන්නේම නැත.
" මගේ වයිෆ් දැක්කා දරුවා ඩොක්ටර් බේරාගත් හැටි. මගේ දරුවා අද ජීවත් වෙන්නේ ඩොක්ටර් නිසා..." ඔහු කියද්දී ඒ අම්මා වැඳ වැටී නමස්කාර කරන්නට සැරසුනි. 
මා වහා ඔවුන් වැලකූවෙමි. 
කෙසේ හෝ මා ලවා ඔවුන් ගෙන ආ ගැලපෙන අකුරු වලට නමක්  ඉල්ලා සිටි හෙයින් ඔවුන් ගේ මුල් නම් අනුව තෝරා දුන්නෙමි. 
ඒ මව දමිළ ජාතිකයෙක් වූ අතර පියා සිංහල ජාතිකයෙකි.
ඒ දරුවා සමග නැටූ පැය ගණන මා බොහෝ සෙයින් සසල වූ හෝරා කිහිපයකි. ඒ කතාව ඉතා දිගු එකක් නිසාත්, සිස්ටම් එකත් (යාන්ත්‍රනයත් )  හරි හැටි වැඩ නොකෙරෙන වේලාවත් සමග  රණ්ඩු ඇල්ලූ නිසාත් පසුව ලියන්නම්.

දුක යන්න තේරුම් ගන්න .. රෝහල් තමා හොඳම තැන... සංසාරයේ බිය ජනක බව එහි ස්වභාවය තේරුම් ගන්නත් රෝහල් හොඳම තැනක් !

Saturday, February 11, 2017

අම්මා සුම්මා වෙන මොහොත....

මම වාට්ටුවට ඇතුල් වෙනකොටම දුටුවේ අපේ මේසය ළඟ ඇති පුටු ඉවත් කර මෙට්ට කොට්ට පුරවා ඇති ආකාරයකි.

මේ මොන කෝලමක් දැයි සිතමින් මා අඩුම කුඩුම අප කාමරයේ තබා වාට්ටුව දෙසට නැවත පැමිණියෙමි. මෙන්න කුඩා පැංචො දෙන්නෙක් අපේ මේසෙ අසල ඇති මෙට්ට දෙකේ නිදි...
ඔවුන් රෙදි පොරවන් සිටි නිසා මගේ හදිසියට මට නොපෙනුනේ.මේ දරුවන් මෙහි එවා තිබුනේ බාහිර රෝගී අංශයෙන්. ඇත්තටම ඔවුන්ට බාරකාරයෙක් නොමැති වීම තමා ඔවුන් මෙහි එවීමට ප්‍රධාන හේතුව.

ඔවුන්ගේ මව ඒ වෙන විටත් වැඩිහිටි කායික රෝග වාට්ටුවට ඇතුල් කර තිබුනේ සියදිවි නසා ගැන්මට පැනඩෝල් පෙති පණහක් පමන බීම නිසයි. අම්මා නොමැති කල අප්පා කවර කල යන කියමන යලි යලිත් සනාථ කරමින් ඔවුන්ගේ පියා වෙනත් ගැහැණියක හා ගොසිනි. අගනුවරින් බැහැර සිටි මොවුන් මෙහි පැමිණ ඇත්තේ පියා බැලීමට ය. පියා වෙන ස්ත්‍රියක් සමග පවුල් කෑම නිසා උරණව බහින් බස් වුණු මව මෙලෙස සිය දිවි නසා ගැන්මට තැත් කර තිබිනි.

ඔවුන් අපූරු කුඩා දරුපැටව් දෙන්නෙක් ! බෙදා දෙන බත් පත කවන්න කිසිඳු කරදරයක් දුන්නේ නැත.

"මෙයාලගෙ අම්මට කොහොමද යනුවෙන් අප කතා බස් කරද්දි.. " මගෙ අම්මා නෑනේ" යනුවෙන් ලොකු දරුවා කියනවිට හිතට දැඩි දුකක් ඇති විය.

මට මේ තාත්තලා වීමට නුසුදුස්සන් ගැන ඇත්තේ දැඩි කළකිරීමකි. දරුවන් හදන්නන් වාලේ සාදා අත හැර යෑම පවකි. දරුවන් නැති මව්පියන් බොහෝ අය දැඩි සොවින් සිටී.

එක් තාත්තෙක් "හදා ගත්තේ මොකටද ?" කියා මවකට බැන වැදුණු අයුරු ඇසූ දරුවන් නැති යුවලක වන මගේ මිතුරියක් පැවසූවේ ඇගේ සැමියා කොයි තරම් තමන්ගේ දරුවෙක් හදන්න රැකබලාගන්න ආසාවෙන් සිටිනවා ද යන්නය. අප ජීවත් වෙන්නේ නැති තැන් වලට පුරවා අඩු නැතුව දරුවන් දී ඔවුන්ද කඳුළු දුක් සාගරයක ගිල්වන යුගයක ය. ප්‍රකට මහාචාර් ය වරයෙක් වරක් දේශනයකදී " if they dont have money they dont deserve kids" කීවේ, නළ දරු උපත් ගැන කතා බහක දී ය. ඒක ටිකක් පරස්පර විරෝදී කතාවක් වුව ද, ඇතැමුන් ලක්ෂ ගණන් වැය කර නවීන විද්‍යාවේ සහයෙන් මව් පිය පදවි ලබති. ඇතැමුන් කිසි ආයාසයකින් තොරව ලැබූ දරුවන් අගු පිල් වල අතැර යති.




පොලීසිය මෙහි එන තෙක් අප දරුවන් දෙදෙනා රැක බලා ගතිමු. ඔවුන්ගේ මවගේ අභිලාෂය රැකියාවක් සොයාගෙන දරුවන් පරිවාසයෙන් බාරගැනීම ය.
ඇතැම් මවක් තම දරුවාට ද වස පොවා තමන්ද පානය කරගෙන තිබුනේ ඔවැනිම කතාවක දී ය. ඒ දරුවා එලොව ගොස් මෙලෝව ආවේ ය. ඒ ගැන මුහුණු පොතේ මා මෙසේ ලියා තැබුවා මතක ය.

"ලෝක ළමා දිනයට පහුවෙනිදා...
( මවක් තම කුඩා පුතුට වස පොවා, තමනුත් වස පානය කර, රෝහලේ )

කෝ අපට ඉස්පාසුවක් ,
මොනිටරේ දිහා බල බල,
ඇට්‍රොපින්, ප්‍රැලිඩොක්සිම්,
එන්නත් කටු, සිරින්ජර් පොම්ප
සැරින් සැරේ ශරීරගත කරන,
අම්මා කොහෙද විමසන දෑස,
දුන් කෝප්පේ කට සැරට දැනුනත්
නොදනී තවම අම්මා දුන්නේ වස බව..
බීවාලු නුඹ උගුරු දෙක තුනට

ලෙහි හොවා වැදු පුතුන් අතරමග තනි නොකර
තිරිසන් ඉමෙන් මිදෙන මග බලපු අම්මා
යන ගමන තනි නොකර හැදූ දරු පණ රැගෙන
මරු වසඟයට කොහොම ගියා නොදනිම්මා

පියෙක් නැත, පුතෙක් ඇත ඒ බරත් නුඹ මතම
තුන් මසක දරු ගැබක් කුස දැරූ අම්මා
පොහොර තෙල් බෝතලෙන් මිදෙන්නට දැනුනු දුක
සංසාර පාපයක ගිලී නොව නිම්මා

බෝධිනි සමරතුංග..."


තවත් එවැනි තනිවූ මවකගේ අම්මා, තම මිණිපිරිය සමග පාරේ එද්දී ඇය ඇලකට වැටුනු පසු , ඔහේ දරුවා ගිලී මැරෙන්නට දී බලාගෙන සිටියේලු, අසල බෝධියක් නාවමින් සිටි උපාසක උන්නැහේ කෙනෙකුගේ ඇස ගැටී දරුවා බේරාගෙන රෝහල වෙත ගෙනැවිත් තිබීනි. මවගේ හෝ මිත්තනියගේ රැකවරණය මේ දරුවාට නොලැබෙන බව මම පසුව එහි හඬා වැටී දිව ආ පියාගෙන් දැන ගතිමි.

මව පියා බාරකරුවෙක් නොමැතිව අපට වාට්ටුවේ කිසිඳු දරුවෙක් ඇතුල් කරගත නොහැක. එනිසා අර දරුවන් දෙදෙනාගේ මව සනීප වෙන්නට ප්‍රථම ඔවුන් පොලීසිය බාරයට ලබා දීමු.

පසුදිනම මවගේ ඥාතී යැයි ගැහැණුන් එහී දිව ආ නමුදු ඔවුන්ටද දරුවන් බාරගැනීමට ඕනෑ කමක් තිබුනේ නැත. ඔවුන් දුර බැහැර බවද අගහිඟකම් ඇති බවද කියමින් හෙමින් මග හැර ගියේ පසු දින එන බව කියමිනි ... නමුත් කිසි දින ආවේ නම් නැත. මවට ද දරුවන් බාර ගත හැකි තත්වයක් නැතිය කියා දරුවන් පොලීසියටම බාර දුන් බව අපට පසුව දැන ගන්නට ලැබිනි.

මේ රටේම ඛේ දවාචකයකි. මා හැම දාම ලියන්නාක් මෙන්... මව පියා හෝ නිසි රැකවරණයක් ආදරයක් නැතිව හැදෙන මේ දරුවන් අන්තිමේ සමාජයට වෛරකරන පිරිසක් බවට පත් වනු ඇත. පරිවාස නිවාස වල හැදෙන දරුවන් ගැන බොහෝ තොරතුරු දනිමි. ඔවුන් කිසිවෙක් ජීවිත සර්ව සාර්ථක කරගෙන සිටිනු නොදුටු අතර, ඒවායේ ප්‍රමිතිය ගැන ද සෑහීමකට පත් විය නොහැකි බව වැටහේ.

සෑම මවකට සෑම පියෙකුටම අද විශාල වගකීමක් ඇත. ඒ තමන්ගේ උවමනාවෙන් උපදින කිරිකැටි දරුවා වෙනුවෙන් කැප වීමය. සෑම කෙනෙකුටම හොඳ අම්මෙක් හෝ හොඳ තාත්තෙක් විය නොහැක. ඒ බවත් මම හොඳින්ම දනිමි.


Thursday, February 9, 2017

ජීවිත බේරාගන්න ඉගෙන ගන්න !

මට මුල සිටම ලැබුනේ වඩා හොඳින් අපට උගන්වන... අප ව හොඳ මිනිසුන් , හොඳ හදවතක් ඇති වෛද්‍යවරුන් කරවන්න පොළඹවන සුළු විශේෂඥ වෛද්‍යවරුන් ය.
"ඉගෙන ගන්න ! විභාග සඳහාම නොවේ... දිනයක් ඒවි රෝගියාගේ මරණයත් ජීවිතයත් තීරණය කරන එකම සාධකය ඔබ වන ! අන්න එදාට ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් ඉගෙන ගන්න ! 

මේ කියමන මගේ හිතේ හැමදාම දෝංකාර දුන්නා.
සෙනග උතුරන වාට්ටු වල සීමාවාසික පත්වීම් කරන එක තරම් ජීවිතය දියාරු කරන එපා කරවන කාලයක් තවත් නෑ.
හරියට කන්න බොන්න වෙලාවක් නෑ. 
රෙදි හෝදගන්න උයා පිහා ගන්න වෙලාවක් නෑ... මෙස් එකෙන් කාලා ජීවත් වුණු බොහොම දුෂ්කර කාලයක්.
රාත්‍රී සේවා මුරය වෙලාවේ බොහෝ දුරට රෝහලේම ඉන්නේ ඔබ විතරක් වෙන්න පුළුවන්. උදව් ඉල්ලන්න පුළුවන් උනත් අන් වෛද්‍යවරු රෝහලෙන් පිට ගෙවල් වල නිදනවා වෙන්න පුළුවන්. එවෙලෙට රෝගියාගේ ජීවිතය රඳා පවතින්නේ ඔබ අතේ. 
මා මෙතෙක් ඕනෑ තරම් රිසසිටේෂන් හෙවත්... සිහි ගැන්වීම් හෝ නැවත ප්‍රකෘති කිරීම් ඕනෑ තරම් කර ඇත්තෙමි... අලුත උපදින බිළිඳුන්ද ඇතුලත්ව... එනමුත් ඒ සෑමවිටම විශේෂඥ වෛද්‍යවරයාට හෝ ජේෂ්ඨ වෛද්‍යවරයාට දුරකථන ඇමතුම දුන්නේ රෝගියා ප්‍රකෘතිගන්වා අවසන් වී ඔහු ගේ ජීවිත අවධානම බැහැර කර ඔහු /ඇය යථා තත්වයට පත් කර පසුය.  ඒ සඳහා ගත කළ හැකි කාලය මැනෙන්නේ තත්පර සහ මිනිත්තු මගිනි.

අන්න ඒ නිසයි වෛද්‍ය විද්‍යාල වල විභාග අමාරු.. වෛද්‍ය විද්‍යාව අමාරු යැයි කියා කියන්නේ. දැඩි ආතතියක් වෛද්‍ය සිසුන් මත පටවන්නේ. සීමාවාසිකයේ පටන් දැඩි නීති රීති සහ ඇනුම් බැනුම් මෙන්ම අධික ක්‍රියාකාරිත්වයකින් පුහුණු විය යුත්තේ අන්න ඒ නිසයි.
මේ පශ්චාත් සීමාවාසික කාලයේ... ප්‍රසව හා නාරිවේද වාට්ටු තුල ජේයේෂ්ඨ වෛද්‍යවරියක් ලෙස සේවය කරන කාලයේ සිදුවුනු සංසිද්ධියකි.
එඳින ඉරිදා දිනයකි. ඔන් කෝල් හෙවත් වාට්ටුව භාරව සිටි එකම වෛද්‍යවරයා මම වීමි. දෙවෙනි වැඩ බාර වෛද්‍යවරයාට කතා කළ හැක්කේ අවශ්‍ය වූ විටදී පමණය. පුරා දින කිහිපයක් වැඩමුළු පවත්වන්නට මෙහි ආ ප්‍රසව හා නාරිවේද විශේෂඥයින් පිරිස අප රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා සමග සම්මන්ත්‍රනයක සිටින්නේ මීට සුළු දුරක ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය කාර් යාලයේ ය. දුරකථන ඇමතුමකින් ගෙන්වා ගත හැකි දුරක ය.  වාට්ටු වල කිසිඳු විශේෂ යමක් සිදු නොවේ. 
මට ඇමතුම ලැබෙන්නේ... හදිසි ප්‍රතිකාර ඒකකයෙනි.
"වලිප්පුව සෑදුනු මවක්, ඔව් සති තිස් හතරක් පමණ වයස දරු ගැබක් සමග මේ දැන් අහවල් රෝහලෙන් ගෙනාවා ඉක්මනින් එන්න" ඇය එහි එවා තිබුනේ ප්‍රාදේශීය රෝහලකිනි.
මා දිව ගියේ ගර්භනී කාලයේ අධික රුධිර පීඩනය සමග එන වලිප්පුව ( eclampsia , pre- eclampsia, )  මවටද දරුවාටද අහිතකර ය. ජීවිත නැතිවීමේ දැඩි අවදානයක් පවතී. එවෙලෙට ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුය.
මා එහි දිව යන විට අත්‍යාවශ්‍ය මෙවලමක් වූ පිනඩ් එක හෙවත් මව් කුස තුල දරුවාගේ හර්ද ස්පන්ධනය අසන කුඩා පුනීලයක් වැනි ලෝහයෙන් සෑදූ මෙවලමත් රැගෙන යමි. 
මා ගිය ගමන් දුටුවේ ඒ මව අසල ඒ මේ අත කැරකෙමින් සිටින වෙදනලාවක් කරේ එල්ලා ගත් වෛද්‍යවරයෙකි.

ඒ වන විටත් එම මව සිටියේ බොහෝ අමාරුවෙනි. පැයකට ආසන්න වෙලාවක් ඇම්බියුලන්ස් රථයක ගැස්සෙමින් පැද්දෙමින් අබලන් පාරවල් වල එන්නත් ඇති. දැන් ඇත්තේ කඩිනමින් අවශ්‍ය ප්‍රතිකර්ම සිදුකිරීමය. මම වහා ඒ මව පරීක්ශා කළෙමි. පිනාඩය උදරය මත තබා ඇගේ දරුවාගේ හර්ද ස්පන්දනය ගණනය කළෙමි. එහි වැරැද්දක් නොමැත. වහා පිළියෙල කළ යුතු ඖෂධ මාත්‍රා ගැන පැහැදිලි කිරීමෙන් පසු ඒවා රුධිරගත කරන්නට හෙද නිළදාරීන් යුහුසුළු කරමින් රුධිර පරීක්ෂන සහ හදිසි සීසර් සැත්කමකට අවශ්‍ය වන පරීක්ෂන සඳහා රුධිර සාම්පල ගැනීමටද කියා විශේෂඥ වෛද්‍යවරයා අමතා  උපදෙස් පැතීය. ඇයගේ රුධිර පීඩනය ඉතා ඉහළ අගයක් ගනී. දැනට දෙපාරක් ෆිට් එක හෙවත් වලිප්පුව සෑදී තිබුනි. විශේෂඥ මතය වූයේ වහා සීසර් සැත්කම සිදුකොට දරුවා එළියට ගැනීමය. එවිට මේ තත්වයෙන් මව මුදවාගත හැකි වේ. නොමේරූ ළදරු ඒකකය අමතා එම වෛද්‍යවරයා දැනුවත් කර, ඉන්කියුබේටරයක් ලැහැස්ති කරන්නට දැන්වූයේ දරුවා අඩු සති ගණනක නිසා ය.

ඉතින් මෙවැනි සියලු දේ එක දිගටම සිදු කළ යුත්තේ වාට්ටුව භාරව සිටින වෛද්‍යවරයා විසිනි. එය බොහෝ විට වෛද්‍යවරු කිහිපදෙනෙක් පමණක් සේවය කරන රෝහල් වල සිදුවන දෙයකි. එ කල සිටියේ අපි හතර දෙනෙක් පමණි එයින්ද එක් අයෙකු සති අන්තයේ නිවාඩු ගොසිනි. එනිසා සීමාවාසිකය නම් වන මහ එපා ම කරපු දුෂ්කර කාල සීමාවේ නිසි ලෙස පුහුණුවක් ලැබිය යුතුම වේ. අවශ්‍ය මොහොතේ අවශ්‍ය පියවර සුදුසුම පියවර ගැනීමට වාට්ටුවේ සේවයේ නියුතු වෛද්‍යවරයා හට හැකි විය යුතුය. මේ වන තෙක් අපට සිටි ගුරුවරු අප පුහුණු කළේ හොඳ වෛද්‍යවරයෙක් වීම තමා වටින්නේ එයයි සාර්ථකත්වය කියා කියමිනි.

ඉතින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ රජයේ වෛද්‍ය විද්‍යාල තුලින් බිහි වෙන වෛද්‍යවරු  ඔවුන් සැබැවින්ම හොඳ වෛද්‍යවරයෙක්ද කියා ඔවුන්ටම තමා ගැන තක්සේරුවක් තිබිය යුතුයි.

එවැනි සිදුවීම් ඕනෑ තරම් වේ. එකල  මහ රෝහලක සේවය කළ සමයේ, ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරයෙක් සිටියේ අප රෝහලේ පමණි. එවිට සැම දිස්ත්‍රික්කයකම හදිසි කටයුතු සියල්ල සැත්කම් සියල්ල අප වෙත එවයි. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුදැනුම සහ අධීක්ශනය නොමැතිව සෙසු වෛද්‍යවරුන්ට සැත්කම් සිදුකිරීමට අවසරයක් නැත. එක් දිනක් අවසානයේ අප දුටුවේ ඒ වන විට අප පැය විසි හතරක් තුල සීසර් සැත්කම් 10ක් පමණ සිදු කර තිබුනු බවය. ඉන් 5 ක්ම ප්‍රාදේශීය රෝහල් වලින් එවූ හදිසි තත්වයන් ය. දෙකක්ම කෝඩ් ප්‍රොලැප්ස් හෙවත් දරුවාගේ පෙකිණි වැල ප්‍රසූත මාර්ගයෙන් පිටට කලින්ම පැමිණි අවස්ථාය. එවිට සාමාන්‍ය ආකාරයෙන් දරු උපත සිදු වීම දරුවාගේ ජීවිතයට තර්ජනයකි. යොඔනි මාර්ගය පරීක්ශා කර බලන වෛද්‍ය වරයා විසින් හඳුනාගත යුතු තත්වයකි. දරු උපතකදී හිස ප්‍රථමයෙන් ඒම සාමාන්‍යයෙන් පහසු දරු උපතක් සිදු වීමට ප්‍රමාණවත්ය. නමුත් එහිද විවිධ වූ රටා තිබේ. මේ එළියට එන කොටස හඳුනා ගන්නේ වෛද්‍යවරයා විසින් තම ඇඟිලි තුඩු දෙකක් මගින් පරීක්ශා කිරීමෙනි. එහිදී පුහුණුව නොලැබුනොත් නිසි කළ අවධානම හඳුනාගන්න බැරි වීමෙන් ජීවිත දෙකක් අහිමි වෙන්නට වුවද පුළුවන.

කොතරම් පොත් පත් දැනුම තිබුනත් ප්‍රායෝගිකව ඒ දේවල් හසුරුවාගැනීමට මෙන්ම භාවිතා කිරීමට හැකි ලෙස තම පුහුණුව ලැබිය යුතුයි. සීමාවාසික කාලය පුරා පැය විසිහතරම වාට්ටු වල රැඳෙමින් සියලු වැඩ කටයුතු ඉටු කරන්නට සිදුවීමෙන්ම ඒ පන්නරය ලැබේ. නමුත් වාසනාවකට සියලු කර්තව්‍යයන්ට ඉහළින් ජේ ්‍ය්ෂ්ඨ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සිටිති. එනිසා සීමාවාසික වෛද්‍යවරුන් නිරන්තරයෙන් අධීක්ෂනය යටතේ මග පෙන්වීම් යටතේ සිටී.  එයින් පසු ලියාපදිංචි වෛද්‍යවරයෙක් වුන පසු තමන් හට  ඇතැම්විට විශේෂඥ වෛද්‍යවරු නොමැති රෝහල් වල සේවය කරන්නට සිදු වෙනවා ඇති. අපට ද එවැනි අවස්ථා බොහෝ ලෙස හමු වී තිබිනි.  ප්‍රසව හා නාරි ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා නිවාඩු ගිය විට සියලු සැත්කම් නවත්වන අතර හදිසි තත්වයන් කිසිවක් සිදු නොකරයි. නමුත්  ජීවිත අවධානමක් ඇති වෙලාවට ශල්‍ය වෛද්‍යවරයාගේ අධීක්ශනය යටතේ සැත්කම් සිදු කර ජීවිත බේරා ගැනීමට සිදුවේ. එම අවස්ථාව තෝරා බේරා ගැනීමට තරම් වෛද්‍යවරයෙක් දක්ෂ විය යුතුය.
මන්ද... කොයිම හෝ වෙලාවක් එනවා රෝගියාගේ ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක පුරුක වෛද්‍යවරයා බවට පත් වන. අන්න ඒ මොහොතේ තමන්ට පසුතැවිලි විය නොහැකි ලෙස සේවය කිරීමට හැකියාවක් ඔබ සතුවිය යුතුය.

Tuesday, February 7, 2017

මව්වරු සතුටු වෙන්නේ කවදාද ?

මම දකින්නේම තුවාල වූ හිත් ඇත්තන්...මනසේ විවිධ හැඩයන් සහිත තුවල වූ හිත් ඇත්තන්.

"කියමනක් තියෙනවා දරුවන්ගේ ආත්මය තුල / හිත තුල එයාලගෙ අම්මලාගේ හැඩය ගත් හිස් ඉඩක් තිබෙනවා කියලා. අම්මා කෙනෙක්ට ඒ හිස් ඉඩ පුරවන්න බැරි වුනොත් ඒ දරුවන් ජීවිත කාලයම...ඔව් ජීවිත කාලයම ඒ හිස් ඉඩ නිසා පීඩා විඳිනවා."
ඔවුන් වැඩිහිටියන් වුනු පසුත් මේ හිස් ඉඩ නිසා සමාජයට පරිපූර්ණ වූ මනස් ඇත්තන් ලෙස ඉදිරිපත් වෙන්නේ නෑ.
සැරෙන් සැරේ මට එහෙම දරුවන් සහ  මිනිසුන් හමුවෙනවා. ඔවුන් ඒ දරුණු තුවාල එක්ක, ඔව් ඒ හිස් ඉඩ නිසා දරුණු ලෙස පෑරුණු ඕජස් ගලන තුවාල සහිත හිත් එක්ක සමාජයේ යනෙන තැන ආසාධනය කරමින්.
ඔව් එහෙම වෙනවා. අම්මා කෙනෙක්ට දරුවන්ගේ ඇස් දෙකට එබිලා ඒ දරුවන් විඳිනා දුක සන්තාපය තේරුම් ගන්න බැරිනම් ඒ දරුවන් ජීවිත කාලයක් පුරා විඳවමින් ඔවුන් වැඩිහිටියන් වූ පසුත් ජීවිතය බෙදා හදා ගන්නා අයගේ ජීවිතද අඳුරේ හෙලමින් බොහෝ අවුල් වියවුල් මැද කල් ගෙවනව.
මෙතනදි ඔබ කල්පනා කරන්න පුළුවන් ඇයි මම අම්මා ගැනම පමණක් මූලික කරගෙන මේ දේවල් පවසන්නේ කියලා. තාත්තා කෙනෙක්ට මේ දේවල වගකීමක් නැද්ද කියලා. ඔව් තාත්තා කෙනෙකුටත් දරුවන් ගැන වගකීමක් මව් කුස දරුවෙක් පිළිසිඳගත් දා පටන් තිබෙන නමුත් හරි ලේසියෙන් ඒවයෙන් මිදෙන්නට සමාජය තුල ගතානුගතික සාම්ප්‍රදායක් පවතිනවා. එනිසා අද මම අම්මලා ගැන විතරයි කතා කරන්නේ. නමුත් තාත්තා කෙනෙක්ටත් මේ දේ වල් පොදුයි.
මම දකින්නේ රැකියාවත් ගෘහ ජීවිතයත්, දරුවනුත් ඒ වගකීමුත් අතර දෝලනය වෙමින් බොහොම කාර්යය බහුල ජීවිත ගත කරන ස්ත්‍රීන්. ඔවුන්ට විවාහය කියන්නේ තවත් ජීවිතය අපහසු කරවන සුළු දෙයක් වෙලා. බහුතරයක් ගැහැණු අසන්තෝස දුකින් පිරුණු ජීවිත ගත කරනවා. ඉතා දැඩි වෙහෙසකර වැඩමුර ගෙවමින්, කෙසේ හෝ තම පවුල වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න. යුතුකම් වගකීම් කියන ලේබල වලින් ගහණ ඔවුන්ගේ ජීවිත සටනින් ජයගන්න උත්සහ කරනවා.

මට හමුවෙන හිඟමනේ යන ස්ත්‍රියත්, අප වාට්ටුව පිරිසිඳු කරන්නියත්, මමත් යන අප සියල්ලටම පොදු මේ වගකීම් සහ යුතුකම් ලේබල නිසා අපි ජීවිත කාලයක් ගෙවා දමන්නේ දැඩි පීඩනයන් යටතේ. එයට කාටවත් දොස් කියා වැඩක් නෑ. ඒ මේ සමාජය හැදුණු හැටියි.

ඔබට සමහර විට කියන්න පුළුවන් "නෑ මම නම් සැබැවින්ම සතුටෙන් සිටින, දුකක් කඳුළක් අහලක නොදුටු කෙනෙක් " කියලා. එහෙනම් මේ සටහන ඔබ ගැන නොවේ. මට ඔබ එසේ සතුටෙන් සිටීම ගැන බොහෝම ආඩම්බරයි ! ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයි.  මේ ඔබ ගැන නොවේ.

මගේ නෙත නතර වෙන්නේ වාට්ටුවේ ඇඩ්මිට් කර ඉන්නා නිවුන් දියණිවරුන් දෙදෙනාගේ මව දෙස.
ඇය මානසික රෝගයකින් (ස්කිසොෆ්‍රීනියා) පෙළෙන අතර ඇය රෝහල්ගතව සිටින කාලයේ හමුවන එම රෝහලේම සුළු සේවකයෙක් නිසා ගැබ්බර වී ඒ වන විටත් දෙදරු පියෙක් වන තමාට වඩා වසර විස්සක් වයසැති, මානසික රෝගියෙක් වන ඔහුත් සමග දීග යනවා. ඒ ලැබෙන දියණියන් දෙදෙනා අපට හමුවන විටත් ඉතියෝපියාවේ දර්ශන වල දක්නට ලැබෙන ඔළුව ලොකු බඩ ඉදිරියට නෙරා ඇති ඇටසැකිළි දෙකක් වන් උපත් බරටත් වඩා බොහෝ අඩු බරක් ඇති මාස දෙක තුනක දරුවන්.
මේ මන්ද මානසික රෝගී මවට දරුවන් හදාගන්නවත් දරුවන් බලා ගන්නවත් කොටින්ම ඇය ගැන බලා ගන්නවත් පුළුවනිද ?

දරු දෙදෙනාට ළදරු කිරි පිටි ඉතා අඩු ප්‍රමාණ වලින් වතුර වැඩියෙන් දමා දියකර දී තිබුනේ... හැබැයි ඔවුන්ගේ වාසනාවට හෝ අවාසනාවට රෝහල්ගත කලේ නැත්නම් මිය යන්න වුවද ඉඩ තිබුනා.
ඇය නිවුන් දියණියන් දෙදෙනෙක් හදා වඩා ගන්නේ කොහොමද ?
සමාජය ඇය දෙස අම්මෙක් උනානම් උස් මහත් කරපන් රැක ගනින් කියනවා මිසක ඒ මව විඳවන අයුරු හෝ ඇයට කළ හැකි දේ කුමක්ද යන්න වත් සොයා බැලුවාද ? නැත.
එය අප සෞඛ්‍ය ක්ශේත්‍රයේම ගැඹුරු ආගාදයක් වැනි අතපසු වීමකි. සමාජගත නීති රීති තිබිය යුත්තේ මෙවැනි සියල්ලන්ටම හිතැති යන අරමුණෙන් ය.

 ගබ්සාව සමාජගත කිරීම යන කරුණත් මේ ගමන්ම මට මතක් වේ. අඩු තරමේ නිවැරදි මනසකින් ක්‍රියා කරන්න බැරි හිතා බලන්න තීරණ ගන්න බැරි කෙනෙක්ට ඔවුන්ගේ ජීවිත තව තවත් අපායවල් කරගන්න සිදුවෙනවා නම් ඒක මේ සමාජ යාන්ත්‍රනයේ අවුලකි.

මට මතක් වෙනවා දරුවන්ගේ දරුවන් කරගහගෙන ක්ලිනික් එන ආච්චිලා. ඔවුන් ඒ දේ ඉල්ලා සිටි අය නොවේ.

 දරුවන් හදපු අම්මලා ඇතැමෙක් පසු ප්‍රසව විශාධිය නිසා මනස වියවුලෙන් ය. ඇතැමෙක් ආර්ථික ප්‍රශ්න හමුවේ රට හැර ගොස් විදේශගතව මෙහෙකාර සේවයේ යෙදේ.
කොටින්ම ළමා වාට්ටුවේ දරුවන් බලන මම රැකියාවට එන්නේ මගේ දරුවා දිවා සුරැකුම් නිවසේ නැනීට බාර දෙමිනි. රාත්‍රී වැඩමුරය ගෙවන්නේ ඈ අත්තම්මා සමගිනි. ඇතැම් විට දරුවන් ඔසවාගෙන රෝහලට, සේවයට යන කාලයක්ද අපට තිබුනි. වැඩ අහවර කරන තෙක් ඔවුන් සිටින්නේ පියා සමගය. හෙදියන්ගෙන්ද ඇසෙන්නේ මෙයාකාරයේම අඳෝනාවකි. බොහෝ අයට සේවා මුර කිහිපයක් එකදිගට කරන්න වෙන්නේ අවැසි පමණට ශ්‍රම බලකායක් නොමැති නිසාය. ඇතැම්විට දරුවන් බලාගන්නන් නිවසේ ඉන්නා වෙලාවට සේවා මුර කිහිපයක් එකදිගට කරගෙන යයි.

බහුතරයක් කඳුරට වතුකරයේ දමිල මව්වරුන් තම දරුවන් ගෙවල් වල අත්තම්මලාට බාර කර කොළඹ රටේ ගෙවල් වලට පැමිණ දරුවන් බලා කියා ගන්නා නැනීලා බවට පත් වෙති. තමන්ගේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අනුන්ගේ දරුවන් බලා කියා ගනිති.
මේ මව්වරුන් සහ දරුවන්ගේ මානසිකත්වය ගැන ඔවුන්ගේ දුක වියොවුල ගැන සමාජය සොයා බැලුවේද ? වද වුනේ ද ? ඇතැම් මව්වරුන් දරුවන් දෙන්නා තුන්දෙනා බලා කියා  ගන්නා තමන්ගේ මවට සල්ලි යවන්නේ කොළඹ හෝ අග නගරයක මෙහෙ කාර සේවය කරමිනි. ඔවුන් බහුතරයකගේ සැමියන් වෙනතක ගොසිනි.

මේ අම්මලා ගැන රටක් වශයෙන් අප ප්‍රකෘති සිහියෙන් සිටින්නේද ?

ට්‍රැෆික් ලයිට් එකක් ගානේ දරුවන් වඩාගෙන මව්වරු හෝ කුලීයටගත් මව්වරු හිඟා කති. කොහෙද මේවා නවත්වන නීති ? එම ට්‍රැෆික් හංදි වලම නීතිය රකින මහත්වරු ද අත් වනා වාහන පාලනය කරති.
මේ කරුම සමාජ යාන්ත්‍රණය නවත්වන්නේ කවුරුන්ද ? කවදා ද?
එතකොට මෙලෙස මව්වරුන් නැතිව හැදෙන දරුවන්ගේ මානසිකත්වය සහ ඔවුන්ගේ වර්ධනය ගැන කිසිවෙක් වද වුනා ද ? සොයා බැලුවා ද ? මේවාට විසඳුමක් දෙන්නට කෙනෙක් ඉදිරිපත් වුනා ද ?
නැත මට නම් මව්වරුන්ගේ දවසක් නැත. මව්වරුන්ට ඒ වෙනුවෙන් සුභ පතන්නට කියා අමුතුවෙන් ඕනෑකමක්ද නැත ! එය සතුටු දායක යමක් නොවේ.

NO happy mothers day ! යන මැයෙන් පසුගිය අවුරුද්දේ මා ලියූ ඉංග්‍රීසි ලිපිය ආශ්‍රයෙනි.

Wednesday, February 1, 2017

ළිඳේ බබා...

සලාං බලාං හඬින් වීදුරු පොඩි වන ශබ්දයක් ඇසුන්නේ කොහෙන්දැයි විමසන්නටවත් වෙලාවක් නැත. මා වැරෙන් එම අවුරුද්දකුත් මාස තුනක් වයසැති  නොනවත්වා ගැහෙන ළදරුවා වම් පැත්තට හරවා අල්ලාගෙන සිටින අතර ඇඳේ අනෙක් පසින් ආ හෙදිය විසින් ගුදමාර්ගය ඔස්සේ ෆිට් එක නැවතීම සඳහා ලබා දෙන ඩයසපෑම් නම් ඖෂධය දරුවාට ලබා දෙන ලදී. ඊළඟ මිනිත්තු කීපයේදී ගැස්ම නතර විනි.
එදින ආරම්භ වුනේ බොහෝ සාමකාමීවය. වෙසක් පොහෝ දින නිසා වාට්ටුවේම වැඩ බලන ලද්දේ මා විසිනි. වාට්ටුවේ නතර වී සිටියේ යවන්නම බැරි තරම් අසාධ්‍ය වූ දරුවන් කිහිප දෙනෙක් පමණි. ඔවුන්ද මවෙත රැවුම් ගෙරවුම් දමමින් සිටියේ වෙසක් කූඩු දන්සැල් සහිත උත්සව අවස්ථා අහිමි කරමින් ඔවුන් මෙසේ මෙහි රඳවා තබා ගන්නේ මගේ උවමනාවටම බව හිතා ගෙනය. උදෑසන දහයයි තිහ පමණ වෙද්දී මට ඇමතුමක් ආවේ හදිසි ප්‍රතිකාර අංශයෙනි.

අවුරුදු එකහමාරක බබෙක් ළිඳට වැටිලා. ... මෙහෙ ඩොක්ටර් ඉක්මනට එන්න කියනවා... මිස් කෙනෙක් මට කීවේ හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍ය වරයා දරුවා සමග රැඳෙමින් ප්‍රතිකාර කරන බව ය.
ළමා රෝග අංශයේ ප්‍රතිකාර ක්‍රම වෙනස් නිසා නිරතුරුව අපට එහි එන්නට කියා ඇමතුම් ලැබේ. රෝගියාට සිදු කළ යුතු හොඳම දේ අදාල අංශයේ වැඩි පළපුරුද්දක් දැනුමක් සහ හදිසි අවස්ථා පිළිබඳ පුහුණුවක් ලැබූ අයෙක් එවැනි ජීවිතයත් මරනයත් අතර පොරබදන අවස්ථාවකදී රෝගී සත්කාරයේ යෙදීමෙන් එම තත්වය හොඳ අතට හැරීමේ වාසිය තිබේ. එහිදී පොතේ දැනුම පමණක් නොසෑහේ. අත් දැකීම් සහ ක්‍රියාවෙන්ම ලද පුහුණුව අත්‍යාවශ්‍ය ය. ඒ සඳහා වෛද්‍ය විද්‍යාලයේ පටන් සීමාවාසිකය දක්වාත් ඉන් පසුත් නිරතුරුව ප්‍රායෝගික පුහුණුවක් ලදිමු.

මා වහ වහා හදිසි අනතුරු ඒකකය වෙත යන විට දුටුවේ ඓහි දොරටුව වසාගෙන පිරී ඇති මහා ජනකායකි.
දරුවා වැටී තිබී හමුවී තිබුනේ මවට ය. ඒ ගෙදර පසුපස ඇති අත හැර දැමූ මඩ පිරි කණ්ඩියක් හෝ නොමැති ළිඳට ය. දරුවා මුනින් අතට පාවෙමින් සිටිනු දැක තිබේ. කොපමණ වෙලා එහි සිටියේදැයි නොදනී.

ඒ වන විටත් ඔක්සිජන් සපයමින්, දරුවාගේ ශ්වසන මාර්ගය අවහිර කරමින් පිරී තිබුණු වතුර ශ්‍රාවයක් සේ කටෙන් පෙරේ. ඒවා ඉවත දමන්නේද නළ මගින් එළියට අදින යන්ත්‍රයේ ආධාරයෙනි.
දරුවා ප්‍රකෘති තත්වයේ නොසිටී. කළු ඉංගිරියාව ආලෝකයට ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැත. මේ අතර දරුවා වරින් වර ගැහෙන්නට වූයෙන් ෆිට් එකක් හෙවත් වලිප්පුව වැනි තත්වය පාලනය කිරීමට එන්නත් මගින් විවිධ ඖෂධ ශරීරගත කරමින් තිබිනි.

ඒ වන විටත් දරුවාට ශ්වසනය කෘතිම ලෙස අප ලබා දෙමින් සිටියේ අත් මගින් තෙරපන බැලුම් ආකාරයේ මෙවලමකිනි.
වහා දැඩි සත්කාර ඒකකයක් වෙත දරුවා ගෙන යා යුතුය. එනමුත් ඒ සඳහාද නොයෙක් රෙගුලාසි තිබේ.
හතර වටේට කෝල් දැමිය යුතුය. ප්‍රථමයෙන් ඇඳක් සොයා ගත යුතුය.
ඉන්පසු එම ඒකක වල වෛද්‍යවරු ඔවුන්ගේ විශේෂඥ වෛද්‍යවරු හා කතා බස් කළ යුතුය. හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා  එසේ කතා බස් කොට වෙන් කරගන්නා අතර මම සිහි විසඥ තත්වයෙන් සිටි දරුවාගේ තත්වය පාලනය කරගනිමින්, සිටියෙමි. ඔය අතර දොර ඔස්සේ එබිකම් කරන නෑයින්ද, හඬා වැටී හැපෙන මව් පියන් ද අස් වැසිය යුතුය. ඔවුන් විටෙක එතනින් ඉවත් කරමින් ද කටයුතු කළ යුතු විය.
අර වීදුරු බිඳෙන හඬ ඇසුනේ එවිට ය.
"එළියේ දෙන්නෙක් ගහ ගන්නවා." අප වෙත පණිවිඩය පැමිණියේය.
හදිසි ප්‍රතිකාර අංශයේ වීදුරු දොරක් හෝ ජනේලයක් බිඳෙන්නට ඇති. ගහගෙන තිබුනේ දරුවාගේ තාත්තා සහ ලොකු මාමා බව කියැවිනි. හේතු අසන්නට වෙලාවක් නැත.

දරුවාට කෘතිම ශ්වසනය දෙමින් මම ද හෙදියද මාරුවෙන් මාරුවට ස්ථාන මාරු කරගනිමින් ඇම්බියුලන්ස් රථයට දමාගෙන අගනුවර ළමා රෝහල වෙත පැමිනියේ මග දිගට රුධිරගත ඔක්සිජන් ප්‍රතිශතය පහළ බසිද්දී සකර් එකක් හෙවත් ජලය ද්‍රාවන උරාගන්නා පොම්පය මගින් නලයක් දරුවාගේ ශ්වසන මාර්ගයට සම්බන්ද කළ බටය තුලට දමා මඩ පැහැ ගත් ශ්‍රාවයන් ඉවත් කිරීමෙනි.
මව පැවසුවේ ජලයෙන් ගොඩ ගත් දරුවාට මුඛ ශ්වසනය දුන් අවස්ථාවේ පවා විශාල ප්‍රමාණයක් මඩ පැහැ ජලය එළියට ආ බව ය.

ළමා රෝහලට ගොස් බසින්නත් කලියෙන් එළියට පැමිණි එහි හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරියක් පැවසුවේ. එහි ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් නොමැති හෙයින් සහ සීටී ස්කෑන් පරීක්ශාවක් අවශ්‍ය හෙයින් අප දරුවා එහි ගෙන ගොස් ඒ සියල්ල කළ යුතු බව ය. බොහෝ විට මේ අගනුවර ප්‍රධාන රෝහල් වල ඈයෝ අප මේ රෝගීන් අපේ ගෙවල් වල සිට ගෙන එනවා යැයි සිතාගෙන අප ලවාම සියලු රස්තියාදුවීම් සිදු කිරීම අපට අරුමයක් නොවන නිසා ( මීට පෙර ලද අත්දැකීම් බොහෝමයි)

අප දරුවා එසැනින් මහ රෝහල වෙත ගෙන ගියෙමු. එහි ගිය සැනින් එතැන සිටි විශේෂඥ වෛද්‍යතුමන් ඇතුලු කණ්ඩායම දරුවා කෘතිම ශ්වසන යන්ත්‍රයට සම්බන්ද කලේ පුපුරු ගසන ඇඟිලි තුඩුවලින් ද නවාගත් කොඳු වලින්ද බොහෝ වෙලාවක් තිස්සේ කෘතිම ශ්වසනය දෙමින්  පැමිණි අප දෙදෙනාට විවේකය දෙමිනි.

ස්කෑන් එක සඳහා වෙලාව පැමිනි විට එය කරගන්න දරුවා සහිත ට්‍රොලිය ගෙන ගියේ ආවේද අප ය. මේ සියල්ල් කර හමාර වන විට සවස තුන පමණ විය. දැඩි සත්කාර ඒකකයක වහා ඇඩ්මිට් කළ යුතු එම දරුවා සඳහා දැඩි සත්කාර ඒකකය ඇමතුවේද අනවශ්‍ය ලෙස අප සමග සීටී සඳහා මෙහි එවා රස්තියාදු කිරීම ගැන දොස් කියා එම රෝහලේ හදිසි අනතුරු අංශය ඇමතුවේද විශේෂඥ වෛද්‍යවරයා විසිනි. සී ටී ස්කෑන් එකක අවශ්‍යතාවය තිබුනේ එම දරුවාගේ මොළයට යම් හානියක් සිදුවීද බැලීමට ය. 

සවස හතරහමාර පමන වන විට අපි දරුවා දැඩි සත්කාරකයට ඇතුල් කළ පසු අප නිදහස් වූ පසු දැඩි කුසගින්නක් දැනිනි.රෝහලේ කැන්ටිමේ කෑම නොතිබිනි. සිසිල් බීම බෝතල් පමණක් තිබුනෙන් අපි එයින් කුස ගිහින් නිවාගෙන නැවත අප රෝහල වෙත ළඟා වීමු
ඒ අම්මා සමග පසුව කතා බස් කරන්නට හැකි වූයෙන් ගෙදර සිදුවූ අලකලංචි ආරංචි විය. රෝහල් හදිසි අනතුරු ඒකකයේ වීදුරු බිඳගෙන රන්ඩු ඇල්ලුවේ තාත්තා සහ ලොකු මාමා ලු. ලොකු මාමාට දරුවන් නැති ලු. "දරුවා හරියට බලාගන්න බැරි නම් මරාගන්නෙ නැතුව මට දියන් " කියා කීවාලු.

මේ මව කියන්නේ. .. දරුවා වෙනදාටත් තනියම වත්තේ සෙල්ලම් කරන බවත් එනිසා විශේෂයෙන් සොයා නොබැලූ බවත් ය.
කුඩා දරුවන් ගැන ඇස ගසාගෙන සිටින්නට වැඩිහිටියන් වග බලා ගත යුතුයි. අනතුරු සිදුවෙන්න ගත වෙන්නේ ඇහි පිල්ලමක් ගසන ප්‍රමාදය බව මම දනිමි.

අක්කාගේ මොන්ටිසෝරියේ කොන්සර්ට් එක බලන්න ගිය අම්මා සහ අවුරුදු එකයි මාස 6 ක පමණ දරුවා මව අනික් දරුවාට වතුර දෙන අතර ඇවිද ගොස් අසල තිබූ බිත්ති පේන්ට් කරන්න එම ශාලාවෙහි බිම තිබූ භූමිතෙල් පිරවූ බෝතලයක් කටේ තබාගෙන බී අප වෙත රැගෙන ආවේ එම මොන්ටිසෝරියේම ගුරුවරිය සහ මව ය. භූමිතෙල් ගඳ මට රොහල් වාට්ටුවේ එහා කොනටම දැනිනි. හොඳ වෙලාවට දරුවාට කිසිඳු අතුරු ආබාධයක් ඇති නොවිනි.

භූමිතෙල් වල පාට නිසාත් දමා ඇති බොතල් බොහෝ විට දරුවන්ට අත පොවන මානේ තබන නිසාත් එවැනි අනතුරු නිසා රෝහල් ගත වන දරුවන් ගණන මෙතැකැයි කිව නොහැක. සමහර දරුවන් අම්මලා ආච්චිලාගේ බෙහෙත් පෙති ගිල දමා පැමිණේ.

මෙලෙස දියේ ගිලී පැමිණෙන දරුවන්ගෙන් ආන්තරාවක් නැතිව සුවපත් වෙන්නේ නම් එය මහත් ආශ්චර්යයකි. මන්ද මොළයට සිදුවන ඔක්සිජන් සැපයුම අඩු වීම මගින් අතුරු ආබාධ රැසක් පසුවට ඇති වෙන්නට හැකි හෙයිනි.

අපි එදා බේරාගත් දරු පැටියා දින විස්සක් පමණ දැඩි සත්කාර ඒකකයේ ගත කර තව සතියක් දෙකක් පමන රොහල් වාට්ටුවේ හිඳ කිසිඳු අතුරු ආබාධයක් නැතිව ගෙදර ගියාය. ඇයත් ඇගේ ආච්චි හෝ අම්මා මසකට වරක් හෝ දෙකක් රොහලට කුමන හේතුවක් නිසා පැමිණියද අප බලා යන්නට පැමිණේ... ඇයට ළිඳේ බබා.. යනුවෙන් අනවර්ථ නමක් ද පට බැඳ තිබුනේ ඇගේ නෑයින් විසිනි.