Sunday, October 1, 2017

වණ්ණ දාසි ඔස්සේ සමාජය කියැවීමි.




පුතේ අන්න අර පාරෙන් එද්දි අන්න අර ගෑණු ඉන්න අර හරියෙන් පාර පැනලා එහාපැත්තෙන් එන්න !
කොච්චරවත් මහල් නිවාස සංකීර්ණේ ඉන්න අපිට ඇසුණු වදන් පෙළක්.
“කතාකරාට කතා කරන්න එපා ! මූණ බලන්න එපා ! , හිනා වෙන්න එපා !”
කීව නිසාම ඒ හරියෙන් යද්දී දිව යන්නත්, ඔවුන් දිහා නොබලන්නත් පුරුදු වුනා. නමුත් ඒ මුහුණු මතකයේ තිබුණා.
එක්තරා ජනාකීර්ණ ටවුමක ජනාකීර්ණ මහමාර්ගයක තිබුණු අස්සයෝ රේස් ඔට්ටු අල්ලන තැනක පඩිපෙළේ හිටගෙන ඒ ගෑණු කිහිප දෙනා හැමදාම හිටියා. අපි උස් මහත් වුනා. කැම්පස් ගියා, වාහන වලින් ඒ පෙදෙස පහු කරන් ගියා.

“අර..නරක ගෑණු...” එයාලා දකිද්දී කාලයක් එහෙමම හිතුනා. ඔවුන් අදටත් ඒ හරියේ එහෙමම ඉන්නවා, අළුත් මුහුණු එකතුවෙලා තිබුනා.
පසුව අපි ලෝකය හා ගැටුනා, පරිණත වුනා. සමාජයේ සෑම ස්ථරයක මිනිස්සු එක්කම ගැටෙන්න වැඩ කරන්න සිදුවුණා. යුරෝපයේ ඉගෙනුම ලැබුවා, සමාජ සහ මානව ආචාර ධර්ම, මානව හිමිකම්,සානුකම්පිත වීම වගේ දේවල් වැඩියෙන් ඇහුනා. මේ අය මේ සමාජ ක්‍රමයේම වැරැද්දක් බව වැටහෙන්න ගත්තා.

කත්‍යානා අමරසිංහ මහත්මියගේ වණ්ණ දාසි පොත කියවද්දී, නැවත ඔවුන් මතක් වුණා. මේ සටහන ඇගේ ලේඛන විශිෂ්ඨත්වය ලියා දක්වන්න නොවේ ඇය පොත ඔස්සේ අප වෙත ගෙන එන, කම්පනයන් විමසීම සඳහාය. සුදු පිරුවට හැඳ සිටින සුදන සමාජයේ පුහු සුචරිතවාදයේ නිරුවත, කියැවීම සඳහාය.

වාට්ටු තුල අනන්තවත් නීලමනී ලා ඇඩ්මිට් උනා. අමා ලාත් හිටියා. දුවට හෝ පවුලට මේ ගැන කියන්න එපා කියලත් ඉල්ලුවා. speculum (යෝනි මාර්ගය විවර කර පෙන්වන උපකරණය) එකක් දාලා ඒ වගේ ලක්ෂනයක් පේන හැම විටම, “what is that” කියලා sir අහනවා. දැක්ක ගමන් හඳුනගන්න පුළුවන් ඒ තරම් ඒ දේ ඔවුන් අතර සුලබ යි. පොතේ ඒ ගැනත් ඕනෑ හැටියේ විස්තර කරනවා. ඒක කියවා හොයාගැනීමට කුතුහලය ඔබට ඉතිරි කරනවා.

නමුත් අදටත් මේ අයව “හොඳ” ජීවිත ගත කරන්නන් විසින් පිළිකුල් කරනවා. අපට අනියම් මාර්ග වලින් ඔවුන්ගේ රැකියාව ආරංචි වුනත්, ඔවුන් කීවොත් හැරෙන්න අපි විශේෂයෙන් විමසන්නේ නෑ. සමහරු ඒ දෙයින් මිදෙන්න උත්සහ කරනවා. ඒක ඔවුන්ට මුදල් ලැබෙන මාර්ගයක් විනා, වින්දනයක් නොවන බව කතක් එක් දිනක් හඬමින් පැවසුවා. ඒත් ඒ දේවල් වලින් ඔවුන්ට ජීවිතේ අවසාන කාලය දුක්විඳීම් උරුමකර තිබුණා.

නීලමනී කොයි තරම් උත්සහ කරත් ඇයට මේ සමාජ ගොහොරුව විසින් ඇයව ඔබා දැමූ මඩෙන් මිදෙන්නට බැරි වුණා. ඇය උත්සහ ගත්තත්, ඇගේ දියණිය වෙනුවෙන් වෙනත් රැකියාවක යෙදුනත්, සමාජයේ ඉන්නා සුදනන් විසින්ම ඇයව නැවත ඔසවා, ගොහොරුව තුලම ඔබා දමා තිබුණා.
මේවා මෙලෙස පවතින එක සමාජයේ ඇතැම් අයෙකුගේ පැවැත්ම වෙනුවෙන් සකස් කරගත් ඉල්ලම් වගේ යැයි මට සිතෙනවා. සියල්ල දේශපාලනික වූ සමාජයක නීතියෙන් පවතින්නාවූ බාධක මැද, ජනාකීර්ණ මාවත් තුල මේ ළියන් එදා වේල සොයා ගන්න විකුණන්නේ ඔවුන්ගේ ආත්මය කියලයි මට හිතෙන්නේ.
පිරිමියෙකුගේ හව් හරණක් නොමැති වුණු විට ගැහැණියක් කෙතරම් අසරණ වෙනවාදැයි මම මේ පොතෙන් කියවමි. ඒ වටා දිවෙන දේශපාලනික කතාව හිතා මතාම මග හරිමි. අමා, නීලමනී, මේ සියලු දෙනා සමාජ ක්‍රමයේ වැරැද්ද නිසා දුක් විඳින ගැහැණු ය.

යුරෝපයේ රටක මා දන්නා ස්ත්‍රියක් තම අවුරුදු හයක පුතනුවන් සමග තනි වෙනවා. ඇය ට රැකියාව පවා අහිමි වෙනවා. ඉන්පසු ඉතා දිගු කාලයක් ඇයව බලා ගන්නේ රජයෙන්. ඒ සඳහා ඇයට මාසිකව මුදලක් ලබා දී ඇයට සුදුසු රැකියාවක් සොයා දෙනවා. මේවාට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් වෙන් කෙරෙනවා. ඒ සඳහා ක්‍රමවේදයන් රජය හරහා සකස් වෙනවා.
නමුත් අපේ රටේ සිදුවෙන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයක් නොවේ ද ? සමාජය ඇතැම් මිනිසුන්ට හිතකර වන්නේද ඇතැමුන්ට අහිතකර වන්නේද ඇයි දැයි මම විමසමි. වණ්ණ දාසි නවකතාවක් වුව ද එයින් පෙන්වන යථාර්තය සත්‍යය වශයෙන් සමාජයේ සිදුවන දෑය.

බුදු දහම මුදුන් මල්කඩ සේ පිළිගන්නවානම්, බුදු රදුන් පෙන්වූ අල්පේච්ජතාවය, සාමකාමීත්වය රැකගන්නේ නැත්තේ ඇයි දැයි මා විමසනවා. වෘත්තීය වේදීන් තුල තිබිය යුතු, ආචාර ධර්ම පද්ධතිය ඒ අයුරීන් සකස් නොවන්නේ ඇයි දැයි මා කල්පනා කරනවා.
අමාගේ මව නීලමනී, පිළිකුල් කරන්න සමාජයකට හැකි නම් (මූණේ දැලි ගෑ ලෙස කෑ ගසන නෑයින් මතක් කරගන්න) ඔවුන් ඒ අයව එතැනට ඇද දැමුවේ ඇයි දැයි සිතිය යුතු නොවේ ද ?

වණ්ණ දාසී මා දැඩිව කම්පනයට පත් කළ පොත කි. ඒ පණ ඇති නීලමනී ලා, අමා ලා ගේ ඉකිබිඳුම් සමාජයේ මෙන්ම වාට්ටුවලදී ද මා කොතෙකුත් අසා ඇති නිසා ය.

“ඔය ගෑණි බොරු කියන්නේ, රස්සාවට කරන්නේ අරකයි” කියා අප වෙත පණිවිඩ කියන්නට බොහෝ අය සැදී පැහැදී සිටි හැටි මට මතක් වේ.

මාලන් ගේ දේශපාලනය කුමක්දැයි මම නොවිමසමි. අමා ඒ මඩ ගොහොරුවේ කරවටක් ගිලී හෝ පිහිනා ගොඩ ආ සැටි කියවා සැනසෙමි. එහෙත් කවදා හෝ යළි එවැනි ගොහොරුවක ගිලෙන ගැහැණු සහ දැරිවියන් ගැන සිතා මම කම්පා වෙමි. මන්ද ජීවිත සහ කරුම යන සෙල්ලමේ තීරණාත්මක උරුමය සටහන් කරන්නේ මුදල් සහ බලය යන සාධක දෙක පමණක් බව හොඳාකාරව දන්නා නිසාය.

වෛද්‍ය බෝධිනී සමරතුංග

8 comments:

  1. Dear Dr Bodhini
    Always there are two sides of a coin. The best analysis for your post is in the lyrics of the song “Landune Landune “ by Mr. Ranbanda Seneviratana, and beautifully sung by Mr. Amarasiri Peiris under the music of mahestro Dr. Premsiri Khemadasa
    Lema pamanak lowata penena---Laya nopenena ladune....''.
    කුහුඹුවකුට වරදක් නැති..වැරදිකාර ලඳුනේ.. weradikara Ladune
    Piriminge Papa kandata Dosa vindina Landune”

    ReplyDelete
  2. ඔයාගේ ලෝකය පුළුල්. ඒ නිසාම මේ ජීවිත දිහා පුළුල් ඇහැකින් බලන්න ඔයාට පුළුවනි නංගි. ඒත් බහුතර සමාජය එහෙම නෙවෙයි... මා දන්නා ගැහැනුන් කිහිපදෙනෙක්ම අතින් අත යන තත්වයට පත්වුණා. සමාජය ඇඟිල්ල දික්කළේ ඒ ගැහැනුන්ට. නමුත් ඇත්තටම වරද තිබුණේ ආදරය සොයා යන ගමනෙදි ඔවුන් පාවිච්චි කළ, පසුව අත්හැරිය සමාජය තුළ...

    මේ විදියට අසරණ නොවී සමාජයටත් අභියෝගයක් වුණු තනියම ජීවිතේට මුහුණ දුන්නු කාන්තාවෙත් ඉන්නවා. ඒකත් අමතක කරන්න බැහැ...

    ReplyDelete
  3. ///ලැම පමණක් ලොවට පෙනෙණ
    ළය නොපෙනෙණ ලඳුනේ////

    මේ සටහන කියවනකොට මට ඒ ගීතය සිහි උනා... තාම පොත කියවන්න බැරි උනා... ඒත් ඒ පොත කියවීමේ රුචිය වැඩිවුනා...
    වරදක් කරපු කෙනෙකුට ඒ වරදින් මිදෙන්න අමාරු සමාජය නිසාමයි... වරද කරනකොට බනිනවා... වරදින් මිදෙන්න හදනකොට අත දෙන්න කවුරුත් නෑ... ඒ වෙනුවට වළ කපනවා.... සත්‍ය වශයෙන්ම මේ සමාජය නම් මඩ ගොහොරුවක් අක්කේ....

    ReplyDelete
  4. ජීවිත සහ කරුම යන සෙල්ලමේ තීරණාත්මක උරුමය සටහන් කරන්නේ මුදල් සහ බලය යන සාධක දෙක පමණක් බව හොඳාකාරව දන්නා නිසාය.//
    හිතට දැනුන ලිපියක් අක්කේ.අපේ රටෙත් කැපකරු මා පිය ක්‍රම සමාජ රක්ෂණ ආයතන(මං කැතී ග්ලාස්ගෙ) පොත් වලිං කියවල තියන හදංඩ බැරි ඇයි කියල මට හිතා ගන්න බෑ.රජය ඒ අසරණ මිනිස්සු අල්ලල හිර කූඩුවට දාන්න කලිං ඒ තත්වෙට වැටෙන එක නවත්තන්න සාර්ථක පියවරක් තාම අරං නෑ.
    ඔයාගෙ ලිපිය හංද පොත හොයං කියවන්නම හිතුනා.ස්තූතියි

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !