Friday, May 19, 2017

අපි තවම රැවටෙනවා !

මට මතක දෙදහස් දහය මැයි මස... හා පුරා උතුරට ගිහින් හිටියේ, ඒ වෙද්දිත් රෝහල පුරාම ආයුධ අතින් ගත් සොල්දාදුවන් සිටියා.

මුහුණ නොබලන අත් අඩංගුවට පත් ත්‍රස්තවාදීන් සමග මුහුණ බලන් කතා කරන්න සිදුවෙනවා. අත අල්ලා නාඩි බලා රුධිර පීඩනය පවා මනින්න සිදුවෙනවා. සුළු සේවකයා කිහිප ගමනක් සැර දැමූ පසු ඔවුන් අවනත වෙනවා. සමහරු මුහුණ අනික් පස හරවාගෙනම ඉන්නවා ඕනෑ දෙයක් කරපුදෙන් වගේ. ඔය අතර හෙදියක් මට කියනවා, "අහවල් කෙනා පිහියක් තියන් ඉඳලා අපට අනින්න. ඒ වුනත් අපේ කරුණාවන්තකම හමුවේ අදහස වෙනස් කරගෙන" කියලා.
තවත් එඩිතර මිස් කෙනෙක් ඒ පිහිය ඉල්ලගෙන එනවා. ඒ අත් අඩංගුවට පත්වෙච්ච ත්‍රස්තයින්.
ඔවුන් මෙන්ම අයි ඩී පී හෙවත් internally displaced people, තමන්ගේ උපන්බිම් වලම සරණාගතයින් බවට පත්වෙච්ච පිරිසක් සිටියා. ඔවුන් ද විටෙන් විට රෝහල් ගත වෙනවා.

මනෝ වෛද්‍ය සායනයේදී අපට මැණික් ෆාම් නමින් හැඳින්වූ ඒ ප්‍රදේශයට ද යන්න සිදු වෙනවා. එහෙම දුර යන හැම වරෙකම, වාහනේ ඉස්සරහම සීට් එක මට ලැබෙනවා. හේතුව මම එකම සිංහල වෛද්‍යවරිය වීමයි.රෝහල් කාර් යය මණ්ඩලය සමග යන විට අපේ විශේෂඥ වෛද්‍යවරයා පවා පසු පසට නගින්නේ "වාහනය චෙක් කරන්න නැවැත්තුවම අපේ මේ ඩොක්ටර්ගේ හිනාව නිසා, පොඩි කතාබහකින් පස්ස්සේ අපිට ඒ දේ මගහැර ඉක්මනින් යා ගන්න පුළුවන් " කියලයි. ඔව් ඒක එහෙම තමා, අපිව උනත් නැවැත්තුවම "ඉන්නෙ කොහෙද කොහොමද ඩොක්ටර් කියමින් අපේ හැඳුනුම්පත් පරීක්ෂා කරද්දී අපි මහ රෝහලේ කියන පමාවෙන් හරි යන්න ඩොක්ටර් කියමින් අපේ වාහනයට ඉඩ දෙනවා.

war happens when language fails ! මම ඔවුන්ගේ බස ඉගෙන ගන්නවා... කථා කරනවා.

එම සායන වලට යන අප හමුවේ දුක් දොම්නස්, කඳුළු ගංගා ඇද හැලෙනවා. බෙහෙත් අහුරකින් ඔවුන්ගේ කරදර ලෙඩ දුක් සියල්ල සුව වේ නම් කියා සිතූ වාර අනන්තයි.
යුද්ධය අවසාන වූ වා යැයි මේ දිනවල සැමරුම් හෝ මතක ලියැවීම් බොහෝ ය. ඒ ගැන කල්පනා කරද්දී, යුද්ධය අවසාන වුන එක ගැන, ත්‍රස්ත ක්‍රියා නැවැතුණු එක ගැන මට සිතෙන්නේ කුමක්දැයි මා කල්පනා කෙරුවෙමි.
ත්‍රස්තවාදී ස්වභාවයට තිත තැබූ, අවුරුදු 30ක් අප රට ආර්ථික සාමාජීය සහ ජනබෙදීම් යන ආගාධයට ඇද දැමූ මේ කුරුරි යුද්ධය නොවී නම් අප රට කොයි තරම් දියුණුවක් ලබා ගත හැකිව තිබුනේද ? රටට ආදරය කරන මිනිසුන් පිරිසක් යාන්ත්‍රණය හැසිරුවානම් මේ රට කොයි තරම් ඉහළට ගොස් තිබෙන්නට ඇති ද? මට කල්පනා විනි.

ඔව් මට පුළුවන් ඒ ගැන ලියන්න !
ඒ මා ඔවුන්ගේ දුක දරමින් ඔවුන් සමග ඔවුන්ගේ එකෙක් වෙමින් ජීවත් වුන නිසා !
ඒ නිසා මම කියමි,
දරුවනි , යුද්ධ නොකරන්න ! එහි වීරකමක් නැත. යළිත් අප උතුර දකුණ බෙදන්නට අර අඳින දේසපාලකයින්ට කියා දිය යුතු පාඩම එයයි. 

අවුරුදු ගණනාවක් ත්‍රස්ත ළමා සොල්දාදුවන් , ත්‍රස්තයින් සමග සංහිදියාව සහ පුනුරුත්ථාපනය පිළිබඳ උතුරේ සිට වැඩ කළ මා මෙන්ම මම එක් අවස්ථාවක ලියූ කථාවක සඳහන් එම දරුවන් තාත්තා යැයි හඳුන්වන හමුදා නිළදාරී මහත්මයා පැවසුවේත් මේදේ මය. "මගේ දරුවන් හා මේ දරුවන් යුද්ධ නොකරන අනාගතයක් හැදීමයි මගේ අරමුණ" ඔහු කීවේය.

යුද්ධය වීරකමක් නොවේ. ඒ බව මම ද දන්නෙමි.
 යුද්ධයේ ජයග්‍රහන සැමරුම් නැත. වැලපීම්, අහිමි වීම් සහ සුනු විසුණු වීම් බහුලය.
බොරු කකුල හෝ දෙකම ගලවා දරුවන් ප්‍රසූත කල දමිල අම්මාවරුන්ට උර දී ඇත්තෙමි, කලපුවෙන් එපිටට සොල්දාදුවන්ගේ කරමතින් පැමිණ දරුවන් ප්‍රසූත කළ අම්මලා මුණ ගැසී ඇත. මිනිස් පළිහක් මෙන් ඔවුන් බොහෝ කරදර මතින් ගෙවුණු කාලය ගැන මට බොහෝ කතා කියා දුනි. 

යුද්ධයේ ජයග්‍රහන සැමරුම් නැත. වැලපීම්, අහිමි වීම් සහ සුනු විසුණු වීම් බහුලය.
එකම වාට්ටුවේ දෙපස රණ විරුවත් ත්‍රස්තයත් ඩෙංගු උණෙන් බැට කෑ අවදියක ඔවුන් දෙදෙනාම කියා දුන් පාඩම වුනේ එයයි. මහ උන් ගේ ඊළමට ළමා විය අත හැරුණු ගීතා පැවසූයෙත් එයයි.

එදා උන් අප බිම දිනා දුන් නිදහස නොවේ නම් අදත් ගීතලා වැනි දහසක් දරුවන් ආයුධ අත දරන් මැරී වැටෙනු ඇත.

"මම අළුත්ම දකුණු ඉන්දීය ෆිල්ම් එකේ ලිරික්ස් කළා අක්කා" කියමින් මට ඉන්බොක්ස් පණිවුඩ එන්නේ නැති වේවි. ඒ වෙනුවට ඒ දක්ශ සංගීත/ කවි රචකයා ආයුධ අත දරා මිය ඇදී තිබෙන්නට ඇති...

එදා විරුවන් ජීවිත පරදුවට තියලා ත්‍රස්තවාදය නැති කරේ නැත්නම් "අක්කේ මම ප්‍රින්ටිං ප්‍රෙස් එකක් කරනවා" මට ඉන්බොක්ස් පණිවිඩ නො ඒවි. 

එහෙනම් දෙදහස් එකොළහේ ඔවුන්ගේ කලා සංගමයෙන් සාහිත්‍ය කවි කතා පොත් ලියැවේවිද ? පොත් පිළිගැන්වීමෙන් පස්සෙ වැල්ලවත්තේ තෝසෙ කඩේක එකට හිඳ තෝසෙ කන්නට හැකි වේවිද ?
ඔවුන්ගේ කවි පොත නිසා ඔවුන්ගේ මනස සෑදීම නිසා ඔවුන් සාර්ථක වූ නිසා බැනුම් අහපු කෙනෙක් අපේ විශේෂඥ වෛද්‍යතුමා, ඒ යුද්ධයෙන් ජීවත් වූ පිටරට හිටි ඩොලර් කාකන්ගෙන්, ඩයස්පෝරාවෙන්. තවමත් ඔහු ඒ ප්‍රදේශවල සේවය කරනවා. මිනිසුන්ගේ මනසට බෙහෙත් කරන්නේ පෙති වලින්ම පමණක් නොවන බව අපට වඩ වඩාත් ඒත්තු ගැන්වූයේ ඔහුය.

එදා මළ මිනිසුන් මෙන් සිටි අප අද නිල් අහස බලා පියඹන්නේ යැයි කවි ලියූ ඔබලා ගැන මම අද බොහෝ සතුටු වෙනවා. ඒ ඔබට අහිමි වූ ජීවිත් වීමේ නිදහස නැවත ලැබුණු නිසා. 
කඩතොළු සහිතව හෝ එය මිය නොගිය නිසා.

" අපි රැවටුනා ඩොක්ටර් " තමිලිනීට කලින් ඒ සත්‍ය වටහාගත් අත පය වාරු නැති හිටපු ත්‍රස්තයින් පැවසූයේත් එයයි.
අද මා ලියන්නෙත් එයයි.

දෙපැත්තෙම අපි තවම රැවටෙනවා ! 

12 comments:

  1. "දෙපැත්තෙම අපි තවම රැවටෙනවා ! "
    Very well said 🖒

    ReplyDelete

  2. ආයෙත් උතුර දකුණු නොබෙදේවා කියා පතමු... මොකද එහෙම වෙනවා කියන්නේ සිහල, දෙමල අම්මලා තාත්තලාට තම දරුවෝ නැති වෙන එක... ඒ වගේම තාමත් ජාතීන් අතර තියන සැක සංකා නැති වෙනවා නම් හිත්වල තියන තුවාල හොඳ වේවි...

    ReplyDelete
  3. hamadaama vage api thama ravatenawa. aaye nam me yudde kawadwath epa.

    ReplyDelete
  4. //දෙපැත්තෙම අපි තවම රැවටෙනවා // ඊයෙත්, අදත්, හෙටත්, අනිද්දත් .......

    හැමදාමත් කියනවා වගේ අනිත්කොනේම හිටපු කෙනෙක්ගේ මේ ලියවිල්ලත් ඇති අපිට එකිනෙකා ගැන තේරුම් ගන්න පටන් ගන්න.
    ඒත් පෞද්ගලිකව මන් හිතනවා ප්‍රේමයෙන් හැමදේම අවසන් කරන්න බෑ. ඒවගේම යුද්දෙකදී සාධාරණතවයක් හොයන්නත් බෑ. මන් දන්නවා එක පිලක වීරයින් තවත් පිලකට රාක්ෂයින් කියලා. ඒත් මන් හිතන්නේ යුද්ධයකට එළබීම තුල වීරයින් නැහැ. ඒත් යුද්ධයක් තුල වීරයින් ඉන්නවා. මොකද ඔහුන් අහිමිකරගත් දෙපා වලට පින්සිද්ධ වෙන්න මන් තාමත් ඇවිදිනවා. ඒ නිසා ඒ තුල අප්‍රමාණික වීරත්වය මගේ හිතේ තිබෙනවා. අගේ ඇති ලියවිල්ලක්

    ReplyDelete
  5. ඉතා හොඳ අත්දැකීම් මගින් කෙරෙන පැහැදිලි කිරීමක්. ඉහලම පෙලේ කන්‍යාරාමයක ඉගෙන්ගත්, වෛද්‍ය වෘත්තියේ සිටින ඔබ වැනි කෙනෙක් මෙලෙස සිතීම සතුටක්. ලංකාවේ සමාජයේ සිටින උගත් යයි සම්මත කොටස මෙසේ සිතනවානම් ,ලංකාවේ සමාජ ක්‍රමය වෙනස් කිරීම මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් අවාසනාවකට ලංකාවේ සිටින උගතුන් වැඩි දෙනෙක් අවස්තාවාදීන් නිසා එය සිහිනයක් පමනයි.ඔබ වෙනත් රටවල සංචාරය කර සහ ජීවත්වී සිටින කෙනෙක් නිසා එය හොඳි දන්නවා ඇතැයි සිතනවා.
    ඔබේ බ්ලොග් එක මම නොවරදවා කියවන එකක්.නමුත් කමෙන්ට් කරන්නේ බොහොම කලාතුරකින්.උතුරේ සේවයට ගියවිට ඔබට තිබූ ලොකුම අභියෝග වලින් එකක් වූ සංනිවේදනය පිලිබඳ ගැටලුව ඔබ විසඳාගත්තේ හැකි තරමින් දෙමල බස ඉගෙනගැනීමෙන්.කෙනෙක් සාමාන්‍යයෙන් නොකරන දෙයක් ලෙස මම එය ඉතා අගය කරනවා. ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම් .

    ReplyDelete
  6. ආය නම් කවම කවදාවත් යුද්ධය නම් එපා කියල මමත් ප්‍රාර්තනා කරනව. හොඳ ලිපියක්. ඉස්සර අපිත් බස් එකකට නැග්ගෙ ගමනක් ගියේ කොච්චර බයකින්ද අක්කේ? මට මතකයි උපකාරක පන්ති වලට බෝම්බ දානව කියල ත්‍රස්තවාදීන් කියපු දවස් වල අපේ අම්මල හිටියෙ ඇඟේ ලේ නැතුව අපි එනකල්.

    ReplyDelete
  7. Ilike the line of thinking. Very rarely we get a chance of reading this type of articles.
    Great work Dr Subodhini

    ReplyDelete
  8. මේ යුද්දේ ඉවර වුනා විතරයි.සමරන්න එකේ ලබපු ජයග්‍රහණයක් නැහැ.අර පසුගිය කාලේ හරි ආන්දෝලනාත්මක කතාවක් වෙච්චි "ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන්" කියන කතාවට මම එකඟයි.(ඒ දේශපාලකයා ඒ කතාව කිව්වේ වෙනත් අරමුණකින් වෙන්න ඇති.හැබැයි ඔහු කිව්ව කතාව හරි.)
    සාමාන්‍ය මිනිස්සු කාටවත් යුද්දේ ඕනේ නැහැ.ඔය සැමරුම් වලින් වෙන්නේ තුවාල පෑරෙන එක විතරයි.ආයේ යුද්ධයක් ඇති නොවෙන්න අපි ඒ මිනිස්සු දිහා සැකයෙන්,අවිශ්වාසයෙන් බලන එක දැන්වත් නතර කරන්න ඕන.

    ReplyDelete
  9. දෙපැත්තෙම අපි තවම රැවටෙනවා !

    ReplyDelete
  10. //දෙපැත්තෙම අපි තවම රැවටෙනවා // මේ රටේ හැමදාම රැවටීම....එය ඊයෙත් අදත් සිදුවූ ලෙසටම, හෙටත් ඔවුන් මෙලෙසම සිදු කරාවි. ඒත් අපි පසුබට වියයුතු නැහැ. හරි මඟ දිගේ අපි අපේ ගමන යන්න ඕනි. දයාවෙන්, කරුණාවෙන් පිරුණු ඔබගේ අදහස් අපි හැමෝටම හරි මඟ පෙන්වනවා. ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !