Tuesday, September 27, 2016

ඉක්මන් සටහන් ! ඇයි අපිට එහෙම බැරි ?

 රසවිඳිය හැකි යමක් නොවේ ඒ ඛේදවාචකය... එහි ජිවත් වුන නිසා. සැබැවින්ම ඒ මිනිසුන් අතර ජීවිත ගෙවූ නිසා.  ඔවුන්ගේ ජීවිත අන්දර වල හැල හැප්පීම් දුටු නිසා. පිහිට වුනු නිසා ඔවුන් සහනයක් සොයා ආවේ රෝහලට, හමුදා කඳවුරට.

මා යුද්ධය අවසාන වෙනවත් සමගම උතුරු කොන සේවය කරද්දි ලියූ කතන්දර මීට වඩා වෙනස්...අපි එහි යද්දී කතන්දරය සම්පූර්ණයෙන් වෙනස් වුනා. තව දුරටත් මිනිසුන් මැරුණේ නෑ.... ඇතැම් අය සහ පිරිස් කැමති වුනත් නැතත් ඒක එහෙමම වුනා.
 තව දුරටත් දෙමාපියන්ගෙන් කුඩා දරුවන් පැහැරගෙන ගියේ නෑ. තව දුරටත් බෝම්බ පිපිරීම්... මරාගෙන මැරීම් සිදුවුනේ නෑ. උතුරු කොනේ වෙඩි හඬක් ඇහුනේ නෑ.
අපිට සිදුවුනා ජීවිත ජීවත් කරන්න...සමහර බාග ඉතිරි වී තිබුනු ජීවිත පුරුද්දා සම්පූර්ණ කරන්න. අපිට සිදු වුනා, ජීවිත සිය දාස් ගාණක් බිලි ගත් ත්‍රස්තයින්ට වෙදකම් කරන්න...

වාට්ටුවේ එක ඇඳක හමුදා සෙබළුත් අනෙක් ඇඳේ අත් අඩංගුවට පත් කොටි ත්‍රස්තයන් මේ දෙපිරිසටම වෙදකම් කරන්න. මූණ බලන්නේ නැතිව සිටි... ඇතැම් විට අනින්නට පිහි පවා ළඟ තියන් සිටි ත්‍රස්තයින්ට වෙදකම් කරන්න... ළමා සොල්දාදුවන් ලෙස දරුවෝ පැහැරගෙන ගිය ත්‍රස්තයින්ට පවා වෙදකම් කරන්න.
ළමා සොල්දාදුවන්ට වෛද්‍යවරියක් නොවී සහෝදරියක් වෙන්න... සිංහල වචනයක් ඇහෙද්දී ගහන්නට පනින මිනිසුන්ට වෙදකම් කරන්න. ඔවුන් සහ සිනාසී කතා කරන්න. තරහක් හෝ වෛරයක් නොසිතා ඉන්න.

මනෝ වෛද්‍ය සායන වලදී හිත් සුවපත් කරන්න.... මම සතුටු වෙනවා.. අපි එහෙ යනකොට... වෛරය අහවර වෙලා තිබුනු එක ගැන..මම දුක් වෙනවා මේවගේ දරුණු දුක්බර කාල පරිච්ජේදයකට අපේ රට පත් වුණු එක ගැන...ඊටත් එහා දුක , රටක් ම අඳුරෙහි හෙළූ එවන් ත්‍රස්ත ක්‍රියාවන් සාධාරණීකරනය කරන්න, වීරත්වයක් ඔබ්බවන්න කැමැති පිරිසක් සිටින එක ගැන.

මම අවුරුදු 4ක්ම වැඩ කළේ ගෙදරින් කිලෝමීටර 600 විතර එහා...උතුරු කොනේ...
දැන්නම් දුෂ්කර සේවය කරලා ඉවර වෙලා කොළඹට කිට්ටු ප්‍රදේශයකට ඇවිත්...ඒත් තව අවුරුදු 4කින් ආයෙම යන්න වෙනවා. ඒක රැකියාවේ ස්වභාවය. 

උතුරට ගියේ කෝච්චියේ බස් එකේ...විශේෂ වරප්‍රසාද ලත් මොන්ටෙරෝ රථ දූවිලි අවුස්සගෙන ඒ නයින් එකේ පියාඹද්දී මම පාර අයිනේ බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා බස් එනකම් ගෙදර යන්න හෝ ඉස්පිරිතාලේ දෙසට යන්න. 

සෙනසුරාදා ක්ලිනික් එක ඉවර කරලා කෝච්චියට දුවද්දී... ගර්භණී මව්වරුන් බස් හෝල්ට් එකේ ඉඳගෙන ඉන්න බංකුවේ මට ඉඩ දෙනවා.. 
"ඉරිංග ඩොක්ටර්" කියලා... බලෙන් ඉන්දවන්න හදනවා.
මම ඔවුන් එක්ක එකම  බස් එකේ යන්නේ එතකොට යාල්දේවි එන්නේ මගට. එනිසා ඇය එන දුම්‍ රිය පොලකට යා යුතුවෙනවා... බලෙන් මට දෙන සීට් එක ප්‍රතික්ශේප කරලා.. අර බඩදරු අම්මලාව ඒකේ ඉන්දවලා...යාල්දේවියෙත් බොහෝ විට සෙනග. හිටගෙන හෝ ඇතැම් විට දොරකඩ වල බිම ඉඳගෙන ගිය වාර අනන්තයි.   ඒක මගේ ලැබීම ලෙස මම ඉවසුවා දැරුවා.


අදටත් එසේමයි. නමුත් වෘත්තීය සංගමයක් ලෙස යම් තීරණයක් ක්‍රියාත්මක කරයි නම් අපිට එයට විරුද්ධ විය හැකි තැනක් සහ ක්‍රමයක් තියෙනවා...GMOA මීටින් වලදී ඒක කරන්න පුළුවන්.. මම දැක්කා බොහෝ දෙනෙක් ෆේස් බුක් එකේ විරුද්ධව මත ලියනවා.
 ඇයි මේ අය කවුරුත් තීරණ ගැනීම සහ වෙනස් කිරීම කල හැකි තැන් වලදී ඒ වගේ මත ඉදිරිපත් කරන්නේ නැත්තේ ? එතනදී  තමන්ගේ මතය කියා මේ තීරණ වලට බලපෑම් කරන්නේ නැත්තේ ඇයි ? 
අප රෝහලේ වෘත්තීය සංගමයේ සාකච්ජා වලදි නම් අපි අපේ මතය ඉදිරිපත් කරනවා... නෑ අපි ඒකට එකඟ නෑ කියලා... අපේ ශාඛා සංගමයෙන් අපේ මතය ඉදිරිපත් කරනවා. නැතුව ෆේස් බුක් එකේ ලොකු ටෝක් දිලා පොරවල් වෙන්න හදන්නේ නෑ...
 දෙයක් ක්‍රියාත්මක කරන්න කලින් ඒදේ කළ යුතුයි... ඉතින් මේ අයටත් තිබුනානේ මේක එයාත් සාමාජිකයෙක් වන වෘත්තිය සංගමේ අයටත් දැනුම් දෙන්න ? මට පේන්න බැරි මේ බොරුව ! ඉස්පිරිතාල වල මීයෝ වගේ ඉන්න අය ෆේස් බුක් එකේ සිංහ ගර්ජන දානවා.. ෆෙස් බුක් එකේ පර්මිට් ඕනෙ නෑ කියලා. දෙද්දී හොරෙන් ඒවාට අයදුම් කරනවා.... මම අකමැතියි මේ ව්‍යාජත්වයට...
අවංක වෙන්න ... කරන වෘත්තියට මෙන්ම සමාජයටත්... අවසානේ තමන්ටත් !

සියල්ලන්ටම හොඳම දේ ලැබෙන සමාජයක් ඇති කරන්න අපිට බැරි ඇයි ? ඉහළම සුපිරිම වෙනුවට හැමෝටම හිතකර දෙයක් ලබාදෙන්න නැගී සිටින්න අපිට බැරි ඇයි ? සමානාත්මතාවය ඇත්තටම ක්‍රියාත්මක කරන්න බැරි ඇයි ? සුපිරි පාසැල්වල ඉගෙනුම ලබන්න සියල්ලන්ටම අයිතියක් තිබිය යුතු යැයි මට සිතේ. සියල්ල දේශපාලනය වූ සමාජයක පාසැල් වලට ළමුන් ඇතුලත් කිරීමද එසේ වී ඇති බව මම, ඔබ හොඳාකාරවම දන්නා නමුත් සියලු දෙන ඒ ගැන තමන්ගේ අපුලත්වය ඉදිරිපත් කරන්නේ වෛද්‍යවරුන් ඉලක්ක කොටගෙනය. ඇත්ත ! වෛද්‍යවරුන් ක්‍රියාත්මක වෙන්නේ අතිශය සංවේදී වෘත්තීය අංශයකය. ඒත් සාධාරණ මතධාරීන් ලෙස අප  විරුද්ධ වේ නම් අපි සියලු අසාධාරණ ක්‍රියාවලීන්ට විය යුතුය. දේශපාලකයින් පර්මිට් ලබාගැනීම සහ විකිණීම ගැන එකඳු විරුද්ධ වීමක් නැත. සියල්ල  ඇතැම් පිරිසකට පමණක් ලබා දිය යුතු වරප්‍රසාදයක් බවට පත් කර ඇති එකම වරදක් යැයි මට සිතේ.

මා හිතවත් හෙද සොයුරියක් ඇගේ මුහුණු පොතට එකතු කර තිබූ සටහන මෙසේය...
"හෙදියන් ගැන මුහුනු පොතේ එක්තරා පිටුවක පළ වූ පෝස්ටුවක් දැකීමෙන් පසු මෙසේ සටහන් කිරීමට කල්පනා කලෙමි. එම පෝස්ටුව පිලිබඳ විවිධාකාර පුද්ගලයන් විසින් සටහන් තබා තිබුනි. එම සටහන් අතුරින් දෙක තුනක් හැරෙන්නට අනෙකුත් සියල්ලන් ලුණු ඇබුල් ඇතුව අමතා තිබුණු දුටු මට රැකියාව පිලිබඳ මහත් කලකිරිමක් ඇති විය. සමාජයේ විවිධාකාර මිනිසුන් ඉන්නා බව අප කවුරුත් දනිමු . ඔවුන්ට අනුව දොස්තරලා යනු අමුතුම ජාතියකි. හෙදියන්ද අමුතුම ජාතියකි. කෙටියෙන් කිව්වොත් ඔවුන්ට අනුව නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නේ පින් පඩි ගන්නා පිරිසකි.රෝහල් ගත වුනු රෝගියකු සුව වී නිවසට ගියේ කාගේ කැපවීමකින් දැයි විමසීමට සිත් පහල වුනත් එම සිතුවිල්ල යටපත් කරගතිමි.
සියලු දොස්තරලා සියලු හෙදියන් නිවැරැදි පිරිසක් යැයි මම කිසි විටක නොපවසමි. රෝහල මෙන්ම පොලිසිය ඇත්තේද අපි වෙනුවෙන් සේවය සැපයීමට බව අපි දනිමු . ආයතන දෙකම දෙවිදියකින් සේවා සැපයුවද පොලීසියට ගොස් අපි අපිට ඕනෑ අයුරින් හැසිරෙන්නේ නැත. නමුත් රෝහලට එන රෝගීන් රෝහල යනු ආයතනයක් බවත් එහි සේවා සැපයීමට යම් පිලිවෙලක ඇති බවත් තේරුම් නොගන්නේ මන්දැයි මට නම් ගැටලුවකි . රෝහලට ගොඩ වන්නේ අපේන් පඩි ගන්න එවුන් අපට සැලකිය යුතුය යන හැගීමෙන් බව නම් මට හොඳින් වැටහේ. අපි ජනතාවට සේවය සැපයිය යුතු බව අවිවාදයෙන් පිලිගන්නෙමි. සහයෝගයක් නොමැතිව කිසිදු ක්‍රියාවලියක් සාර්ථක වේ යැයි මා විශ්වාස නොකරමි. බොහෝ ගැටුම් නිර්මානය වන්නේ මෙම අනවබෝධය නිසා යැයි මට සිතේ. ඒ සියල්ලටමත් වැඩියෙන් අපි සිතට ගත යුතු එක දෙයක් ඇත. එනම් සෑම පුද්ගලයකුටම ගරුත්වයක් ඇති බවයි..... ''

Saturday, September 24, 2016

පොත් සල්පිල සහ බ්ලූක්ස්

ඊයේ දිනය හරි අපූරුම දවසක් !...
බොහෝ පොත් මිත්‍රයන් මුණ ගැසුනා. ඇතැම් අයට වෛද්‍ය අවවාදත් ලබා දුන්නා.. ඒ එක්කම සයුර ප්‍රකාශන හි නිලන්ත අයියාගේ අක්කා මීට වසර 6 කට පෙර ලියූ නවකථාවක "බෝධිනී" කියා වෛද්‍යවරියක් ගැන ලියූ බව කීවා... මට ඒක පුදුමයක් එතකොට ඒ කාලේ මම උතුරු කොනේ.. පොත් ලෝකේ ගැන හාංකවිස්සියක්වත් නොතිබුනු යුගයක් නිසා පොත නම් මග හැරුනා... සම සයුර සහ කවි පොත් සල්පිල අතර ඇවිදිමින් හිටියා.

බ්ලුක්ස් හෙවත් පොත් වුනු බ්ලොග් ලිපි ...

බ්ලොග් ලියන අප කිහිප දෙනෙක්ගේම පොත් මෙවර සල්පිලේ තිබුනා
සම K 308 / සයුර L407 කුටි වලින් බ්ලොග් පොත් වලට ලැබුනේ හොඳ ඉඩක් !





බොහෝ අය දුටු විට දැන හඳුනගෙන කතා කරන්නත් අමතක කළේ නෑ.
මෙතෙක් ස්ටෝරුගත වී තිබුනු මගේ ඉතිරි පොත් බන්ඩල් කිහිපයද මෙවර සල්පිලට එකතු කලා.

කවි පොතේ කවියක් පත්තරය පල කළ ප්‍රවීණ රචකයෙක් "ඒ වගේ කවි වලට මම කැමති නෑ අර මම පත්තරේ දාපු කවිය හොඳයි" කියා කීවා. අන්තර්ජාලයේ මුහුණු පොතේ මරාගන්න උදවිය... පොත් සල්පිලේදී සෙනෙහසින් වෙලී සිටිනවාද දුටුවා. අපරාදේ ඒ අය නිසා දෙකට බෙදී මුහුණු පොතේ යුද්ධ කළ උදවිය. නවකයින්ගේ පොත් කරමින්, ඒවා සල්ලි ඉල්ලම් බවට පත් කරගත් අප්‍රකට චරිතයක් ගැනත් බොහෝ දේ දැනගත්තා... මේ හැම චරිතයක්ම අපූරු පාඩමක් !
දෙමාපියන් දරුවන් එක්ක අභ්‍යාස පොත්, විභාග පොත් සහිත තැන් වල පොදි කකා හිටියා.... වාට්ටුවේ දරුවන්ට චිත්‍ර බඩු ගන්න පුළුවන්ද බලන්න එක පොත් සැලකට ගියත් එතන බිල් ගෙවන්න තිබුනු පෝළිම දැකලා මම ඒ අදහස අත් හැර ගත්තා...ඒකට ලබන සතියේ පිටකොටුව දිහාට යන්න හිතා ගත්තා.

මම දකින්නේ එක එක විදිහේ පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන්. මනෝවෛද්‍ය විද්‍යාවේ නම් මේ හැම චරිතලක්ෂණයක් ගැනම විග්‍රහ කරනවා. පොත් ලියන්නෝද පොත් කියවන්නෝද පොත් පෙරලන්නෝද, පොත් මවන්නෝද, එකට එකතුවුනු අපූරු තැනක් පොත් සල්පිල...
ලබන අවුරුද්දෙත් හමුවෙමු.