Friday, July 22, 2016

අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය !

ඇය මට හමුවුනේ හරියටම දෙවසරකට පසු... අප දන්නා කියන අයෙක්... නැවත පන්සලේදී මුණගැසුනාට ඇය වෙනස් වී තිබුනා.

"නංගී මම අවුරුදු දෙකක් වෙනකම් කතා කරන්න බැරුව හිටියා. දරුවා ඉන්නවා කියලාවත් මට දැනුනේ නෑ. සියල්ල අමතකයි" ඇය පැවසුවා මතකයි.

"දරුවා ලැබිලා එදා රෑ මට මතක ලයින් හෝම් එකේ... වාට්ටුවේ ටොයිලට් එකට ගියා... ලොකු තඩි කකුල් දෙකක් මා දිහාට ඇවිදන් ආවා." ඇය එහෙමත් කීවා මතකයි.

"දැන් තමා මට සිහියක් ආවේ...මට දරුවා අල්ලන්න දරුවා බලන්නවත් ලැබුනේ නෑ. පුතාට කිරි දීලාත් නෑ මම"

නමුත් එවකට උසස් පෙල පන්තියේ සිසුවියක් වු මට ඒ අක්කා කියපු කතාව නිරන්තරයෙන් මතක් වුනේ වෛද්‍ය විද්‍යාලයේදී සායන වටයකදී පසු ප්‍රසව ආතතියට/ විෂාධිය ට ලක් වුනු කාන්තාවන් දුටු විට ය.

එක් අයෙක් අත් දෙක බැඳගෙන දරුවෙක් නලවන ආකාරයට එය එහෙ මෙහෙ කරමින් උන්නා. ඇය අසලට ගිය විට ඇය අපෙන් දරුවා මදකට අල්ලා ගන්නවාදැයි අසා.. අපේ කණ්ඩායමේ පිරිමි ළමයෙක් වෙත පැමිණ අතේ දරුවෙක් නොසිටි නමුත් දරුවෙක් ඉන්නා ආකාරයට ඔහුගේ අතට මාරු කළා.
ඒ පටන් මේ වන තෙක් ප්‍රසව හා නාරිවේද වාට්ටු තුල ද, මානසික ඒකකයන් වලද නිරන්තරයෙන් මට ඔවුන් මුණ ගැසෙනවා.

අප වෙත පැමිණෙන දරුවන් කිහිප දෙනෙක්ගේම අම්මලා මේ තත්වය නිසා, මනස විකල් වී, ඔහේ බලාගත්තු අත බලාගෙන හිඳින්නියන් වෙලා.
ඒ දරුවන්ගේ කායික සහ මානසික වර්ධනය සම්බන්ධ ගැටළු රාශියක් තිබෙනවා. ඔවුන්ගේ පවුල් පසුබිමේ වුනත් ඒ ගැන වැඩි දැනුමක් නැති නිසා ඒ අම්මලාගේ සුව වීම සතුටු දායක මට්ටමක නොමැත. දරුවන් හැමෝම වාගේ ආච්චි අම්මාගේ රැකවරණය ලබයි. නාම මාත්‍රිකව පමණක් මවක සිටින දරුවන් ද මේ අතර වේ. මේ තත්වය ගැන වඩා සවිස්තරාත්මක ලියවිල්ලක යෙදෙන්නට අවැසිමය කියා මට සිතිනි.
මේ ලින්ක් එකෙන් ඔබට ඒ ගැන ඉංග්‍රීසි බසින් කියවන්නට පුළුවන. http://www.mayoclinic.org/

 හේතු වන කරුණු රාශියකි... ඉන් අතර මූලිකවම ඇත්තේ ගර්භනී සමබය‍ඒදී ශරීරයේ ඇති වූ වෙනස්කම් වලට හේතු පාදක වන හෝමෝන වල ක්‍රියාකාරිත්වයයි. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රෝන් යන හෝමෝන දෙකෙහි ප්‍රමාණයන් විශාල වශයෙන් අඩු වීම මෙයට හේතුවන බවත් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන අඩු වීමත් යන මෙය එක හේතුවකි.

දරුවා ලැබෙන්න ඉන්න කාලයේ ඉඳන් දැනුණු කායික පීඩා, ලැබුණු පසු නින්ද නොමැති වීම අධික තෙහෙට්ටුව මහන්සිය , නිවැසියන්ගෙන් එල්ල වන ඇතැම් මානසික පීඩා මෙයට හේතු විය හැකිය.

තවත් පැත්තකින් බොහෝ කලබලකාරී හෝ අහිමිවීම් බහුල ගර්භනී සමයක් ගෙවූ අයට ද, ස්වාමියාගෙන් නිවැසියන්ගෙන් උදව් උපකාර අඩු අය ද,  ආතතිය, විෂාධිය සහ මානසික රෝගාබාධවලට කලින්ම ගොදුරු වූ අයද මෙවැනි තත්වයකට ඇද වැටිය හැකිය.
අලුත උපන් බිළිඳාගේ රෝගී තත්වයක් වුනත් මවකට බොහෝ පීඩා ගෙන දී එයින්ම ඇය පසු ප්‍රසව විෂාධිය තත්වයට පත් විය හැක.
 මෙහි ඇති භයානක බව සමාජයට වැටහෙන්නේ නැති බව මා හොඳින්ම දනිමි. දරුවන් තිදෙනෙක් මෙලොව තනිකර මෑතකදී අවසන් ගමන් ගිය වෛද්‍යවරයෙකුගේ බිරිඳ ගැන මට මතක් වේ.

ඔබ දන්නවා ද ? පෝස්ට් පාර්ටම් ඩිප්‍රෙෂන් හෙවත් පසු ප්‍රසව විෂාධිය තත්වය ගැන ?

"ඩොක්ටර් මට ජීවත් වෙන එකත් එපා වෙලා... මේ ප්‍රශ්නෙ නිසා... බබා කිරි බීවට අඬනවා ඉවරයක් නෑ. එයාගේ බරත් අඩු වෙලා " ඔහොම කියන තරුණ මව්වරුන්, බොහෝමයකට බලපෑම් එන්නේ " ඔයාගේ කිරි මදි ඒකයි ළමයා අඬන්නේ , ඉතින් පිටි කිරි දෙන්න"  කියලයි. එහෙම නැත්නම් දරුවෝ හදන හැටි ගැන අළුත් අම්මලාට විශාරද  ඝණයේ උපදෙස් දෙන නැන්දම්මලා, ඒ වගේ අනවශ්‍ය බලපෑම් කිරීම් නිසා තරුණ මව්වරුන් බොහෝමයක් ඉන්නේ දැඩි පීඩනයක.

"මට තේරුණා එයා ගොඩක් සංවේදී කියලා, දරුවා ඉපදුනත් එක්ක අම්මලාගේ ගෙදර ඉන්නකොට ඇඟිලි ගැසීම් වැඩී. කොයිවෙලෙත් කට්ටිය කිරි දෙන්න කිරි දෙන්න ඇයි අඩන්නේ වගේ ප්‍රශ්න අහනකොට එයා ගොඩක් කලබල වෙනවා. බබාගේ වැඩත් තනියම කරගෙන කොහොම ඉන්නවද මන්දා " පියෙක් එහෙම කියද්දී මට ඇත්තටම ඒ ගැන සතුටු හිතුනා.

මව්වරු විශාල කරදර ගොන්නකට මුහුණ දේ.
ඒක , අම්මා කෙනෙක්ගේ වගකීම හෝ යුතුකම ලෙසින් ලේබල් ගසන්නට උත්සහ ගන්නා දහසකුත් පිරිමින් අතර, තමන්ගේ බිරිඳ විඳින කායික සහ මානසික වේදනා ගැන බොහොම සංවේදීව කරුණාවෙන් සිතන , ඒ ගැන කණගාටු වෙන පිරිමින් සහ ඔවුන්ගේ ඒ පීඩාවලට සහනයක් ගෙන දෙන්න වෙහෙසෙන සැමියන්ද මා කොතෙකුත් දැක ඇත.

" මම රෑට කිරි වේල් දොවලා තියනවා, හස්බන්ඩ් සතියකට දින කීපයක්, මට නිදාගන්න කියලා, බබා ඇහෙරෙනකොට එයා ඒ කිරි පොවනවා. මට ඒ නිසා ලොකු වෙහෙසක් නැති දින කීපයක් තියෙනවා" ඒ මා සමග දොඩමළු වුන පිටරට සිටින යුරෝපීය ජාතික යෙහෙළියක් පැවසූ වදනක්.

" හස්බන්ඩ් රෑ තිස්සේ කිරි පොවලා දුන්නම ගුඩුස් බස්සනවා, එයාට පහුවදා වැඩට ගිහින් හරි වෙහෙසලු, මම නම් ටිකක් හරි නිදියනවා"

" මම කිරි දොවලා තියලා ඇවිදින්න යනවා, සැමියා තමා කිරි පොවන්නේ... පැයක්වත්  මම ඇවිදිනවා" ඒ මගේ පිටරට ඉන්න නෑනා කියපු කතාව.

ඔව් බටහිර රටවල , යුරෝපය ඇමෙරිකාව වගේ නිදහස් චින්තනයක් හෙබි රටවල එහෙමයි.

අපේ රටේ අමනුස්ස සැමියන් කියන්නේ

"අම්මෙක්ගේ යුතුකම් වගකීම්. අම්මෙක් උනාම ඔහොම තමා. ඕවා තනියම විඳින්න... ඕවා ඔයාගේ වැඩ ඔයා කරන්න...."
"මොන මළ වදයක්ද මේ.. මොකටද එහෙනම් දරුවෝ හැදුවේ"
"ඕවා දරුවා හදන්න කලින් හිතන්න තිබුනා"
" හැදුවනම් දැන් ඉතින් කරගන්න "
"මේ අඬවැඩියාව ඉවරයක් නැද්ද?"

ඔය වගේ අමනුස්ස කතා කියන නොමිනිස්සු ඉන්න මහා සංස්කෘතික රටේ අය වගේ නොවේ පිටරට වල ඉන්න අය...

ඒ අය,
 හැම මනුස්සයෙක්ම තමන්ට වගේම අමාරුකම් තියෙන අය බව වටහා ගන්නා පිරිසක්.

ඒවගේම දරු ප්‍රසූතියකට පස්සේ අම්මෙක් දැඩි වෙහෙසක ඉන්න බවත්, සීසර් සැත්කම හෝ යෝනි මාර්ගයේ කැපුම් පැලීම් තුවාල නිසා අම්මෙක් අමාරුවෙන් ඉන්න බව වටහා ගන්න පිරිසක්.

ඉතින් ඒ අය තමන්ගේ බිරිඳට ගෞරවයෙන් සලකනවා. පූර්ව හෝ පසු ප්‍රසව ආතතියෙන් පෙලෙන තමන්ගේ බිරිඳව ආදරෙන් බලාගන්න උපදෙස් ගන්නවා. ඒකට අන්තර්ජාලයෙත් බොහෝ උපදෙස් තියෙනවා. එතකොට ආතතිය විෂාධියක් බවට පෙරලෙන්න තියන අවධානමද අඩුයි.

අළුත් ජීවියෙක් කැන්දන් එන මවකට පියෙකුට ඒ දරුවා ගැන කොයි තරම් නම් ස්නේහයක් තියෙනවා ද? ඒ සෙනෙහසම එකිනෙකා වෙනුවෙන් දක්වන්න පුළුවන්නම් මේ ප්‍රශ්න බොහෝමයක් අඩුවෙන බවයි අපේ මනෝවෛද්‍ය විශේෂඥවරයා පවසන්නේ.

"පැය දෙකෙන් දෙක නැගිටිමින් කිරි දෙමින්, ගුඩුස් බස්සන්න කරේ තියන් ඇවිදිමින් ( අර කැපුම් තුවාල සීසර් සැත්කම් අමාරුකම් එක්ක) ඊළඟට ඇඳුම් හෝදමින් මදිමින්... මේ සියල්ල කරමින් ඉන්නා මවකට සැනසීමක් සහනයක් ලබා දීම  කරන්නෙ නැතිව පීඩනයක්ම එල්ල කරනවිට ඇය පුපුරා යන එක අහන්න දෙයක් නොවේ.... "ඔහු තව දුරටත් පැවසුවා.

පිටරටවල තරුණ පියවරුන්ගේ මම දකින ලක්ෂණයක් තමයි වගකීම් දරනා ස්වභාවය. අපේ රටේ ඒක අඩුයි.
ලංකාවේදී නම් මට සතුටෙන් පිරියෙන් සිටින අම්මෙක් මුණ ගැසුනේම නැති තරම්.

ඉපදී සතියක් වයසැති දරුවන් බලන well baby clinic වලදී මේ අම්මලා විඳිනා ගැහැට ඔවුන්ගේ මුහුණු වලින් සහ හැසිරීමෙන්ම දකින්නට ලැබේ.
"අම්මා නිදාගත්ත ද? ගොඩක් වෙහෙස ද?" වගේ කාරුණික ප්‍රශ්නයක් අහලා මා ඔවුන්ට හිත සැහැල්ලු කරගන්න අවකාශ සලසන්නේ එහෙයිනි.
" අනේ ඩොක්ටර් පොඩි දෙන්නගේ වැඩත් මෙයාගේ කිරි දෙන එකත් ඔක්කොම කරනකොට මට පිස්සු වගේ හවස් වෙනකොට"
"දැන් ඔයාට සියල්ල තනියෙන් කරන්න බෑ, ඔයාට උදව් ඕනෑ අම්මා" එහෙම කියද්දී
" මහත්තයා ආවා එයාට ඔය ටික කියන්න පුළුවන්ද ඩොක්ටර් " කියා අසන අම්මලාද අඩු නැත.
"අනේ ඩොක්ටර් මං නිදාගෙනම නෑ එක දිගට ඇහැරලා..." දින දහයක් පමණ තම රෝගී දරුවා සමග දුක්විඳින මවක් අප හා පවසයි. ඇතැම් මව්වරු තමන්ගේ සුවපහසුව තකා රෝගී දරුවාද රැගෙන ගෙවල් වල යති.

මසකට දෙතුන් පාරක්, ජාතික මානසික රෝහලේ ඇම්බියුලන්ස් එකක , පසු ප්‍රසව විෂාධියෙන් පෙළෙන මව්වරුන්ගේ කුඩා බිළිඳුන් අප රෝහල වෙත එවන්නේ ඔවුන්ගේ නොයෙකුත් ප්‍රශ්න සඳහා පිළියම් සෙවීමටය. ඒ මව්වරුන් බොහෝමයකට ඒ වෙනකොටත් සිහි කල්පනාවක් නැතිව ඊ සී ටී ලබා දෙන බවද ඇසේ.  මේ දරුවන්ගේ අනාගතය කෙබඳු වේ ද ?
අම්මා නොමැති කල අප්පා කවර කල යන කියමන සනාථ කරමින් ඔවුන්ගේ පියවරුන්ද දරුවන් කෙරෙහි ආදරයෙන් සිටින  ආකාරයේ හැසිරීමක් නොපෙන්වති. ඇතැමුන්ගේ පියවරුන් ඔවුන් හැර ගොසිනි.

බොහෝ පියවරුන් එසේ ය. බොහෝ විට උපතේදී රෝගී වුන දරුවන් ගේ බර දරාගෙන රෝහලේම කල් ගත කරන මව්වරුන් තනිව විඳින ඒ දුක දැනෙන්නේ අපට පමණම දැයි සිතේ.
ඇතැම් පියවරුන් මෙවැනි ප්‍රශ්න මත , තවත් ගැටළු නිර්මාණය කරගෙන අර මව්වරුන්ගේ පීඩනය රෝගයකට හරවා ඔවුන් හැර යති.

ඒ අම්මලා මේ කරුම කරදර දරන් දරුවන් හදා ගන්නේ කොහොමද ? දරුවන් ගේ මනස නිසි ආකාරයෙන් වර්ධනයක් සිදුවේ ද? අවසානයේ මව්වරුන් සියදිවි නසාගන්න තරම් මේ තත්වය භයානක බව කොයි තරම් ද කීවොත් , 2013 ඇමරිකාවේ දී කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබුනේ පසු ප්‍රසව විෂාධිය ට ලක් වූ මව්වරුන් පස් දෙනෙකුගේන්ම කෙනෙක් සිය දිවි හානි කරගන්නා සිතුවිලි තිබූ අයවලුන් බවය.
(CDC statistics  - and  post partum statistics )

අපේ රටේ කියා මේ තත්වය වෙනස් වෙන්නේ නැත. මව්වරුන් වැඩිමනක් මිය යන්නේ, පසු ප්‍රසව රුධිර වහන තත්වයන් නිසාය දෙවෙනියට මිය යන්නේ, සිය දිවි හානි කරගැනීම් නිසාය ඒ මේ කියන විෂාධිය නිසාය.

එනිසා මව්වරුන්ගේ මානසික සෞඛ්‍යය ගැනද සිතා බැලිය යුතු කාලයකි මේ. දරුවාට ආදරය කරන බොහෝ පියවරුන් දරුවාට ජීවය දෙන තම දිවියම වෙනස් කරගන්නා මව්වරුන්ට බොහෝ මානසික/ කායික පීඩා කරති.
මා බොහෝ ප්‍රිය කරන කියමනක් තිබේ ... " ඔබේ දරුවන්ට ආදරේ නම් ඔවුන්ගේ මවට ආදරේ කරන්න" කියන කියමනයි. එහි සැඟවුනු අරුත ඔබට වැටහේ යැයි සිතේ.

තමන්ගේ බිරිඳට, බෙහෙත් ගන්න, සාමාන්‍ය කෙනෙක් වෙන්න කියන්න වචන නාස්ති කරන ඔබ, ඇයට යථා තත්වයට පත් වෙන්න උදව්වන සානුකම්පිත , ඇය වෙනුවෙන් කරුණාව දක්වන කෙනෙක් වෙන්න.

පසු ප්‍රසව විෂාධිය ඇති වීමට අවධානම වැඩි පරිසර, තත්ව , රෝගාබාද, හෝ සාමාජීය ප්‍රශ්න ඇති අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.
විශේෂයෙන්ම මානසික රෝගාබාද වලට ලක් වූ අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.
අවසානයේ...
ඇයට ආදරය දක්වන්න, හැකි තරම් පීඩා ඉවත් කරන්න, තනි කර පලා නොයන්න, ඇය  ඉක්මනින් සුව වෙනු ඇත !

"මම මොකද්ද කරන්න ඕනේ ඩොක්ටර් එයාව සතුටින් තියන්න ? "
එහෙම අහපු තරුණ පරිඝණක ඉංජිනේරු පියෙක් අපට හමුවේ.
" එයා ගැන විතරක්ම අහන්න, ගෙදර ආපු ගමන් දරුවා ගැන ප්‍රශ්න අහන්නේ නැතිව එයාට කොහොම ද? කියලා විතරක් සොයා බලන්න ! දරුවා ගැන අපි බලන්නම්, අම්මා ගේ මනස හරියනකොට, කිරි ප්‍රශ්නය විසඳෙනවා. දුකින් ඉන්නකොට කිරි එරෙන එකත් අඩු වෙනවා" ඒ වගේ පිළිතුරු අපෙන් ලැබුනා.

ඒ අතර බ්ලොග් ලියමන ප්‍රමාද වෙන්නට හේතු කාරනා බොහෝමයක් තිබෙනවා.. වෛරස් උණ රෝග, ඩෙංගු, බඩ එළියේ යෑම වමන )ය සමග වාට්ටු පිරී ඉතිරී යෑම.... සැරෙන් සැරේ අප වෙතද ඒ රෝග බෝ වීම වැනි කාරණා නිසා ජීවිතේ බොහෝ අපහසුකම් මැද ගෙවිනි....