Pages

Saturday, November 26, 2016

භූමිතෙල් රස ද ?

වෛද්‍යවරුන් යනු මැජික් හෝ විශ්මයන් කරන්නන් නොවේ.. නමුත් ඇතැම් විට අපිට ඉන්ද්‍රජාලික බලයක් තිබුනොත් කොයි තරම් අගනේ ද කියා මට සිතේ.

සෑම හදිසි අවස්ථාවකදීම, සෑම කරදරකාරී පීඩනය පිරි මොහොතක දීම, මගේ මුවින්/ සිතින් පිටවෙන්නේ සදාතනික අයැදුමකි. එය ජීවිතයක් ජීවත් කිරීම සඳහාම ය.

ඇතැම් විට ඒ හදිසි ප්‍රතිකාර අංශයට පැමිණි දියේ ගිළුනු පොඩ්ඩෙකි... එහෙම නැත්නම් අම්මාගේ හෝ ආත්තම්මාගේපෙති බෝතලය කෑ පොඩ්ඩෙකි.... ඇතැම් විට භූමිතෙල් පෙවුනු පොඩ්ඩෙකි... එක්කෝ මෙකෝනියම් සිරවී, නැත්නම් ඔක්සිජන් අඩුවී මළ දරුවෙක් සේ මෙළොවට බිහිවුනු ළදරුවෙකි. මේ හැම මොහොතකම අපේ හර්ද ස්පන්දනය වැඩි වේ. අපි දැඩි වේගයකින් ශ්‍රමයකින් වැඩ කළ යුතුයි.

පෙරේදා රාත්‍රී වැඩ මුරයේ... ( රාත්‍රියට රෝහල් වාට්ටුවේ ඉන්නේ එක වෛද්‍යවරයෙක් නිසා සියලු වගකීම ඔහු / ඇය මත යි. හදිසි අවස්ථාවකදී තව කෙනෙක් ඕනෑ නම් අනික් වෛද්‍යවරුන්ට කතා කල හැක). හවස හයට පමණ හදිසි ප්‍රතිකාර අංශයට ගෙන ආ අවුරුදු එක හමාරක බබෙක්, භූමිතෙල් බීලා ! ඒ බව කොරිඩෝවේ එද්දිම මට වැටහුනේ භූමිතෙල් ගඳ නහයට දැනුණු නිසා.

"අනේ ඩොක්ටර්... මම ලොකු දුවට වතුර එක දෙන ටිකට... බබා ගිහින් අහලක තිබ්බ භූමිතෙල් බෝතලේ අරන් කටට ගන්නකොටටම ටීචර් දැකලා කෑ ගහලා...අපි උදුරලා ගත්තා"

මොන්ටිසෝරියේ කොන්සර්ට් එකකට පුහුණුවීම සඳහා හවස අම්මා ලොකු දරුවාව අරගෙන ගිහින්... අවුරුදු එකහමාරක පොඩි දරුවත් ගෙදර තියා යන්න බැරි කමට... එතන මොන්ටිසෝරිය පේන්ට් කරමින් හිටි අය භූමිතෙල් බෝතලේ ඇරලා දාලා ගිහින් ..." තරම් කුඩා දරුවන් සිටි තැනක හානිකර දේ දරුවන්ට අත පොවන්න හැකි අයුරින් තබා තිබීම කොයි තරම් හානි කරද කියලා. භූමිතෙල් වල පාට නිසා පොඩි අය කටට හලා ගන්නවා. එහෙම ආපු දරුවන් බොහෝමයි.

දරුවා පරීක්ෂා කර බලා වෛද්‍ය උපකාර සහ අවශ්‍ය බෙහෙත් හේත් නිම කිරීමෙන් පසු...මොන්ටිසෝරියේ ගුරුවරියත් ඒ ආපු අනිත් වැඩිහිටි පිරිසත් අම්මාටත් මම බොහොම කාරුණිකව කියා දුන්නා...

  • දරුවන් ඉන්න තැනක මෙහෙම දේවල් කරද්දී පරිස්සම ගැන හිතන්න කියන එක. 
  • ඒවගේම බෙහෙත් පෙති පවා හංගා හෝ ලොක් කරන ලද කබඩ් වල ඔවුන්ට ගන්න බැරි විදිහට තියන්න කියන එක. 
  • ඒවගේම ඇනෙන සුළු දෑ පොඩි දරුවන්ට අත පොවන මානේ තියන්න නරකයි. පෑනක් පැන්සලක් උනත්. මට මතක් වෙනවා ඇඳ උඩට පැනපු දරුවෙක්ට ඔහුම වෙලාවකට කලින් ඇඳේ ලියමින් අඳිමින් සිටි පැන්සල ඇනිලා ඒක හර්දය පසාරු කරගෙන ඇතුල් වී තිබී. මව හෙදියක් නිසා එහෙමම ඉස්පිරිතාලෙට ගෙනාපු කතාවක්. ඉතින් ඇඳන් උඩ සුමට මතුපිටවල් ( සෝෆා වැනි තැන්) වල පෑන් පැන්සල් සමග චිත්‍ර අඳින්න දීමත් නොකළ යුතුයි. 
  • කටේ දාන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. 
  • ආහාර උනත් කුඩා හපන්න අමාරු තරම් හයිය දේවල් ඔවුන්ට දෙන්න එපා... 
  • පීනට් සහ බිස්කට් පැකට් වල තෙතමනය නැති කරන්න දාන සිලිකන් ඔක්සිඩන්ට් පැකට් පවා දරුවෝ කනවා දන්නේ නැතුව . එනිසා පැකට් පිටින් කිසි දෙයක් පරීක්ෂා කර බලන්නේ නැතුව දරුවන්ට දෙන්න එපා. ටිකක් ලොකු ළමයි එන්නේ ඒවා කාලා.
  • මල් පැල වලටපොහොර ලෙස භාවිතාකරන ජෙලිවැනි ජලයේදී ප්‍රසාරණය වන කුඩා බෝල ඒවත් කාලා එනවා.
අවුරුදු දෙකකට අඩු පොඩි දරුවෙක් හුස්ම ගැනීමේ අපහසුතා සමග මහ රෑ ඇඩිමිට් කරා. දරුවා සිටියේ බොහෝම දුර්වලව. රුධිරගත ඔක්සිජන් අගය පහළ අගයක තිබුනේ. ඔහුගේ හුස්ම ගැනීමත් බොහෝම සද්ධයි. හරියට ශ්වසන මාර්ගයේ යමක් හිරවෙලා හරි සෙම හෝ ඇඳුම වැඩි වෙලා වගෙයි පිටතට ඇහෙන්නේ... පරීක්ෂා කර බැලූ අපට තේරුනේ එක පැත්තක පමණක් මේ ලක්ෂණ තිබෙන නිසා foreign body.. හෙවත් යමක් පිටතින් ඇතුල් වී සිරවී ඇති සෙයකි.
 ඒ දරුවාට අවශ්‍ය ප්‍රතිකාර පටන් ගෙන අප රෝහලේ පරීක්ෂණ සඳහා විශේෂඥයින් හෝ උපකරණ නොමැති හෙයින් ළමා රෝහලට දරුවා ගෙන ගියෙමු. ඒ සමබන්ධ පරීක්ෂණ සිදු කළ විට දුටුවේ රට කජු කැබැල්ලක් සිරවී තිබුණු බව ය. අම්මා පැවසුවේ.. ලොකු දරුවන් දෙදෙනාට රට කජු පැකට් එකක් කඩා දුන් බව පමණි. ඇය ඒ ගැන සැලකිලිමත් වී නොතිබිණි. මේ දරුවාටත් ඒවා කවා තිබුනේ ලොකු දරුවන් දෙදෙනා ය. ඇපල් කෑල්ලක් සිරවී පැමිණ මිය පරලොව ගිය කුඩා දරුවා ගැන මතක් විනි.

ඉතින් අම්මේ තාත්තේ ඔබේ සුළු ප්‍රමාදය ඇති ඔවුන්ට ජීවිතයට හානි දායක දෙයක් සිදු කරගන්න.

අදත් ලියන්න වෙලාව ලැබුනේ අහම්බෙන්... ඒ එක්කම මා ලියූ... වෛද්‍යවරුන්ගේ යාඥාව ඉංග්‍රීසි කවියද මෙයට අලවමි...මෙවැනි හදවත නවතන මොහොතවල අප හිතේ ඇතිවන කම්පනය වචනයට හැරවුණු අයුරු ය.

A doctor's prayer - Dr. Bodhini Samaratunga

I'm praying at your bedside
Just like I prayed every day
Just like on every on call night
On emergencies we delt
Beside countless beds and hallways
For the strangers I never knew

I prayed at every bedside
For the lives I saved like mine
On every case of emergency
On every incision I made
On every suture and stitch
On every delivery I took

Labor room,theaters and wards
Every where I ran..
My mind chanting a prayer
For the unknown lives in hand
For a breath and a beating heart
For the lives that I cared like mine

A cry from a newly born
For a smile from a hoping mom
I prayed at every bedside
For the lives I saved like mine


On every CPR
eyes fixed on screen for a beat
Chanted the prayer in mind
At times unconsciously loud
For the lives I saved like mine
For the strangers I never knew

"Sometimes you whisper under your breath
What language is that?" they ask
A prayer through words of an unknown grace
Just flow for a beat from an unknown heart
Today I pray at your bedside
Same whisper of hope and strength
Counting all the blessings of strangers
For the bliss they've left behind
I prayed at every bedside
For the lives I never knew
I prayed for every heart beat
For the lives I saved like mine

ආ භූමිතෙල් බීලා ආපු පොඩ්ඩා... එයා ගැන කියන්න අමතක වෙනවා තව ටිකෙන්...

භූමිතෙල් මගින් සැර වාෂ්පයක් නිකුත් වෙනවා... ඒක ශ්වසන මාර්ගයට ගිය විට ආසාදන ඇති කරන්න පුළුවන් ... උගුර කට ආහාර මාර්ගය ඒ සැරට ඉදිමෙන්න වේදනා දෙන්න පුළුවන්. සමහර විෂ ශරීරගත වුනාම අපි ඒක උදරයට බටයක් දමා එළියට ගන්නවා. ඒත් භූමිතෙල් පෙට්‍රල් වගේ ඒවට එහෙම කරන්නේ නෑ. ශ්වසන මාර්ගයට ගියොත්.. වමනය කරොත් හානි සිදුවෙන නිසා. activated charcoal වැනි විෂ උරාගන්නා අඟුරු ශරීර ගත කරන්නෙත් නෑ.

ඒ පොඩ්ඩා නම් වමනය කළා .. භූමිතෙල් ගඳ බත් සහ සියළු උදරගත වුනු කෑම බීම. ඒකේ ගඳ බලන්නත් සිදු වුනා. ඔව්.. වෛද්‍යවරුන්ට.. එහෙම දේවල් කරන්න වෙනවා. වමනය මොන පාටද? ලේ තිබුනද ? භූමිතෙල් ගඳ තිබුනද ? අසූචි මුත්‍රා පවා. ඒ ඒ පද්ධති වල ප්‍රශ්නයක් නම්.. මොන පාටද ලේ තිබුනද කියා පරීක්ෂා කරන්න වෙනවා. අපේ නංගී අහන්නෙත් ඔයා කොහොමද ඕවා කරන්නේ කියලයි. ඒක වෙනම කතාවක්.

ඔන්න අම්මා කීවා මළ පහ පවා භූමිතෙල් ගඳ බව. එනකොට පොඩ්ඩා හිටියේ නිදිමත ගතියෙන්. ඒකත් භූමිතෙල් පෙවුනම එන ලක්ෂණයක්. ඇන්ටි බයොටික් දෙන්න වුනා... පෙනහළු වලින් ආසාධනයක ලක්ෂණ පෙන්නුම් කළ නිසා ( නළාවට ඇහෙනවා ) එක්ස්‍රේ මගින් එය සනාථ කරන්න පුළුවන්. උදරගත දැවිල්ලට සහනයක් ගෙන දෙන ඖෂධ සහ වමනය වලක්වන ඖෂධ දුන්නා.. ඊළඟ දවසේ ඉඳන් හොඳ හිනාවෙන් ලොකු දාංගලයක් සහිත සාමාන්‍ය තත්වයට පත් වුනු දරුවාගෙන් " භූමිතෙල් රස ද " කියා විමසන විට ඔහු හයියෙන් හිනැහුනා. තේරිලා නම් නොවේ.

අද පින්තූර මම ගත්තු ඒවා , වාට්ටුවේ වැඩ කරන අතර තුර ....ස්ටෙතස්කෝප් ටිකට විවේකයක් ලැබුණු මොහොතක්..

අනික් පින්තූරේ අපේ කුඩා ළදරු ඒකකය... ඒක හදාගත් හැටිත් අපූරු කතාවක් ! ඒකත් දවසක ලියන්නම් !