Pages

Sunday, October 30, 2016

සර්පයින් ගැන කතාවක් !

වැසි සමය ආරම්භ වූයෙන් චුරු චුරු හඬින් පටන් ගෙන මහා ලොකු අකුණු හෙණ ගෙඩි ලෙසින් පාත් වෙන කාලයක් එක්කම අනිත් කොන රෝහල බොහෝ සෙයින් කලබල වෙනවා. මා මීට පෙරත් ලියූ ලෙස , සාමාන්‍ය උණ තත්වයන් සිට ඇදුම ශ්වසන රෝග එක්කම ඩෙංගු උණත් හිස ඔසවන්නේ ඔය කාලෙදී. මී උණ ත් අඩුවක් නැතිව ඇත්තේ කුඹුරු වෙල් යාය ආශ්‍රිතව මඩ වතුර සමග එකතුවන මීයන්, බල්ලන්, හරකුන් වැනි සතුන්ගේ මූත්‍රා වලින් එකතු වන බැක්ටීරියාවන් නිසා ය. ලෙප්ටොස්පයිරෝසිස් නමින් හැඳින්වෙන්නේ මෙයයි.

කුඩයක් ඉහළාගෙන චිරි චිරි යේ පයට පෑගෙන මඩ වූ පොළව මතින් යද්දී ඇහැ ගැටෙන සර්පයින්ද අපමණය. බයිසිකලයේ යද්දී නම් ඔවුන් බේරන්න්ට වෙට්ටු දමන්නට සිදුවේ. බොහෝ විට හමුවෙන්නේ දෂ්ඨ නොකරන විෂ රහිත අයවලුන් ය.

නේවාසිකාගාරය වැට අයිනෙන් රෝහල් භූමියේ තුරු වදුල් කුඩා පඳුරු ඇතු බිම් කොටසට ඇතුල් වෙන පිටවෙන නිතරම දකින කළු දිග නයා නම් අපව දන්නා හඳුනන බවක් පෙන්වයි. එයා නම් ඈත තියා දකින්නට තරම් දිග මහත ඇත්තෙකි. දිනක් බයිසිකලය නවත්වා ඒ ඇත්තා පාර මාරුවී පිට්ටනිය දෙසට යන තුරු බලා ඉඳෙද්දී ඈත තියා ඇවිදන් ආපු සිකියුරිටි මහත්මයෙක් මා නවතන් ඉන්නේ ඇයිද විමසද්දී , "අන්න අරයා යනකම් කියා" පෙන්වූ සැනින් මේ මනුස්සයා, අහල තිබුනු ලීයක් උස්සාගෙන එද්දී මා එපා කියූවත් ඔහු නොවේ කනකට ගත්තේ.... මම හරවගත්තු බයිසිකලය වැර යොදා පාගා ඉවතට පැද ගියෙමි. නයාට ගහලා පොල්ල වරද්දාගන්න එපා කියන කියමන මේ මනුස්සයා නම් දන්නේම නැතිද කොහෙද. පොල්ල නයිහාමිට නොවැඳුනු නමුත්, බොහෝ වෙලාවක් පෙනේ පුප්පාගෙන අර මනුස්සයා දෙස බලා සිටිය බව මතකයි. වෙලාවට මම ඒ දර්ශන පථයේ නොසිටියේ.


සර්පයන් දශ්ඨ කළ හෝ සපා කෑ අයවලුන් ගෙන එන විට ඒ සර්පයාද අල්ලා බෝතලයක හෝ බෑගයක දමාගෙන ගෙන ඒම බොහෝ අයගේ සිරිතයි.

එවැනි දිනක ගෝනියක ගැට ගසා ගෙන ආ සර්පයා හඳුනාගෙන බෙහෙත් නියම කළ පසු අප වාට්ටුවට අලුතෙන් පත් වී ආ සීමාවාසික වෛද්‍යවරයා ද එදෙසට පැමිණියෙන්, "මේ බලන්න මේ මල්ලේ" යැයි කීවා පමණි. ගෝනිය ඇතුල කඩි මුඩියේ බැලූ ඔහු කපා හෙළූ කඳක් මෙන් අසල පුටුව මත වැටුනේ බුදු අම්මෝ යැයි කියමිනි. හේතුව ඔහු තුල සර්පයින් ගැන තියෙන්නා වූ දැඩි බිය යි. අප එය නොදැන සිටියෙමු.

මග මරුවා නමින්ම හැඳින්වෙන තෙල් කරවලා, වැලි පොළඟා, තිත් පොළඟා, පොළොන් තෙලිස්සා යන මේ සර්පයන් බොහෝ විට හමුවෙන්නේ වියළි සහ ශුෂ්ක කලාප වලින්.... ඒ කියන්නේ අනිත් කොනේ දීත් මේ අය නිතර දෙවේලේ මුන ගැහුණු කොට්ටාශයක්... ඒ හැරුණු කොට නාගයා සහ මුදු කරවලා නම් තෙත් වියළි හැම ප්‍රදේශයකම ඉන්නවා.


නාගයා අධික විෂ සහිතය. ස්නායු පද්ධතිය අකර්මණ්‍ය කරන විෂ සහිතය. මාංශ පේෂී දුර්වල වීමත්, ඇස් පියන් ඇරීමට නොහැකියාවත් ඇතිවේ. සියලු මාංශ පේෂී සහ ස්නායු පද්ධතියේ අකර්මන්‍ය තාවය නිසා ශ්වසනය, ආහාර ගිලීම අපහසුවේ. පහත වගුවේ ඔවුන් දශ්ඨ කළ විට පිටත දක්නට ලැබෙන ලක්ෂණ සහ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන තත්වයන් විග්‍රහ කරයි.



රසල්ස් වයිපර් හෙවත් තිත් පොළඟා තමයි වැඩි පුරම අප වෙත ගෙන එන අය රැගෙන එන්නේ... තිත් පොළං විෂ ශරීර ගත වුණු විට බලපාන්නේ රුධිර සංසරණ පද්ධතියටය. ලේ කැටි ගැසීම නවතී. මූත්‍රා සමග ලේ පිටවීම සමග වකුගඩු අකර්මණ්‍ය වීම ද සිදුවේ. විදුරුමස් වලින් පවා ලේ ගැලීම් සිදුවිය හැක. මුහුණ ඇස් ඉදිමේ. එවැන්නවුන් හට රුධිර කැටි ගැසීම පරීක්ෂා කිරීම සිදු කළ යුතුය.





වාට්ටුවේදී.. කුඩා ලේ පරීක්ෂා කරන්න ගන්නා බෝතලයක අඩියට රුධිරය 1-2 මිලි ලීටර පමණ දමා මිනිත්තු විස්සකින් හරවා බැලීමෙන් රුධිරය කැටි ගැසෙනවාද නැද්ද යන්න පැහැදිලි ලෙස දැකිය හැක. ඉතින් එහෙම නොවුනොත් වහාම යලිත් බෝතලයකට ලේ දමා පරීක්ෂා කර තහවුරු කරගෙන. රුධිරය කැටි නොගැසෙන්නේ නම් පොළොං විෂ නයි විෂ සඳහා නිපදවූ විෂ නසන බෙහෙත් ශරීර ගත කළ යුතුය. මේ ක්‍රියාවලියේදී, anaphylaxis ඇනැෆිලැක්සිස් හෙවත් එම ඖෂධ සඳහා ශරීරයේ ප්‍රතික්‍රියාවක් සිදුවිය හැකි හදිසි ජීවිත තර්ජන තත්වයක් නිසා කෝකටත් අපි හදිසි අවස්ථාවකදී භාවිතයට ගන්නා ට්‍රොලිය සහ ඖෂධ සියල්ල ලෑස්ති කරගෙන සිටින්නෙමු. 






හැබැයි මා කායික රෝග වාට්ටු වල වැඩ කරන කාලය තුල කිසිම විටක එවැනි හදිසි අවස්ථා ඇති වුනේ නැත. අපි සමහර විට එක වර රෝගීන් දෙදෙනා තුන්දෙනා තබාගෙන ප්‍රතිකාර කර තිබේ.

මේ අය හඳුනාගන්න හැකි... ජායාරූප සහ විෂ ඇතුල් වෙන ස්ථානයේ ලක්ෂණ සහ ඉන්පසු විෂ නිසා ඇති විය හැකි රෝග ලක්ෂණ අඩංගු විශාල පෝස්ටර් අපේ වාට්ටුවේ ඇතුල් වෙන තැනම අලවා තිබෙනවා. එනිසා අපට ද එය මහත් ඉස්පාසුවක් .... ගෙනෙන සර්පයා හඳුනාගන්න අවශ්‍ය ජායාරූප එහිම තිබෙන නිසා. ඒත් බොහෝ විට සිදුවෙන්නේ.. කුඹුරක හෝ කැලෑවකදී නම් දෂ්ඨ කරන ලද සර්පයා වෙනුවට අසල සිටින ඕනෑම සර්පයකු ගෙන එන එක ය. එනිසා ගෙන එන සර්පයා අනුව නොව ඇතිවන ශරීර සංකූලතා ආබාධ ගැන ද සැලකිල්ලට ගත යුතු ය. 

 තෙල් කරවලයා උග්‍ර විෂ සහිත සර්පයෙක්  හැබැයි සපා කෑ ස්ථානය ඉදිමෙනවා.   බොහෝ විට නින්දෙන් පසු කෘමි සතෙකු සපා කෑවාක් වැනි රිදීමක් මිසක් තුවාල ලකුණක්වත් සොයා ගන්න බෑ මුදු කරවලා සපා කෑවොත්
  
සමහර මිනිසුන් සතා සිවුපාවුන් සමග සංහිදියාවෙන් ජීවත් වීම ගැන නොදන්නේ දැයි මට සිතේ. දෝරේ ගලන වතුරේ පීනමින් එන පොළඟුන් නම් අප නේවාසිකාගාරයේ පඩිය අසලින් ද ඇදී යයි. ඔවුන්ගේ ගමන ඔවුන් යන තුරා අපේ ගමන නවත්වා සිටිය යුතු වේ. මගේ පියා පැවසුවේ අපෙන් කරදරයක් නොවන තාක් ඔවුන්ගෙන් කරදරයක් නොවන බව ය. මෙය කෙතරම් ඇත්ත් දැයි මට සිතේ. එහෙත් බොහෝ විට සිදුවෙන්නේ කුඹුරක හෝ අවට වන පඳුරු ගහණ පෙදෙසක නොපෙනීම නිසා නොදැන ඔවුන් මත පා තැබීම ය.